සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවේ ශිෂ්‍ය මර්දනයට එරෙහි වනු!

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (ශ‍්‍රී ලංකා) සංවිධානයේ ප‍්‍රකාශයකි, 2016 ජූනි 12

සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට පත්ව ගතව ඇති වසර එකහමාරක කාලය තුල, වඩාත් ඉහල තලයකට නංවා ඇති ශිෂ්‍ය මර්දනයට සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) දැඩි විරෝධය පලකර සිටියි.

අධ්‍යාපන හා ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ට එල්ල කෙරෙන බරපතල ප‍්‍රහාරයන් හමුවේ අඛන්ඩව අරගලයට අවතීර්න වෙමින් සිටින විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් මෙල්ල කිරීම සඳහා ආන්ඩුව විසින් ක‍්‍රියාවට දමා ඇති මර්දනකාරී වැඩපිලිවෙල යටතේ, විවිධ හේතූන් දඩමීමා කරගනිමින් පන්ති තහනම් සහ ශිෂ්‍යභාවය අහෝසි කිරීම් සමගම පොලිස් ප‍්‍රහාරයන්, අත්අඩංගුවට ගැනීම් සහ අධිකරනය මෙහෙයවීම් අතුලු රාජ්‍ය මර්දනයක් උසි ගන්වා ඇත.

මෙම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කඩා පැනීම කම්කරු පන්තිය ඇතුලු සමස්ත පීඩිත මහජනතාවන්ට එරෙහිව ගැඹුරු කරන දැවැන්ත ප‍්‍රහාරයක කොටසකි. අධ්‍යාපන ක්ෂේත‍්‍රය ඇතුලු සියලු ක්ෂේත‍්‍රයන් අලලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධානය මත ක‍්‍රියාවට දැමෙන, සමස්ත කප්පාදු වැඩපිලිවෙලට හරස්වන කවර හෝ විරෝධයක් තලා දැමීමට ආන්ඩුව අධිෂ්ඨාන කරගෙන සිටී.

ආසන්න මාස කිහිපය තුල විශ්වවිද්‍යාල තුලින් වාර්තා වූ සිද්ධි කිහිපයක්ම ප‍්‍රහාරයේ විසකුරු ස්වභාවය පෙන්නුම් කරයි.

* පසුගිය මැයි 5 වනදා නවකවද චෝදනා මත විටින් විට අත් අඩංගුවට ගත් කැලනිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් හත්දෙනෙකු මසකට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ රඳවා ඇත. එය මෑත කාලයේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය කන්ඩායමක් රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තැබූ දීර්ඝතම දින ගනන සලකුනු කරයි.

* “විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකුට තර්ජනය කිරීම” ඇතුලු තවත් චෝදනා කිහිපයක් මුල්කරගනිමින් පසුගිය මැයි 24වනදා සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් දසදෙනෙකුගේ පන්ති තහනම් කෙරුනි. ...

* මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂන පීඨයේ සිසුන් 11ක් නවකවද මර්දන නීතිය යටතේම පන්ති තහනමට ලක්කර, ඊට එල්ලවූ සිසු විරෝධය හමුවේ මැඩලීමට එම පීඨය තාවකාලිකව වසාදැමුනි. කොන්දේසි සහිතව දඬුවම පසුව ඉවත් කෙරුනත් සිසුන් නියමිත දේශන සංඛ්‍යාවට සහභාගී වී නැතැයි පවසමින් විශ්වවිද්‍යාල පරිපාලනය ඔවුන්ට විභාගයට පෙනී සිටීමට ඇති අවස්ථාව අහිමිකර තිබේ.

සිසුන් ප‍්‍රකාශ කරන්නේ මෙම නවකවද චෝදනාවන්ට අදාල පරීක්ෂන කිසිදු සාධාරනත්වයකින් තොරව සිදුවූ බවත් එල්ලවන චෝදනාව කුමක්දැයි හරිහැටි දැනගැනීමේ අයිතියක් හෝ සිසුන්ට නොපැවති බවත්ය.

ප‍්‍රහාර තවත් උත්සන්න කිරීමට නියමිතය. මැයි 28 වන දා, විශ්වවිද්‍යාල සිසුන් සහභාගී වූ උත්සවයක් අමතමින් උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අවධාරනය කලේ විශ්වවිද්‍යාල තුල සිදුකෙරෙන සියලු ක‍්‍රියාකාරකම් උපකුලපතිවරුන්ගේ සහ විශ්වවිද්‍යාල පරිපාලනයේ පාලනය යටතේ පැවතිය යුතු බවය. ශිෂ්‍යයින් උද්ඝෝෂන වලට අවතීර්න වුවහොත් එහි වගකීම උපකුලපතිවරුන් දැරිය යුතු බවත්, “විශ්වවිද්‍යාල වල ප‍්‍රශ්න විශ්වවිද්‍යාල තුලම විසඳාගත නොහැකිනම් උපකුලපතිවරයෙකු සිටීමෙන් පලක් නොවන බවත්” ඔහු පැවසීය.

මෙය වනාහි කවර හෝ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී රෙගුලාසි වට දමමින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් අරගලයට අවතීර්න වීම වැලැක්වීම සඳහා පොලීසියක් ලෙස ක‍්‍රියාත්මක වීමට විශ්වවිද්‍යාල පරිපාලනයට විධානය කිරීමකි. පරිපාලන නිලධාරීන් සහ ඇතැම් ආචාර්ය කන්ඩායම් විශ්වවිද්‍යාල තුල “නිතීය අකුරට” ක‍්‍රියාත්මක කිරීමේ නමින් මර්දන වැඩපිලිවෙල ක‍්‍රියාත්මක කිරීම සඳහා සිය පක්ෂපාතීත්වය දැනටමත් පෙන්නුම් කර ඇත. ආන්ඩුවේ මර්දනය සාධාරනය කිරීමට විශ්වවිද්‍යාල තුල විනය ආරක්ෂා කරගැනීම, නවක සිසුන්ගේ නිදහස ආරක්ෂා කිරීම ආදී හේතු ඔවුන් විසින් ව්‍යාජව ඉදිරිපත් කරනු ලැබ ඇත.

විශ්වවිද්‍යාල තුල පොලීසි පිහිටුවීමට හා අපරාධ නීතිය ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය රෙගුලාසිි ඉදිරියේ දී ගෙන එන බව වරක් අගමැති රනිල් වික‍්‍රමසිංහ සඳහන් කල අතර අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් නවකවදය සම්බන්ධ නව නීතිරීති සම්පාදනය කරන බවත් නවකවදය සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වන “ස්වාධීන ආයතනයක්” සෑම විශ්වවිද්‍යාලයක් තුලම පිහිටුවීමට ආන්ඩුව අදහස් කරන බවත් පවසා තිබේ.

කලින් ආන්ඩු මෙන්ම වත්මන් පාලනය ද නවක වදය ගැන කිඹුල් කඳුලු හෙලයි. විශ්ව විද්‍යාල ඇතුලු සමස්ත අධ්‍යාපන ක්ෂේත‍්‍රයම කප්පාදු කරමින් පරිහානියට හෙලන පාලක පන්තියට නවක වදය හුදෙක්ම ව්‍යාජ සදාචාරයේ මහජන මතයක් අවුස්සමින් තම ප‍්‍රහාර ආවරනය කරගනිමින් සිසුන් මැඩලීමේ ආයුධයක් පමනකි.

සසජාතශි නවක වදයට තරයේම විරුද්ධය. එමෙන්ම, විශ්වවිද්‍යාලවල “උප-සංස්කෘතියක්” ලෙස අවිශිබම නායකයන් විසින් නවක වදය යුක්ති සහගත කිරීමට ද සසජාතශි විරුද්ධය. ඔවුන් එය යොදා ගන්නේ සිසුන් තම දේශපාලනයට නම්මා ගැනීමට ය. මෙය අන්ත ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාවකි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලනය යටතේ අධ්‍යාපනයට එල්ල කෙරුනු අඛන්ඩ ප‍්‍රහාරයන් හමුවේ සිසු අරගල වේගයෙන් වැඞී යද්දී, 2010 දී, නවකවද පනත යලි බලාත්මක කරමින් ඊට තවත් විස දල සවි කෙරුනි. එම පාලන කාලය තුල ශිෂ්‍ය සංගම් තහනම් කරමින්, සිසුන් සිය ගනනක් පන්ති තහනමට ලක් කරමින් හා අත්අඩංගුවට ගනිමින් ශිෂ්‍ය මර්දනය තීව්ර කලේ මෙම නීතිවල ආධාරයෙනි.

2015 දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට පත්වී වසර එකහමාරක් ගතවන අවස්ථාවේදී පෙන්නුම් කෙරෙන්නේ, එම ප‍්‍රහාර අධ්‍යාපනය හා අනෙකුත් සියලු අංශ මත වඩා තීව්ර කොට එල්ල කරන අතරම ඒවා ඉහල තලයකට ගෙනයාමට සුදානම් වන බවයි.

රාජපක්ෂ ආන්ඩුවට බලපෑම් දමා ප‍්‍රහාර නතර කර ගත නොහැකිවූ තැන ඔහු ඉවත් කර සිරිසේන -වික‍්‍රමසිංහ පාලනය බලයට ගෙන අවුත් එම පාලනයට බලපෑම් කිරීමෙන් ප‍්‍රශ්න විසඳා ගත හැකියයි තොරොම්බල් කල ඉදිරි දර්ශනය බංකොලොත් බවත් කම්කරුවන්ට හා සිසුන්ට උගුලක් බවත් එලෙස ඇස්පනාපිට එලිදරව්වී ඇත.

සිසුන් තමන්ට එල්ල වන ප‍්‍රහාරවලට හා අධ්‍යාපන අයිතීන් කප්පාදුවට විරුද්ධව සටන් කිරීමේ උවමනාව එක දිගටම පෙන්නුම් කර ඇත. ඔවුන්ගේ සටන්කාමිත්වයේ නම් අඩුවක් නැත. කෙසේවුවත්, සිසු විරෝධතා කැඳවුම් කරන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම), කර පින්නාගෙන සිටින්නේ ඉහත කී බංකොලොත් හා සිසුන්ට උගුලක් වී ඇති දේශපාලනයයි. එහි නායකයන්ගේ න්‍යායික ගුරු ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ක‍්‍රියා කරයි.

ශ‍්‍රී ලංකාවට පමනක් සීමා නොවන, ලොවපුරා පාලක පන්තීන්ගේ මෙම ප‍්‍රහාරක පිලිවෙත් ගලා එන්නේ ධනේශ්වර පද්ධතිය මුහුන දී සිටින ඓතිහාසික අර්බුදයෙනි. 2008 වසරේදී ලෝක පරිමානව පුපුරා ගිය ආර්ථික අර්බුදය වඩාත් ගැඹුරු වන තතු යටතේ ලොවපුරා ධනේශ්වර පාලක පන්තීහු මෙම පිලිවෙත් ක‍්‍රියාවට නගමින් සිටිති. ධනපති ක‍්‍රමයට ආපසු හැරවිය නොහැකි මෙම අර්බුදය මධ්‍යයේ පසුගිය ශත වර්ෂයේ කම්කරු පන්තිය දිනාගත් සියලු සමාජ හා ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් ආපසු උදුරා ගැනීමේ ප‍්‍රහාරයකට ධනේශ්වර පාලක පන්තීන් වෛෂයිකව තල්ලු වී ඇත.

2008 වසරෙන් පසු ග‍්‍රීසිය සහ ස්පාඤ්ඤය ඇතුලු යුරෝපයේ රටවල් තුල ඇතිවූ ශිෂ්‍ය හා කම්කරු අරගල විශාල පරිමානයෙන් පුපුරා ගියේ මෙම ප‍්‍රහාර වලට එරෙහිවයි. 1991 සෝවියට් සංගමය බිඳ විසුරුවීමෙන් පසු, සමාජ වාදය බිඳවැටී ඇතැයි ද කම්කරු පන්තිය අහෝසි වී ඇතැයි ද ව්‍යාජ වම්මුන්ගේ උදව්වෙන් ගෙනගිය ප‍්‍රතිගාමී ප‍්‍රචාර තුලින් කෘතිම ලෙස යටපත් කරගෙන සිටි පන්ති අරගලය යලිත් දියුනු කාර්මික රටවල පටන් ලෝක පරිමානව යලි ඇවිලී එන යුගයක අපි සිටිමු. ප‍්‍රන්සයේ දැන් පැන නැගී යුරෝපයේ රැව්දෙන අරගල හා ඇමරිකාවේ කම්කරුවන්ගේ අරගල වලින් පෙන්නුම් කරන්නේ එයයි.

නය බරින් මිරිකී මෙම ලෝක අර්බුදයේ ගිලී යන සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවට ද ඉන් මිදීමේ විශේෂ මගක් නොමැත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් (ජාමූඅ) ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක නය ලබා ගත් ආන්ඩුව තවත් නය ගැනීමට යන බව ප‍්‍රකාශ කර ඇත. ජාමුඅ නය සමග පටවා ඇත්තේ අධ්‍යාපනය ඇතුලු සියලු අංශ වල කප්පාදුව හා ජාත්‍යන්තර ආයෝජන වලට හොඳම කොන්දේසි සකස් කිරීමයි.

ආන්ඩුවට බලපෑම් දමා එහි ප‍්‍රතිපත්ති වෙනස් කරගත හැකි බවට අවිශිබම ඉදිරිපත් කරන වැඩපිලිවෙල බංකොලොත් වන්නේත් සිසුන්ට උගුලක් වන්නේත් මේ තතු තුලය. ප‍්‍රකෝටි ගනනින් මුදල් මුදා හැරීමකින් තොරව අධ්‍යාපනය හෝ සෞඛ්‍ය සේවය අතුලු අත්‍යාවශ්‍ය සමාජ ක‍්‍රියාමාර්ග නඩත්තු කිරීමටවත් වැඩිදියුනු කිරීමටවත් නොහැක. ධනපති පන්තියේ මොනම කොටසකට වත් එය කල නොහැක.

සිසුන්ගේ මෙන්ම කම්කරුවන්ගේ අයිතීන් දිනා ගැනීමේ අරගලය ආන්ඩුවටත් ධනේශ්වර පාලක පන්තියටත් එරෙහිව සමාජවාදී වැඩපිලිවෙල සඳහා කරන දේශපාලන අරගලයක් බවට පත් වී ඇත. මෙය සෑම රටක් සම්බන්ධයෙන් ම එකසේ වලංගු සත්‍යය යි. ලංකාවේ දී නම් එය, එම ජාත්‍යන්තර සටනේ කොටසක් ලෙස, ධනපතියන්ගේ මහා ව්‍යාපාර කම්කරු පන්ති පාලනය යටතේ ජනසතු කරන සමාජවාදී වැඩපිලිවෙල ක‍්‍රියාවට දමන්නාවූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමේ අරගලයකි.

අවිශිබම හා එය මෙහෙයවන පෙසප මෙම වැඩපිලිවෙලට විරුද්ධය. පෙර අවිශිබම නායකයා වූ නජිත් ඉන්දික මෙන්ම දැන් නායක ලහිරු වීරසේකර ප‍්‍රකාශ කලේ හා කරන්නේ “අරගලය! අරගලය!! අරගලය!!!” එකම ක‍්‍රියාමාර්ගය බවයි. මෑතකදී පොලීසිය සිසුන්ට මුර්ග ප‍්‍රහාරයක් එල්ල කල විට “අපව මරාපල්ලා එත් සටන නතර නොවනු ඇති”යි වීරසේකර සපථ කලේය. ආන්ඩුවට බලපෑම් දැමීමේ විරෝධතා දේශපාලනය ආවරනය කර ගැනීමට යොදා ගන්නා මේ පූච්ඡානම් දෙඩවිලි සිසුන් ධනපති ක‍්‍රමය තුල හිර කරන උගුලක් වී ඇත.

සටන්කාමිත්වයෙන් හා ධෛර්යයෙන් අනූන සිසුන්ගෙන් සසජාතශි ඉල්ලා සිටින්නේ ධනවාදයට එරෙහි අරගලයෙන් තමන් පීලිපන්වන අවිශිබම හා අනෙකුත් දේශපාලනයෙන් බිඳී, සමාජවාදී වැඩ පිලිවෙල ක‍්‍රියාවට දැමියහැකි එකම පන්තිය වන්නාවූ, කම්කරු පන්තිය එම වැඩ පිලිවෙලින් සන්නද්ධ කර බල මුලුගැන්වීමේ අරගලයට එක්වන ලෙසයි. කම්කරු පන්තිය එම අරගලයට නායකත්වය දීම වලක්වා අවමන් ගත කර ඇත්තේ ධනපති ගැති සංවිධාන විසිනි.

අධ්‍යාපන අයිතිය රැක ගැනීමේ මෙම සමාජවාදී අරගලයට එක්වන ලෙස සිසුන්ගෙන් සසජාතාශි ඉල්ලා සිටී. ඔබගේ විශ්වවිද්‍යාලතුල සසජාතශි ශාඛා ගොඩනගන්න. සසජාතශි (ශ‍්‍රී ලංකා), ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂ සම්බන්ධව ක‍්‍රියා කරන ජාත්‍යන්තර තරුන හා ශිෂ්‍ය සංවිධානයක කොටසකි.

Share this article: