ජනාධිපතිවරනය හා ඇමරිකානු දේශපාලනයේ සාපරාධිකරනය

The US elections and the criminalization of American politics

2016 ජූනි 3

ඇමරිකානු ජනාධිපතිවරනයේ මූලික වටය අවසානයට ලඟාවීමත් සමග, පාලක ප්‍රභූවේ ඩෙමොක්‍රටික් හා රිපබ්ලිකන් යන පක්ෂ දෙකම සූදානම් වන්නේ, මෙතැන් සිට මහා මැතිවරනය දක්වා කාලය තුල සාපරාධී අධිචෝදනයට ලක්වීමට ඉඩ ඇති අපේක්ෂකයින් දෙදෙනෙකු සිය අපේක්ෂකයින් ලෙස යෝජනා කිරීමට ය.

රිපබ්ලිකානුවන්ට ඔවුන්ගේ අවසාන අපේක්ෂකයා ලෙස සිටින්නේ, නොයෙකුත් කූඨෝපාය හා අනීත්‍යානුකූල ගනදෙනු මගින් බිලියන ගනන් මුදල් හම්බ කල ඩොනල්ඩ් ට්‍රම්ප් ය. මෙම සතියේ ඇමරිකානු පුවත්පත් පිරී ඇත්තේ සිය ධනය වැඩි කර ගැනීමට ඔහු යොදාගත් ප්‍රෝඩාකාරී ක්‍රමවේදයන් පිලිබඳ විස්තරවලිනි. ට්‍රම්ප් විශ්වවිද්‍යාලයේ බොහෝ පැරනි ශිෂ්‍යයින් විසින් ගොනු කරන ලද නඩු වාර්තා, දේපල වෙලඳාම පිලිබඳ ව යැයි විද්‍යාලය විසින් සපයන ලද පුහුනුව ප්‍රෝඩාවක් බවට චෝදනා එල්ල කරයි.

එය මට්ටම් දෙකක වංචාවකි. ඩොලර් 35,000ක් දක්වා වන අතිවිශාල මුදලක් අයකර ඇති “ගෝල්ඩ් එලයිට්” වැඩසටහනේදී ශිෂ්‍යයින්ට, “අඩුවට ගැනීම” හා “වැඩි මිලට විකිනීම” හැරුනු කොට උගන්වා ඇති දෙයක් නැත. එමෙන් ම, 5000ක් පමන ශිෂ්‍යයින් සංඛ්‍යාවක් කමකට නැති උපදෙස්වලට ඩොලර් මිලියන 40ක් ගෙවා ඇත. මාධ්‍ය වාර්තාවන්ට අනුව, ඒවායින් බොහොමයක්, සරල අන්තර්ජාල සෙවීමකින් වුවත් ලබා ගත හැකි ඒවා ය.

“මා විසින් ප්‍රවේසමෙන් තෝරා ගන්නා ලද ” උපදේශකයින් සමග, තමන්ට ඇතැයි කියනු ලබන දේපල ව්‍යාපාර දැනුම හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් ගත් විට වාර්තා පෙන්වන්නේ, ව්‍යාපාරය ප්‍රචාරය කිරීමට ඔහුගේ නම හා මුහුන යොදා ගැනීමට ඉඩ දීම හා චෙක්පත් මාරු කර ගැනීම හැරුනු විට අධ්‍යාපන වැඩසටහන තුල ට්‍රම්ප් කරන ලද කාර්යභාරයක් නැති නමුත් ඔහුගේ කොමිස් මුදල අඩු වසයෙන් ඩොලර් මිලියන 5ක් වූ බව යි.

නිව් යෝක් ප්‍රාන්ත නීතිපති එරික් ස්නීඩර්මන්, 02දා උදේ රූපවාහිනී වැඩසටහන් දෙකක පෙනී සිටිමින් මෙසේ පැවසී ය,“නීති විරෝධී, ලියාපදිංචි නොකල විශ්වවිද්‍යාල පවත්වාගෙන යාමට එරෙහිව අපට නීති තිබේ. මෙය කිසි දා විශ්වවිද්‍යාලයක් නො වී ය. වංචාව ඇරඹුනේ සංවිධානයේ නමත් සමගිනි.” ඔහු තව දුරටත් මෙසේ පැවසී ය,“එය සැබවින් ම ආරම්භයේ සිට අවසානය දක්වාම වංචාවකි.”

ට්‍රම්ප් විශ්වවිද්‍යාලය දායකවී ඇත්තේ, දේපල වෙලඳ ධනකුවේරයාගේ පුද්ගලික ධනයේ සොච්චමකට පමනක් නමුත් යොදා ගන්නා ලද ක්‍රමවේදය, සමස්තයක් ලෙස ඔහුගේ “ව්‍යාපාර මාදිලියේ” සාම්පලයක් වන අතර, ඔහුගේ ජනාධිපතිවරන උද්ඝෝෂනය ගැන කියතොත්, එය විශාල වසයෙන් යොමු කෙරී ඇත්තේ ගැඹුරුවන ආර්ථික ගැටලුවලට විසඳුම ලෙස, ට්‍රම්ප්ගේ ප්‍රකෝටිපති පුද්ගලතාව පිලිගන්වමින් කම්කරුවන්ගේ හා පහල මධ්‍යම පන්තියේ වඩාත් මංමුලා සහගත කන්ඩායම්වලට ආයාචනා කිරීමට ය.

පාලක පන්තියේ ප්‍රධාන පක්ෂවලින් එකක් සිය ජනාධිපති අපේක්ෂක ලෙස ට්‍රම්ප් වැනි පුද්ගලයෙකු තෝරා ගැනීමට සූදානම් ය යන කාරනය තුල අසාමාන්‍ය දෙයක් ඇත. ඔහුගේ වාචාල මෙන් ම වර්ගවාදී ප්‍රකාශ පිලිබඳ ආරම්භක කුහක විවේචන නො තකා, ආසන්න වසයෙන් සියලු ම රිපබ්ලිකානු නායකයින් දැන් ට්‍රම්ප් සමග සමාදාන වී ඇති අතර, ඔහුගේ අපේක්ෂකත්වයට තමා සහාය දෙන බව නියෝජිත මන්ත්‍රී මන්ඩල කතානායක පෝල් රයන්ගේ ප්‍රකාශය සමගින් එය හිනිපෙත්තට නැගී ගියේය.

මෙය පැහැදිලි කල හැක්කේ ඇමරිකානු දේශපාලනයේ දැවැන්ත පරිහානියක් නිර්මානය කෙරී ඇති පුලුල් සමාජ ප්‍රවනතා තුලිනි. 2008 ආර්ථික කඩා වැටීම තුල සංගත ඇමරිකාව, හිනිපෙත්තට නැගි සමපේක්ෂනය, වංචාව හා සොරකම් කිරීමේ සෑම කැත ක්‍රමවේදයක් කරාම ඇදවැටීමේ පුද්ගලාරෝපනය ඩොනල්ඩ් ට්‍රම්ප්ය. පසු ගිය 40වසර තිස්සේ ඇමරිකානු පාලක පන්තියේ ක්‍රියාකාරිත්වය පෙර නො වූ විරූ පරපුටු ස්වභාවයක් ගෙන ඇත්තේ, දීර්ග කාලීන කාර්මික පරිහානිය වසන් කරන මූල්‍ය මෙහෙයුම් මාලාවක් සමගිනි.

ඩෙමොක්‍රටික් පක්ෂය පැත්තෙන් ගත් කල රාජ්‍ය ලේකම්ව සිටින කාලයේ හිලරි ක්ලින්ටන්, ආන්ඩුවට සම්බන්ධ ඇගේ සියලු සන්නිවේදන පුද්ගලික විද්‍යුත් සේවාදායකයෙක් (server) තුලින් හැසිරවීම පිලිබඳව දැනට පරීක්ෂන සිදු කෙරෙමින් ඇත. මෙය තොරතුරු දැනගැනීමේ නිදහස පිලිබඳ පනතේ ප්‍රතිපදාන නොසලකා, ඇගේ ලිපි හුවමාරු පැහැදිලිවම තම පාලනය යටතේ තබා ගැනීමට අපේක්ෂා කෙරුනු සැලැස්මකි. මෙම ගිම්හානයේ පසු භාගයේ දී එෆ්බීඅයි සංවිධානය ඇගෙන් ප්‍රශ්න කිරීමට අපේක්ෂිත ය. රහසිගත වාර්තා අවභාවිතා කිරීම හෝ බොරු සාක්කි දීම මත සාපරාධී වරදකට මෙය ‍යොමු විය හැක.

ක්ලින්ටන් නියෝජනය කරන්නේ ට්‍රම්ප් නිර්මානය කෙරී ඇති එකම සමාජ ක්‍රියාදාමයන්ගේ වඩා ඔපදැමුනු අනුවාදයකි. බිල් හා හිලරි ක්ලින්ටන් සංගත ‍ප්‍රේක්ෂකයින්ට කතා පවත්වන්නන් ලෙස සේවය කරමින් ඩොලර් මිලියන 150 ඉක්මවූ පුද්ගලික ධනයක් එකතු කර ගෙන ඇත්තේ, ආකර්ෂනීය ගාස්තු සඳහා ප්‍රතික්‍රියා ලෙස සංගත ආධාරකරුවන් හා සමාජ සත්කාරක සංවිධාන සම්බන්ධ කරන, ක්ලින්ටන් පදනමේ ඔවුන්ගේ “අරමුදල් රැස්කිරීමේ” වැඩ වලින් ලත් අනුග්‍රහය ඇතිවය.

ජාත්‍යන්තර බලපෑම්-තොරොම්බල් කිරීමේ ජාලයක කේන්ද්‍රය වී ඇති ක්ලින්ටන් පදනම, ඔවුන්ගේ ආධාර කන්ඩායමේ, එනම් ලෝක ප්‍රකෝටිපතියන්ගේ පෙරමුනේ ක්ලින්ටන් තබන්නේ එම ක්‍රියාදාම තුල ඔවුන් ඉමහත් පොහොසතුන් කරමිනි.

ආන්ඩුව හා මිලිටරි ඔත්තුසේවා සංවිධානවල අපරාධ සමග ද ක්ලින්ටන් ඍජුව සම්බන්ධ ය. ඇමරිකානු මූල්‍ය කතිපයාධිකාරයේ සාපරාධිකරනය එහි පිලිබිඹුව සොයා ගෙන ඇත්තේ, විදේශ ප්‍රතිපත්තිය තුල ය. සියලුම නීත්‍යානුකූල පිලිවෙත් පසෙකට දැමීම හා පාලක පන්තියේ විදේශ උත්සුකයන් තහවුරු කිරීමේ ප්‍රධාන මාධ්‍ය ලෙස වදහිංසා, ඝාතන හා “පූර්වභංග යුද්ධ” පිලිවෙත් අනුගනමය කිරීම තුල ය.

ඇගේ තරඟකරුවා වන බර්නී සෑන්ඩර්ස්ගේ ඉදිරියට යන සාර්ථකත්වයේ ප්‍රතිඵලයක් ලෙස ඇගේ අපේක්ෂකත්වයේ ජීවශඛ්‍යතාව ප්‍රශ්නයට බඳුන් වෙමින් තිබීමත් සමග ක්ලින්ටන්, කැලිෆෝර්නියාවේ සැන්ඩියාගෝ හි ප්‍රධාන කතාවක් ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තිය පිලිබඳ විවේචනයක් මත යොමු කිරීමට තීරනය කිරීම සැලකිය යුතු ය. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ වඩාත් ම ඵලදායි “ප්‍රධාන අනදෙන නිලධාරියා” ඇය මිස ට්‍රම්ප් ( හෝ සෑන්ඩර්ස් නැතහොත් වෙනත් අපේක්ෂකයෙකු) නොවේ යන තර්කය මත පදනම් ව ක්ලින්ටන් මිලිටරියට ආයාචනා කලා ය.

ජනාධිපති ඔබාමා සහ ඔහුගේ ඉහල මිලිටරි අනදෙන්නන් හා ක්ලින්ටන් ම ද ඇතුලු විදේශ ප්‍රතිපත්ති උපදේශකයින් විසින්, ඔසාමා බින් ලාඩන් ඝාතනය කෙරුනු නාවික හමුදා සීල් 6 භට කන්ඩායමේ කඩාපැනීමට බලය දුන් තීරනය වෙත ක්ලින්ටන් ඇගේ කතාව යොමු කලා ය. ඇය ඉතා කිට්ටුවෙන් අනන්‍ය කෙරෙන, ලිබියාවේ ඇමරිකානු-නේටෝ බෝම්බ හෙලීමේ ව්‍යාපාරය සමග බැඳී ඇති විදේශ ප්‍රතිපත්ති පරිහානිය ගැන ඇය සඳහන් නො කලා ය. ඇමරිකානු අනුග්‍රහය ලත් කැරලිකරුවන් විසින් ලිබියානු නායක මුවම්මර් ගඩාෆි ඔහුගේ උපන් නගරය වන සිර්ටේ හී දී මරා දැමුනු පසු ක්ලින්ටන් මෙම අවස්ථාව සැමරුවේ, ඇය සමග ගමන්ගත් පරිවාරකයින් අතර සිනා රැල්ලක් ඇති කරමින්, ඇගේ කුප්‍රකට “අපි ආවා, අපි දැක්කා, ඔහු මැරුනා” ය සරදම සමගිනි.

ට්‍රම්ප් හා ක්ලින්ටන් දෙදෙනා ම එකම ක්‍රියාදාමයේ නිර්මානයන්ය. එනම් වෝල් වීදියේ මෙහෙයුම් හා අධිරාජ්‍යවාදී “රාජ්‍යතන්ත්‍රයේ” භාවිතය තුල, ආධිපත්‍යය ගෙන ඇති ක්‍රමවේදයක් වන ඇමරිකානු පාලක ප්‍රභූව සාපරාධිකරනය වීමේ නිර්මානයන්ය.

පැට්‍රික් මාටින්

Share this article: