මොහොමඩ් අලිගේ මූලධර්මාත්මක ආස්ථානයේ ආදර්ශය අපගේ කාලයේ අනුයනු ඇත්තේ කවුරුන් ද?

Who will follow the example of Muhammad Ali’s principled stand in our day?

2016 ජූනි 6

සිය කාලයේ සටන්කාමීත්වය හා විරෝධය පෑමේ සංකේතයක්වූ හිටපු බර පංතියේ බොක්සිං සූරයාවූ මොහොමඩ් අලිගේ මරනය, සංස්ථාපිතය තුල නොවැලැක්විය හැකි හා සහජ ලක්ෂනයක් ලෙස ම යොදා ගෙන ඇත්තේ, තම නරුම අවශ්‍යතා වෙනුවෙන් ඔහුගේ උරුමය ගසාකෑමට ය.

1964 පෙබරවාරියේ කැසියස් ක්ලේ (අලිගේ උප්පත්ති නාමය) හා සොනි ලිස්ටන් අතර ප්‍රථම තරගයේ සිට අඩ සියවසක් ද අලිගේ මවිතකර ආගමනයේ සිට වසර 40කට ද වඩා ගතවී ඇතැයි යන්න විස්වාස කිරීමත් අසීරු ය.

අලි නිසැකව ම ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෙක් වුවත්, කෙනෙකුට සහේතුකව තර්ක කල හැක්කේ, ඔහු ඉතිහාසය හා මහජන විඤ්ඤානය මත සිය ප්‍රමුඛ සලකුන තබා ඇත්තේ වියට්නාම් යුද්ධයට ඔහු දැක්වූ ධෛර්ය සම්පන්න විරුද්ධත්වය මගින් බව යි. කැරලිකාරී කාලයක නිෂ්පාදිතයක්වූ අලි, සිය ප්‍රතිරෝධය දැක්වීම වෙනුවෙන් මිහිතලය පුරා මිලියන ගනන් මිනිසුන්ගේ ප්‍රසාදය හා ගෞරවය දිනා ගත්තේ ය.

22 හැවිරිදි වියේ පසුවූ ක්ලේ, 1964 පෙබරවාරියේ දී, එවක කිරුලු පලන් බර පංතියේ බොක්සිං ශූරයා වූ ලිස්ටන් අභිබවා මතුව ඒමෙන් අනතුරුව, කලු ජාතිකවාදී ඉස්ලාම් ජාතිය නම් ව්‍යාපාරයට සම්බන්ධ වෙමින් සිය නම මොහොමඩ් අලි ලෙස වෙනස් කර ගත්තේ ය. 1966 දී එක්සත් ජනපද මිලිටරියට සේවය නොකරනු ඇති බව නිවේදනය කිරීමටත් ඊලඟ වසරේදී හමුදාවට බැඳීම ප්‍රතික්ෂේප කිරීමටත් පෙරාතුව, වාර ගනනාවක දී ම ඔහු සිය තැන ආරක්ෂා කර ගත්තේ ය.

එවකදී අලි මේ අයුරින් පැහැදිලි කලේ ය, “මහා බලගතු ඇමෙරිකාව වෙනුවෙන්, මගේ සහෝදරයාට හෝ ඇතැම් කලු මිනිසුන්ට හෝ අසරනභාවයේ ගිලී සිටින සමහර කුසගින්නෙන් පෙලෙන දිලිදු මිනිසුන්ට වෙඩි තැබීමට මගේ හෘද සාක්ෂිය මට ඉඩ දෙන්නේ නැත. ඔවුන්ට වෙඩි තබන්නේ කුමක් වෙනුවෙන්ද? ඔවුහු කිසිදිනෙක මට නිගර් (කල්ලා) යැයි අවමන් නොකලහ, ඔවුහු කිසිදා මට වටකර පහර දුන්නේ නැත, ඔවුහු මා සපාකෑමට සුනඛයින් ලිහා එව්වේ නැත, ඔවුහු මගේ ජාතිකත්වය සොරකම් කලේ නැත, මගේ මව දූෂනය කලේ නැත, පියා මරා දැමුවේ ද නැත…ඔවුන්ට වෙඩි තබන්නේ කුමක් වෙනුවෙන් ද? දුප්පත් මිනිසුන්ට වෙඩි තැබීමට මට හැකි වන්නේ කෙසේද? ඉතිං මා සිරගෙයි ලනු!“

අලිගේ බොක්සිං බලපත්‍රය වහාම අත්හිටවූ අතර බියසුලු, “ජාතිමාමක“ බොක්සිං අධිකාරීන් විසින් ඔහු දැරූ තැන අහිමි කරන ලදි. ක්‍රීඩා ලේඛකයින්, පොදුවේ ගත් කල ජනමාධ්‍යවේදී සංසදයේ වඩාත් මුග්ධ හා වඩාත් ම අවිචක්ෂන සාමාජිකයන්, ඔහුව පුලුල්ව හෙලා දැක්කේ ය. අතිගරු රෙඩ් ස්මිත් පැවසුවේ, බොක්සිං ශූරයා “යුද්ධයට එරෙහි විරෝධතාවේ යෙදෙන හා පිකට් කරන කිලිටු තුච්ඡ මිනිසුන්ගේ කාලකන්නි අපේක්ෂාවක් බවට“ තමන්ව පත්කරගෙන තිබීම කනගාටුවට කාරනයක් බව යි. තවත් ක්‍රීඩා ලේඛක පන්ඩිතයෙක්වූ, ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත්පතේ ජිම් මුරේ, අලි “කලු බෙනඩික්ට් ආර්නෝල්ඩ්“ [1775-1783 වසරවල බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී හමුදාවන්ට එරෙහිව ඇමෙරිකානු නිදහස් යුද්ධයේදී සටන් කල ජනරාල් ආනෝල්ඩ් පසුව බ්‍රිතාන්‍යයන්ගේ පැත්ත ගත්තේ ය-පරිවර්තක] වසයෙන් නම් කලේ ය.

1967 ජූනි මස පැවැති නඩුවිභාගයෙන් වරදකරු කරනු ලැබූ අලි වසර පහකට සිරගෙට යැවුනි. ඔහුගේ කාය ශක්තියේ හොඳම කාලයේදී හා උසාවි හරහා ඔහුගේ නඩුව ඇදි ඇදී ගිය සිව්වසරක කාලය තුල අලිට බොක්සිං ක්‍රීඩාවේ යෙදීමට ඉඩ නොලැබිනි. අවසානයේ 1971දී, එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරනය ඔහුගේ දන්ඩනය නිෂ්ප්‍රභා කලේ ය. අත්හිටවූ කාල පරිච්ඡේදයේදී වියට්නාම් යුද්ධයටත් අනෙකුත් සමාජ ප්‍රශ්නවලටත් එරෙහිව විද්‍යාල හා විශ්වවිද්‍යාල සිය ගනනකදී රැස්වීම් අමතමින් ඔහු රට පුරා සංචාරය කලේ ය. අලිට යලිත් ඔහුගේ බොක්සිං බලපත්‍රය ලබා ගත හැකිවූ අතර ඔහුගේ බර පංති බොක්සිං නිලය යලි අත් කර ගත හැකි විය. එය බොක්සිං වලල්ලේ දී අහිමිවූ අතර වාර්තාගත තුන්වැනි අවස්ථාවේ දී එය යලිත් තමන් වෙත දිනා ගත්තේ ය.

ඔහුගේ කලබලකාරී, ආත්ම-අභිමාන හා ඉඳහිට කෙරුනු ප්‍රචන්ඩ කඩාපැනීම් පැත්තකට කල විට හැම අතකින්ම අලී, කාරුනික හා ශිෂ්ට සම්පන්න මිනිසෙක් විය. බොහෝවිට ම්ලේච්ඡ බොක්ෂිං ක්‍රීඩාවේදී ඔහු ඉමහත් පරිත්‍යාගශීලිත්වයක්, මවිතකර කාරුනිකත්වයක්, විචිත්‍රත්වයක්, හුරුබුහුටිකමක් සහ යෝධ කායික දිරියක් ප්‍රදර්ශනය කලේ ය. තව ද ඔහුට අසාමාන්‍ය ලෙස තියුනු විඥානයක් ද තිබුනි. ඔහු කැපී පෙනුනේ හුදෙක් බොක්සිං වලල්ලේදී පමනක් නොව, නිපුන සම්මුඛ සාකච්ඡාකරුවන් හා අවමං කිරීමට සැදී පැහැදී සිටි අය සමග සමාගමයේ දී පවා ඔහුට තමන්ගේ ආස්ථානය පවත්වා ගැනීමේ හැකියාව පැවතුනු අතර ඔවුන් යටපත් කිරීමට පවා සමත් විය.

ඉස්ලාම් ජාතිය සමග එක්වීමට අලි ගත් තීන්දුව ඔහුගේ විචක්ෂනශීලිත්වය පිලිබඳ කිසිවක් නොපවසන අතර එය සලකා බැලිය යුත්තේ, මැකාර්තිවාදී කොමියුනිස්ට් විරෝධයේ පතුලෙන් මතුව එමින් තිබුනු නිල ඇමෙරිකානු දේශපාලන ජීවිතයට, ජනතාව වෙත පිලිගැන්වීම සදහා කිසිවක් නොතිබීමේ සන්දර්භය තුල පිහිටුවාලමිනි. ජනගහනයේ වඩාත්ම පීඩිත කොටස් විරෝධය පෑමේ කුමන හෝ ශක්‍ය ක්‍රම සොයමින් සිටියෝ ය.

ඇත්ත වසයෙන්ම බොක්සිං ක්‍රීඩකයා පරමාදර්ශයට නැංවීමට හෝ ඔහුගේ අදහස් තිබුනාට වඩා තර්කාන්විත හෝ ප්‍රගතිශීලී අයුරින් දැක්වීමට හේතුවක් නැත. දෘෂ්ටිමය වසයෙන් ගත් කල අලි සෑම තැනම කරක් ගැසුවේ ය. 2005 වසරේ සිට, පරම යුද-අපරාධකරු වන ජෝර්ජ් ඩබ්ලියු බුෂ්ගෙන් නිදහස උදෙසා වන ජනාධිපති පදක්කම පිලිගැනීම දක්වා යන තරම් එක්කෝ ඔහු ඇති පදම් හීලෑ කර තිබුනේය, නැතිනම් ඔහුගේ වයස හා සෞඛ්‍ය ප්‍රශ්න මගින් බෙලහීන කර තිබුනේ ය.

කෙසේවතුදු, වියට්නාම් යුද්ධය කෙරේ විරුද්ධත්වය තාමත් එක්සත් ජනපදය තුල මහජන ව්‍යාපාරයක් බවට පත්ව නොතිබුනු 1966 මුල, අලිගේ ස්ථාවරය මූලධර්මාත්මක ද ආවේශදායි ද එකක් විය. නිශ්චිතවම එය, මහජන අතෘප්තියට දායක වෙමින් එය දිරිමත් කලේ ය. ඔහු හමුදාවට බැඳීමට ප්‍රතික්ෂේප කල, 1967 අප්‍රේල් 28 දින වන විට නිව්යෝක් සිටි හා අනෙකුත් තැන්වල එම වසරේ අප්‍රෙල් 15දා (කනිෂ්ට මාටින් ලූතර් කිං විසින් ආමන්ත්‍රනය කල ) රැස්වීම ද ඇතුලු ලක්ෂ සංඛ්‍යාත මහජනයා සහභාගීවූ විරෝධතාවන් පැවත්වුනි.

එකල අලිට සහය දැක්වීම, විරුද්ධ පාර්ශවයට සහය දැක්වීමක් විය. පවත්නා තත්වයට එරෙහි විරුද්ධත්වය මහජන යථාර්ථයක්ව පැවති යුගයක, පොදු පුද්ගලයෙක් ලෙස ඔහු මතුව ආයේ ය. 1960 ගනන් මැද භාගයේදී එක්සත් ජනපදය තුල නිවාක්, ඩිට්‍රොයිට්, ලොස් ඇන්ජලීස් හා අනෙකුත් නගර ගිනි ගනිමින් පැවතුනි. එම දශකයේ අවසන් භාගයේදී, වියට්නාම් යුද්ධයට එරෙහි යුද ව්‍යාපාරය සහ සෑම විශ්වවිද්‍යාලයක ම විරෝධතා දැක ගත හැකි විය. දවසේ න්‍යාය පත්‍රයේ තිබුනේ, මහා ජාතික වැඩවර්ජන හා පිකට් ලයින්වල පොලිසිය හා කම්කරුවන් අතර ඇවිලෙන සටන් ය. ජාත්‍යන්තරව ගත් කල, ග්‍රීසියේ, ස්පාඤ්ඤයේ හා පෘතුගාලයේ වෛරී සහගත ආඥාදායකත්වයන් පාලනයෙන් පලවා හැරුනි. ගෝලීය අර්බුදය, 1968 මැයි-ජූනිවල, කෝටියක් ජනතාව සම්බන්ධවූ ප්‍රංශ මහා වැඩවර්ජනය තුලින් එහි ප්‍රබල විප්ලවවාදී කුලු ගැන්වීම කරා ලඟාවිය.

ඇත්ත වසයෙන් ම, මියගිය අයට ඔවුන්ගේ ජීවිත හා ක්‍රියාකාරකම්, අත්‍යන්තයෙන් කුනුවූ අරමුනු වෙනුවෙන් ගසා කනු ලැබීමෙන් ආරක්ෂා කරගත නොහැකි ය. නියත ලෙසම ඔහුගේ අස්වභාවික නරුම කුහකත්වය හා වැදි බන, නිර්දෝශී මතයක් ලෙස තවත් නිදර්ශනයකින් ගෙනහැර පෑමට ජනාධිපති බැරැක් ඔබාමා අලිගේ මරනය අවස්ථාවක් කරගත්තේ ය.

ප්‍රකාශයක් නිකුත් කරමින් ඔබාමා තිරකොට කීවේ, අලි, “දුෂ්කර මොහොතේදී නැගිට සිටියේ ය, අනෙකුන් කතා නොකර සිටින විට කතා කලේ ය. බොක්සිං වලල්ලෙන් පිටත ඔහුගේ සටන, ඔහුට සිය නිලය අහිමි කල අතර ඔහුගේ ජනතා පදනම අහිමි කලේ ය. එය ඔහුට දකුනෙන් සහ වමෙන් සතුරන් සදා දුන්නේ, ඔහු අපහාසයට ලක්කරමින් ද සිරගෙදරට යවමින් ද ය. එහෙත් අලි නැගී සිටියේ ය. ඔහුගේ ජයග්‍රහනය අද අප ඇමෙරිකාව ලෙස හඳුනාගන්නා දේ නිර්මාන කිරීමට සහායවූවේ ය.“

ඔත්තුකාරයින්, පොලිස්කාරයින් හා ආයෝජන බැංකුකාරයින්ගේ පරමාදර්ශී ජනාධිපති ඔබාමා, සිය ක්‍රියාවන්ගේ නරක ප්‍රතිපලවලට වගකිව යුතුව තිබෙන විට, “නැගී සිටීම“ හා “කතා කිරීම“ ගැන කිසිවක් දන්නා සේ ය. මෙම පුද්ගලයා තම මාංශ පේශියක් සොලවා, පාලන බලයේ අනුමැතිය ලැබාගත නොහැකි වේ යයි කලින්ම කිව හැකි කිසිවක් කිරීම සදහා එකදු පියවරක් හෝ කිසිදා තබා ඇතිද?

නතර කරන ලෙස කිසිවෙකු නියෝග නොකර, එවැනි මවිතකර ප්‍රකාශයක් කිරීමට ඔබාමාට හැකිවීම , ඇමෙරිකාව තුල පොදු බුද්ධිමය ජීවිතය හා මාධ්‍යයේ කුනුවූ ස්වභාවය පිලිබඳ අපූරු පැහැදිලි කිරීමකි. සිරගෙට යාම සදහා අලි සූදානම්ව සිටියේ යයි එක්සත් ජනපද ජනාධිපති ඔහුට ප්‍රසංසා කරයි. මේ ප්‍රකාශය නිකුත් වන්නේ, චෙල්සි මැනිං, ජූලියන් අසාන්ජ් හා එඩ්වඩ් ස්නෝඩන්ගේ නිර්දය, තුච්ඡ වධකයාගේ මුවිනි! මිය ගිය හා වල දැමුනු අධිරාජ්‍යවාදී යුද්ධයේ විරුද්ධවාදීන්ගෙන් එල්ල වන්නේ සුලු තර්ජනයක් සේ ය!

“මොහොමඩ් අලි ලෝකය සෙලවුයේ ය. ලෝකයට එය අවශ්‍යව තිබුනි,“ සමස්ත ජනතාවන්ට තර්ජනය කරන ඩ්‍රෝන් ප්‍රහාර මෙහය වන්නා ද ලෝකයේ විවිධ ප්‍රදේශවල මිනිසුන්, කාන්තාවන් හා ලමුන්ට චිතකය නිර්මානය කරන “ඝාතන ලැයිස්තු“ සකසන්නා ද වන ඔබාමා සහතික කලේ ය.

ඔබාමාගේ ප්‍රකාශයේ එක කොටසක් සත්‍යය අනුනාද කලේ ය: ඒ, මූලධර්ම වෙනුවෙන් තමන්ගේ තනතුර හා ආදායම කැපකිරීමට අලි දැක්වූ කැමත්ත කෙරෙහි පැවති ඔහුගේ විස්ම යි. මෙය පුලුල් හා සැබවින්ම අසහනකාරී ප්‍රශ්නයක් වෙත අවධානය යොමු කරයි: මේ ආකාරයේ දේශපාලන ධෛර්යක් ගැන නිදසුනක් සඳහා 1960ගනන් කරා දෑස් යොමු කිරීම සදහා අප තල්ලු කිරීමට එයට හැකි වන්නේ කෙසේද?

එක්සත් ජනපදය අවශේෂ ලෝකය සමඟ ශතවර්ෂ කාලක් පමන යුද්ධයේ නිරතව සිටී. මෙම කාලය අතරතුර ගනන් නැති ක්‍රීඩකයන්, සංගීතඥයින්, කලාකරුවන්, විද්‍යාඥයින් හා තවත් අය, මිනිසුන් ලක්ෂ සංඛ්‍යාවකගේ මරනවලට සහ තවත් අපරාධ කරා සිය පිලිවෙත් මෙහෙයවීම වෙනුවෙන් වැරැදිකාර ජනාධිපතිවරුන් වන බිල් ක්ලින්ටන්, බුෂ් හා ඔබාමා අතින් ගෞරව සම්මාන ලබා ඇත. ජනතාවගේ ඇස් ඉදිරිපිට, ඒ එකදු පුගුලෙක්වත්, සිය සම්මානය ප්‍රතික්ෂේප කර හෝ මෙකී ලේ ස්නානය කල පාලන තන්ත්‍ර එකකින්වත් සම්මාන ලබා ගැනීම හෙලා දකිමින් ධවල මන්දිරයේ හෝ කෙනඩි මධ්‍යස්ථානයේ හෝ ප්‍රසිද්ධියේ කතා කර නැත.

එසේ ගරු සම්මානයට පත්වූවන්ගේ ලැයිස්තුවට- මෙයින් ඇතම් අයට සමාජ විරෝධතාවන්හි නිරතවීමේ හෝ අඩුගානේ ස්වාධීන චින්තනයක් දැරීමේ ඉතිහාසයක් ඇත- සිඩ්නි පොයිටියර්, මෙරිස් ස්ට්‍රීප්, බොබ් ඩිලාන්, අරේතා ෆ්‍රෑන්ක්ලින්, බී.බී. කිංග්, ස්ටීව් වොන්ඩර්, ජේම්ස් ටේලර්, ජැක් නිකොල්සන්, පෝල් සයිමන්, වොරන් බියැටි, ඔසී ඩේවිස් සහ රූබී ඩී, රොබට් ඩී නීරෝ, බෘස් ස්ප්‍රින්ස්ටීන්, මෙල් බෘක්ස්, ඩස්ටින් හෝෆ්මාන් සහ ලිලී ටොම්ලින් වැනි පුද්ගලයින් ඇතුලත් වේ.

එක තැන පල්වෙන, අවස්ථාවාදී කාල වකවානු, යටත්වීම හා නිරෝධයට අනුබලය සපයා ඇත. සමාජ උදාසීනත්වයේ එවැනි යුගවලදී, රුසියානු මාක්ස්වාදී ප්ලෙඛානොව් වරෙක සටහන් කල පරිදි, බොහෝ අය “සීත අඩනින්දකට“ වැටෙන අතර “ඔවුන්ගේ සදාචාර මට්ටම අන්තිම අඩියට ගිලී යයි“. එවැනි අවධීන්ගෙන් අප ඉතා ඉක්මනින් ම ඉහලට එසැවී ගැනීම යහපත් ය!

ඩේවිඩ් වෝල්ෂ්

Share this article: