ඔර්ලන්ඩො සමූහ වෙඩි තැබීමේ සමාජ මූලයන්

The social roots of the mass shooting in Orlando

2016 ජුනි 15

ඔර්ලන්ඩො හි ෆ්ලොරීඩාවේ සමූහ ඝාතනය අයිඑස්අයිඑස් විසින් මෙහයවනු ලැබූ ප‍්‍රහාරයක් බව ප‍්‍රකාශ කල ආරම්භක නිල කතන්දරය නිරවුල් කිරීම සඳහා දල වශයෙන් පැය 48 ගත විය. පල්ස් සමලිංගික සමාජ ශාලාව තුල දී හමුදාව පාවිච්චි කරන ආකාරයේ ප‍්‍රහාරක රයිෆලයකින් සමූල ඝාතනයක් කිරීම සඳහා ඉස්ලාම්වාදී ත‍්‍රස්තවාදය කෙරෙහි ඔමාර් මාටීන්ගේ හිතපක්ෂ පාතිත්වය කවර භූමිකාවක් ඉටු කලත් ඔහුගේ ක‍්‍රියාවන් කෙලින් ම අයිඑස්අයිඑස් හෝ ඒ හා සමාන කිසියම් සංවිධානයක් විසින් මෙහය වූ බවට සාක්ෂි නැති බව ආන්ඩුව දැන් පිලිගෙන තිබේ.

එමෙන් ම මාටීන් පුද්ගලික චිත්තාවේගයන්ගේ එකතුවක් හා ගැටලු සහගත ලිංගික අනන්‍යතාව ඇතුලුව, බොහෝසෙයින් රට තුල වර්ධනය වී ඇති දක්ෂිනාංශික හා සුදු අධිපතිවාදී කන්ඩායම් වලට පොදු පසුගාමීත්වය, ප‍්‍රතිගාමීත්වය හා වර්ගවාදී අදහස්වල මනෝවිකාරයන් විසින් පොලඹවනු ලැබූ බව ද එලිදරව් වී ඇත.

මෙම එලිදරව් වීම්, ප‍්‍රහාරයට ගොදුරු වූ 49 දෙනාගේ මරන, තුවාලවීම්, තවත් 53 දෙනෙකුගේ ජීවිත අවදානම සහ පවුල්වල සාමාජිකයන් හා හිතවතුන් දසදහස් ගනනකගේ සෝසුසුම් ගසාකෑම දිගටම කරගෙන යමින් විදේශ යුද්ධය සහ එක්සත් ජනපදය තුල මර්දනයේ පූර්ව න්‍යාය පත‍්‍රයක් පෙරට දැමීමෙන් එක්සත් ජනපදයේ ජනාධිපති, ප‍්‍රධාන දේශපාලන පක්ෂවල ජනාධිපති අපේක්ෂකයන් ලෙස අනුමාන කරන්නන් සහ ධනපති සංගත විසින් පාලිත මාධ්‍ය වලක්වන්නේ නැත.

ඒ අනුව ඝාතකයා සහ ඔහුගේ අපරාධ පිලිබඳව බොහෝ දුරට එලිදරව්වී ඇති කරුනු සමග ඔවුන්ගේ වට්ටෝරු ගලපා බැලීමේ කිසිදු බැරෑරුම් උත්සාහයකින් තොරව ම මෙම වර්ගයේ බිහිසුනු සිද්ධීන් හටගන්වන සමාජ වටපිටාවක් නිර්මානය කිරීම පිනිස පිලිකුල් සහගත භූමිකාවක් ඉටු කල ඊනියා “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” ට තල්ලුව සපයනු සඳහා ඇමරිකාව තුල මෑතභාගයේ සිදුවූ නිමක් නැති සමූහ ඝාතන මාලාව යොදා ගැනීමට ඔවුහු දිගට ම කටයුතු කරති.

පල්ස් සමාජ ශාලාවට නිතර යාම හා සමලිංගිකයන් විසින් පාවිච්චි කරන සමාජ මාධ්‍යවල ක‍්‍රියාශීලී පෙනී සිටීමක් සමග මාටීන්ගේ හොමොෆෝබියාව ට (සමලිංගිකයන් හා සමලිංගිකත්වය කෙරෙහි පවතින වෛරය) සම්බන්ධයක් පැවතුන බව දැන් නිරාවරනය වී තිබේ. ඝාතකයාගේ අති-දක්ෂිනාංශික සහ වර්ගවාදී අදහස් පිලිබඳව විස්තර කිරීමට ඔහු සමග එකට වැඩකල අය ඉදිරිපත් වී සිටිති. 2014 මාර්තු සහ 2015 මාර්තු අතර කාලය තුල මාටීන් සමග වැඩකල ඩැනියල් ගිල්රෝයි නිව් යෝර්ක් ටයිම්ස් පත‍්‍රයේ පල කල ඔහුගේ සම්මුඛ සාකච්ඡාවක දී අනාගත සමූල ගාතකයා සමග ඇති වූ ගැටුම විස්තර කරනු දැකිය හැකිය.

ඔර්ලන්ඩෝ සමුහ ඝාතනය මාටින් විසින් කල බව ඇසු විට ඔහු “පුදුමයට පත් නොවුන” බව ගිල්රෝයි ප‍්‍රකාශ කලේ ය. “අතිශයින් ම වර්ගවාදියෙක්, හරිම ලිංගිකවාදියෙක්, යුදෙව් විරෝධියෙක්, සමලිංගික විරෝධියෙක් වූ ඔහු හැකිතරම් අපහාසාත්මක ප‍්‍රකාශ මගින් එය ප‍්‍රකාශයට පත් කලා” මාටීන් සම්බන්ධ පැමිනිල්ලට ඔහුගේ සේවායෝජකයා ඇහුම්කන් නොදුන් හෙයින් ගිල්රෝයි වැඩපොලෙන් ඉවත් විය.

ඔමාර් මාටීන් ගේ මනුෂ්‍ය ඝාතනය නූතන ඇමරිකානු ඉතිහාසයේ නරක ම සමුහ වෙඩි තැබීම වන නමුදු එය හුදෙක් නොමග යාමක් නම් නො වේ. අවි ප‍්‍රචන්ඩත්වය ලේඛනාගාර වෙබ් අඩවියට අනුව ජුනි මාසය දක්වා එක්සත් ජනපදය තුල සමුහ වෙඩි තැබීම් 18 සිදු වී තිබේ. ෆෙඩරල් බියුරෝ ඔෆ් ඉන්වෙස්ටිගේසන් දත්තවලට අනුව 2014 සමස්ත මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාව 8,124 කි.

ඇමරිකාව තුල කාර් අනතුරු වලින් මරනයට පත් වන සංඛ්‍යාව තරම් ම ප‍්‍රමානයක් වෙඩි තැබීම් වලින් මරනයට පත් වෙයි. ඒවා දර්ශක වශයෙන් අනෙකුත් සියලු ම සංවර්ධිත කාර්මීකරනය වූ රට වලට වඩා ඉහල රේට්ටුවකින් සිදු වේ. මිනිසුන් මිලියනයකට 31 දෙනෙක් එක්සත් ජනපදය තුල වසරකට වෙඩි තැබීම් වලින් මිය යති. ජර්මනියේ එම රේට්ටුව මිලියනයකට 2 කි. එංගලන්තයේ එක් අයෙකු පමනයි. ජපානයේ වෙඩි තැබීමකින් මිය යා හැකි සංඛ්‍යාව දල වශයෙන් ඇමරිකානුවෙකු අකුනු වැදීම් වලින් මියයාමට ඇති ඉඩ ප‍්‍රස්තාවට සමාන වේ; එනම් මිලියනයකට එක් අයෙකි.

එබඳු කරුනු වලින් අනුල්ලංගනීය ව මතු කරනු ලබන ප‍්‍රශ්නය වන්නේ: හැමවිට ම සියදිවි නසා ගැනීම් සහිත ව මානසිකව අස්ථාවර පුද්ගලයින් නිරන්තර ව ම සමූහ ඝාතනයන් ට මෙහෙයවනු ලබන ඇමරිකානු සමාජය ගැන එයින් කියවෙන්නේ කුමක් ද? යන්නයි; දේශපාලන සහ මාධ්‍ය සංස්ථාපිතය අවධානය යොමු නොකරන හෝ ආමන්ත‍්‍රනය කිරීමට නිර්භීත නොවන ප‍්‍රශ්නය මෙයයි. හේතුව, එය ඇමරිකානු ධනවාදී සමාජයේ දුස්සාධ්‍ය තත්වය එලිදරව් කිරීමකට ඉක්මනින් ම යොමුවන බැවිනි.

ඒ වෙනුවට ඉදිරිපත් කරන්නේ සමාජ විෂමතාවයේ හා ප‍්‍රචන්ඩත්වයේ එබඳු මට්ටම් උත්පාදනය කල ක‍්‍රමය සඳහා අතීත ආවරනය කිරීම් වල නරුම සහ වංචනික යලි සැකසීමකි. සෑම නව සමූල ඝාතන සිද්ධියකට ම නිල ප‍්‍රතිචාරය වන්නේ; යුද ඝෝසාවේ සහ තදුරටත් ජනතාව ගැන ඔත්තු බැලීම හා අනෙකුත් පොලිස් රාජ්‍ය පියවරයන් සඳහා කෙරෙන ඉල්ලීම්වල ආකෘතික එකතුවකි. ඝාතන ප‍්‍රචන්ඩත්වය මර්දනය කිරීමේ ඩිමොක‍්‍රටිකයන්ගේ ඉල්ලීම් වට්ටෝරුවට තුවක්කු පාලනය කිරීමක් ද ඇතුලත් කර ඇත්තේ රෝග ලක්ෂනයකට වඩා තුවක්කු තිබීම ඊට හේතුවෙනවාක් මෙනි.

රිපබ්ලිකයන්, විශේෂයෙන් ම ඔවුන්ගේ වර්තමාන ජනාධිපති අපේක්ෂකයා වීමට ඉඩ ඇති ෆැසිස්ට්වාදී ඩොනල්ඩ් ට‍්‍රම්ප් ගේ ප‍්‍රතිචාරය වී ඇත්තේ; පොදුවේ සංක‍්‍රමනිකයන් ට සහ සුවිශේෂ ව මුස්ලිම් වරුන් ට විරුද්ධව නව සහ වඩාත් මෘග ප‍්‍රහාරයන් ඉල්ලා සිටීම ය.

අඟහරුවාදා ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමෙන් ඉක්බිතිව ජනාධිපති ඔබාමා කල කතාවෙන් මෙය මැනවින් ප‍්‍රදර්ශනය කෙරුනි. ඔරලන්ඩො සමූහ ඝාතනයෙන් මතු කෙරෙන මූලිකත්වය දිය යුතු කේන්ද්‍රීය කාරනාව වන්නේ අයිඑස්අයිඑස් “විනාශ කිරීමේ” යුද්ධය තීව‍්‍ර කිරීම බව ඔහුගේ ආරක්ෂක ලේකම්, ඒකාබද්ධ කාර්යමන්ඩල ප‍්‍රධානීන්ගේ සභාපති, දේශීය ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානියා, ජාතික රහස් ඔත්තු සේවයේ අධ්‍යක්ෂ සහ සෙසු ආරක්ෂක නිලධාරීන් පිරිවරාගෙන ඔබාමා ප‍්‍රකාශ කලේ ය.

අතිරේක විශේෂ බලකායන් සහ ප‍්‍රහාරක හෙලිකොප්ටර් වැනි අතිරේක උපකරන යැවීම ඇතුලුව ඉරාකය හා සිරියාව තුල එක්සත් ජනපද මිලිටරි ප‍්‍රචන්ඩත්වයන් වැඩිදියුනු කිරීමේ ඔහුගේ මෑත ක‍්‍රියාවන් ඔහු උජාරුවෙන් හුවා දැක්වුවේ ය. අයිඑස්අයිඑස් නායකයන් 120 ට වඩා “ජීවිතක්ෂයට පත්කිරීම” ගැන පුරසාරම් දෙඩු ඔහු ලිබියාව තුල මිලිටරි මැදිහත්වීම උත්සන්න කිරීම ගැන ඉඟි කලේ ය.

ඉක්බිතිව ඔහු ගිනි අවි අයිතිය සීමා කිරීම සම්බන්ධව කොන්ග‍්‍රසය, එනම් රිපබ්ලිකයන් සම්මතත කල යෝජනා දෙසට හැරුනි. මුස්ලිම් සංක‍්‍රමනය තහනම් කිරීමේ ට‍්‍රම්ප් ගේ ඉල්ලීම හා සංක‍්‍රමනිකයන් ට එරෙහි සෙසු මර්දනකාරී පියවරයන් හෙලා දුටුවේ මූලිකව “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” හා මුස්ලිම් රටවල් තුල එක්සත් ජනපදයේ නව යටත්විජිත මෙහෙයුම් අත්‍යාවශ්‍ය දේවල් ලෙස සැලකීමේ ආස්ථානයෙනි.

සත්තකින් ම, හැමවිට ම වාගේ ඔහුගේ ම පිලිවෙත් හා මධ්‍යම ආසියාවේ සහ මැදපෙරදිග පසුගිය සියවස් කාර්තුව තුල ගෙනගිය යුද්ධ සම්බන්ධව ඔහුගේ ඍජු වගකීම, එක්සත් ජනපද සමුල ඝාතන විසින් මුදාහල විනාශය හා වොෂින්ටනය උවමනාවෙන් ම අවුලුවන ලද නිකායවාදී කා කෙටවීම් යන දෙයාකාරයෙන් ම අයිඑස් අයිඑස් ඉස්මතුවීමේ මූලයන් ගැන හෝ ඇමරිකානු රහස් ඔත්තු සේවයෙන් අයිඑස්අයිඑස් සංවිධානයට සහ එහි මුතුන් මිත්තන්ට ලැබූන පිටුබලය සම්බන්ධව හෝ වොෂින්ටනයේ ආඥාදායක කලාපීය සගයන් විසින් ඔවුන් ව සන්නද්ධ කිරීම සහ මුල්‍ය සම්පාදනය කිරීම ගැන ද ඔහු කතා නොකලේ ය.

මේ සියල්ල ම, ඇමරිකානු ධනවාදයේ පිරිහීම හා දුස්සාධ්‍ය අර්බුදය තුල පවතින ඇමරිකාවේ දැවැන්ත ප‍්‍රචන්ඩත්වයේ සැබෑ හේතුන් සඟවාලීමේ ප‍්‍රයත්නයකි. ඔබාමා විසින් පාලනය කරනු ලබන්නේ 1991 ආරම්භ කෙරුන ප‍්‍රථම පර්සියානු ගල්ෆ් යුද්ධයෙන් පටන් ගෙන 25 වසරක විදේශ යුද්ධයේ හා රට තුල ඩිමොක‍්‍රටික් හා රිපබ්ලික් ආන්ඩු විසින් එකසමානව ගෙන ගිය කම්කරු පන්තියේ සමාජ කොන්දේසි වලට හා ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ට අතොරක් නැතිව එල්ල කල ප‍්‍රහාරවල නවතම පරිච්ඡේද යයි.

යුද්ධය දිගටම පවත්වාගෙන යනු ලබන්නේ එක්සත් ජනපදය තුල සමාජ ජීවිතය හා දේශපාලනය මිලිටරීකරනය කිරීම මගිනි. එක්සත් ජනපදයේ දේශසීමාව තුල, විශේෂයෙන් ම වඩාත් අස්ථාවර සමාජ මූලයන් තුල මෙම දෛනික යාථාර්ථයේ බලපෑම අතිශයෝක්තියට නැංවීම කල නොහැකිය. අධිරාජ්‍යවාදී යුද්ධයේ හා කම්කරු පන්තිය දුගීභාවයට පත් කිරීමේ න්‍යාය පත‍්‍රය ක‍්‍රියාවට දැමීම පිනිස දේශපාලන ප‍්‍රතිගාමීත්වය, ජාතික ස්වෝත්තමවාදය, සංක‍්‍රමන විරෝධී වර්ගවාදය ඇතුලුව අතිශයින් ම පසුගාමී මනෝගතීන් ක‍්‍රමානුකුලව වගා දිගා කරනු ලැබ ඇත.

සමාජ ප‍්‍රතිරෝධයේ අනිවාර්ය වර්ධනයට සුදානම්වීමට ත‍්‍රස්තය, මෘගත්වය හා අනක්ගුනක් නැති ඝාතනය යොදා ගනිමින් කම්කරු පන්තික ජනයා ජීවත්වන ප‍්‍රදේශවල මිලිටරිකරනය වූ වාඩිලා ගැනීමේ බලකායක් බවට පොලීසිය පරිවර්තනය කර ඇත.

වෘත්තීය සමිතිවල පාවාදීම හා බිඳවැටීම, කම්කරු පන්තියට විරුද්ධව පාලක ප‍්‍රභූව සමග ඔවුන්ගේ සන්ධානගතවීම සහ පන්ති අරගල මර්දනය කිරීම සමාජ අසහනය තවදුරටත් තීව‍්‍ර කර තිබේ.

කෙසේ නමුත්, සමාජ අසමානතාවයේ දැවැන්ත පුලුල්වීම සහ පාලක ප‍්‍රභූවේ දුෂ්ට සාපරාධිත්වය කෙරෙහි පවත්නා බලගතු කෝපය විසින් තල්ලුව සපයනු ලබන පන්ති අරගලයේ නව නැගීමක ආරම්භය එක්සත් ජනපදය තුලත් ජාත්‍යන්තරවත් දැන් අපි අත් දකිමින් සිටිමු. මෙය සමාජ විප්ලවයේ අනිවාර්ය පුනර්ජීවනය පූර්වසංකේතවත් කරයි.

මතුවී ඇති අභ්‍යන්තර සමාජ ආතතීන් අපගමනය කිරීමට ජාතිකවාදය හා යුද්ධය යොදා ගැනීමට ඇමරිකානු පාලක පන්තියට උචිත හේතු තිබේ.

ඇමරිකාව තුල අප‍්‍රසන්න ලෙස රටාවකට අනුව මනුෂ්‍ය ඝාතන ප‍්‍රචන්ඩත්වයේ ඉස්මතුවීමට කම්කරු පන්තියට ඇත්තේ එකම පිලිතුරක් පමනි: එනම් එවන් සංත‍්‍රාසයන් නිෂ්පාදනය කරන පර්යාය අහෝසි කිරීමේ සමාජවාදී විප්ලවයේ මාවත ය.

බැරී ගේ‍්‍ර

Share this article: