සිංගප්පූරුවේ ෂංග්‍රිලා සාකච්ඡා වටය
වොෂින්ටනය හා බීජිනය දකුනු චීන මුහුද මත සටන් පෙරමුනු සීමා ඇඳ ගනිති

Shangri-La Dialogue in Singapore
Washington and Beijing draw battle lines over South China Sea

ජේම්ස් කෝගන් විසිනි , 2016 ජූනි 06

පසුගිය සති අන්තයේ, මූලෝපායික අධ්‍යයනය පිලිබඳ ජාත්‍යන්තර ආයතනය සිංගප්පූරුවේ අනුග්‍රහය ඇතිව පවත්වන ලද ෂංග්‍රිලා සාකච්ඡා වටයේ වාර්ෂික සමුලුව, ඔබාමා පාලනය හා ඇමරිකානු මිලිටරිය විසින් යොදාගනු ලැබුවේ, දකුනු චීන මුහුදේ භූමි භාගයන් පිලිබඳව චීන හිමිකම් පෑමට තර්ජනය කිරීම පිනිසය. චීනය ඊට ප්‍රතිචාර දැක්වූයේ, “ලෙඩ වැටීමට බිය නොවන” බව පැවසූ අද්මිරාල් සුන් ජියැන්ගුයි නමැති චීන රජයේ නියෝජිතයාගේ වචන වලට අනුව තමන් පසු නොබසින බව අවධාරනය කරමිනි.

සමුලුවේ තර්ජනාත්මක ස්වභාවය පිලිබිඹු කලේ, ස්ප්‍රැට්ලි දිවයින් සමූහය කෙරෙහි චීනයේ හිමිකම් පෑමට ඇමරිකාවේ ද පිටුබලය ඇතිව පිලිපීනය විසින් එල්ල කල අභියෝගය පිලිබඳව එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අභියාචන අධිකරනය මේ මාසය තුල හේග්හිදී දීමට නියමිත තීන්දුවට සියලු පාර්ශවයන් සූදානම් වෙමින් සිටීම තුලය. ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවතුන් විසින් පත් කල අයගෙන් පිරී ගිය අධිකරනය මේ මාසය තුල බීජිනයට විරුද්ධව එම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ඇත. චීන ආන්ඩුව අවධාරනයෙන් කියා ඇත්තේ, තමන් එම අධිකරනයේ නීත්‍යානුකූල භාවය ප්‍රතික්ෂේප කරන බවත් එහි තීන්දුව නොතකා හරින බවත්ය.

ෂංග්‍රිලා සාකච්ඡා වටය තුල වොෂින්ටනය නියෝජනය කලේ, ආරක්ෂක ලේකම් ඇෂ්ටන් කාටර් හා එරට පැසිෆික් ආඥාපතිත්වයේ ප්‍රධානියා වන අද්මිරාල් හැරී හැරිස්ය.

ජූනි 4දා කාටර්ගේ කථාව උද්ධච්ඡ, ප්‍රකෝපකාරී හා තර්ජනාත්මක එකකි. කලාපයට “හැරීම” නැතිනම් “ ප්‍රතිතුලනය” යන ඔබාමා පාලනයේ පිලිවෙතේ කොටසක් ලෙස ඇමරිකානු මිලිටරිය, “තමන්ගේ අති නවීන යුද මෙවලම් ආසියා-පැසිෆික්” කලාපයෙහි ස්ථානගත කර තිබෙන බවට ඔහු කයිවාරු ගැසීය. “ඇමරිකාව සතුව ඇති මිලිටරි හැකියාවන් ගොඩනගා ගැනීමට යමෙකුට දශක ගනනක් ගතවනු ඇතැයි” කාටර් දැඩි ලෙස පැවසීය. මිලියන ගනනක් මිනිසුන්ගේ ජීවිත බිලිගනිමින් ද දෙවන ලෝක යුද්ධයෙන් මෙපිට දැවැන්තම සරනාගත අර්බුදය නිර්මානය කරමින් ද ඇමරිකාව මැද පෙරදිග ගෙන ගිය ම්ලේච්ඡ, නව විජිතවාදී යුද්ධ තුලින් “පසුගිය 15 වසර පුරා දුෂ්කර ලෙස එකතු කර ගත් අසම සම අත්දැකීම් මගින් තියුනු කරන ලද මිලිටරි සවිය” ගැන කාටර් කල්පනා කලා විය යුතුය.

ආසියාව තුල ඇමරිකානු සංධාන හා හවුල්කාරිත්වයන් ලැයිස්තුවක් සමගින් කාටර් බීජිනය බියගැන්වීමට උත්සාහ කලේය. ඔහු මුලින්ම සඳහන් කලේ ආසියාවේ සිය ප්‍රධාන සහචරයින් දෙදෙනා වන ජපානය හා ඕස්ට්‍රේලියාව ගැනය. වොෂින්ටනය බලාපොරොත්තු වන්නේ, චීනයට එරෙහි ඇමරිකාවේ මූලිකත්වයෙන් යුත් යුද්ධයකදී ඒ රටවල මිලිටරි බලය තමන්ට සහාය දක්වනු ඇතැයි කියාය. එක්සත් ජාතීන්ගේ අධිකරනය තුල ඇමරිකාවේ බලල් අත ලෙස කටයුතු කරන පිලිපීනය ඊලඟට පැමිනි අතර, ඒ පසුපස ඉන්දියාව, වියට්නාමය හා සිංගප්පූරුව පැමිනියේය. ඉන් පසුව ඇමරිකානු කඳවුරට එකතු කරන ලැබුවේ දකුනු කොරියාව, තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව හා ලාඕස් ය.

වොෂින්ටන් ජාලය “කිසිම නිශ්චිත රටක් එල්ල කර ගන්නේ නැති” බව කාටර් පැවසීය. ඉන් පසුව ඔහු වහාම පෙරට පැන්නේ, ඉලක්කය චීනය බව පෙන්නුම් කිරීමටය. “මුහුදේ, සයිබර් අවකාශයේ හා මෙම කලාපයේ ගුවන් පථය තුල චීනයේ කටයුතු පිලිබඳව, කලාපය තුල මෙන්ම මෙම ශාලාව තුල ද කනස්සල්ල වැඩෙමින් තිබේ” යයි ඔහු පැවසීය.

“ස්වයං-හුදෙකලාවේ මහා ප්‍රකාරයක් ගොඩනගා ගනිමින් චීනය අවසන් විය හැකි” යයි ඔහු තර්ජනය කලේය. සමුලුවට සහභාගීවූ මිලිටරි ආඥාපතීන් හා විශ්ලේෂකයින්ට මෙම ප්‍රකාශයේ ඇඟවුම් නිසැකවම වැටහෙනු ඇත. චීනයට එරෙහි යුද්ධය ගෙනයන්නේ කෙසේ ද යන ඇමරිකානු මිලිටරි සාකච්ඡාවන්හි හරි මැද ඇත්තේ, ඉන්දියානු හා පැසිෆික් සාගර අතර ඇති මූලික නෞකා මාර්ග ඇමරිකා හා ඔස්ට්‍රේලියානු නාවික හමුදා විසින් අවහිර කරනු ලැබ, චීනයට අමුද්‍රව්‍ය කරා පිවිසීමේ හැකියාව කපා හැර, එරට ආර්ථික බිඳවැටීමකට මග පෑදීම මුල්කරගත්, “ඈත මුහුදේ පාලනය” ලෙස හඳුන්වන මූලෝපායයි.

මෙම සැලැස්ම විස්තර කරමින් 2013 නොවැම්බරයේදී ඇමරිකානු ජාතික යුද විද්‍යාලයේ මාක් මොරිස්: “යුද්ධය ඇරඹී ඇමරිකාව හා එහි සහචරයින් ඈත මුහුද පාලනය කරයි. චීනයේ නාවික ආනයන හා අපනයන බෙහෙවින් නතරවනු ඇත. කම්හල් නිෂ්පාදනය අවහිරවී මිලියන ගනන් කම්කරුවන් රැකියා වලින් දොට්ට වැටෙයි. සංඛ්‍යා මිලියන දුසිම් ගනනක සිට සිය ගනන් කරා නැගෙනු ඇත. රැකියා සොයාගත නොහැකි විට ඔවුන් විරෝධතාවන්හි යෙදෙනු ඇත. දැන් චීන කොමියුනිස්ට් පක්ෂය රැකියා විරහිත මිලියන ගනන් කම්කරුවන්ට මුහුන දෙනු ඇත. ඔවුන් නොපෙනෙන සතුරෙකුට දොස් පැවරීමට උත්සාහ කරනු ඇත. පක්ෂය ගැන විශ්වාසය භංගවී නොසංසුන්තාව හා විරෝධතා උග්‍ර වනු ඇත. චීන කොමියුනිස්ට් පක්ෂය මහජන විමුක්ති හමුදාවට නාවික අවහිරය බිඳින ලෙස නියෝග කරනු ඇත. එහෙත් චීන මහජන විමුක්ති හමුදාව හා නාවික හමුදාව, ඒ සඳහා සුදුසු නාවික හමුදාවක් තමන් සතුව නැති බව කියනු ඇත. එබැවින් නියෝග පිලිපැදිය නොහැකි බව කියනු ඇත. නොසංසුන්තා වැඩී යනු ඇති අතර විරෝධතා පක්ෂ නායකයින්ට දිරවාගත නොහැකි වනු ඇත. චීන කොමියුනිස්ට් පක්ෂය, තමන් විදේශ බල්ලාට පාඩමක් උගන්වා ඇති බව කියමින් ජිනීවා (සාම) සමුලුවක් කැඳවීමට උත්සාහ කරනු ඇත.”

මොරිස් කියන පරිදි චීන තන්ත්‍රයේ යටත්වීම කෙසේ වෙතත්, චීනය මිලිටරිමය වශයෙන් “හුදෙකලා” කිරීමට දරන ඇමරිකානු සූදානම, චීනය යොමුකරනු ඇත්තේ, න්‍යෂ්ටික ප්‍රහාර ද ඇතුලු පූර්න පරිමාන යුද්ධයකටය. ෂංග්‍රිලා සමුලුව තුල බොහෝ අවස්ථාවලදී මෙය ප්‍රකාශවී තිබේ.

ජූනි 4දා පැවති අතුරු සාකච්ඡාවලදී කාටර් පැවසුවේ, එක්සත් ජාතීන්ගේ තහනම් නියෝගය නොතකා චීනය, චීන පාලනය යටතේ පවතින නමුත් පිලිපීනය ද හිමිකම් කියන, ස්කාබරෝ ගල් පර මත මිලිටරි ගොඩනැගීම් සිදුකලොත්, “එහි ප්‍රතිපලය වනු ඇත්තේ, එක්සත් ජනපදයේ මෙන්ම කලාපයේ අනෙක් අයගේ ද කටයුතු වලින් ආතතීන් උත්සන්න වීම පමනක් නොව චීනය හුදෙකලා වීම ද වනු ඇත.”

එදිනම, පසුව පැවති මාධ්‍ය හමුවකදී කාටර් මෙන්ම අද්මිරාල් හැරිස් ද කතාකරමින් පැවසුවේ, “හැකිතාක් දුරට චීනය සමග සියලු විෂයයන් අරභයා සහයෝගය අපට අවශ්‍යය... එහෙත් සීමා මායිම වන්නේ, බලන්න, හැකි සෑම විටම සහයෝගයෙන් කටයුතු කිරීමට අපට අවශ්‍ය නමුත් අවශ්‍ය වුවහොත් මිලිටරි ගැටුමකට වුවත් අප සූදානම්ය.”

දෙදෙනාම අවධාරනය කලේ, “නාවික ගමනාගමනයේ නිදහස” යන කඩතුරාව යටතේ චීනය හිමිකම් කියන භූමිභාගයන් වෙත මිලිටරි මෙහෙයුම් තවත් දැඩි කරන බවයි.

ජූනි 05දා චීන අද්මිරාල් සුන්, ප්‍රවේසමෙන් සකස් කල ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රතිචාර දැක්වීය. චීනයට එරෙහි පිලිපීනයේ එක්සත් ජාතීන්ගේ ප්‍රශ්නය ගැන සඳහන් කරමින් සුන් මෙසේ පැවසීය: “සමහර අධිපතිවාදී රටවල්, විශාල රටවලට එරෙහි ප්‍රකෝපකරනයන් සඳහා කුඩා රටවලට බලය පවරා ඇත. චීනය ප්‍රතිවිපාක සම්බන්ධයෙන් වගකීම දරන්නේ නැත. එසේම එරට සිය ස්වෛරීත්වය හා ආරක්ෂක අවශ්‍යතා පලුදු කිරීමට හෝ සමහර රටවල් දකුනු චීන මුහුදේ වින්නැහියන් නිර්මානය කරන විට ඔහේ බලාසිටින්නේ ද නැත.”

ඇමරිකාව හා චීනය සටන් පෙරමුනේ සීමා නීර්නය කරද්දී අනෙකුත් රටවල නියෝජිතයෝ ද සිය ආස්ථානයන් නීර්නය කලහ. ප්‍රන්ස ආරක්ෂක ඇමති ලේ ඩ්‍රයන් ඇමරිකාව සමග පෙල ගැසෙමින්, දකුනු චීන මුහුදේ “නාවික ගමනා ගමනයේ නිදහස” ආරක්ෂා කිරීමට යුරෝපීය සංගමයට කැඳවුම් කලේය. “අප ගැටුමක් පිලිබඳ අවදානම මගහැරිය යුතු නම්, මෙම අයිතිය ආරක්ෂා කල යුතු අතර එය අප විසින්ම ආරක්ෂා කල යුතුය.”

ඕස්ට්‍රේලියානු විදේශ ඇමති ජූලි බිෂොප් ලිඛිත ප්‍රකාශයකින් කාටර්ගේ කථාව අනුමත කරමින්, කැන්බරාවේ සහයෝගය ගැන සහතික වූවාය. “ලෝකය වඩාත් එකිනෙකට සම්බන්ධ වෙමින් නිදහස් වෙද්දී, ඕස්ට්‍රේලියානු හා ඇමරිකානු සන්ධානය අවශ්‍යයෙන්ම ගෝලීය වන්නේය. දකුනු චීන මුහුදේ ආරවුල් පිලිබඳ ඕස්ට්‍රේලියාවේ ආස්ථානය දිගු කලක් තිස්සේ පැහැදිලිය, එය චීනය ද ඇතුලු සියලු රටවල් හොඳින් දැන සිටියි.”

සමුලුව අමතමින් ජපන් ආරක්ෂක ඇමති ජෙන් නටාකානි චීනයට චෝදනා කලේ, “ගෝලීය නියමයකට අනුව කරන පාලනයට අභියෝග කිරීම” ගැනය. එය වනාහි, වොෂින්ටනය හා එහි සහචරයින් විසින් චීනය ඇමරිකානු මිලිටරි බලයට හා දේශපාලන ආධිපත්‍යයට යටත් විය යුතු බව අවධාරනය කරනු පිනිස යොදාගන්නා යෙදුමකි. සමුලුවේ පැත්තක සිට ජපානය, ඉන්දියාව හා ඇමරිකාව, ඉන්දියානු හා පැසිෆික් සාගරවල “ත්‍රයිපාර්ශවික” මිලිටරි සහයෝගිතාව ඉහල නැංවීම පිනිස ගිවිසුමක් අත්සන් කලේය.

වියට්නාමයේ ආරක්ෂක ඇමති නියුයෙන් වින්, චීනයේ අද්මිරාල් සුන් අසල වාඩිවී සිටිමින්, වඩාත් කෙලින් පැවසුවේ, ෂංග්‍රිලා සාකච්ඡාවන්ගෙන් ගලා එන නිගමනය නම්, චීනය යටත්වීම ප්‍රතික්ෂේප කරන්නේ නම් තත්වය, “මිලිටරි ගැටුමකට තුඩුදෙනු ඇති” බවය.

Share this article: