ආන්ඩුව සමග සම්මුතියකින් වෛද්‍ය සංගමය විරෝධතා නතර කරයි

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2016 ජූනි7

පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් දීමේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය අත්තනෝමතික ලෙස කටයුතු කිරීමට විරුද්ධව රජයේ වෛද්‍යවරු ඇරඹූ විරෝධතාව පැතිරී යතැයි බියවූ ආන්ඩුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (රවෛනිස) සමග ඇතිකර ගත් සම්මුතියකින් එය කෙලවර කර ගැනීමට ජුනි 1 දා පියවර ගත්තේය.

වෛද්‍යවරුන් මැයි 31 වෙනි දා පෙරවරු 8 සිට 12 දක්වා පැය 4 ක සංඛේත වර්ජනයක නිරත වූයේ වෛද්‍ය සංගමයේ එකඟතාවය ඇතිව සකස් කල 2016 සීමාවාසික වෛද්‍ය පත්වීම් ලැයිස්තුව අමාත්‍යංශ බලධාරීන් විසින් වෙනස් කිරීමට එරෙහිව ය. සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න සමග බදාදා පැවති සාකච්ඡාවේ දී පත්වීම් ලැයිස්තුව රවෛනිස යෝජනා සහිත ව යලි සංශෝධනය කිරීමට ඇති කරගත් සම්මුතියකට අනුව වෛද්‍ය සංගමය විරෝධතා ව්‍යාපාරය නතර කලේ ය.

මේ දක්වා වෛද්‍ය පත්වීම් සහ මාරුකිරීම් සිදු වූයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ රවෛනිස පොදු එකඟතාවය ඇතිව ය. මෙය වෛද්‍යවරුන් තම සේවා අයිතීන් රැක ගැනීමට යොදා ගත් ක‍්‍රමයකි. මෙම ක‍්‍රමය වෘත්තීය සමිතියේ අධිකාරය පවත්වා ගැනීමට රවෛනිස යොදා ගත්ත ද, එය නොතකා තමන්ගේ අභිමතය අනුව කටයුතු කිරීමට අමාත්‍යංශ බලධාරීන් ක‍්‍රියා කලේ සෞඛ්‍ය අංශයේ කප්පාදුව සඳහා ආන්ඩුව උසි ගන්වන ප‍්‍රහාර ක‍්‍රියාත්මක කිරීමේදී වෛද්‍යවරුන්ගේ හෝ අනෙකුත් සෞඛ්‍ය සේවකයන්ගේ අවශ්‍යතා ගනන් නොගන්නා බව පෙන්වමිනි.

දුෂ්කර පාලාත්වල රෝහල්වල වෛද්‍ය හිඟය පියවීම සඳහා ආන්ඩුව ගන්නා පියවරට වෛද්‍යවරුන්ගේ විරෝධය එල්ල වී ඇතැයි පෙන්වීමට ඇමති සහ සෞඛ්‍ය බලධාරීන් තැත් කලහ. විරෝධතා ව්‍යාපාරය කඩාකප්පල් කිරීම සඳහා වෛද්‍යවරුන්ට එරෙහිව තර්ජනය කරමින් ඔවුන් මාෆියා නඩයක් ලෙස නම් කොට ප‍්‍රකෝපකරනයන් ඇවිස්සීමට ඇමති සේනාරත්න සහ ආන්ඩුව උත්සාහ කලේ ය. පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයෙක් සහ ඇමතිගේ පුතෙකු වන චතුර සේනාරත්න වෛද්‍යවරුන්ගේ ගෙවල් වටකර “බේත” දිය යුතු යැයි මාධ්‍යවලට ප‍්‍රකාශ කරමින් වර්ජිත වෛද්‍යවරුන්ට එරෙහිව මැර ප‍්‍රහාර ගැන අනතුරු ඇඟවූයේය.

ආන්ඩුවත් සමග පෙල ගැසී සිටින විශේෂඥ වෛද්‍ය සංගමය, බහුවිධ පුහුනු වෛද්‍යවරුන්ගේ සංගමය හා සෞඛ්‍ය සේවා ඒකාබද්ධ කමිටුව වෛද්‍ය විරෝධතාවට එරෙහිව ආන්ඩුව සමග විවෘත ව පෙල ගැසුනේ ය. වෛද්‍ය වර්ජනය සෞඛ්‍ය ඇමති ඉවත් කිරීමේ කුමන්ත‍්‍රනයක් ලෙස නම් කල ඒකාබද්ධ කමිටුව ඔහු සෞඛ්‍ය සේවාවේ සියල්ලන් වෙනුවෙන් “පෙනී සිටින්නෙකු” ලෙස වග වර්නනා කලේ ය. සෞඛ්‍ය සේවා ඒකාබද්ධ කමිටුවේ නායකයෝ මෛත‍්‍රිපාල සිරිසේන-රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒමට දරදිය ඇදි අය අතර වුහ.

ආන්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පිලිවෙත හුදෙක් සෞඛ්‍ය ඇමතිගේ හා ඔහුට පක්ෂපාති සෞඛ්‍ය බලධාරීන්ගේ ක‍්‍රියාවක් ලෙස දැක්වූ වෛද්‍ය සංගමය ගැටලූව විසඳීම සඳහා මැදිහත් වන ලෙස ආයාචනා කල ලිපියක් මැයි 30 ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනට යැවුවේය. පසුගිය මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ සෞඛ්‍ය ඇමතිව සිටිය දී නරක ම වර්ගයේ වෘත්තීය සමිති “මාෆියාවක්” ලෙස සෞඛ්‍ය අංශයේ වෘත්තීය සමිතිවලට පහර ගැසූ සිරිසේන, සෞඛ්‍ය සේවකයන්ගේ අරගල කඩාකප්පල් කිරීම සඳහා හමුදාව යෙදවූයේය.

ඇමති සමග සාකච්ඡාවෙන් පසු දෙපාර්ශවයට ම සුහදශීලී විසඳුමකට එලඹීමට හැකි වූ බව වෛද්‍ය සංගමය ප‍්‍රකාශ කර ඇත. සෞඛ්‍ය සේවා කප්පාදුවට පසුගිය හා වත්මන් ආන්ඩුව ගෙන යන වැඩ පිලිවෙලට රවෛනිස හා එහි දක්ෂිනාංශික නිලධරය විරුද්ධ නැත. සීමාවාසික පත්වීම් සම්බන්ධයෙන් ආන්ඩුව අත්තනෝමතිකව ක‍්‍රියා කිරීම නිදහස් සෞඛ්‍ය සේවය කප්පාදු කිරීමට සහ කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍රිය අයිතීන්ට එල්ල කරන ප‍්‍රහාරවල කොටසකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ අනුව සමාජ සුබසාධන කප්පාදුව ආන්ඩුවේ ආර්ථික න්‍යාය පත‍්‍රයට අඩංගු වේ.

වෛද්‍ය හා විශේෂඥ වෛද්‍ය මෙන් ම හෙද වෘත්තිකයන් සෙසු සෞඛ්‍ය වෘත්තිකයන්ගේ බරපතල හිඟයක් ඇත. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ට අනුව වෛද්‍ය පුරප්පාඩු 3534 ඇත. මෙවර සීමාවාසික පත්වීම් ගනන 1065 ක් පමනි. හෙද සේවක හිඟය 20,000 අධිකය. අත්‍යවශ්‍ය බෙහෙත්, වෛද්‍ය උපකරන, පර්යේශන රසායනාගාර නේවාසික වාට්ටු, ඇඳන් ප‍්‍රමානවත් තරම් නැත.

දුෂ්කර ප‍්‍රදේශවල සේවයට යොදවන වෛද්‍යවරුන් සඳහා නිල නිවාස ඇතුලූ අවශ්‍ය මූලික පහසුකම් පවා නැති බව සීමාවාසික පත්වීම් ලාභීහු ලෝක සමාජවාදී වෙබ් අඩවි වාර්තා කරුවන්ට පැවසුහ. ඔවුන් සඳහන් කලේ, නිල නිවාස නැති විට තමන්ගේ වියදමින් නිවාස කුලියට ගත යුතු අතර ඒ සඳහා කිසිදු දීමනාවක් නො ගෙවන බවත් රාජකාරි අවශ්‍යතා සඳහා ප‍්‍රවාහන පහසුකම් පවා තමන් විසින් සපයා ගත යුතු බවයි.

උතුරු-නැගෙනහිර පත්වීම් ලබන සීමාවාසික වෛද්‍යවරුන්ට වසර දෙකක දී හා සෙසු දුෂ්කර ප‍්‍රදේශ වලට අනුයුක්ත කරන අයට වසර පහක දී තමන් කැමති ප‍්‍රදේශයකට මාරුවීමක් ලබා ගැනීමේ හැකියාව තිබුනත් මෙවර එවන් සහතිකයක් නැති බව ද, එම අයිතිය අහෝසි කලොත් සම්පත් හා පහසුකම් වැඩි වශයෙන් බස්නාහිර පලාතට සීමා වී ඇති තත්වයක් තුල වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා සීමාවන් පැනවෙන බව ද සීමාවාසික පත්වීම් ලාභීහු වැඩි දුරටත් සඳහන් කලහ.

නව වෛද්‍ය පත්වීම් ලබන්නන් මුහුන දෙන ප‍්‍රශ්න සෞඛ්‍ය සේවාවේ අනෙකුත් ප‍්‍රශ්න මෙන්ම ආන්ඩුවට බලපෑම් දමා විසඳිය හැකි ඒවා නොවේ. පුද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමට “විරුද්ධ බව” පවසන වෛද්‍ය සංගමය නමුත් සෞඛ්‍ය සේවය පුද්ගලීකරනය කිරීම සම්බන්ධයෙන් හා වියදම් කප්පාදුව මගින් සෞඛ්‍ය සේවකයන්ට මෙන් ම මහ ජනතාව මුහුන පා ඇති දුෂ්කරතා සම්බධයෙන් නිහඬය.

ලංකාවේ හා ඉන්දියාවේ ධනපති පාලක පන්තීන්ගේ ආර්ථික හා භූ-දේශපාලනික උවමනාවන් මත දෙරටේ ආන්ඩු අතර අත්සන් කිරීමට නියමිත ආර්ථික ගිවිසුමට (එට්කා) එරෙහි උද්ඝෝෂනයේ මූලිකත්වය ගෙන සිටින එක සංවිධානයක් වන්නේ වෛද්‍ය සංගමයයි. එය ඔවුන් හරවා ඇත්තේ දෙරටේ කම්කරුවන් භේද කරන ජාතිකවාදී ඉන්දියානු විරෝධී උද්ඝෝෂනයක් බවටයි.

සංගමයේ සභාපති වෛද්‍ය පාදෙනිය ඇතුලු නිලධරයේ නිලධාරිවාදි පිලිවෙත්වලට විරුද්ධව යයි කැඞී ගිය විශේෂඥ වෛද්‍යවරුන් සහ බහුවිධ පුහුනු වෛද්‍යවරු දැන් වෙන වෙන ම සංගම් පිහිටුවා ගෙන සිටිති. එකී සංගම් ද ක‍්‍රියාත්මක වන්නේ සිය වරප‍්‍රසාද රැක ගැනීමට මිස නිදහස් සෞඛ්‍ය සේවය ආරක්ෂා කර ගැනීමේ කවර හෝ වුවමනාවක් ඇතිව නො වේ. වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හා සෞඛ්‍ය අංශයේ අනෙකුත් සංගම් ශ්‍රේනිවාදී කාකොටා ගැනීම්වලින් සාමාජිකත්වය භේද කිරීමේ යෙදී සිටින්නේ ආන්ඩුවේ ප‍්‍රහාරවලට එරෙහිව ඔවුන් පලල් කම්කරු පන්තිය සමග එකමුතු කිරීමට එරෙහිව ය.

කෙසේ වුවද, ආන්ඩුවේ කප්පාදු වැඩ පිලිවෙලේ කොටසක් ලෙස රාජ්‍ය සෞඛ්‍ය අංශයට එල්ල වන ප‍්‍රහාර තවත් ගැඹුරු වීමට නියමිත තතු තුල ඒවාට එරෙහිව වෘත්තීය සමිතිවල හිර කිරීම් බිඳිමින් බරපතල අරගල පුපුරා ඒමට නියමිත ය. නව පත්වීම් දීමේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් පියවරට එරෙහිව වෛද්‍යවරුන් අතර පැන නැගි විරුද්ධත්වය ඒ පිලිබඳ ඉඟියකි.

Share this article: