වෙලඳාම, ආයෝජන පිලිබඳ බීජිං සාකච්ඡා වලදී ඇමරිකාව, චීනයට බලපෑම් කරයි

US confronts China over trade, investment in Beijing talks

පීටර් සිමන්ඩ්ස් විසිනි, 2016 ජූනි 07

වාචික ප‍්‍රහාර එල්ල කර ගත්, සිංගප්පූරුවේ පැවති ආරක්ෂක කටයුතු පිලිබද සාකච්ඡාවලින් දින කිහිපයක් ගතවෙද්දී, ඉහල පෙලේ ඇමරිකානු හා චීන නිලධාරීහු, බීජිංහිදී සිය වාර්ෂික මූලෝපායික හා ආර්ථික සාකච්ඡාවන්ට සහභාගී වෙති. රැස්වීම 06දා ආරම්භවූ අතර දකුනු චීන මුහුදේ ආතතීන් නැගී එද්දී, වෙලඳාම හා ආයෝජන ප‍්‍රශ්න පෙලක් මත ද ඔවුන් ගැටුමක පැටලී ඇත.

ඇමරිකානු භාන්ඩාගාර ලේකම් ජැකොබ් ලිව්, චීනය අධි ධාරිතාව කපාහැරිය යුතුය යන අධිපතිවාදී ඉල්ලීම් සමගින් රැස්වීමේ තානය ගෙනහැර දැක්වීය. “අතිරික්ත ධාරිතාව, ගෝලීය වෙලඳපොල වලට හානිකර හා විකෘති සහගත තත්වයකි” යි ඔහු පැවසීය. ඔහු චීනයට කියා සිටියේ, “වානේ හා ඇලුමිනියම් ඇතුලු අධි ධාරිතාවෙන් බැට කන අංශ ගනනාවක නිෂ්පාදනය සැලකිය යුතු තරමින් පහත හෙලිය යුතු” බවය.

දිග්ගැස්සෙන ගෝලීය පල්වීම හමුවේ ඇමරිකාව, ආර්ථික අර්බුදයේ බර චීනය මතට මාරු කිරීමට උත්සාහ කරමින්, ආරක්ෂනවාදී පියවර ගැනීමට තර්ජනය කරයි. ඇමරිකාව මාර්තු මාසයේදී, පිරිවැයට වඩා පහත මිලකට අලෙවි කරන බවට චෝදනා කරමින් සමහර චීන වානේ නිෂ්පාදකයින් මත සියයට 266ක තීරුබදු පැනවීය. පසුගිය මාසයේදී ඇමරිකානු වානිජ්‍ය දෙපාර්තමේන්තුව, විවිධ චීන ආනයනයන් මත සියයට 450ක හා 522ක අමතර තීරුබදු පැනවීය.

චීනයේ කාර්මික අධි ධාරිතාව “ලොව පුරා බොහෝ කථාබහට ලක්ව ඇති” බව කියා සිටිමින්, ආන්ඩුවේ ප‍්‍රතිපත්ති ආරක්ෂා කිරීමට චීන මුදල් ඇමති ලෝ ජිවේ ඉදිරිපත් විය. චීනය පසුගිය වසරේදී වානේ නිෂ්පාදනය ටොන් මිලියන 100න් කපාහැරිය බව හා තවත් දේ කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය. 2008-09 ගෝලීය මූල්‍ය අර්බුදය අවධියේ දැවැන්ත යටිතල උත්තේජක පැකේජයක් මුදා හැරීමට පියවර ගත් අවස්ථාවේ, ජාත්‍යන්තර වශයෙන් චීනයට ප‍්‍රසංශා හිමිවූ අතර, ඉක්බිති වසර තුන තුල චීනය, ගෝලීය ආර්ථික වර්ධනයෙන් අඩකටත් වැඩි පංගුවකට වග කිවූ බව ඔහු පෙන්වා දුන්නේය. “දැන් ඔබ චීනයේ අධි ධාරිතාව වෙත ඇඟිල්ල දිගු කරයි. එසේනම් ඔබ එවකදී කියා ඇත්තේ කුමක්දැයි” ඔහු ප‍්‍රශ්න කලේය.

චීනය දැනට ලෝක වානේ නිෂ්පාදනයෙන් අඩකටත් වැඩි පංගුවකට වග කියයි. පසුගිය වසරේ එහි අපනයන පමනක් වෙනත් ඕනෑම වානේ නිෂ්පාදකයෙකුට වඩා වැඩි විය. වෙලඳ ප‍්‍රති ප‍්‍රහාර එල්ල වීමේ තර්ජනයට මුහුන දෙමින් චීන ආන්ඩුව, මිලියන 1.3ක ගල් අඟුරු කම්කරුවන්ගේ ද 500,000ක් වානේ කම්කරුවන්ගේ ද රැකියා මිලියන 1.8ක් කපා හරින, ගල් අඟුරු හා වානේ කර්මාන්තයන්හි අධි ධාරිතාව කපා හැරීමේ සැලසුම් මාර්තුවේදී නිවේදනය කලේය.

නැගෙන විරැකියාව මගින් ජනනය කරන සමාජ නොසංසුන්තා ගැන බීජිනය බියපත්ව සිටින තතු හමුවේ, ඇමරිකානු වෘත්තීය සමිතිවල පූර්න සහාය ඇතිව ඔබාමා පාලනය, තව තවත් ගැඹුරු විනාශයන්ට යා යුතු යයි චීන ආන්ඩුවට දැන් බලපෑම් කරයි. දැනටමත් චීනයේ වර්ධන වේගය 2010 සියයට 10 සිට දැන් සියයට 6.5 දක්වා තියුනු ලෙස පහත වැටී තිබේ.

එසේම ඇමරිකානු වෙලද නියෝජිතයා, ඇමරිකානු සමාගම් වලට බලපාන නියාමන බාධක අඩුකල යුතුය නැතහොත් අහෝසි කල යුතු යයි කියා සිටියේය. “විදේශීය ව්‍යාපාර තමන් සාදරයෙන් පිලිගනු ඇතැයි යන්න විශ්වාස නොකරන තරම්, එන්ට එන්ටම දැඩි වන නියාමන වාතාවරනයකට චීනය තුල මුහුන දෙයි.” සාකච්ඡාවන්ට පෙරාතුව ඇමරිකානු වෙලඳ මන්ඩලය කියා සිටියේ, 'අපැහැදිලි නීති හා අස්ථාවර අර්ථකතනයන්ගේ' ප‍්‍රතිපල වශයෙන් සිය සාමාජිකයින්ගෙන් සියයට 77ක් හොඳ පිලිගැනීමක් නැති බව වටහා ගනිති” යනුවෙනි.

ඇමරිකානු ආයෝජකයින්ට සමීප චීන ආර්ථික අංශවල ලැයිස්තුව හෙවත් “රිනාත්මක ලැයිස්තුව” සංශෝධනය කරන ලෙස වොෂින්ටනය බීජිනයට දැඩි බලපෑම් කරයි. කලින් පැවති ලැයිස්තුවට අංශ 40ට වැඩි ගනනක් අයත් විය. 2008 පටන් සාකච්ඡාවට බඳුන්වන ද්විපාර්ශවික ආයෝජන ගිවිසුමේ කොටසක් ලෙස සැලකිය යුතු අඩුවීමක් සිදුවිය යුතු බව ඇමරිකානු නියෝජිතයෝ පවසති. චීන උප අගමැති වැන් යෑන් ඇඟවුම් කර ඇත්තේ බීජිනය නව “රිනාත්මක ලැයිස්තුවක්” ලබන සතියේදී ඉදිරිපත් කරන බවයි.

ඇමරිකානු-චීන සම්බන්ධතා මුහුන දෙන වඩ වඩාත් දුෂ්කර වන කොන්දේසි, චීන ජනාධිපතිගේ රාජ්‍යතාන්ත‍්‍රික සීමාවන් පිලිබඳ අනතුරු ඇඟවීමේ ප‍්‍රකාශ තුල පිලිබිඹු විය. “සමහර මතභේද දැඩි වෙහෙසක් දරා විසඳාගත හැකිය” යි ඔහු ද්විපාර්ශවික රැස්වීමට පැවසීය. “සමහර මතභේද මේ අවස්ථාවේදී විසඳාගත නොහැකිය”.

සී හුදෙක් ඔබාමාගේ අවසන් වෙමින් ඇති දෙවන ධුර කාලය හා ඔහුගේ පාලනය යටතේ පැවැත්වෙන අවසාන සාකච්ඡාව ගැන සඳහන් කරනවා නොවේ.

ඊට වෙනස් ලෙස වොෂින්ටනයේ වෙලඳ යුද්ධ න්‍යායපත‍්‍රය, චීනයට එරෙහි යුද්ධය සඳහා සූදානම ද ආසියා පැසිෆික් කලාපය පුරා ගොඩනගන මිලිටරි වැඩපිලිවෙල ද සමග අතිනත ගෙන ගමන් කරයි. ඇමරිකාවේ ආර්ථික හා මූලෝපායික අවශ්‍යතාවන්ට චීනය යටත්කර ගැනීමේ අරමුන සහිත ඔබාමාගේ “ආසියාවට හැරීම” පසුගිය සය වසර පුරා ආසියාවේ ආතතීන් නාටකාකාර ලෙස ඉහල නංවා ඇත.

දකුනු චීන මුහුදු ප‍්‍රදේශය තුල තරම් වෙන කොහේදීවත් දක්නට නැති එම තත්වය හමුවේ ඇමරිකාව, විශේෂයෙන්ම පිලිපීනය හා වියට්නාමය ඇතුලු චීන අසල්වැසියන් හා චීනය අතර විභේදනය ගැඹුරු කිරීමේ මාධ්‍යයන් ලෙස, දිගු කලක් තිස්සේ පුපුරු ගසමින් ඇති භෞමික මතභේද හිතාමතාම අවුලුවනු ලබයි.

චීනයේ නාවික හිමිකම් වලට අභියෝග කරමින්, හේග් නුවර ජාත්‍යන්තර අභියාචන අධිකරනය වෙත පිලිපීනය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති, ඇමරිකාවේ අනුග‍්‍රහය ලබන නඩුවේ තීන්දුව, මේ මාසය තුල දීමට නියමිතය. එම තීන්දුව මතභේද තවත් උග‍්‍ර කිරීමේ තර්ජනය මතු කරයි. එය ගැටුමකට තුඩු දිය හැකි සිදුවීම් පිලිබඳ අවදානම දැඩි කරයි. චීනය එම අධිකරන තීන්දුව පිලිගැනීම ප‍්‍රතික්ෂේප කර තිබේ.

06දා බීජිනයේදී කථා කරමින් ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, ඇමරිකාවට අවශ්‍ය වන්නේ, “දකුනු චීන මුහුදේ ආරවුල් වලට සාමකාමී විසඳුමක් බවත්, කුමන රටක් හෝ ඒකපාර්ශවික කටයුතු තුලින් අර්බුද විසඳා ගැනීම තමන් අනුමත නොකරන බවත් පැවසීය.” මේ කථා මුලුමනින්ම කුහකය. චීනය හිමිකරගෙන සිටින දිවයින් වටා නාවික සැතපුම් 12 භෞමික සීමාව තුලට ප‍්‍රකෝපකාරී ලෙස තෙවරක් ඇමරිකානු යුද නැව් පිටත්කර හරිමින්, චීනයේ භෞමික හිමිකම් පෑමට සෘජු ලෙස අභියෝග කරන වොෂින්ටනයේ ඒකපාර්ශවික පියවර හමුවේ එසේය.

ඇමරිකානු භාන්ඩාගාර ලේකම්ගේ වෙලඳ යුද්ධ ප‍්‍රකාශ, සිංගප්පූරුවේ ෂංග‍්‍රිලා සාකච්ඡා වටයේදී පසුගිය සති අන්තයේ ආරක්ෂක ලේකම් ඇෂ්ටන් කාටර් කල ප‍්‍රකාශයන්ට අනුකූලය. “මුහුදේ, සයිබර් අවකාශයේ හා කලාපීය ගුවනේ චීන කටයුතු පිලිබඳව” වැඩෙන කනස්සල්ලක් පවතින බව කාටර් පැවසීය. එසේම “චීනය මහා ප‍්‍රකාරයක් ඉදිකර ගනිමින් ස්වයං හුදෙකලාවක අවසන් විය හැකි” බවට ඔහු අනතුරු ඇඟවීය.

කාටර් මිලිටරි ප‍්‍රතිචාරයක් පිලිබඳ නොසැඟවුනු තර්ජනයක් එල්ල කලේය. ආසියා පැසිෆික් ප‍්‍රදේශය තුල ඇමරිකාව තමන්ගේ අති නවීන අවි තොග ස්ථානගතකර ඇති බව හා ඇමරිකාව සතු “මිලිටරි බලයට සමාන ශක්තියක් ගොඩනැගීමට කුමන අයෙකුට” හෝ දශක ගනනක් ගතවනු ඇති බවට ඔහු කයිවාරු ගැසීය. චීන අද්මිරාල් සුන් ජියැන්යු ඊට ප‍්‍රති උත්තර වශයෙන් පැවසුවේ “අපි අතීතයේ හුදෙකලා නොවූයෙමු, දැන් ද හුදෙකාලාව නොසිටිමු, අනාගතයේ ද අපි හුදෙකලා නොවන්නෙමු” යනුවෙනි.

මිලිටරි හා ආර්ථික යන පෙරමුනු දෙකේම සටන් සීමා නීර්නය කරගෙන ඇත. සිය දිගු කාලීන පරිහානිය නිසා හුදෙක් ආර්ථික කොන්දේසි නියම කිරීමට අසමත්ව සිටින ඇමරිකාව, සිය ඉදිරි මග පාදාගැනීමට උත්සාහ කරන්නේ මිලිටරි ශක්තිය යොදාගනිමිනි. මෙයින් සිදුවන්නේ, දකුනු චීන මුහුදේ හෝ එවන් තවත් ආතති සහගත තැනක ඇතිවිය හැකි සුලු සිද්ධියක් පාලනය කල නොහැකි ගැටුමක් බවට පත්වීමය.

Share this article: