වතු කම්කරුවෝ වෘත්තීය සමිති සහ ආන්ඩුව කෙරෙහි විරුද්ධත්වය ප‍්‍රකාශ කරති

එම්. දේවරාජා සහ එස්. අජන්තන් විසිනි, 2016 මාර්තු 08

වතු සමාගම්, ධනපති ආන්ඩුව සහ වෘත්තීය සමිති කෙරෙහි කම්කරුවන් තුල මෝදු වෙමින් පවතින බලවත් විරුද්ධත්වය සමාජවාදී කි‍්‍රයා මාර්ගයට සටන් කිරීමේ දැවෙන අවශ්‍යතාව පෙන්නුම් කරයි.

වතු සමාගම්වල හා ආන්ඩුවේ මර්දනයට ද වෘත්තීය සමිතිවල පාවාදීමට ද එරෙහිව රැකියා, වැටුප් හා යහපත් සේවා කොන්දේසි දිනා ගැනීම සඳහා සමාජවාදී කි‍්‍රයා මාර්ගයක් සාකච්චා කිරීමට සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) මාර්තු 13 වෙනිදා හැටන් නගර ශාලාවේ පැවැත්වීමට නියමිත රැස්වීමට වතු කම්කරුවන් අතරින් බලගතු සහයක් ගොනුවෙමින් පවතී.

පසුගිය සතියේ සසප උද්ඝෝෂන කන්ඩායමක් නුවර-එලිය මහඌව, වලපනේ, ඉන්ජෙස්ටර් සහ ෆෝර්ඩිසි යන වතු වල උද්ඝෝෂනයේ යෙදුනි. මෙම වතු හැම එකක දී ම කන්ඩායම් වසයෙන් අප උද්ඝෝෂකයන් වටා රොක් වූ කම්කරුවෝ වැටුප් වැඩි නොකිරීම හා රුදුරු සේවා කොන්දේසි තමන් මත පැටවීමට වතු සමාගම් ගෙනයන වැඩ පිලිවෙල කෙරෙහි සිය විරුද්ධත්වය ප‍්‍රකාශ කලහ. වෘත්තීය සමිති සහ ආන්ඩුව එම වැඩ පිලිවෙලට සහාය දීම ඔවුන්ගේ බරපතල අප‍්‍රසාදයට ලක් විය.

ඔවුන් හැම කෙනෙක් ම පොදුවේ ආන්ඩුවට සහ වෘත්තීය වතු සමිති වලට මෙලෙස චෝදනා කලහ. “අපි චන්දෙ දුන්නේ මේ ආන්ඩුවට. නුමුත් ආන්ඩුවයි, ආන්ඩුවට සහයෝගය දෙන සමිතියි අපිව රවට්ටනවා විතරක් නෙමෙයි අපට විරුද්ධව වැඩකරනව, චන්දෙට කලින් හැම සමිතියක් ම පොරොන්දු වුනා දවසේ පඩිය රුපියල් 1,000 කරලා දෙන්න. චන්දෙන් පස්සේ ඒ ගොල්ල අපිව සම්පූර්නයෙන් ම අමතක කලා. දැන් ඒ ගැන කතා කරන්නේවත් නැහැ. කලින් සාමූහික ගිවිසුම අහෝසි වෙලා අවුරුද්දක් වෙනව. වැටුප් වැඩිවීමක් අපට නො ලැබුනා විතරක් නෙමෙයි, කලින් අපට තිබුන සහන කපන ගමන් වැඩ ප‍්‍රමානයත් වැඩි කරනවා.”

මහඌව වත්තේ උද්ඝෝෂනයෙන් පසුව එහි කම්කරුවන් 20 කට වැඩි දෙනෙකු සසප සාමාජිකයන් සමග සාකච්ඡාවක ට සහභාගී වුහ. එහි දී චන්ද්‍රලේහන් නමැති කම්කරුවා මෙසේ පැවසුවේ ය. “ඔක්තෝබර් මාසේ 22 පටන් ආදායම බෙදා ගැනීමේ අලුත් වැටුප් ක‍්‍රමය කි‍්‍රයාවට දැම්ම. අපි ඒක නතර කරන්න විවිධ ක‍්‍රම වලට සටන් කලා. ඒ නිසා මාස තුනක් මට හිරේ තපින්න වුනා .”

අනෙකුත් කම්කරුවන් පොදුවේ පල කල අදහස් මෙසේය: “මේ වත්තේ ලංකා කම්කරු කොන්ග‍්‍රසයේ (සීඩබ්ලිව්සී), ජාතික කම්කරු සමිතියේ (එන්යූඩබ්ලිව්) සහ කඳුරට ජනතා පෙරමුනේ (යූපීඑෆ්) සාමාජිකයන් ඉන්නවා. රුපියල් 30,000 විතර ගෙවල වාහනයක් කුලියට අරගන මේ සියලුම සමිති නායකයන් හමුවෙන්න අප ගියා. පලක් වුනේ නැහැ. කිසිම වෘත්තීය සමිතියක් අලුත් ක‍්‍රමය නතර කරන්න ඉදිරිපත් වුනේ නැහැ. ඒ වෙනුවට ඔවුන් වතු පාලකයන් එක්ක එකතු වෙලා ඒක කි‍්‍රයාවට දාන්න වැඩ කලා. එන්යූඩබ්ලිව් නායක දිගම්බරම් හමුවෙන්න අප එයාගේ කොලඹ ගෙදරට ගියා. ඔහු පොරොන්දු වුනා චන්දෙන් පස්සේ වත්තේ පාලකයන් හමුවෙලා ඒ ගැන කතා කරනවා කියල. නමුත් පැත්ත පලාතේ ආවේ නැහැ. සමිති නායකයන්ගේ පාවා දීමෙන් ශක්තිය අරගෙන වතු පාලකයෝ දැන් කොන්ත‍්‍රාත් ක‍්‍රමය කි‍්‍රයාවට දානවා.”

නව කොන්ත‍්‍රාත් ක‍්‍රමය ලෝක ධනවාදයේ ගැඹුරුවන පසු බැස්ම තුල ශී‍්‍ර ලංකාවේ තේ වතු සමාගම් මුහුන දී තිබෙන අර්බුදයේ බර කම්කරුවන් මත පැටවීමේ උත්සාහයක් බවත් වෘත්තීය සමිති සහ ආන්ඩුව වතු සමාගම්වල සැලැස්ම කි‍්‍රයාවට දැමීමට ඍජුව ම සහය දෙන්නේ මෙම තත්වය තුල බවත් සසප සාමාජිකයෝ ඔවුන්ට විස්තර කලහ. ආන්ඩුව කි‍්‍රයාවට දමන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නියම කර තිබෙන කම්කරුවන්ගේ අයිතීන් කප්පාදු කිරීමේ වැඩ පිලිවෙලක් බව පෙන්වා දුන් ඔවුහු, වෘත්තීය සමිතිවලින් බිඳී කම්කරුවන්ගේ ස්වාධීන කි‍්‍රයාකාරී කමිටු ගොඩ නගා ගනිමින් සමාජවාදී කි‍්‍රයා මාර්ගයක් මත රැකියා, වැටුප් හා ජීවන තත්වයන් ආරක්ෂා කිරීමේ කම්කරු පන්තියේ පොදු අරගලයක් සංවිධානය කිරීමේ අවශ්‍යතාවය පැහැදිලි කලහ.

සාකච්චාව අවසානයේ සසප ඉදිරිදර්ශනය ගැන තවදුරටත් පැහැදිලි කර ගැනීමට කැමැත්ත පල කල ඔව්හු, රැස්වීමට සහභාගී වීමට සහ සසප සමග එකාබද්ධව කි‍්‍රයාකාරී කමිටු සංවිධානය කිරීමට එකඟ වූහ.

කම්කරු කාන්තාවක් කරුනු දක්වමින්

දැනට ලැබෙන සොච්චම් වැටුප ජීවිතය ගැට ගසා ගැනීමට කොහෙත් ම නො සෑහෙන බව දික්ඔය ෆොර්ඩිසි වත්තේ තිදරු මවක් ප‍්‍රකාශ කලාය. “දේශපාලකයන් හැමෝ ම බොරු කාරයෝ. බොරුපොරෝන්දු දීල අපව රවට්ටනව. අප විරුද්ධ වුන නිසා මේ වත්තේ කොන්ත‍්‍රාත් ක‍්‍රමය කි‍්‍රයාවට දාන එක තාවකාලිකව නතර කලා. ඒක කි‍්‍රයාවට දැම්මොත් අපේ අර්ථසාධක සහ සේවක භාරකාර අරමුදලුත් අපට නැතිවෙනවා. දැන් තියෙන පුංචි සහනත් අපිට නැති වෙනවා” ඇය කීවාය.

වෘත්තීය සමිතිවල පාවාදීම පරාජය කරලා කම්කරුවන්ගේ අයිතීන් රැක ගන්න නම් සසප යෝජනා කරන කි‍්‍රයාකාරී කමිටු සංවිධානය කලයුතු බව එම වත්තේ ම විශ‍්‍රාමික කම්කරුවෙකු සසප ඉදිරිපත් කල අදහසට එකඟත්වය පල කරමින් කීවේය.

කම්කරුවෙකු සසප වාර්තාකරු වෙත කරුනු දක්වමින්

එහි තවත් කම්කරුවෙකු පැවසුවේ කඳුරට දෙමල ප‍්‍රගතිශීලී පෙරමුනේ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු කොන්ග‍්‍රසයේ නායක මනෝ ගනේෂන් කම්කරුවන් මෝඩයන් ලෙස සලකා කතා කරන බව ය: “කොන්ත‍්‍රාත් ක‍්‍රමයට සහයෝගය දෙමින් එයා පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ කතා කලා. පසුගිය චන්දෙදි මම මේ පෙරමුනට චන්දෙ දුන්න. අපේ චන්දෙ අරගන බලයට පත්වෙලා දැන් අපට විරුද්ධව කතා කරනවා” ඔහු කීවේ ය.

ඉන්ජෙස්ටර් වත්තේ හොර්න්සි පහත කොටසේ එස්. රජිනිකාන්ත් වත්තේ එන්යූඩබ්ලිව් ශාඛා සමිතියේ නායකයෙකි. වසර 15 සීඩබ්ලිව්සී යේ සාමාජිකයෙක් වූ ඔහු එහි තරුන අංශයේ නායකයා ලෙස ද කටයුතු කර ඇත. ඔහු එන්යූඩබ්ලිව් සමිතියට සම්බන්ද වී ඇත්තේ නිවසක් ලබා දෙන බවට දිගම්බරම් ඔහුට පොරොන්දු වූ නිසාය. “මගේ පවුලේ පස් දෙනෙක් ඉන්නවා. අපට ගෙයක් නැහැ. මඩුවක ඉන්නේ. කෑම උයන්න තැනක් නැහැ. දිගම්බරම් ගෙයක් දෙන්න පොරොන්දු වුන නිසා ම එයාගේ සමිතියට බැඳුනා. තව ටික කාලයක් බලාගෙන ඉන්නවා එයා පොරොන්දුව ඉෂ්ට කරයි ද කියල”. ඔහු පැවසුවේ ය.

නිවාස නැති පවුල් දහස් ගනනක් වතුකරය තුල සිටින බවත් කිහිප දෙනෙකුට නිවසක් ලැබුනත් වතු කම්කරුවන්ගේ නිවාස ප‍්‍රශ්නය සමස්තයක් ලෙස විසඳීමට හැකිවන්නේ වතු කම්කරු පාලනය යටතේ ජනසතු කර ඒවායේ ආදායමෙන් ඔවුන්ගේ නිවාස සහ සෙසු සමාජ අවශ්‍යතා සඳහා ප‍්‍රමානවත් තරම් මුදල් වෙන් කිරීමෙන් පමනක් බව සසප සාමාජිකයෝ පැහැදිලි කලහ.

කොන්ත‍්‍රාත් ක‍්‍රමයේ ආදීනව පැහදිලි කල විට “එය එසේ නම් ඉතාම අනතුරුදායක” බව කීවේ ය. “එහෙම නම් සමිති අපට කියන්නේ බොරු. ඔබ කියන කතාව ඇත්ත නම් සමිතියට සාමාජික මුදල් ගෙවන එක අප නතර කරනවා. මම ඔබේ රැස්වීමට සහභාගී වෙනවා” ඔහු පැවසුවේ ය.

විශ‍්‍රාමික කාන්තා කම්කරුවන් පිරිසක්

තමන්ගේ මුලු ජීවිත කාලය ම කැඹුරුවේ වත්ත ට බව විශ‍්‍රාමික කාන්තා කම්කරුවන් පිරිසක් කීහ: “අප දැන් ගෙවන ජීවිතය හරිම දුෂ්කරයි. ලමයින්ට හරිහමන් රක්ෂාවක් නැති නිසා ඒ අයටත් අපව නඩත්තු කරන්න බැහැ. අපි විශ‍්‍රාම යනකම් ම සීඩබ්ලිව්සී එකේ සාමාජිකයෝ. ඒ දවස්වල වත්තේ ඩිස්පෙන්සරියක් තිබුන. දැන් ඒකත් නැහැ. පුද්ගලික ඩිස්පෙන්සරි වලට ගෙවන්න මුදල් නැති නිසා ලෙඩ තියාගෙන ජීවත් වෙනවා.”

ඇය වත්තේ වැඩට සම්බන්ද වන විට දවසකට නෙලිය යුතු දලු ප‍්‍රමානය කිලෝ 10 වූ බවත් දැන් එය කිලෝ 18 දක්වා ඉහල දමා ඇති බවත් තරුන කම්කරු කාන්තාවක් කීවා ය. “පඩි වැඩි කරන හැම වෙලාවක ම කඩන දලු ප‍්‍රමානය වැඩි කරනවා. පඩි වැඩි කිරීමක් කියල ඒ කට කියන්න බැහැ. මගේ දෙමව්පියෝ වගේ මමත් සීඩබ්ලිව්සී සාමාජිකාවක්. පඩියෙන් කැපිලා සාමාජික මුදල් කෙලින් ම ඒ ගොල්ලන් ට යනවා. අපට කිසිම පහසුකමක් නැහැ. වතුර නැහැ. වැසිකිලියක් නැහැ. අපි යන්තම් අටවා ගත්තු එකක් තියෙන්නේ. වෘත්තීය සමිති නායකයන්ට පාලකයන් එක්ක ලඟින් ම සම්බන්දකම් තියෙනව. ඒ අයට සියලු ම පහසුකමුත් තියෙනවා. අප තීරනය කලා සමිති වලට සාමාජික මුදල් ගෙවන එක නතර කරන්න” ඇය කීවාය.

කම්කරු මවක් සහ දියනිය

පසුගිය වසර පහලොවක් ම තමාට නිවසක් නොතිබූ බව තවත් කම්කරු කාන්තාවක් පැවසුවා ය. “මේ කූඩාරම අටවා ගත්තේ අපි. ඒකේ තමයි ජීවත් වෙන්නේ. අතීත අරගල ගැන මගේ දෙමව්පියෝ මට කියල තියෙනව. සමිති කිසිම දෙයක් දැන් කරන්නේ නැහැ කම්කරුවන් ගේ අයිතීන් රකින්න.”

සසප සාමාජිකයන් සමග කතා කල බොහෝ කම්කරුවෝ රැස්වීමට සහභාගිවීමටත් සසප කි‍්‍රයාමාර්ගය ගැන තව දුරටත් සාකච්චා කිරීමටත් එකඟ වුහ.

Share this article: