කඩාදැමූ නිවාසවල රැඳී සිටින තොටලඟ දුගීන්ට වහා ඉවත්වන ලෙස නියෝග කෙරේ

අපේ වාර්තාකරුවන් විසිනි, 2016 මාර්තු 11

පොලීසිය සහ නාගරික සංවර්ධන අධිකාරියේ (නාසඅ) නිලධාරීන් මැදිහත් කරමින්, සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව පසුගිය පෙබරවාරි 16 දින කඩාදැමූ, තොටලඟ ෆර්ගියුසන් පාරේ, කජීමාවත්තේ ලෑලි නිවාසයන්හි සුන්බුන් අතර මෙතෙකුදු රැඳී සිටින දුගී පවුල් වලට ඉන් ඉවත්ව යන ලෙස නාගරික සංවර්ධන අධිකාරිය නියෝග කර ඇත.

තම නිවාස කඩා දැමීම හේතුවෙන් යන එන තැනක් නොමැතිව සිටින මෙම ජනයා, තහඩු කීපයක් සෙවිලි කොට ඉටිරෙදි වලින් ආවරනය කොටගත් ස්ථානයන් හි ඉතා දුකසේ ජීවිතය ගතකරමින් සිටිති.

මාර්තු 2 දින එම ස්ථානයට පැමිනි නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ බි‍්‍රගේඩියර් එස්.ඒ.ආර්. සමරසිංහ, සති දෙකක් තුල ඉවත්විය යුතු බවට තර්ජනය කල බව නිවැසියෝ ලෝක සමාජවාදී වෙබ් අඩවි (ලෝසවෙඅ) වාර්තාකරුවන්ට පැවසූහ.

එම ඉඩම් විකුනා ඇති බවත් මිලදී ගත් අයට ඒවා භාර දියයුතු බවත් සමරසිංහ පවසා ඇත. අලුතෙන් නිමවා ඇති මහල්නිවාස පෙන්වමින් ඔහු කියා ඇත්තේ ඒවා ගොඩනගා ඇත්තේ නයට ගත් මුදල් වලින් බැවින් එම නය ආපසු ගෙවිය යුතු බවයි. “අපේ ප‍්‍රශ්නයට විසඳුම කුමක්දැයි” නිවැසියන් ඇසූවිට, “මෙතනින් යන එක එකම විසඳුම” යනුවෙන් ඔහු පිලිතුරු දී ඇත.

පැල්පත්වාසීහු ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් වෙත කරුනු දක්වමින්

කජීමා වත්තට අමතරව, ඒ අසල පිහිටි එල්.එස්. ගුනපාල සිල්වා කී‍්‍රඩාංගනයේ ඇති නිවාස 80 ක් පමන ද ඇපල්වත්තේ ඉතිරි නිවාස ද සති දෙකකින් කඩා දමන බව සමරසිංහ එම නිවැසියන්ට දැනුම්දී තිබේ.

ලියාපදිංචි වූ නිවෙස්වල පදිංචිව සිටි සියල්ලන්ට නිවාස ලබාදුන් බවත්, කුලියට සිටිය හෝ අනවසරයෙන් නිවාස සාදාගත් කිසිවකුට නිවාස නොලැබෙන බවත් බස්නාහිර මහ නගර සංවර්ධන ඇමති චම්පික රනවක පවසයි. නිවැසියන් කියා සිටින්නේ බලහත්කාරයෙන් නිවාස අහිමි කෙරුනු සියල්ලන්ට ආන්ඩුව විසින් නව නිවාස ලබා දියයුතු බවයි.

1947 සිට අද වනතුරුත් බලයට පත්වූ කිසිදු ආන්ඩුවක් කොලඹ දුගී ජනයාගේ නිවාස ප‍්‍රශ්නය නොවිසඳා ඇති අතර කිසිදු පහසු කමක් නොමැති පැල්පත්හි ඔවුන් ජීවත්වූයේ සිය කැමැත්තෙන් නොවේ. වත්මන් ආන්ඩුව කි‍්‍රයාත්මක කරන ආයෝජකයන්ට ඉඩම් පැවරීමේ මහා නගර ව්‍යාපෘතිය (megalopolis) යටතේ ලියාපදිංචිව ඇති 68,000 ක් නිවාස කඩා දමන බව ආන්ඩුව පවසයි. නමුත් කුලියට සිටින හා අනවසර නිවාසයන් ලෙස ආන්ඩුව හඳුන්වන ලියාපදිංචි නොකල නිවාස ද සමග ලක්ෂ ගනනක් නිවාස කඩාදැමීමට ආන්ඩුව සූදානම් ය. මෙයින් වැඩිපිරිසකට මහල් නිවාස අයත් වන්නේ නැත.

කඩා දැමූ නිවසක තවමත් ජීවත්ව සිටින පියෙක් ලෝසවෙඅ වාර්තාකරුවන්ට මෙසේ පැවසීය: “ මගේ දරුවට මාස තුනයි. දරුවට මාස තුනෙන් බෙහෙත් විදින්න තියෙනව. මෙහෙම ඉඳන් ඒව කරන්නෙ කොහොමද? (තවත් පවුලක අතදරුවෙක් පෙන්නමින්) අරබලන්න ඉපදිලා මාසයයි.

පැල්පත්වාසීහු ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් වෙත කරුනු දක්වමින්

“මේ යහ පාලනයද? චන්දෙ දීලා අපි ගුටි කනවා. නිවාස උන්හිටිතැන් අහිමි කරනවා. අපි වැස්සට තෙමෙනවා. ලමයින්ට පාසල් යාමක් නැහැ.” ඔහු නොනවත්වා කියාගෙන ගියේය.

කඩා දැමීමට නියමිත ගුනපාල සිල්වා කී‍්‍රඩාංගනයේ පදිංචිව සිටින පස් දරු මවක් මෙසේ පැවසුවාය: “අපි ඇපල්වත්තෙ නිවාස කඩා දැමීමෙන් පස්සෙ මෙතනට ආවා. නමුත් හැමදාම ඉන්නෙ පිච්චි පිච්චි කොයිවෙලේ එලවයිද කියල. මේක මතක් වෙනකොට මොලේ අවුල් වෙනවා.”

තම පුතනුවන් සමග ජීවත් වන සෝමාවතී නම් මහලු මවගේ කතාව කියා පාන්නේ ලියාපදිංචි පවුල්වලට පවා මහල් නිවාස නොලැබෙන බවයි. 2015 පෙබෙරවාරි 16 දින කොලඹ සහකාර ප‍්‍රාදේශීය ලේකම් පී. එස්. පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති වෙත යවන ලද ලිපියක, “මාදම්පිටියේ ග‍්‍රාම නිලධාරී විසින් සෝමාවතී යන අයගේ පදිංචිය සනාථ කොට ඇතිබවත් නව නිවසකට හිමිකම් ඇති බවත්” සහතික කර දන්වා ඇත.

එනමුත්, 2015 නොවැම්බර් 5 දින නාගරික සංවර්ධන අධිකාරියේ බි‍්‍රගේඩියර් සමරසිංහ විසින් මුව දොර උයන නිවාස ව්‍යාපෘතියේ මහල් නිවාස කලමනාකරු බී. එන්. එස්. බුලත්සින්හල වෙත නිකුත් කල ලිපියක සඳහන් වන්නේ “සෝමාවතී හා එච්. ජී. රෝහන යන අය පදිංචිය තහවුරු කිරීමට අපොහොසත් බැවින් නව නිවසක හිමිකම් නොලබයි” යනුවෙනි.

එම ලිපියේ තවදුරටත් දන්වා ඇත්තේ “අවතැන්වීම වැලැක්වීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සතු ෆර්ගියුසන් පාර සහ වැලිගොඩ ඉඩම අතර මැද කඳවුරේ එක් ස්ථානයක් පදින්චිය සඳහා තාවකාලිකව වෙන්කර දෙන” ලෙසය. අධිකාරියේ නියෝගය පරිදි නිවස සාදා ගත් නමුත්දැන් නිවස කඩා දැමීමට නියමිතය.

ලියාපදිංචි වූ නිවෙස්වල පදිංචිව සිටි සියල්ලන්ට නිවාස ලබාදුන් බවට ඇමති රනවක කරන ප‍්‍රකාශය අසත්‍යයක් බව ඉහතකී ලියවිලිම සනාත කරයි.

ධනපති ආන්ඩු කි‍්‍රයා කරන්නේ දුගීන්ගේ නිවාස ප‍්‍රශ්නය විසඳීමට නොව ධනපති ආයෝජකයන්ගේ අවශ්‍යතාවන් සඳහා ය. පෙබරවාරි 18 දින රනවක මෙසේ පැවසීය: “තොටලඟ ප‍්‍රදේශයේ අනවසරයෙන් පදිංචිව සිටි අය ඉවත් කලේ පැහැදිලි සහ සාධාරන ආකාරයකටයි. ඔවුනට ලබාදුන් නිවාසවල පදිංචිය සඳහා ප‍්‍රමානවත් කාලයක් ලබා දුන්නා.”

එනමුත් ඔහුම පවසන පරිදි ලියාපදිංචි කර ඇති පවුල් වලට හැර අන් කිසිවෙකුට නිවාස ලැබෙන්නේ නැත.

මහා නගර ව්‍යාපෘතිය යටතේ නිවාස කඩා දැමීම කොලඹින් නතර වන්නේ නැත. මාර්තු 2 දින පුවත්පත් සාකච්ඡාවක් කැඳවා රනවක පැවසුවේ ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීමට නියමිත ප‍්‍රදේශ 23 ක් ඇති බවයි. මෙම ප‍්‍රදේශ වලට කඩුවෙල, මහරගම, එඬෙරමුල්ල, හෝමාගම, කොට්ටාව, පානදුර, ගොන්ගිතොට, මීරිගම, හොරන ආදී ප‍්‍රදේශ අයත් වෙයි. නම්කර ඇති සියලූ නගරයන්හි අඩුආදායම්ලාභී නිවාස හා පහල මධ්‍යම පන්තික නිවාස ඉවත්කර එම ඉඩම් ආයෝජකයන්ට පවරා දෙනු ඇත.

රාජපක්ෂ ආන්ඩුව කොලඹ සංවර්ධන වැඩපිලිවෙල යටතේ ආයෝජකයන්ට ඉඩම් පැවරීම සදහා දහස් ගනනක් නිවාස කඩා දැමූයේ හමුදාව යොදවමිනි. ඊට එරෙහිව පැනනැගුන මහජන විරෝධය, එක්සත් ජාතික පක්ෂය විසින් පසුගිය මැතිවරනයේදී යහමින් පාවිච්චියට ගත්තේය.

මහ මැතිවරනය අද්දරදී, 2015 ජුනි 11 දින අගමැති රනිල් වික‍්‍රමසිංහ නාගරික සංවර්ධන අධිකාරියට දනුම් දුන්නේ සංවර්ධනයේ නාමයෙන් බලහත්කාරයෙන් ඉඩම් අත්පත්කර ගැනීම හා නිවාස කඩා දැමීම නතර කරන ලෙසයි. ප්‍රෝඩාකාරී ලෙස මහජනතාවගේ ඡන්දය ලබා බලයට පැමිනි වික‍්‍රමසිංහ දැන් ඔවුනගේ නිවාස කඩා බිඳ උන්හිටිතැන් අහිමි කරයි.

රාජපක්ෂ ආන්ඩුව කි‍්‍රයාවට දැමූ කොලඹ සංවර්ධන වැඩපිලිවෙලද වත්මන් ආන්ඩුව කි‍්‍රයාවට දමන මහා නගර ව්‍යාපෘතිය ද ලෝක බැංකුවේ යෝජනා වන අතර ශී‍්‍ර ලංකාව ආසියාවේ ප‍්‍රධාන වෙලඳපොලක් බවට පරිවර්තනය කිරීම එයින් අරමුනු කෙරේ.

මේ අතර, නිවාස කඩා දැමීමෙන් පසු තොටලඟට පැමිනි ජනතා විමුක්ති පෙරමුනේ නායකයෙකු වන ලාල් කාන්ත කියා සිටියේ නිවාස ඉවත් කිරීම ‘වගකීමක්’ සහිතව සිදු කලයුතු බවයි. ප‍්‍රහාරය කි‍්‍රයාත්මක කරන ආන්ඩුවේ ඇමතිවරුන්ටම ප‍්‍රශ්නය විසඳීමට මැදිහත්වන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

මෙම නිවාස ඉවත් කෙරෙන්නේ දුගීන්ට වඩා පහසුකම් සහිත ස්ථිර නිවාස ලබාදීමට නොවන බවත් ආයෝජකයන්ට ඉඩම් ලබා දීමට බවත් ලාල්කාන්ත හොඳින් දනී. ලාභය සඳහා නිශ්පාදනය කෙරෙන ධනපති ක‍්‍රමය ආරක්ෂා කරන ජවිපෙ යෝජිත මහා නගර ව්‍යාපෘතියට කිසිදු විරුද්ධත්වයක් නැත. ආන්ඩුවට බලකිරීමෙන් නිවාස අයිතිය ආරක්ෂා කර ගත හැකිය යන මිථ්‍යාව වපුරමින් මහජනයා අවමංගත කිරීමට ජවිපෙ යලියලිත් උත්සාහ දරයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ජවිපෙ ට නොදෙවෙනිය. මාර්තු 2 දින කජීමා වත්තේ පුවත්පත් සාකච්ඡාවක් කැඳවූ ඔවුන් කියා සිටියේ ‘නිවාස කැඩීම හේතුවෙන් මහජනතාව මුහුනදී ඇති තත්වය පිලිබඳව පුවත් පත් මගින් ප‍්‍රචාරයක් ලබා දීමට’ එම සාකච්ඡාව කැඳවූ බවයි. ප‍්‍රචාරය ඉහල දැමීමෙන් ප‍්‍රශ්නය විසඳාගත හැකිය යන්න තවත් මිථ්‍යාවකි

.

දුගීන්ගේ නිවාස ප‍්‍රශ්නය විසඳිය හැක්කේ, කම්කරු පන්තිය, අවශේෂ පීඩිතයන් තමා වටා රැලිකර ගනිමින් පිහිටුවන කම්කරු-ගොවි ආන්ඩුවක් විසින් කි‍්‍රයාත්මක කරන ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් තුලින් පමනි.

Share this article: