ධනේශ්වර පාලනයට මුක්කුව දීමට ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට යයි

Sri Lankan parliament to draft new constitution to shore up capitalist rule

රොහන්ත ද සිල්වා විසිනි, 2016 මාර්තු 21

නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පාර්ලිමේන්තුව, ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයක් බවට පරිවර්තනය කිරීමට අගමැති රනිල් වික‍්‍රමසිංහ ගෙන ආ යෝජනාව මාර්තු 9දා සම්මත විය. එම යෝජනාව “ප‍්‍රජාතාන්ත‍්‍රික යහපාලනය” යලි ස්ථාපිත කිරීම දෙසට ගැනුනු පියවරක් බවට වික‍්‍රමසිංහ පින්තාරු කලේ ය. යථාර්ථයේ දී එය, කප්පාදු පියවරයන් පැටවීමටත් චීනයට එරෙහි එක්සත් ජනපදයේ “ආසියාවට හැරීමේ” පිලිවෙත සමග ඒකාග‍්‍ර වීම ගැඹුරු කිරීමටත් ආන්ඩුවේ හස්තය ශක්තිමත් කර ගැනීමේ උත්සාහයකි.

යෝජනාව “ඒකමතික ව” සම්මත වූ බවට ආන්ඩුව කටමැත දෙඩුවත්, ඒ සඳහා වූ ක‍්‍රියාවලිය දෙමසක් පුරා ඇදී ගියේ පාලක ප‍්‍රභූන් අතර ගිය ආරවුල් හේතුවෙනි. එය ප‍්‍රථම වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ, මෛත‍්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ පරාජයට පත් කිරීමෙන් වසරක් ගත වූ ජනවාරි 9 දා ය. රාජපක්ෂ සමග ගාල් වී සිටින මන්ත‍්‍රීවරු දොලහක් පමන තම ඉල්ලීම් යෝජනාවට ඇතුලත් නො කලහොත් එයට විරුද්ධ වන බව කීහ.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග හා වික‍්‍රමසිංහගේ සහයෝගය සහිත ව වොෂින්ටනය විසින් ක‍්‍රියාවට දැමූ තන්ත‍්‍ර මාරු මෙහෙයුමේ කොටසක් ලෙස, 2015 ජනාධිපතිවරනයට තරඟ කිරීමට රාජපක්ෂගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ‍්‍රීලනිප) නායකත්වය දුන් ආන්ඩුවෙන් සිරිසේන ඉවත් විය. රාජපක්ෂ චීනය සමග ගොඩනගාගෙන තිබූ සමීප සබඳතා බිඳ චීනයට එරෙහි සිය යුද සූදානම සමග ශ‍්‍රී ලංකාව පෙලගස්වා ගැනීමට එක්සත් ජනපදයට අවශ්‍ය විය.

විපාර්ශවික වික‍්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය (එජාප), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) හා දෙමල ජාතික සංධානය (දෙජාස) මෙන් ම, ව්‍යාජ වාම සංවිධානවල පිටුබලය ලත් සිරිසේන, රාජපක්ෂගේ ආඥාදායක විධි කෙරෙහි පැවැති මහජන වෛරය ගසා කෑවේ ය. සිරිසේන සහ වික‍්‍රමසිංහ, විධායක ජනාධිපති ධුරය අහෝසි කොට, පාර්ලිමේන්තු පාලනය ශක්තිමත් කොට, දෙමල පක්ෂ සමග සංහිඳියාව ඇති කොට, ජීවන තත්ත්වයන් වර්ධනය කරන බවට පොරොන්දු වූහ.

මැතිවරනයෙන් පසු ශ‍්‍රීලනිපයේ බලය අල්ලා ගත් සිරිසේන, වික‍්‍රමසිංහ අගමැති ලෙස පත් කලේ ය. පසුගිය අගෝස්තු මාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවරනයෙන් එජාපය ජයගත් පසු බලය මත ග‍්‍රහනය දැඩි කරගත් මේ දෙදෙනා ජාතික ආන්ඩුවක් තැනූහ.

ශ‍්‍රීලනිපය සහ එය සමග හවුල් වී සිටින එක්සත් ජනතා නිදහස් සංධානයේ (එජනිස) රාජපක්ෂගේ ආධාරකරුවෝ පාර්ලිමේන්තුව තුල “ඒකාබද්ධ විපක්ෂයක්” තනා ඇත. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට හා “ජාතික ගැටලුවට ව්‍යවස්ථාමය විසඳුමක් ගෙන එන බවට” තිබූ පූර්විකා හා වචන හරඹ ඉවත් කිරීමට ආන්ඩුව එකඟ වූ පසු ව්‍යවස්ථාව යලි ලිවීම සඳහා අවසානයේ ඔවුහු එකඟ වූහ.

“ජාතික ගැටලුව” යනු දිවයිනේ දෙමල සුලුතරයට එරෙහි ක‍්‍රමානුකූල වෙනස්කම් කිරීම හා මර්දනය කිරීම පිලිබඳ ව කරන සඳහනකි. එම පිලිවෙත් දිග්ගැස්සුනු කුරිරු යුද්ධයකට මග පෑදූ අතර යුද්ධය අවසන් වූයේ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) තලා දමමිනි. දෙමල ප‍්‍රභූන් ව නියෝජනය කරන දෙජාස, ඊනියා දේශපාලන විසඳුමක් සොයන්නේ ඉඩම් හා පොලිස් අංශවල අතිරේක බලතල පලාත් ආන්ඩුවලට විමධ්‍යගත කිරීමක් හරහා ය.

රාජපක්ෂ හා ඔහුගේ සගයෝ, දෙමල සුලුතරයට දෙන කිසිදු සහනයකට දැඩි ලෙස විරුද්ධ වෙති. මෑතක පැවති දේශනයක දී ඉඩම් හා පොලිස් බලතල පලාත්වලට පැවරීමට රාජපක්ෂ එකහෙලා විරුද්ධ විය. පලාත් සභාවල බලතල වැඩි කිරීමට සූදානම් වීම මගින් ආන්ඩුව රට බෙදන්නේ යයි චෝදනා කරමින් “ඒකාබද්ධ විපක්ෂය” සිංහල ස්වෝත්තමවාදී මනෝගතිය අවුලවමින් සිටී.

යෝජනාව වෙනස් කිරීමට සිරිසේන හා ආන්ඩුව එකඟ වුව ද ඔවුහු රාජපක්ෂට හා ඔහුගේ සගයන්ට හානි කොට ඔවුන් ව හුදකලා කිරීමට ක‍්‍රියා කරමින් සිටිති. ආන්ඩුවට හා එහි පිලිවෙත්වලට විරුද්ධ වුවහොත් පක්ෂයෙන් ඉවත් කරන බවට සිරිසේන වක‍්‍ර ව රාජපක්ෂගේ ආධාරකරුවන්ට අනතුරු අඟවා තිබේ. මෑතක දී ඔහු, සමහර මන්ත‍්‍රීන් ද ඇතුලත් දිස්ත‍්‍රික් සංවිධායක තනතුරු දැරූවන් තමන්ගේ ම ආධාරකරුවන් යොදා විස්ථාපනය කොට සිය හෙංචයියෙක් එජනිස මහ ලේකම් තනතුරට පත්කලේ ය.

එහි ඉවත් කරන ලද පූර්විකා සහිත ව පවා ව්‍යවස්ථා යෝජනාවේ සංයුක්ත යෝජනා නැත. නව ව්‍යවස්ථා කෙටුම්පතකට ඇතුලත් කල යුතු වන සුවිශේෂී ගැටලු සාකච්ඡා කිරීමට “මෙහෙයුම් කමිටු” පත් කිරීම ඊනියා ව්‍යවස්ථා සම්පාදක මන්ඩලය මගින් සිදු කරනු ඇත. පාර්ලිමේන්තු මන්ත‍්‍රීන්ගෙන් තුනෙන් දෙපංගුවක් කෙටුම්පතට එකඟ වුවහොත් එය කැබිනට්ටුව විසින් අනුමත කොට ජනමත විචාරනයකට යොමු කරනු ඇත.

පාර්ලිමේන්තු පාලන රූපයකට මාරු වුවහොත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කෙරෙනු ඇතැයි යන ආන්ඩුවේ කියාපෑම මුලුමනින් ම ව්‍යාජ ය. 1948 නාමික නිදහසේ සිට විධායක ජනාධිපති ක‍්‍රමය පිහිටුවාලූ 1978 දක්වා වන දශක තුන පුරා අනුයාත එජාප හා ශ‍්‍රීලනිප ආන්ඩු, පාර්ලිමේන්තුව හරහා ක‍්‍රියාත්මක වෙමින් වැඩ කරන ජනයාගේ ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් මත දරුනු ප‍්‍රහාර එල්ල කලහ. 1948 දී දෙමල වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිය අහෝසි කිරීම, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී හදිසි නීති බලතල යොදා ගැනීම මෙන් ම 1956 දී සිංහල පමනක් රාජ්‍ය භාෂාව කිරීම හා 1972 දී බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත්කිරීම හරහා කරන ලද දෙමල ජනයාට එරෙහි වෙනස්කම් ඒවාට ඇතුලත් වේ.

1978 දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ ආන්ඩුව, ආඥාදායක බලතල සහිත විධායක ජනාධිපති ධුරය පටවන ලද්දේ කම්කරු පන්තිය හා ග‍්‍රාමීය දුගීන්ට එරෙහි ව රාජ්‍යය ශක්තිමත් කරගැනීමේ ප‍්‍රයත්නයක කොටසක් ලෙස ය. විදේශ ආයෝජන ආකර්ෂනය කරගැනීමේ විවෘත වෙලඳපොල න්‍යාය පත‍්‍රයක් ආරම්භ කිරීම මගින් ආන්ඩුව පුලුල් මහජන විරුද්ධත්වයක් අවුලුවා තිබුනි. සමාජ ආතතීන් වැඩි දියුනු වෙද්දී, ජයවර්ධන, කම්කරු පන්තිය බෙදීම සඳහා දෙමල විරෝධී ස්වෝත්තමවාදය ඇවිලවීම දෙසට හැරුනේ 1983 දී දිවයින වාර්ගික යුද්ධයට ඇද දමමිනි.

වික‍්‍රමසිංහ හා සිරිසේන, ප‍්‍රජාතන්ත්‍රවාදීන් ලෙස පෙනී සිටීමේ උත්සාහයන්වල දී අතීත ව්‍යවස්ථා හා ආන්ඩුවල “වැරදි” විවේචනය කොට ඇත. එහෙත් එම දෙදෙනා ම, එම “පෙර වැරදි” කල අනුයාත එජාප හා ශ‍්‍රීලනිප ආන්ඩුවල නායකයෝ ය.

“ජාතික ගැටලුවල විසඳීම පිලිබඳ සියලු කතා තිබිය දී, නව ව්‍යවස්ථාව රාජ්‍යයේ ඒකීය භාවය හෝ බුද්ධාගමට දී ඇති ප‍්‍රමුඛස්ථානය වෙනස් කරන්නේ නැතැයි වික‍්‍රමසිංම ජනවාරි මාසයේ සපථ කලේ ය. රාජ්‍ය ආගම ලෙස බුද්ධාගම නඩත්තු කරගෙන යාමේ ආන්ඩුවේ අධිෂ්ඨානය, දෙමල ප‍්‍රභූවට කවර ව්‍යවස්ථාවක් සම්පාදනය කලත් දෙමල කම්කරුවන්ට හා ගම්බද පීඩිතයන්ට එරෙහි වෙනස්කම් අවසන් කිරීමේ කිසිදු උවමනාවක් එයට නැති බව පෙන්නුම් කරයි. දිවයිනේ උතුරේ හා නැගෙනහිරේ මිලිටරි මෙහෙයුම අඛන්ඩ ව ක‍්‍රියාත්මක වන අතර අපරාධකාරී “පාතාලය” මර්දනය කිරීමට මුවා වී මෑතක දී ආන්ඩුව නියෝග කලේ පොලිස් හා මිලිටරි මාර්ග බාධක ස්ථාපනය කරන ලෙස යි.

පසුගිය වසරේ ජාතික ආන්ඩුවක් තැනීම, රටෙහි ආර්ථික හා සමාජ අර්බුදයේ ගැඹුර ද කම්කරුවන්, තරුනයන් හා ගම්බද දුගීන් අතර ජීවන කොන්දේසි මත එල්ල කෙරෙන ප‍්‍රහාරයන්වලට එරෙහි ව වර්ධනයන වන චලනයන් කෙරෙහි පාලක කවයන් අතර පවතින භීතිය ද පිලිබඳ මිනුමකි. දිවයිනේ දිග්ගැස්සුනු යුද්ධයට “දේශපාලන විසඳුමක්” ගෙනෙන්නේ යයි කියමින් වික‍්‍රමසිංහ හා සිරිසේන උත්සාහ කරන්නේ, දෙජාස හා දෙමල ප‍්‍රභූන් ව කම්කරු පන්තියට මුහුන දීම සඳහා දේශපාලන සංස්ථාපිතයට ඒකාග‍්‍ර කරගැනීමට යි.

ගෙවුම් ශේෂ අර්බුදයකට හා යෝධ රාජ්‍ය නයකන්දරාවක් සමගින් ආන්ඩුව ගැඹුරු වන ආර්ථික කැලඹිල්ලකට මුහුන දෙයි. බදුබර වැඩි කිරීම, රාජ්‍ය ව්‍යවසායන් තවදුර පුද්ගලීකරනය කිරීම හා මිල සහනාධාරවල ඉතුරු පහදු කප්පාදු කිරීමට නියෝග කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තවත් නයක් ගැනීමට ආන්ඩුව හැරී සිටී.

වැඩ කරන ජනයාගේ විරෝධය මර්දනය කිරීමට පොලිස් රාජ්‍ය විධික‍්‍රම යොදා ගැනීමේ දී, මේ එකදු “ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙක්වත්” සුලුවෙන් හෝ පැකිලෙනු නැත. කම්කරුවන්, සිසුන් හා ගොවියන්ගේ උද්ඝෝෂන හා විරෝධතා ප‍්‍රචන්ඩ ලෙස තලා දැමීමට මේ ආන්ඩුව පොලීසිය හා මිලිටරිය භාවිතා කොට ඇත.

ලංකාව තුල මෙන් ම දිවයිනේ දෙමල ජනයාට එරෙහි අපරාධ විසින් කැලඹිල්ලක් ඇති කොට තිබෙන දකුනේ තමිල් නාඩු ප‍්‍රාන්තය පිහිටි ඉන්දියාව තුල ද ස්ථාවරත්වය සහතික කිරීමේ ක‍්‍රමයක් ලෙස, වොෂින්ටනය “ජාතික ගැටලුවට” විසඳුමක් දීමට ආන්ඩුව ගෙනයන වැඩවලට පිටුබලය දෙමින් සිටී. ප‍්‍රථම ශ‍්‍රී ලංකා-ඇමරිකා සහකාරීත්ව සංවාදයේ දී ඇමරිකානු නිලධාරීහු “ව්‍යවස්ථාමය ප‍්‍රතිසංස්කරන සඳහා ආන්ඩුව ගෙනයන සැලසුම්වලට සහයෝගය පල කලහ.”

1972 හා 1978 ව්‍යවස්ථා සම්පාදනයේ දී මෙන් පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයක් බවට පත්කිරීම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ප්‍රෝඩාවකි. ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් සඳහා අව්‍යාජ අරගලයක් දියත් කරන එකම පන්තිය වන්නේ නාගරික හා ග‍්‍රාමීය දිලින්දන් ද රැලිකරගෙන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් වදින කම්කරු පන්තිය යි. එම පදනම මත, පවත්නා සියලු ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී නීති අහෝසි කිරීමටත් සියලු දෙනාට ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතිවාසිකම් තහවුරු කිරීමටත්, ප‍්‍රජාතාන්ත‍්‍රික ව තෝරා පත්කර ගැනුනු ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයක් ස්ථාපානය කෙරෙනු ඇත.

ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් සඳහා අරගලය, සමාජවාදය සඳහා සටන්වදින කම්කරු පන්තියේ ඒකාබද්ධ හා ස්වාධීන ව්‍යාපාරයක් ගොඩනැගීමේ අරගලය සමග නො වෙන් කල හැකි ලෙස බැඳී පවතී. සමාජවාදී සමානතා පක්ෂය සටන් වදින්නේ දකුනු ආසියාවේ ද ජාත්‍යන්තර ව ද සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ‍්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවකට යි.

Share this article: