ට්‍රම්ප්ගේ සුපිරි අඟහරුවාදාවෙන් එලඹිය යුතු දේශපාලන නිගමන කවරේ ද?

What political conclusions must be drawn from Trump’s Super Tuesday?

2016 මාර්තු 03

සුපිරි අඟහරුවාදායින් ඉක්බිතිව, දේශපාලන සංස්ථාපිතයට හා මාධ්‍යයට පවා, ඇමරිකාව ප්‍රගාඪ දේශපාලන අර්බුදයකින් දෙදරුම්කා ඇති බව ප්‍රතික්ෂේප කල නොහැකිවී ඇත. හුදු විගඩමක් ලෙස හා විනෝදජනක අතුරු සිද්ධියක් ලෙස පවා, ඉතා මෑතක් වන තුරුම නොයෙකුත් පන්ඩිතයින් කලාක් මෙන්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අපේක්ෂකත්වය තව දුරටත් බැහැර කල නොහැකිය. ප්‍රතිපලය අවිනිශ්චිතව පවතින නමුදු, රිපබ්ලිකානු පක්ෂයේ ජනාධිපති නාමයෝජනා හිමිකර ගැනීමේ තරඟයේ ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයාගේ පුද්ගලාරෝපනය හා පිලිවෙත කැපී පෙනෙන පරිදි ෆැසිස්ට් ස්වරූපයක් ගනියි.

සුපිරි අඟහරුවාදායින් ඔහු ප්‍රමුඛ රිපබ්ලිකානු අපේක්ෂකයා ලෙස හිස ඔසවන බව, පසුගිය සති කිහිපය පුරාවට වඩා පැහැදිලිව දිස් වීමත් සමඟ ට්‍රම්ප්ගේ සමහර විවේචකයෝ, දශක ගනනාවක් තිස්සේ පක්ෂය විසින් වපුරන ලද වර්ගවාදී කොටස් තුලින් නිර්මානය කෙරුනු “ෆ්‍රැන්කස්ටීන යක්ෂයා” ඔහු යයි පිලිගැනීමට පටන් ගත්හ. මෙය, රිචඩ් නික්සන් විසින්, සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය පිලිබඳව පැවතියාවූ සතුරුකම් වලට ආයාචනය කිරීම අරමුනු කරගත් “දක්ෂින මූලෝපාය” ආරම්භ කල 1960 ගනන් කරා ආපස්සට ගත හැකිය. රිපබ්ලිකානු නාමයෝජනා දිනාගත් වහාම 1980දී රොනල්ඩ් රේගන්, පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සිය පලමු උද්ඝෝෂන රැස්වීම පැවැත්වීම පිනිස තෝරාගත්තේ, වසර 16ට පෙර සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරිකයින් තිදෙනෙක් මරා දමන ලද මිසිසිපිහි ෆිලඩෙල්ෆියාව යි.

ට්‍රම්ප්ගේ චර්යාව හා ඔහුගේ වත්මන් මුස්ලිම් සංක්‍රමනිකයන් හා හිස්පැනික් (ලතින් ඇමරිකානු) සම්භවය සහිත මිනිසුන්ට එරෙහි දඩයමට ගැලපෙන වාතාවරනය, රිපබ්ලිකානු පක්ෂයේ වර්ගවාදී දේශපාලන සංස්කෘතිය මඟින් සම්පාදනය කරනු ලැබ ඇතැයි යන්න ගැන සැකයක් නැත. කෙසේ වෙතත් රිපබ්ලිකානු ජනාධිපති නාමයෝජනා වෙනුවෙන් තරඟ කරන නියෝජිතයින් සියලු දෙනාගේම පාහේ රටාව, හැකිතාක් දුරට වර්ගවාදයට එලිපිටම ආයාචනා කිරීම වන තතු තුල, ට්‍රම්ප්ගේ නාටකාකාර මතුවීමේ දේශපාලන සංසිද්ධිය ඉන් පැහැදිලි නොකරයි.

සිය ජීවිතය තුල දිනපතා මුහුනපාන ගැටලු ගැන උදාසීන ආකල්පයක් ගන්නා දේශපාලන පද්ධතියක් මඟින් නොතකා හැරීමට හා අවමානයට පත්කර ඇතැයි ඉතාම සාධාරන ලෙස හඟින, දැඩි කෝපයෙන් හා පිලිකුලෙන් යුතු මිලියන දුසිම් ගනනක් ඇමරිකානුවන් ඉදිරියේ, අන් කිසිදු රිපබ්ලිකානු අපේක්ෂකයෙකුටත් වඩා තියුනු ලෙස ට්‍රම්ප්, තම පනිවිඩය නිකුත් කර තිබේ. එක් හෝ තවත් දක්ෂිනාංශික වාචාලයෙක්, මිලියන සංඛ්‍යාත අසහනයට පත් ජනතාවගේ සමාජ හා ආර්ථික අනාරක්ෂිත භාවයට ආමන්ත්‍රනය කිරීමේ දේශපාලන විභවය වටහාගැනීම කාලය පිලිබඳ ප්‍රශ්නයක් පමනි.

“ඔහු එය එලෙසම පවසන” අපේක්ෂකයා ලෙස ට්‍රම්ප් ආධාරකරුවෝ ඔහු ගැන විස්තර කරනු රිපබ්ලිකානු ප්‍රාථමිකයන්හිදී ඡන්දය පාවිච්චි කල ඡන්දදායකයෝ දුටුවෝය. එහි අර්ථය කුමක් ද? ඉතා සරලවම ට්‍රම්ප් කියනු ඇත්තේ “ඇමරිකාව අසාර්ථක වෙමින් ඇතැයි” කියාය. සෑම වසරකම පවත්වනු ලබන ජනාධිපතිගේ රාජ්‍ය තත්ව වාර්තාව පිලිබඳ කථාවේදී ඔල්වරසන් දෙන්නන් ඉදිරියේ පවසන ඇමරිකාව නොපැකිල පෙරට යයි යන සාමාන්‍ය ප්‍රකාශයට වඩා රටේ තත්වය පිලිබඳ එම තක්සේරුව, බෙහෙවින් යථාර්තයට සමීපය.

ඉහල විරැකියාව, පහත් වැටුප් හා සෞඛ්‍ය පහසුකම්වල විනාශකාරී තත්වය ගැන ට්‍රම්ප් කථා කරයි. ඒ ගැටලු වලට විසඳුම් ඔහුට නොමැති වීමේ කාරනය, නැතිනම් ඔහුට ඇත්තේ අභූත, ප්‍රතිගාමී හා උමතු “විසඳුම්” පමනක් වීම මඟින්, ට්‍රම්ප් විස්තර කරන, ඡන්දදායකයින්ට වටහාගත හැකි, කුරිරු ආර්ථික පරිහානිය පිලිබඳ යථාර්තය පහව නොයයි.

02දා පල කල ලොස් ඇන්ජලිස් ටයිම්ස් ලිපියක මෙසේ සඳහන් වෙයි:

මුලින්ම ඡන්දය පැවැත්වූ ප්‍රාන්තවල ඡන්ද සංඛ්‍යා තහවුරු කරන්නේ, ට්‍රම්ප්ගේ ආධාරකරුවන් තමන් මූල්‍යමය වශයෙන් පිරිහී ඇති බවට කනස්සල්ලෙන් සිටින බවයි. ඒ දක්වා ට්‍රම්ප්ගේ ඡන්දදායකයින් බහුතරයක්, තමන්ගේ අධ්‍යාපනය උසස් පාසැල් මට්ටමේදී නතර කර ඇති බවයි. එයින් රැකියා අපේක්ෂා සීමා කර ඇති බවයි.

පාර්ශවීය වශයෙන් එය පෙන්නුම් කරන්නේ, මහා අවපාතයේ පටන් ජාතියේ ආදායම් මට්ටම් එකතැන පල්වන බවයි. සුදු ඇමරිකානුවන්ගේ ඒක ජනක ආදායම, 2005 පැවති ඩොලර් 32089 දක්වා යන්තම් ලඟාවී ඇතුවා පමනි. වැඩපොලවල් වෙනස්වී හා රැකියා සඳහා ඉහල නිපුනතා මෙන්ම ඉහල අධ්‍යාපන මට්ටම් ද ඉල්ලා සිටින තතු හමුවේ, එක දිගට නිෂ්පාදන රැකියා අහිමිවී ගිය දකුනු දිග ප්‍රාන්ත වල ආර්ථික තත්වය,විශේෂයෙන්ම දුෂ්කර වී ඇත. පසුගිය මාසයේදී ඡන්දදායකයෝ, ට්‍රම්ප්ට පහසු ජයක් අත්කර දුන් දකුනු කැරොලයිනාහි පැරනි රෙදිපිලි කම්හල් විස්ථාපනය කරමින්, නව තාක්ෂනය යහමින් යොදාගන්නා මෝටර් රථ නිෂ්පාදන කම්හල් බිහිවී ඇත. එහෙත් ඩොලර් 44929ක වාර්ෂික ආදායමක් සහිත මධ්‍ය ආදායම් ලාභී පවුල් තවමත් උද්ධමනයට ගැලපූ කල, පසුබෑමට පූර්වයෙන් 2006 පැවති ඩොලර් 50484 මට්ටම් කරා පැමින නැත.

ටෙනසි ප්‍රාන්තයේ ජෝර්ජියාව වැනි ප්‍රදේශවල, 02දා පැවැත්වෙන ඡන්දයේදී වාර්තාගත පරිදි ඡන්දය පාවිච්චි කරනු ඇතැයි සැලකේ. එහි මධ්‍ය මට්ටමේ ආදායම් ලාභී පවුලක 1999 පැවති උද්ධමනයට ගැලපූ ආදායම ඩොලර් 51910 අද 43716ට වැටී ඇත.

ට්‍රම්ප් මිත්‍යාමය අතීතය අමතමින් “ඇමරිකාව යලිත් ශ්‍රෙෂ්ඨත්වයට පත්කිරීමට” පොරොන්දු වෙයි. ඇමරිකාව නාඟ (බෙහෙත්) තෙල් වෙලෙන්ඳන්ගේ පෞරානික වාසභූමියයි. මාක් ට්වේන්ගේ බිල්ගිවෝටර් ආදිපාදවරයා දත්වල කහට ඉවත් කරනු ඇතැයි කියා පාමින් යම් ද්‍රව්‍යයක් වෙලඳපොලට ගෙනාවේය. අවසනාවකට මෙන් එය දත්වල ඉනැමල් වැස්ම ද පුලුස්සා දැමීය.

ට්‍රම්ප් සිය ආර්ථික හා දේශපාලන බඩු මල්ල ගෙන, බලාපොරොත්තු සුන් වූ හා අධෛර්යමත් අය සොයා යයි. ඔහුගේ සමහර මාධ්‍ය හා දේශපාලන විවේචකයින් විශ්වාස කරන්නේ, ඔහුගේ බොහෝ ව්‍යාපාර, බංකොලොත් භාවය විමසුමට ලක් කරන උසාවියෙන් කෙලවර වී ඇති බව පෙන්වා දුන්නොත්, ට්‍රම්ප් අපකීර්තියට පත් කල හැකි බවය. ඔවුන් සහමුලින්ම වරද්දාගෙනය. ට්‍රම්ප්ගේ බංකොලොත්වීම් හා පසු කාලීනව යලි හිස එසවීම, තමන් සතු සබ්බ සකලමනා ව ම නැති භංඟ වීමේ අර්ථය දැන සිටින අය තුල යම් ආකාරයක බලාපොරොත්තුවක් ඇති කරයි. වාසනාවන්ත ෆීනික්ස් පක්ෂියා දැවී හලුවී එම අලුගොඩෙන් යලි උපත ලබනවා මෙන් ට්‍රම්ප් ද ඔහුගේ බොහෝ අසාර්ථක ව්‍යාපාර තුලින් යලි හිස එසවීමේ රහස් සූත්‍රය, සමහරවිට අනෙකුන් සමඟ ද සමස්ත රටම සමඟ පවා ද බෙදා හදා ගන්නවා ඇත. ඔහු “ගනුදෙනුවේ උපාය” ඇමරිකාවේම ගැටලු විසඳීමට යොදා ගනු ඇත. සිය අවසන් අදියරයට පැමින සිටින අයට ට්‍රම්ප් ප්‍රාතිහාර්යයන් පිලිබඳ පොරෙන්දුව ඉදිරිපත් කරයි.

ට්‍රම්ප්, ඔහු සතුව ඇතැයි කියා සිටින බිලියන ගනනක් තරම් වටිනවා වුනත් නැතත් එය විවාදයට බඳුන්වන දෙයකි. ඔහුගේ පෞද්ගලික ධනය හරියටම කොපමනක් වුවත්, දක්ෂිනාංශික දේපොල වෙලෙන්දෙක්, අඩු ආදායම් ලාභී සුදු කම්කරුවන්ගේ සැලකිය යුතු කොටසක් අතරින් සහයෝගය ලැබීම පුදුමයක් ලෙස පෙනී යයි. ජනගහනයේ මෙම සැලකිය යුතු ස්ථරය, වමට තල්ලුවී නැත්තේ ඇයි දැයි ඇසිය යුතුය.

මේ ප්‍රශ්නයට පිලිතුරු දීමේදී යමෙක්, ඇමරිකාවේ “වාම” දේශපාලනය ලෙස පොදුවේ නියෝජනය කරන්නේ කුමක් ද යන්න දෙස විමසුම් සහගතව බැලිය යුතුය.

නිල “වාම” දේශපාලනය සැදුම් ලද්දේ ඩිමොක්‍රටික් පක්ෂයෙනි. එය රිපබ්ලිකන් පක්ෂයට නොඅඩු, සමහරවිට ඊටත් වඩා, වෝල් වීදියේ හා මිලිටරියේ ද බුද්ධි අංශ මූලෝපායඥයින්ගේ ද සැලකිය යුතු කොටසගේ දේශපාලන මෙවලමකි. “ඔබට විශ්වාස කල හැකි වෙනස” පොරොන්දු වෙමින් ධවල මන්ඳිරයට සැපත්වූ ඔබාමා පාලනය, බුෂ් පාලනයේ ප්‍රතිපත්ති පුලුල් කර අඛන්ඩව පවත්වාගෙන ගියේය. එහි ආර්ථික පිලිවෙත් මුලුමනින් ම කැපකර තිබුනේ, වෝල් වීදිය ගලවාගෙන පොහොසත් කිරීමටය. එහි ප්‍රමුඛ සමාජ පිලිවෙත වූයේ, දැවැන්ත ලෙස රක්ෂන කර්මාන්තයේ ලාභ තර කිරීම හා බලය පුලුල් කිරීම සඳහා සැලසුම් කර තිබුනු පරිදි, සෞඛ්‍ය පහසුකම් ප්‍රතිව්‍යුහගත කිරීමය. ඔබාමා පාලනය, ඇමරිකානු විදෙස් පිලිවෙතේ මූලික උපකරනය ලෙස ඝාතනය ආයතනගත කර, ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එරෙහිව නාටකාකාර ලෙස ඉහල ගිය ප්‍රහාර අධීක්ෂනය කලේය.

එසේ නම් ඩිමොක්‍රටික් පක්ෂයේ “වාමාංශය” සැදුම් ලද්දේ කුමකින් ද? එහි “වාම” පැහැය, මධ්‍යම පන්තියේ වරප්‍රසාදිත කොටස්වල අවශ්‍යතා නියෝජනය කල දේශපාලන සංවිධාන හා කන්ඬායම්වල පුලුල් කොටසක් විසින් ප්‍රචාරය කරන ලද වර්ගය, වාර්ගිකත්වය, ලිංඟිකත්වය හා ලිංඟික නැඹුරුව වැනි අනන්‍යතා දේශපාලනයේ විවිධාකාර ආකෘතීන් පිලිබඳ එහි අනුග්‍රහය මඟින් පැහැදිලි කරනු ලබයි. ජනගහනයේ පොහොසත්ම සියයට 10 අතර වඩාත් පිලිගත හැකි ආකාරයකට ධනය බෙදාහැරීමේ තත්වය ලබාගැනීමට එහා යන, පවතින ආර්ථික ව්‍යුහයේ හා සමාජයේ සැලකිය යුතු වෙනසක් පිලිබඳව කිසිදු උනන්දුවක් ඔවුනට නොතිබුනි.

මෙම දේශපාලන සමාජයේ ඇති කැපී පෙනෙන අංඟලක්ෂන නම්, තෘප්තිමත් භාවය, ආත්මාර්තය හා සියල්ලටත් වඩා කම්කරු පන්තිය කෙරෙහි සතුරුකමයි. වඩාත් නිවැරදිව කිවහොත් “ව්‍යාජ වම” ලෙස සැලකිය හැකි වරප්‍රසාදිත “වාම” සංවිධාන විශේෂයෙන්ම, අනන්‍යතා දේශපාලනයේ ආකෘතිය තුල කිසිදු තැනක් නොඉසිලූ සුදු කම්කරු පන්තිය කෙරෙහි සිය පිලිකුල සඟවා ගැනීමට පවා උත්සාහ නොකලේය. ඇමරිකානු කම්කරුවන්ගේ විශාල කොටසක් “ප්‍රතිගාමී” යයි බැහැර කෙරුනි. යහපත් රැකියා, සුරක්ෂිත රැකියා ස්ථාන, ජීවත්විය හැකි ආදායමක්, සුරක්ෂිත විශ්‍රාමික අවධියක්, දැරිය හැකි සෞඛ්‍ය සේවාවක්, ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ගේ සුරක්ෂිත භාවය , සාමය වැනි ඔවුන්ගේ මූලික පන්ති අවශ්‍යතා නොතකා හැරුනි.

මෙම සැඟවුනු වාතාවරනය තුල වර්ගවාදයට එරෙහි අරගලය ගනු ලබන්නේ තරයේම වාචාල ස්වභාවයකි. අව්‍යාජ සමාජවාදීන් හැම විටම අවධාරනය කලේ, කම්කරුවන් අතර වාර්ගික, ජාතික හෝ වෙනත් ස්වභාවයක සියලු බෙදීම් ජයගත හැක්කේ, තමන් පීඩාවට පත්කරන ආර්ථික සාධක වලට යටින් ඇති සිය පොදු පන්ති අනන්‍යතාව පිලිබඳව දැනුවත් වනතාක් දුරට පමනක් ය යන්නය. ලිංඟ භේදය හා ලිංඟික අනන්‍යතාවට සම්බන්ධ වෙනස්කම් කිරීමේ වෙනත් රූපාකාරයන්ට විරුද්ධ සටනේදී ද මෙය ඊට නොදෙවෙනි තරම් සත්‍යයය. එවන් වැදගත් ප්‍රජාතන්ත්‍රීය ප්‍රශ්න කෙරේ සමාජවාදීන්ගේ ආකල්පය, ධනවාදයට එරෙහිව කම්කරු පන්තියේ සියලු කොටස් දේශපාලනිකව බලමුලු ගැන්වීමේ පදනම මත ඒවා සඳහා සටන් වැදිය යුතුය යන්නයි.

මෙම ඉදිරිදර්ශනය කෙරේ ව්‍යාජ වාම සංවිධාන දක්වන සතුරුකම ඉමහත්ය. ඔවුන් කියන්නේ, “සියල්ලන්ගේ ජීවිත වටින්නේය” යන මූලික ප්‍රජාතන්ත්‍රවාදී සංකල්පයට, “කලු අයගේ ජීවිත වටින්නේය” යන සටන්පාඨය හරස් කල යුතු බවය. මෙම ප්‍රතිගාමී ආස්ථානය, ට්‍රම්ප්ගේ හා ඔහුගේ නඩයේ අත් ශක්තිමත් කරයි.

හිලරි ක්ලින්ටන්ගේ මැතිවරන ව්‍යාපාරය ගැන සලකන කල, බිල් ක්ලින්ටන්ගේ හා බරක් ඔබාමාගේ ප්‍රතිගාමී පාලනයන් දෙකටම අයත්ව සිටි මෙම දූෂිත තැනැත්තිය, පීඩිතයින්ගේ ගැලවුම්කාරයා ලෙස පිම්බීමට දරන උත්සාහය විකාරයකට නොඅඩු දෙයකි. ඇගේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය වනාහි අනන්‍යතා දේශපාලන වංචාවේ ස්මාරකයකි. ඇගේ ස්වාමිපුරුෂයා, 2008 කඩාවැටීමට තුඩු දුන්, දූෂනය සඳහා මඟ හෙලි කරමින්, ග්ලාස් ස්ටීගල් පනත අහෝසි කල පාලනයේ ලොක්කා විය. ක්ලින්ටන්ගේ පලමු ජනාධිපති ධුර කාලයේදී ශුභසාධක ගෙවීම් කපාහැරීම, අප්‍රිකානු-ඇමරිකානු කම්කරුවන් මිලියන ගනනකගේ ජීවන තත්වයන් මත විනාශකාරී ලෙස බලපෑවේය. ක්ලින්ටන් පාලනයේ සහාය ඇතිව සම්මත කල අපරාධ පනත, සිරගත කිරීම්වල අනුපාතය දැවැන්ත ප්‍රමානයකින් ඉහල නැඟීමට තුඩු දුන්නේය.

ලක්ෂ ගනනක් දෙනාට මරු කැඳවූ, ලිබියානු ආක්‍රමනය උසිගැන්වීමට මූලිකත්වය ගත්, මෙම ඇමරිකානු දේශපාලනයේ මැක්බත් ආර්යාව තෝරාපත්කර ගැනීම, ඇමරිකානු ස්ත්‍රීත්වයේ ජයග්‍රහනයක් වනු ඇති බවට වාද කෙරේ! ඇමරිකානු දේශපාලනයේ “වාම ලිබරල්” ස්ථම්භය වන ද නේෂන් සඟරාව, “මම සතුටෙන් හා ක්ෂමා විරහිතව හිලරි ක්ලින්ටන්ට සහය දක්වන්නේ මන් ද” යන හිසින්, මෑත කලාපය තුල ධනවත් කාන්තා විමුක්තිකාමිනියකගේ ලිපියක් පල කර ඇත. ලියාගෙන යන අතර ලිපියේ කතුවරිය, සිය දියනිය ක්ලින්ටන්ගේ මැතිවරන ව්‍යාපාරයේ වැටුප් ලබන සේවිකාවක් බව සඳහන් කරයි.

පුලුල් වශයෙන් සමාජවාදියෙක් ලෙස හඳුනාගෙන සිටින සෙනේට් සභික බර්නි සැන්ඩර්ස්ගේ ව්‍යපාරය, පුලුල් සහායක් දිනා සිටින අතර ධනවාදයට විකල්පයක් සඳහා කම්කරු පන්තියේ විශාල කොටසක් තුල ඇති කැමැත්ත පිලිබිඹු කරයි. ට්‍රම්ප්ට එරෙහිව, ක්ලින්ටන්ට වඩා සෑන්ඩර්ස්, සැලකිය යුතු තරම් ඉදිරියෙන් සිටින බව ඇඟවුම් කරන මත විමසුම් පලව තිබීම වැදගත්ය.

කෙසේ වෙතත් සිය උද්ඝෝෂනය ඩිමොක්‍රටික් පක්ෂය තුලින් ගෙනයාම හමුවේ සෑන්ඩර්ස්, ධනවාදය කෙරෙහි ජනතා විරෝධය අවෘත අන්තරයකට ඇද දමයි. ගතවන සෑම දිනක් පාසාම ඔහුගේ උද්ඝෝෂනය, වඩ වඩාත් තත්වාරක්ෂක ස්වභාවයක් ගනිමින් ඇත. දැන් ඔහු සිය සමාජවාදය, සමාජ ආරක්ෂාව සඳහා සහාය දැක්වීමට නොවැඩි දෙයක් ලෙස අර්ථ දක්වයි. ධනපති දේශපාලනයේ දෘඪ සම්මේලන වලට ගැලපෙන පරිදි, ඔහුගේ කථා වලින්, කම්කරු පන්තිය ගැන සඳහන් කිරීම මුලුමනින් ම හැලී ගොස් ඇත. සෑන්ඩර්ස් දැන් තමා හඳුන්වාගන්නේ, “මධ්‍යම පන්තිය වෙනුවෙන් සටන්වදින්නෙක්” ලෙසය.

මේ ආකාරයෙන් සෑන්ඩර්ස්, ධනවාදයට එරෙහිවත් සමාජවාදය සඳහාත් කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් ඉස්මතු වීම වැලැක්වීමට උත්සාහ කරයි.

රිපබ්ලිකානු සම්මේලනයට තවත් තෙමසක් ඇත. නොවැම්බර් මැතිවරනයට වසර භාගයකටත් වඩා ගත විය යුතුය. ජාත්‍යන්තර දේශපාලනයේ පුපුරන සුලු ස්වභාවය, ආන්තික ආර්ථික අස්ථාවරත්වය හා ඇමරිකාව තුල වැඩෙන සමාජ ආතතීන් 2016 මැතිවරනයට හිමිකර දෙන්නේ, ඉහල මට්ටමක අවිනිශ්චිත භාවයකි. කෙසේ වෙතත් ට්‍රම්ප් සංසිද්ධිය බරපතල දේශපාලන අනතුරු ඇඟවීමකි. ඇමරිකානු දේශපාලන ක්‍රමය පතුලට ම දිරාපත්වී ඇත. ට්‍රම්ප් හෙට දිනය වන විට අතුරුදහන් වුවත් පවා, ඔහුගේ තැන ගැනීමට වෙනත් ෆැසිස්ට්වාදී වාචාලයෙකු ඉස්මතුවීමට වැඩි දිනක් ගත නොවනු ඇත. දේශපාලන කරලියට පැමිනීමට සූදානම්, සැලකිය යුතු තරම් සටන් පුහුනුව ඇති හා බැරෑරුම් සටන් බලවේග සමඟ සම්බන්ධ, නොසතුටට පත් මිලිටරි හා පොලිස්-ඔත්තු අංශ ක්‍රියාකාරීන් ඕනෑවටත් වඩා ඇත.

ඇමරිකාව තුල කම්කරු පන්තියේ විප්ලවවාදී සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැඟීම, හදිසි දේශපාලන කර්තව්‍යයකි. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ බොහෝ ආධාරකරුවන් හා පාඨකයින්ගෙන් අපි ඉල්ලා සිටින්නේ, දේශපාලන තත්වයෙන් අවශ්‍ය නිගමන උකහා ගන්නා ලෙසත්, පැත්තකට වී නොසිට, සමාජවාදී සමානතා පක්ෂය ගොඩනැඟීමට එකතුවන ලෙසත්ය.

ඩේවිඩ් නෝර්ත්

Share this article: