බ්‍රසල්ස් හි ත්‍රස්ත බෝම්බ ප්‍රහාර - ලෝක සමාජවාදී වෙබ් අඩවිය

 

බ්‍රසල්ස් හි ත්‍රස්ත බෝම්බ ප්‍රහාර

The terror bombings in Brussels

2016 මාර්තු 23

අඟහරුවාදා උදෑසන 30 දෙනෙකු ඝාතනය කරමින් සහ 230 ට තුවාල සිදු කරමින් බ්‍රසල්ස් හි ශාවෙන්ටෙම් ගුවන් තොටුපොලට හා මෙල්බීක් උමන් දුම්රියපොලට එල්ල කල බෝම්බ ප්‍රහාරය ලෝක සමාජවාදී වෙබ් අඩවිය හෙලා දකියි. බෙල්ජියම් බලධාරීන් ඔවුන්ගේ පරීක්ෂන පිලිබඳ ව මුකවාඩම් නියෝගයක් පැන වූ නමුදු, ද ඉස්ලාමික් ස්ටෙට් ඉන් ඉරාක් ඇන්ඩ් සිරියා (ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය-අයිඑස්අයිඑස්) සංවිධානය එහි අමාක් ප්‍රවෘත්ති ඒජන්සියේ ප්‍රකාශයක් පල කරමින් ප්‍රහාරයේ වගකීම භාර ගත්තේ ය.

මෙම බිහිසුනු ප්‍රහාරය ඉලක්ක කර ගත්තේ මැද පෙරදිග විනාශභාග් කල අධිරාජ්‍යවාදී යුද්ධ වලට කිසිසේත් ම වගකිව යුතු නැති අහිංසක ජනතාව ය. එක්සත් ජනපදයට 2001 සැප්තැම්බර් 11 එල්ල වූ බෝම්බ ප්‍රහාර වලින් පසුව පසලොස් වසරක යුද්ධ, ත්‍රස්ත ප්‍රහාර සහ තීව්‍ර කෙරෙන පොලිස් රාජ්‍ය විධික්‍රම එවැනි ලේ වැගිරවීම් නිසැකව ම වඩාත් ප්‍රතිගාමී බලවේග වලට වාසි සලසන බව මැනවින් ප්‍රදර්ශනය වී ඇත.

2001 සැප්තැම්බර් 11 ප්‍රහාර වලට පසුදින ලෝසවෙඅ ප්‍රකාශ කල පරිදි “එහෙත් එය තමන්වම යුක්තිසහගත කර ගැනීමට උත්සාහ කරයි. මුලික ව ම ත්‍රස්තවාදී විධික්‍රම ප්‍රතිගාමීය. අධිරාජ්‍යවාදී මිලිටරිවාදය ට බලගතු පහරක් එල්ල කරනු වෙනුවට, පාලක පන්තියේ භුදේශපාලනික හා ආර්ථික උත්සුකතාවයන් ලුහුබැඳ යාමේ දී යුද්ධය යොදා ගැනීම සාධාරනීකරනය කිරීමට සහ නීතියුක්ත කිරීමට එවැනි අවස්ථාවන් උපයෝගී කර ගන්නා එක්සත් ජනපද සංස්ථාපිතය තුල සිටින මෙම කොටස් වලට ත්‍රස්තවාදය ඉඩ සලසා දෙයි. අහිංසක සිවිල් වැසියන් ඝාතනය කිරීමෙන් ජනතාව කුපිත කරයි. නොමග යවයි. ව්‍යාකුල කරයි. එය කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුවට වල කපන අතර මැද පෙරදිග සමකාලීන සංසිද්ධීන් පිලිබඳ ව ඇමරිකානු ජනතාව අධ්‍යාපන ගත කිරීමේ සියලු උත්සාහයන් ට හානි පමුනුවන්නේ ය.”

ආන්ඩු ඔවුන්ගේ ආරක්ෂක හමුදා මහාද්වීපය පුරා දැඩි ව සීරුවෙන් තබන මෙම අවස්ථාවේ දී මෙම ප්‍රකාශය නැවතත් යුරෝපය තුල දී සනාත කරනු ලෑබ ඇත. පෙර දින රාත්‍රියේ දී බෙල්ජියම එහි දේශසීමා වසාදමා පොලිස් සහ හමුදා බලකායන් බ්‍රසල්ස් නගරය වටලන විට අගමැති චාල්ස් මයිකල් මෙසේ ප්‍රකාශ කලේ ය “අප සම්බන්ධයෙන් ගත් කල ‘පෙර සහ පසු’ අවස්ථාවක් තිබේ. “බෝම්බ ප්‍රහාරයෙන් පසු කාල පරිච්චේදය සංවිධානය කිරීම” ට ඉහල ඇමතිවරුන්ගේ කවුන්සිලය අද උදේ රැස් කරන බව ඔහු කීවේ ය.

නොවැම්බර් 13 පැරීසියට එල්ල වූ ප්‍රහාර වලින් පසුව ජනතා විරෝධී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී හදිසි තත්වයක් සමාජවාදී පක්ෂය (පීඑස්) ප්‍රන්සය තුල ප්‍රකාශයට පත් කොට තිබේ. හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ඉඩ සලසන පීඑස් විසින් ප්‍රන්ස ව්‍යවස්ථාවට යෝජනා කර ඇති සංශෝධන අනුමත කිරීමට සෙනෙට් සභාවට බල කිරීමට බ්‍රසල්ස් නගරයට එල්ල වූ ප්‍රහාර පීඑස් නිලධාරීන් විසින් උපුටා දැක් වූහ.

අත්ලාන්තික් සාගරය දෙපැත්තෙම දේශපාලන සංස්ථාපිතය අලලා ගත් මුස්ලිම් විරෝධී හා යුද්ධයට හිතැති මනෝගතීන් ඇවිස්සීමට එක්සත් ජනපද ජනාධිපති අපේක්ෂකයෝ උත්සාහ කලහ. එක්සත් ජනපදයට මුස්ලිමුන් ඇතුලු වීම තහනම් කිරීමට එකඟතාවය ප්‍රකාශ කර ඇති රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රසල්ස් “සම්පුර්න විනාශයක්” වූ බව කීවේ ය. “අපි එක්සත් ජනපදය තුල වඩාත් ප්‍රවේසම් විය යුතුයි. මේ රට තුල සිටීමට අවසර දෙන අය ගැන අපි ඉතාමත් සුපරික්ෂාකාරී විය යුතු” යැයි ඔහු වැඩි දුරටත් පැවසුවේ ය.

මාස හතරක් පලාගොස් සිටි හා නොවැම්බර් 13 පැරිස් ප්‍රහාර වලට සම්බන්ධ වූ බවට චෝදනා ලැබ සිටින සිකුරාදා බ්‍රසල්ස්හි දී අත්අඩංගුවට ගත් සලාහ් අබ්දෙස්ලාම්ට වද දිය යුතු යැයි ට්‍රම්ප් ඉල්ලා සිටියේ ය. “වොටර්බෝඩින්ග් (රෙදි කඩකින් මුහුන බැඳ හුස්ම ගැනීමට අපහසු වන සේ ජලය වත් කිරීම- පව) වඩාත් සුදුසුයි. ඔවුන්ට නීතිය පුලුල් කල හැකිනම් වෝටර්බෝඩින්ග් වලට වඩා දේවල් මම කරමි” යැයි රිපබ්ලිකන් අපේක්ෂකත්වයට තරඟ වැදී සිටින්නා කීවේ ය.

“අද ප්‍රහාර මගින් සිදුවන්නේ ලෝකය පුරා තිබෙන ත්‍රස්තවාදයට සහ ජිහාඩ්වාදයට එරෙහිව මිත්‍ර පාක්ෂිකයන් ලෙස එක්ව නැගී සිටීමේ අපේ ශක්තිය වැඩි කිරීම පමනක්” බව ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රධාන තරඟකාරිය හිලරි ක්ලින්ටන් පැවසුවා ය. “අපි අපේ සුපරික්ෂාව සහ සන්නිවේදන තොරතුරු ලබා ගැනීම දැඩි කල යුතු” යැයි කියා සිටිමින් එක්සත් ජනපද සහ ජාත්‍යන්තර ඔත්තු සේවාවන් විසින් මහ ජනයාට එරෙහිව ඔත්තු බැලීම වඩාත් ශක්තිමත් කල යුතු බව ඇය කීවාය.

බ්‍රසල්ස් ප්‍රහාරයේ බිහිසුනු ස්වභාවය තිබියදීම, මාධ්‍ය ප්‍රචාර සහ අතිශයින් ම අවමානයට පාත්‍රව සිටින දේශපාලන සංස්ථාපිතය විසින් උසිගන්වන නව යුද්ධ සහ පොලිස් රාජ්‍ය විධික්‍රම වලට මහ ජනයා විසින් ඉඩ නොදීම අත්‍යාවශ්‍ය ය.

ත්‍රස්ත ප්‍රචන්ඩ ක්‍රියා හෙලා දකිමින් ධනේශ්වර දේශපාලකයන් කරන සියලුම ප්‍රකාශ වංචනික මෙන් ම කුහක ය. චාර්ලි හෙබ්ඩෝ සහ පසුගිය වසරේ නොවැම්බර් 13 පැරිස් ප්‍රහාරයේ සිට ඊයේ බ්‍රසල්ස් බෝම්බ ප්‍රහාරය දක්වා යුරෝපය තුල සිදු වූ අයිඑස්අයිඑස් ප්‍රහාර මාලාව මැද පෙරදිග විශාල පදාසයක් විනාස කල සහ ඉතිරි කොටස අස්ථාවර කර තිබෙන දසක ගනනාවක යුද්ධ සහ මිලිටරි මැදිහත්වීම් සමග අත්‍යන්තයෙන් ම බැදී ඇත.

අයිඑස්අයිඑස් මත අධිරාජ්‍යවාදී යුද්ධ තුනක නිෂ්පාදනයකි: පලමුව, ඉරාකය අල්කයිඩාවට ජනනාශක අවි සපයන බවට බොරු ප්‍රකාශ කරමින් බ්‍රිතාන්‍ය, ස්පාඤ්ඤය සහ ඉතාලිය ඇතුලු යුරෝපීය රටවල උදව් ඇතිව එක්සත් ජනපදය විසින් 2003 දී නීතී විරෝධී ලෙස ඉරාකය ආක්‍රමනය කිරීම; දෙවනුව, අල්කයිඩාවට සම්බන්ද කුලීකාර පාබල හමුදා යොදා ගනිමින් එක්සත් ජනපදය සහ නේටෝව විසින් ලිබියාවේ පාලන තන්ත්‍ර මාරු කිරීමේ යුද්ධය; සහ තෙවනුව, සිරියානු ජනාධිපති බෂාර්-අල්-අස්සාද් ගේ පාලන තන්ත්‍රය පෙරලා දැමීමේ ප්‍රයත්නයේ දී ඔවුන් විසින් පිටුබලය සපයන ලද අයිඑස්අයිඑස් ඇතුලු විවිධ ඉස්ලාමීය අනුපුරක හමුදා යොදාගෙන එක්සත් ජනපදය සහ යුරෝපීය බලයන් විසින් සිරියාව තුල අවුලවන ලද කුලීකාර යුද්ධය.

විශේෂයෙන් ම සිරියානු යුද්ධයේ පලමු අධියරේ දී ඉස්ලාම්වාදී භට කන්ඩායම් ත්‍රස්තය ඇතිකිරීම සහ ආන්ඩුව අස්ථාවර කිරීම සඳහා නිරන්තර බෝම්බ ප්‍රහාර යොදා ගත්හ. 2011 දෙසැම්බර් මාසයේ ඩමැස්කස් අගනුවරට එල්ල කල ප්‍රහාරයකින් 44 මරනයට පත් වී 166 තුවාල ලැබුහ. 2012 මැයි මාසයේ ප්‍රහාරයකින් 55 ඝාතනය වී 400 තුවාල ලදහ. 2013 පෙබරවාරි ප ්‍රහාරයකින් 80 මියගොස් 250 තුවාල වුහ.

ඉස්ලාම්වාදී විපක්ෂයට මෙම ලේවැකි ප්‍රචන්ඩත්වය පුරාම වොෂින්ටනය සහ එහි මිත්‍ර පාක්ෂිකයෝ ආධාර දුන්හ. අයිඑස්අයිඑස් සංවිධානයට එරෙහි වුයේ එය 2014 ග්‍රීස්ම ඉරුතුවේ දී බැග්ඩෑඩ් වල එක්සත් ජනපද රුකඩ පාලන තන්ත්‍රය ට පහර දීමෙන් පසුව පමනි. එවිට දී පවා ප්‍රන්සයේ පීඑස් ආන්ඩුව ඉරාකයේ අයිඑස්අයිඑස් ඉලක්ක වලට බෝම්බ දමන විට එය සිරියාවේ අයිඑස්අයිඑස් ඉල්ලක්ක වලට බෝම්බ නොදමන බව ප්‍රකාශ කලේ ය. අසාද් විරෝධී බලවේග දුර්වල නොකිරීම පිනිස සිරියාව තුල අයිඑස්අයිඑස්ය ට පහරදීමෙන් වැලකී සිටින බවට පල වූ මාධ්‍ය වාර්තා අසත්‍ය යැයි ප්‍රකාශ කිරීම පැරීසිය ප්‍රතික්ෂේප කලේ ය. ප්‍රන්සය සිරියාවේ අයිඑස්අයිඑස් ත්‍රස්තයන්ට බෝම්බ දැමීම ආරම්භ කලේ 2015 ජනවාරි මාසයේ චාර්ලි හෙබ්ඩො වලට පහර දීමෙන් පසුව පමනි.

මෙම යුද්ධ යුරෝපය තුල ෆ්‍රැන්කන්ස්ටයින් යක්ෂයෙක් එනම් යුරෝපීය විදේශ පිලිවෙතට හා පොලිස් කන්ඩායම් වලට සමීප ව බැඳුන ඉස්ලාම්වාදී සටන් කරුවන්ගේ ජාලයක් නිර්මානය කර ඇත. චාර්ලි හෙබ්ඩෝ ප්‍රහාරය සහ නොවැම්බර් 13 පැරිස් වෙඩි තැබීම කල කෝචි සහෝදරයන් වැනි යුරෝපය තුල අයිඑස්අයිඑස් ප්‍රහාර එල්ල කරන්නවුන් සිරියාව තුල යුද්ධය සඳහා යුරෝපයෙන් ඉස්ලාම්වාදීන් බඳවා ගැනීමේ මෙහෙයුම් වලට සම්බන්ද කරනු ලබන බව අනිවාර්යෙන් ම සනාත කරයි. යුරෝපය පුරාම ඔත්තු සේවාවන් ඔවුන්ව දැන සිටි අතර සමීපව අධීක්ෂනය කලේ ය. ඔවුන්ට මහාද්වීපය පුරා සැරිසරමින් ලේවැකි ප්‍රහාර සුදානම් කිරීමට ඉඩ දී තිබුනී.

යුරෝපය තුල ප්‍රහාර තීව්‍ර වීමේ වැදගත් සාධකයක් වන්නේ ඔවුන්ගේ පොලිස් රාජ්‍ය විධික්‍රම ප්‍රසාරනය කරන ගමන් කම්කරු පන්තිය බෙදීම සඳහා මුස්ලිම් විරෝධී වෛරය පතුරවාලීමට එබදු අපරාධ මගින් සම්පාදනය කල ව්‍යාජ නිමිත්ත යුරෝපීය පාලක පන්තියේ පලල් කොටස් විසින් සාදරයෙන් පිලිගනු ලැබීමය. මැද පෙරදිග යුද්ධයන්ගෙන් පලා එන දසලක්ෂ සංඛ්‍යාත සරනාගතයන්ට රැකවරන ලබා ගැනීමේ අයිතිය ප්‍රතික්ෂේප කිරීමේ දුෂ්ට සහ නීති විරෝධී පිලිවෙත සාධාරනීකරනය කිරීමට උත්සාහ දැරීමේ දී හා තව තවත් රුදුරු කප්පාදු පිලිවෙත් කම්කරු පන්තිය මත පැටවීමේ දී පාලක ප්‍රභුව එවන් ත්‍රස්ත ප්‍රහාර දකින්නේ අනපේක්ෂිත වාසනාවක් ලෙසිනි.

අධිරාජ්‍යවාදී යුද්ධ මගින් මැද පෙරදිග ලේ හැලීම යුරෝපය තුලට එන තත්වයේදී එහි දේශපාලනික පාඩම් නොපමාව උකහා ගත යුතු ය. සෑම ත්‍රස්ත ප්‍රහාරයකට ම පසුව ආරක්ෂක බලකායන් සහ පොලිස් රාජ්‍ය බලතල වැඩිකිරීම මගින් සිදු වී ඇත්තේ ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට වඩ වඩා රුදුරු ප්‍රහාර, නව මිලිටරි තීව්‍ර කිරීම් සහ තව තවත් ත්‍රස්ත පහරදීම් වලට තත්වය නිර්මානය කිරීම පමනි.

මෙම ප්‍රතිගාමී ප්‍රචන්ඩ සර්පිලය නතර කල හැකි එක ම ක්‍රමය වන්නේ එහි මූල හේතුවලට ආමන්ත්‍රනය කිරීම පමනි. එනම් මැද පෙරදිග ආධිපත්‍ය තහවුරු කර ගැනීම සඳහා ප්‍රධාන අධිරාජ්‍යවාදී බලයන්ගේ යුද ධාවනය. මෙය යුද්ධයට එරෙහිව සමාජවාදය සඳහා කම්කරු පන්තියේ පුලුල් ව්‍යාපාරයක වර්ධනය ඉල්ලා සිටියි.

ඇලෙක්ස් ලැන්ටියර්

Share this article: