ආන්ඩුව පාතාලය මර්දනය කිරීමේ මුවාවෙන් මිලිටරි-පොලිස් විධික‍්‍රම උත්සන්න කරයි

වසන්ත රූපසිංහ විසිනි, 2016 මාර්තු 09

පසුගිය සති කීපය තුල සිදුවූ අපරාධ හා ඝාතන හුවා දක්වමින් පාතාල ලෝකය මර්දනය කිරීමේ නමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ආන්ඩුව ගිය සතියේ ප‍්‍රකාශයට පත් කල පියවරයන්ගේ ඉලක්කය වන්නේ, ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ප‍්‍රහාර කෙරෙහි වැඩෙමින් පවත්නා මහජන විරෝධය මැඩීමට පොලිස් හා මිලිටරි හස්තය ශක්තිමක් කිරීම යි.

මාර්තු 6 ඉරිදා නාරාහේන්පිට අභයාරාම විහාරයේ පැවති උත්සවයකදී කතා කරමින් සිරිසේන සඳහන් කලේ, පොලිස්පති ඇතුලු ඉහල පොලිස් නිලධාරීන්ට පෞද්ගලිකව ම දුරකථනයෙන් කතා කර පාතාල කල්ලි කන්ඩායම්වල “හැසිරීම පාලනය කිරීමට හා මර්දනය කිරීමට අවශ්‍ය සම්පූර්න කටයුතු කරන ලෙස” තමන් නියෝග කල බව යි. මෙම කටයුත්තේ දී, පොලීසියට හා යුද හමුදාවට “ඒකාබද්ධවී නීත්‍යානුකූලව කල හැකි සියලු දේ කිරීමට උපදෙස් ලබා දුන්” බව සිරිසේන තවදුරටත් පැවසී ය. “සමාජයේ යහපැවත්ම සඳහා, නිදහසේ, සාමකාමීව, සතුටින් ජීවත්වන මිනිසුන්ගේ ජීවිතවලට අවහිර කරන්නට කිසිදු අපරාධකරුවන්ට පාතාල කල්ලිවලට ඉඩ තබන්නේ නැත” යයි කියමින් සිරිසේන සදාචාරවාදී සලුවක් ද සිය විසකුරු වැඩපිලිවෙලට ඇන්දුවේය.

“පාතාල ලෝකයේ කටයුතු හා නීති විරෝධී අවි සම්බන්ධයෙන් නව මූලෝපායක් සැකසීමට” බස්නාහිර පලාතේ ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර පත් කර “අපරාධ මැඩීමේ පොලිස් මෙහෙයුම් මාලාවක්” සෙනසුරාදා සිටම ආරම්භ කර ඇති බව මාධ්‍ය වාර්තා කලේ ය. මේ සඳහා බස්නාහිර කලාපය තුල විශේෂ පොලිස් ඒකක 10ක් හා පොලිස් ස්ථාන 102ක් ස්ථාපිත කොට ඒවාට අනුබද්ධව ක්ෂනික මාර්ගබාධක දැමීමට කටයුතු යොදා ඇති අතර මෙම වැඩපිලිවෙල ඉදිරි දිනවලදී දිවයිනේ අනෙකුත් ප‍්‍රදේශවලට ව්‍යාප්ත කිරීමට සැලසුම් කර තිබේ. යුද්ධය පැවති සමයේදී රටපුරා කි‍්‍රයාත්මක කල මාර්ග බාධක යොදා ගැනුනේ ආන්ඩුවට එරෙහි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට හා බොහෝ අවස්ථාවල එසේ අත්අඩංගුවට ගත් අය අතුරුදහන් කිරීමටත් ය.

ආන්ඩුවේ කුලප්පුවට සරිලන අයුරින්, මාර්තු 7 දා මිලිටරි ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් ජයනාත් ජයවීර මාධ්‍යයට ප‍්‍රකාශ කලේ, පාතාල ලෝකයේ අපරාධකරුවන් මර්දනයට පොලීසිය සමග ඒකාබද්ධව කටයුතු කිරීමට යුද හමුදාව අවශ්‍ය පියවර ගනිමින් සිටින බව යි. කුප‍්‍රකට විශේෂ කාර්ය බලකායේ සෙබලුන් ද මෙම කාර්යයට අනුයුක්ත කර ගත හැකි ලෙස විධිවිධාන සලසා ඇත.

රටම අලලා ගනිමින් සූදානම් කෙරෙන පොලිස් පාලන වැඩපිලිවෙලක් පිලිබඳ ඉඟි කරමින්, මාර්තු 7දා ඩේලිමිරර් පුවත්පත වාර්තා කලේ, සෑම පොලිස් ස්ථානයකම පොලිස් බුද්ධි අංශ යලි ස්ථාපිත කිරීමට අගමැති රනිල් වික‍්‍රමසිංහ නියෝග කර ඇති බව යි. “පාතාල ලෝකය හා අනෙකුත් අපරාධ කි‍්‍රයාකාරිත්වයන් පිලිබඳ ඔත්තු බැලීමට මෙයින් හැකියාව ලැබෙනු ඇති හෙයින්” අගමැති මෙම තීන්දුව ගෙන ඇතැයි පුවත්පත සඳහන් කලේ ය. නොවරදින ලෙසම, මෙහි “අනෙකුත් අපරාධ කි‍්‍රයාකාරීත්වයන්” ලෙස සලකා ඇත්තේ, ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ප‍්‍රහාර කෙරෙහි මහජනයා තුල වැඩෙමින් පවත්නා කැරැලිකාරීත්වය බවට කිසිදු සැකයක් නැත.

“සමාජයේ යහපැවත්ම සඳහා”මෙම පියවර ගන්නේයැයි සිරිසේන කරන ප‍්‍රකාශය වංචනික ය.

ජනවාරි මාසයේ ඇමෙරිකාව පිටුබලය දුන් පාලන තන්ත‍්‍ර මාරුවක ප‍්‍රතිපලයක් ලෙස වත්මන් ජනාධිපති බලයට ආවේ, කලින් පාලන බලය හෙබවූ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලනය කෙරෙහි මහජනයා තුල වැඩෙමින් පැවති වෛරය යහමින් ගසා කමිනි. එහෙත් කෙටි කලකින්ම බලයට ඒමේදී දුන් පොරොන්දුවලට පයින් ගැසූ සිරිසේන - වික‍්‍රමසිංහ ආන්ඩුව, ගැඹුරුවන ආර්ථික අර්බුදයක කිඳෙන අතරේ ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ නියෝග අනුව කටයුතු කරමින් කි‍්‍රයාවට දමා ඇති ප‍්‍රහාර මහජනයා තුල වෛරය හා කලකිරීම දැල්වීමට හේතුවී තිබේ. ආන්ඩුව වඩවඩාත් පොලිස් රාජ්‍ය විධික‍්‍රම මත වාරු වන්නේ එවැනි ආතති සහගත සමාජ, ආර්ථික කොන්දේසීන් වැඩෙමින් තිබෙන තතු තුල අධිරාජ්‍ය ගැති ධනපති පන්ති පාලනය රැක ගැනීම සඳහාය.

“පාතාලයට එරෙහි යුද්ධය” යන්න මෙම මර්දනයට යොදා ගන්නා හුදු කඩතුරාවක් පමනි. ලෝක ධනපති ක‍්‍රමයේ අර්බුදය තුල, ඇමරිකාවේ පටන් දියුනු ධනපති රටවල ද නොදියුනු රටවල ද ආන්ඩු පොලිස් පාලන විධි උසිගන්වා ඇත.

ලංකාවේ පාතාල ලෝකය හා ඝාතක කල්ලිවල මතුවීම හා ඒවායේ පැවත්ම, දශක ගනනාවක් තිස්සේ සිරිසේන ද නියෝජනය කරන ධනේශ්වර දේශපාලන සන්ස්ථාපිතයේ කුනුවීම ප‍්‍රකාශයට පත් කරයි. දේශපාලන සංස්ථාපිතයට එවැනි කල්ලි සමග ඇති සබඳතා කුප‍්‍රකට ය. මහජනයාගේ ඇත්ත අවශ්‍යතාවලින් මුලුමනින්ම වියෝවී ඇති ධනේශ්වර දේශපාලඥයින්ට එවැනි මර්දනකාරී යාන්ත‍්‍රනයකින් තොරව පැවතීමට හැකියාවක් ඇත්තේ නැත.

ධනේශ්වර ආන්ඩුවල මෙම වංචනික ප‍්‍රයෝගවලට සුදුහුනු ගෑමේ කාර්යයේ නිරත කොලඹ මාධ්‍ය හා සංස්ථාපිතයේ දේශපාලන පක්ෂ එම කරුන වසන් කරයි. ඒවා මෙකී මර්දනකාරී පිලිවෙත්වලට මහජනයාගේ විඤ්ඤානය සූදානම් කිරීමේ කැත වැඩය භාරගෙන ඇත.

මාර්තු 6 දක්ෂිනාංශික ඉරිදා දිවයින පුවත්පතේ කතුවැකිය මෙය ප‍්‍රකාශයට පත් කරයි. “ගැන්ග්ස්ටර් භීතිකාව” නමින් ලියා තිබූ කතුවැකිය, පාතාලය මර්දනය කිරීමේ නමින් මීට ඉහතදී රාජපක්ෂ ආන්ඩුව ගෙනගිය මර්දනය “විධිමත් වැඩපිලිවෙලක්” ලෙස ප‍්‍රශංසාවට ලක් කර ඇත. වත්මන් ආන්ඩුවේ මිලිටරිකරන වැඩපිලිවෙල කෙරෙහි පැන නැගිය හැකි මහජන විරුද්ධත්වයට කල් තබාම පහර දෙමින්, “හමුදා සෙබලකු හෝ විශේෂ බලකා සෙබලකු පාරේදී දුටු විට රටම මිලිටේරි කරනවා” යැයි පවසන අය එම කතු වැකියෙන් අවඥාවට ලක් කර තිබේ.

පාතාලයට එරෙහි “නොතිත් මෙහෙයුමක්” ගෙන යාමට ඉල්ලා සිටි දක්ෂිනාංශික දි අයිලන්ඩ් පුවත්පතේ මාර්තු 8 කතුවැකිය, මෙහිලා “පොලීසියට බෙහෙවින් අවශ්‍යව ඇති මානව හා භෞතික සම්පත් ප‍්‍රදානය කරන” ලෙසත්, “අපරාධවලට එරෙහිව කි‍්‍රයාත්මක පොලිස් නිලධාරීන්ට ඒවා නිදහසේ කරගෙන යාමට ඉඩ දෙන” ලෙසත් ඉල්ලා සිටියේ ය.

දි අයිලන්ඩ් කතුවැකිය යෝජනා කරන පරිදි “පොලීසිය නිදහසේ කටයුතු” කිරීම යනු ඔවුන් නීතියේ නමින් ඉව බවක් නැතිව කරන අපරාධ කිසිදු වගවීමකින් තොරව කරගෙන යාමට ඉල්ලා සිටින නිදහස යි. සුලු වරදකට වුව අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ට දස වධ දීමත් බලාත්කාරයෙන් පාපෝච්ඡාරන ගැනීමත් පිලිබඳ කුප‍්‍රකට වාර්තාවක් පොලිසිය සතු ය.

වත්මන් අපරාධ පිලිබඳව අදහස් දක්වමින් මෑතකදී හිටපු ජනාධිපති රාජපක්ෂ මාධ්‍යවේදීන්ට කීවේ “මේ අපරාධ මෙතෙක් කල් තිබුනේ නැති” බවත් ඔහුගේ පාලන සමයේ ඒවා “මර්දනය කර තිබුන” බවත් ය. ඔහු කල්පනා කරනවා ඇත්තේ ලංකාවේ කම්කරුවන්, තරුනයන් හා දුගීන් එක්කෝ මැරී ඉපදී ඇති බවය, නැතහොත් මහා අමතක වීමේ රෝගයෙන් පෙලෙන බවය. යුද්ධයේ අවසන් මාසවලදී පමනක් අහිංසක දෙමල මිනිසුන් දහස් ගනනක් සංහාරය කිරීම ද රතුපස්වල පානීය ජලය ඉල්ලූ ජනයාට එරෙහිව මිලිටරි සේනාංක දිගේලි කිරීම ද පුද්ගලයන් පැහැර ගැනීම හා අතුරුදහන් කිරීම ද රාජපක්ෂ පාලනයේ දිග වාර්තාවෙන් බිඳකි.

එල්ටීටීඊයට එරෙහි යුද්ධයේ අවසානයත් සමග රාජපක්ෂ විජයග‍්‍රහනයේ උන්මාදයක් පතුරුවමින් ඊනියා ‘පාතාලයට විරුද්ධ යුද්ධය’ මුලින් ම ප‍්‍රකාශයට පත් කලේ 2009 දී ය. එහි අරමුන වූයේ, ඊනියා ආර්ථික යුද්ධයක නමින් රුදුරු ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කප්පාදු වැඩ පිලිවෙල කි‍්‍රයාවට දැමීමේ දී ඊට එරෙහි වන ජනයා මැඩීමට පොලිසිය, මිලිටරිය හා පාතාල කල්ලි මෙහය වීමයි.

කොලඹ ධනපති සංස්ථාපිතයේ පක්ෂයක් බවට පත්ව ඇති ජනතා විමුක්ති පෙරමුන රාජපක්ෂට දෙවෙනි නැත. මාර්තු 8 දා දිවයින වාර්තා කර තිබුනේ, “රටතුල මතුව ඇති අපරාධ රැල්ල හා පාතාල ගැටුම් මැඩ පැවත්වීමට ආන්ඩුව මේ වනතෙක් පියවරක් ගෙන නැති” බවත් ඒ සඳහා “වහාම පියවර” ගත යුතු බවත් ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පුවත්පතට කී බව යි. ධනපති ආන්ඩු ගනනාවකම මර්දනයන්ට කෙලින්ම කර උර දුන් ජවිපෙ යලිත් එය උත්සන්න කිරීමට ආන්ඩුවට කොල එලිය දල්වා තිබේ.

සිරිසේන හා වික‍්‍රමසිංහ පොලීසිය හා මිලිටරිය මුවාත් කර කඩා පැන්නවීමට තීන්දු කර ඇත්තේ සිසුන්ගේ අරගල පිටුපසින් දැන් ගොවියන් අයිතීන් ඉල්ලා වීදිවලට බැස ඇති තත්වයක මෙන්ම බලවත් කම්කරු අරගල පුපුරා ඒමේ කොන්දේසි වැඩෙන තතු තුල වීම අහම්බයක් නොවේ. ලෝක අර්බුදය හා ලංකාවේ නය ගැති කම ගැන ප‍්‍රකාශ දෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත නව ප‍්‍රහාර වටයක් අරඹා ඇති තත්වයේ දී ඊට එරෙහිව දැවැන්ත අරගල මතුවන බව ආන්ඩුව දනී.

පාතාලය මැඩීමේ කොඩියට මුවාවී කෙරෙන ආන්ඩුවේ මර්දනකාරී සුදානම බරපතල අන්තරායක් ලෙස කම්කරුවන්ගේ, තරුනයන්ගේ හා දුගීන්ගේ ක්ෂනික අවධානයට ලක් විය යුතුය.

Share this article: