බර්නි සැන්ඩර්ස් හා “ස්කැන්ඩිනේවියානු මොඩලය ”- ලෝක සමාජවාදී වෙබ් අඩවිය

 

බර්නි සැන්ඩර්ස් හා “ස්කැන්ඩිනේවියානු මොඩලය ”

Bernie Sanders and the “Scandinavian model”

ජෝර්ඩන් ෂිල්ටන් විසිනි ,2016 පෙබරවාරි 26

<

නෙවාඩාහි මෑතකදී පැවැත්වූ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක විවාදයකදී, සමාජවාදය ලෙස ඔහු කුමක් අදහස් කරන්නේද යන්න විමසූ විට තමන් “ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදියකු ” ලෙස හඳුන්වා ගන්නා බර්නි සැන්ඩර්ස් ඊට උදාහරන වශයෙන් ගෙන හැර දැක්වූයේ ස්කැන්ඩිනේවියානු රටවල්ය.

“මම ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදය ගැන කතා කරද්දී, වැනිසියුලාව දෙස නොබලමි. මම කියුබාව දෙස නොබලමි. මම බලන්නේ ඩෙන්මාර්කය හා ස්වීඩනය වැනි රටවල් දෙසය...”යි වර්මොන්ට් සෙනෙට් සභිකයා පැවසීය

ඇමරිකානු සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ දේශපාලන රැඩිකලීකරනයේ ප්‍රාරම්භක අවධියක් සලකුනු කරමින් සැන්ඩර්ස්, කම්කරුවන් හා තරුනයින් අතර සැලකිය යුතු සහායක් දිනාගෙන ඇත. එහෙත් මෙහිදී සැන්ඩර්ස්, ඩෙන්මාර්කය හා ස්වීඩනය උදාහරන ලෙස ගැනීම, ඔහුගේ “සමාජවාදී” කයිවාරුවේ චපලකම දක්වන තවත් එක් අවස්ථාවකි.

ඩෙන්මාර්කය හා ස්වීඩනය යන ස්කැන්ඩිනේවියානු රටවල් දෙක දශක ගනනාවක් පුරා යුරෝපයේ හා උතුරු ඇමරිකාවේ ප්‍රගතිශීලී කවයන් අතර ශුද්ධවූ ස්ථානයක් දරා සිට ඇත. ධනවාදය මානවවාදී කර, එහි වඩාත්ම නරක සීමා ඉක්මවීම් රාජ්‍ය නියාමනය මගින් සීමාකර, ධනවතුන්ට ඉහල බදු පැනවීමෙන්, සාපේක්ෂව ත්‍යාගශීලී සමාජසේවා සහ සුභ සාධක සම්පාදනයෙන් අත්පත් කර ගත හැකි දෑ මෙකී රටවල් විසින් පෙන්නුම් කර ඇතැයි එමඟින් තර්ක කෙරුනි.

සත්‍යය නම් මෙහි සම්පූර්න ප්‍රතිපක්ෂයයි. විසිවෙනි සියවසේ එක්තරා කාල පරිච්ඡේදයකදී , විශේෂ කොටම දෙ‍වෙනි ලෝක යුද්ධය නිමාවූ ආසන්න සමය තුල, ජාතික රාජ්‍ය නියාමනය පිලිබද කේන්සියානු ආර්ථික ප්‍රතිපත්ති වැලඳගත් සහ වෘත්තීය සමිති නිලධරය හා හාම්පුතුන්ගේ ආයතන අතර සහ-කලමනාකාරිත්ව ව්‍යුහයන් ස්ථාපනය කල පාලක පන්තියෙන් යම් සහන කම්කරු පන්තිය විසින් දිනාගනු ලැබින. මෙම ප්‍රතිසංස්කරන වෙනත් බොහෝ රටවලට වඩා ස්වීඩනය ඩෙන්මාර්කය, නෝර්වේ සහ පින්ලන්තයේ දී ක්‍රියාවට නැඟුනි. එසේ වතුදු ඒවා දුර දක්නා දේශපාලනඥයන් විසින් ඉහල සිට ලබා දුන් ප්‍රධානයන් නොව, පන්ති අරගලයේ ඉහලම ලක්ෂ්‍යය සලකුනු කල 1917 ජයග්‍රාහී රුසියන් විප්ලවයෙන් පසුව පන්ති සටන් තුලින් ධනපති පන්තියෙන් උදුරා ගන්නා ලද දේ විය.

1930 ගනන් වලින් පසු දශක ගනනාවක් තිස්සේ ස්වීඩනය තුල බල පරාක්‍රමය ඉසුලුවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ය. පස් දෙනෙකු මරා දමමින් වැඩ වර්ජිත කම්කරුවන්ට රාජ්‍ය හමුදා විසින් වෙඩිතබන ලද 1931 විවෘත ගැටුම් ද ඇතුලත්, කම්කරු පන්තියේ සටන්කාමී වැඩ වර්ජන වලට ප්‍රතිචාර දක්වමින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදීහු, සුභසාධන ප්‍රතිසංස්කරන ස්ථාපනය කර, ජාතික සෞඛ්‍ය සේවා පද්ධතියක් ඇති කලහ.

ස්වීඩන ධනපති පන්තිය, ජර්මානු යුද යාන්ත්‍රයට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා බොහෝකොටම මධ්‍යස්ථ භාවය රැකගත්තාවූ, දෙවන ලෝක යුද්ධයට පසුව, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් සහ වෘත්තීය සමිතී එක්ව සහ-කලමනාකාර පද්ධතියක් ස්ථාපනය කරන ලදී. ජාතික සාමූහික ගිවිසුම් මගින් ස්ථාවර අනවරත ශ්‍රම සැපයුමක් ධනපතීන්හට සහතික කල අතර ඔවුන් තම ලාභයෙන් වැඩි කොටසක් ආර්ථික ක්‍රියාවලියෙහි ප්‍රති ආයෝජනය කලහ. මෙයට හිලව් වශයෙන් සෑහෙන ප්‍රමාන වැටුප් වැඩිකිරීම්, සාපේක්ෂව ත්‍යාගශීලී අසනීප නිවාඩු, ගර්භනී ප්‍රතිලාභ සහ විශ්‍රාම වැටුප් කම්කරුවන්ට දෙනු ලැබින. ශ්‍රම අධ්‍යයන පිලිබඳ ජාත්‍යන්තර ආයතනය මගින්, ස්වීඩනයේ කම්කරු සබඳතාවන්ගේ ආකෘතිය පිලිබඳව 1998 සිදුකල අධ්‍යයනයක්, (දෙවන ලෝක) යුද්ධ‍යෙන් ඉක්බිති දශක තුල හාම්පුතුන් හා වෘත්තීය සමිති අතර සබඳතාවේ ස්වභාවය සම්පින්ඩනය කරමින් සටහන් කල අයුරු ,“ දික්කසාද වීම පිලිබඳ හැකියාවත් නොමැති, සුව පහසුව සඳහා වූ කසාදයක් තුල මේ පාර්ශවයන් එකට ජීවත්වේ.”

අඩු හෝ වැඩි වශයෙන් මෙවැනි කොන්දේසි පැවති සියලුම නෝර්ඩික් රටවල්, මෙකී මුලු කාල පරිච්ඡේදය පුරාම ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සමීප සහකරුවන්ව සිටියහ. නෝර්වේ, ඩෙන්මාර්ක් හා අයිස්ලන්තය නේටෝවේ ආරම්භක සාමාජිකයන් වූහ. ජාතික ආරක්ෂක ආයතනයේ (NSA) රහස් හෙලිදරව් කල එඩ්වර්ඩ් ස්නෝඩන් විසින් 2013 දී මුදාහල ලියවිලි මගින්ද තහවුරු කල පරිදි, තම මධ්‍යස්ථභාවය පිලිබඳ පශ්චාත් යුද සමය තුලදී හදා වඩා ගත් මහජන ප්‍රතිරූපය නොතකා, සෝවියට් සංගමයට එරෙහි ඔත්තු සැපයීමේ තීරනාත්මක ප්‍රභවයක් ලෙස ස්වීඩනය ක්‍රියාත්මක විය. අධිරාජ්‍ය ගැති එක්සත් ජාතීන් වැනි සංස්ථා සඳහා, ස්කැන්ඩිනේවියානු රටවල් , අසමානුපාතිකව වැඩි තානාපති සහ අනෙකුත් නිලධාරීන් සංඛ්‍යාවක් සැපයීය.

නොර්ඩික් රටවල් අනෙක්වාට නො අඩුව, ලෝක ආර්ථිකයේ විතැන්වීම් වලට බඳුන් වනු දක්නට ලැබුනි. 1980 ගනන්වල සිට නිෂ්පාදනයේ භූගෝලීයකරනය සෑම ජාතික ප්‍රතිසංස්කරනවාදී වැඩ පිලිවෙලකටම වල කපද්දී හා ජනාධිපති රොනල්ඩ් රීගන් හා බ්‍රිතාන්‍ය අගමැති මාග්‍රැට් තැචර් ගේ නායකත්වයෙන් ධනපති පන්තිය තම ප්‍රති ප්‍රහාරය දියත් කරද්දී ස්වීඩන ආන්ඩු, මහජන සේවා හා සුභ සාධන අකුලා දැමීමට පටන් ගති. තම භාන්ඩ විකුනා ගැනීමට හා මූල්‍ය සමපේක්ෂනය සඳහා ලෝක ආර්ථිකය මත වැඩි වැඩියෙන් යැපීමට සිදුවූ පාලක ප්‍රභූවට, (දෙවන ලෝක) යුද්ධයෙන් පසු ආධිපත්‍යය දැරූ ජාතිකව පරිපාලිත කම්කරු සබඳතා පර්යාය පවත්වාගෙන යෑම සඳහා උනන්දුවක් නොවීය.

1990 ගනන්වල සිට, මහජන සේවාවන් විනාශ කිරීම සඳහා වෘත්තීය සමිති වල පූර්න සහයෝගය සහිතව සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආන්ඩු පෙරමුන ගති. ස්වීඩනයේදී, 1990 ගනන්වල මුල සිදුවූ නෝර්ඩික් බැංකු අර්බුදයට පසුව බලයට පැමින, 1994 සිට 2006 දක්වා බලයේ සිටි, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආන්ඩුව, සුභසාධන වියදම් කප්පාදු සමගින් අධ්‍යාපන හා සෞඛ්‍ය සේවයේ මහා පරිමාන පුද්ගලීකරනය ක්‍රියාවට නැංවීය. එහි දක්ෂිනාංශික වාර්තාව, ඔවුන් බලයට පැමිනි පසු ස්වීඩන ඉතිහාසයේ විශාලතම පුද්ගලීකරන මෙහෙයුම දියත් කල, මොඩරේට් පක්ෂ (Moderate Party) අගමැති ෆෙඩ්රික් රයින්ෆෙල්ට් යටතේ කොන්සර්වැටිව් සන්ධාන ආන්ඩුවට පාර කැපීමට උදව් විය.

මෙලෙසින්ම, ඩෙන්මාර්කයේදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදය වේගයෙන් දකුනට කැරකුනි. 1990 ගනන් වලදී පෝල් නිරප් රස්මුසෙන්ගේ ආන්ඩුව සුභසාධන වියදම් කප්පාදු ආරම්භ කල අතර, මහාද්වීපය පුරා කම්කරු ජීවන මට්ටම් හා වැටුප් පහත දැමීමේ යන්ත්‍රනයක් සේ ක්‍රියාත්මකවූ යුරෝව, ඩෙන්මාර්කය විසින් වැලඳ ගැනීම උදෙසා ක්‍රියා කලේය. යුරෝව පිලිබඳ ජනමත විචාරනයකදී ලද පරාජයකින් අනතුරුව මෙම ආන්ඩුව 2001 දී බලයෙන් පහවූ පසුව, අන්ත දක්ෂිනාංශික ජාතිකවාදී ඩේනිෂ් පීපල්ස් පක්ෂය (DP ) හි සහය මත වාරුවීම හරහා ඇන්ඩර්ස් ෆොග් රස්මුසෙන්, වෙන්ස්ටර් ආන්ඩුවේ දක්ෂිනාංශික ප්‍රතිපත්ති සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් විසින් වැලඳ ගන්නා සැටි පෙන්නුම් කලේය. මෙම ආන්ඩුව යුරෝපයේ දෘඩතම ආගමනික නීති ක්‍රමය ක්‍රියාවට දැමූ අතර , එක්සත් ජනපදය නායකත්වය දුන් අධිරාජ්‍යවාදී ඉරාක යුද්ධයට සහය දුනි.

පසු ගිය දශක දෙක පුරා, ස්වීඩනය කලින් පවත්වාගෙන ගිය තම මධ්‍යස්ථභාවයේ සියලු සලකුනු හැර දමා ඇත. එය 2011 දී ගඩාෆි තන්ත්‍රය පෙරලා දැමූ එක්සත් ජනපදය නායකත්වය දුන් සභාගයේ කොටස් කරුවකු ලෙස ලිබියාවට ප්‍රහාරක ගුවන්යානා යැවූ අතර, වොෂින්ටන හා බර්ලින අනුග්‍රහය සහිතව පැසිස්ට්වාදීන් නායකත්වය දුන් කියෙව්හි කුමන්ත්‍රනකාරී ආන්ඩු පෙරලිය මගින් ඇවිල ගිය යුක්‍රේන අර්බුදය, ආරක්ෂක වියදම් විශාල ලෙස වැඩි කිරීමට හා තම නොර්ඩික් අසල්වාසීන් හා එක්ව එක්සත් ජනපද නායකත්වයෙන් රුසියාවට එරෙහි යුද පෙලගැස්ම හා ඒකාබද්ධ වීම සඳහා පෙරමුන ගත්තේය.

අවුරුදු කිහිපයකින් රට යුද්ධයකට පැටලිය හැකි බවට අනතුරු ඇඟවූයේ, මෙම වසර ආරම්භයේදී ජ්‍යෙෂ්ඨ ස්වීඩන හමුදා ජෙනරාල් වරයකු විසිනි.

එ.ජ. අධිරාජ්‍යවාදීන්ගේ ඇෆ්ගනිස්ථාන හා ඉරාක ආක්‍රමන තුලදී සිදුකල දුෂ්ඨතම අපරාධයන්ගෙන් සමහරක් හෙලිදරව් කල විකී ලීක්ස් ආරම්භක ජූලියන් අසාන්ජ් එල්ල කරගත් එක්සත් ජනපද මූලිකත්වය ගත් දඩයම තුල ද ස්වීඩනය ප්‍රධාන භූමිකාවක් ඉටු කලේය.

ස්කැන්ඩිනේවියාවේ මෙම නාටකීය දකුනට පැද්දීම, ගෝලීය මූල්‍ය ප්‍රභූවේ මුල් පෙලේ නියෝජිතයන් අතර උනන්දු සහගත ප්‍රතිචාරයක් දනවා ඇත. 2014 දී ඔවුන් ලියා පලකලThe Fourth Revolution: The Global Race to Reinvent the State (සිව්වන විප්ලවය: රාජ්‍යය ප්‍රති නිර්මානය සඳහා ගෝලීය තරගය) නම් පොතෙන්, එහි කතුවරුන් වන ජෝන් මැක්ලෙත්වෙට් හා ඇලන් වුල්ඩ්රිච් නම් නිදහස් වෙලඳපොල ගැති ‘එකොනොමිස්ට් ’සඟරාවේ කලින් කතු වරුන් දෙදෙනා අනාගතය සඳහා ආදර්ශයක් ලෙස ස්වීඩනයට ප්‍රශංසා කර ඇත. කම්කරු පන්තියට එරෙහි තම ප්‍රහාරයන් හි දී අවශ්‍ය තරම් දුර, තැචර් හා රීගන් ගමන් නොකලෝය යන ආස්ථානය දරමින් තම පැහැදිලි දක්ෂිනාංශික දිශානතිය එලි දක්වන මෙම කතුවරුන් ලියූ පරිදි, “ස්ටොක්හෝම්හි වීදි ශුද්ධවූ එලදෙනුන්ගේ (පූජනීය) රුධිරයෙන් නැහැවී ඇත. සුභසාධන ව්‍යවසායකයන් හා නැමීගත් කලමනාකාරිත්වය පිලිබඳ නව අදහස් වලින් දේශීය බුද්ධි මන්ඩල උතුරා ගලයි. සැබවින්ම ඔවුන් කලයුතු දේ යැයි දේශපාලඥයන් දන්නා, එහෙත් කලාතුරකින් පමනක් උත්සාහ කිරීමට නිර්භීත වන බොහෝ දේ, ස්වීඩනය කර ඇත.”

දේශීයව කම්කරු පන්තියට පහරදීම හා විදේශීයව යුද්ධය යන නිවුන් ප්‍රතිපත්ති, ස්වීඩනය හා ඩෙන්මාර්කය තුල වඩ වඩාත් ධ්‍රැවීකරනයවූ සමාජයන් බිහිකර තිබේ. ස්වීඩනය මෑත වසරවල OECD රටවල් අත් දුටු සීඝ්‍රතම සමාජ අසමානතාවයේ වැඩීම අත්විඳි අතර, එක් 2014 අධ්‍යයනයක් හෙලිකලේ, ඩෙන්මාර්කයේ ජනගහනයෙන් ඉහලම 1% ට රටේ මුලු ධනයෙන් 1/3කට ආසන්න ප්‍රමානයක් අයත් බවය.

ආගමනික ජනගහනයන් අතර විරැකියාව සහ දුප්පත්කම වඩාත් කැපී පෙනේ. රැකියා විරහිතයන්ගේ අනුපාතය ජාතික මට්ටම් වලට වඩා දෙගුනයක්වූ සමහර නගරාසන්න ‍ප්‍රදේශ ඇති ස්ටොක්හෝම් හා මැල්මො යන නගර පිහිටි ස්වීඩනයේ, 2013 ගිම්හානයේදී සමාජ කෝපය පුපුරා ගියේ, පොලිස් නිලධාරියෙකු පෘතුගීසි ආගමනිකයෙකුට වෙඩි තැබීමෙන් පසු ඇවිලී ගිය කැරලි මගිනි . වෘත්තීය සමිති ප්‍රතිචාර දැක්වූයේ සංක්‍රමනික ශ්‍රමිකයන් ආනයනය කිරීම සීමා කිරීමට ආන්ඩුවට කැඳවුම් කරමින් ජාතිකවාදී මනෝගතීන් අවුස්සා ලමිනි.

දේශ සීමාව හරහා ඩෙන්මාර්කයේ, යුරෝපයේ වඩාත්ම තිරශ්චීන ආගමනික නීති රෙගුලාසි ස්ථාපනය කර ඇත. යුරෝපා ඉතිහාසයේ අඳුරුම කාල පරිච්ඡේද සිහි ගන්වන ක්‍රෝනර් 10,000 කට (€ 1,340) වඩා වැඩි වටිනාකමක් ඇති සරනාගතයන් සතු පුද්ගලික භාන්ඩ අත්පත් කර ගැනීමට දේශ සීමා ආරක්ෂක නිලධාරීන්ට බලතල පවරන්නාවූ පනතක් ජනවාරියේදී ඩෙන්මාර්ක පාර්ලිමේන්තුව සම්මත කලේය. මෙයින් පසු ආරක්ෂක නිලධාරීන් සරනාගතයන්ගේ ජංගම දුරකථන අත්පත් කර ගනිමින් ආරක්ෂක හේතු මත යයි පවසා සති ගනන් ඒවා ආපසු දීම ප්‍රතික්ෂේප කරන බවට චෝදනා එල්ලවී ඇත.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ හා වෘත්තීය සමිතිවල වැඩ කටයුතු දක්ෂිනාංශයේ වාසිය පිනිස වැඩ කරන අතර, රටවල් දෙකේම ඔවුන්ගේ ජනප්‍රියතාව වර්ධනය වනු දක්නට ලැබේ. ආගමනික විරෝධී ස්වෝත්තමවාදය හා ඩෙන්මාර්ක ජාතිකවාදයට ආමන්ත්‍රනය කිරීම මත පදනම් වෙමින් ඩෙන්මාර්ක ජනතා පක්ෂය, පසුගිය වසරේ පැවැති ඩෙන්මාර්ක මැතිවරනයේදී දෙවන විශාලතම පක්ෂය සේ ඉස්මතු විය. ස්ටෙෆන් ලොෆ්වෙන්ගේ වත්මන් සමාජ ප්‍රජාතන්ත්‍ර-හරිත ආන්ඩුවෙන් මූලිකත්වය දෙනු ලැබ, සියලුම ස්ථාපිත පක්ෂ විසින් සරනාගතයන් සම්බන්ධයෙන් කලඹවා උද්ගත කරන භීම පරිසරය පසුපසින්, පැහැදිලි ෆැසිස්ට් සම්භවයක් ඇති ස්වීඩන ප්‍රජාතන්තු වාදීන් නම් පක්ෂය, මත විමසුම් වල 20% ප්‍රමානයේ නැමියාවක් දක්වයි.

මේ අනුව ස්වීඩනය හා ඩෙන්මාර්කය “ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදය” සඳහා නිදසුන් ලෙස සැන්ඩර්ස් විසින් ගෙනහැර පෑම ,වර්මොන්ට් සෙනෙට් සභිකයා අදහස් කලාට වඩා වැඩියෙන් හෙලිදරව් කරනවා විය හැක. ඔහුගේ මැතිවරන ව්‍යාපාරය පුරාම ඔහු පැහදිලිවම දක්වා ඇත්තේ, ජාතිකවාදී දේශීය ආර්ථික ප්‍රතිපත්තියකට රුකුල් දෙන අතර, මැද පෙරදිග යුද්ධ ඇතුලු ඇමරිකානු අධිරාජ්‍යවාදී විදේශ ප්‍රතිපත්තිය මුලුමනින්ම අනුමත කරන බවය. ගැඹුරුවන ලෝක ධනවාදී අර්බුදයක කොන්දේසි යටතේ එවන් වැඩ පිලිවෙලක දක්ෂිනාංශික, කම්කරු විරෝධී ස්වභාවය, ස්කැන්ඩිනේවියානු රටවල සිදුවෙමින් පවතින දෙයින් පෙන්නුම් කරයි. ලෝකයේ බලවත්ම අධිරාජ්‍යවාදී බලය හා සැසැඳීමේදී සුලු ක්‍රීඩකයන් වන ස්වීඩනයේ හෝ ඩෙන්මාර්කයේදී මෙන් නොව සැන්ඩර්ස් ජනාධිපති තනතුර හොබවන ඇමරිකාව තුල මිලිටරිවාදය, ආගමනික විරෝධී ජාතිකවාදය සහ පොලිස් රාජ්‍ය මර්දනය කිහිප ගුනයක ශක්තියකින් මතුවෙනු ඇතැයි යන්න පමනක් මීට එකතු කල යුතුවේ.

ස්වීඩනය හා ඩෙන්මාර්කය ප්‍රගතිශීලී පහන් ටැඹවල් ලෙස දක්වා ලීමට සැන්ඩර්ස් ව්‍යාපාරයට ඇති හැකියාවට උදව් වන්නේ, එවන් කියාපෑම් සඳහා “සමාජවාදී ”පිට කවරයක් සම්පාදනය කිරීම සඳහා සම්මාදම්ව සිටිනා ව්‍යාජ-වාම හුරේ දමන්නන් විසිනි.

ජාත්‍යන්තර සමාජවාදී සංවිධානයේ (ISO) සෝෂලිස්ට්වර්කර් ඩොට් ඕර්ග් වෙබ් අඩවියේ පලකල ,“සමාජවාදය :ඔබ අදහස් කරන්නේ ස්වීඩනයේ මෙන්” යන ලිපිය මේ සඳහා නිදසුන්කි. එය “ස්කැන්ඩිනේවියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ යහ ගුනයන්ට” සැන්ඩර්ස් විසින් ආයාචනා කිරීම ගැන ඔහුට ප්‍රශංසා කලේ, “නැවුම් සුලං පොදකට” සසඳමිනි. “කම්කරු පන්තික ජනයා හට ස්කැන්ඩිනේවියානු සමාජ ප්‍රජාතනත්‍රවාදයෙන් බොහෝ ප්‍රතිලාභ ඇත” යයි පවසන කතුවරු වැඩිදුරටත්, “එහි අරටුවේ (කේන්ද්‍රයේ‍ )ඇති ප්‍රතිසංස්කරන වලින් කොටසක් හෝ දිනා ගැනීම ඇමරිකානු කම්කරුවන් සඳහා විශාල ප්‍රගතියක් නියෝජනය කරනු ඇත.”

යථාර්ථය නම් ස්කැන්ඩිනේවියානු කම්කරුවන් 20 වන ශත වර්ෂය තුලදී දිනාගත් තාවකාලික සහන සඳහා හැකියාව ඇතිකලේ අත්‍යසාමාන්‍ය ආර්ථික හා දේශපාලන කොන්දේසි වලින් බවය: ඔක්තෝබර් විප්ලවයට හා කම්කරු පන්තියේ සටන්කාමී අරගල වලට ඉක්බිත්තෙන්, සමාජවාදී විප්ලවය පිලිබඳව ධනපතීන් තුල වූ භීතිය සමග එක්ව, සමහර ජාතික ප්‍රතිසංස්කරන පියවර ගැනීමට හැකියාව ඇති කරලමින්, කම්කරු පන්තික ව්‍යාපාරයන් ස්ටැලින්වාදී පාවාදීම් වලට ලක් කිරීමට ස්තුති වන්නට, දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇමරිකානු මූල්‍යකරනය මගින් ඇති කල ලෝක ධනවාදයේ පුනර් ස්ථායිකරනයයි.

අද දින මෙවැනි ප්‍රතිසංස්කරන ඇතිකර ගත හැකි බවට තිබිය හැකි මායාවන් මාරාන්තික වනු ඇත. 1930 ගනන් වල මහා අවපාතයෙන් මෙපිට ඇතිවූ ගැඹුරුතම ධනවාදී අර්බුදයේ කොන්දේසි යටතේ ලාභ පද්ධතියට ප්‍රගතිශීලී පැහැයක් ලබා දීමට කෙරෙන සියලු උත්සාහයන්, යුද්ධය සහ කප්පාදු පියවර සඳහා වන ධාවනයට පාවඩ එලීම පමනක් සිදු කරනු ඇත.

Share this article: