විදුලි බිඳ වැටීමට මුවාවී ආන්ඩුව ලංවිම පුද්ගලීකරනය කි‍්‍රයාත්මක කරයි- ලෝක සමාජවාදී වෙබ් අඩවිය

 

විදුලි බිඳ වැටීමට මුවාවී ආන්ඩුව ලංවිම පුද්ගලීකරනය කි‍්‍රයාත්මක කරයි

විමල් පෙරේරා විසිනි , 2016 මාර්තු 27

දිවයින පුරා මාස හයක් තුල තෙවන වරටත් විදුලිය බිඳ වැටෙමින් මේ මස 13 වන ඉරිදා පැය අටකට ආසන්න කාලයක් විදුලිය යථා තත්වයට පත් කර ගැනීමට නොහැකි වීම නිසා ඇවිස්සුනු මහජන කෝපය විදුලි බල සේවකයන් මතට හෙලීමට උත්සාහ කල ආන්ඩුව, එම තත්වය ලංකා විදුලි බල මන්ඩලය (ලංවිම) පුද්ගලීකරනය කිරීමේ සැලසුම කි‍්‍රයාත්මක කිරීම සඳහා යොදා ගනිමින් සිටින බව හෙලි වෙමින් පවතී.

දැනට විශාලතම විදුලි ජනනය සිදු කෙරෙන නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ පරිපාලනය විකුනා නයක් ගැනීමට කි‍්‍රයා කරන බව මුදල් ඇමති රවි කරුනානායක පැවසූ බව පසුගිය සිකුරාදා (මාර්තු 25) මාධ්‍ය වාර්තා කලේය.

විදුලි බිඳ වැටීම් පිලිබඳව පරීක්ෂා කිරීමට මේ වනවිට කමිටු පහක් ස්ථාපිත කර ඇත. ආන්ඩුව විසින්, පුද්ගලීකරනය සඳහා මෙම කමිටු වාර්තා යොදා ගැනීමට හැකි බව ලංවිම ඉංජිනේරු වෘත්තීය සමිතියේ සභාපති අතුල වන්නිආරච්චි මාධ්‍යයට පැවසීය. පුද්ගලීකරනයේ මුල් පියවර ලෙස ලංවිම ආන්ඩුවට අයිති සමාගමක් බවට පත් කිරීමේ මූලික සැලසුම් දැනටම පවතින අතර එහි අවසාන එල්ලය වන්නේ රාජ්‍යයට අයත් සමස්ත විදුලි ජනන පද්ධතියම පුද්ගලීකරනය කිරීම බව ඔහු පැවසීය.

ලංකා විදුලි පොදු සේවක සංගමයේ සභාපති මාලක වික‍්‍රමසිංහ මාධ්‍යයට පැවසූයේ විදුලි උත්පාදනය පුද්ගලීකරනය කිරීමට ආන්ඩුව රහසේ උත්සාහ දරන බවයි. සේවකයන්ගේ කඩාකප්පල්කාරී කි‍්‍රයාවක් පිලිබඳ කිසිම හෝඩුවාවක් වත් නොමැති වුව ද රට පුරා විදුලි බිඳ වැටීම පිලිබඳව ආන්ඩුවේ ඇමතිවරුන් ඍජුව ම සේවකයන් හට ඇඟිල්ල දිගු කල අතර මැයි මස 14 දින වික‍්‍රමසිංහ ලංවිම ඉහල නිලධාරීන් කැඳවා බාධා කරන සේවකයින් නෙරපා හරින ලෙස නියෝග කලේය.

කඩාකප්පල්කාරී කි‍්‍රයා පිලිබඳ චෝදනාව ඉදිරියට ගෙන යමින් ආන්ඩුව ලංවිම සියලු විදුලි උප පොලවල් සහ විදුලි බලාගාර වලට නාවික, ගුවන් හා පාබල හමුදා යෙදවීමට වහාම පියවර ගත්තේය. මෙම පියවර විදුලි සේවකයන් ත‍්‍රස්ත කොට පුද්ගලීකරනයට එරෙහිව පැන නගින සේවක ප‍්‍රතිරෝධය මැඩීම එල්ල කරගත් පියවරකි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග මත කි‍්‍රයාවට දමන පුද්ගලීකරන වැඩ පිලිවෙල තුල ලංකා විදුලි බල මන්ඩලය ඉදිරියෙන්ම තිබේ. මෙම මාර්තු මස 15 වන දින සිංගප්පූරුවේ පැවැති ආයෝජකයින්ගේ සමුලූවක දී මුදල් අමාත්‍ය රවී කරුනානායක පැවසුවේ රාජ්‍ය ආයතන තුනක් වන ශී‍්‍ර ලංකා එයාලයින් ආයතනය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ලංකා විදුලි බල මන්ඩලය රාජ්‍ය නය වලින් සියයට 75 සිට 80 දක්වා වගකිව යුතු අතර මූලෝපායික නොවන රාජ්‍ය ආයතන පුද්ගලීකරනය කිරීමට අදහස් කරන බව ය. ලංවිම පුද්ගලීකරනය කිරීම කලක සිටම ජාමූඅ විසින් බලයට පත්වූ ආන්ඩු වෙත කරනු ලැබූ නිර්දේශයකි.

වත්මන් ආන්ඩුවට පෙරාතුව මහින්ද රාජපක්ෂ යටතේ සහ චන්ද්‍රිකා කුමාරතුංග බන්ඩාරනායක යටතේ පැවැති පොදු පෙරමුනු ආන්ඩු මෙන්ම 1994 ට පෙරාතුව පැවැති යූඇන්පී ආන්ඩු, ලංවිම විසින් පවත්වාගෙන ගිය විදුලි ජනනය සහ විදුලිය බෙදා හැරීම වැනි විවිධ සේවාවන් 1990 දශකයේ සිට පෞද්ගලික අංශයට පවරා ඇත. ප‍්‍රතිව්‍යූහගත කිරීමේ වැඩපිලිවෙල යටතේ ලංවිම ප‍්‍රධාන ඒකක තුනකට, එනම් ජෙන්කො (විදුලි ජනක සමාගම) ට‍්‍රාන්කො (සම්පේ‍්‍රෂන සමාගම) සහ ඩිස්කො (බෙදාහැරීමේ සමාගම) ලෙස වෙන් වෙන් කිරීමට නියමිත විය.

1996 මැයි මස මෙම සැලසුම් වලට එරෙහිව බහුතරයක් කම්කරුවන් සහ සේවකයින් විසින් දියත් කරන ලද දින 3 ක වැඩ වර්ජනයට එරෙහිව “කම්පන මෙහෙයුම” නමින් හමුදා ව්‍යාපාරයක් දියත් කරමින් හමුදාව පොලීසිය සහ මැරවරයින් යොදවමින් කම්කරුවන් අත් අඩංගුවට ගනිමින් මර්දනය කිරීමට එවක චන්ද්‍රිකා කුමාරතුංගගේ ආන්ඩුව කි‍්‍රයා කලේය.

ලංවිම සේවකයන්ගේ බලවත් ප‍්‍රතිරෝධය නිසා මෙම සැලසුම් එලෙසම කි‍්‍රයාවට දැමිය නොහැකි වුවත් විදුලි ජනකයන් ගොඩ නැගීම හා නිවෙස්වලට විදුලිය බෙදා හැරීම ආදී කටයුතු පුද්ගලික සමාගම් වලට පවරා දෙනු ලැබිනි. 2014 වර්ෂය අවසානයේ දී මුලු වාර්ෂික විදුලි ශක්ති ජනනය වූ ගිගා වොට් පැය 12,357 න් ලංවිම මගින් නිපදවා ඇති විදුලි ප‍්‍රමානය සියයට 69 ක් වූ අතර සියයට 31ක්ම නිපදවා ඇත්තේ පුද්ගලික අංශයයි.

මාර්තු 13 දා සිදු වූ විදුලි බිඳ වැටීම බියගම උපපොලෙහි ට‍්‍රාන්ස් ෆෝමරයක් පුපුරා ගින්නක් පැන නැගීම නිසා ආරක්ෂන පද්ධතිය ස්වයංක‍්‍රීයව කි‍්‍රියාත්මක වීම මගින් ඇති වූවක් බවත් ඒ සමගම මෙගා වොට් 900 ක ධාරිතාවකින් යුත් නොරොච්චෝලේ ගල් අඟුරු තාප බලාගාරය ස්වයංක‍්‍රීයව නතර වීම නිසා සිදුවූ බවත් ලංවිම නිලධාරීහු ප‍්‍රකාශ කලහ.

මාර්තු 15 දින මාධ්‍ය ප‍්‍රකාශයක් නිකුත් කල වන්නිආරච්චි විදුලි බිඳ වැටීම කඩාකප්පල් කි‍්‍රයාවක් යන්න ප‍්‍රතික්ෂේප කරමින් මෙය වසර 30 ක් පරන ට‍්‍රාන්ස්ෆෝමරය පුපුරා යාම නිසා සිදු වූ බව තහවුරු කලේ ය. මෙය තව දුරටත් සනාථ කරමින් ලංවිම සභාපති අනුර විජේපාල ද මාධ්‍යයට පැවසුවේ එය කඩාකප්පල් කිරීමක් නොවිය හැකි බවත් තාක්ෂනික දෝෂයක් විය හැකි බවත් ය.

ට‍්‍රාන්ස්ෆෝමර් නිෂ්පාදනය කරන ලද ජපන් සහ ජර්මානු ආයතන වෙත පරීක්ෂන කටයුතු පවරන ලද අතර මෙම රටවල් වලින් පැමිනි ඒවාහි නියෝජිතයෝ මේ දිනවල පරීක්ෂන වැඩ කටයතුවල නිරත වෙමින් සිටිති.

කලින් කලට ආන්ඩු විසින් ලංවිම තම දේශපාලනික අවශ්‍යතාවන්ට නතු කර ගැනීම තුල හා අවශ්‍ය ප‍්‍රතිපාදන නොයෙදීම තුල ඇතිවූ අරාජකත්වය නිසා විදුලි බල පද්ධතිය තුල ඔඩු දුවමින් ඇති දුබල කම් පිලිබඳව වරින් වර බලයට පත්වූ ධනපති ආන්ඩු වගකිව යුතුය.

මෙම ආන්ඩු විසින් ලංවිම වෘත්තිකයන්ගේ සැලසුම් අනුව ස්වාධීනව ක‍්‍රියාත්මක වීමට ඉඩ නොදී ඔවුන්ගේ වැඩ කටයතු වලට දිගින් දිගටම බාධා එල්ල කරනු ලැබීය.

ලංවිමයේ වාර්ෂික විදුලි ජනන සැලසුමට අනුව මෙගා වොට් 300 ක ධාරිතාවකින් යුත් නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරය ජපන් තාක්ෂනය යටතේ ඉදි කර පද්ධතියට සන්ධි කිරීමට නියමිත ව තිබුනේ 2004 දී ය. නමුත් චන්ද්‍රිකා කුමාරතුංගගේ ආන්ඩුව එය 1999 දී අවලංගු කල නිසා මෙම බලාගාරය චීන තාක්ෂනය යටතේ වසර 7 ක් පමාවී පද්ධතියට සවි කිරීමට හැකි වූයේ 2011 දී ය. පසුව තවත් මෙගා වොට් 600ක් මෙම බලාගාරයට එකතු කරන ලදී.

මෙගා වොට් 150 කින් යුත් ඉහල කොත්මලේ ජල විදුලි බලාගාරය වර්ෂ 2000 දී විදුලි බල පද්ධතියට සම්බන්ධ කිරීමට නියමිතව තිබිය ද එයද ප‍්‍රමාද කෙරුනු බැවින් එය පද්ධතියට සම්බන්ධ කෙරුනේ වසර ගනනාවක් ප‍්‍රමාද වී 2012 වසරේ දීය.

ති‍්‍රකුනාමලයේ සාම්පූර් ගල් අඟුරු බලාගාරය ලංවිම විදුලි ජනන සැලසුමට අනුව 2017 දී පද්ධතියට සන්ධි කිරීමට නියමිතව තිබුන ද මෙය ඉදි කිරීම මේ වනතෙක් ආරම්භ කර නොමැත. මෙය ඉදි කිරීම ආරම්භ කලත් 2020 ට පෙරාතුව පද්ධතිගත කල නොහැක.

මෙම ව්‍යාපෘති ප‍්‍රමාද කිරීම පිලිබඳ මූලික හේතු වන්නේ ඒවාට ආයෝජනය කිරීමට ආන්ඩු වලට මුදල් නොතිබීම, රජයේ සැලසුම්වල ප‍්‍රමුඛතාවය නොලැබීම හා ජාත්‍යන්තර නය ලබා ගැනීමේදී මුහුන දුන් කොන්දේසි මෙන්ම ධනපති ක‍්‍රමයට ආවේනික දූෂන හා අක‍්‍රමිකතාවන්ය. පරිසරය හෝ ජන ජීවිතය පිලිබඳ මායිම් නොකර විදුලි බලාගාර තැනීමේ උත්සාහයන් වලදී පැන නැගුනු මහජන ප‍්‍රතිරෝධය ද ඊට බලපෑ තවත් සාධකයකි.

විදුලි බල පද්ධතියේ ස්ථාවරත්වය අර්ථයෙන් ගත් කල ලංවිම මූලික සැලසුම් වලට අනුව මෙගා වොට් 300 ක ගල් අඟුරු තාප බලාගාරයක් ඉදි කිරීමට සුදුසු ස්ථානය වූයේ ති‍්‍රකුනාමලය යි. මෙය සාර්ථක කර ගැනීමට නොහැකි වූයේ වර්ගවාදී යුද්ධය හේතුවෙනි.

විදුලි බල ශක්ති ක්ෂේත‍්‍රය පිලිබඳ විශේෂඥයකු වන ආචාර්ය තිලක් සියඹලාපිටිය 2015 සැප්තැම්බර් මස මාධ්‍යයට කල ප‍්‍රකාශයකට අනුව 2017 වසරේ විදුලි බල අර්බුදයක් මතුවීමේ අවදානම ඇත.

විදුලි අර්බුදය ගසා කෑ විවිධ මහා ව්‍යාපාරිකයෝ දේශපාලන නායකයන්ගේ ද සහය ඇතිව ඩීසල් යන්ත‍්‍ර මගින් නිපදවන ඉතා අධික මිල විදුලිය ලංවිමට අලෙවි කරමින් ලංවිම හරහා දැවැන්ත ලාබ ලබමින් එම බර කම්කරු පීඩිත ජනයා වන පාරිභෝගිකයන් මත පැටවීය. ජල විදුලි නිශ්පාදන ධාරිතාව ඉතා පහල මට්ටමක පවතින වර්තමානයේ ද හදිසි විදුලි කප්පාදුව මග හැරීම සඳහා මේ වන විටත් ඩීසල් මගින් නිපදවෙන මිල අධික විදුලිය පෞද්ගලික සැපයුම් කරුවන්ගෙන් ලබා ගැනීමට ආන්ඩුව සූදානම් වෙමින් සිටියි.

රටේ මහජනතාවගේ අවශ්‍යතාවය සඳහා සමස්ත සැලසුමක් සහිතව සැකසිය යුතු හා නඩත්තු කල යුතු විදුලි බල පද්ධතිය සඳහා අවශ්‍ය ආයෝජනයන් කලට වේලාවට නොකිරීම නිසා හට ගැනෙන මෙම අරාජකත්වය පුද්ගලීකරනය “යුක්තිසහගත” කිරීම සඳහා යොදා ගැනීම ආන්ඩුවේ එල්ලයයි.

Share this article: