බ්ලූමැන්ඩල් දුම්රිය පටුමගේ දුගීන්ගේ නිවාස කඩා දැමීමට ආන්ඩුව සැරසෙයි

විජිත් සමරසිංහ සහ ජෝතිපාල දැදිගම විසිනි, 2016 මැයි 26

කොලඹ බ්ලූමැන්ඩල් දුම්රිය පටුමගේ දුම්රිය මාර්ගය දෙපස ඇති දුගී නිවාස 78ක් කඩා ඉවත් කිරීමට ඛනිජ තෙල් සංස්ථාවේ හා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරින් පැමින සීමා සලකුනු කර ඇත. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුව කි‍්‍රයාවට දමන බස්නාහිර මහා නගර ව්‍යාපෘතිය යටතේ දුගී නිවැසියන් කොලඹ නගරයෙන් පලවා හැර ඉඩම් ආයෝජකයන්ට පවරාදීමට කොන්දේසි සැකසීම වේගවත් කිරීමේ සැලසුම් යටතේ මෙම ප‍්‍රහාරය ක‍්‍රියාවට දැමීමට සූදානම් වෙයි.

කිසිදු පෙර දැනුම් දීමකින් තොරව පැමිනි මෙම නිලධාරින්, නිවැසියන්ට මැයි 16 වනවිට නිවාස හිස්කර දෙන ලෙසත්, ඉවත්ව යන අයට, නිවාස නිදහස් කර දීමෙන් පසුව පමනක් රුපියල් 250,000ක් මුදලක් ලබා දෙන බවත් දැනුම් දී ඇත. එහෙත් මහජනතාවගේ බරපතල විරෝධතාවය මධ්‍යයේ 16 දින ඔවුන් පමිනියේ නැත. පොරොන්දු වූ සුලු මුදල ද කට වචනයෙන් පොරොන්දුවක් පමනි. පවසන පරිදි මෙම මුදල හිමිවන්නේ ස්ථිරව පදිංචිව සිටින පවුල් වලට පමනක් වන අතර කුලීකරුවන්ට හෝ ව්‍යාපාරික කටයුතු වල නිරතව සිටින අයට කිසිදු වන්දියක් දෙන බවක් පවා ප‍්‍රකශ කරන්නේ නැත.

මෙම ආන්ඩුව බලයට පැමිනීමට පෙර නිවසක් ලබාදීමෙන් තොරව පදිංචිකරුවන් නිවාසයකින් එලියට නොදමන බවට පොරොන්දුවූ නමුත් දැන් මහමගට ඇද දමීමට කටයුතු කරන බව නිවැසියෝ පවසති. රුපියල් 250,000ක් ලබුන ද ඉන් නිවසක් ලබාගත නොහැකි බවද ඔවුහු කියා සිටියහ.

කොලඹ වරායේ සිට කොලොන්නාව මධ්‍යම ඛනිජ තෙල් ගබඩා සංකීර්නයට තෙල් ගෙනයන නල මාර්ගය හා වරාය ප‍්‍රධාන දුම්රිය මාර්ග පද්ධතියට සම්බන්ධ කෙරෙන දුම්රිය මග දෙපස මෙම නිවාස පිහිටා තිබෙන්නේ ඉතා අනතුරුදායක ආකාරයකට ය. පදිංචියට සුදුසු නිවසක් කිසිදු ආන්ඩුවකින් නොලැබීමෙන් මෙම පදිංචි කරුවන්ගෙන් බොහෝ දෙනා අවුරුදු හතලිහකටත් වඩා මෙම ස්ථාන වලම ජීවත් වූ අය වෙති.

ස්ථානයට ගිය ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන්ට නිවැසියන් ප‍්‍රකාශ කලේ නිවාස නිදහස් කර දීමට අසමත් වුවහොත්, පොලීසියේ විශේෂ කාර්ය බලකාය සමග පැමින බැකෝ යන්ත‍්‍ර යොදා නිවාස සමතලා කරන බවට ඔවුන්ට තර්ජනය කල බවයි. නිවැසියන් ලෝසවෙඅ වෙත තවදුරටත් කරුනු දක්වමින් මේ ප‍්‍රදේශයේ ජනතාව මුහුන දී ඇති බරපතල ජීවන කොන්දේසි පිලිබඳව පැහැදිලි කලහ.

කඩා දැමීමට නියමිත නිවෙස් වල පදිංචිකරුවන් ලෝසවෙඅ වාර්තා කරුවන් අමතමින්

කුඩා කඩයක් පත්වාගෙන යමින් ජීවත් වන කාන්තාවක්: “මම මෙතනට ඇවිල්ල අවුරුදු තිස්පහකටත් වැඩියි. අපි කලින් හිටියේ, රේල් පාරෙන් එහා පැත්තෙ මගේ අම්මලාගේ ගෙවල් වල. ඒවත් මේ වගේම පැල්පත්. බැන්දට පස්සේ ඒවායේ ඉන්න බැරි වුනා. ඉඩමක් වත් ගෙයක්වත් නැති නිසා තමයි අපි මෙතන ගෙවල් අටවා ගත්තේ.”

ප‍්‍රදේශයේ ගෘහනියක්: “මේ පලාත්වල සියයට 80 කටත් වඩා දෙනා කරන්නේ මේ අවට තියෙන තේ කොල හෝ කුලුබඩු ගබඩා වල, දවස් කුලියට වැඩ කරන එක. ලමයින්ව වැඩි කල් ඉස්කෝලේ යවාගන්න විදියක් නැහැ. ඒගොල්ලොත් පස්සේ එවැනිම කුලී වැඩ වලට තමයි හුරුවෙන්නේ. එනිසා මෙහෙ අධ්‍යාපන තත්වය හරිම අඩුයි.”

කුඩා කඩයක් හිමි නිශාන්ත නිවැසියන් මිලදී ගන්නා කිරිපිටි ස්වල්පයක් දැමූ පොලිතින් උර පෙන්වමින්

කුඩා කඩයක හිමිකරුවෙකු වන නිශාන්ත: “දවසේ කුලියට වැඩට යන කම්කරුවන්, ගෑනු පිරිමි, දෙගොල්ලොම වැඩට පිටත් වෙන්නේ උදේ හතරට විතර. එතකොට ලමයි නිදි. සමහර අය අපේ කඩයට කියල යනවා දරුවන්ට උදේට ඉඳිආප්ප මුලක් දෙන්න කියල. හවසට ගාන බේරනවා”. කුඩා පොලිතින් උරයක දැමූ කිරිපිටි ස්වල්පයක් පෙන්වමින් කියා සිටියේ මේ ප‍්‍රදේශයේ අති බහුතරයක් දෙනාට, කිරිපිටි පැකට්ටුවක් ගන්න මුදල නොමැති බැවින්, දිනපතා මෙවැනි කිරිපිටි සොච්චමක් ගෙන ගොස් පවුලටම තේ හදන බවයි. “මෙහෙම ජීවත් වෙන මිනිස්සුන්ටයි ආන්ඩුව ගෙවල් අතහැර පාරට බහින්න කියන්නේ. සමහර අය මෙහෙ දීර්ඝ කාලයක් ඉඳල තියෙනවා. දැනුයි හදිසියේ අපි අනවසර වෙලා තියෙන්නේ.”

වැසි ජලයෙන් යටවීමෙන් හානිවූ භාණ්ඩ තවමත් රේල්පාර මත වියලීමට තබා ඇති අයුරු

පසුගිය දිනවල ඇතිවූ අධික වර්ෂාවෙන් මේ ප‍්‍රදේශයේ නිවාස 50ක් පමන යටවූ බවත්, වතුරේ ගිලීමෙන් 15 වියැති පිරිමි ලමයෙක් මියගිය අතර තවත් බොහෝ දෙනා තවම රෝගාතුරව සිටින බවත් ප‍්‍රදේශවාසීහු තවදුරටත් පැවසූහ. නිවැසියන් වතුරට හසුවූ තම බඩු භාන්ඩ තවමත් රේල් පාර මත තබා වේලන ආකාරය ද ලෝසවෙඅ වාර්තාකරුවන්ට දැකගත හැකි විය.

2014 වසරේදී එවකට පැවති මහින්ද රාජපක්ෂ ආන්ඩුව මගින් දුම්රිය පටුමගේම බටහිර කොටසේ නිවාස 50ක් කඩා ඉවත් කල අතර, එයට ජනතාවගෙන් නැගුනු දැඩි විරෝධය හමුවේ, ඔවුන්ගෙන් කොටසකට, මෙම ප‍්‍රදේශයේ ඉදිකර ඇති මහල් නිවාස ගොඩනැගිල්ලක නිවාස ලබා දෙන ලදී. ඉන් සුලු පිරිසක් තවමත් නිවාස නොමැතිව, තොටලඟ ප‍්‍රදේශයේ, ගුනපාල ක‍්‍රීඩාංගනයේ පැල්පත් අටවාගෙන ජීවත් වෙති.

ලෝසවෙඅ වෙත කරුනු දැක්වූ සමහර නිවැසියන් කලින් ඉවත් කල පවුල් වලට රාජපක්ෂ රජයෙන් තට්ටු නිවාස ලැබුනු ආකාරයෙන්, මේ රජයට ද බලපෑම් කිරීම මගින් තමන්ට නිවාස ලබාගත හැකි වෙතියි විශ්වාසය පල කලහ.

රාජපක්ෂ ආන්ඩුව මගින් කඩා දමන නිවාස සඳහා යලි නිවාස ලබා දී ඇත්තේ සුලුතරයකට පමනකි. වනාතමුල්ල, තොටලඟ හා කොම්පඤ්ඤ වීදිය වැනි ප‍්‍රදේශ වල මෙසේ ලබා දී ඇති නිවාස තත්වයෙන් ඉතා බාල වේ, වැස්සට වතුර ගැලීම, මල අපවහන නල ඉතිරීම, වාතාශ‍්‍රය නොමැති වීම, විදුලි සෝපාන වැඩ නොකිරීම හා කසල බැහැර කිරීමේ අක‍්‍රමිකතා ඇතුලු ගැටලු රාශියකට ඒවායේ වෙසෙන ජනතාව මුහුන දී සිටිති. ඊට අමතරව මේ පවුල් වලට නිවෙස් ලබාගත හැක්කේ රු. 50,000 ක අත්තිකාරම් මුදල්, මාසික කුලී හා අධික මාසික ජල බදු ගෙවීමට හැකිනම් පමනි. කලින් නිවාස වලින් ඉවත් කල පවුල් දැන් පදිංචි කර ඇති “සිරිසඳ සෙවන” මහල් නිවාසයේ ද මේ ගැටලු සියල්ලම පවතින බව එහි ගිය ලෝසවෙඅ වාර්තාකරුවන්ට දැක ගත හැකි විය.

“සිරිසඳ සෙවන” මහල් නිවාසයේ එක පදිංචි කරුවෙක්: “මේක අනිත් සමහර තට්ටු නිවාස වලට වඩා ටිකක් හොඳයි. හැබයි ගේ යන්තම් වර්ග අඩි 360යි. පවුලකට කොහෙත්ම ප‍්‍රමානවත් නැහැ. වැස්සට මුලු කොරිඩොවම යට වෙනවා, පවුල් වල අය එකතු වෙලා වැස්සට පස්සේ වතුර ටික තල්ලු කරල අරිනවා පඩිපෙල දිගේ. සමහර කාල වලට වැසිකිලි වලින් දරුනු ගඳක් එනවා, එතකොට පහල මෑන්-හෝල් උතුරනවා”. තට්ටු දොලහකින් යුත් මේ ගොඩනැගිල්ලක නිවාස 120ක් පනමන ඇති අතර, ඒ සියල්ල සඳහා තිබෙන විදුලි සෝපාන දෙකෙන් ද ක‍්‍රියා කරන්නේ එකක් පමනි.

මෙවැනි ගැටලු වලින් ගහන මහල් නිවාසයක් වත් මේ ආන්ඩුවට ඉල්ලීම් කර හෝ බලපෑම් දමා ලබා ගැනීම කොලඹ දුගීන්ට ඇති එකම විකල්පය බව අඟවමින් ජනතා විමුක්ති පෙරමුන හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුලු ව්‍යාජ වම ජනතාව යොමු කරන්නේ දේශපාලන උගුලකට ය. සොච්චම් වන්දියක් ලබා දෙන බවට හිස් පොරොන්දුවක් දෙමින් ජනතාව පාරට ඇද දැමීමට සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව සැරසෙන්නේ තම මහා නගර ව්‍යාපෘතිය හරහා ජාත්‍යන්තර මහා සංගතයන්ගේ හා මුල්‍ය ආයතනවල උවමනාවන් ඉටු කිරීමට ය.

නාගරික සංවර්ධන අධිකාරියේ මහා නගර ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක බි‍්‍රගේඩියර් සමරසිංහ පෙබරවාරි මාසයේදී ද නේශන් වෙබ් අඩවියට පැවසූ පරිදි 68,000ක් නිවාස ඉවත් කිරීමට යන මුත් තවමත් අවසාන කර ඇත්තේ නිවාස 5,000ක් පමනි. ඔහු මෙසේ පැවසීය: “දැනට සැලසුම වන්නේ නිවාස 68,000ක් තැනීමට යි. එහෙත් ඉඩම් දුර්ලභයි. 2014 වෙද්දී නිවාස 5,000ක් තැනූ අතර තවත් 13,000ක් තැනීම විවිධ මට්ම්වල පවතී. 2017 අවසන් වනවිට අප තනන්නට බලා පොරොත්තු වන නිවාස ගනන 18,000ක්.”

මෙසේ ගොඩනගන නිවාස පෙබරිවාරි 16 දා කඩා දැමූ කජීමා වත්තේ නිවාසවල සිටි “පදිංචිය හා අයිතිය තහවුරු කල හැකි අයට ද දෙන බව” ඔහු පැවසී ය. එහෙත් කජීමා වත්තේ පදිංචිය ඔප්පු කල අයට ද නිවාස නොලැබුනි.

ආන්ඩුවට සහයෝගය දෙන රාවය පුවත්පත මෙම මහජනයා මුලා කිරීම සඳහා මුදල් ඇමති රවි කරුනානායකගේ සම්බන්ධීකරන ලේකම් වරයෙකු වන කාමිල් හසන් මහතා මෙසේ පැවසූ බව පවසයි. “එහෙම කවුරු හරි ගෙවල් කඩන්න එනවානම් අපිට ඉන්ෆෝම් කරන්න කියා අපි ඒ ජනතාවට කියලා තියෙනවා...අපිට ගෙවල් කැඩීම නතර කරන්න පුලුවන්.”

මේ නම් සම්පූර්න ප්‍රෝඩාවකි. පසුගිය පෙබරවාරියේදී තොටලඟ කජීමා වත්තේ හා ඇපල් වත්තේ නිවාස 200 පමන ආන්ඩුවේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් කඩා දැමූයේ පොලීසිය මෙහෙයවා ගෙන ය.

Share this article: