ෆ‍්‍රැන්ක්ෆට් ගුරුකුලය, පශ්චාත් නූතන වාදය සහ ව්‍යාජ වමේ දේශපාලනය: මාක්ස්වාදී විවේචනයක් කෘතියේ පෙරවදන

Foreword to The Frankfurt School, Postmodernism and the Politics of the Pseudo-Left: A Marxist Critique

ඩේවිඩ් නෝර්ත් විසිනි, 2015 ජූලි 22

දෙවන කොටස

ෆ‍්‍රැන්ක්ෆට් ගුරුකුලය, පශ්චාත් නූතන වාදය සහ ව්‍යාජ වමේ දේශපාලනය: මාක්ස්වාදී විවේචනයක් නමැති සිය නවතම කෘතියට ඬේවිඞ් නොර්ත් විසින් ලියනලද පෙරවදන කොටස් තුනකින් මෙහි පල කරයි. මෙම The Frankfurt School, Postmodernism and the Politics of the Pseudo-Left: A Marxist Critiqueපොත මෙහ්රිංග් පොත්හලෙන් ලබාගත හැකිය.

***

ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙහි පලකරන්නේ ඩේවිඩ් නෝත් විසින් රචිත නව කෘතිය වන ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය, පශ්චාත්-නූතනවාදය හා ව්‍යාජ-වමේ දේශපාලනය: මාක්ස්වාදී විවේචනයක් සඳහා ලියු පෙරවදන යි. කෘතිය මේරිං ප‍්‍රකාශකයන්ගෙන් මිලට ගත හැක. සම්පූර්න පෙරවදනේ පීඩීඑෆ් ලිපිය මෙහි දී බාගත හැකි ය.

යුක්රේනය

පසුගිය වසර තුල (2014-2015) ස්ටයිනර් හා බ්‍රෙනර්, දක්ෂිනාංශික යුක්රේනියානු ආන්ඩුව පිටුපස ගාල්වුන අධිරාජ්‍ය ගැති ව්‍යාජ වම්මුන්ගේ කුලප්පුව සමග පෙලගැසුනහ. 2014 මැයි 20දා පල කල ලිපියක බ්‍රෙනර් ප‍්‍රකාශ කලේ, “මාක්ස්වාදීන් යුක්රේනය කැබලි කිරීමට විරුද්ධ විය යුතුය.” අමු නරුමත්වයකින් ඔහු පවසන්නේ, “එහි අර්ථය, රුසියාව හෝ පෝලන්තය හා එහි අධිරාජ්‍යවාදී නේටෝ සහචරයින් වැනි ‘වෙනත්’ අයගේ කුමන හා සියලු ඈඳාගැනීම් වලට විරුද්ධ වීමයි.” (1) බ්‍රෙනර් මෙම පිලිවෙත නිවේදනය කලේ, එක්සත් ජනපදය හා ජර්මනිය කියෙව්හි සැලසුම් කල කුමන්ත‍්‍රනයෙන් තෙමසකට පසුවය. ෆැසිස්ට්වාදී සංවිධාන විසින් ක‍්‍රියාවට නගන ලද එම කුමන්ත‍්‍රනයෙන් යුක්රේනය ඈඳා ගැනීමේ අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සියලූ බලාපොරොත්තු හා අරමුනු ඉටුකරන ලදී.

යථාර්ථයේ දී ඈඳා ගැනීමට බ්‍රෙනර් දක්වන විරුද්ධත්වයේ අර්ථය, ක‍්‍රිමියානු ජනතාව රුසියාව සමග යලි එක් වීමට ගත් තීරනයට එරෙහි වීම යි. දක්ෂිනාංශික කුමන්ත‍්‍රනයට මෙලෙස රබර් මුද්‍රාව තැබීම සැබවින්ම බ්‍රෙනර් විසින් තවදුරටත් සාධාරනීකරනය කරන ලද්දේ, යුක්රේනයේ ස්වයං-නීර්න අයිතිය ආරක්ෂා කිරීම ලෙසය. “එයින් අදහස් කෙරෙන්නේ හරියට ම එක දෙයකි, එනම් වෙන්වී ස්වාධීන රාජ්‍යයක් තනා ගැනීමට ඇති අයිතියයි. “ස්වයං-නීර්නය” පිලිබඳ බ්‍රෙනර්ගේ සංකල්පයේ එක ම අර්ථය, සමස්ත යුක්රේනය ම කීයෙව් තන්ත‍්‍රය විසින් පාලනය කිරීම යි. පොරොෂෙන්කෝ ආන්ඩුවට විරුද්ධ වන කොටස්වලට වෙන් වීමට ඇති අයිතිය බ්‍රෙනර් විසින් ප‍්‍රතික්ෂේප කෙරේ.

ජාත්‍යන්තර කමිටුව, විවිධාකාර උදාහරන පාදක කරගෙන, විශේෂයෙන් ම සෝවියට් සංගමය බිඳ විසිරවීමෙන් පසු කාලයේ ස්වයං-නීර්න අයිතිය සවිස්තර විවේචනයකට භාජනය කොට ඇත: එක්කෝ එය, අධිරාජ්‍යවාදී අනුග‍්‍රහයෙන්, කැබලි කිරීම සඳහා ඉලක්ක කල රාජ්‍යයන්ට මැදිහත් වීමේ යාන්ත‍්‍රනයකි, නැතහොත් ජාතික ධනේශ්වර ප‍්‍රභූවේ සුවිශේෂී කොටසක් පොහොසත් කිරීමේ යාන්ත‍්‍රනයකි. බොහෝ විට එය ඉහත දෙවර්ගයේ ම සංයෝජනයකි. අධිරාජ්‍යවාදයට හා එහි දේශීය අනුගාමිකයන්ට එරෙහි ව, ජාත්‍යන්තර විප්ලවවාදී ක‍්‍රියාමාර්ගයක පදනම මත සටන් වදින කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයකින් තොරව, එම ඉල්ලීමට ප‍්‍රගතිශීලී අන්තර්ගතයක් නැත. යුක්රේනය පිලිබඳ ව සැලකීමේ දී බ්‍රෙනර් කරන ආකාරයට, ෆැසිස්ට්වාදීන්ගෙන් සැදුම් ලත් හා අධිරාජ්‍යවාදී පිටු බලය ලබන පොරොෂෙන්කෝ තන්ත‍්‍රයේ දේශපාලන ආධිපත්‍යය සමග ජාතික ස්වයං-නීර්නය අනන්‍ය කිරීම දේශපාලනික ව නින්දිත ය.

වඩා සාමකාමී අධිරාජ්‍යවාදයක්

සිය සගයා විසින් ආරම්භ කරන ලද අධිරාජ්‍ය ගැති ප‍්‍රයෝගකාරී අභ්‍යාසය ඉදිරියට ගෙන යමින් ස්ටයිනර්, 2014 සැප්තැම්බරයේදී, “යුද්ධයට එරෙහි අරගලය හා සමාජවාදී සමානතා පක්ෂයේ දේශපාලන කර්තව්‍යයෝ” යන යෝජනාව කෝපයෙන් හෙලා දැක්කේ ය. එම යෝජනාව 2014 අගෝස්තුවේ සසප තුන්වන සම්මේලනයේ දී ඒකමතික ව සම්මත කෙරුනි. ස්ටයිනර් සිය ලිපිය ඇරඹුවේ යෝජනාව තුල වචන යොදා ඇති වාර ගනන -යුද්ධය (97), අධිරාජ්‍යවාදී (23) හා අධිරාජ්‍යවාදය (36) - ගනන් කරමිනි. ස්ටයිනර් සිතනු ඇත්තේ, ලෙනින්, ලක්සම්බර්ග් හා ට්‍රොට්ස්කිගේ ලේඛන තුල මෙම වචන සොයාගත හැක්කේ ඉඳහිට යයි කියා ඔහුගේ පාඨකයන් විශ්වාස කරන බව ය!

සසප අධිරාජ්‍යවාදී යුද්ධයේ තර්ජනය බොහෝ සෙයින් අතිශයෝක්තියට නංවන බව ස්ටයිනර් ප‍්‍රකාශ කලේ ය. ඔහු මෙසේ ලීවේ ය:

1914 කරා ආපසු යාමක් ලෙස 2014 අධිරාජ්‍යවාදය දැක ගන්නා සසප, මෙම වසන්තය, 1914 වසන්තයේ ආතතීන් යලිත් වේදිකා ගත කරන සමයක් ලෙස ඉතිහාසය පුනර්කරනය වේ යයි ඒත්තු ගෙන සිටී. එහෙත් අඛන්ඩ ව ග‍්‍රහලෝකය පීඩාවට පත් කලත් අධිරාජ්‍යවාදය, වසර 100කට පැවතියාට වඩා අද බොහෝ සෙයින් වෙනස් ය. උදාහරනයක් ලෙස, ආර්ථික අවශ්‍යතාවලට පිටුබලය දීම සඳහා මිලිටරි බලය යෙදවීම තවමත් සිදු වුවත් සිරියාවේ, ඉරාකයේ හා දැන් යුක්රේනයේ සිද්ධිවලට ඔබාමා පරිපාලනය මුහුන දෙන පැහැදිලි පක්ෂාඝාත ස්වභාවය සාක්ෂි දරන පරිදි, එලෙස මිලිටරි බලය යොදන්නේ ඉතා අකමැත්තෙනි.(2)

අසංවේදීතාවේ හා මුග්ධත්වයේ මෙම ගොබ්බ සුසංයෝජනය බැරෑරුම්ව සැලකීම දුෂ්කර ය. ශතවර්ෂයකට පෙර පැවතියාට වඩා අධිරාජ්‍යවාදය සාමකාමී, හා අනතුරුවලට අකමැති වන තැනට පත්කොට ඇත්තා වූ වෛෂයික වෙනස්කම් ගනන් ගැනීමට ස්ටයිනර් අසමත්ව ඇත. ශතවර්ෂ කාලක් තිස්සේ එක්සත් ජනපදය අනවරත යුද්ධයේ යෙදී සිටින්නේ යයි ඔහු දැකගෙන නැති බව පෙනේ; එහි මිලිටරි මෙහෙයුම් රටවල් පිටින් වනසා දමා ඇති බව ද, ලක්ෂ ගනන් ජනතාව මරා දමා, මිලියන පනහක් දෙනා සරනාගතයන් බවට පත්කොට ඇති බව; මෙන් ම, එහි ඉතිහාසයේ පෙර නුවූ විරූ ආකාරයකින් ගෝලීය පරිමාන ව මිලිටරි බලය යෙදවීමේ නිරත ව සිටින බව. ස්ටයිනර් කියන පරිදි මේ සියල්ල, වසර 100කට පෙර සමයට වඩා “ඉතා අකමැත්තෙන් මිලිටරි බලය යෙදවීම” පිලිබඳ ප‍්‍රකාශනයන් ද? මූලෝපායික ලේඛන හා ජාත්‍යන්තර මාධ්‍ය තුල පුලුල් ව සාකච්ඡාවට ගැනෙන, භූ-දේශපාලනික හා මිලිටරිමය සත්‍යයක් මිස හුදු සමපේක්ෂනයක් නො වන, එක්සත් ජනපදය, චීනයට හා රුසියාවට එරෙහි ව යුද්ධයක් සූදානම් කිරීම පිලිබඳ කාරනය ගැන කියන්නේ කුමක් ද? ලෝක සමාජවාදී වෙබ් අඩවියේ අනතුරු ඇඟවීම් “අර්බුදවාදී (පිස්සුවක්)” යයි ස්ටයිනර් නො තකා හරියි.

ලෝක දේශපාලනය කෙරෙහි ස්ටයිනර්ගේ සමස්ත ප‍්‍රවිෂ්ටයම සංලක්ෂිත වන්නේ, ඉතා ම නග්න වර්ගයේ ධාරනාවාදයෙන් ය. ඔබාමා නායකත්වය දෙන්නේ “එක්සත් ජනපද මිලිටරි සම්පත් අවම වසයෙන් කැප කරන්නා වූ, ඩ්‍රෝන් යානා යෙදවීම වැනි පහසු තෝරා ගැනීම් හැරුනු විට, කිසිදු දීර්ඝ කාලීන මිලිටරි ප‍්‍රචන්ඩත්වයක යෙදීමට අකමැති, කරන්නේ කුමක්දැයි විශ්වාස නැති දුර්වල පරිපාලනයකට” යයි ඔහු අවධාරනය කරයි.

අධිරාජ්‍යවාදයේ පිලිවෙත් හා ක‍්‍රියාකාරකම් හැඩගන්වන්නා වූ වෛෂයික බලවේග තුලට මොනම න්‍යායික අභිනිවේෂයක සලකුනක්වත් මෙහි නැත. අධිරාජ්‍යවාදී ආන්ඩුවල අභ්‍යන්තර අර්බුද වනාහි, යුද්ධය පැමිනීම පිලිබඳ ප‍්‍රධාන ඇඟවුමක් යයි ට්‍රොට්ස්කි, සංක‍්‍රමන ක‍්‍රියාමාර්ගය තුල පැහැදිලි කලේ ය. “ඓතිහාසිකව වරප‍්‍රසාදිත සෑම රටක් තුල ම ප‍්‍රාග්ධනයේ සියලු සාම්ප‍්‍රදායික පක්ෂ, අධිෂ්ඨාන භංගය අද්දර වැනෙමින් සිටී” යයි ඔහු ලීවේ ය. පාලක ප‍්‍රභූන් යුද්ධය කරා දුවවන්නේ ඔවුන්ගේ ආත්මීය ආශාවන් නිසා නොව සිය අර්බුදයන්ගෙන් ගොඩ ඒමේ මාවතක් නො දක්නා හෙයිනි. ධනේශ්වරය “ආර්ථික හා මිලිටරි ව්‍යසනයක් කරා දෑස් වසාගෙන රූටා යයි” යනුවෙන් ට්‍රොට්ස්කි සඳහන් කලේ ය.3

කිසිදු දේශපාලනික තර්කනයක ගම්‍යයන් තේරුම් ගත නො හැකි ස්ටයිනර්ගේ අධිරාජ්‍යවාදී යුද තර්ජනය නො තකා හැරීම පදනම් වන්නේ, හතරවන ජාත්‍යන්තරය පදනම්වූ, යුගය පිලිබඳ ඇගයීමට මුලුමනින් ම වෙනස් පදනමක බව හඳුනා ගැනීමට ඔහු අසමත් වීම මතය. අධිරාජ්‍යවාදය වෛෂයික ව යුද්ධය කරා තල්ලු නොකරන්නේ නම් හා 1914 හෝ 1939 මෙන් නොව, දැන් එයට සිය කටයුතු වඩා ඉහල සංයමයකින් කලමනාකරනය කර ගත හැකි නම්, ඉන් පෙන්නුම් කරන්නේ ධනවාදී නිෂ්පාදනයේ ගෝලීය ස්වභාවය හා ජාතික රාජ්‍ය පද්ධතිය අතරත්, නිෂ්පාදන බලවේගයන්ගේ සමාජීය ස්වභාවය හා ඒවායේ පුද්ගලික අයිතිය අතරත් අතිමූලික පරස්පර විරෝධයන් සමහන් කරගැනීමේ ක‍්‍රමයක් එය සොයාගෙන ඇති බව ය. සාර්ථක ව කලමනාකරනය කරන ලද ගෝලීය ධනවාදයක හැකියාව පෙර දුටුවේ කෞට්ස්කි ය. “ආන්තික අධිරාජ්‍යවාදයේ” මෙම නව රූපාකාරය, යුද්ධය ආම්බාන් කර ගැනීමට පාලක පන්තීන්ට හැකියාව දෙනු ඇතැයි ඔහු කියා සිටියේ ය. ප‍්‍රකටව ඇති තම අධිරාජ්‍යවාදය: ධනවාදයේ ඉහල ම අවධිය නමැති කෘතිය තුල ලෙනින් මෙසේ ලීවේ ය:

...කෞට්ස්කිගේ “න්‍යායට” තිබිය හැකි එක ම වෛෂයික, එනම් යථා සමාජ අර්ථභාරය, ධනවාදය යටතේ සදාකාලික සාමය තිබිය හැකි යයි ද වර්තමාන යුගයේ උග‍්‍ර ගැටලුවලින් ද ප‍්‍රතිඝතිතාවන්ගෙන් ද අවධානය ඉවත හැරවීම හා අනාගතයේ “ආන්තික අධිරාජ්‍යවාදයක” හැකියාව පිලිබඳ මායාකාරී බලාපොරොත්තු දෙසට ඔවුන් යොමු කිරීම ද මගින් ජනතාව සැනසීමේ වඩාත් ම ප‍්‍රතිගාමී ක‍්‍රමයක් ය යන්න යි. කෞට්ස්කිගේ “මාක්සියානු” න්‍යායයේ තිබෙන එක ම දෙය ජනතාව රැවටීම මිස අන් කිසිවක් නොවේ.(4)

අවස්ථාවාදයට එරෙහිව බොල්ශෙවිකයන් දියත් කල අරගලවල පාඩම් නොතකා හැරීමට මනාප ස්ටයිනර්, අධිරාජ්‍යවාදී වර්ධනයේ කවර අවධියක් හා කවර ක‍්‍රියාදාමයක් කෞට්ස්කිගේ ඉදිරිදර්ශනය සනාථ කොට ලෙනින් හා ට්‍රොට්ස්කිගේ ඉදිරිදර්ශනය ප‍්‍රතික්ෂේප කලේදැයි අපට කීමට අසමත් වෙයි.

ග‍්‍රීසියේ අර්බුදය

2015 ජනවාරි ග‍්‍රීක මැතිවරනය, ස්ටයිනර් හා බ්‍රෙනර් විසින් මූලික මාක්ස්වාදී දේශපාලන මූලධර්ම ප‍්‍රතික්ෂේප කිරීමේ තවත් අදියරක් සලකුනු කලේ ය. ගැඹුරු උද්‍යෝගයකින් ඔවුහු, සිරිසාවේ ජයග‍්‍රහනය හුවාදැක්වූහ. සිරිසාව හා එහි සුලු ධනේශ්වර ව්‍යාජ-වම, සමස්තයක් ලෙස නියෝජනය කරන්නේ, පශ්චාත්-නූතනවාදී න්‍යායයන්, විකාර හා අවස්ථාවාදී වැඩපිලිවෙල හා ඉහල මධ්‍යම පාන්තික සමාජ සංයුතිය යනාදිය වීමේ තතු තුල මෙය විශ්මයට කරුනක් නො වී ය. සිරිසාවේ නායක මන්ඩල හා සංවිධානයේ වාටියෙහි, ස්ටයිනර්ලා හා බ්‍රෙනර්ලා ගනන් නැති සංඛ්‍යාවක් සොයා ගත හැක. සිරිසාවේ ජයග‍්‍රහනය සැමරීමට හවුල් වීම ජාත්‍යන්තර කමිටුව විසින් ප‍්‍රතික්ෂේප කිරීමට ස්ටයිනර් හා බ්‍රෙනර් කෝපාවිෂ්ඨ ප‍්‍රතිචාරයක් දැක්වූහ. සිරිසාවේ ක‍්‍රියාමාර්ගය පිලිබඳ අපගේ විශ්ලේෂනය හා එය අනිවාර්යයෙන් ග‍්‍රීක කම්කරු පන්තිය පාවා දෙනු ඇති බවට අප කල අනතුරු ඇඟවීම් ඔවුන්ගේ හෙලා දැකීමට ලක් විය. 2015 පෙබරවාරි 2දා පලකල ලිපියක බ්‍රෙනර්, මැතිවරනයෙන් පසුව ලෝක සමාජවාදී වෙබ් අඩවිය නිකුත් කල ප‍්‍රකාශන කෝපයෙන් උපුටා දැක්වී ය:

සිරිසාවටත් එහි ධනේශ්වර-ගැති න්‍යාය පත‍්‍රයටත් දෙන සහාය සාධාරනීකරනය කිරීමට සුලු ධනේශ්වර ව්‍යාජ-වම ඉදිරිපත් කරන දේශපාලනික නිදහසට කරුනු, එනම් සිප්රාස් ආන්ඩුව කම්කරු පන්තියට නැතුවම බැරිවූ “අත්දැකීමක්” බවත් ඒ තුලින් කම්කරුවන් කෙසේ හෝ අව්‍යාජ සමාජවාදී පිලිවෙත්වල අවශ්‍යතාව අවබෝධ කර ගනු ඇති බව, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව අවඥාසහගත ව ප‍්‍රතික්ෂේප කරයි.

එවැනි විතන්ඩවාදයන් ඉදිරිපත් කරන්නේ, වෙහෙස නො බලා සිරිසාව දේශපාලනික ව හෙලිදරවු කිරීම හරහා පමනක් සිදුවිය හැකි, කම්කරු පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරයක ඉස්මතු වීමට විරුද්ධවයි. ග‍්‍රීසිය තුලත් ජාත්‍යන්තරවත් කම්කරුවන් හා තරුනයන් මුහුන දෙන තීරනාත්මක අරගල සඳහා ඔවුන් සූදානම් කිරීමට ලෝක සමාජවාදී වෙබ් අඩවිය එකී කර්තව්‍යය භාරගනී.(5)

ඇදහීමට වඩාත් ම අපහසු යයි සලකන වාක්‍යාංශ තමන් ඇල කොට දක්වා ඇතැයි සඳහන් කරන බ්‍රෙනර්, ජනවාරි 28දා ලෝක සමාජවාදී වෙබ් අඩවිය පලකල දෙවන ප‍්‍රකාශනයක් උපුටා දැක්වී ය:

ව්‍යාජ-වමේ තවත් තර්කයක් වන්නේ, කම්කරු පන්තියට සිරිසාවේ අත්දැකීම් හරහා ගමන් කර ඉන් ඉගෙනගත හැකි බැවින්, එයට සහයෝගය දිය යුතු බව යි. මෙය තනිකරම නරුමත්වය යි. සිරිසා ආන්ඩුවකින් ඇති කල හැකි යෝධ අන්තරායන් හමුවේ, මාක්ස්වාදී පක්ෂයක කර්තව්‍යය වන්නේ සිරිසාව නියෝජනය කරන පන්ති අවශ්‍යතා හෙලිදරවුකොට, එහි විපාක පිලිබඳ ව අනතුරු අඟවා කම්කරු පන්තියට පැහැදිලි සමාජවාදී දිශානතියක් සම්පාදනය කිරීම යි.

ග‍්‍රීසිය තුල “අත්දැකීම්වලට” ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහභාගි වන්නේ මෙලෙසිනි. නොයෙකුත් ව්‍යාජ-වාම කන්ඩායම් සිරිසාවේ එල්ලී සිටින්නේ ඒවා ද එම පක්ෂය නියෝජනය කරන පන්ති අවශ්‍යතා ම නියෝජනය කරන හෙයිනි.ඔවුන් කතා කරන්නේ කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයකට බිය වන, එමෙන් ම ධනේශ්වර පර්යාය තුල තමන්ගේ ම සමාජීය ප‍්‍රගමනය පිලිබඳ ව උනන්දු වන මධ්‍යම පන්තියේ වඩා ධනවත් කොටස් වෙනුවෙනි.(6)

මෙයට ප‍්‍රතිචාර ලෙස බ්‍රෙනර්, “මෙම උද්ධෘතයන් දෙකම මාක්ස්වාදීන් කට්ටිවාදය යයි කියන දෙයට නිදසුන්” වන බව පැවසීය. ඔහු තම මාක්ස්වාදී මූලාශ‍්‍රයන්හි නම් සම්පාදනය කලේ නැත. පැහැදිලිවම එම මූලාශ‍්‍රවලට මාක්ස්, එංගල්ස්, ලෙනින් හා ට්‍රොට්ස්කි අයත් නො වෙති. මන් ද යත්, කම්කරු පන්තිය, ධනේශ්වරයට දේශපාලනික ව යටත් කිරීම සඳහා ක‍්‍රියාකල සියලු අවස්ථාවාදී පක්ෂ හා ප‍්‍රවනතාවල වඩාත් ම අශමනීය විරුද්ධවාදීන් වූයේ ඔවුන් බැවිනි. ධනේශ්වර ආන්ඩුවක් -නිශ්චිත ව ම සිරිසාව එවන් ආන්ඩුවකට නායකත්වය දෙයි- හෙලිදරවු කිරීම හා එයට විරුද්ධ වීම කට්ටිවාදය නම්, විප්ලවීය සමාජවාදී ව්‍යාපාරයක් ලෙස මාක්ස්වාදයේ සමස්ත ඉතිහාසය, දීර්ඝ හා අඳුරු “කට්ටිවාදයේ” වංශකතාවක් වන අතර එහි ප‍්‍රමුඛ නියෝජිතයෝ අන් කවරෙක්වත් නොව, ලෙනින් හා ට්‍රොට්ස්කි ය.

සිරිසා ආන්ඩුවට විරුද්ධ වීම නිසා ජාත්‍යන්තර කමිටුව හෙලා දකිනු ලැබීම සමාන වන්නේ, මෙන්ශෙවික්වාදයට හා දෙවන ජාත්‍යන්තරයට එරෙහි ව ලෙනින්ගේ අරගලය, ස්ටැලින්වාදී “මහජන පෙරමුනුවාදයට” එරෙහි ව ට්‍රොට්ස්කිගේ අරගලය සහ ස්ටැලින්වාදී හා ධනේශ්වර ජාතිකවාදී සංවිධානවලට පැබ්ලෝවාදීන් යටත් වීමට ජාත්‍යන්තර කමිටුව විරුද්ධ වීම තුල ප‍්‍රකාශනය අත්පත් කරගත් දේශපාලන මූලධර්ම ප‍්‍රතික්ෂේප කිරීමට යි. ඔවුන් දැන් පදනම් වන ආස්ථානයන්හි සිට ස්ටයිනර්ට හෝ බ්‍රෙනර්ට, තමන් 1970 ගනන් මුල වර්කර්ස් ලීගයට සම්බන්ධ වූයේ ඇයිදැ’යි විස්තර කල නො හැක. ඒ සමයේ දී පැබ්ලෝවාදියෝ එක දිගට ම ජාත්‍යන්තර කමිටුව “අති වාමාංශික කට්ටිවාදීන්” ලෙස හෙලා දුටහ.

ස්ටයිනර් හා බ්‍රෙනර් ලියන සියල්ල, ට්‍රොට්ස්කි වෙහෙස නො තකා සටන් වැදුනු මූලධර්මවලට විරුද්ධ ය. සංක‍්‍රමන ක‍්‍රියාමාර්ගයේ අර්ථභාරය පිලිබඳ ව ඇමරිකානු ට්‍රොට්ස්කිවාදීන් සමග 1938 දී පැවති සාකච්ඡාවල දී ට්‍රොට්ස්කි අවධාරනය කලේ, විප්ලවවාදී පක්ෂ ක‍්‍රියාමාර්ගයේ ආරම්භක ලක්ෂ්‍යය විය යුත්තේ එහි සියලු ආතතීන් සහිත ධනවාදයේ වෛෂයික අර්බුදය මිස කම්කරුවන්ගේ ආත්මීය විඥානය හා ව්‍යාකූලත්වය නො වන බව යි. ජේම්ස් පී. කැනන් හා ඇමරිකානු ශාඛාවේ අනෙකුත් නායකයන් සමග 1938 මැයි මාසයේ පැවති හමුවක දී ට්‍රොට්ස්කි මෙසේ පැවසීය:

ඇමරිකානු කම්කරු පන්තියේ දේශපාලන පසුගාමීත්වය දැවැන්තය. එහි අර්ථය, ෆැසිස්ට් ව්‍යසනයක අනතුර ද සුවිසල් බව යි. අපගේ සකල ක‍්‍රියාකාරීත්වය සඳහා ආරම්භක ලක්ෂ්‍යය ද එය යි. ක‍්‍රියාමාර්ගයෙන් ඉදිරිපත් කල යුත්තේ කම්කරු පන්තියේ වෛෂයික කර්තව්‍යයන් මිස ඔවුන්ගේ පසුගාමීත්වය නො වේ. ඉන් පිලිබිඹු කල යුත්තේ ඒ හැටියට පවත්නා සමාජය මිස කම්කරුවන්ගේ පසුගාමීත්වය නො වේ. ක‍්‍රියාමාර්ගය වනාහි පසුගාමීත්වය පරාජය කර එය ජයගන්නා උපකරනයකි.7

ජනතාවගේ ව්‍යාකූලත්වයට හා අගතීන්ට පොහොර දැමීමට එරෙහිව ඇමරිකානු නායකයන් සමග පැවති සාකච්ඡාවල දී ට්‍රොට්ස්කි මෙසේ අනතුරු ඇඟවී ය:

...මහජන මනෝගතිය වෛෂයික සාධකයන්ට ගැලපීම අපගේ කර්තව්‍යය යි... අප කටයුතු කල යුතු පදනම ලෙස පවතින්නේ, සමාජයේ අර්බුදය යි. අපගේ ක‍්‍රියාකාරීත්වයේ දේශපාලන කරලිය, (සමාජ) මනෝගතිය යි. අප එය වෙනස් කල යුත්තෙමු. සමාජය පිලිබඳ විද්‍යාත්මක විග‍්‍රහයක් ඉදිරිපත් කල යුතු අපි එය මහජනයාට පැහැදිලිව විස්තර කල යුත්තෙමු. මාක්ස්වාදය හා ප‍්‍රතිසංස්කරනවාදය අතර වෙනස එය යි.

ප්රේක්ෂකයන්ට අවශ්‍ය කුමක් ද යන්න ගැන හොඳ ඉවක්, නෝමන් තෝමස් වැනි ප‍්‍රතිසංස්කරනවාදීන් සතුව ඇති අතර ඔවුහු එය සපයති. එහෙත් එය බැරෑරුම් විප්ලවවාදී ක‍්‍රියාකාරීත්වය නො වේ. “ඔබලා මෝඩයෝ ය”, “ඔබලා තකතීරුවෝ ය”, “ඔවුහු ඔබලා පාවා දෙති” යනුවෙන් පැවසීමට හා ජනප‍්‍රිය නො වීමට ද අපගේ අදහස් අනුරාගී ලෙස ගෙන හෙලා දැකීමට පාත‍්‍ර වීමට අපට ධෛර්ය තිබිය යුතු ය. කලින් කල කම්කරුවා සසල කර අපගේ ක‍්‍රියාමාර්ගය විස්තර කිරීම ද පසුව යලිත් සෙලවීම ද අවශ්‍යය. ඒ සියල්ල අයත් වන්නේ ප‍්‍රචාරන කලාවට යි. එහෙත් එය විද්‍යාත්මක විය යුතු අතර මහජන මනෝගතියට නැමිය නො යුතු ය.8

ඇමරිකානු කම්කරුවන් සමාජවාදී විප්ලවයේ ක‍්‍රියාමාර්ගය පිලිගැනීම ප‍්‍රතික්ෂේප කරන්නේ නම් ෆැසිස්ට්වාදයේ වැඩපිලිවෙල පිලිගැනීමේ අන්තරායට ඔවුන් මුහුන පාන බව ඇමරිකානු ව්‍යාපාරයේ නායකයන්ට ට්‍රොට්ස්කි අනතුරු ඇඟවී ය. නියමිත කාලයේ දී කම්කරුවන් ක‍්‍රියාකාරී වනු ඇතැයි සහතිකයක් නැත. “අපට මෙහි වගකීම භාරගත නො හැකි ය. අපට වගකිව හැක්කේ අප ගැන පමනය.” ට්‍රොට්ස්කි පැවසී ය.9

ස්ටයිනර් හා බ්‍රෙනර් කිසිවක් පිලිබඳ ව වගකීම භාර නො ගනිති. ධනේශ්වර දේශපාලන පක්ෂයකට හා එය නායකත්වය දෙන ආන්ඩුවට තමන් දෙන සහයෝගය සාධාරනීකරනය කිරීම සඳහා ඔවුන් කම්කරු පන්තියේ “අත්දැකීම” යන්නෙහි පිහිට පතන්නේ, එය පන්ති බලවේගවල බලපෑමට ලක් නො වන, නිෂ්ක‍්‍රීයව හා ගෞරවනීය නිශ්ශබ්දතාවෙන් යුතුව නිරීක්ෂනය කල යුතු මානසික ප‍්‍රපංචයක් වන්නාක් මෙනි. වෛෂයික ඓතිහාසික ක‍්‍රියාවලිය පිලිබඳ අපෝහකය තුල, “චලනයේ හා උත්පාදනයේ මූලධර්මය”(10) ක‍්‍රියාකරවන නිෂේධනයේ තීරනාත්මක සංරචකය වන විප්ලවවාදී පක්ෂයේ සවිඥානික ක‍්‍රියාකාරීත්වය දිගහැරෙන සමාජ අත්දැකීමෙන් බැහැර කල යුතු යයි සියල්ලට ඉහලින් ඔවුහු අවධාරනය කරති. ඇත්තවශයෙන්ම ස්ටයිනර් හා බ්‍රෙනර් තර්ක කරන්නේ, අපවිත‍්‍ර අහිංසකත්වයේ ශුද්ධවූ මානසික තත්ත්වයට විවේචනාත්මක විශ්ලේෂනය හා විසංවාදී හෙලිදරවු කිරීම සමගින් බලහත්කාරයෙන් කඩා වැදීමට අවසර දිය නො හැකි බව යි. අත්දැකීම “අවමානයට” පත් නො කල යුතු ය. ඒ වෙනුවට, “අත්දැකීමට” තමන් කැමති තැනකට, එනම් පරාජය කරා, කම්කරුවන් දැක්කීමට ඉඩ දිය යුතු ය.

සටහන්

1. http://forum.permanent-revolution.org/2014_05_01_archive.html

2. http://forum.permanent-revolution.org/2014/09/a-brief-comment-on-resolution-of-sep-on.html [අවධාරනය අපේ]

3. සංක‍්‍රමන ක‍්‍රියාමාර්ගය: ධනවාදයේ මරලතෝනිය හා හතරවන ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ, (කොලඹ, කම්කරු මාවත ප‍්‍රකාශන, 1988), 1 පිටුව.

4. වී. අයි. ලෙනින්, Imperialism, the Highest Stage of Capitalism, අධිරාජ්‍යවාදය: ධනවාදයේ උච්ඡතම අවධියයි, (නිව් යෝක්: ඉන්ටර්නැෂනල් පබ්ලිෂර්ස්, 1970), 118 පිටුව.

5. www.wsws.org/en/articles/2015/01/27/pers-j27.html [බ්‍රෙනර්ගේ අවධාරනය]

6. www.wsws.org/en/articles/2015/01/28/syri-j28.html [බ්‍රෙනර්ගේ අවධාරනය]

7. The Transitional Program for Socialist Revolution, සමාජවාදී විප්ලවය සඳහා සංක‍්‍රමන ක‍්‍රියාමාර්ගය, (නිව් යෝක්: පාත් ෆයින්ඩර්, 1977), 189-190 පිටු

8. එම, 219 පිටුව

9. එම., 191 පිටුව

10. Marx-Engels Collected Works, මාක්ස්-එංගල්ස් එකතු කල කෘති, 3 වෙලුම (නිව් යෝක්: ඉන්ටර්නැෂනල් පබ්ලිෂර්ස්, 1975), 332 පිටුව

Share this article: