2016 මැයි දිනය: ඇමරිකානු-චීන ගැටුම සහ ලතින් ඇමරිකාවේ දේශපාලන අර්බුදය

May Day 2016: The US-China conflict and the political crisis in Latin America

බිල් වෑන් ඕකන් විසිනි, 2016 මැයි 05

පහත පලවන්නේ ලෝසවෙඅ ලතින් ඇමරිකාව පිලිබඳ සංස්කාරක බිල් වෑන් ඕකන් 2016 ජාත්‍යන්තර අන්තර්ජාල මැයි රැලියට කල කථාව යි.

ලතින් ඇමරිකාව තුල වර්ධනය වෙමින් පවත්නා විප්ලවවාදී අර්බුදය කෙරේ, 2016 මැයි දිනයේදී හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජජාක) සිය අවධානය යොමු කරයි. දශ ලක්ෂ 630ක ජනයා වෙසෙන මෙම කලාපය, පන්ති අරගලයේ රංග පථය තුල පුපුරන සුලු අඩවියක් ලෙස ද ඇමරිකානු අධිරාජ්‍යවාදය සිය සැබෑ සතුරන් හා විභව සතුරන් සමග ගැටුම් උත්සන්න කිරීම මගින් සිය ලෝක ආධිපත්‍යය පැටවීමට දරන පරිශ‍්‍රමයේ තවත් යුදපිටියක් ලෙස ද යන දෙආකාරයෙන් ම ඉස්මතු වෙමින් පවතී.

පලමු හා දෙවන ලෝක යුද්ධයන්හි බිහිසුනු ප‍්‍රචන්ඩත්වයෙන් මිදී හුන් ලතින් ඇමරිකානු ජනයාට, තෙවැනි ලෝක යුද්ධයක් ඇතිවුවහොත් නම් පැහැදිලිවම එවැනි භාග්‍යයක් හිමි නොවනු ඇත. තෙවැනි ලෝක යුද්ධයක දී න්‍යෂ්ටික අවි ගැටුම්වලින් සමන්විත මහා ගිනි ජාලාවක් මොලවනු ලැබීම නො වැලැක්විය හැකි ය.

අන්තර් ජාල මැදි දින රැලියට බිල් වෑන් ඕකන් සිදුකල කතාව

මෙම කලාපය සිය “පිලිකන්න” ලෙස අවමන්සහගතව හැඳින්වූ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, සිය ගෝලීය පරිමාන සතුරන් කෙරෙන් --විශේෂයෙන් ම චීනයෙන්-- තම ඓතිහාසික කලාපීය ආධිපත්‍යයට එල්ල කෙරෙන, දිනෙන් දින උත්සන්න වන අභියෝගයන්ට මුහුන දී සිටී. චීනය හා ලතින් ඇමරිකාව අතර වෙලඳාම පසුගිය වසර 15 තුල සියයට 2,000 කින් පමන ඉහල ගොස් ඇත.

චීන අරමුදල් යොදා ගනිමින්, පැනමා ඇලෙහි වැදගත්කමට වල කපනු ඇති නව නිකරගුවානු ඇල මාර්ගයක් ගොඩනැගීමටත් බ‍්‍රසීලය හා පේරු රාජ්‍යය අතර අන්තර් සාගරික දුම්රිය මාර්ගයක් ඉදිකිරීමටත් ඇති සැලසුම් අනාවරනය වී ඇත. මෙම ව්‍යාපෘතිවල අරමුන වන්නේ කලාපයේ ආර්ථිකයන් චීනය දෙසට හරවා ගැනීම යි.

මෙම කලාපය හා චීනය අතර දිනෙන් දින වර්ධනය වෙමින් පවතින ආර්ථික බැඳීම්, එක්සත් ජනපදයේ බලපෑමට වල කපන බවට පෙන්ටගනයේ මූලෝපායඥයින් අනතුරු අඟවා ඇත. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආධිපත්‍යය යලි තහවුරු කිරීම අරමුන සහිත ඔබාමා පාලනයේ “ආසියාවට හැරීමේ” වැඩ පිලිවෙල “ලතින් ඇමරිකාවට හැරීමේ” වැඩ පිලිවෙලක් ද සමග අත්වැල් බැඳ ගත යුතු බවට ඔවුහු තර්ක කරති.

එක් මුල් පෙලේ ඇමරිකානු යුද මූලෝපායඥයෙකු මේ කරුන යුද්ධයේ ගොරහැඩි භාෂාවෙන්ම මෙසේ ඉදිරිපත් කරයි: “මේ කරුන දෙස මිලිටරිමය වශයෙන් බලන්නේ නම්, ලතින් ඇමරිකාව යනු එක්සත් ජනපදයට සමීප (හමුදා ස්ථානගත කෙරුනු) අනාධිපත්‍ය භූමිභාගය යි. එවැනි භූමියක් සතුරෙකු සතුවීම සිය බලඇනිවලට එල්ල කෙරෙන නොපිලිගතහැකි තර්ජනයක් ලෙස වගකිවයුතු අනදෙන නිලධාරියෙකු විසින් හඳුනා ගනු ලැබෙනු ඇත. ඒ අනුව, සතුරා එසේ කිරීම අවහිර කිරීමට තම සම්පත් යොදවනු ඇත.”

ඇමරිකානු රාජ්‍ය සංවිධානයේ රැස්වීමක් ඉදිරියේ, “මොන්රෝ ධර්මතාවයේ යුගය අවසන්ව ඇතැයි” ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසා වසර දෙක හමාරක් ගතව ඇත. ඇමරිකානු විදෙස් පිලිවෙතේ වසර 200ක් පැරනි කුලුන්න, බටහිර අර්ධගෝලයේ පය ගැසීමට ඉඩක් සලසා ගැනීමෙන් පිටස්තර බලවතුන් වැලැක්වීමට බලය පාවිච්චි කිරීමේ අවසරය වොෂින්ටනයට පවරා ඇති බව කියනු ලැබේ.

කෙරීගේ ප‍්‍රකාශය තිබියදීම, චීනය ඉලක්ක කර ගනිමින් ද, බටහිර අර්ධගෝලය එහි මූලෝපායික වෙලඳපොලවල් හා සම්පත් මත ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ආධිපත්‍ය තහවුරු කිරීමේ අරමුන සහිතව ද පුපුරා යන වේගයකින් මිලිටරිවාදය වර්ධනය කිරීම සාධාරනීකරනය කිරීම සඳහා මොන්රෝවාදයේ නව හා වඩාත් විෂකුරු රටාවක් සුදානම් කෙරෙන බැව් පෙනී යයි.

20 වන සියවස පුරා සෘජු එක්සත් ජනපද හමුදා මැදිහත්වීම් 50ක් පමන සිදු කරන අතරතුර මෙම කලාපයේ වැඩි කොටසක් මත කුරිරු ආඥාදායකත්වයන් ස්ථාපනය කෙරෙන පරිදි හමුදා කුමන්ත‍්‍රන අවුලුවාලීමත් තාර්කිකව සාධාරනීකරනය කිරීම සඳහා කැඳවනු ලැබුයේ මෙකී මොන්රෝවාදය යි.

කලාපයේ විශාලතම ආර්ථිකය වන බ‍්‍රසීලය, 1930 ගනන්වල මහා අවපාතයෙන් මෙපිට ගැඹුරුතම ආර්ථික කඩාවැටීමට මුහුන දී සිටී. සෑම මසක් පාසාම එහි රැකියා අහිමි කිරීම් 100,000 ඉක්මවා යන අතර උද්ධමනය මගින් කම්කරුවන්ගේ ජිවන මට්ටම් ඛාදනය වෙමින් පවතී. ඛනිජ තෙල් අපනයනය මත රැඳුනු වෙනිසියුලානු ආර්ථිකය මෙම වසරේ දී සියයට අටකින් හැකිලෙනු ඇති බවට ගනන් බලා තිබේ. උද්ධමන වේගය සියයට 700ක් වනු ඇත.

තවදුරටත් මෙකී අරමුනු ඔස්සේ යමින්, කලාපය පුරා පැතිර යන --ප‍්‍රධානකොට ම භාන්ඩ වෙලඳපොලේ බිඳවැටීම්වල හා මතුවන වෙලඳපොල උත්පාතයන්හි ප‍්‍රතිඵලයක් වන- වර්ධනය වන ආර්ථික හා දේශපාලන අර්බුද ගසා කෑමට වොෂින්ටනය අධිෂ්ඨාන කොට ගෙන සිටී.

මේ සියල්ලන්ම විසින් නායකත්වය දෙන ලද්දේ ධනේශ්වර දේපල සම්බන්ධතා ආරක්ෂා කල ධනපති ආන්ඩුවලට ය. ධනේශ්වර පාලනය තහවුරු කර ගැනීමට බලයට නංවනු ලැබූ ඔවුහු, ඉහල යමින් පැවැති වෙලඳ භාන්ඩ මිල ගනන්වල ආධාරයෙන් හා චීනය සමග වෙලඳ කටයුතු පැවැත්වීම මගින් වොෂින්ටනයෙන් යම්තාක් දුරකට ස්වාධීනත්වයක් පවත්වා ගන්නා අතර පන්ති ආතතීන් තුනී කරනු වස් අවම සමාජ ආධාර වැඩ පිලිවෙලවල් ක‍්‍රියාවට නැගූහ. ආර්ථික අර්බුදය හා දේශපාලනික දක්ෂිනාංශයෙන් එල්ලවූ ප‍්‍රහාරයන්හි වැඩීයාම හමුවේ මෙම ආන්ඩු තල්ලු කෙරුනේ, කම්කරු අරගලවලට ප‍්‍රහාර එල්ල කරමින් හා ධනේශ්වර කප්පාදු වැඩ සටහන ක‍්‍රියාවට නංවමින් තමාම වඩාත් දකුනට යාමට ය.

හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා එක්සත් ජනපදය තුල සමාජවාදී සමානතා පක්ෂයේ එහි සහයෝගිකරුවන් ද, මෙම කලාපය තුල ඇමරිකානු අධිරාජ්‍යවාදී ආධිපත්‍යය යලි තහවුරු කිරීම සඳහා මෙකී අර්බුද ගසා කමින් සිදු කරන සෑම උපාමාරු දැමීමකට හා සෑම මැදිහත්වීමකට ම විරුද්ධ ය.

ඒ අතර ම, අධිරාජ්‍යවාදය හා ජාතික ධනේශ්වරය යන දෙපාර්ශවයෙන් ම එල්ල කෙරෙන ප‍්‍රහාර පරාජය කල හැකි වන්නේ, ඇමරිකානු මහාද්වීපය පුරා කම්කරු පන්තිය විප්ලවවාදී සමාජවාදී හා ජාත්‍යන්තර වැඩපිලිවෙලක් මත පදනම්ව ස්වාධීනව බලමුලු ගන්වා ගැනීමෙන් පමනෙකැයි අපේ ව්‍යාපාරය අවධාරනය කරයි.

අර්බුදය විසින් ලතින් ඇමරිකාවේ ඊනියා “වමට හැරීමේ” වැඩපිලිවෙලට සම්බන්ධ ආන්ඩුවලට යටින් වල කපනු ලැබ ඇත. ආර්ජන්ටිනාවේ බලයෙන් පහ කෙරුනු ක‍්‍රිස්ටිනා ෆර්නැන්ඩස්ගේ නායකත්වයෙන් යුත් පෙරෝන්වාදීන්ගේ සිට, ඩිල්මා රුසෙෆ්ගේ දෝෂාභියෝගයට මුහුන දී සිටින බ‍්‍රසීල කම්කරු පක්ෂයේ (Partido dos Trabalhadores) සිට, ආපසු කැඳවීමකට මුහුන පා සිටින වෙනිසියුලාවේ නිකොලස් මදුරෝගේ හා බොලිවියාවේ ඊවෝ මොරාලෙස්ගේ දක්වා එකකින් පසු එකක් වශයෙන් මේ ආන්ඩු කිසිවකට තවත් වාරයක් සඳහා ජනමත විචාරනයකින් අනුමැතිය ලබා ගත හැකි වුයේ නැත.

කම්කරු පන්තිය තුල විප්ලවවාදී මාක්ස්වාදී පක්ෂ ගොඩ නැගීමට ආදේශකයක් ලෙස ලතින් ඇමරිකාවේ ධනේශ්වර හා සුළු ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාරවලට අනුග‍්‍රහ දක්වන්නෝ --ඇමරිකානු ප‍්‍රාග්ධනයට යලිත් කියුබාවට ආරාධනා කරන කස්ත්‍රෝවාදයේ සිට, තරයේම දුෂිත ධනපති උපකරනයක් වූ බ‍්‍රසීල කම්කරු පක්ෂයේ සිට, චවිස්මෝ දක්වා-- වත්මන් අර්බුදය හමුවේ, කම්කරු හා තරුන කොටස් දේශපාලනිකව නිරායුධ කිරීම සම්බන්ධ වගකීම දරන්නෝ ය. ඔවුන් අතරින් ප‍්‍රමුඛ වන්නේ 1960 ගනන්වලදී ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයෙන් බිඳී ගිය පැබ්ලෝවාදී සංශෝධනවාදීන් ය. එසේ කීමේ දී ඔවුන්ගේ මොරොන්වාදී ප‍්‍රභේදයන් ද ඇතුලත් වේ.

ඇමරිකානු මහාද්වීපය පුරා කම්කරුවන්ට එරෙහිව සකස් කෙරෙමින් පවතින කොන්දේසි, ඇමරිකානු අධිරාජ්‍යවාදයට භූගෝලීය වශයෙන් හා ආර්ථික වශයෙන් සමීපතම මැක්සිකෝව තුල ලේ වැකි ප‍්‍රකාශනයක් අත් කරගෙන ඇත. අයෝට්සිනාපා ශිෂ්‍ය ගුරුවරුන් 43 දෙනාගේ කුරිරු ඝාතනය හා අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් දිගින් දිගටම කරුනු සගවා තැබීම මගින් මෙම ඓතිහාසික අපරාධයට රාජ්‍යයේ හා පාලක සංස්ථාපිතයේ සෑම මට්ටමකම ඇති සම්බන්ධය සැගවීමට හැකි වී නැත. මේ අතර රජය සතු තෙල් කර්මාන්තය වන පෙමෙක්ස් පෞද්ගලිකරනය කිරීමේ ප‍්‍රයත්නය තමන්ගේ ම බිලි ගැනීම් සිදු කොට ඇත්තේ, වෙරාකෘස් හි පෞද්ගලිකරනය කරන ලද සමාගම් වැඩ බිමක පසුගිය මස සිදුවූ පිපිරීමකින් කම්කරුවන් 32 කට ජිවිත අහිමි කරමිනි.

යුරෝපයේ දී මෙන්ම ලතින් ඇමරිකාව තුල ද යුද්ධය කරා වන ප‍්‍රවිෂ්ටය සරනාගතයන් හා සංක‍්‍රමනිකයන්හට කුරිරු වධ හිංසා පැමිනවීම සමග අතිනත ගෙන ඉදිරියට යයි. ඩොනල්ඩ් ට‍්‍රම්ප් වැනි රිපබ්ලිකන්වරුන් කම්කරු පන්තිය බෙදීම සඳහා සංක‍්‍රමනික විරෝධී හැගීම් අවුස්සාලීමට යත්න දරන අතර ඔබාමා පාලනය මධ්‍යම ඇමරිකාව තුල ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් නිර්මිත සමාජ ව්‍යසනයෙන් පලා එන පවුල් හා දරුවන් රැඳවුම් කඳවුරු තුල සිරගත කිරීමෙන් ද පිටුවාහල් කිරීමෙන් ද තමන්ගේම මර්දන යන්ත‍්‍රය ක‍්‍රියාත්මක කොට ඇත. එපමනකින් නොනැවතී, සංක‍්‍රමනිකයන්ට වධ හිංසා පැමිනවීම හා මරා දැමීම සම්බන්ධයෙන් වරදකරුවන් වන මැක්සිකානු හා මධ්‍යම ඇමරිකානු ආරක්ෂක හමුදාවන්ට ද මර්දන කොන්ත‍්‍රාත්තුව භාර දී ඇත.

හජාජාක හා එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය, මර්දනයට හා පිටුවාහල් කිරීමට භාජනය වීමෙන් තොරව තමන් කැමති රටක ජීවත්වීමට හා වැඩ කිරීමට සරනාගතයන්ට ද සියලු සංක‍්‍රමනික කම්කරුවන්ට හා තරුනයන්ට ද ඇති අයිතිය කොන්දේසි විරහිතව ආරක්ෂා කරයි.

යුද්ධයට එරෙහිව හා ඇමරිකානු සමාජවාදී එක්සත් ජනපදයක් සඳහා පොදු විප්ලවවාදී අරගලයක් වෙනුවෙන් අර්ධගෝලයේ සියලු දේශසීමා හරහා කම්කරුවන් එක්සත් කිරීමට අපි සටන් වදිමු. මෙම ඉදිරි දර්ශනය සාක්ෂාත් කොට ගත හැක්කේ, කම්කරු පන්තියේ සමාජවාදී හා ජාත්‍යන්තරවාදී නායකත්වය --එනම්, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා-- සෑම රටක් තුල ම ගොඩනැගීමෙන් පමනකි.

Share this article: