තුන්වන ජාත්‍යන්තර අන්තර්ජාල මැයි දින රැලියට බලගතු ප්‍රතිචාරයක්

Third International May Day Online Rally evokes powerful response

ෂැනන් ජෝන්ස් විසිනි, 2016 මැයි 02

2016 මැයි 01දා පවත්වන ලද ජාත්‍යන්තර මැයි දින අන්තර්ජාල රැලියට විවිධ රටවල් 90ට වැඩි සංඛ්‍යාවකින්, කම්කරුවන් හා තරුනයින් දහස් ගනනක් සහභාගී විය. රැලිය මාධ්‍යගත වූයේ, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව කම්කරුවන්ගේ, ශිෂ්‍යයින්ගේ හා තරුනයින්ගේ ගෝලීය ව්‍යාපාරයක් ගොඩනැඟීම මතය.

මිචිගන්හි ඩෙට්‍රොයිට්, ජර්මනියේ බර්ලින් හා ශ්‍රී ලංකාවේ කොලඹ ද ඇතුලු විවිධ නඟරවල එකට රැස්ව සවන්දුන් බොහෝ දෙනෙක් ද රැලියට සහභාගී වූහ. එදින සවස කොලඹදී පැවැත්වූ මැයි දින රැස්වීමට කම්කරුවන් හා තරුනයින් 200ක් එක්ව සිටියේය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් සංවිධානය කරන ලද තුන්වන ජාත්‍යන්තර මැයි දින රැලිය මෙයයි. මහාද්වීප හතරක සිටින ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය වන හජාජාක ප්‍රමුඛ පුද්ගලයින් මෙහිදී කථා කරන ලදී. සියලු කථා ඉංග්‍රීසි භාෂාවෙන් ජර්මානු, සිංහල හා දෙමල භාෂා වලට එසැනින් පරිවර්තනය කරන ලදී.

මෙක්සිකෝව, තුර්කිය, ක්‍රොඒෂියා, යූඒඊ, පිලිපීන හා දකුනු කොරියාව ඇතුලු රටවල් රාශියකින් එවන ලද ශුභ පැතුම් ද සහිතව ලෝසවෙඅ පනිවිඩ කවුලුව මත ප්‍රකාශ 700කට වැඩි ප්‍රමානයක් සටහන් කර තිබුනි. එක්සත් ජනපදය, ජර්මනිය, එක්සත් රාජධානිය හා ශ්‍රී ලංකවෙන් සහභාගී වූ බොහෝ දෙනෙක් ද වූහ.

ලෝසවෙඅ ජාත්‍යන්තර කතෘ මන්ඩලයේ සභාපති හා එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් ද වන ඩේවිඩ් නෝර්ත්, රැලිය ආරම්භ කලේ, සහභාගී වන සියල්ලන් පිලිගනිමිනි. ඔහු සිය වාර්තාව ආරම්භ කලේ, හරියටම මීට වසර 25ට පෙර, පලමු ගල්ෆ් යුද්ධය අවසානයෙන් පසුව හජාජාක නිකුත්කල මැයිදින ප්‍රකාශනයෙන් උපුටා දැක්වීමක් ද සමගය. “අවසාන විග්‍රහයේදී ඇමරිකානු අධිරාජ්‍යවාදය වඩ වඩාත් ප්‍රකාශයට පත් කරන යුදවාදය හා ඉවබව නැතිකම නියෝජනය කරන්නේ, විවාදයකින් තොරවම ඇමරිකාව තවමත් දරනු ලබන අධිකාරවත් මිලිටරි බලය තුලින්, සිය ආර්ථික දිරාපත්වීම ජයගැනීමට දරන උත්සාහයකි.”

එතැන් සිට හජාජාක විශ්ලේෂනය සනාථ කෙරී තිබේ. ප්‍රබල වෛෂයික බලවේගයන් ඇමරිකාව පෙර නොවූ විරූ ආකාරයෙන් ඉවබව නැති මදාවි ක්‍රියාවන්ට තල්ලු කරයි. එය ආසියාව මත පමනක් නොව, සමස්ත යුරේසියානු භූ ස්කන්ධය මතම අනසක පිහිටුවා ගැනීමට උත්සාහ දරන බව නෝර්ත් පැවසීය. සිය අරමුනු කරා යාමේදී ප්‍රබල අධිරාජ්‍යවාදී බලවතුන්ගේ දේශපාලන නායකයින්, න්‍යෂ්ටික යුද්ධයක විනාශකාරී ප්‍රතිවිපාකයන්ගේ අවදානම නොගනු ඇතැයි සිතීම මාරක වැරැද්දක් වනු ඇති බවට නෝර්ත් අනතුරු ඇඟවීය.

කම්කරු පන්තියේ යුද විරෝධී මූලෝපාය, ධනේශ්වර දේශපාලනයේ සම්ප්‍රධායික ගනන් බැලීම් මත පදනම් කල නොහැකිය. “ඒ වෙනුවට අප, සමාජ පන්තීන් අතර බල තුලනය පිලිබඳ තක්සේරුවක් මත පදනම් විය යුතුය. අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටන පදනම් වන්නේ, කම්කරු පන්තියේ දේශපාලන බලමුලු ගැන්වීම මතය. යුද්ධයට එරෙහිව යුද්ධයක් ගෙනයාමට හැකි වන පරිදි කම්කරු පන්තියේ දේශපාලන දැනුවත්කම ඉහල නැංවීම හා ඔවුන් අධ්‍යාපනගත කර ගැනීම සමාජවාදී ව්‍යාපාරයේ වගකීම වන්නේය. එම සටන පදනම් කල යුතු ක්‍රියාමාර්ගය, ධනපති විරෝධී හා සමාජවාදී විය යුතුය. මිලිටරි ගැටුම් උත්පාදනය කරන ආර්ථික පද්ධතිය, එනම් ධනවාදය, අහෝසි නොකර යුද්ධය නතර කල නොහැකිය. ”

එහි අතිශය විසකුරු හා ප්‍රතිගාමී රූපාකාරයෙන් ජාතිකවාදය, ලෝකය පුරා යලි හිස ඔසවමින් තිබෙන බවට නෝර්ත් අනතුරු ඇඟවීය. මේ අනතුර හමුවේ කම්කරු පන්තිය, සිය මූලෝපාය, ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය මත පදනම් කිරීමේ අවශ්‍යතාවය ඔහු අවධාරනය කලේය. “අද දින රැලියෙහි අරමුන, යුද්ධයට එරෙහිව කම්කරුවන්ගේ හා තරුනයින්ගේ ජාත්‍යන්තර මහජන ව්‍යාපාරයක් ගොඩනැඟීම සඳහා පැහැදිලි කැඳවුමක් නිකුත් කිරීමයි. මෙම දැවෙන කර්තව්‍යය, සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ලෙස හතරවන ජාත්‍යන්තරය ගොඩනැඟීමත් සමඟ නොවෙන්කල හැකි පරිදි බැඳී ඇතැ”යි නොර්ත් පැවසීය.

ඊලඟ කථිකයා, ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රධාන ලේකම් විජේ ඩයස්ය. ඔහු දකුනු ආසියාවේ මෑත වර්ධනයන් විමසා බලමින්, කලාපය, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගෝලීය යුද සැලසුම්වල අත්‍යවශ්‍ය උපාංඟයක් බව පැවසීය. පාලක පන්තිය ඇමරිකානු යුද මෙහෙයුමට තම සේවය කැප කරමින් සිටින ඉන්දියාවේ ක්‍රියාකලාපය ඔහු විශේෂයෙන්ම අවධාරනය කලේය.

ඔස්ට්‍රේලියානු සසප ජාතික ලේකම් ජේම්ස් කෝගන්, කලාපය පුරා ආතතීන් උත්සන්න කරන ඇමරිකාවේ ආසියාවට “හැරීම” පිලිබඳව කථා කලේය. එහෙත් ඇමරිකානු ප්‍රකෝපකරනයන්ට චීන තන්ත්‍රය දක්වන ප්‍රතිචාරයේ කිසිදු ප්‍රගතිශීලී කමක් ඇත්තේ නැතැයි ඔහු පැවසීය. කම්කරු පන්තිය බෙදන, චීන ජාතිකවාදය උසිගැන්වීම මඟින් ආන්ඩුව, යුද උන්මත්තකයින්ට තල්ලුව දෙයි.

ඔස්ට්‍රේලියානු සසප සහකාර ජාතික ලේකම් චෙරිල් ක්‍රිස්ප්, ඔස්ට්‍රේලියානු හා ජපාන පාලක පන්තිවල ස්වෝත්තමවාදී උසිගැන්වීම් හා මිලිටරිවාදී සූදානම පෙන්වා දුන්නාය. “වර්ගවාදය හා විදේශිකයින් නුරුස්නාකම යන දෙකටම එරෙහි විය හැක්කේ, කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව සඳහා කරන සටනක් තුලින් පමනකි. අප, යුද්ධයේ මූලය වන ධනවාදය පෙරලා දැමීමේ පොදු අරගලයක් තුල එක්සත් විය යුතු” යයි ක්‍රිස්ප් පැවසුවාය.

ලෝසවෙඅ ලේඛක හා ඇමරිකානු සසප ජාතික කමිටු සාමාජික බිල් වෑන් ඕකන්, මධ්‍යම හා දකුනු ඇමරිකාවේ වැඩෙන විප්ලවවාදී අර්බුදය ගැන කථා කලේය. ලතින් ඇමරිකාව සිය “පිලිකන්න” ලෙස සැලකූ ඇමරිකාව, චීනයේ අනුහස කපා හෙලීම පිනිස මොන්රෝ ධර්මතාවේ නව හා වඩා කුරිරු රූපාකාරයක් වර්ධනය කරමින් සිටින බව ඔහු පැවසීය. පන්ති අරගලය යටපත් කිරීම පිනිස අවම සමාජ පිරිවැයක් වෙන්කරමින් බලයේ රැඳී සිටි විවිධ “වාම” ආන්ඩුවලට වල කපමින්, කලාපයේ වැඩෙන ආර්ථික අර්බුදය ගසාකෑමට එක්සත් ජනපදය සැලසුම් කරයි.

මෙම තන්ත්‍රයන්ගේ බංකොලොත්කම, කම්කරු පන්තිය තුල විප්ලවවාදී නායකත්වය ‍ෙගාඩනැඟීමට විකල්පයක් ලෙස ධනේශ්වර ජාතිකවාදය හුවා දැක්වූ සියලු ව්‍යාජ වාම ප්‍රවනතා පිලිබඳ විනාශකාරී හෙලිදරව්වක් බව ඕකන් පැවසීය.

ජර්මානු සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් උලී රිපට්, 2016 මැයි දිනය පැවැත්වෙන්නේ, පලමු ලෝක යුද්ධයේ විනාශය මැද, බර්ලිනයේ පෝට්ස්ඩැමර් ප්ලාට්ස්හිදී ජර්මානු විප්ලවවාදියෙක් වූ කාල් ලිබ්නෙක්ට්, වික්‍රමාන්විත යුද විරෝධී කථාවක් පැවැත්වීමේ තැන් පටන් වසර සීයක් ගතවූ තැන බව සඳහන් කලේය. එම බිහිසුනු ජන සංහාරය නැඟී ඒමට තුඩු දුන් සියලු ප්‍රතිවිරෝධයන් අද යලි හිස ඔසවමින් තිබෙන බවට තෙතෙම අනතුරු ඇඟවීය. ඔහු ජර්මානු මිලිටරිවාදය යලි නැඟී ඒමේ අන්තරාය පෙන්නුම් කලේය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලේකම් පීටර් ෂ්වාස් ඊලඟට කථා කරමින්, යුරෝපීය සංඟමයේ අර්බුදය පැහැදිලි කලේය. යුරෝපීය සංඟමය හා එහි පූර්වගාමීන් වරෙක දේශපාලන ස්ථාවරත්වය ඇතිකිරීම වෙනුවෙන් කිසියම් දායකත්වයක් සම්පාදනය කල ද දැන් යුරෝපීය සංඟමය, ජාතික ගැටුම්වල හා කම්කරු පන්තියට එරෙහිව උත්සන්න කෙරෙන ප්‍රහාරයන්ගේ ගාමක බලවේගය ලෙස ක්‍රියා කරයි. අර්බුදය විසඳීමට හැකි එකම ප්‍රගතිශීලී පදනම, යුරෝපීය එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක් පිලිබඳ ක්‍රියාමාර්ගය උඩ කම්කරු පන්තිය එක්සත් කිරීම පමනක් බව ෂ්වාස් අවධාරනය කලේය.

බ්‍රිතාන්‍ය සසප සහකාර ලේකම් ජුලී හයිලන්ඩ් පැහැදිලි කලේ ප්‍රධානකොටම, යුරෝපීය සරනාගත අර්බුදය හා එය නිර්මානය කර තිබෙන විනාශකාරී වාතාවරනයයි. ඇමරිකානු හා යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන් විසින් මෙහෙයවනු ලබන සාපරාධී යුද්ධ හේතුකොටගෙන මානව ඉතිහාසයේ කවර කලෙකවත් දක්නට නොලැබුනු ආකාරයේ සරනාගතයින් ප්‍රමානයක් අද දිනයේ නිර්මානය කෙරී ඇති ආකාරය ඇය ගෙනහැර දැක්වුවාය.

බ්‍රිතාන්‍ය ශාඛාවේ ජාතික ලේකම් ක්‍රිස් මාස්ඩන් කථා කලේ, යුරෝපීය සංඟමය තුල බ්‍රිතාන්‍යයේ කොටස පිලිබඳව ය. ක්‍රියාශීලීව ඡන්දය වර්ජනය කිරීමේ සසප කැඳවුම ගැන ඔහු පැහැදිලි කලේය. “බරපතලම අන්තරාය වනු ඇත්තේ, යුරෝපීය සංඟමය කෙරෙහි පැතිර පවත්නා සතුරුකම, කිසිදු විරුද්ධත්වයකින් තොරව, ජාතිකවාදී දිසාවකට යොමුකිරීමට ව්‍යාජ වාම කන්ඩායම් දරන උත්සාහයට ඉඩ හැර දීමයි. බ්‍රික්සිට් උද්ඝෝෂනය සලකුනු කර ඇත්තේ, මේ සියලු කන්ඩායම්වල සාපරාධී දේශපාලන භූමිකාව හා කම්කරු පන්තිය කෙරෙහි ඔවුන් දක්වන සතුරුකමේ තරමයි. සසප උද්ඝෝෂනය ජාතිකවාදයට හා ස්වෝත්තමවාදයට එරෙහි සමාජවාදී ප්‍රතිපත්තියක් වැඩකරන ජනතාවට සම්පාදනය කරනු ඇති බව ක්‍රිස් පැවසීය.

ඇමරිකාවේ සසප ජනාධිපති අපේක්ෂක ජෙරී වයිට් ඊලඟට කතා කලේය. යුද්ධයට හා මර්දනයට එරෙහි සමාජවාදී ක්‍රියාමාර්ගයක් සම්පාදනය කිරීම සඳහා සසප ජනාධිපතිවරනයට ඉදිරිපත්ව සිටින බව ඔහු පැවසීය. යුද්ධය පිලිබඳ ප්‍රශ්නය මත කිසිදු සැලකිය යුතු සාකච්ඡාවක් හෝ විවාදයක් මුලුමනින්ම පාහේ මඟහැර තිබෙන නාමයෝජනා ක්‍රියාවලිය අවසානයේදී, ඩිමොක්‍රටික් හා රිපබ්ලිකානු පක්ෂ, හිලරි ක්ලින්ටන් හා ඩොනල්ඩ් ට්‍රම්ප් යන යුදවාදීන් දෙදෙනා ජනාධිපති අපේක්ෂකයින් ලෙස පත්කර ගැනීම අද්දරටම පැමින සිටිති.

ඇමරිකානු කම්කරු පන්තියේ වැඩෙන රැඩිකලීකරනය,“සමාජවාදී බර්නි සෑන්ඩර්ස්ට පලවන සහයෝගය තුලින් ආරම්භක රූපාකාරය ගෙන තිබෙන අතර, එය පන්ති අරගලයේ පුපුරන සුලු වර්ධනයකට තුඩු දෙනු ඇත.” වයිට් කියා සිටියේය. “මැයි දිනයේ ජීව ශක්තිය තුල සසප, මෙම මැතිවරන උද්ඝෝෂනය කම්කරු පන්තිය දේශපාලනිකව උගන්වා ගැනීමටත්, සියලු වර්ගයේ ජාතික ස්වෝත්තමවාදයට හා ස්වකීයවාදයට විරුද්ධවත්, යුද්ධයට, සමාජ අසමානතාවයට හා සූරාකෑමට විරුද්ධ බලගතු ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැඟීම පිනිස මෙහෙයවනු ඇතැයි” ඔහු වැඩිදුරටත් පැවසීය.

අන්තර්ජාල රැලිය නිමා කරමින් ඇමරිකාවේ සසප ජාතික ලේකම් ජෝ කිෂෝර්, සියලු කථිකයින්ට හා සහභාගී වූවන්ට ස්තුතිය පල කලේය. “අද දින පැවැත්වූ කථා වලින් අතිශය පුපුරන සුලු ලෝක තත්වය ගැන බලගතු චිත්‍රයක් සම්පාදනය කෙරින. ඒවායේ ඒකාබද්ධ බලපෑම පැහැදිලි කලේ, අප හමුවේ ඇති දැවැන්ත කර්තව්‍යයන්ය. අප ජීවත් වන්නේ අනවරත යුද්ධයේ අවධියකය.

“දැවැන්ත අන්තරායන් මෙන්ම යෝධ හැකියාවන් ද පවතියි. පැරනි පර්යාය කැබලි වෙමින් තිබේ. පැරනි දේශපාලන සංස්ථා, පුපුරන සුලු සමාජ ආතතීන් දරාගැනීමට නොහැකිව දෙදරමින් ඇත. අධිරාජ්‍යවාදී යුද්ධයට තුඩු දෙන එම ප්‍රතිවිරෝධතාවන්ම පන්ති ගැටුම උත්සන්න කරන අතර සමාජ විප්ලවය සඳහා වෛෂයික කොන්දේසි නිර්මානය කරයි. ” කිෂෝර් පැවසීය.

මානව වර්ගයා සඳහා සමාජවාදී අනාගතයක් වෙනුවෙන් සටන් වැදීමට ක්‍රියාකාරීව එක්වන ‍ලෙස ඔහු සියලු අසන්නන්ගෙන් ඉල්ලා සිටියේය. “ඔබගේ කම්හලේ හෝ වැඩපොලේ සසප ශාඛාවක් ගොඩනඟන්න. සසප හා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ක්‍රියාමාර්ගය අධ්‍යයනය කර සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය ගොඩනැඟීමට එක්වීමේ තීන්දුව ගන්න! ”

රැලියට පලවූ උද්‍යෝගිමත් ප්‍රතිචාරය, සහභාගී වූවන්ගේ ප්‍රකාශයන්ගෙන් පෙන්නුම් කරයි. එක් අසන්නෙක් මෙසේ ලියා ඇත. “මෙම මැයි දින සංසදය වෙනුවෙන් ස්තුතියි. බුෂ් ජ්‍යෙෂ්ඨයාගේ ආවෘත අන්තරය, හෙවත් පලමු අධිරාජ්‍යවාදී ගල්ෆ් යුද්ධයේ සාමාජිකයෙකු ලෙසයි මම කථාකරන්නේ. තෙල් සඳහා වන යුද්ධය මට පිලිකුල් සහගතයි. අද දවසේ බොහෝ කථිකයන්, පසුගිය ලෝක යුද්ධ දෙක පටන්ගත් එම ධනපති බලවතුන්ම තුන්වන ලෝක යුද්ධයට ද සුදානම් වන බව පැවසුවා. මම හිතන්නෙ, ඔවුන් දැනටමත් එය පටන්ගෙන තිබෙන බවයි! ”

තවත් අයෙක් ලියා ඇත්තේ, “ලෝකය පුරා පාලක පන්තීන් තව තවත් විනාශකාරී යුද්ධ සඳහා ඩොලර් බිලියන පිට බිලියන ගනන් වැය කරන අතර, අමු කප්පාදුව හා මර්දනය හැරෙන්නට තමන්ගේ ජනතාවන්ට අන් කිසිවක් පිලිගැන්වීමට අසමත්ව සිටීම ගැන අසන විට පුදුම සිතේ. සමාජ වැඩසටහන් හා සරනාගතයින් සඳහා වැය කිරීමට මුදල් නැතැයි පැවසීම අමු පචයකි. ”

රැලියට සවන් දීම පිනිස ඩිට්‍රොයිට්හි වේන් රාජ්‍ය විශ්වවිද්‍යාලයට රැස්ව සිටි අය අතර සිටි මිචිගන් ප්‍රාන්තයේ ජැක්සන් නගරවාසී ආබාධිත තරුන කම්කරු ස්ත්‍රියක් වන සරා සිය අත්දැකීම් මත මෙසේ පැවසුවාය. “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය මට මතක ඇති තාක් කල් පැවතිලා තිබෙනවා. මගේ දරුවන්ගේ මුලු ජීවිත කාලයම ගතවී ඇත්තේ මේ වාතාවරනය තුලයි. අපේ අරමුදල් වැරදි ආකාරයටයි යොදවන්නේ. යමෙක් මේවා යුක්තිසහගත කරන්නේ කෙසේ ද? මේවාට ගෙවන්නේ කව් ද? දුප්පතුන් තව තවත් දුප්පත් වෙද්දී ධනවතුන් තව තවත් ධනවත් වෙනවා. මම හිතන්නේ අප සියලු දෙනාටම එකතු වීමේ අවශ්‍යතාව තියෙනවා, මේ ඊට ආරම්භයයි.”

Share this article: