2016 මැයි දිනය: ආසියා-පැසිෆික් කලාපයේ යුද ධාවනයට එරෙහි වනු!

May Day 2016: Oppose the drive to war in the Asia-Pacific

ජේම්ස් කෝගන් විසිනි, 2016 මැයි 4

මෙහි පලවන්නේ ඕස්ටේ‍්‍රලියාවේ සසප ජාතික ලේකම් ජේම්ස් කෝගන් 2016 මැයි දිනය නිමිතිකොට දියත් කරන ලද ජාත්‍යන්තර අන්තර්ජාල මැයි රැලියට කල කථාවයි.

මෙම මැයි දිනයේ දී අප හමුවන අවස්ථාවේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආසියාවට “හැරීම” සහ චීනයට එරෙහි එහි ඉව බව නැති රාජ්‍යතාන්ත‍්‍රික හා මිලිටරි ගැටුම නිසා භූදේශපාලනික ආතතීන් දෙවන ලෝක යුද්ධයෙන් පසුව නොදුටු මට්ටම් කරා උත්සන්න වී ඇති තත්වයකය. කලාපයේ සෑම රටක් ම , යුද්ධය සුදානම් කිරීමේ කටයුතුවල යෙදී සිටියි.

ජේම්ස් කෝගන් ජාත්‍යන්තර අන්තර්ජාල මැයි රැලියට කල කථාව

දැනටමත් කොරියානු කම්කරුවන් සෑම දිනක ම ජීවත් වෙන්නේ විනාශකාරී ගැටුමක සෙවනැල්ල යටය. දකුනු කොරියාවේ පාලක පන්තිය උතුරු කොරියාවට එරෙහි “පූර්ව-භංග” ප‍්‍රහාර සහ “හිස ගසා දැමීමේ” එනම් චීනයේ සහ රුසියාවේ මූලෝපායාත්මක තත්වයට තවදුරටත් වල කැපීම පිනිස උතුරු කොරියාවේ දේශපාලන සහ මිලිටරි නායකත්වය ඝාතනය කිරීමේ එක්සත් ජනපද සැලසුම සමග පෙල ගැසෙමින් සිටියි.

චීනය මිලිටරිමය ආකාරයට ප‍්‍රතිචාර දැක්වීමට පොලොඹවමින් දකුනු චීන මුහුදේ චීනය හිමිකම් කියන දූපත් සහ ගල්පර අවට පිහිටි සැතපුම් 12 සීමාවල පසුගිය මාස අට තුල එක්සත් ජනපද නාවික හමුදාව විසින් දෙවරක් ම උල්ලංඝනය කර ඇත.

ධවල මන්දිරය මෙම මෙහෙයුම් යුක්තිසහගත කරන්නේ ඊනියා නාවික ගමනාගමනයේ නිදහස සහ ගෝලීය පද්ධතියේ නීත්‍යානුකූල භාවය ආරක්ෂා කිරීම නමැති මුසාවාද තුලින්ය. වෝල්වීදියේ බැංකු සහ සංගත වලට ප‍්‍රතිලාබ ගෙන දෙන නීති හැර වෙනත් කිසිම නීතියක් එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට දිරවන්නේ නැත. එහි ක‍්‍රියාවන්ට ඊනියා නිදහස සමග මොන ම සම්බන්ධයක්වත් ඇත්තේ නැත. එක්සත් ජනපදය හැම දෙයක් ම සිදු කරමින් සිටින්නේ ලෝක ආධිපත්‍යය සහ එහි ආර්ථික හා මූලෝපායාත්මක ඉල්ලීම් වලට බෙයිජින් තන්ත‍්‍රය අවනත කර ගැනීම සඳහාය.

සිය ගෝලීය ආධිපත්‍යයට චීනය සුවිශේෂ තර්ජනයක් ලෙස සලකන ඇමරිකානු පාලක ප‍්‍රභූව, අවශ්‍ය නම් යුද්ධය මගින් හෝ බෙයිජිනය මුලුමනින් ම යටත් කර ගැනීමට සුදානම් වෙයි.

දකුනු චීන මුහුද තුල සෑම සතියක ම බෙයිජිං තන්ත‍්‍රයට විරුද්ධව ප‍්‍රකෝපකරනයන් ට නියෝග දෙන ලෙස එක්සත් ජනපද සෙනට් සභා සාමාජිකයන් පසුගිය දිනවල ඔබාමා ආන්ඩුවෙන් ඉල්ලා සිටියේය.

කලාපය තුල ආතතීන් එලඹෙන මාසවල තවදුරටත් තීව‍්‍රවීමට නියමිතය, එක්සත් ජනපදයේ පිටුබලය ලබන පිලිපීනයට චීනයේ හිමිකම්වලට අභියෝග කිරීම වලකමින් පනවා තිබෙන නියෝගයක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනිවාර්ය බේරුම් කිරීමේ නිත්‍ය අධිකරනය විසින් ඉතා ඉක්මනින් ම ඉවත් කිරීමට නියමිතය. මෙය බෙයිජිනය තුල පුපුරන සුලු ප‍්‍රතිවිපාක සහිත ප‍්‍රතික‍්‍රියාවන් ඇවිලවීමට පවතින හැකියාව මූලෝපායාත්මක බුද්ධි මන්ඩල සහ මාධ්‍ය අටුවාකාරයන් විසින් විවෘතව පිලිගෙන තිබේ.

පිලීපීනයේ, වියට්නාමයේ, සිංගප්පුරුවේ, මැලේසියාවේ, ඉන්දුනීසියාවේ සහ තායිවානයේ පාලක පන්ති සියල්ල ම එක්සත් ජනපද අධිරාජ්‍යවාදය පිටුපස පෙල ගැසී සිටිති. පුපුරන කවර හෝ ගැටුමක් තුලට ඔවුන් ඇදී එනු ඇත.

චීනය සමග ගැටුමකට සූදානම් වීමේ දී එක්සත් ජනපදය, අන් සියල්ලටමත් වඩා රැඳී සිටින්නේ ජපානයේ සහ ඕස්ටේ‍්‍රලියාවේ එහි ප‍්‍රධාන අධිරාජ්‍යවාදී සහචරයින් මතය.

එක්සත් ජනපදයේ ඊනියා හැරීමේ නිර්දේශය යටතේ සෙන්කාකු හෙවත් දී ඕයු දූපත් සම්බන්ධව චීනය සමග ගැටුමක් ඇතිකර ගෙන තිබෙන අගමැති ෂින්සෝ අබේ ගේ ජාතිකවාදී ආන්ඩුවල යුද්ධයකට පැටලීම වලකන ව්‍යවස්ථාමය තහනම මග හැරීමට හැකිවන ආකාරයට ඊනියා සාමුහික ස්වයං ආරක්ෂාව නමැති නීතියක් බලගන්වා තිබේ. ජාපන දේශසීමාවට ඇතුලු වූ බවට චෝදනා කරමින් 2015 චීන ගුවන් යානා වලට එරෙහිව 571 වතාවක් සහ රුසියානු ගුවන් යානා වලට එරෙහිව 288 වතාවක් ජපාන මිලිටරිය ප‍්‍රහාරක ජෙට් යානා පනගන්වා ඇත. හැම පැත්තෙන් ම පවතින ඉව බව නැතිකම නිසා හදිසියේ ඇතිවන කිසියම් සිද්ධියකින් පූර්න යුද්ධයක් පුපුරා යාමේ අන්තරාය මතුව තිබේ.

එක්සත් ජනපදය සමග සිය සන්ධානය සම්බන්ධව කෙරෙන වාසිදායක ගනන් බැලීම් මගින් දකුනු ආසියානු, පැසිපික් කලාපය තුල තම අධිරාජ්‍යවාදී උත්සුකතාවයන් ආරක්ෂා කර ගැනීමේ හොඳම මාධ්‍යයන් තවමත් සම්පාදනය කෙරෙන බව ඔස්ටේ‍්‍රලියානු පාලක පන්තිය කල්පනා කරයි. ඇන්ටාර්ක්ටිකාවේ සහ ජාත්‍යන්තරව කෙරෙන මෙහෙයුම් වලදී එක්සත් ජනපද ප‍්‍රහාරක යානා සහ යුද නැව් සඳහා මෙහෙයුම් කඳවුරක් ලෙස දකුනු ඔස්ටේ‍්‍රලියාව විවෘත කර තිබෙන අතර එරට සන්නද්ධ බලකායන් එක්සත් ජනපද මිලිටරිය සමග මුලුමනින් ම ඒකාබද්ධ කර ඇත.

කුඩා අධිරාජ්‍යවාදී බලවතෙක් වන නවසීලන්තය 1980 ගනන් වල පවත්වාගෙන ගිය එහි හුදකලාවාදී ආස්ථානය පසෙකට දමා වොෂින්ටනය සහ කැන්බරාව සමග සන්ධාන ගතවී සිටියි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ එහි ශාඛා චීනයට එරෙහි අධිරාජ්‍යවාදී යුද ධාවනයට විරුද්ධව කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට සටන් කරන නමුත් චීන කොමියුනිස්ට් පක්ෂ තන්ත‍්‍රයට කිසිදු සහයෝගයක් දෙන්නේ නැත. එක්සත් ජනපදය නායකත්වය දෙන මිලිටරිවාදයට චීන තන්ත‍්‍රය දක්වන ප‍්‍රතිචාරය ප‍්‍රතිගාමීය. එයින් සිදුවෙන්නේ ගැටුමක අන්තරාය වැඩි වීම පමනි. බෙයිජිනය චීන කම්කරු පන්තියේ හා පීඩිත ජනතාවගේ උත්සුකයන් නියෝජනය නොකරන අතර 1970 ගනන් වල සිට චීනය තුල මා ඕසේතුං සහ ඔහුගේ දේශපාලන උරුමක්කාරයන් විසින් ධනවාදය පුනස්ථාපනය කිරීම තුලින් නැගී ආ දුෂිත ව්‍යාපාරික කතිපයාධිකාරය ඔවුහු නියෝජනය කරති.

ඔවුන් නැගී සිටින්නේ සමාජ අසමානතාවය සහ සූරාකෑම මතය. තමන්ගේ ම මිලිටරිවාදී කි‍්‍රයාවන් සහ ජපාන සහ ඇමරිකනු විරෝධී ජාතිකවාදී ස්වෝත්තමවාදය ප‍්‍රවර්ධනය කිරීම මගින් චීන ධනවාදී ප‍්‍රභූව ආරක්ෂා කිරීමට චීන ආන්ඩුව කටයුතු කරයි.

නව අන්තර් මහාද්වීප බැලිස්ටික් මිසයිලයක් (එෆ්ඩී-41) අත්හදා බැලූ බව චීන මිලිටරිය පසුගිය මාසයේ තහවුරු කලහ. මෙම රොකට්ටුවට න්‍යෂ්ටික මිසයිල් 6 ත් 10 අතර ප‍්‍රමානයක් ගෙන යා හැකිය. කිලෝමීටර් 12,000 පමන දුරකට ඒවා විදිය හැකිය. එහි තේරුම මහාද්වීපික එක්සත් ජනපදයේ ඕනෑම ස්ථානයකට එයට ලඟාවිය හැකි බවයි.

චීනය, රුසියාව හෝ ජීවමාන සමාජයක් ලෙස කවර හෝ සෙසු සතුරෙක් විනාශ කිරීමට සහ දසලක්ෂ සංඛ්‍යාත ජනතාව ඝාතනය කිරීම එක්සත් ජනපද න්‍යෂ්ටික අවි වල අරමුන වනවාක් මෙන්ම එබඳු ආයුධයක එකම අරමුන වෙන්නේ යුද්ධයක දී දසලක්ෂ සංඛ්‍යාත ඇමරිකානු සිවිල් ජනයා මත න්‍යෂ්ටික ජනඝාතනයක් සිදු කිරීමයි.

ධනවාදයේ ආරක්ෂකයන් වන සාමවාදීන් සහ ව්‍යාජ වම්මුන් දෙන නිදි බෙහෙත්, එනම්, එබඳු ආයුධවල තර්ජනය නිසා ඇමරිකානු අධිරාජ්‍යවාදය මෙන්ම චීන සහ රුසියානු ධනේශ්වරයන් ද ගැටුමක් අද්දරදී පසුබානු ඇතැයි යන තර්කයන්ගේ කිසිදු හරයක් ඇත්තේ නැත.

සියලුම රටවල පාලක පන්තීන් නිරායුද කල යුතු යි. එය කල හැකි එකම සමාජ බලවේගය වන්නේ ලෝක සමාජවාදී ඉදිරිදර්ශනය මත පාදක වූ ජාත්‍යන්තර කම්කරු පන්තිය යි.

ඊනියා ජාතික උත්සුකතාවයන් සහ ජාතික ස්වාධිපථ්‍යය ගැන කරන වාචාල කථා මගින් සෑම රටකම ධනේශ්වර දේශපාලඥයන් සහ මාධ්‍යවේදීන් විසින් මිලිටරිවාදය යුක්තිසහගත කරයි. කෙසේ නමුත් ප‍්‍රකෝටි සංඛ්‍යාත කම්කරුවන්ට සහ තරුනයින් ට අවශ්‍ය වන්නේ සාමය සහ ඊලඟ පරම්පරාව සඳහා අනාගතයක් පමනකි. ධනපති පන්තිය කම්කරු පන්තියේ මෙම උත්සුකතාවයන් ට ගැඹුරින් ම හතුරු ය. තුන්වන ලෝක යුද්ධයක් වැලැක්වීම සඳහා ධනවාදය සහ ජාතික රාජ්‍ය පද්ධතිය අහෝසි කර සමාජවාදී පදනමක ලෝක ආර්ථිකය ප‍්‍රතිසංවිධානය කල යුතු යි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් විස්තාරනය කරනු ලැබ ඇතිි සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී මූලධර්ම මත ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩ නැගීමේ ඓතිහාසික අරගලය සමග එකඟ වන චීනය සහ ජපානය, කොරියාව, ගිනිකොන දිග ආසියාව සහ පැසිපික් දූපත් රාජ්‍යයන් ඇතුලු ආසියානු පැසිපික් කලාපයේ කම්කරුවන් තරුනයින් හා දේශපාලන කන්ඩායම් සමග එක්ව වැඩ කිරීමට ඕස්ටේ‍්‍රලියාවේ සමාජවාදී සමානතා පක්ෂය සහ නවසීලන්තයේ සමාජවාදී සමානතා කන්ඩායම සූදානම්ව සිටියි.

Share this article: