2016 මැයි දිනය: යුරෝපීය සංගමයේ අර්බුදය හා යුද්ධය කරා ධාවනය

May Day 2016: The crisis of the European Union and the drive towards war

පීටර් ෂ්වාස් විසිනි , 2016 මැයි 06

2016 මැයි 1 දා පැවැති ජාත්‍යන්තර අන්තර්ජාල මැයි දින රැලියට මෙම කතාව සිදු කරන ලද්දේ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලේකම් පීටර් ෂ්වාට්ස් විසිනි.

යුරෝපීය සංගමය ගැඹුරු අර්බුදයක ගිලී ඇති අතර වේගවත් බිඳ වැටීමකට මුහුනපා සිටියි.

යුරෝපය සුන් බුන් බවට පත් කල දෙවන ලෝක යුද්ධයෙන් පසුව යුරෝපීය සංගමයේ පූර්වගාමීහු, යුරෝපීය මහ බලවතුන් අතර ගැටුම් වලකාලීමට පියවර ගනිමින් කිසියම් ආකාරයක දේශපාලන ස්ථාවරත්වයක් සම්පාදනය කලහ. දැන් ඒ ආයතන ම ජාතික ගැටුම් පතුරුවා හරින හා කටුක පන්ති සටන් මතුකරන බලවේගයන් බවට පත්ව ඇත.

1926දී ට්‍රොට්ස්කි පැහැදිලි කලේ, යුරෝපයේ එක්සත්කම “ප්‍රතිවිරෝධයන්ගෙන් දැඩි ලෙස මල බැඳුනු යුරෝපීය ධනපතියන්ගේ ශක්ති සීමාවෙන් ඔබ්බෙහි පවතින“ බවත් “යුරෝපය එක්සත් කල හැක්කේ ජයග්‍රාහී යුරෝපීය කම්කරු පන්තියට පමනක්“ බවත් ය. එය, යලි වතාවක් අද දිනයේ සනාථ කෙරෙමින් ඇත.

ජාත්‍යන්තර මැයි දින රැලියට පීටර් ෂ්වාර්ස් සිදු කල කතාව

1992දී ස්ථාපනය කිරීමෙන් පසුව යුරෝපීය සංගමය, කම්කරු පන්තියේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එක දිගට එල්ල කෙරෙන ප්‍රහාරයක් අධීක්ෂනය කරමින් සිටියේ ය.

එය නැගෙනහිර යුරෝපය කරා ප්‍රසාරනය වූ අතර ප්‍රමුඛ යුරෝපීය බැංකු හා සංගත, ධනේශ්වර පුනස්ථාපනයෙන් ඉමහත් වාසි සලසාගත්තේ ය. ලාභ ශ්‍රම බලකාය සූරා කමින් අතීතයේ සමාජ ජයග්‍රහන ලෙස ඉතිරිව තිබුනේ යමක් ද එය සුන් කර දැමීය.

2008 ගෝලීය මූල්‍ය අර්බුදයෙන් පසුවයුරෝපීය සංගමය, කම්කරු පන්තියට එල්ල කරන ප්‍රහාර උත්සන්න කල අතර එය යුරෝපීය පරිමාවක් කරා ඉහල නැංවීය. මෙය කුලුගැන්වුනේ, සමස්ත රටම විනාශ කරමින්, ග්‍රීසිය තුල ක්‍රියාත්මක කිරීමට අනකරන ලද ම්ලේච්ඡ කප්පාදු පියවරයන්ගෙන් ය.

මේවායේ ප්‍රතිපල වශයෙන් මිලියන 23ක් යුරෝපීය කම්කරුවන්ට රැකියා අහිමිවූ අතර තවත් මිලියන ගනනක්, අඩු වැටුප්, අනියම් රැකියා කරන තැනට වැටී සිටියි. පෘතුගාලය, ස්පාඤ්ඤය, ඉතාලිය හා ග්‍රීසිය වැනි බෙහෝ රටවල තරුන විරැකියාව සියයට 50 ඉක්මවයි. විරැකියාවෙන් පෙලෙන, තරුන හා අඩු වැටුප් ලබන කම්කරුවන් හා විශ්‍රාමිකයින් අතර දුප්පත්කම වේගයෙන් වැඩෙමින් තිබේ.

කම්කරු පන්තියට එල්ල කරන ප්‍රහාරයේ වඩාත්ම කැත රූපාකාරය, මැද පෙරදිග හා අප්‍රිකාවේ ඇමරිකානු හා යුරෝපීය අධිරාජ්‍යවාදය විසින් උසිගන්වන ලද යුද්ධ වලින් බේරීම සඳහා පලා යන සරනාගතයින්ට සලකන ආකාරය තුල දැකගැනීමට හැකි ය. දහස් ගනන් මධ්‍යධරනී මුහුදේ හා ඒජියන් මුහුදේ ගිලී මියයෑමට අතහැර දමා ඇත. මෙය සිතාමතාම සිදුකරන්නකි. යුරෝපීය දේශසීමා මුද්‍රා තබා ඇති අතර සරන පතන්නෝ රැඳවුම් කඳවුරු තුලට ගාල් කර පිටුවහල් කෙරේ.

සමාජයේ අනෙක් කොනෙහි ජනගහනයේ තුනී ස්ථරයක් තිරස්චීන ලෙසින් ධනය ගොඩගසා ගනිති. වොක්ස්වැගන් සමාගම මේ සමාජ ක්‍රියාවලිය පිලිබඳව සංකේතවත් කරයි. අනුවිශ්වයක් ලෙසින් එය සමස්ත සමාජයේම සිදුවන දේ පෙන්නුම් කරයි.

විමෝචන වටිනාකම් සාපරාධී ලෙස ගසාකෑමේ ප්‍රතිපලයක් ලෙස දහස් ගනන් උප කොන්ත්‍රාත් කම්කරුවන් දැනටමත් රැකියාවලින් නෙරපා ඇති අතර තවත් දහස් ගනනකට රැකියා අහිමි වීමේ තර්ජනය මතුව තිබේ. කෙසේ වෙතත් ගසාකෑමට සම්බන්ධ හා ඊට වගකිවයුතු අධ්‍යක්ෂවරු, ප්‍රතිලාභ නෙලා ගනිති. ඉහලම ප්‍රතිලාභීන් නව දෙනා සිය ආදායම 2014දී යුරෝ මිලියන 54 සිට 2015දී මිලියන 63 දක්වා වැඩිකරගෙන තිබේ. ඒ, විශ්‍රාමික ගතමනා වන යුරෝ මිලියන 131 ඇතුලත් කර නැතිව ය.

යුරෝපය පුරා සමාජ තත්වය අංගලක්ෂිතව ඇත්තේ වැඩෙන අසමානතාව, උග්‍ර සමාජ ආතතීන් හා කටුක පන්ති සටන් මතුව ඒම ලෙස ය.

පාලක පැලැන්තිය යුරෝපීය ධනවාදයේ ගැඹුරු ආර්ථික හා සමාජ අර්බුදයට ප්‍රතික්‍රියා කරන්නේ, 1930 ගනන් වල ඔවුන් කල ආකාරයටම ය. ඔවුහු මිලිටරිවාදය හා යුද්ධය වෙත වාරු වන අතර රාජ්‍යය සතු මර්දනකාරී බලය වැඩි කරති. විදේශිකයින් නුරුස්නාකම හා සංක්‍රමන විරෝධී වර්ගවාදය උසිගන්වමින් අන්ත දක්ෂිනාංශික හා ෆැසිස්ට් වර්ගයේ පක්ෂ දිරිමත් කරති.

මිලිටරිවාදය කරා යලි හැරී ගැනීම යුරෝපයේ ප්‍රධාන අංගලක්ෂනය යි. 2003දී ජර්මනිය හා ප්‍රන්සය වැනි යුරෝපීය බලවතුන් තවමත් ඇමරිකාවේ ඉරාක යුද්ධයට පූර්න සහාය දැක්වීමට අදි මදි කල ද දැන් ඔවුහු මැද පෙරදිග හා අප්‍රිකාවේ අධිරාජ්‍යවාදී යුද්ධවල ‍පෙරමුනට ම පැනගෙන සිටිති.

යුරෝපය න්‍යෂ්ඨික යුද පිටියක් බවට පත්වීමේ අවදානම මතු කරමින් රුසියාව සමග මිලිටරි ගැටුම පැතිරවීමේදී ජර්මනිය, ප්‍රමුඛ ක්‍රියාකලාපයක් ඉටු කරයි. ජර්මානු හමුදා බෝල්ටික් හා නැගෙනහිර යුරෝපයේ අනෙකුත් කලාපයන්හි ස්ථිරව රඳවනු ලබනු ඇත. ජර්මානු අධිරාජ්‍යවාදීන් දැනට වසර අසූවකට පමන පෙර දරුනු ම අපරාධ සිදු කලේ එම ප්‍රදේශයන්හි ය.

යුද්ධයේ අන්තරාය යුරෝපයෙන් පිට සිටින ප්‍රතිවාදීන් සමඟ ගැටුම් වලට පමනක් සීමාවන්නේ නැත. වැඩෙන ආර්ථික හා මූල්‍ය ගැටුම්, දේශසීමා අර්බුද යලි මතුව ඒම හා වැඩෙන ජාතික ආතතීන්, ප්‍රධාන යුරෝපීය බලවතුන් අතරම තවත් යුද්ධයක කලු වලා මතුව ඒමට තුඩු දී තිබේ.

ප්‍රන්සයේ ෆ්‍රන්ට් නැෂනල්, ජර්මනියේ ඕල්ටර්නේටිව් ෆයුර් ඩොයිචර්ලෑන්ඩ්, එක්සත් රාජධානියේ ඉන්ඩිපෙන්ඩන්ට් පක්ෂය, පෝලන්තයේ ලෝ ඇන්ඩ් ජස්ටිස් පක්ෂය හා ඔස්ට්‍රියාවේ ෆ්‍රීඩම් පක්ෂය වැනි අන්ත දක්ෂිනාංශික හා ෆැසිස්ට් වර්ගයේ සංවිධාන නැඟී ඒම, අනතුරු ඇඟවීමකි. 20 වන සියවසේ මුල් භාගයෙහි යුරෝපය දෙවරක් යුද පිටි බවට පත් කල ඒ සියලු අන්තරායන් ආපසු පැමිනෙමින් තිබේ.

මේ අන්ත දක්ෂිනාංශික පක්ෂ වලට ඉහලින් අනුග්‍රහය ලැබේ. ඔවුන්ගේ විදේශික නුරුස්නාවේ හා ජාතිකවාදයේ පිලිවෙත් ක්‍රියාවට නඟමින් පාලක පැලැන්ති ඔවුන් සඳහා ඉඩ කඩ විවෘත කරති.

ග්‍රීසියේ සිරිසාව හා ජර්මනියේ ඩයි ලින්කි වැනි ව්‍යාජ වාම වර්ගයන්ද සහිතව සංස්ථාපිතයේ සියලු පක්ෂ, එකට එක්ව කම්කරු පන්තියට එරෙහි ප්‍රහාරයන්ට සහාය දෙති. අන්ත දක්ෂිනාංශික වාචාලයන්ට මධ්‍යම පන්තියේ මෙන්ම කම්කරු පන්තියේ කොටස් වල ද මංමුලාව හා බලාපොරාත්තු සුං වීම ගසාකෑමට හැකිව තිබේ.

ව්‍යාජ වම සම්බන්ධයෙන් විශේයෙන්ම සැබෑවක් වන, සංස්ථාපිතයේ සියලු පක්ෂ, අන්ත දක්ෂිනාංශයට වඩා වැඩියෙන් බියට පත් වන්නේ, කම්කරු පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරයකට ය. ජර්මානු ධනේශ්වරය 1933දී කලාක් මෙන් ඔවුන්, සමාජ විප්ලවයේ අවධානම ගන්නවාට වඩා, ෆැසිස්ට් ආඥාදායකයෙකුට බලය පවරනු ඇත.

යුරෝපයේ ඉරනම මෙම පක්ෂ අත රැඳවුවහොත් හා කම්කරු පනන්තිය තමාගේම ස්වාධීන දේශපාලන මැදිහත්වීම සිදු නොකලහොත් ජාතිකවාදය, වර්ගවාදය හා යුද්ධය නොවැලැක්විය හැකි ය.

යුද්ධය, මර්දනය හා විදේශික නුරුස්නාව කෙරෙහි දැඩි මහජන කෝපයක් හා විරුද්ධත්වයක් පවතියි. සරනාගතයින් කෙරෙහි පලවූ අනුකම්පාවේ හා සහයෝගයේ රැල්ල, ග්‍රීසියේ හා ස්පාඤ්ඤයේ හා මෑතකදී ප්‍රන්සයේ, කප්පාදුවට එරෙහි මහජන ප්‍රතිරෝධය වැනි විවිධ මාවත් ඔස්සේ ඒවා ප්‍රකාශයට පත් වේ. එහෙත් මේ විරුද්ධත්වයට හඬක් හෝ ඉදිරිදර්ශනයක් ඇත්තේ නැත. එය නැවත නැවතත් දක්කනු ලබන්නේ දේශපාලන ආවෘත අන්තරයක් කරා ය.

2002 තරම් ඈතදී, සමාජවාදී හා කොමියුනිස්ට් පක්ෂවල දක්ෂිනාංශික ප්‍රතිපත්තීන්ට එරෙහිව ප්‍රන්ස ජනාධිපතිවරනයේදී මිලියන තුනක් මිනිස්සු, ව්‍යාජ ලෙස තමන් ට්‍රොට්ස්කිවාදීන් යයි කියාගත් අපේක්ෂකයින්ට සහාය දැක්වූහ. එහෙත් මේ ව්‍යාජ වාම කන්ඩායම් කලේ කුමක් ද? මැතිවරනයේ දෙවන වටයේදී ඔවුහු ඩිගෝල්වාදී අපේක්ෂකයාට ඡන්දය දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියහ. දිගු කාලයේදී සමාජවාදී පක්ෂය යලි බලයට ගෙන ඒමට ඔවුහු උදව් කලහ. ප්‍රතිපලය වූයේ, ජාතික පෙරමුන ශක්තිමත් වීම යි.

ග්‍රීසියේදී රැඩිකල් වමේ සන්ධානය (සිරිසා) පසුගිය වසරේ බලයට පත් වුනේ කප්පාදුවට එරෙහි විරෝධතා රැල්ලක් සමගිනි. මැතිවරනයේදී පොරොන්දුවූ සියල්ල ප්‍රතික්ෂේප කර, කලින් පැවති සමාජ ප්‍රජාතන්ත්‍රවාදී හා කොන්සවේටිව් ආන්ඩුවලටත් වඩා බොහෝ දුර යන සමාජ ප්‍රහාර ක්‍රියාත්මක කිරීමට, ඇලෙක්සිස් සිප්රාස්ගේ ආන්ඩුවට ගත වූයේ සති කීපයකි.

මෙම මැයිදින රැලියේ කර්තව්‍යය වන්නේ, යුද්ධයට, ආඥාදායකත්වයට හා කම්කරු පන්තියට එල්ල කරන සමාජ ප්‍රහාරයන්ට එරෙහි විපක්ෂයට, හඬක් හා ඉදිරිදර්ශනයක් සම්පාදනය කිරීම යි.

යුද්ධයට එරෙහි අරගලය හා ධනවාදයට එරෙහි අරගලය එකිනෙකින් වෙන්කල නොහේ. අප සටන් වදින්නේ ධනවාදයට එරෙහි පොදු අරගලය තුල කම්කරු පන්තියේ සියලු කොටස් එක්සත් කිරීමට ය. යුරෝපීය සංගමය කැඩී බිඳී යාමට අපගේ පිලිතුර, යුරෝපීය එක්සත් සමාජවාදී සමූහාන්ඩුවකි.

අප වෙර දරන්නේ, කම්කරු පන්තියේ නව විප්ලවවාදී නායකත්වය ලෙස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා යුරෝපය පුරා ගොඩනැගීමට යි. මේ අරගලයට එක් වන ලෙස ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.

Share this article: