පිලිපීනය තුල දුතර්තේ ගේ නැගීම: ජාත්‍යන්තර කම්කරු පන්තියට අනතුරු ඇඟවීමක්

The rise of Duterte in the Philippines: A warning to the international working class

2016 මැයි 11

රොද්‍රිගෝ දුතර්තේ සියයට 39 ප‍්‍රතිශතයක් ලබා ගනිමින් හා ඔහුගේ ආසන්නතම තරඟකරුවා චන්ද හය ලක්ෂයකට වැඩි සංඛ්‍යාවකින් පරාජයට පත්කරමින් පිලීපිනයේ ජනාධිපතිවරයා ලෙස මැයි 10 වෙනිදා තේරීපත්විය. ඔහු තේරීපත්වූයේ දක්ෂිනාංශික ජනතාවාදී උද්ඝෝෂනයකින් රැලිකරගත් විශේෂයෙන් ම මධ්‍යම පන්තිය හා ඉහල මධ්‍යම පන්තිය තුලින් ලැබුන සහයෝගයක පදනම මත ය.

දකුනු පිලිපීනයේ දාවෝ නගරයේ ඝාතක කල්ලියේ දිගුකාලීන නායකයා වූ දුතර්තේ, ෆැසිස්ට් දේශපාලනඥයෙකි. ඔහුගේ මැතිවරන උද්ඝෝෂනයේ හරි මැද පැවතුනේ අපරාධකරුවන් ලෙස සලකන්නවුන් ඝාතනය කිරීම සඳහා තමන්ට පොලීසිය සහ මිලිටරිය සිටින බවට යලි යලිත් පොරොන්දුවීම ය. අපනයන කලාපවල වෘත්තීය සමිති හැදීමට උත්සාහ කලොත් කම්කරුවන් මරන බව ට ද ඔහු තර්ජනය කලේ ය.

දුතර්තේ ගේ තේරීපත්වීම එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් මෙහෙයවන ලෝක යුද්ධය සඳහා ධාවනය සමග බැඳුන නිෂ්පාදනයක් සහ ජාත්‍යන්තරව ම ධනපති පාලක පන්තීන් ඒකාධිපති ස්වරූපයේ පාලනයන් දෙසට තල්ලුවීමේ ප‍්‍රකාශනයකි. එය, ප‍්‍රන්සයේ ජාතික පෙරමුනේ සිට ජර්මනියේ ඒඑෆ්ඩී සහ එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට‍්‍රම්ප් ගේ ජනාධිපති අපේක්ෂකත්වය දක්වා ලෝක පරිමානව සිදුවන අන්ත-දක්ෂිනාංශයේ නැගීමට සමාන වේ.

වර්ධනය වන සමාජ අසමානතාවයට සහ පන්ති ආතතියට ප‍්‍රතිචාර වසයෙන් වඩා ප‍්‍රචන්ඩ සහ ඒකාධිපති පාලන ක‍්‍රමයන් යොදා ගැනීමට පිලිපීන පාලක පන්තිය සුදානම් වෙමින් සිටී. පිලිපීන ජනගහනයෙන් සියයට 25 දරිද්‍රතා රේඛාවෙන් පහල ජීවත් වෙති. ඔවුන්ගේ වාර්ෂික ආදායම ඩොලර් 225 කි. නිල විරක්ෂා රේට්ටුව සියයට 6 වන නමුදු “වැටුප් මත රැකියා” වල නිරත ලැයිස්තුගත සංඛ්‍යාව සියයට 58 ක් පමනි. ඉතිරි කොටස කිසියම් ආකාරයක ස්වයං-රැකියා වල යෙදී සිටි. මෙම ප‍්‍රවර්ගය අලෙවි කිරීම සඳහා ඉවත ලන සුන්බුන් එකතු කිරීමේ සිට වෙලඳපොලේ මුට්ට කර ගැසීම දක්වා හැම දෙයක් ම කරති.

අධිරාජ්‍යවාදී යුද ධාවනය විසින් මෙම සමාජ වෙඩි බෙහෙත් පීප්පයේ සේවානුල ට ගිනි ගැනීමේ කාලය කෙටි කර ඇත. ගෝලීය ධනවාදයේ නො විසඳියහැකි අර්බුදය තුල, අධිරාජ්‍යවාදී බලයන්, අන් සියල්ලට ම ත් වඩා එක්සත් ජනපදය, ඔවුන්ගේ බිඳවැටෙන ආර්ථික තත්වයට මුක්කු ගැසීම සඳහා මිලිටරිමය ලෙස පෙරට යමින් සිටිති. එහි ආර්ථික උත්සුකතාවයන් ට රුසියාව සහ චීනය යටත් කරගැනීමේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ධාවනය ලෝකය ගෝලීය යුද්ධයක මුවවිටට ගෙනැවිත් තිබේ.

මැනිලා, බලයෙන් ඉවත් ව යන අකිනෝ පාලනය යටතේ චීනයට එරෙහි එක්සත් ජනපද යුද ධාවනයේ දී ප‍්‍රධාන භූමිකාවක් ඉටු කලේ ය. යුද්ධයේ තර්ජනය රට තුල පැහැදිලිව දකින්නට තිබේ. චීනය පිලිපීනය ආක‍්‍රමනය කරන බවට ප‍්‍රවෘත්ති පත‍්‍ර වල නිතිපතා සිරස්තල පලවෙයි. මෑත දී අත්සන් කරන ලද වර්ධිත ආරක්ෂක සහයෝගිතා ගිවිසුම යටතේ එක්සත් ජනපදය පිලිපීනය තුල හමුදා කඳවුරු පවත්වාගෙන යනු ඇත. ඒවායේ බදු කාලය 1991 අවසන් වනතුරු සුබික් බොක්කේ සහ ක්ලාර්ක් හි පැවති ඔවුන්ගේ කඳවුරු අතිදැවන්ත සමාජ වෛරයක මූලය වුයේ ය. කඳවුරු අවට ගනිකා වෘත්තීය පෝෂනය වූ අතර ඇමරිකානු සොල්දාදුවන් අපරාධ වලට සම්බන්ධ වූ විට රටේ නීතියට යටත් නොකෙරුන නිදහසක් ඔවුන්ට තිබුනි.

“දුතර්තේ සමග ව්‍යාපාර යථාතත්වයට පත්වෙයි” යන්න ප‍්‍රධාන ව්‍යාපාරික දිනපතා පුවත්පතක් වන බිස්නස් වර්ල්ඩ් හි මැතිවරනය ට පසුදින ප‍්‍රධාන ශීර්ෂ පාඨය විය. ලිපිය “වර්තමානයේ ශක්තිමත් ශුද්‍රආර්ථික පදනමක් පවතින නිසා නීතිය සහ සාමයට මුලිකත්වය දිය යුතු බව ව්‍යාපාරිකයන් අතර පවන්තින මනෝගතිය” යයි ප‍්‍රකාශ කල සුලු ව්‍යාපාරිකයන්ගේ ආර්ථික උපදේශකයෙකු උපුටා දැක්වී ය. එමෙන් ම, දුතර්තේ ගේ තේරීපත්වීම “සාමය සහ ස්ථාවරත්වය සඳහා වැඩි අවධානයක් දිය යුතු බවට නාකත්වයට දුන් පැහැදිලි සංඥාවක්” යයි කැනේඩියානු වෙලඳ සංගමයේ සභාපති ප‍්‍රකාශ කලේ ය.

“සාමය සහ ස්ථාවරත්ව” ප‍්‍රචන්ඩත්වය සහ මර්දනය සඳහා සංඥා වචනයෝ ය. සියලුම බාල වයස්කරුවන ට රාත‍්‍රී දහයට ඇඳිරි නීතියක් පනවමින් දුතර්තේ ඔහුගේ ජනාධිපතිත්වයේ වැඩ පටන් ගන්න බව දුතර්තේ ගේ ප‍්‍රකාශකය ඔහුගේ ප‍්‍රථම ප‍්‍රවෘත්ති සාකච්ඡාවේ දී පැවසුවේ ය. මිලිටරිය සහ පොලීසිය ඔහුගේ නියෝග ක‍්‍රියාවට දමන හෙයින් ඔවුන් ව ප‍්‍රශ්න කිරීමට හෝ “අවමානයට” පත් කිරීමට දුතර්තේ ඉඩ නො දෙන බව ප‍්‍රකාශකයා කීවේ ය.

ඔහුගේ මැතිවරන උද්ඝෝෂනය තුල දී මැකාති ව්‍යාපාරික සංසදයට කල කතාවක දී “අපරාධ කරුවන් ඝාතන කිරීමේ” උද්ඝෝෂනයක් සිය ජනාධිපති පදවියේ මුල් සය මස තුල දියත් කරන බව දුතර්තේ කීවේ ය. මැනිලා වීදි “ලේ වැකි, බෙහෙවින් ම ලේවැකි” වනු ඇතැයි ඔහු පැවසූවේ ය. දුතර්තේ තේරීපත් වූ දිනට පසු දින ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත් වූ පිලීපීන ජාතික පොලීසියේ ප‍්‍රධානියා බලයට පත්වන ජනාධිපතිගේ සය මස් කර්තව්‍ය ඉටු කිරීමට ඔවුන්ගේ සුදානම්වීම් සඳහා පොලීසිය කඩිමුඩියේ ලකලෑස්ති වන බව නිවේදනය කලේ ය.

පිලිපීන මාවෝවාදී කොමියුනිස්ට් පක්ෂය (සීපීපී) විසින් ඔහුට දුන් සහයෝගය දුතර්තේ ගේ දේශපාලන නැගීම තුල කේන්ද්‍රීය සාධකය විය. කම්කරු පන්තිය ත‍්‍රස්ත කිරීම සඳහා ඔහු ප‍්‍රසිද්ධියේ ඝාතක කල්ලි මෙහෙය වූ ඩාවෝ නගරාධිපති ලෙස ඔහුගේ දසක ගනනාව පුරා සීපීපී සහ එහි පෙරමුනු සංවිධාන උද්යෝගයෙන් ඔහුට සහයෝගය දුන්හ.

මොස්කව් සහ බෙයිජින් නිලධාරයේ භූ-දේශපාලනික උත්සුකතාවයන් ආරක්ෂා කිරීමට උත්සාහ කල ස්ටැලින්වාදී ක‍්‍රියාමාර්ගය මත පිහිටුවන ලද සීපීපී ය එහි ආරම්භයේ සිට ම කම්කරු පන්තියට සතුරු විය.

සෝවියට් සමාජවාදී සමුහාන්ඩු සංගමය විසුරුවා හැරීමෙන් හා චීනය තුල ධනවාදය පුනස්ථාපනය කිරීමෙන් පසුව, විශේෂයෙන් ම, 2008 ධනවාදී අර්බුදය පුපුරා ගිය තැන් පටන් සහ ලෝක යුද්ධයක තර්ජනය ඉහල යන විට ආන්තික ජාතිකවාදයේ හා ඇමරිකානු අධිරාජ්‍යවාදයට සහයෝගය දීමේ පදනම මත සීපීපී ය තියුනු ලෙස දකුනට මාරු වී ඇත.

පිලිපීනය තුල චීන විරෝධී ජන සංහාර සඳහා කැඳවුම් කරන රැලිවලට නායකත්වය දෙමින් චීනයට විරුද්ධ වොෂින්ටනයේ යුද ධාවනය ට සහයෝගය ගොනු කිරීමට සීපීපී ය සහ එහි පෙරමුනු සංවිධාන ජාතික ස්වෝත්තමවාදය යොදාගෙන ඇත.

ඔහුගේ ෆැසිස්ට්වාදී වාචාල කතා අගය කරමින් සීපීපී නායක ජොසේ මා සිසෝන් දුතර්තේ ට ප‍්‍රසිද්ධියේ සහයෝගය දී ඇත. මැයි 10 වෙනිදා පලකල ලිපියක් තුල “සාපරාධිත්වය අතු ගා දැමීම” කෙරෙහි ඔහුගේ කැපවීම ගැන දුතර්තේ ට ප‍්‍රසංශා කලේ ය. ඔහු මෙසේ ලියුවේ ය. “පිලිපීන කොමියුනිස්ට් පක්ෂය විසින් නායකත්වය දෙන ජනතාවගේ විප්ලවවාදී ව්‍යාපාරය දුෂනය සහ සාපරාධිත්වයට එරෙහිව සටන් කිරීමේ දුතර්තේ ගේ අධිෂ්ඨානයට සහයෝගය දෙයි”. දුතර්තේ ගේ පාලනය තුල පදවි සඳහා ගිවිස ගැනීමට සිසෝන් සහ සීපීපී ය බලා සිටිති. සීපීපී ය සහ මිලිටරිය සමග සභාග ආන්ඩුවක් පිහිටුවන බවට වසරකට පෙර දුතර්තේ පොරොන්දු විය.

දුතර්තේ ගේ ඒකාධිපති අභිලාෂයන් ගැන වොෂින්ටනයේ විරුද්ධත්වයක් නැත. එය, කෙසේ නමුත්, දකුනු චීන මුහුදේ ගැටුමේ දී දුතර්තේ අස්ථාවර සහ විස්වසනීය නොවීමට පවතින ඉඩ ගැන සැලකිලිමත් වේ. ඔහු සමහර අවස්ථාවල දරුනු ලෙස චීනය හෙලා දුටුවේ ය. තවත් අවස්ථාවල ගැටුම අවසන් කිරීම සඳහා ද්විපාර්ශවීය සාකච්ඡා වලට කැඳවුම් කලේ ය.

දුතර්තේ, ඉවත්ව යන ඇක්විනෝ පාලනයේ “ජාතික ආරක්ෂක ප‍්‍රතිපත්ති වලට ඇලීගැලී ගැනීමට” ඉඩ තිබෙන බව වොෂින්ටනය පදනම් කරගත් මුලෝපායික සහ ජාත්‍යන්තර අධ්‍යයනය පිලිබඳ මධ්‍යස්ථානයේ ග්‍රෙග් පෝලින් වොෂින්ටන් ටයිම්ස් පත‍්‍රයට මැයි 10 වෙනි දා ලියුවේ ය. වෙනත් විදිහකට කිව්වොත්, “ආසියාවට හැරීමේ” නිර්දේශය යටතේ උසිගන්වන එහි චීන විරෝධී ධාවනයට මැනිලා දිගටම පුර්න සහයෝගය දෙනු ඇතැයි වොෂින්ටනය අපේක්ෂා කරයි.

කෙසේ නමුත්, පෝලින් ඔහුගේ ප‍්‍රකාශය අවසන් කලේ තර්ජනයකිනි. දුතර්තේ මෙම ප‍්‍රතිපත්ති වලට දිගට ම සහයෝගය නොදුන්නොත් “ඩාවෝ පාලනය කිරීම මලහන්ඤං (ජනාධිපති මන්දිරය) පාලන කිරීම තරම් පහසු නොවනු ඇත.”

සීපීපී ය මෙහි දී වොෂින්ටනය ට සහයෝගය දෙයි. ඔහුගේ තේරීපත්වීම අගය කල එහි ප‍්‍රකාශනයේ දී, එය “පිලිපීන ජනතාවගේ ජාතික ස්වෛරීත්වය සහ භෞමික ඒකාග‍්‍රතාවය ආරක්ෂා කරන බවට තිරසාරව ප‍්‍රකාශ කරන” ලෙස එනම් දකුනු චීන මුහුදේ දී චීනය ප‍්‍රහාරාත්මකව අභිමුක කරන ලෙස අභියෝග කලේ ය.

දුතර්තේ ගේ තේරීපත්වීම මිලිටරිවාදයේ සහ යුද්ධයේ වර්ධනය අතර සම්බන්ධය සහ ධනපති පන්තිය ආඥාදායක පාලනයක ට හැරීම හා කම්කරු පන්තියට එරෙහි මහා පරිමාන මර්දනය ඇඟවුම් කරයි. සමාජවාදී ජාත්‍යන්තරවාදය මත පදනම් වූ විප්ලවවාදී නායකත්වයක් නැතිකම දුතර්තේ වැනි ෆැසිස්ට්වාදී බලවේගවල නැගීමට හැකියාව නිර්මානය කර ඇත. සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ලෙස එවන් නායකත්වයක් පිලිපීනය සහ නැගෙනහිර ආසියාව පුරාම ගොඩ නැගිය යුතු ය.

ජෝසප් සැන්තොලන්

Share this article: