පන්ති අරගලය යලි ඉස්මතු වීමක්

A resurgence of class struggle

2016 මැයි 21

එක්සත් ජනපදය, බි‍්‍රතාන්‍යය හා අනෙකුත් කාර්මික රටවල් තුල පන්ති අරගලය කෘතිම ලෙස යටපත් කොට තිබුනු කාලපරිච්ඡේදය අවසානයකකට එමින් තිබෙන බවට වැඩෙන සලකුනු පවතී. දක්ෂිනාංශික සමාජවාදී පක්ෂ ආන්ඩුව පැනවූ හදිසි තත්ත්වය නොතකා ප‍්‍රන්සය තුල, ප‍්‍රතිගාමී කම්කරු “ප‍්‍රතිසංස්කරන” නීතියට එරෙහි වර්ජන හා විරෝධතා; ව්‍යාජ-වාම සිරිසා පක්ෂය ක‍්‍රියාවට නැගූ කප්පාදු පියවරයන්ට විරුද්ධ ග‍්‍රීක කම්කරුවන්ගේ මහා වැඩ වර්ජනය; ලේබර් පක්ෂයේ ද සහාය ඇති ව කොන්සවැටිව් පක්ෂ ආන්ඩුව බි‍්‍රතාන්‍යය තුල ක‍්‍රියාවට නගන සමාජ කප්පාදුවලට එරෙහි කනිෂ්ඨ වෛද්‍යවරුන්ගේ වර්ජන; බෙල්ජියමේ ගුවන්ගමන් පාලකයන්ගේ වර්ජනය; ඉන්දියාවේ හා චීනයේ කම්කරුවන්ගේ වැඩ වර්ජන යන මෑත සතිවල සිද්ධි මේ බව පෙන්නුම් කරයි.

එක්සත් ජනපදයේ වෙරිසන් යන යෝධ විදුලි සංදේශ සංගතයට එරෙහි ව කම්කරුවන් 39,000ක් සම්බන්ධ වන වසර ගනනක් තුල විශාලතම ඇමරිකානු කම්කරු වර්ජනය, එහි සයවැනි සතියට එලැඹී තිබේ. මේවා පවත්නේ ආරම්භක අවධියේ වුව ද එමගින් සලකුනු කරන්නේ ලෝක ධනවාදයේ මධ්‍යස්ථාන තුල පන්ති අරගලයේ වර්ධනය වීම පිලිබඳ අර්ථභාරී ප‍්‍රකාශනයකි. ඩිට්‍රොයිට් හා අනෙකුත් නගරවල ගුරුවරුන්ගේ වර්ජන හා ලෙඩ නිවාඩු දැමීම සහ මිචිගන්හි ෆ්ලින්ට් නගරයේ ජල සැපයුමට වස එකතු වීමට එරෙහි විරෝධතා හා නිරායුධ කම්කරුවන් හා තරුනයන් පොලීසිය විසින් ඝාතනය කරනු ලැබීමට එරෙහි විරෝධය පලකිරීම් ආදී සමාජ විරෝධතා රැල්ලක් සමග වෙරිසන් වර්ජනය සමපාත වේ.

මේ සියලු අරගල සිදුවන්නේ වෘත්තීය සමිතිවල ද්‍රෝහීත්වය හා කඩාකප්පල් කිරීම් මධ්‍යයේ ය. සංගතය විසින් කරන හොරිකඩකම් හා පොලීසියේ ආරක්ෂාව හා රැකවරනය ලබන කඩාකප්පල්කාරීන් විසින් විරෝධතාවල යෙදෙන්නන්ට කරන ප‍්‍රචන්ඩ පහරදීම්වලට එරෙහි ව ඇමරිකානු විදුලි සංදේශ සමිතිය (සීඩබ්ලිව්ඒ) හා විදුලි කම්කරුවන්ගේ ජාත්‍යන්තර සහෝදරත්වය (අයිබීඊඩබ්ලිව්) යන වෙරිසන් වෘත්තීය සමිති කිසිවක් කොට නොමැති අතර කම්කරුවන් හුදකලා කොට තිබේ.

වෘත්තීය සමිති පසුවෙන්නේ, වර්ජනය අවසන් කිරීමේ හා එය පාවාදීමේ කොන්ත‍්‍රාත් ගිවිසුමක් අත්සන් කිරීමේ වියරුවෙනි. වර්ජනය අවසන් කිරීම කරා තල්ලු වෙමින් සීඩබ්ලිව්ඒ හා අයිබීඊඩබ්ලිව් සමිතිවල සහචරයින් වන ඩිමොක‍්‍රටික් පක්ෂයේ කොංග‍්‍රස් සභිකයන් 88 දෙනා එය අවසන් කරන ලෙස ඉල්ලමින් බ‍්‍රහස්පතින්දා විවෘත ලිපියක් නිකුත් කලහ.

2015 දී එක්සත් මෝටර් කම්කරු සමිතිය, ඩිට්‍රොයිට්හි මෝටර් රථ සමාගම් සමග අත්සන් කල වර්ජන විකිනීමේ කොන්ත‍්‍රාත්තුවකට එරෙහි ව කම්කරුවන්ගෙන් පැන නැගුනු කැරැල්ලක් යටපත් කිරීමට සමත් වූයේ යන්තමිනි. වෘත්තීය සමිති නිලධරයන් (වර්ජන වැලැක්වීමට) හොඳ ම උත්සාහය යෙදුවත් පසුගිය වසර තුල වර්ජනවල සැලකිය යුතු වර්ධනයක් දැකගත හැක.

පසුගිය පෙබරවාරියේ කම්කරු සංඛ්‍යාලේඛන කාර්යාංශය නිකුත් කල දත්ත ඇමරිකාව තුල පන්ති අරගලයේ සන්ධිස්ථානයක් සලකුනු කරයි. 2014 වසරට සාපේක්ෂ ව 2015 වසර තුල ප‍්‍රමුඛ පෙලේ කම්කරු අරගල නිසා අහිමි වූ වැඩ දින ගනන සියයට 400කින් ඉහල ගිය බව ඒවා පෙන්නුම් කරයි. ඉන් බොහොමයක් එක්සත් ජනපදය පුරා තෙල් කර්මාන්ත කම්කරුවන් 5,000ක් සම්බන්ධ වූ මාස හතරේ වර්ජනය හා පිට්ස්බර්ග්හි ඇලගෙනි තාක්ෂන සමාගමේ වානේ කම්කරුවන් 2,200ක් සම්බන්ධ වූ වැඩ වැරුමට සම්බන්ධය.

කම්කරු වැඩ නැවැත්වීම් හේතුවෙන් 2016 වසර තුල අහිමි වන දින ගනන වෙරිසන් වර්ජනය හේතුවෙන් නාටකාකාර ව ඉහල යනු ඇත. 573,000ක් තැපැල් කම්කරුවන්, ප‍්‍රාන්ත හා ප‍්‍රාදේශීය කම්කරුවන් හා ගුරුවරුන් සහ වෙලඳ කම්කරුවන් සිය දහස් ගනනකගේ වැඩ කොන්ත‍්‍රාත්තු තවමත් අත්සන් කිරීමට නියමිත ව පවතී.

එහෙත් 1940 ගනන්වල සිට 1980 ගනන් දක්වා සුලභ ව පැවති වර්ජන තත්වයට වඩා මෙය තවමත් පවතින්නේ බොහෝ පහලිනි. පෙර වසරට සාපේක්ෂ ව ඉහල යාමක් පෙන්නුම් කරමින් 2015 දී (කම්කරුවන් 1,000ක් හෝ වැඩියෙන් සම්බන්ධ වූ) කම්කරුවන් 47,000ක් රැලි කරගත් ප‍්‍රධාන වැඩ නැවැත්වීම් 12ක් සිදු විය. මෙය එක්සත් ජනපදය තුල වැඩ නැවැත්වීම්වල කූටය වූ ප‍්‍රධාන කාර්මික ආරවුල් 470ක් හටගත් කම්කරුවන් මිලියන 2.7ක් සම්බන්ධ වූ 1952 වසර සමග සැසඳිය හැකිය.

1981 දී පැට්කෝ ගුවන්ගමන් පාලක වර්ජනය කඩාකප්පල් කොට කම්කරුවන් 11,000ක් දොට්ට දැමීමට හා අසාදු ලේඛනගත කිරීමට රීගන් ආන්ඩුවට වක‍්‍ර ව ඉඩ පාදා දෙමින් මහා පරිමාන දොට්ට දැමීම්, වැටුප් කැපීම් හා වෘත්තීය සමිති දඩයම්වල දඩයමට විරුද්ධ ව පැන නැගි කටුක වර්ජන ඒඑෆ්එල්-සීඅයි ඕ විසින් 1980 ගනන්වල පාවාදී තිබුනි. එය එක්සත් ජනපද ඉතිහාසය තුල වැඩ වර්ජන ඒවායේ පතුලට ම ගිලී ගිය දශක ගනනාවකට තුඩු දුන්නේය. සමාජ අසමානතාවේ වැඩීම හා සංගත හා මූල්‍ය ප‍්‍රභූවේ ආදායම්වල වාර්තාගත නැගීම, සකලාකාර සංවිධිත පන්ති අරගල මුලුමනින් ම පාහේ අන්තර්ධාන වීම සමග සෘජුවම බැඳී තිබුනි.

2008 දී හටගත් මූල්‍ය පද්ධතියේ බිඳ වැටීමත් ඉන් ඇතිවූ රැකියා, වැටුප් හා සමාජ සුභ සාධන වලට එරෙහි ප‍්‍රහාරයත්, කම්කරු පන්තිය කම්පනයට පත්කොට අවමංගත කලේ ය. එහෙත් ලොව පුරා පාලක පන්තීන් එම අර්බුදය ගසා කන්නට යන්නේ සියලු අතීත ජයග‍්‍රහන අතු ගා දමා කම්කරු පන්තිය අන්ත දිලින්දන්ගේ තත්ත්වයට සිඳවීමට යයි පැහැදිලි වූ විට කම්කරුවෝ කටුක අරගලයට වෙනත් විකල්පයක් නැති ය යන අවබෝධය කරා පැමිනෙමින් සිටිති.

පන්ති අරගලය ප‍්‍රකෘතිමත් වීම එහි දේශපාලන ප‍්‍රකාශනය අත් කර ගන්නේ වෘත්තීය සමිතිවල පිටුබලය ලබන නිල “වාමාංශයේ” සියලු පක්ෂවලට, එනම් බි‍්‍රතාන්‍යයේ ලේබර් පක්ෂය, ප‍්‍රන්සයේ සමාජවාදී පක්ෂය හා ජර්මනියේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය ආදියට එරෙහි ව කම්කරුවන්ගේ හැරීමක් තුල යි.

එක්සත් ජනපදය තුල කම්කරු පන්ති සටන්කාමීත්වයෙහි වර්ධනය, ආරම්භක අවධියේ දී ප‍්‍රගාඪ දේශපාලන රැඩිකලීකරනයක් සමග, තමන් සමාජවාදියෙක් යයි ප‍්‍රකාශ කරන බර්නි සෑන්ඩර්ස්ට, ධනවාදය ප‍්‍රතික්ෂේප කරමින් රැඩිකල් විකල්පයක් සොයන කම්කරුවන් හා තරුනයන් මිලියන ගනනක් අතරින් විශාල සහයෝගයක් ලැබීම සමග බැඳී ගත්තේය. සෑන්ඩර්ස්ගේ උද්ඝෝෂනය වනාහි පන්ති අරගලයේ වර්ධනයත් කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන හා විප්ලවවාදී ව්‍යාපාරයක ඉස්මතු වීමේ තර්ජනයත් පූර්වභංග කිරීම ඉලක්ක කරගත් ප‍්‍රතිචාරයකි. එහි එල්ලය, පන්ති ව්‍යාපාරය ඩිමොක‍්‍රටික් පක්ෂයේ උගුල තුල හිර කිරීම යි.

ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ උද්ඝෝෂනය ද පවත්නා ආර්ථික හා දේශපාලන පද්ධතියට එරෙහි ව කම්කරු පන්තියේ විරුද්ධත්වය වර්ධනය වීමට දක්වන එවැනි ම වූ පූර්වභංග ප‍්‍රතිචාරයකි. එහි එල්ලය, මෙම ව්‍යාපාරය ස්වෝත්තමවාදී හා ජාතිකවාදී රේඛා ඔස්සේ යොමු කොට රට තුල සමාජ ආතතීන් මර්දනය කිරීම සඳහා ප‍්‍රචන්ඩත්වය සෘජු ව යොදා ගැනීමට කොන්දේසි සූදානම් කිරීම යි.

පන්ති අරගලය ප‍්‍රකෘතිමත් වීම පවත්නේ එහි ආරම්භක අවධියේ වුවත් එය වේගයෙන් වැඩී යනු ඇත. එය වෛෂයිකව ඉදිරියට දුවවන්නේ දරිද‍්‍රතාව, ආඥාදායකත්වය හා ගෝලීය න්‍යෂ්ටික යුද්ධයක කම්පනය හැර වෙන කිසිවක් දීමට අසමත් ලෝක ධනවාදී පද්ධතියේ අර්බුදය මගිනි. වැඩ වර්ජන වේවා සමාජ විරෝධතා වේවා ඒ සියලු අරගල, විප්ලවවාදී ප‍්‍රශ්න එලිමහනට ගෙන එමින් දේශපාලන බලය පිලිබඳ ප‍්‍රශ්නය මතු කරයි.

කම්කරුවන් මුහුන දෙන පලමු කර්තව්‍යය වන්නේ ධනේශ්වර ගැති ප‍්‍රතිගාමී කම්කරු නිලධරයන්ගෙන් බිඳීම යි. එහෙත් හතරවන ජාත්‍යන්තරයේ ආරම්භක ක‍්‍රියාමාර්ගය වන සංක‍්‍රමන ක‍්‍රියාමාර්ගය තුල ලියොන් ට්‍රොට්ස්කි පෙන්වා දුන් පරිදි, එම කර්තව්‍යය හැකියාවක් බවට පත් කරන්නේ, බලගතු වෛෂයික බලවේග විසිනි:

මහ ජනතාවන්ගේ දිශානතිය තීන්දු කරන්නේ, පලමුව දිරාපත් වෙමින් තිබෙන ධනවාදයේ වෛෂයික කොන්දේසි මගින් හා දෙවනුව පැරනි කම්කරු සංවිධානවල ද්‍රෝහී දේශපාලනයෙනි. එහෙත් මේ කොන්දේසි දෙකෙන් තීරනාත්මක වන්නේ පලමු එකයි: ඉතිහාසයේ නීති නිලධරයේ දඬු අඬුවට වඩා බලවත් ය.

වඩා හදිසි හා තීරනාත්මක අවශ්‍යතාව වන්නේ මෙම විවිධාකාර අරගල තනි පන්ති අරගලයක් තුලට ඒකාබද්ධ කොට එයට විප්ලවවාදී ඉදිරිදර්ශනයක් සම්පාදනය කිරීමට සමත් විප්ලවීය මාක්ස්වාදී නායකත්වයක් ගොඩ නැගීම යි.

බැරී ගේ‍්‍ර

Share this article: