ගැඹුරුවන ජාතික එදිරිවාදකම් ජී7 සමුලුව අරක් ගනී

Deepening national antagonisms dominate G7 summit

2016 මැයි 27

ගෝලීය දේශපාලන හා ආර්ථික කේන්ද්‍රයේ ප‍්‍රධාන කාරනා දෙකක්, එනම් චීනයට එරෙහිව ඇමරිකාවේ මූලිකත්වයෙන් කෙරෙන යුද සූදානම හා ලෝක ආර්ථිකයේ දිග්ගැස්සෙන පල්වීම, 26දා ජපානයේ පැවති ජී7 සමුලුවේ පලමු දිනය අධිකාරවත් කලේය.

26දා නිමාවන සමුලු රැස්වීම, ඇමරිකානු හා එහි කලාපීය සහචරයන් විසින් අභියෝගයට ලක් කෙරෙමින් පවතින්නා වූ, චීනය අයිතිවාසිකම් කියන දූපත් සහිත දකුනු චීන මුහුදේ “නාවුක ගමනාගමනයේ ආරක්ෂාව” ගැන ප‍්‍රකාශනයක් නිකුත් කිරීමට නියමිත ය.

පලමු දිනය අවසානයේ වාර්තාකරුවන් අමතමින් ජපන් නිලධාරියෙකු පැවසුවේ, දකුනු හා නැගෙනහිර චීන මුහුදේ ගැටුම් මත ඇමරිකාව සමග පෙල ගැසීමට අනෙකුත් බලවතුන්ට බලකිරීමට සින්සො අබේ නායකත්වය දුන් බව යි. වාර්තාවන පරිදි එක්සත් රාජධානිය, ප‍්‍රන්සය, ජර්මනිය, ඉතාලිය හා කැනඩා නායකයෝ “ජී7 සමුලුව බලගතු සංඥාවක් නිකුත් කිරීම අවශ්‍යය යි” එකඟත්වය පල කලහ.

සමුලුව ආසන්නයේ දී වෝල්ස්ටී‍්‍රට් ජර්නල් හි විශේෂ ලිපියක අබේ තරයේ කියා සිටියේ, “නාවුක ගමනාගමනයේ නිදහස සහතික කිරීම” - චීනය අයිතිවාසිකම් කියන සාගර හා ගුවන් අවකාශයන් තුලට මිලිටරි ආක‍්‍රමන යොදා ගැනීම යුක්ති සහගත කරන නරුම රැවටිල්ල - “ආර්ථික වර්ධනය සඳහා පූර්වාවශ්‍යතාවක් මෙන් ම ස්ථාවරත්වය සඳහා පූර්වකොන්දේසියක් ද” වන නමුත් “කනගාටුදායක ලෙස සෑම ජාතියක් ම එය පිලි ගන්නේ නැති” බව යි.

වේදිකාව සැකසෙමින් පවතින්නේ ජී7 සමුව ආසන්නයේ දී ආතතිය නාටකාකර ලෙස උත්සන්න කිරීම සඳහා ය. චීනය දැනටමත් බලගතු ලෙස ප‍්‍රතිචාර දක්වා ඇත. (චීන) ආන්ඩුවේ ප‍්‍රකාශකයෙකු කියා සිටියේ කලාපයේ ප‍්‍රශ්නවලට ජී7ට “කිසිදු සම්බන්ධයක් නැති” බව හා “දකුනු චීන මුහුද කලඹන තනි තනි රටවලට” චීනය දැඩි ලෙස විරුද්ධ වන බව ය.

නිසැක ලෙස ම චීන විරෝධී ප‍්‍රකාශනයක් නිකුත් කිරීමට ජී7 සමුලුව විසින් ගන්නා ලද පියවරයන් නො තකා, බීජීනය වෙතට වන ප‍්‍රතිපත්තිය සම්බන්ධයෙන් ප‍්‍රමුඛ බලවතුන් අතර, විශේෂයෙන් ම බි‍්‍රතාන්‍ය පැත්තෙන්, බෙදීම් පවතී. 2015 මුල් මාසවල දී, චීනය නායකත්වය දුන් ආසියානු පොදුකාර්ය බැංකුවට (ඒඅයිඅයිබී) එකතු නො වීමට අනෙකුත් බලවතුන් කැමති කරවා ගැනීමට ඇමරිකාව උත්සාහ කලේ ය. රැලෙන් වෙන් වී බි‍්‍රතාන්‍ය, තමන් ඒඅයිඅයිබී ආරම්භක සාමාජිකයෙකු වන බව නිවේදනය කල අවස්ථාවේ දී වොෂින්ටනයේ සැලැස් ම අවුල් විය. අනෙකුත් යුරෝපීය බලවත්තු ද වහා ම බි‍්‍රතාන්‍යයේ මග ගත්තෝ ය. ඔබාමා පාලනාධිකාරය එය හැඳින්වූයේ චීනය සමග බි‍්‍රතාන්‍ය යේ “නිරන්තර සහවාසය” ලෙසය. එයින් තියුනු තරවටුවක් ද පල විය.

ආර්ථික වාසි සොයනු පිනිස බි‍්‍රතාන්‍ය ඉහත කී බැංකුවට එක්වීමට තීරනය කලේ, එයින් ඇමරිකාව සමග රටේ මූලෝපායික සම්බන්ධතාවන් අනතුරේ හෙලීමට ඉඩ ඇති බවට එරට විදේශ ප‍්‍රතිපත්ති සංස්ථාපිතය ලබා දුන් උපදේශයට පටහැනිව ය.

ලන්ඩන් නගරයේ මූල්‍ය කේන්ද්‍රය උත්සාහ කරමින් සිටින්නේ චීන ගෝලීය මූල්‍ය කටයුතු තුල තමන් ද පැලපදියම් වීමට ය. මෙම සතියේ චීන මුදල් අමාත්‍යංශය නිවේදනය කලේ, ලන්ඩනයේ රෙන්මින්බි වෙලඳපොලට රෙන්මින්බි බිලියන 3ක බැඳුම්කර (ඇමරිකානු ඩොලර් මිලියන 458ක්) නිකුත් කරන බව යි. ෆිනෑන්ෂල් ටයිම්ස් සඳහන් කල පරිදි, බි‍්‍රතාන්‍ය ආන්ඩුව “ආක‍්‍රමනකාරී ලෙස” රෙන්මින්බි ව්‍යාපාර වෙත නැඹුරුවී ඇත්තේ චීනය සමග වඩා වැඩි ආර්ථික බැඳීම් ප‍්‍රවර්ධනය කිරීමේ කොටසක් ලෙස ය.

සමුලුවට සූදානම්වීමේ වාර්තා වලට අනුව, චීනයේ “බටහිර හොඳම හවුල්කරුවා” ලෙස බි‍්‍රතාන්‍යයේ ආස්ථානය සම්බන්ධයෙන් ඩේවිඩ් කැමරන්, ඇමරිකාව හා ජපානය යන දෙරටේ ම පීඩනයට ලක් වනු ඇති බව සඳහන් විය. බි‍්‍රතාන්‍යයේ ආස්ථානය, බීජීනයට එරෙහිව දැඩි කෙරුනු රාජ්‍යතාන්ත‍්‍රික හා මිලිටරි තල්ලුව සඳහා වන ඔවුන්ගේ ඉල්ලීමට හරස්ව යාමකි.

එක තැන පල්වීමෙන් ලෝක ආර්ථිකය එසවීමට උත්සාහ කරන පියවරයන් සම්බන්ධයෙන් ද ගැඹුරු බෙදීමක් රැස්වීමෙන් එලිමහනට පැමිනියේය. වඩා වැඩි ආර්ථික උත්තේජක පියවර සඳහා, විශේෂයෙන් ම යුරෝපය තුලින් සහාය දිනා ගැනීමේ උත්සාහයකදී අබේ, වර්තමාන ආර්ථික කොන්දේසි, ලේහ්මන් බ‍්‍රදර්ස් බිඳවැටීම හා ගෝලීය මූල්‍ය අර්බුදයට තුඩු දුන් 2008 පැවති තත්වයට සන්සන්දනය කරමින් ප‍්‍රස්තාර පෙලක් ඉදිරිපත් කලේ ය.

මූල්‍ය වෙලඳපොලේ නව අර්බුදයක අනතුර අවධානරය කරනු පිනිස අබේගේ ප‍්‍රස්තාර, පහල යමින් ඇති භාන්ඩ මිල ගනන් හා නැගී එන රටවල සැලකිය යුතු ලෙස පහල වර්ධනය කෙරෙහි අවධාරනය යොමු කලේ ය. ඔහුගේ තර්ක “ඇදහිය නො හැකි” යැයි බටහිර මාධ්‍ය විසින් පසෙකට දැමුනු අතර, එලඹෙන වසරේ දී ජපාන පරිභෝජන බදු සියයට 8 සිට 10 දක්වා වැඩිකිරීමේ වගකීමෙන් ඉවතට හැරීම යුක්තිසහගත කිරීමට ඒවා පෙරට දමා ඇති බව පවසයි. අබේ ඊට පෙරකියා තිබුනේ, ඔහු එවැනි පියවරක් ගනු ඇත්තේ ප‍්‍රධාන භූමිකම්පාවක් හෝ ජාත්‍යන්තර බැංකු පද්ධතියේ ලේහ්මන් (බ‍්‍රදර්ස්) වර්ගයේ කඩාවැටීමකට ප‍්‍රතිචාර ලෙස පමනක් බව යි.

බි‍්‍රතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් අබේගේ අදහස්වලට සම්මාදන් නො වූ අතර “ගෝලීය ආර්ථිකය පිලිබඳව සාධනීය හඬක් නගා” තිබූ බව බි‍්‍රතාන්‍ය ආන්ඩුවේ ප‍්‍රකාශකයෙකු පැවසුවේ ය. ජර්මනිය ද උත්තේජක පියවරවලට විරුද්ධ විය.

කෙසේ නමුත්, අබේ ඇඟිල්ල දිගු කල ප‍්‍රවනතා පෙර නොවූ විරූ තරම් පැහදිලි ය. යුරෝපය තුල එක තැන පල්වීම දිගට ඇදෙමින් තිබෙන අතර, අපේ‍්‍රල් මාසයේ දී භාන්ඩ මිල ගනන් සියයට 0.2ක වැටීමක් පෙන්වන සංඛ්‍යා පල විය. එය අවධමනයේ දෙවන මාසය යි. ඇමරිකානු බුද්ධිජීව මන්ඩලයක් වන කොන්ෆරන්ස් බෝඩ් වාර්තාවක් අනුව, ඇමරිකාවේ තුන්වැනි කාර්තුවේ දී ද ලාභ පහල ගියේ, දශක තුනකට වඩා වැඩි කාලයක් තුල පලමු වතාවට ඇමරිකානු පලදායිතවයේ වර්ධනය පහල යාමට නියමිත බව පෙන්වමිනි.

නැගී එන රටවල් හා භාන්ඩ අපනයනය කරන රටවල් නැවත වතාවක් දැඩි පීඩනයකට මුහුනදී සිටියි. මාර්තු හා අපේ‍්‍රල් මාසවල දී එම ආර්ථිකයන්හි කොටස් වෙලඳපොල හා මුදලේ ඇතිවූ ප‍්‍රකෘතිය, ඇමරිකානු මහබැංකුව ජූනි මාසයේ දී නැවත වතාවක් පොලී අනුපාත ඉහල දැමීමේ හැකියාවක් පවතින බැවින් අවසන් විය හැකි යයි සැලකේ. දෙසැම්බර් මාසයේ ඇමරිකානු ෆෙඩරල් මහ බැංකුවේ පොලී අනුපාතය සියයට 0.25න් ඉහල දැමීම, නැගීම වසරේ පලමු මාස දෙක තුල මූල්‍ය හා භාන්ඩ වෙලඳපොලේ කැලඹීමට බලපෑ සාධකය බව පුලුල් ලෙස විශ්වාස කෙරේ.

වෙලඳපොල හා ලාභය සඳහා ප‍්‍රධාන බලතුන් අතර උත්සන්න වුනු පොරය, තියුනු ගැටුම්වලට මග පාදා ඇත. සමුලුවට සූදානම් වෙද්දී, යෙන් මුදලේ වටිනාකම අඩු කිරීමට මැදිහත්වනු ඇති බව පවසමින් ඇමරිකාව, ජපාන ආන්ඩුවේ ප‍්‍රකාශනය විවේචනය කල අතර, යූරෝපා සංගමය අනතුරු අඟවා ඇත්තේ, චීන වානේ යුරෝපයට පටවනු ඇතැයි චෝදනා කරමින් තමන් ඊට එරෙහිව පියවර ගැනීමට ඉඩ ඇති බවට ය.

සමහර ආරක්ෂනවාදී පියවර පිලිබඳව ඉඟි කරමින් යුරෝපීය කොමිසමේ සභාපති ජීන්-ක්ලෝඞ් ජුන්කර් මෙසේ පැවසී ය, “යමෙකු වෙලඳපොල විකෘති කරන්නේ නම් යුරෝපයට ආරක්ෂා රහිත විය නොහැක.” ජී7 සමුලුවේ ප‍්‍රකාශන කෙටුම්පතක්, චීනය ගැන සඳහන් නො කර, අතිරික්ත වානේ සැපයුම් පිලිබඳ කනස්සල්ල ප‍්‍රකාශ කලේ ය. චීන වානේ තොගවල අධි ධාරිතාව, යුරෝපීය සංගමයේ වාර්ෂික වානේ නිෂ්පාදනය මෙන් දෙගුනයක් වන අතර, 2008 සිට වානේ ක්ෂේත‍්‍රයේ රැකියා දහස් ගනනක් අහෝසි වීමට එය දායක වී ඇති බව ජුන්කර් පැවසී ය.

මෙම කාරනය, ලෝක වෙලඳ සංවිධානය යටතේ “වෙලඳපොල ආර්ථික තත්වය” අත්කර ගැනීම සදහා වන චීනයේ වෑයම සමග බැඳී ඇති අතර, එය ප‍්‍රතික්ෂේප කිරීමට ඇමරිකාව වැඩ කරමින් සිටින බව වාර්තා වේ. එනමුදු චීනයේ තත්වය සමග වානේ ප‍්‍රශ්නය මිශ‍්‍ර නො කල යුතු බවට බි‍්‍රතාන්‍ය ආන්ඩුවේ නිලධාරියෙකු තරයේ කියා සිටීමත් සමග මෙම කාරනය ද බෙදීමක් මතු කර ඇත.

වසර 30ටත් ඉහත දී ජී7 ස්ථාපිත කෙරුනු අවස්ථාවේ දී පාලක ප‍්‍රභූව ප‍්‍රකාශ කලේ, ගෝලීය ආර්ථිකය මත එය ස්ථාවරකාරී යාන්ත‍්‍රනයක් ස්ථාපිත කර සම්බන්ධීකාරකයක් ලෙස ක‍්‍රියා කරනු ඇති බව යි. සෑම බලවතෙකු ම තම තමන්ගේ ජාතික හා මූලෝපායික උත්සුකයන් පෙරටුකර ගැනීම සමග එය සැබවින් ම නිෂ්ඵල වී ඇත.

ඔබාමා ජී7 සමුලුව යොදා ගැනීමට උත්සාහ කරන්නේ, චීනයට එරෙහි පීඩනය උත්සන්න කිරීම පිනිස ය. කැමරන් උත්සාහ කරන්නේ යූරෝපා සංගමයෙන් ඉවත්වීමට ඔහු දක්වන විරුද්ධත්වය සඳහා ජී7 සහාය ලබා ගැනීමට ය. චීනයට එරෙහිව ජී7 සහාය අබේට අවශ්‍ය වන අතර, ජපන් ආන්ඩුව බලන්නේ ඇමරිකානු මිලිටරි කොන්ත‍්‍රාත්කරුවෙකු විසින් ඔකිනෝවා හි කාන්තාවක ඝාතනය කිරීම සම්බන්ධයෙන් “කෝපය” හා “දැඩි අමනාපය” ඔබාමාට පැවසීම මගින් සිය ජාතික උත්සුකයන් පෙරමුනට ගැනීමට ය.

සෑම ප‍්‍රධාන බලවතෙකු ම අන්තිමේදී පෙලගැසෙන්නේ කෙසේ දැ යන්න මොන ආකාරයකින්වත් පැහැදිලි නැත. කෙසේ නමුත්, එක දෙයක් පැහදිලි ය; ජාත්‍යන්තර සම්බන්ධතා වඩ වඩාත් සමාන වන්නේ 1930ස් ගනන්වලට ය. එවක හට ගත් මහා අවපාතය, අවසානයේ දී දෙවැනි ලෝක යුද්ධයට මග පෑදුවා වූ ජාතිකවාදය හා ආරක්ෂනවාදයේ ගෝලීය රැල්ලක් මතු කලේය.

එම යුද්ධයේ අවසානයේ සිට වසර හැත්තෑවකටත් වැඩි කාලයකට පසුව අද, ගැඹුරුවන ගෝලීය අවපාතය හා ඇමරිකානු සහචරයන් අතර වැඩිවෙන්නා වූ බෙදීම් වොෂින්ටනය තල්ලු කරන්නේ පෙර නොවූ විරූ ඉවබව නැති පියවර ගැනීම කරාය. “නාවුක ගමනාගමනයේ නිදහස” නාමයෙන් චීනයට එරෙහිව දිගටම මිලිටරි ප‍්‍රකෝපකිරීම් සිදු කරමින් ඇමරිකාව උත්සාහ කරන්නේ, චීනය පමනක් නො ව, ආසන්න වශයෙන් එක්සත් ජනපදයට සමාන තරමේ න්‍යෂ්ටික අවි තොග ගැන කයිවාරු ගසන රුසියාව ද ඉලක්ක කිරීමයි.

මෙම වර්ධනයන්, න්‍යෂ්ටික අවි යොදා ගැනීමේ විභවය ද සහිත ගෝලීය මිලිටරි ගැටුමක අනතුර මතු කරන අතර මානව වර්ගයාගේ පැවත්මට ම තර්ජනය කරයි.

නික් බීම්ස්

Share this article: