නවක වදය මැඩීමේ මුවාවෙන් ආන්ඩුව සිසු මර්දනය උග‍්‍ර කරයි- ලෝක සමාජවාදී වෙබ් අඩවිය

 

නවක වදය මැඩීමේ මුවාවෙන් ආන්ඩුව සිසු මර්දනය උග‍්‍ර කරයි

කපිල ප‍්‍රනාන්දු විසිනි, 2016 මැයි 14

කැලනිය සරසවියේ පලමු වසර ශිෂ්‍යාවක් හට නවක වදය දීමේ චෝදනා මත එම සරසවියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 7 දෙනෙකු කිරිබත්ගොඩ පොලීසිය විසින් පසුගිය 05 දා අත්අඩංගුවට ගනු ලැබී ය. අත්අඩංගුවට ගත් අය අතර ශිෂ්‍යාවන් හතරදෙනෙකු ද සිටී. තවත් සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස උසාවිය පොලීසියට නියෝග කර තිබේ.

නවකවද කාලසීමාවේදී නවක සිසුවියන් සරසවිය තුල කලිසම් නොඇඳිය යුතු බවට ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් දුන් විධානයකට අවනත නොවීම හේතුවෙන් තමාට ජ්‍යෙෂ්ඨ සිසුවෙකු පහරදුන් බවට නවක ශිෂ්‍යාවක් පොලීසියට කල පැමිනිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කෙරුනු බව සරසවියේ ශිෂ්‍ය පරිපාලන ආචාර්යවරයෙකු මාධ්‍යයට ප‍්‍රකාශ කලේ ය. සරසවි පරිපාලනය වෙත ලැබුනු පැමිනිල්ල ඍජුව පොලීසිය වෙත යොමු කිරීමට නියෝග කලේ තමන් බව සරසවියේ උපකුලපති මහාචාර්ය සුනන්ද මද්දුමබන්ඩාර මාධ්‍ය වෙත උජාරුවෙන් කියා සිටියේ ආන්ඩුවේ නව මර්දන වැඩපිලිවෙල සම්බන්ධයෙන් තම කැපවීම ප‍්‍රදර්ශනය කරමිනි.

අත්අඩංගුව ගත් සිසුන් අතර නවක සිසුන් තිදෙනෙකු ද සිටීම මගින් පෙන්නුම් කෙරෙන්නේ මෙය කිසිදු සොයා බැලීමකින් තොරව සිදු කල අත්අඩංගුවට ගැනීමක් බව සහ හුදෙක් සිසුන් හා දෙමාපියන් බිය ගැන්වීම සඳහාම සිදු කරන ලද්දක් බවයි.

මාතලේ සිට පැමිනි අත්අඩංගුවට පත් එක් ශිෂ්‍යාවකගේ පියෙකු පුද්ගලික රූපවාහිනි නාලිකාවකට කියා සිටියේ “මගේ දුව කැම්පස් ඇවිත් මාස තුනයි. එයා මේ කිසිවක් දන්නෙ නැති” බවයි. “කැම්පස් නිවාඩු දීලා තිබුනේ, ගෙදරටම ඇවිත් මගේ දුව අත්අඩංගුවට ගත්තා. අපි දුප්පත් මිනිස්සු ඇයි අපේ දරුවන්ට මෙහෙම කරන්නේ” යයි තවත් මවක් අඬා වැලෙපෙමින් කියා සිටියා ය.

අත්අඩංගුවට ගැනීම සිදුවූයේ, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ ප‍්‍රධානත්වයෙන් “නවක වදය හා ඒ මත කෙරෙන ලිංගික අපචාර සරසවි තුල නවතා දැමීම” යන හිසින් පවැති විශ්ව විද්‍යාල නිලධාරීන්ගේ ඉහල මට්ටමේ සම්මන්ත‍්‍රනයක දී අගමැති රනිල් වික‍්‍රමසිංහ සරසවි තුල නවක වදය සම්බන්ධ සිද්ධීන් වගවිභාග කිරීමට වෙනම සහායක උපකුලපතිවරයෙකු පත් කරන බවත්, සරසවි තුල පොලීසිය හා අපරාධ නීතිය කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය නීති ඉදිරියේ දී ගෙනඑන බව ප‍්‍රකාශ කොට සති දෙකක් ගතවනවාත් සමගය.

නවක වදය මැඩීමේ මුවාවෙන් සිදු කරන ලද මෙම අත්අඩංගුවට ගැනීම් මගින් පෙන්නුම් කෙරෙන්නේ අධ්‍යාපන කප්පාදුවට හා පෞද්ගලීකරනයට එරෙහිව අඛන්ඩව වර්ධනය වන සිසු අරගල මැඩීම සඳහා වඩාත් ඉහල තලයක මර්දනයකට යාමට සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව තීන්දු කොට ඇති බවයි.

ලෝක ආර්ථික අර්බූදයේ කොටසක් ලෙස බරපතල ආර්ථික අර්බූදයක ගිලී සිටින සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ඉන් ගොඩඒමේ පියවරක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති ඩොලර් බිලියන 1.5 ක නය නිකුත් කිරීම සඳහා ශී‍්‍ර ලංකාවට පනවන නිර්දේශයන්හි අන්තර්ගත “රාජ්‍ය මූල්‍ය කලමනාකරනය ශක්තිමත් කිරීම” යන්නෙහි අර්ථය වන්නේ අධ්‍යාපනය සෞඛ්‍යය වැනි සුභසාධන වියදම් කප්පාදු කිරීම හා පෞද්ගලීකරනය වේගවත් කිරීම යි.

දැනටමත් වර්ධනය වෙමින් පවත්නා කම්කරු සහ සිසු අරගල මෙම කප්පාදු පියවරයන් හමුවේ වඩාත් තීව‍්‍ර වනු ඇති බවට ගනන් බලන ආන්ඩුව එම අරගල පූර්වභංග කිරීමේ වැඩ කටයුතු කි‍්‍රයාවට නංවා ඇත. නවක වදය මැඩීමේ මුවාවෙන් කෙරෙන මෙම සිසු දඩයමේ අර්ථය එයයි.

මෙම වැඩ කටයුතුවල කොටසක් ලෙස මේ වසරේ පලමු මාස කිහිපය තුල දී ද නවකවදය මුල් කර ගෙන සරසවි වසා දැමීම්, පන්ති තහනම් කිරීම් හා ශිෂ්‍යභාවය අහෝසි කිරීම් වාර්තා වූ අතර සිද්ධිවලට අදාල පරීක්ෂන කිසිදු විනිවිදභාවයකින් තොරව සිදු කෙරුනු බවටත් තමන්ට එල්ලවන චෝදනාව කුමක්දැයි හරිහැටි දැනගැනීමේ අයිතියක් හෝ නොපැවති බවටත් සිසුන් චෝදනා කරයි.

1988 දී ස්ථාපිත කරන ලද නවක වද පනත 2010 දී යලි බලාත්මක කිරීම මගින් රැස්වීම් පැවැත්වීම, විරෝධතා දැක්වීම, පති‍්‍රකා බෙදීම වැනි දේශපාලනික කි‍්‍රයාකාරකම් සියල්ල සිසුන්ට තහනම් කොට පැවතුනි. රාජපක්ෂ පාලන කාලය තුල ශිෂ්‍ය සංගම් තහනම් කරමින්, සිසුන් සිය ගනනක් පන්ති තහනමට ලක් කරමින් හා අත්අඩංගුවට ගනිමින් ශිෂ්‍ය මර්දනය තීව‍්‍ර කලේ මෙම නීතිවල ආධාරයෙනි. සිසුන් ආන්ඩුවට අවශ්‍ය ලෙස ‘විනයගත’ කරනු වස් නවක සිසුන් සති ගනනක මිලිටරි පුහුනුවකට ද ලක් කෙරුනි.

නව මර්දන පිලිවෙත්වලට ආවරනයක් ලෙස, සරසවි “ලිබරලීකරනයට” ලක් කල යුතු යයි වික‍්‍රමසිංහ ඉහත සම්මන්ත‍්‍රනයේදී කියා සිටියේය. සිරිසේන ගේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය (ශී‍්‍රලනිප), එක්සත් ජාතික පක්ෂය (එජාප), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) හා දෙමල ජාතික සන්ධානය (දෙජාස) වැනි ප‍්‍රධාන පෙලේ දේශපාලන පක්ෂ සරසවි තුල නවක වදය පිටුදැකීම සඳහා සහයෝගයෙන් කටයුතු කල යුතුයැයි වික‍්‍රමසිංහ පැවසීය.

විශ්ව විද්‍යාල තුල මෙම පක්ෂවල කි‍්‍රයාකාරිත්වය කුමක්ද යන්න සිසුන් මෙන්ම කම්කරු-පීඩිත මහජනතාව හොඳින් දනී. රාජපක්ෂ පාලන කාලයේ දී ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ විසින් නායකත්වය දුන් ඊනියා නිල්බලකායේ මැර කන්ඩායම් ශිෂ්‍ය සංගම් කි‍්‍රයාකාරීන්ට පහරදුන්හ. ජවිපෙට හෝ ඉන් කැඩී ගිය පෙරටුගාමී සමාජවාදී පක්ෂයට (පෙසප) අඩුබලයක් හිමි කොලඹ සරසවිය තුලදී එජාපයට සම්බන්ධ එක්සත් ශිෂ්‍ය සංගමයේ මැර කන්ඩායම් එවැනිම මැර කි‍්‍රයාවලට කුප‍්‍රකටය.

ආන්ඩුවේ අධ්‍යාපන කප්පාදු වැඩපිලිවෙල වහංගු කරමින් නවකවදය හුවා දැක්වීමට වත්මන් හවුල් ආන්ඩුව බලයට ගෙන ඒමට කරබදු වූ සරසවි ආචාර්යවරුන් සහ බහුතරයක් මාධ්‍යය ආන්ඩුව සමග මාට්ටු වී සිටී. වික‍්‍රමසිංහගේ ‘ලිබරලීකරනයට’ වහ වැටුන රංග ජයසූරිය නැමැති ලේඛකයෙකු ඩේලි මිරර් පත‍්‍රයට ලිපියක් ලියමින් නවක වදය පිටුදැකීමට සරසවි තුල පවත්නා නීති ප‍්‍රමානවත් නැතැයි කියා සිටී. එහිදි ඔහු ලංකාවේ සරසවිවල සිටිනා කොමියුනිස්ට්වාදීන් හා අන්ත වාම පක්ෂ නිසා සරසවිවල ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා පෙර පැවති බහු පක්ෂ ක‍්‍රමයන් අහෝසි වී ඒකාධිකාරීභාවයක් නිර්මානය වී ඇතැයි කියා සිටී.

කොමියුනිස්ට්වාදීන් හා වාම පක්ෂ ලෙස ඔහු ලේබල් කර ඇත්තේ ජවිපෙ හා වර්තමානයේ දී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබමය) මෙහෙයවන පෙසප වැනි පක්ෂවලටයි. ලේඛකයාගේ අරමුන වී ඇත්තේ ජවිපෙ හා පෙසප දේශපාලනය කොමියුනිස්ට්වාදය හා සමාන කරමින් මාක්ස්වාදයට පහර ගැසීමත් ආන්ඩුවේ මර්දනය හා කප්පාදු වැඩපිලිවෙලවල් යුක්ති සහගත කරලීමත් බව පැහැදිලිය.

ජවිපෙ හා පෙසප හි දේශපාලනය මාක්ස්වාදය, සමාජවාදය සමග කිසිදු සම්බන්ධයක් නැත. ජවිපෙ ගම්බද ගොවීන් හා තරුනයන් මත පදනම් වූ සිංහල වර්ගෝත්තමවාදී සංවිධානයක් වන අතර එය දැන් කොලඹ ධනේශ්වර සංස්ථාපිතයේ පක්ෂයකි. පෙසප යනු ජවිපෙ හි සියලු ප‍්‍රතිගාමී අතීත උරුමයන් පෙරට ගෙන යමින් අනෙකුත් ව්‍යාජ වාම පක්ෂ හා නොයෙකුත් මධ්‍යම පන්තික කල්ලි කන්ඩායම් සමග මාට්ටු වී සිසුන් හා අවශේෂ තරුනයන් හට නව උගුල් ඇටවීමට දැනුවත්ව කි‍්‍රයාත්මක වන ව්‍යාජ වාම සංවිධානයකි.

සරසවි තුල නවකවදය පවත්වාගෙන යනු ලබන්නේ, ධනපති ආන්ඩුවලට බලපෑම් දැමීම මගින් අධ්‍යාපන අයිතිය දිනා ගත හැකිය යන මිථ්‍යාව මත පදනම් වෙමින් හුදෙකලා විරෝධතාවලට සිසුන් කොටු කර තිබෙන පෙසප හා අවිශිබමයේ බංකොලොත් දේශපාලනයේම කොටසක් ලෙසිනි.

එය පෙසප පදනම් වන සුලු ධනේශ්වර පන්ති පදනමෙන් ගලා එන්නකි. සමාජයේ විවිධ පන්ති ස්ථරයන් තුලින් පැමිනෙන සිසුන් අතර සමානතාවය ඇති කොට ශිෂ්‍ය එකමුතුව ගොඩනැගීම සඳහා යයි කියමින් සිසුන්හට එකම අන්දමින් කොන්ඩා කැපීමට, චීත්ත ගවුම් ඇඳීමට හා සෙරෙප්පු පැලඳීමට බලපෑම් කිරීමේ තත්වයටම මෙම නවක වදය වර්ධනය කෙරී ඇත.

බීබීසී සංදේශය වෙත අදහස් දැක්වු අවිශිබමයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර නවකවදය යුක්ති සහගත කරමින් මෙසේ පැවසීය: “සරසවි උපසංස්කෘතිය තුල නවකවදය කොටසක්. එය කාර්යාල තුල, පාසල්, හමුදා කඳවුරු, පොලිසි තුල හා වෙනත් ආයතන තුලද පවතිනවා. එය සිසුන් අත්අඩංගුවට ගැනීම මගින් නවතා ලිය නොහැක.”

නවක සිසුන් තම දේශපාලන කි‍්‍රයාකාරකම් වලට බලහත්කාරයෙන් නතු කරන අතරතුර තමන් කැමති දේශපාලන මතයක් වෙනුවෙන් පෙනී සිටීම හා වෙනත් දේශපාලන සංවිධානවලට සිසුන් සමග ප‍්‍රජාතන්ත‍්‍රවාදීව තම අදහස් බෙදා ගැනීම ඇහිරීම ලහිරු වීරසේකරගේ මෙම ඊනියා උපසංස්කෘතියට අයත්ය. මෙම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී භාවිතාව අවිශිබම විසින් හඳුන්වන්නේ “ශිෂ්‍ය දේශපාලනය” ලෙසයි. පෙසප සහ අවිශිබම සම්බන්ධයෙන් ගත්කල නවක වදය යනු මෙම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ඊනියා උප සංස්කෘතිය නවක සිසුන්ට ගිල්ලවීමේ ප‍්‍රධානතම මාධ්‍යයකි.

පෙසපයේ සහ අවිශිබමයේ මෙම බලහත්කාරී දේශපාලනය තුල, 1987-89 කාලපරිච්ඡේදයේ ජවිපෙ විසින් කි‍්‍රයාවට නංවන ලද කම්කරු පන්තික විරෝධී ෆැසිස්ට් භාවිතාවන්ගේ මුද්‍රාව රැඳී ඇත. එවකදී ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහි මව්බිම නැත්නම් මරනය යන පාඨ ඉදිරියට දමා ගත් ජවිපෙ කම්කරුවන් බලහත්කාරයෙන් වර්ජනවල දැක්වීම, කඩසාප්පු වසා දැමීම වැනි නොයෙක් මාදාවිකාරකම් වල යෙදුනේ කම්කරුවන්, වෘත්තීය සමිති නායකයන්, විරුද්ධ දේශපාලන පක්ෂ සාමාජිකයන් හා කලාකරුවන් සිය ගනනක් ඝාතනය කරමිනි.

මෙම ඊනියා නවක වදයට සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) එකහෙලා විරුද්ධ වෙයි. ඒ සමගම පෙසපයේ සහ අවිශිබමයේ අවමංගත කිරීම් මධ්‍යයේ වූව තම අධ්‍යාපන සහ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන්ට එල්ල කෙරෙන ප‍්‍රහාරයන් හමුවේ අඛන්ඩව විරෝධතාවලට ඇදී එන සිසුන්ට එරෙහිව නවක වදය මැඩීමේ මුවාවෙන් ආන්ඩුව ගෙනයන මර්දනයට එරෙහිව කම්කරුවන් සහ තරුනයන් බලමුලු ගැන්වීම සඳහා සසප සහ සසජාතශි සටන් වදී.

Share this article: