වෙනිසියුලාවේ ව්‍යාජ වම්මු හා චාවේස්වාදයේ අර්බුදය

The Venezuelan pseudo-left and the debacle of Chavismo

නීල් හාර්ඩ්ට් විසිනි, 2016 මැයි 24

හියුගෝ චාවේස්ගේ වෙනිසියුලානු සමාජවාදී පක්ෂයේ (පීඑස්යූවී) වසර 17ක පාලනයට පසුව එරට ආර්ථිකය විසිරී යමින් තිබේ. ජනතාවගේ අති බහුතරය ආහාර, වෛද්‍ය රැකවරන, පාරිභෝගික භාන්ඩ හා විදුලි හිඟයට මුහුන දෙන අතර, 2013ට පසු දරිද‍්‍රතාව සියයට 80 දක්වා දෙගුනයක් වී ඇත. කම්කරු පන්තික නිවාස ප‍්‍රදේශයන් හි ආහාර කැරලි හා ඉබේ පැන නගින විරෝධතාවන්ගෙන් අඩුවක් නැති අතර ජනාධිපති මදුරෝගේ චාවිස්ටා (කලින් හිටපු ඊනියා වාම ජනාධිපති චාවේස් අනුයන) ආන්ඩුව ප‍්‍රතිචාර දක්වා ඇත්තේ හදිසි නීති තත්වයක් පනවමිනි.

පීඑස්යූවී හා ඩෙමොක‍්‍රටික් යුනිටි රවුන්ඩ්ටේබල් (එම්යූඩී) නම් විරුද්ධ පාර්ශ්වය අතර ආන්ඩු බලය සඳහා වන පොරය කුමන්ත‍්‍රනයක හෝ මාෂල් නීතියක හැකියාව ඇති කර තිබෙන නමුත් රටේ අනාගතය තීරනය කරන එකම බලවේග මෙම ධනේශ්වර පක්ෂ පමනක් නො වේ. ජීවත්වීමේ මූලික අවශ්‍යතාවන් නො සලකා හරිනු ලැබ සිටින වෙනිසියුලානු කම්කරු පන්තිය ආන්ඩුව සමග මෙන් ම විරුද්ධ පාර්ශ්වය සමග ද වඩ වඩාත් ගැටුමට අවතීර්න වෙමින් සිටිති.

එහෙත් පීඑස්යූවී පාලන සමයේ අත්දැකීම, ව්‍යාජ ලෙස “සමාජවාදී” යැයි තමන්ම හඳුන්වා ගන්නා ලද පාලක පන්තියේ කොටසක් වෙනුවෙන් සිය දේශපාලන ස්වාධීනත්වය කැප කරනු ලැබීම, කම්කරු පන්තියට කොතරම් විනාසකාරී ද යන්න යි. අද වෙනිසියුලානු කම්කරු පන්තියේ දැවෙන ඉල්ලීම විය යුත්තේ, පීඑස්යූවී, චාවේස් හා මදුරෝ යන කවර නායකයෙක් හෝ සමාජවාදය නියෝජනය කරතැ යි යන ව්‍යාජ ප‍්‍රකාශය මත ආන්ඩුවට සිය සහාය හෝ විරුද්ධත්වය පදනම් කරන, ධනේශ්වරයේ කන්ඩායම් දෙකෙන් ම ස්වාධීනව හා ඒවාට එරෙහි පන්ති අරගලයේ දේශපාලන ක‍්‍රියාමාර්ගයකි.

හරියට ම මෙම බරපතල අවස්ථාවේ දී, චාවේස්-මදුරෝ පාලනාධිකාරය සඳහා වසර ගනනාවක් තිස්සේ “වාම” මුක්කු ලෙස සේවය කර ඇති කන්ඩායම් ගනනාවක් වැඩ කරමින් සිටින්නේ කම්කරු පන්තිය, චාවේස්වාදයෙන් දේශපාලනිකව බෙදී වෙන්වීමෙන් වලකාලන ව්‍යාපාරයක ය. පීඑස්යූවී නිලධාරී තන්ත‍්‍රයට මෙන් ම රාජ්‍ය බලයේ මූල්‍යමය ලාභවලට ගැට ගැසුනු වෙනිසියුලානු ව්‍යාජ වම්මුන්ට හා එහි ජාත්‍යන්තර සහචරයන්ට කම්කරු පන්තියට එරෙහිව ධනේශ්වර ආන්ඩුව රැකීමේ වාසි සහගත උත්සුකයන් ඇත.

පීඑස්යූවී ක්ෂමාලාපකයින්ගේ ජාත්‍යන්තර සහවාසයේ වෙනිසුඑල්ඇනලිසිස් නම් වෙබ් අඩවිය, මැයි 20වැනිදා ජාත්‍යන්තර මාක්ස්වාදී ප‍්‍රවනතාවේ (අයිඑම්ටී) ජෝ මාර්ටින් විසින් ලියන ලද “වෙනිසියුලා- අවසාන අනතුරු ඇඟවීම” නම් ලිපියක් පල කලේ ය. බි‍්‍රතාන්‍යයේ හිටපු රැඩිකලයෙකු වන ඇලන් වුඩ්ස් විසින් මෙහෙයවනු ලබන අයිඑම්ටීය, දීර්ග කාලයක් තිස්සේ පීඑස්යූවීයේ “වාම” උපදේශකයෙකු ලෙස සේවය කර ඇති අතර, 1999දී චාවේස් බලය ගැනීමෙන් පසුව ප‍්‍රකාශ කර ඇත්තේ, ඔහුගේ ඊනියා බොලිවේරියානු විප්ලවය සමාජවාදය නියෝජනය කල බව යි.

කතුවරයා ලිපිය අරඹන්නේ වෙනිසියුලාව “ඉතා බැරෑරුම් අර්බුදයක” වෙලී ඇතැ යි පිලිගනිමිනි. “රට මුහුන දෙමින් සිටින බරපතල ආර්ථික ගැටලු තම වාසියට හරවා ගැනීමේ උත්සාහයක යෙදෙන ප‍්‍රතිගාමී විරුද්ධ පක්ෂය” මදුරෝ බලයෙන් ඉවත් කිරීමේ එල්ලය සහිත “අවුල් හා ප‍්‍රචන්ඩ තත්වයක් රට තුල ඇති කිරීමට වෑයම් කරයි.” ඔහු ලිය යි.

සීඅයිඒ ඒජන්තයින් හා සංගතවල ප‍්‍රධාන විධායකයින්ගෙන් සමන්විත දක්ෂිනාංශික විරුද්ධ පක්ෂය නිසැකව ම විශ්වාස කරන්නේ, වෝල් වීදියේ හා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ නියෝග ක‍්‍රියාවට නැගීමේදී පීඑස්යූවීයට වඩා තමන් ඒ සඳහා සුදුසු බව යි. නමුත් “රට මුහුන දෙමින් සිටින බැරෑරුම් ආර්ථික ගැටලුවල” හේතු කවරේ ද?

“පුද්ගලික ධනපතීන්” හා “පුද්ගලික අංශය” විනිමය සමපේක්ෂන හා පාරිභෝගික භාන්ඩ කලු වෙලඳපොල හරහා ආර්ථිකය මෙහෙයවා ඇති විවිධ ක‍්‍රම ලැයිස්තුවක් මාර්ටින් ඉදිරිපත් කර යි. “මෙම අස්ථාවර ආර්ථික විසන්ධිවීමේ එල්ලය, විප්ලවය සඳහා වැඩකරන ජනතාවගෙන් පල වන සහයෝගයට වල කපනු පිනිස ඔවුන්ට පහරදීම” යැයි ඔහු සඳහන් කර යි. “මෙම අස්ථාවර ආර්ථික විසන්ධියට එක් ප‍්‍රධාන හේතුවක් වන්නේ, ‘නිදහස් වෙලඳපොලේ’ සාමාන්‍ය ක‍්‍රියාකාරිත්වය නියාමනය කිරීමේ ඕනෑ ම උත්සාහයකට එරෙහිව ධනේශ්වර නිෂ්පාදකයින්ගේ ‘ස්වාභාවික’ කැරලි ගැසීම” යයි ඔහු වැඩි දුරටත් පවස යි.

මාර්ටින්ගේ තර්කය ගොඩනැගෙන්නේ අතිමූලික පරස්පරවිරෝධයක් මත ය. ආසන්න වසයෙන් දශක දෙකක පීඑස්යූවී පාලනයෙන් පසුව, කම්කරු පන්තිය එවැනි ව්‍යාකූලත්වයකට ඇද දැමිය හැකි පරිදි “පුද්ගලික ධනපතීන්ට” වෙනිසියුලානු ආර්ථිකය මත එවැනි පාලනයක් ඇටවීමට හැකිවී ඇත්නම් චාවේස්වාදය විප්ලවීය වන්නේ කෙසේ ද?

මාර්ටින්ට අනුව වර්තමාන අර්බුදය සඳහා චෝදනා නැගිය යුත්තේ පීඑස්යූවීයේ ජතිකවාදී හා ධනේශ්වර ගැති ක‍්‍රියාමාර්ගයට නොවේ.

ඒ වෙනුවට මාර්ටින් පවසන්නේ රාජ්‍ය බලය මත පීඑස්යූවීයේ වඩ වඩා ලිහිල් ග‍්‍රහනය වෙනුවෙන් දෝෂාරෝපනය කල යුත්තේ වෙනිසියුලානු කම්කරු පන්තියට බව යි. අද කම්කරු පන්තිය “හෙම්බත් මෙන් ම අබලන්” වන අතර “මීට පෙර විප්ලවයට සහාය දුන් නමුත් තව දුරටත් සහාය නො දෙන මහජනතාවගේ වැදගත් ස්ථරයකින්” සමන්විත වේ. “ප‍්‍රතිවිප්ලවයට එරෙහිව බලමුලු ගැන්වීමට මහජනයාට කරන ආයාචනය බීරි අලීන්ට වෙන වැයුමක් විය හැකි අනතුර පවතී.”

වෙනිසියුලානු ව්‍යාජ-වාම කන්ඩායමක් වන මරියා සෝෂලිස්ට්ටා (එම්එස්) විසින් ද එවැනිම තර්කයක් ඉදිරිපත් කෙරනු ලබ යි. අපේ‍්‍රල් 15 දා ජකොබින් වෙබ් අඩවියේ පලකල සම්මුඛ සාකච්ඡාවක දී, එම්එස් නායක සීසර් රොමේරෝ, චාවේස් පාලන කාලය විස්තර කලේ “විශාල ආයෝජන මෙන් ම බොහෝ වෙනිසියුලානුවන්ගේ ජීවන තත්වයේ සැලකිය යුතු වර්ධනයක් ඇති වීම නිසා සාධනීය එකක්” ලෙස ය. අද කම්කරු පන්තිය මුහුන දෙන සාගින්න හා මංමුලාව නො තකා හරිමින් රොමේරෝ වැඩි දුරටත් මෙසේ ද පවැසී ය: “මෙහි සංයුක්ත උදාහරන වන්නේ අන්ත දුගීභාවය සැලකිය යුතු තරම් අඩුවීම හා ජනගහනයෙන් සියයට 98කට දවසකට තුන් වේලක් ආහාර ගැනීමට හැකිවීම මෙන් ම සමබර ආහාරයක් තිබීම යි.”

“කෙසේ නමුත් වාර්තාව යහපත් වනවා පමනක් නොව, මෙම කාලය අතරතුර ඇතැම් විප්ලවවාදී වෙනස්කම් තිබූ නමුත් සමාජවාදී විප්ලවයක් ඇති නොවූ බව අප වටහා ගත යුතු ය” රොමෙරෝ පැවසී ය. එයට හේතුව, පීඑස්යූවී විසින් කරනු ලබන “වැරදි”, එනම් “තිරසාර ධනේශ්වර විරෝධී දේශපාලනයක් ගෙන යාමට” එයට නොහැකිවීම ය.

එම්එස් හා අයිඑම්ටී සංවිධාන සමාජ විශ්ලේෂනය සඳහා වන කාන්ඩයක් ලෙස පන්තිය යන්න පාවිච්චි කිරීම ප‍්‍රතික්ෂේප කරන අතර ඔවුන් යොදා ගන්නා වචන - “පුද්ගලික ධනවාදීන්”, “විප්ලවවාදී වෙනස්කම්”, “ධනේශ්වර විරෝධී දේශපාලනය” හා “මහජනතාවගේ තල්ලුව” - පීඑස්යූවීය ආරක්ෂා කිරීමේදී ඔවුන් මුහුන දෙන ආවේනික ප‍්‍රතිඝතිතා වසන් කිරීමේ උත්සාහයකි. ධනේශ්වර දේපල සම්බන්ධතා ආරක්ෂා කරන ආන්ඩුවකට සමාජවාදී ක‍්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට නො හැකිවීම “වැරදීමක්” නො වේ, එමෙන් ම ධනේශ්වර පක්ෂයක් මත “විප්ලවවාදී මහජනතාවගේ” “තල්ලුවට” කම්කරු පන්තියේ විප්ලවවාදී සමාජවාදී ව්‍යාපාරයක් වෙනුවෙන් ආදේශකයක් ද විය නො හැක.

මාරියා සෝෂලිස්ටා හා අයිඑම්ටී යන පක්ෂ දෙක ම නිගමනය කරන්නේ කම්කරු පන්තියට ඉටු කල යුතු ස්වාධීන කාර්යභාරයක් නැතිවාක් මෙන් ම පීඑස්යූවීය හා වෘත්තීය සමිති තුල හා ඒ වටා පෙල ගැසී සිටින සුලුධනේශ්වර ක‍්‍රියාකාරීන්ගේ ස්ථරයකට ඔවුන් යටත් විය යුතු බව යි. මාරියා සෝෂලිස්ටාවේ රෙමේරෝ පවසන්නේ “චාවේස්වාදයේ තීරනාත්මක සංරචක සමග” වම්මුන්ගේ කාර්තව්‍යය වන්නේ, “ප‍්‍රධානකොටම පාරිසරික ප‍්‍රශ්න, වර්ගවාදය හා ලිංගික අයිතීන් වටා පැන නැගී ඇති මහජන බලමුලු ගැන්වීමේ නව කවයන්” දිරිගැන්වීම පිනිස “ආන්ඩුවේ කොටසක් වීමට ප‍්‍රාර්ථනා කිරීම යි”.

මාර්ටින් පවසන්නේ, “මෑත වසරවල දී බොහෝ කුපිත වූ ද පෙරලිකාරී වී ඇත්තා වූ ද දියුනු ක‍්‍රියාකාරීන්ගේ ස්ථරයක් පවතින” අතර එම ස්ථරය තල්ලු කල යුත්තේ “බහුතරයේ අවශ්‍යතාවන් සපුරාලීම සඳහා නිෂ්පාදනයේ ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී සැලැස්මක්” ස්ථාපිත කරනු පිනිස පීඑස්යූවට පීඩනය යෙදීමට යි. මාර්ටින්ට අනුව, “(භාන්ඩ) හිඟයේ ගැටලුව විසඳීමට ස්ථිර හා තීරනාත්මක පියවර ගැනීමට බොලිවේරියානු නායකත්වයට අවශ්‍ය නම්, මෙය විප්ලවවාදී උද්යෝගයේ රැල්ලක් නැවත දල්වනු ඇත.”

ජාතික ධනේශ්වරයේ ඊනියා ප‍්‍රගතිශීලී කන්ඩායම් එකකට හෝ තව එකකට කම්කරු පන්තියේ විප්ලවවාදී කාර්යභාරය පවරන පලමු අය මරියා සෝෂලිස්ටා හා අයිඑම්ටී නොවේ. එම්එස් හා අයිඑම්ටීයේ පැබ්ලෝවාදී පුරෝගාමීන් විසින් දශක ගනනවාක් තිස්සේ ඉදිරියට දමන ලද එවැනි විග‍්‍රහයන් සමාජවාදයට විරුද්ධ ය. මධ්‍යම පන්තික ක‍්‍රියාමාර්ග මගින් ඇති කල අවමංගත කිරීම කම්කරුවන් හා තරුනයන් දේශපාලනිකව නිරායුධ කර ඇත. අද කලාපය පුරා පැතිර පවතින දූෂනය, අපරාධ, දරිද්‍රතාව හා අධික සූරාකෑමේ කොන්දේසි සඳහා පදනම් මේ මගින් සැකසුනි.

2016 පලමු මස සලකුනු කරන්නේ, ලතින් ඇමරිකානු ඉතිහාසයේ හැරවුම් ලක්ෂයකි. වෙනිසියුලා, බ‍්‍රසීල, ආර්ජන්ටිනා, ඉක්වදෝර, බොලීවියා හා කියුබාවේ ධනේශ්වර ජාතික “වාම” ආන්ඩුවල පිරිහීම ඔප්පු කරන්නේ, ජාතික රාජ්‍ය පද්ධතිය හා පුද්ගලික ලාභය පවත්වා ගෙන යාමට කැපවුනු වාම කයිවාරු සහිත ආන්ඩු හරහා ලෝක ධනේශ්වර ආර්ථිකයේ ප‍්‍රතිඝතිතා පරාජය කල නො හැකි බව යි.

මිලියන ගනනාවක් කම්කරුවන් හා තරුනයන් චාවේස් හා ඔහුගේ සමානයන් පිලිබඳව කලෙක දැරූ මිත්‍යාවන්, දේශපාලන සිදුවීම්වල බරින් කුඩුපට්ටම් වෙමින් පවතී. ලතින් ඇමරිකානු ධනේශ්වරයේ බලගතු කන්ඩායම් අස්ථාවරත්වයේ වාසිය ගසා කමින් සිටින්නේ, වෝල් වීදියට හා ඇමරිකානු අධිරාජ්‍යවාදයට ත්‍යාගයක් ලෙස මහාද්වීපය ප‍්‍රදානය කිරීම අරමුනුකර ගත් දක්ෂිනාංශික හැරීමක් සඳහාය. හරියට ම මේ අවස්ථාවේදී චාවේස්වාදය නැවත ප‍්‍රානවත් කිරීමට හා කම්කරු පන්තිය ජාතික ධනේශ්වරයට ගැට ගැසීමට ව්‍යාජ වම්මුන් ගන්නා උත්සාහය පරාජය කල යුතු ය.

ජාතික ධනේශ්වරය හා එහි සියලු ක්ෂමාලාපකයින්ගෙන් ස්වාධීනව ද ඔවුන්ට එරෙහි ව ද සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ක‍්‍රියාමාර්ගයක් ඉදිරිපත් කල යුතු ය. ඒ සඳහා අවශ්‍ය වන්නේ වෙනිසියුලාව හා ලතින් ඇමරිකාව පුරා හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවන් ගොඩනැගීම යි.

Share this article: