ට්‍රම්ප් ජනාධිපතිවීමේ සිද්ධිය ආසියා-පැසිෆික් සමලුව අරක්ගනී

Trump’s election overshadows Asia-Pacific summit

මයික් හෙඩ් විසිනි, 2016 නොවැම්බර් 21

ඇමරිකානු ජනාධිපතිවරනයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගැනීම මඟින් ලොව පුරා ආන්ඩු, අනිශ්චිත භාවය, අස්ථාවරත්වය හා දේශපාලන දිග පලල යලි මැන බැලීම කරා තල්ලුවී ඇති ආකාරය, මේ සති අන්තයේ පේරු රටේ ලීමා අගනුවර පැවැත්වූ ආසියා පැසිෆික් ආර්ථික සහයෝගිතා (ඒපෙක්) සමුලුව තුල දක්නට ලැබුනි.

තල්ලුවී යන ජනාධිපති බරක් ඔබාමා එය නිල වශයෙන් නියෝජනය කල ද ට්‍රම්ප්ගේ පත්වීම, රැස්ව සිටි රාජ්‍ය නායකයින් 21 දෙනා මත පතිත කලේ දිගු හෙවනැල්ලකි. නව පාලනය වඩාත් නග්න ලෙස ආරක්ෂනවාදය, ජාතිකවාදය හා මිලිටරි පිලිවෙතකට කැප වෙද්දී, සමුලුව පුරා පැතිර පැවතියේ පැහැදිලිවම වර්ධනය වන අශුභවාදයකි.

“ඇමරිකානු රැකියාවල” ආරක්ෂාව සඳහා බව පවසමින්, චීන හා අනෙකුත් ආනයන මත සියයට 45ක තීරු බදු පනවන බවට ට්‍රම්ප් කර තිබෙන තර්ජනය හමුවේ ඔහු, කලින් පැවති ආන්ඩු විසින් කලාපය තුල පශ්චාත් දෙවන ලෝක යුද්ධ අවධියේ ඇමරිකානු ආධිපත්‍යයම පවත්වාගෙන යාම සඳහා අනුගමනය කල “නිදහස් වෙලඳාමේ” මවාපෑම පවා ඉවත දමා ඇත.

ට්‍රම්ප් පත්වීමෙන් පසුව ඔබාමා, අන්තර් පැසිෆික් හවුල්කාරිත්වය (ටීපීපී) කොන්ග්‍රසයෙන් අනුමත කරවා ගැනීම පිනිස, ඉවත්වන තෙක් තනතුරේ රැඳී සිටින කාලය තුල උත්සාහ කරන බවට කලින් දුන් පොරොන්දුව ඉවත දමා ඇත. “නිදහස් වෙලඳාම” කෙසේ වෙතත්, කලාපය මත ඇමරිකානු ආර්ථික ආනුභාවය අභියෝගයකින් තොරව පවත්වා ගැනීම පිනිස, චීනය ඉවත්කර ඇමරිකාවේ මූලිකත්වයෙන් වෙලඳ හවුලක්, මෙම ගිවිසුම අනුව පිහිටුවීම අරමුන වී තිබේ.

ඔබාමා පුන පුනා කියා ඇති පරිදි ටීපීපී, බීජිනයේ නැඟී එන අනුහස පැරදවීම අරමුනු කරගත්, ආසියාවට “හැරීමේ” ඇමරිකානු මූලෝපායේ ආර්ථික හස්තයයි. ඔහු පැවසූ පරිදි ටීපීපී හරහා, ගෝලීය වෙලඳාම පිලිබඳ රෙගුලාසි සකසන්නේ ඇමරිකාව මිස චීනය නොවේ. කෙසේ වෙතත්, “ඇමරිකාව පලමුව” යන ට්‍රම්ප්ගේ ආරක්ෂනවාදය, “නිදහස් වෙලඳාම හා විවෘත වෙලඳපොල” යන කඩතුරාව ඉරා දමා, තමන්ගේ සියලුම එදිරීවාදීන්, විශේෂයෙන්ම චීනය, මත යුදවාදී ආකාරයට ඇමරිකානු අවශ්‍යතා පටවනු ඇත.

දිග්ගැස්සුනු ඇමරිකානු මැතිවරන ව්‍යාපාරය පුරා ට්‍රම්ප්, රටෙහි කම්කරු පන්තියේ උග්‍ර අතට හැරෙමින් ඇති නොසංසුන්තාව ද ඇමරිකානු ව්‍යාපාර හා දේශපාලන සංස්ථාපිතයෙන් ඔවුන් දුරස්ත වීම ද ගසාකෑමට උත්සාහ කලේ, එරට එදිරිවාදීන්ගේ, විශේෂයෙන්ම චීනයේ හා ජපානයේ වියදමෙන්, “ඇමරිකානු රැකියා” රැකගන්නා, “යලි වතාවක් ඇමරිකාව ශ්‍රේෂ්ඨත්වයට පත්කරන” පොරොන්දු මගින්ය.

ඇමරිකානු අවශ්‍යතා නිර්දය ලෙස අවධාරනය කරන තතු හමුවේ අනෙකුත් සෑම ආන්ඩුවකටම, සෘජු ආර්ථික ගැටුමකට මුහුනදීම සඳහා සිය තත්වය යලි සකසා ගැනීමට බලකෙරී තිබේ.

සමුලුවේදී කථාකරමින් චීන ජනාධිපති සී ජින් පිං, ඉන්දියාව ඇතුල්කර ගන්නා නමුත් ඇමරිකාව ද ඇතුලු ඒපෙක්හි අනෙකුත් උතුරු හා දකුනු ඇමරිකානු සාමාජිකයින් ඉවත්කරන, චීනයේ මූලිකත්වයෙන් යුත් පූර්න ආර්ථික හවුල්කාරිත්වයක් ගොඩනැඟීමේ යෝජනාවක් ඉදිරිපත් කලේය.

රාජ්‍යතාන්ත්‍රික හේතු නිසා සී, එම හවුල්කාරිත්වය සියලු ඒපෙක් සාමාජිකයින් ඇතුලත් කර ගන්නා, ආසියා පැසිෆික් කලාපයේ පුලුල් නිදහස් වෙලඳ හවුලක් දිසාවට තබන පියවරක් ලෙස අංගලක්ෂනය කලේය. එම චීන සැලසුම් වලට සහය දීම වෙනුවෙන්, චීනයේ වෙලඳපොලවල් හා ලාභ ශ්‍රමය, තවදුරටත්අන්තර්ජාතික සංගතවල සූරාකෑම සඳහා නිරාවරනය කිරීමට සී පොරොන්දු විය.

“අපි විදේශ ආයෝජනයන්ට පුලුල් ප්‍රවිෂ්ටයක් සලසා දෙන අතර ඉහල මට්ටමේ ප්‍රමුඛ නිදහස් වෙලඳ කලාප චීනය තුල පිහිටුවන්නෙමු” යයි සී පැවසීය. “චීනයේ ආයෝජන වාතාවරනය වඩාත් විවෘත හා වාසිදායක වනු ඇති ඇති අතර විදේශ සමාගම් වලට චීනයේ වර්ධන අවස්ථාවන් හි කොටස්කාරයින් වීමට ඉඩ සැලසෙනු ඇත.”

ආයෝජන හා වානිජ යන අවස්ථා පොරොන්දුවීම මගින් චීනයට එරෙහි ඇමරිකාවේ “හැරීමට” අනුබද්ධව සිටි එරට හිටපු සහචරයින් බිලිබා ගැනීමේ බීජිනයේ වෑයම, ඔහුගේ හඬ වේගවත් වීමෙන් පෙන්නුම් කලේය. මෑත සතිවලදී එසේ නම්මා ගත් පිලිපීනයේ ජනාධිපති රොඩ්රිගෝ දුතර්තේ හා මැලේසියාවේ අගමැති නජීබ් රසාක්ට එවැනි වාසි සලසා දී ඇත.

තවමත් ප්‍රසිද්ධියේ ටීපීපීය වැලඳගෙන සිටින ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය, එම බලාපොරොත්තු සුන් වන්නේ නම්, තමන්ට ද චීන මූලිකත්වය අනුගමනය කිරීමට බලකෙරෙනු ඇති බවට අනතුරු අඟවා තිබේ. රටවල් දෙකම උග්‍රත අතට හැරෙමින් තිබෙන උභතෝකෝටිකයකට මුහුන පා සිටී. එනම්, ඔවුන් අපනයන සඳහා බෙහෙවින් චීනය මත වාරුවී සිටියදී, දෙවන ලෝක යුද්ධ අවධියේ පටන් ඇමරිකාව සමඟ මිලිටරි හා මූලෝපායික සන්ධානයන් මත රඳා පැවතීමයි.

එම හවුල්කාරිත්වය ගැන මාධ්‍යවේදීන් අමතා කථා කරමින් ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල්, “එය ටීපීපී තරම් දුර නොයන නමුත් අපගේ අපනයන සඳහා තව තවත් වෙලඳපොලවල් අපට ලබාගත හැකි නම් එය යහපත්” බව පැවසීය. ඒපෙක් සමුලුවට යන අතර ටර්න්බුල්, ට්‍රම්ප් සමඟ හමුවක් යොදාගැනීමට උත්සාහ කල නමුත් ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප විය. එමඟින් නව ජනාධිපති පිලිබඳ කැන්බරාවට ලැබෙන ඇඟවුම් තවත් නරක අතට හැරිනි.

එසේම නවසීලන්ත අගමැති ජෝන් කේ පැවසුවේ, කලාපය තුල ඇමරිකාව වැදගත් හවුල්කාරයෙකු වුවත්, ට්‍රම්ප් පාලනය ඊනියා නිදහස් වෙලඳමෙන් පසුබසින්නේ නම්, ඒ හිඩැස චීනය විසින් පුරවනු ලබන බවයි. ට්‍රම්ප්ගේ වානිජමය පිලිවෙත් මඟින් “බලාපොරොත්තු සුන් කරන” බව කේ තවදුරටත් කියා සිටියේය.

ජපානයේ පාලක පන්තිය උග්‍ර අර්බුදයකට මුහුනපා ඇත. බීජිං තන්ත්‍රයේ උග්‍ර ජාතිකවාදී ප්‍රකාශනයක් වන ග්ලෝබල් ටයිම්ස් පත්‍රය, රටේ දිග්ගැස්සෙන ආර්ථික පල්වීම ජයගැනීමේ මාධ්‍යයක් ලෙස ටීපීපී වෙත බෙහෙවින් බලාපොරොත්තු තබා සිටින ජපාන අගමැති ෂින්සෝ අබේ ආන්ඩුව, කෙරෙහි ට්‍රම්ප්ගේ පිලිවෙත් කෙසේ බලපාන්නේ ද යන්න පිලිබඳව හඬ නැඟීය.

එහි කතුවැකිය මෙසේ පවසයි. “තමා ටීපීපී කටුගා දමා ජපානයේ රඳවා සිටින ඇමරිකානු මිලිටරිය සඳහා එරට ගෙවීම් කල යුතු බවට ට්‍රම්ප් කරන ප්‍රකාශ, චීනය මට්ටු කිරීමේදී ඇමරිකාව මත වාරුවී සිටින ජපානයේ මූලෝපාය බංකොලොත් වීමේ අවදානමට මුහුනපෑමෙන් අබේ කැලඹීමට පත්ව ඇත. ආසියානු-පැසිෆික් කලාපයේ භූදේශපාලනය හැඩගැස්වීමේදී චීනයට වඩා සුදුසුකම් ඇත.”

තවමත් ගෝලීය ආර්ථිකයේ තුන්වන විශාලතම ආර්ථිකය වන ජපානයේ ආන්ඩුව, තමන්ගේම අධිරාජ්‍යවාදී අවශ්‍යතා පෙරට ගෙනයාමේදී, ටීපීපී තමන්ගේ මූලිකත්වයෙන් යුත් හවුලක් ලෙස යලි සකසා ගැනීමට උත්සාහ කරනවා විය හැකිය. ජපාන ටයිම්ස් පත්‍රයට අනුව, ටීපීපීයට අයත් රටවල් 12 නායකයෝ, ගිවිසුම දේශීයව අත්සන් තැබීමට දරන උත්සාහය දැඩි කිරීමට 19දා එකඟත්වයකට පැමිනියහ. අබේ උපුටා දක්වමින් එය මෙසේ ලිවීය. “අපි අපගේ දේශීය ක්‍රියාකලාපය නතර කලහොත් ටීපීපී මුලුමනින්ම මිය යනු ඇත.”

ඒපෙක් සමුලුවට යන අතරතුර අබේ, කඩිමුඩියේ ට්‍රම්ප් හමුවක් සංවිධානය කර ගත්තේය. එය ට්‍රම්ප්ගේ පිලිවෙත් සම්බන්ධයෙන් ටෝකියොවේ කනස්සල්ල පෙන්නුම් කරයි. එහිදී ඇමරිකානු-ජපාන සන්ධානයේ වැදගත්කම පිලිබඳ පුහු ප්‍රකාශ පුනරුච්ඡාරනය විය. අබේ ඒපෙක් සමුලුව යොදාගනිමින් රුසියාව, දකුනු කොරියාව හා පිලිපීනය ද ඇතුලු අනෙකුත් රටවල් සමග ද බැඳීම් තරකර ගැනීමට උත්සාහ කලේය. ඒ ඇමරිකාවේ මාරුව මගහරිමින් චීනය මට්ටු කිරීමටය.

ඒපෙක් සමුලුව අවසන් වූයේ, “වෙලඳාම පිලිබඳව නැගී එන සංශය” මධ්‍යයයේ “අපගේ වෙලඳපොලවල් විවෘතව තබන” බවට රටවල් 21 සාමාජිකයින්ගේ එකඟත්වය පල කරන, සංකේත ප්‍රකාශනයක් නිකුත් කරමිනි. කෙසේ වෙතත් ව්‍යාපාරික මාධ්‍යයේ පිටු අතර දක්නට ලැබෙන්නේ, වෙනස්වූ නිගමන උපුටාගෙන ඇති බවකි.

මර්ඩොක්ගේ ඕස්ට්‍රේලියන් ටුඩේ පුවත් පතට ලිවූ හෙන්රි ඒගාස් අනාවැකි පල කලේ, ට්‍රම්ප්ගේ ආරක්ෂනවාදය, “ඕස්ට්‍රේලියාවට මෙන්ම සමස්ත ලෝකයටම ද දැවැන්ත වියදම් සහිත වෙලඳ යුද්ධ” පිපිරී යාමේ කොන්දේසි සකසනු ඇත යනුවෙනි. සමහර දේශපාලන හා මාධ්‍ය පන්ඩිතයින්, තනතුර බාරගැනීමෙන් පසුව ට්‍රම්ප් සිය ආක්‍රමනකාරී පිලිවෙත ලිහිල් කරනු ඇතැයි පතුරවන මිත්‍යාව ගැන, ඒගාස් මෙසේ අනතුරු අඟවයි. ඇමරිකාවේ “මලකඩ තීරුව” (industrial belt) තුල තව තවත් රැකියා අහෝසි වීමේ “වේදනාව,” “තම උද්ඝෝෂනය තුල ප්‍රමුඛත්වයට පත් වානිජ්‍ය විරෝධී කයිවාරුවෙන් පසුබැසීම, ට්‍රම්ප්ට එන්ට එන්ටම දුෂ්කර කරනු ඇත.”

1930 ගනන්වල මෙන් වෙලඳ යුද්ධය අනිවාර්යයෙන්ම තුඩු දෙන්නේ යුද්ධයටය. ට්‍රම්ප්, ඇමරිකානු හමුදාව 550,000 දක්වාත් නාවික හමුදා නැව් සංඛ්‍යාව 350 දක්වාත් වැඩිකරන බවට දිව්රා තිබේ. පසුගිය සතියේ ඒ ගැන සඳහන් කල ඔහුගේ එක් උපදේශකයෙකු වන හිටපු නිව් යෝර්ක් නගරාධිපති රූඩි ගුලියානිට අනුව, එමගින් “චීනයට පැසිෆික් කලාපය තුල අපට සමවීමට නොහැකි” වනු ඇත.

ට්‍රම්ප්ගේ පත්වීමෙන් නිර්මානය වී ඇති විසිරීම, ආසියා පැසිෆික් කලාපය තුල අධිකාරය දරන්නේ කුමන බලවතා ද යන්න මත ව්‍යසනකාරී ආර්ථික හා මිලිටරි ගැටුම් පැනැනැගීමේ කොන්දේසි පිලිබඳ පෙර ඇඟවුමකි.

Share this article: