යුද්ධයේ හා විප්ලවයේ යුගයකදී දර්ශනවාදය හා දේශපාලනය
ෆ‍්‍රැන්ක්ෆර්ට්හි ග'තේ විශ්වවිද්‍යාලයේදී පැවැත්වූ දේශනයක්

Philosophy and Politics in an Age of War and Revolution
A lecture delivered at the Goethe University in Frankfurt

ඩේවිඩ් නෝර්ත් විසිනි, 2016 ඔක්තෝබර් 25

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කතෘ මන්ඬලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් මෙම දේශනය පවත්වන ලද්දේ , ඔක්තෝබර් 22දා ෆ‍්‍රැන්ක්ෆර්ට්හි ග'තේ විශ්වවිද්‍යාලයේදීය. සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානයේ ඇරයුම පරිදි සිය The Frankfurt School, Postmodernism and the Politics of the Pseudo-Left(ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය, පශ්චාත් නූතනවාදය හා ව්‍යාජ වමේ දේශපාලනය) කෘතිය හඳුන්වා දෙමින් නෝර්ත් කථා කලේය.

ඩේවිඩ් නෝර්ත් ෆ‍්‍රැන්ක්ෆර්ට්හි රැස්වීම අමතමින්

ෆ‍්‍රැන්ක්ෆර්ට්හි ග'තේ විශ්වවිද්‍යාලයේදී කථා කිරීමට අවස්ථාවක් සලසා දීම සම්බන්ධයෙන් මම සසජාතශි වෙත මගේ කෘතඥතාවය පල කිරීමට කැමැත්තෙමි. මගේ දේශනයෙහි මාතෘකාව “යුද්ධයේ හා විප්ලවයේ යුගයකදී දර්ශනවාදය හා දේශපාලනය” යන්නයි. මේ සැන්ඳෑවේ මා සාකච්ඡා කරන න්‍යායික ප‍්‍රශ්න කරා ප‍්‍රවිෂ්ටය හා ඒ පිලිබඳ මගේ උනන්දුවේ ස්වභාවය එම මාතෘකාවෙන් ඇඟවුම් කරයි. ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය හා පශ්චාත් නූතනවාදය පිලිබඳ මගේ විවේචන, ශාස්ත‍්‍රාලික ස්වභාවයකට වඩා ගන්නේ දේශපාලන ස්වභාවයකි.

මෙම ගුරුකුලයේ නියෝජිතයින් පුලුල් වශයෙන්, සමාජ වෙනසේ කාලීන හා විප්ලවවාදී පවා වන, න්‍යායික හා බුද්ධිමය පදනම් සම්පාදනය කල හැකි චින්තනයේ රැඩිකල් ප‍්‍රවනතාවක් නියෝජනය කරනවා යයි විශ්වාස කිරීම හමුවේ, මෙම ප‍්‍රවිෂ්ටය අවශ්‍ය බව මගේ විශ්වාසයයි. මාක්ස්වාදය අවශ්‍ය නිවැරදි කිරීම් සහිතව සංශෝධනය කර නැතිනම්, එහි අනදාලත්වය හෙලිදරව් කර ඇත, යන ඔවුන්ගේ ප‍්‍රකාශ, පැහැදිලිවම සාවද්‍ය හා ඉවසා සිටිය නොහැකි දේය.

ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලයේ හා පශ්චාත්නූතනවාදයේ විවිධ ප‍්‍රභේදයන්හි නියෝජිතයන් විසින් භාවිත කෙරෙන හිතාමතාම ගූඪකරනය කෙරුනු වාග් ශෛලිය මගින් කෙතරම් සඟවා තැබූව ද ග‍්‍රීසියේ සිරිසාවේ අතිශය නින්දිත යටත්වීමෙන් පසු, ග‍්‍රීක සුලු ධනේශ්වරයේ අතිශය සමෘද්ධිමත්, උදාසීන, ස්වයං-තෘප්ත මධ්‍යම පන්තික කොටස්වල උත්සුකයන් නියෝජනය කරන ප‍්‍රතිගාමී පක්ෂයක් ලෙස ඔවුන් හෙලිදරව් වීමෙන් පසු, ශාස්ත‍්‍රාලීය පශ්චාත්-මාක්ස්වාදයේ ප‍්‍රමුඛයන්ට, කම්කරු පන්ති උත්සුකයන්ට විවෘතවම සතුරු දේශපාලන වැඩ පිලිවෙලවල් සමග ඇති සමීප සම්බන්ධය තවදුරටත් ප‍්‍රතික්ෂේප කල නොහැක්කක් බවට පත්ව ඇත.

අපේ මෙම රැස්වීම පැවැත්වෙන්නේ සුවිශේෂී ඓතිහාසික හා දේශපාලනික සංවත්සරයක අද්දරෙහි ය. 1991 දෙසැම්බර් 26 වන දින සෝවියට් සංගමය නිල වශයෙන් විසුරුවා හරින ලදී. සමාජවාදය පරිපූර්නවම ප‍්‍රතික්ෂේප වීමක් ලෙස ද ධනවාදය ලැබූ විජයග‍්‍රහනයක් ලෙස ද සමස්ත ලෝකය පුරාම පාහේ මෙම සිදුවීම අර්ථ දක්වනු ලැබ ඇත. ධනවාදී පදනමක් මත හැර වෙනත් කවර හෝ පදනමක් මත සමාජය සංවිධානය කිරීමට නොහැකි බැව් සෝවියට් සංගමයේ අවසානය විසින් ප‍්‍රදර්ශනය කරනු ලැබ ඇතැයි සලකනු ලැබේ. 1917 ඔක්තෝබර් විප්ලවයෙන් වසර හැත්තෑ හතරකට පසු, අසංයත වෙලඳපොල ආර්ථිකයේ පදනම මත ලෝකය යලි සැකසීමට නිදහසේ ක‍්‍රියා කල හැකි අවස්ථාවක් ධනේශ්වර ප‍්‍රභූවට දැන් හිමි වීමට නියමිත විය. එක්සත් ජනපද ජනාධිපති, “නව ලෝක පර්යාය”ක ආරම්භය ප‍්‍රකාශයට පත් කලේය. සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් යන්තම් සති හයක් ගත වූ තැන, 1992 පෙබරවාරි 7 වන දින, යුරෝපා සංගමය හා යුරෝ මුදල් ඒකකය සංස්ථාපනය කිරීමෙහි ලා පදනම් ලූ මස්ට්‍රිච්ට් ගිවිසුම අත්සන් තබන ලදී.

කිසිසේත් සුලුපටු නොවූ ඓතිහාසික වංචාවක සංරචකයක් මේ විජයග‍්‍රහනවාදී ප‍්‍රමෝදය තුල ගැබ් ව තිබින.

පලමුව, 1991 දී සිදු වූ සෝවියට් සංගමයේ අවසානය විසින් ඊට වසර 74 කට ඉහත සිදු කෙරුනු සමාජවාදී විප්ලවයේ සමස්ත ඓතිහාසික උරුමය මුලිනුපුටා දැමුනේ නැත. ඔක්තෝබර් විප්ලවය වූ කලී ලෝක ඉතිහාසයේ නිර්මානාත්මක සිදුවීම් අතරට ගැනෙන්නෙකි. 1917 ඔක්තෝබරයේ බෝල්ෂෙවික් පක්ෂය දේශපාලන බලය අත්පත් කර ගැනීම ලෝකයම සෙලවූ සිදුවීමක් විය. පෘථිවි ගෝලය පිස දා හමා ගිය විප්ලවවාදී, ධනේශ්වර විරෝධී හා අධිරාජ්‍ය විරෝධී අරගලයන්ට දේශපාලන ආවේශය එමගින් සම්පාදනය කෙරිනි. ශ්‍රේෂ්ඨ විප්ලවය සෝවියට් සංගමයේ දේශසීමා ඉක්මවා යමින් පොදුජන විඥානය ඉහල දැමීය. විප්ලවයේ හා එහි ඵලවිපාකවල ඉතිහාසය සම්බන්ධයෙන් බැරෑරුම් හැදෑරීමකින් තොරව -විසි එක් වන සියවසේ ලෝකය කෙසේ වෙතත්- විසිවන සියවස හෝ වටහා ගැනීම නොකල හැක්කකි.

වංචාවේ දෙවැනි සංරචකය වන්නේ, ධනවාදය පුනස්ථාපනය කිරීමට පැවැති සියලු බාධක ඉවත් කරමින් 1991 දෙසැම්බරයේ තෙමේම විසුරුවාගත් තන්ත‍්‍රය, සමාජවාදය හා මාක්ස්වාදය සමග අනන්‍ය කිරීමයි. ගොර්බචොව් විසින් නායකත්වය දෙන ලද රාජ්‍යය ස්ටැලින්වාදී විනා සමාජවාදී රාජ්‍යයක් නොවීය. ගොර්බචොව් කටයුතු කලේ, මාක්ස්වාදී බුද්ධිමතුන් හා කම්කරු පන්තියේ බෝල්ෂෙවික් - සමාජවාදී පෙරටු බලඇනිය තථ්‍ය ලෙසම මුලුමනින් මූලෝත්පාටනය කල භීෂන ව්‍යාපාරයක් තුලින්, 1930 ගනන්වලදී සිය බලය තහවුරු කර ගත් නිලධාරිවාදී තන්ත‍්‍රයේ ප‍්‍රධානියා ලෙසය. 1991 දෙසැම්බරයේ සෝවියට් සංගමය විසුරුවා හැරීම ඊට හැට වසරකට ආසන්න කාලයකට ඉහත දී ලියොන් ට්‍රොට්ස්කි කල අනතුරු හැඟවීම් සනාථ කලේය: එක්කෝ කම්කරු පන්තිය නිලධරය පලවා හරිනු ඇත, නැතහොත් නිලධාරී තන්ත‍්‍රය සෝවියට් සංගමය විනාශ කරනු ඇත.

සෝවියට් සංගමය විසුරුවා හැරීම, ලෝක ධනවාදයේ දේශපාලන නායකයන් බොහෝ දුරටම මවිතයට කාරනයක් විය. 1989 දී නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී තන්ත‍්‍ර බිඳ වැටීමෙන් පසුව පවා, සෝවියට් සංගමය ඉදිරි දශක ගනනාවක් පුරා පවතිනු ඇතැයි පුලුල් උපකල්පනයක් පැවතිනි. ගොර්බචොව්ගේ පෙරස්ට්‍රොයිකාව විසින් නියෝජනය කෙරෙන්නේ ස්ටැලින්වාදී තන්ත‍්‍රයේ මරලතෝනිය බවට, 1986 තරම් ඉහත කාලයක දී පෙර දුටුවේ, සැබැවින්ම හතරවැනි ජාත්‍යන්තරය - ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය - පමනකි. නැගෙන කම්කරු පන්ති විරෝධය හමුවේ භීතියට පත් වූ හා සිය වරප‍්‍රසාද ආරක්ෂා කර ගැනීමෙහි ලා උමතුසහගත වූ, දරදඬු නිලධාරිවාදී ප‍්‍රභූව ධනවාදී පුනස්ථාපනය සූදානම් කරමින් සිටියේය.

සෝවියට් සංගමය විසුරුවා හැරීම පිලිබඳ ජයග‍්‍රාහිවාදී පැහැදිලි කිරීමේ ප‍්‍රධාන ගැටලුව වන්නේ, ලෝක ධනේශ්වර ක‍්‍රමය මුහුන පා සිටින ඓතිහාසික තත්වය පිලිබඳ විකාරරූපී ලෙස සාවද්‍ය, ඇස්බැන්දුමක්යැයි පවා කිවහැකි, තක්සේරුවකට එමගින් රුකුල් දීමයි. 1917 විප්ලවය හා එහි කැලඹිලිකාරී ප‍්‍රතිවිපාක කිසිදා සිදු නොවූ සේ, මෙම ග‍්‍රහලෝකය ආර්ථික, දේශපාලනික හා සාමාජීය වශයෙන් ප‍්‍රතිසංවිධානය කිරීමේ කටයුතු මෙතැන් පටන් ඉදිරියට යනු ඇතැයි තෙමේම ඒත්තු ගන්වා ගැනීමට මෙහි නායකයෝ සමත් වූහ. “ඉතිහාසයේ අවසානය” ප‍්‍රකාශයට පත් කල ෆ‍්‍රැන්සිස් ෆුකුයාමා සහ 1914 ප‍්‍රථම ලෝක යුද්ධය පැන නැගීමත් 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීමත් අතර කාලාන්තරය සමන්විත වන්නේ “කෙටි විසිවන සියවසකිනැ”යි යන අදහස පතල කල එරික් හොබ්ස්බෝම් වැනි ලේඛකයන් විසින්, මෙම මිත්‍යාවන්ට බුද්ධිමය නීත්‍යානුකුල භාවයක් ලබා දුනි. යුද්ධයේ හා විප්ලවයේ උන ව්‍යාධිය අවසානයේ බිඳ වැටී ඇති බවත්, ධනේශ්වර සමාජයේ සාමාන්‍ය සංවර්ධනය දැන් පෙරට යනු ඇති බවත් ඔවුහු කියා සිටියහ.

සෝවියට් සංගමයේ අවසානය පිලිබඳ මෙම ඇගයීම් සම්බන්ධයෙන්, තීන්දුවක් ප‍්‍රකාශ කල හැකි තැනක අපි දැන් සිටින්නෙමු. ධනවාදයේ ඓතිහාසික විජයග‍්‍රහනය ප‍්‍රකාශයට පත් කිරීම, අඩුම තරමින් කිවහොත්, අකල් හා අපරිනත විය. ඉතිහාසය අවසාන වී නැති අතර, නව සියවසේ කම්පනයන් ගෙන එන්නේ, බොහෝ කොටම විසිවන සියවසට සමීප හුරුපුරුදු බවකිනි. සමාජවාදයේ හා මාක්ස්වාදයේ අවතාරය ගැන බියෙන් තම උරට උඩින් පිටුපස බලමින් සිටීමට සිදුව තිබීමෙන් අත් මිදී ගත් කල්හි, තමන්ට කල හැකි තරම අපට පෙන්වීමට ලෝක ධනේශ්වරයට අවුරුදු විසි පහක් තිබින. ඔවුන්ගේ ආයාසයේ ප‍්‍රතිඵලය කුමක්ද?

සෝවියට් සමූහාන්ඩුව විසුරුවා හැර ශත වර්ෂ කාලකින් ඉක්බිතිව, පශ්චාත් සෝවියට් ධනේශ්වර ලෝකය ජීවිතය හා මරනය නිර්නය කෙරෙන පරිමානයේ ලෝක අර්බුදයකින් වැනසී යමින් තිබේ. වෝල්ටෙයාර්ගේ (කැන්ඩිඞ්හි එන) වෛද්‍ය පන්ග්ලොස්ට යලි පන දී නූතන ලෝකයේ තත්වය පිලිබඳව විමසුවහොත්, බොහෝවිට ඔහු අපේක්ෂා භංග දුර්මුඛ භාවයෙන් සිය දෑත් අහසට දිගුකරනු ඇත. දේශපාලන, ආර්ථික සමාජ හා සංස්කෘතික යන කවර තලයක වේවා, ධනේශ්වර සමාජය මුහුන පා සිටින්නේ මහා අවපාතයේ හා දෙවැනි ලෝක යුද්ධයේ වකවානුව සමග පමනක් සැසඳිය හැකි අර්බුදයකටය. එඩුවාඩ් බර්න්ස්ටයින්ගේ ආභාෂය ලද පලමු ලෝක යුද්ධයට පූර්ව යුගයේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රයේ පැරනි සංශෝධනවාදීහු, Zusammenbruchstheorie (බිඳ වැටීමේ න්‍යාය) පිලිබඳව විහිලු කරන්නට පුරුදුව සිටියෝය. එය කිසිසේත්ම විහිලුවක් නොවන බැව් 1914 දී ඔප්පු විය. අප අද දින සිටින්නේ ඉමහත් ව්‍යසනකාරී ප‍්‍රතිවිපාක ගෙන ඒමට තර්ජනය කරන, වැඩිවර්ධනය වෙමින් පවත්නා, සමස්ත සමාජ ක‍්‍රමය අලලා ගත් අර්බුදයක මධ්‍යයේය.

ආර්ථික පෙරමුනේ දී ධනේශ්වර ක‍්‍රමය නොන්ඩි ගසමින් ගොස් එක් අර්බුදයකින් තවත් අර්බුදයක් කරා ඇද වැටී තිබේ. 2008 බිඳ වැටීම ලෝක ආර්ථිකය අගාධයක අද්දර කරා ගෙන ආවේය. ඉන් දශකයකට ආසන්න කාලයකින් අනතුරුව ලෝක ආර්ථිකය එක තැන පල් වෙමින් තිබේ. වර්ධන වේගය ඉදිරි වසර ගනනාවකට නැත්නම්, ඉදිරි දශක ගනනාවකට පහත මට්ටමක පවතිනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පිලිගනිති.

පසුගිය දශක දෙක තුල අත්දකිනු ලැබුවේ, සමාජ අසමානතා මට්ටමෙහි අසාමාන්‍ය ඉහල යාමකි. එක් අධ්‍යයනයක් මගින් අනාවරනය කෙරුනු පරිදි, ලෝකයේ ධනවත්ම 62 දෙනා සතු වත්කම් වල එකතුව, ලෝක ජනගහනයෙන් පහල අඩ සතු වත්කම් ඉක්මවා යයි: එනම්, 62 දෙනෙකු සතු වත්කම බිලියන 3.5 ක් (ලක්ෂ 35,000 ක්) මිනිසුන් සතු දේට වඩා වැඩිය. සාමාන්‍යය සැලකිල්ලට ගත් විට මේ 62 දෙනා ගෙන් එකෙකුට දුගීම මිනිසුන් 560 ලක්ෂයක් සතු මුලු වත්කමට වඩා වැඩි වත්කමක් හිමිය! ඒ සා මහා පරිමාන සමාජ අසමානතාවයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සමග අනනුකූල වේ. ලෝකය පුරා ප‍්‍රතිගාමී පක්ෂ වර්ධනය වීම පිලිබිඹු කරන්නේ, ධනපති ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතනවල ස්වශක්තතාවය පිලිබඳ විශ්වාසය සහමුලින්ම පාහේ බිඳ වැටී තිබීමයි. ඉදින් මෙම ආයතන බහුජන විශ්වාසය රැක ගත යුත්තේ මන්ද? පසුගිය ශතවර්ෂ කාල පුරා වැඩකරන ජනයාගේ පුලුල් කොටස් අත්දුටුවේ සිය ජීවන තත්වයන්හි අඛන්ඩ පිරිහීමකි. මේ තතු හමුවේ, යුරෝපා සංගමය පිලිබඳ ව්‍යාපෘතිය අපකීර්තියට පත්වී ඇති අතර එහි ප‍්‍රතිඵලය, බ්‍රිතාන්‍ය ජනමත විචාරනය Brexit (බ්‍රිතාන්‍යය ඉවත්වීම) ජය ගැනීමයි.

තවද, ලෝක ධනවාදයේ මහා බලකොටුව වන එක්සත් ජනපදය තුල, කෝටි සංඛ්‍යාත වැඩකරන ජනයාගේ ඉච්ඡාභංගය හා විශ්වාස භංගය, ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ නැගීම තුල තම දේශපාලනික අවමංගත වීමේ ප‍්‍රකාශනය සොයා ගෙන ඇත. මෑතකදී ඇමරිකානු මැතිවරනය පිලිබඳ විවරනයක යෙදෙමින් ජර්මනියේ Die Zeit (දි සයිට්) පුවත්පත මෙසේ ප‍්‍රශ්න කලේය: “ඇමරිකානුවන්ට පිස්සු හැදිලාද?” දුර සිට බලන විට ඇත්තෙන්ම ඔවුන්ට පිස්සු හැදී ඇතැයි පෙනෙනු විය හැකිය. දූෂකයෙකු හා ෆැසිස්ට්වාදී වංචනිකයෙකු වන ඩොනල්ඩ් ට‍්‍රම්ප්ට ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් එකක ජනාධිපති නාමයෝජනා ලබා ගත හැකි වූයේ කෙසේද? එසේවෙතුදු, මෙය ජර්මානුවන්ට පිලිතුරු දිය හැකි ප‍්‍රශ්නයකි. මේ රටේ පුරවැසියන්ට එක්සත් ජනපදය තුල දිග හැරෙමින් පවත්නා දේශපාලන ක‍්‍රියාදාමයන් වටහා ගැනීම දුෂ්කර විය යුතු නොවේ. අවුරුදු අසූ අටකට ඉහත දී ලියොන් ට්‍රොට්ස්කි හිට්ලර්ගේ ජනප‍්‍රියත්වයේ ප‍්‍රභවයන් පැහැදිලි කලේය:

විනාශයට පත් හා විනාශයේ ගිලී යමින් සිටි, තුවාල කැලැල් හා අලුත් තුවාලවලින් යුත් කොතෙකුත් ජනයා රට තුල සිටියෝය. ඔවුන් සියල්ලන්ටම සිය මිට මොලවා ගත් අත්වලින් මේසයට තඩි බාන්නට අවශ්‍ය ව තිබින. මේ හිට්ලර්ට අන්‍යයන්ට වඩා හොඳින් යමක් කල හැකිය. සත්‍යයකි, අනර්ථය සුවපත් කල හැක්කේ කෙසේදැයි ඔහු දැන සිටියේ නැත. එහෙත් මහ හඬ තැලූ ඔහුගේ දේශනා විටෙක යුදබිමේ අනදීම් සේ ද තවත් විටෙක දයා විරහිත ඉරනම අමතන යාඥාවන් සේ ද පිලිරැව් දුන්නේය. (1)

දයා විරහිත හා වධක සමාජය විසින් පමුනුවන ලද තුවාල කැලැල් හා අලුත් තුවාලවලින් යුත් දශ ලක්ෂ සංඛ්‍යාත ඇමරිකානුවෝ වෙති. ට‍්‍රම්ප් ඔවුන්ට සිය කෝපය හා ඉච්ඡුාභංගය ප‍්‍රකාශයට පත් කිරීමේ මගක් සපයයි. එක්සත් ජනපදයේ ජනාධිපති පදවිය සඳහා ඉදිරිපත් වන රිපබ්ලිකන් අපේක්ෂකයා මියුනිච්හි බීරහලක ඇමරිකානු මාදිලියෙන් පහල වූවෙකු නොවේ. ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකෝටිපතියෙකි; මැන්හැට්න්හි දේපල වෙලඳාම් වංචාවන්ගෙන් ද, කැසිනෝ සූදු හා සම්බන්ධ අර්ධ -අපරාධකාරී ක‍්‍රියාකාරිත්වයන් හරහා ද, අභූත අපුල හා අවශ්‍යයෙන්ම ප‍්‍රබන්ධකාරී “සැබෑ ජීවිත” තතු නිෂ්පාදනය මගින් තම ප්‍රේක්ෂාගාරය විනෝදයට හා තෝන්තුවට පත් කරන “රියැලිටි ටෙලිවිෂන්”වල අශෝභන ලෝකය තුලින් ද සිය ධනය රැස් කල අයෙකි. රියැලිටි ටෙලිවිෂනයේ ශිල්ප ක‍්‍රම දේශපාලනයට ගෙන ඒමක් ලෙස ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ අපේක්ෂකත්වය හඳුන්වා දිය හැක.

“ඇමරිකාව යලිත් ශ්‍රේෂ්ඨත්වයට පත් කරන” බවට ට‍්‍රම්ප් ප‍්‍රතිඥා දෙයි. මෙම සටන් පාඨය කිසි දිනෙක යලි අත්පත් කල නොහෙන හා කිසිදිනෙක සැබවින්ම නොපැවතුනු අතීතයක සාංකාවන් පුබුදු කරයි. ඇමරිකානුවෝ සෑමකල්හි ම පාහේ මුඩු හිස හා උදර වාතය සුව කරන බවට පොරොන්දු වන බුහුටි හොරවෙදුන්ට මොට්ට ලෙස රැවටෙති. අතිභූෂිත හා සරුවපිත්තල කෘතීන් විකිනීමෙහි ශූරයෙකු වන ට‍්‍රම්ප් ඔවුන්ට සාර්ථකත්වයේ රහස හා විස්මකුරු සම්පත් ලබා දෙන බවට ප‍්‍රතිඥා දෙමින් ඉමහත් සාර්ථකත්වයක් අත් කර ගෙන සිටී. දැන් ඔහු ඇමරිකාවේ “ශ්‍රේෂ්ඨත්වය” ප‍්‍රතිස්ථාපනය කරන බවට පොරොන්දු දෙයි. ට‍්‍රම්ප්ගේ සටන් පාඨය, වර්තමාන ඇමරිකාව තුල ගත කරන තම ජීවිත පිලිබඳව හැඳින්වීමට ශ්‍රේෂ්ඨත්වය හැර වෙනත් ඕනෑම යෙදුමක් භාවිත කල හැකි දශ ලක්ෂ සංඛ්‍යාත ජනයාට ආයාචනය කරයි. අතීතයේ “ශ්‍රෙෂ්ඨත්වය” ප‍්‍රතිස්ථාපනය කරන්නේ කෙසේද? එක්සත් ජනපදයේ දකුනුදිග දේශසීමාව හරහා සැතපුම් 2,000 කට වඩා දිගු තාප්පයක් බැඳීමෙනි, දශලක්ෂ සංඛ්‍යාත හිස්පැනික් සංක‍්‍රමනිකයන් පිටුවාහල් කිරීමෙනි, මුස්ලිම් ජනයා ඇමරිකාවට ඇතුලු වීම වැලැක්වීම මගිනි, චීන නිෂ්පාදන මත අතිමහත් තීරු බදු පැනවීමෙනි, මේ සියල්ලටමත් වඩා - විශාල සමාගම්වල හා ට‍්‍රම්ප් ම වැනි ධනවත් තනි පුද්ගලයන්ගේ බදු කපා හෙලීමෙනි. ඇත්තෙන්ම මේ සියල්ල රැවටිලිකාරීය. එහෙත් ඔහුගේ ව්‍යාපාරයට ඉන්ධන සපයන කෝපය හා ඉච්ඡාභංගය මුල් බැස ඇත්තේ ඇමරිකානු ධනවාදයට කිසිම විසඳුමක් දිය නොහැකි සමාජ ව්‍යසනයක තථ්‍ය කොන්දේසි තුලය. ට‍්‍රම්ප්ගේ විරුද්ධවාදියා වන හිලරි ක්ලින්ටන් වෝල් වීදියේ හා මිලිටරි - රහස් ඔත්තු ආයතන සමග මුලුමනින් අනන්‍ය වූ දූෂිත ‘පවත්නා තත්වයෙහි’ ප‍්‍රතිමූර්තියයි. ඇමරිකානුවන් අති බහුතරයකට පීඩා පමුනුවන සමාජ ප‍්‍රශ්න එකකට හෝ ඇගේ මැතිවරන ව්‍යාපාරය තුල අමතනු ලැබුනේ නැත. ජීවන තත්වයන් කඩාවැටීම, ඉහල යන සෞඛ්‍ය වියදම්, රැකියා සුරක්ෂිතභාවය නොමැති වීම හා, දශ ලක්ෂ සංඛ්‍යාත තරුනයන්ට බල පාන පරිදි ශිෂ්‍ය නය දවල් තරු පෙනෙන මට්ටමට ඉහල යාම මේවා අතර වෙයි.

ට‍්‍රම්ප්ට හිමිව ඇති සහාය තිබියදී වුව, තවමත්, එක්සත් ජනපදය තුල බහුජන ෆැසිස්ට් ව්‍යාපාරයක් නොමැත. මේ වසරේ මුල් භාගයේ දී සමාජවාදියෙකු ලෙස ප‍්‍රචලිතව හඳුනා ගැනුනු බර්නි සෑන්ඩර්ස්ගේ ව්‍යාපාරයට දශ ලක්ෂ සංඛ්‍යාත ඇමරිකානුවන් උද්‍යෝගිමත්ව ප‍්‍රතිචාර දැක්වූ බව අමතක නොකල යුතුය. සිය මැතිවරන ව්‍යාපාරය අතහැර දමමින් සෑන්ඩර්ස් සිය සහාය ක්ලින්ටන් කරා මාරු කල පසු ඔහුගේ ආධාරකරුවෝ බොහෝ දෙනෙක් පවතින තත්වයට ඇති එකම විකල්පය ලෙස ට‍්‍රම්ප් දෙසට හැරුනෝය. එහෙත් ඔවුන්ට ෆැසිස්ට් ආන්ඩුවක් අවශ්‍ය බවක් ඉන් නොහැඟේ. අවසානයේ නොවැම්බර් මැතිවරනයෙන් පරාජය වීමට ට‍්‍රම්ප්ට සිදු වුවත්, ඔහුගේ මැතිවරන ව්‍යාපාරය අනතුරු හැඟවීමකි. සෝවියට් සංගමයේ විනාශයෙන් විසි පස් වසරක ඇවෑමෙන් ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදය මාරක අර්බුදයක පසුවෙයි.

දැන් අපි ජාත්‍යන්තර තත්වය සලකා බලමු. සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් අනතුරුව “සාමදානයේ ලාභාංශ” පිලිබඳව බොහෝ කථාබහ ඇති විය. ශීතල යුද්ධයේ අවසානයත් සමග යුද ගැටුම් ඇතිවීමේ විභවය විශාල පරිමානයකින් අඩු වී ඇති බවටත්, යුද්ධෝපකරන සඳහා දැරෙන අතිමහත් වියදම් සැලකියයුතු ලෙස කපා හැරිය හැකි බවටත් තර්ක ඉදිරිපත් විය. එය එසේ සිදු වූයේ නැත. සෝවියට් සමූහාන්ඩුව නිල වශයෙන් විසුරුවා හැරීමට පූර්වයෙන් පවා, ක්‍රෙම්ලිනයේ පැවැති කලබැගෑනියේ වාසිය ගත් එක්සත් ජනපදය, 1990-91 ප‍්‍රථම ඉරාක ආක‍්‍රමනය දියත් කලේය. ඒ පසුපසින් පැමිනියේ බෝල්කන් අර්ධද්වීපයේ ලේ වැකි සිවිල් යුද්ධයට හා 1999 දී සර්බියාවට එරෙහි ඇමරිකානු යුද්ධයට මග පෑදෙන පරිදි යුගෝස්ලාවියාව කැබලි කිරීම සංවිධානය කිරීම සඳහා, එක්සත් ජනපදය හා ජර්මනිය විසින් ගනු ලැබූ සාමූහික තීන්දුවයි. 2001 සැප්තැම්බර් 11 දින ලෝක වෙලඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප‍්‍රහාරය අවුරුදු 15 කට ද වැඩි කාලයක ඇවෑමෙන් තවමත් ඇවිලෙමින් පවතින “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” දියත් කිරීම සඳහා ව්‍යාජ හේතු සම්පාදනය කලේය.

මේ වනවිට, “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” යනු ගෝලීය ආධිපත්‍යය සඳහා තමන් විසින් දැරෙන පරිශ‍්‍රමය යුක්තියුක්ත කරගනු වස් ඇමරිකානු අධිරාජ්‍යවාදය පාවිච්චි කල ප‍්‍රචාරක වාක්‍ය ඛන්ඩයක්ය යන්න ඇති තරම් පැහැදිලි වී ඇත. තව ද තමන්ගේ සතුරන් ලෙස හඟවන ලද අල් කයිඩාවේ හා එය සමග සම්බන්ධතා පවත්වන අල් නුස්රාහි ත‍්‍රස්තවාදීන්ගේ සේවය මැද පෙරදිග සිය භූ-දේශපාලනික අරමුනු සාක්ෂාත් කර ගනු වස් උපයෝගී කර ගැනීමට එක්සත් ජනපදය පැකිලුනේ නැත. තව ද මැද පෙරදිග හා මධ්‍යම ආසියාවේ ඇමරිකාව විසින් උසිගන්වන ලද යුද්ධ යනු, ලෝක ආධිපත්‍යය සඳහා වන මූලෝපායයක ප‍්‍රාරම්භක අවදිය පමනක් වන අතර, එම මූලෝපාය දැනටමත් රුසියාව හා චීනය යන දෙරටම සමග ගැටුම් ඉමහත් ලෙස තීව‍්‍ර කිරීමට මග පාදා ඇත. ස්වාභාවිකවම, වර්ධනය වෙමින් පවත්නා ලෝක පරිමාන ඝට්ඨනය තුල දිගටම පසෙකට වී බලා සිටින්නට යුරෝපා අධිරාජ්‍යවාදයට නොහැකිය. ජර්මානු පාලක පන්තිය ලෝක බලවතෙකු ලෙස තම කාර්යභාරය පිලිබඳව නැවත වතාවක් කථා කරන්නට පටන් ගෙන ඇති අතර ජනමාධ්‍ය, යුදවාදයේ වාංමාලාව ක‍්‍රමානුකූලව දෛනික දේශපාලන කතාබහට යලි හඳුන්වා දෙමින් සිටී.

න්‍යෂ්ටික අවි භාවිතා විය හැකි යුද ගැටුමක් සඳහා කෙරෙන දුරදිග ගිය සූදානම්වීම් හා අනතුරෙහි පරිමානය සම්බන්ධයෙන් වන මහජන විඥානය ද අතර දැවැන්ත විවරයක් පවතී. මීලඟ දශකය ඇතුලත රුසියාව හා චීනය සමග ප‍්‍රධාන පෙලේ යුද්ධයක් ඇතිවීම බොහෝ විට සිදුවිය හැක්කක් බවට, නොවැලක්විය හැකි බවට පවා, මුලුමනින්ම පාහේ උපකල්පනය කරන ලද ලේඛන ගනනාවක් එක්සත් ජනපදය තුල යුද මූලෝපායකරුවන් විසින් නිකුත් කරනු ලැබ ඇත. 2015 සැප්තැම්බරයේ විශ‍්‍රාමික හමුදා ජනරාල්වරයෙකු හා හමුදා ප‍්‍රධානීන්ගේ ඒකාබද්ධ කමිටුවේ සභාපති මාර්ටින් ඩෙම්සේ පැවසුවේ, “එය මගේ ජීවිත කාලයේ වඩාත්ම අන්තරායකාරී කාල පරිච්චේදයයි” (2) යනුවෙනි.

ඇමරිකානු රාජ්‍ය ප‍්‍රතිපත්ති සූත‍්‍රගත කිරීමෙහි ලා බලගතු කාර්යභාරයක් ඉටුකරන අත්ලාන්තික් කවුන්සිලය පසුගිය මාසයේ, The Future of the Army (හමුදාවේ අනාගතය) යන මැයෙන් යුත් ලේඛනයක් නිකුත් කලේය. “මෙම තර්ජනය මතු වන විවිධ පැති වලට දිගින්දිගටම අවධානය යොමු කිරීමට එක්සත් ජනපදයට සිදුවී ඇති හෙයින් එය බොහෝ විට සදාතනික යුද කාල අවධියකට පිවිස සිටී”(3) යයි එය අමුඅමුවේම ප‍්‍රකාශ කරයි. හමුදාව “අතිශය සමර්ථ පසමිතුරන් සමග, මරනය හා විනාශය ඉහල මට්ටමක පවතින, ඇතැම්විට ලක්ෂ ගනනින් ඇමරිකානු හමුදා මෙහෙයවා සිදුකෙරෙනු ඇති ‘මීලඟ මහා යුද්ධය’ට සූදානම් විය යුතුය”.(4) වාර්තාවේ එන අතිශයින්ම නග්න ඡේදයන්ගෙන් එකක මෙසේ ප‍්‍රකාශිතය:

ඒ පිලිබඳ අවලෝකනය කෙතෙක් අප‍්‍රසන්න වුව ද හමුදාව, ඉමහත් සංඛ්‍යාවක් අනතුරට පාත‍්‍රව සිටියදී එය දරා ගෙන දිගටම සටනේ නියැලීමට ඇති සිය ධාරිතාව වැඩිදියුනු කර ගත යුතුය.... මේ බියකරු අනපේක්ෂිත තත්වයට මුහුන දීම සඳහා අවශ්‍ය මතවාදය හා පුහුනුවට පුනර්ජීවයක් ලබා දිය යුතුය. බරපතල හානි සිදු වූ තත්වයක් තුල නැවත කාන්ඩ සෑදී මෙහෙයුම් ද සටන් වැදීමේ ජීව ගුනය ද නොනැසී පවත්වා ගැනීමට නායකයන් සූදානම්ව සිටිය යුතුය. මෙහෙයුම දිගටම පවත්වා ගැනීම සඳහා නැවත සංවිධානයවීම අවශ්‍ය කෙරෙන ආකාරයේ මහා පරිමාන හානි සමනය කරනු වස් පුහුනුවීම්වලදී හමුදා ඒකක මහා පරිමාන රොකට් වෙඩි හා කාලතුවක්කු ප‍්‍රහාරවලට, රසායනික අවි ප‍්‍රහාරයන්ට, සහ න්‍යෂ්ටික අවි ප‍්‍රහාරවලට පවා නිරාවරනය කල යුතුය. (5)

රුසියානු දෘෂ්ටි කෝනයෙන් ලියැවුනු තවත් විශ්ලේෂනයක් ගෝලීය ආතතීන්ගේ වත්මන් තත්වය පිලිබඳ පහත දැක්වෙන ඇගයීම ඉදිරිපත් කරයි:

මහ බලවතුන් සිය යුද අවි ගබඩා නවීකරනය කරමින්, බලඇනි ව්‍යුහයන් යලි හැඩගස්වමින්, අවදානම් කලාපය තුල ක‍්‍රියාත්මක වන කල්හි පසුතලය, වෙඩි සැර පුපුරා යාමේ සෑම සංඥාවක්ම දක්වන චෙකොව්ගේ “බිත්තියේ එල්ලූ රයිෆලය”ට සම වෙමින් පවතී. බලවතුන් අතර පවත්නා තරඟය, යුදමය චෙස් පෙතෙහි කෙරෙන ඉත්තන් හැසිරවීම්, සහ අවගනනයන් විසින් විනාශකාරී ප‍්‍රතිවිපාක දනවන අන්තර් රාජ්‍ය ඝට්ටනයක් යලි අවුලවනු ලැබිය හැකිය....

සියලු සාම්‍යයන් පරිසමාප්ත නොවන නමුදු, අද දින ලෝකය ප‍්‍රථම ලෝක යුද්ධයට පෙර පැවැති අවුරුදු වලට ඇතැම් වැදගත් ආකාරයන්ගෙන් සමාන වෙයි. එය බහු ධ‍්‍රැවීය නොවනු විය හැක. එනමුදු එය කලාපීය සන්ධානයන්, දෙපාර්ශ්වීය සම්මුති ප‍්‍රතිඥාවන් හා එවැනි දේ වලින් සැදුම් ලත් සංකීර්න ජාලයක් තුල පැටලී ඇත. (6)

ශත වර්ෂ කාලක අත්දැකීම් ලුහුඬින් දක්වන්නේ නම්, සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් ඉක්බිති ප‍්‍රකාශයට පත් කෙරුනු “ධනවාදයේ විජයග‍්‍රහනය” යනු ඓතිහාසික යථාර්ථය පිලිබඳ දුර්භාග්‍ය සම්පන්න වැරදි කියවීමක් බව ඔප්පු වී ඇත. ධනවාදය පිලිබඳ මාක්ස්වාදී විශ්ලේෂනය සනාථ වී ඇත. විසිවන සියවසේ යුද්ධ හා විප්ලවයන්ට මග පෑදූ, සමාජ නිෂ්පාදනය හා නිෂ්පාදන බලවේගවල පෞද්ගලික අයිතිය අතර ද ගෝලීය වශයෙන් ඒකාග‍්‍රිත නිෂ්පාදන ක‍්‍රියාවලිය පිලිබඳ යථාර්ථය හා ජාතික රාජ්‍යයේ පැවැත්ම අතර ද වශයෙන් වූ ධනවාදයේ එම මූලික ප‍්‍රතිවිරෝධයන් ම, නූතන ලෝකයේ ආර්ථික, සමාජ හා දේශපාලන සංක්ෂෝභයන්ට යටින් පවතී.

ලෝක ධනේශ්වර අර්බුදයේ ගැඹුර -පැහැදිලිව පෙනෙන ලෝක ආර්ථිකයේ එක තැන පල්වීම, අතිමහත් ලෙස ධනය ඒකරාශී වීම සහ සමාජ අසමානතාවය හා සමාජ මංමුලාව වර්ධනය වීම, න්‍යෂ්ටික බලවතුන් සම්බන්ධ වන ව්‍යසනකාරී යුද්ධයක වැඩෙන තර්ජනය- සැලකිල්ලට ගත් කල පහත ප‍්‍රශ්නය ඇසිය යුතුය: ජාත්‍යන්තර බහුජන විප්ලවවාදී, ධනේශ්වර විරෝධී හා සමාජවාදී ව්‍යාපාරයක් නොමැත්තේ ඇයි? වඩාත් නිශ්චිත ලෙස අසන්නේ නම්, බොහෝදුරට කෙලවරක් නොදුටු යුද්ධයේ කාලසීමාවක් ලෙස හැඳින්විය හැකි වසර 25 ක කාල පරාසයකින් ඉක්බිති අධිරාජ්‍යවාදයට එරෙහි ලෝක පරිමාන ව්‍යාපාරයක් නැත්තේ මක්නිසාද? ධනවාදයට එරෙහි අරගලය සමග ඓතිහාසිකව අනන්‍ය වී ඇති වාම බලවේග ශක්තිමත් විය යුතු කොන්දේසි යටතේ දක්ෂිනාංශික පක්ෂ ශක්තිමත් වෙමින් පවතින්නේ මන්ද?

මේ ප‍්‍රශ්නවලට පහසු පිලිතුරු නොමැත. විප්ලවවාදී කම්කරු ව්‍යාපාරයේ දිග ඇදුනු අර්බුදයට යටින් පවතින්නේ, වෛෂයික හා ආත්මීය සාධකයන්හි සංකීර්න අන්තර්ක‍්‍රියාවකි. එසේ වුව, දේශපාලන නායකත්වයේ - හෝ, වඩාත් නිරවද්‍යව කිවහොත් දුර්නායකත්වයේ - “ආත්මීය සාධකය” කම්කරු පන්තියේ විප්ලවවාදී පරිශ‍්‍රමයන් කඩාකප්පල් කිරීමෙහි හා විනාශ කිරීමෙහි ලා ප‍්‍රමුඛ කාර්යභාරයක් ඉටුකර ඇත. ස්ටැලින්වාදය විසින් නිර්මිත බුද්ධිමය හා දේශපාලනික විනාශය අතිශයෝක්තියට නැංවීම අසීරුය. පරම්පරා ගනනාවක කම්කරුවෝ හා සමාජවාදයට නැඹුරු බුද්ධිමත්හු සෝවියට් නිලධරයේ හා එහි ජාත්‍යන්තර ජාලයේ අපරාධ හා විකෘතරූපී මුසාකරනයන් නිසා මංමුලාවට හා අධෛර්යයට පත් වූහ.

ස්ටැලින් විසින් ජර්මන් කොමියුනිස්ට් පක්ෂය මත පටවන ලද විනාශකාරී පිලිවෙත් මත ප‍්‍රමුඛ වගකීම පැවරෙන, 1933 ජර්මන් කම්කරු පන්තිය පරාජය වීමේ හා හිට්ලර් බලයට නැගීමේ බලපෑම කෙතෙක්දැයි මැන බැලීමට යමෙකු කෙසේ නම් පටන් ගත යුතු ද?; නැතහොත්, මොස්කව් අවනඩු හා මහා භීෂනය; ස්පාඤ්ඤ විප්ලවය පාවාදීම; 1939 ස්ටැලින්-හිට්ලර් ගිවිසුම; ලියොන් ට්‍රොට්ස්කි ඝාතනය; ප‍්‍රන්සයේ ඉතාලියේ හා ග‍්‍රීසියේ දී, කම්කරු පන්තියේ පශ්චාත් යුද කාලීන විප්ලවවාදී නැගිටීම් පාවාදීම; නැගෙනහිර ජර්මනියේ හා හංගේරියාවේ කම්කරු පන්ති නැගිටීම් ලේ වැකි ආකාරයෙන් මැඩලීම; 1968 මැයි-ජූනි මාසවල දී ප‍්‍රන්ස කම්කරුවන්ගේ හා ශිෂ්‍යයන්ගේ මහා වැඩ වර්ජනය පාවාදීම; නැතහොත් ඉන් දෙමසක ඇවෑමෙන් 1968 අගෝස්තුවේ දී ප‍්‍රාග් වසන්තයට එරෙහි සෝවියට් මර්දනය හා පෝලන්ත කම්කරු පන්තියේ අරගල මර්දනය කිරීම සඳහා යුද්ධ නීතිය පැනවීම; මේවායේ බලපෑම කෙතෙක්දැයි මැන බැලීමට යමෙකු කෙසේ නම් පටන් ගත යුතු ද? සෝවියට් සංගමය විසුරුවා හැරීම වූ කලි හැට වසරකට වැඩි කාලයක් පුරා සිදු කෙරුනු, මාක්ස්වාදය න්‍යායිකව හා දේශපාලනිකව නිර්දය ලෙස මුසාකරනය කිරීමේ ක‍්‍රියාවලියේ කුලුගැන්වීම විය. විසිවන සියවසේ වඩාත්ම හානිකර මුසාව වූයේ ස්ටැලින්වාදය මාක්ස්වාදය සමග අනන්‍ය කිරීමයි. එහි අපරාධ පිලිබඳ සම්පූර්න වාර්තාවකට, ස්ටැලින්වාදය තුල ගැඹුරින් මුල් බැස ගත් මාඕවාදයේ ප‍්‍රතිපත්ති හා භාවිතය ද ඇතුලත් විය යුතු බව වැඩිදුරටත් සඳහන් කල යුතුය.

ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය හා පශ්චාත් නූතනවාදය ආශ‍්‍රිත න්‍යායික හා දේශපාලනික සංකල්ප සූත‍්‍රගත කිරීමෙහි ලා ඍජු හා වක‍්‍ර ලෙස ප‍්‍රමුඛ කාර්යභාරයක් ඉටුකල එකී සුලු ධනේශ්වර න්‍යායාචාර්යවරුන්ගේ මංමුලාවට හේතු වූ ප‍්‍රමුඛ සාධකයක් වූයේ ස්ටැලින්වාදයේ උරුමයය යන්න පිලිබඳ ගැටලුවක් තිබිය හැකි නොවේ. ඔවුන්ගේ දෘෂ්ටියේ ප‍්‍රධාන සංරචකයක් වන ඓතිහාසික සර්වඅශුභවාදය, ස්ටැලින්වාදී රාජ්‍යයන් විසින් සිදු කෙරුනු අපරාධයන්හි ප‍්‍රතිවිපාකවල වගකීම, ඔවුන් කම්කරු පන්තියට බැර කිරීම සමග සමීප සම්බන්ධයක් දක්වයි.

සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමයේ අවසානය හා -ඊට අප විසින් එක් කල යුතු- චීනය තුල ධනවාදය යලි හඳුන්වාදීමට මාඕවාදීන් ක‍්‍රියාකිරීම, විශේෂයෙන්ම විශ්ව විද්‍යාල තුල සිටි, ස්ටැලින්වාදය, (එහි මාඕවාදී වේශය ද ඇතුලත්ව) සමාජවාදය හා මාක්ස්වාදය සමග අනන්‍ය කොට ගත් වාම බුද්ධිමතුන්ගේ පුලුල් කොටසක බොහෝ දුරට සර්වපරිපූර්න දේශපාලන කඩාවැටීමක් සමග අත්වැල් බැඳ ගත්තේය. එය ඔවුන් මෙහෙයවුයේ සිය දේශපාලන අභිමතාර්ථය ලෙස සමාජවාදය තෝරා ගැනීම ශීඝ‍්‍රයෙන් අතහැර දැමීම කරාය. සෝවියට් සංගමයේ විනාශය ද, 1991 හා ඉනික්බිති සිදු වූ සිදුවීම් ද සම්බන්ධයෙන් ස්ටැලින්වාදයේ වගකීම විභාග කිරීමට සුලු ධනපති වාම ශාස්ත‍්‍රාලීය උගතුන්ගේ නොකැමැත්ත විසින් ඔවුන්ගේ මාක්ස්විරෝධී පූර්වනිශ්චයන් හා විරුද්ධත්වයන් ගැඹුරු කෙරිනි.

පසුගිය 25 වසර පුරා “වාම” දේශපාලනය ලෙස ඉදිරිපත් වූ - අවිශද රැඩිකල් හා අරාජකවාදී වාග් ශෛලියෙන් සමන්විත, එහෙත් මාක්ස්වාදයේ න්‍යායික පදනම්වලින් හා විප්ලවවාදී ඉදිරි දර්ශනයෙන් මුලුමනින්ම වියෝ වූ - දෙය විසින් පිලිබිඹු කෙරී ඇත්තේ, ලෝකයෙන් වැඩි කොටසක විශ්ව විද්‍යාල තුල පොදුවේ පශ්චාත් නූතනවාදය හා ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය වශයෙන් හඳුන්වනු ලබන ප‍්‍රමුඛ දාර්ශනික ප‍්‍රවනතාවයන් දෙකක බලපෑමයි. මෙකී ප‍්‍රවනතාවයෝ සර්වසම නොවෙත්. ඒවායේ බුද්ධිමය, න්‍යායික හා සංස්කෘතික මූලයන්හි සැලකියයුතු වෙනස්කම් පවතී. කෙසේ වෙතත්, විශේෂයෙන්ම ඒවායේ දේශපාලන දෘෂ්ටිය හා අභිප‍්‍රාය -එනම්, මාක්ස්වාදය නිෂ්ප‍්‍රභ කිරීම හා ප‍්‍රතික්ෂේප කිරීම- සැලකිල්ලට ගත් විට, ඒවා අතර සමීප සම්බන්ධයක් පවතී. මාක්ස්වාදයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස සලකන, ඉතිහාසයේ භෞතිකවාදී සංකල්පයෙන් පෙරාගත් දර්ශනවාදී භෞතිකවාදය ඔවුන් සලකන්නේ, ශාපයක් ලෙසය.

සියලු දාර්ශනික “ගුරුකුලයන්හි” පරිද්දෙන්ම මෙහිදී ද, බරපතල න්‍යායික විශ්ලේෂනයක් මගින් ඒවායේ සංකීර්න බුද්ධිමය වංශාවලිය හෙලිපෙහෙලි කෙරෙනු ඇත. ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය හා පශ්චාත් නූතනවාදය යන දෙකම ඒකාන්තයෙන්ම, ශෝපන්හවර්ගේ හා, සත්තකින්ම නිට්ෂේගේ, විඥානවාදී අවිචාරිවාදය තුල ගැඹුරින් කිඳා බැස පවතී. සත්තකින්ම, ප‍්‍රතිගාමී හා ගුප්ත හයිඩෙගර්ගේ බලපෑම, ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලයේ ඇතැම් අනුගාමිකයන්ගේ -විශේෂයෙන් මාර්ක්‍යුස්ගේ- ලේඛන තුල හා, ඊට ද වඩා පුලුල් ලෙස පශ්චාත් නුතනවාදීන් අතර පැහැදිලිව පෙනෙන්නට තිබේ.

කෙසේ වෙතත්, ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය හා පශ්චාත් නූතනවාදය යන දෙකම ඇගයීමේ දී පියරේ-ජෝසෆ් පෘදොන්ගේ ආර්ථික න්‍යායයන් පිලිබඳ මාක්ස්ගේ තක්සේරුව සිහිපත් කිරීම වටනේය. 1846 දී අනන්කොව්ට ලියූ ලිපියක මාක්ස්, පෘදොන්ගේ දරිද්‍රතාවය පිලිබඳ දර්ශනය සම්බන්ධයෙන් අතිශය ප‍්‍රබල විනිශ්චයක් ලබා දුනි. “පෘදොන් මහතා ඔහුගේ දර්ශනය අභූත නිසා දේශපාලන ආර්ථිකය පිලිබඳ සාවද්‍ය විචාරයක් නොකරයි. ඔහු වර්තමාන සමාජ කොන්දේසි (පෘදොන් මහතා අනෙකුත් බොහෝ දේ සේ ම ෆුරියර්ගෙන් නයට ගත් වචනයක් භාවිතා කලහොත්) ඒවායේ egrènement (මූල බීජය තුල) වටහා ගෙන නොමැති නිසා, අභූත දර්ශනයක් නිර්මානය කරයි.” (7)

මාක්ස්ගේ කියමන වෙනත් ආකාරයකින් මෙසේ ඉදිරිපත් කල හැකිය: පශ්චාත් නූතනවාදීන් හා ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලයේ අනුගාමිකයන් අභූත දේශපාලනයක් ඉදිරිපත් කරන්නේ ඔවුන්ගේ දර්ශනය අභූත නිසා නොවේ. ඊට වඩා සිදුවන්නේ ඔවුන්ගේ දර්ශනයේ ඇති තකතීරු අභූතය ඔවුන්ගේ ප‍්‍රතිගාමී සුලූ ධනේශ්වර දේශපාලනයෙන් පැන නැගීමයි. ඔවුන්ගේ න්‍යායයන්ට යටින් පවතින දේශපාලන ආවේශය සමන්විත වන්නේ, මාක්ස්වාදය හා කම්කරු පන්තිය මත පදනම් වූ සමාජවාදී විප්ලවයක ඉදිරි දර්ශනය ප‍්‍රතික්ෂේප කිරීමෙන් බව හඳුනා ගැනීමෙන් තොරව, ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය හෝ පශ්චාත් නූතනවාදය යන එකක් හෝ වටහා ගැනීමට යමෙකුට කොහෙත්ම නොහැකිය.

පශ්චාත් නූතනවාදය නිශ්චිතවම පැන නැගුනේ මාක්ස්වාදය හා නිර්ධන පන්ති විප්ලවයේ ඉදිරි දර්ශනය ප‍්‍රතික්ෂේප කිරීමක් ලෙසය. එය බිහිවීමේ අඩිතාලම සැකසීමෙහි ලා ෂෝන්-ප‍්‍රන්ෂුවා ලියොටාඞ්ගේ කාර්යභාරය චිරප‍්‍රකටය. ඔහු පහත දැක්වෙන වාක්‍යයේ කර්තෘවරයාය: “ආන්තික ලෙස සරල කොට පැවසුවහොත්, පශ්චාත් නූතනවාදය යනු මහාආඛ්‍යානයන් කෙරේ විශ්වාසය නොතැබීම ලෙස මම අර්ථ දක්වමි.” ඉවත ලිය යුතු “මහාආඛ්‍යානයන්” වූයේ සමාජවාදී විප්ලවයේ මාක්ස්වාදී ඉදිරි දර්ශනය ඉදිරිපත් කල ඒවාය. එනයින් ගත් කල, ශාස්ත‍්‍රාලීය කවයන් තුල “පශ්චාත් නූතනවාදය” ලෙස හැඳින්වෙන දෙය වඩාත් නිරවද්‍යව “ශාස්ත‍්‍රාලීය පශ්චාත් මාක්ස්වාදය” ලෙස අර්ථ දැක්විය හැක.

ලියොටාඞ් ප‍්‍රන්සයේSocialisme ou Barbarie (සමාජවාදය නැතහොත් ම්ලේච්ඡත්වය) නමින් සඟරාවක් ප‍්‍රකාශයට පත් කල හිටපු-ට්‍රොට්ස්කිවාදී බුද්ධිමතුන්ගේ කවයක සාමාජිකයෙකුව සිට ඇත. මෙම සඟරාවේ මූලයන් රැඳී පැවතුනේ ඔවුන් ට්‍රොට්ස්කිවාදය ප‍්‍රතික්ෂේප කිරීම තුලය. විශේෂයෙන් “සමාජවාදය නැතහොත් ම්ලේච්ඡත්වය” කන්ඩායම සෝවියට් සංගමයේ සමාජ ව්‍යුහය පිලිබඳ ට්‍රොට්ස්කිගේ විශ්ලේශනයට -නිශ්චිතව කිවහොත්, සෝවියට් සංගමය පිරිහී ගිය කම්කරු රාජ්‍යයකි යන ඔහුගේ අර්ථකථනයට- එරෙහි වූහ. ට්‍රොට්ස්කිගේ Revolution Betrayed (විප්ලවය පාවා දුනි) කෘතිය ඔක්තෝබර් විප්ලවය, එහි දේශපාලන පරිනාමය, හා මනුෂ්‍ය වර්ගයාගේ අනාගත ඓතිහාසික වර්ධනයට එහි සම්බන්ධය පිලිබඳව, ලියොටාඩ් විසින් ප‍්‍රතික්ෂේප කෙරුනු “මහාආඛ්‍යානයක්” ඉදිරිපත් කලේය. “සමාජවාදය නැතහොත් ම්ලේච්ඡත්වය” කන්ඩායම අවධාරනය කලේ, සෝවියට් සංගමය පාලනය කල නිලධරය, ට්‍රොට්ස්කි කියා සිටි පරිදි ස්වාධීන දේශපාලන කාර්යභාරයක් නොතිබුනු සහ යලි නැගී සිටින සෝවියට් කම්කරු පන්තියේ දේශපාලන විප්ලවයකින් පෙරලා දැමෙනු ඇති හෝ ධනවාදය පුනස්ථාපනය කිරීමෙහි ලා මුලසුන දරනු ඇති හුදු පරපුටු කුලයක් නොව, ඇත්තෙන්ම නව වර්ගයක පාලක පන්තියක් බවයි. මෙම න්‍යායෙන් ගලා ආ දේශපාලන නිගමනය වූයේ මාක්ස්වාදය විසින් කම්කරු පන්තියට පවරන ලද විප්ලවවාදී කාර්යභාරය ප‍්‍රතික්ෂේප කිරීමයි. නිලධරයන් පෙරලා දැමීමට කම්කරු පන්තිය සමත් වූ තැන්වලදී පවා බලය අල්ලා ගෙන සිටීමට එය අසමත් බව ඔප්පු වී ඇත. නව සූරාකන පන්තියක නැගීමට භූමිය සකසනුවට වඩා වැඩි යමක් කිරීමට එය අසමත් වී ඇත. එනයින් මාක්ස්වාදී “මහාආඛ්‍යානය” අවලංගු විය, තවද එය මූලාරම්භයේ සිටම අවලංගු වී තිබුනේය. ඉතිහාසය පිලිබඳ භෞතිකවාදී සංකල්පය යනු ප‍්‍රබන්ධයකට වැඩි යමක් නොවේ. එමගින් වෛෂයික සත්‍යය පිලිබඳව කියා සිටීම් බැහැර කල හැකිය. ලියොටාඩ් මෙසේ ලිවීය: “‘අපෙන්’ ආරම්භ වෙමින් (හෝ අවසාන වෙමින්) රැඩිකල් මාක්ස්වාදයේ මුක්තිය පිලිබඳ මහා ආඛ්‍යාන, ඒවායේ වැටහියාව (අවබෝධ කර ගත හැකි බව) හා ඒවායේ සාරය අහිමි කොට ගෙන ඇති බවට ඇති සාක්ෂ්‍යවලට චින්තනය අවනත විය යුතුය.”

මාක්ස්වාදයේ “මහාආඛ්‍යාන” බැහැර කරන ලදුව පශ්චාත් මාක්ස්වාදයේ ශාස්තෘවරුන් එම ස්ථානයේ බහා ලීමට යෝජනා කරන්නේ කුමක්ද? ඵලදායී සමාජ ක‍්‍රියාකාරීත්වයක් සඳහා ප‍්‍රමානවත් න්‍යායික පදනමක මෙහෙවර ඉටු කල හැකි කවර ප‍්‍රති-මහාආඛ්‍යාන ඔවුන් විසින් වර්ධනය කරන ලද්දේ ද? සිතා සිටින පරිදි, ධනේශ්වර විරෝධී ක‍්‍රියාමාර්ග හා විප්ලවවාදී වෙනස්කම් ඇතිකිරීම සඳහා සාධනීය සමාජ ආයතනයක් ලෙස කම්කරු පන්තියේ බංකොලොත්කම තහවුරු කරන ලදුව, ප‍්‍රගතිශීලී දේශපාලන අරගලය සඳහා කවර විකල්ප පදනමක් පශ්චාත්-මාක්ස්වාදීන් විසින් අනාවරනය කර ගනු ලැබ ඇත්තේද? පිලිතුරක් සඳහා අපි ඔවුන්ගේ මෑත ලේඛන පිරික්සා බලමු.

ඇලෙන් බදි‍යු වර්තමාන ප‍්‍රන්ස දාර්ශනිකයන් අතරින් චිරප‍්‍රසිද්ධ දාර්ශනිකයෙකි. ඔහුගේ දීර්ඝ ශාස්ත‍්‍රාලීය වෘත්තීය ජීවිතය තුල ඔහු මිෂෙල් ෆුකූ, ජිල් ඩෙලූස් හා ලියොටාඩ් සමග සමීප සම්බන්ධයකින් කටයුතු කොට ඇත. පශ්චාත් නුතනවාදයේ ඇතැම් මූලාංග පිලිබඳව විවේචනශීලී වන අතර, හා වෛෂයික යතාර්ථය පිලිබඳ සංකල්පයක් දරන බව කියා සිටින අතර ම, විසිවන සියවසේ සියලු මාක්ස්වාදී සංකල්පයන්හි අනදාලත්වය බදි‍යු විසින් ප‍්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

මාක්ස්වාදය, කම්කරු ව්‍යාපාරය, බහුජන ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ලෙනින්වාදය, නිර්ධන පන්තියේ පක්ෂය, සමාජවාදී රාජ්‍යය -20 වන සියවසේ සියලු සොයා ගැනීම්- ඇත්තෙන්ම අපට තවදුරටත් ප‍්‍රයෝජනවත් නොවේ. න්‍යායික තලයේදී නිසැකවම ඒවා තවදුර අධ්‍යයනය කිරීමට හා සලකා බැලීමට වටනේය; එතෙකුදු වුව, ප‍්‍රායෝගික දේශපාලනයේදී ඒවා ක‍්‍රියාවේ යෙදිය නොහැකි තත්වයට පත්ව ඇත... (19 වන සියවසේ) ව්‍යාපාරය හා (20 වන සියවසේ) පක්ෂය යනු කොමියුනිස්ට් කල්පිතයේ සුවිශේෂී ප‍්‍රකාරයන්ය; යලි ඒවා කරා පෙරලා යා නොහැකිය. (8)

තවත් නිබන්ධයක බදි‍යු මෙසේ ලියයි:

ඔව්. ඒ මේ අත නොගොස් අපි එය පිලිගනිමු: මාක්ස්වාදය අර්බුදයට පත්ව ඇත; මාක්ස්වාදය අනු වලට බිඳී ගොස් ය. 1960 ගනන්වල ආවේශයෙන් හා නිර්මානාත්මක ඛන්ඩනයෙන් ඉක්බිතිව, ජාතික විමුක්ති අරගල හා සංස්කෘතික විප්ලවයෙන් පසු, අර්බුදයේ සහ යුද්ධයේ සමීපස්ථ තර්ජනයේ කාල වකවානුවක අපට උරුම වී ඇත්තේ, නටබුන් හා ශේෂයන්හි වංකගිරියකට මැදි වූ චින්තනයේ හා ක‍්‍රියාකාරීත්වයේ පටු සහ අසම්පූර්න එකලසකි. (9)

මාක්ස්වාදයට විකල්පය ලෙස පශ්චාත්-මාක්ස්වාදී මහාචාර්යවරයා යෝජනා කරන්නේ කුමක්ද? ප‍්‍රතික්ෂේප කෙරුනු සම්භාව්‍ය මාක්ස්වාදයේ තැන ගැනීමට විකල්පයක් සොයා ගෙන නොමැති බව, ගරු කටයුතු අකුටිලභාවයකින් යුතුව බදියු පිලිගනියි. “අපේ අද්‍යතන බෙලහීනත්වය” යන මැයෙන් යුත් පාපොච්චාරන ලේඛනයක බදි‍යු මෙසේ ලියයි:

අප අද දින අත්දකිමින් සිටින්නේ ..... අපේ වත්මන් තතු සනිටුහන් කිරීමට හා පරිනාමනය කිරීමට ව්‍යාපාරයේ ක‍්‍රියාධරයන් බහුතරයක් භාවිතා කිරීමට යත්න දරන දේශපාලන ප‍්‍රවර්ග, ඒවා දැන් පවතින හැටියට, බොහෝසෙයින් අකර්මකවීම යයි ..... මම සිතමි. (10)

ෆ්‍රෙඞ්රික් ජේම්සන් දශක ගනනාවක් පුරා ඓතිහාසික භෞතිකවාදයේ පවතිතැයි චෝදනා කෙරෙන දෘඩභාවයට විකල්ප සොයා, පශ්චාත් මාක්ස්වාදී ආත්මීයවාදයේ ඒ හෝ මේ මූලාංගයන් භාවිත කරමින්, සම්භාව්‍ය මාක්ස්වාදයේ අධිශ්ඨානශීලී විවේචකයෙකුව සිට ඇත. අවසානයේ මහාචාර්ය ජේම්සන් කවර දේශපාලන නිගමන කරා එලැඹ සිටින්නේද? ඔහුගේ නවතම කෘතිය තුල ඔහු කරන පහත පිලිගැනීම කැපීපෙනෙන සුලුය:

ඉදින්, වමට එක් කලෙක විප්ලවයයැයි නම් ලද දේශපාලන වැඩ පිලිවෙලක් තිබිනි. විප්ලවය ගෙන ඒමට නියමිත වූ ආයතනය අතුරුදන් වී යාම නිසා ද, එය විසින් විස්ථාපනය කරනු ලැබීමට නියමිත වූ පර්යාය එය විස්ථාපනය කිරීම ගැන සිතාගන්නටවත් නොහැකි තරමට පමන ඉක්මවා සර්වව්‍යාපී වීම නිසා ද, විප්ලවය ආශ‍්‍රිත හුදු භාෂාවම ප‍්‍රාරම්භක පීතෘවරුන්ගේ භාෂාව තරමට පැරනි පන්නයේ යල් පැන ගිය එකක්වීම නිසා ද තවදුරටත් කිසිවෙක් ඒ පිලිබඳ විශ්වාසය තබන බවක් පෙනෙන්නට නැත. යමෙකු වරක් පැවසුවේ, ධනවාදයේ අවසානය පිලිබඳව සිතා ගැනීමට වඩා ලෝකාවසානය ගැන සිතා ගැනීම පහසු බවයි: ඒ අනුව ධනවාදය පෙරලා දැමීමේ විප්ලවයක අදහස අතුරුදහන් වී ඇති සෙයක් පෙනී යයි. (11)

ෆ‍්‍රැන්ක්ෆර්ට් කරා පැමිනි මට, මෙම දේශනයට ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලයේ වත්මන් නියෝජිතයෙකුගේ අඩුතරමින් එකම උපුටා දැක්වීමක්වත් ඇතුලත් නොකොට සිටිය නොහැක. ඔහුගේ නවතම කෘතිය වන Die Idee des Sozialismus (සමාජවාදය පිලිබඳ අදහස) සම්බන්ධයෙන් මෑතක පැවැති සාකච්චාවක දී, “යලිත් වරක් සමාජවාදී අදහස් ජර්මනිය තුල ප‍්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි ඔබ සිතන්නේද?” යනුවෙන් මහාචාර්ය ඇක්සෙල් හොනෙත්ගෙන් අසන ලදී.

ඔහු මෙසේ පිලිතුරු දුන්නේය:

මා විශ්වාස කරන ආකාරයට, සමාජවාදයට අවස්ථාවක් ලැබෙන්නේ එය අපේ සමකාලීන අත්දැකීම්වලට යම් ආකාරයකින් සම්බන්ධිත ආකෘතියක් ආරෝපනය කොට ගතහොත් පමනෙකි. මෙය සිදුවීම සඳහා අපි .... සමාජවාදයේ පැරනි හා යල්පිනූ අවයවයන් ගනනාවක් වීසි කර දැමිය යුත්තෙමු. උදාහරන ලෙස, නිර්ධන පන්තිය විප්ලවවාදී ඥාතෘ ලෙස සැලකීමේ සංකල්පය, ප‍්‍රගතිය නියාම පාලිත ක‍්‍රියාවලියක් හරහා පරිනාමය වෙතැයි සැලකීම, අපේ සමාජය පරිවර්තනය කිරීම ප‍්‍රධානකොටම ආර්ථිකයේ අභිලක්ෂන වෙනස් කිරීම මත රඳා පවතිතැයි සැලකීම - මේ සියල්ල අත්හැර දැමිය යුතුය. එවිට, එවන් සංශෝධිත හා යාවත්කාලික සමාජවාදයකට ජනයාගේ විශාල කොටසකගේ හදවත් හා හැඟීම් සසල කල හැකිදැයි අපේක්ෂා සහගතව රැඳී සිටින්නට අපට සිදු වනු ඇත.

හොනෙත්ගේ පිලිතුර, එහි ස්වභාවයෙන්ම, තම මුල් දිනවල පටන් ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය ලක්ෂනනය කලා වූ ඉඳුරාම ගතානුගතික, අසාරදර්ශනය හා අධෛර්යය තුල ගැඹුරින් කිඳුනු දෘෂ්ටියේ දැනුවත් ප‍්‍රකාශනයකි. මෙකී ගතිලක්ෂන මුල් බැස තිබෙන්නේ ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය මාක්ස්වාදය කෙරේ -එනම්, කම්කරු පන්තියේ විප්ලවවාදී කාර්යභාරය පිලිබඳව මාක්ස්වාදයේ අවධාරනය කෙරේ- දක්වන කේන්ද්‍රීය විරුද්ධත්වය තුලය. හොනෙත්ට හා ඔහු අනුයන ගුරුකුලයට අනුව, පන්ති අරගලය එක්කෝ මරනයට නියමිතව ඇත, නැතහොත් එය සඳහා කිසිදු අවකාශයක් නැත; සමාජවාදය නිෂ්පාදන මාර්ගවල පෞද්ගලික අයිතිය අහෝසි කිරීම සඳහා පරිශ‍්‍රම නොදැරිය යුතුය. ඒ අනුව, සමාජවාදයට පැවතිය හැක්කේ අදහසක් ලෙස පමනෙකි.

මා විසින් තෝරා ගෙන ඇති උපුටනයෝ, ව්‍යාජ-වාම මාක්ස්වාද-විරෝධීන් විසින් නිපදවන ලද අපමන වෙලුම් තුලින් සොයා ගත හැකි නියෝජනාත්මක ඒවා වෙත්. එහෙත් පශ්චාත් නූතනවාදයේ විවිධ ප‍්‍රභේද හා ෆ‍්‍රැන්ක්ෆර්ට් ගුරුකුලයේ ශේෂ වූ කොටස් අනුයන කවරෙකුගේ හෝ ලේඛන තුල සොයා ගත නොහැකි දෙය වන්නේ ධනවාදයට හා අධිරාජ්‍යවාදයට එරෙහි විප්ලවවාදී අරගලය පදනම් කල හැකි කිසියම්ම හෝ වැඩපිලිවෙලකි.

මාක්ස්වාදයට විකල්පයක් සෙවීම බලාපොරොත්තු විරහිත ව්‍යායාමයකි. මෙම අසුබ හා නිරර්ථක ප‍්‍රයත්නයේ නියලී සිටින එකී මහාචාර්යවරු පන්ති අරගලය බැහැර කල විප්ලවවාදී න්‍යායක් ද ධනවාදයට අත නොතබා පවතින්නට හරින සමාජවාදයක් ද සොයා ගැනීමට තැත් කරති. එවන් අභූත දේශපාලන ව්‍යාපෘතියක් න්‍යායිකව යුක්තියුක්ත කල හැක්කේ බුද්ධිමය දුර්ලබ්ධියේ හා වංචාකාරීත්වයේ පදනම මත පමනෙකි.

අප ජීවත්වන්නේ විප්ලවකාරී කාල පරිච්ඡේදයකය. යුද්ධය ඉස්මතු කරන එකී ප‍්‍රතිවිරෝධයෝම සමාජ විප්ලවය සඳහා ද භූමිය සකස් කරති. මාක්ස් සංකල්පනය කල පරිදි සමාජවාදී විප්ලවයේ මනෝමූල ආයතනය අතුරුදහන් වී ඇතැයි නිවේදනය කරන ආත්මීයවාදීන්ගේ හා අහේතුවාදීන්ගේ කියාපෑම්වලට පටහැනි ලෙස, පසුගිය අඩ සියවස තුල ධනවාදයේ ගෝලීය වර්ධනය කම්කරු පන්තියේ ශ්‍රේනි අතිමහත් ලෙස ප‍්‍රසාරනය කොට ඇත. මාක්ස්වාදීන් හැරෙන්නේ මේ මූලික බලවේගය වෙතය. මාක්ස්වාදීන් මුහුන දෙන මහා අභියෝගය වන්නේ ඉදිරියේ එලඹෙන කම්කරු පන්තියේ බහුජන ව්‍යාපාරය දේශපාලන බලය දිනා ගැනීම කරා මෙහෙයවිය හැකි වැඩි දියුනු කම්කරුවන්ගේ පෙරටු බලඇනියක් දේශපාලනිකව සූදානම් කිරීමයි. මෙම සූදානම් කිරීම සමන්විත වන්නේ කුමකින් ද?

සමාජ සත්වයාගේ පරිනාමය නිර්නය කෙරෙන ආර්ථික නියාමවල “වෛෂයික තර්කනය” මාක්ස්වාදය විසින් සොයා ගැනුනු බව, 1908 දී ලියන ලද Materialism and Empirio-Criticism (භෞතිකවාදය හා අනුභූතිවාදී විචාරය) නම් දීප්තිමත් දාර්ශනික නිබන්ධය තුල ලෙනින් පැහැදිලි කලේය. ඒ අනුව ඔහු මෙසේ ලිවීය:

මනුෂ්‍ය වර්ගයාගේ ඉහලම කර්තව්‍යය වන්නේ, යමෙකුගේ සමාජ විඥානය සහ සියලු ධනේශ්වර රටවල වැඩිදියුනු පන්තිවල විඥානය ඊට අනුහුරු කර ගැනීමට හැකි වන පරිදි හැකිතාක් නිශ්චිත, පැහැදිලි හා විචාරාත්මක ආකාරයෙන්, ආර්ථික පරිනාමයේ (සමාජ ජීවිතය පරිනාමනය වීමේ) මෙම වෛෂයික තර්කනය එහි ප‍්‍රධාන සහ මූලික ලක්ෂනයන් තුල වටහා ගැනීමයි. (12)

1914 දී, භෞතිකවාදය හා අනුභූතිවාදී විචාරය පල කොට පස් වසක ඇවෑමෙන්, පලමුවෙනි ලෝක යුද්ධය ආරම්භ විය. ජර්මානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ හා දෙවැනි ජාත්‍යන්තරයේ පාවාදීම සමග පොරබදමින් යුරෝපයේ ද, ලෝකය පුරා ද විප්ලවවාදී ජාත්‍යන්තරවාදීන් ඒකරාශී කිරීමට ලෙනින් අපේක්ෂා කලේය. යුද්ධයේ වෛෂයික හේතූන් වසන් කිරීමට තැත් කල කෞට්ස්කි වැනි අධිරාජ්‍යවාදයේ ක්ෂමාලාපකයන්ට එරෙහිව 1914 සහ 1917 අතරතුර ලෙනින්ගේ න්‍යායික කර්තව්‍යයන් මගින්, අධිරාජ්‍යවාදී යුද්ධයේ හා දෙවැනි ජාත්‍යන්තරය ඇතුලත අවස්ථාවාදය වැඩී ඒමේ වෛෂයික හේතු අනාවරනය කෙරිනි. අධිරාජ්‍යවාදය පිලිබඳ ඔහුගේ සුවිශිෂ්ඨ විශ්ලේෂනය ලිවීමේ දී ලෙනින්ගේ අභිප‍්‍රාය වූයේ යුද්ධයේ තර්කනය හෙලිදරව් කිරීම හා එමගින්, විප්ලවය කරා මග පෙන්වන වෛෂයික ක‍්‍රියාවලිය සමග රුසියානු හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ විඥානය හා භාවිතය එකෙලි කිරීමේ ශක්‍යතාව තහවුරු කිරීමයි. 1917 ඔක්තෝබරයේ රුසියානු කම්කරු පන්තිය බලය අල්ලා ගැනීම තුල, වෛෂයික යථාර්ථය හා කම්කරු පන්තියේ සමාජ විඥානය නිරවද්‍ය ලෙස එකෙලි කිරීම සාක්ෂාත් විය.

ලෝකය මීට ශතවර්ෂයකට ඉහත පැවතියාට වඩා බෙහෙවින් සංකීර්න වී ඇත. එහෙත් ආවශ්‍යක කර්තව්‍යය එසේම පවතී: සමාජ චින්තනය යථාර්ථය හා එකෙලි විය යුතුය. කම්කරු පන්තිය වත්මන් අර්බුදයේ තර්කනය වටහා ගෙන, වෛෂයික අවශ්‍යතාවට අනුකූලව සිය භාවිතය සකස් කර ගත යුතුය. එවන් අවබෝධයක් අත්පත් කොට ගත හැකි වන්නේ මාක්ස්වාදයේ පදනම මත පමනකි.

***

සටහන්:

(1) ලියොන් ට්‍රොට්ස්කි, The Struggle Against Fascism in Germany (ජර්මනියේ ෆැසිස්ට්වාදයට එරෙහි අරගලය) තුල “ජාතික සමාජවාදය යනු කුමක් ද?” ලිපියෙනි (New York: Pathfinder, 1971), පි. 525

(2) Foreign Affairs, අගෝස්තු 1, 2016, ප‍්‍රවේශය: https://www.foreignaffairs.com/print1117930

(3) The Future of the Army (හමුදාවේ අනාගතය), ඩේවිඩ් බානෝ සහ නෝරා බෙන්සහෙල් (The Atlantic Council, සැප්තැම්බර් 2016), පි. 7. මුලූ ලේඛනයම මෙහිදී ලබා ගත හැක:http://www.atlanticcouncil.org/publications/reports/the-future-of-the-army

(4) එම, පිටු. 8-9

(5) එම, පි. 31

(6) “What Makes a Great Power War Possible?” (මහ බලවතුන් අතර යුද්ධයේ හැකියාව ඇතිකරන්නේ කුමකින් ද?) මයිකල් කොෆ්මන් සහ අන්ද්රෙයි සුශේAn American Utopia: Dual Power and the Universal Army න්ස්ටොව්, Russia in Global affairs June 17, 2016

(7) https://www.marxists.org/archive/marx/works/download/Marx_Engels_Correspondence.pdf

(8) NLR හි ප‍්‍රකාශිතයි, 49 (2008): 2008. බෘනෝ බොස්ටීල්ස්ගේ The Actuality of Communism හි උපුටා දක්වා ඇත. (London: Verso, 2011), පි. 14-15

(9) බෘනෝ බොස්ටීල්ස් විසින් Badiou and Politics තුල උපුටා දක්වා ඇත.

(10) Radical Philosophy හි පල විය. සැප්තැම්බර්/ඔක්තෝබර් 2013, පි. 44

(11) An American Utopia: Dual Power and the Universal Army (ඇමරිකානු මනෝරාජ්‍යයක්: ද්වන්ධ බලය හා විශ්ව හමුදාව)

(12) Lenin Collected Works (එකතු කල කෘති) Volume 14 (Moscow: Progress Publishers, 1978) පි. 325

Share this article: