මැලේසියානු අගමැති චීනය සමග සමීප මිලිටරි සබඳතා ගොඩනගයි

Malaysian prime minister forges closer military ties with China

පීටර් සිමන්ඩ්ස් විසිනි, 2016 නොවැම්බර් 3

මෙම සතිය තුල සිදුකල චීන සංචාරයේ දී මැලේසියානු අගමැති නජීබ් රසාක්, රටවල් දෙක අතර නාවික සහයෝගිතාව ඇතුලු ගිවිසුම් කීපයකට අත්සන් කල අතර, පැරනි යටත් විජිත බලවතුන්ට දෝෂාරෝපනය කිරීමට ද අමතක නොකලේය. බීජීනයට පිටත්ව යාමට පෙර තමා “චීනයේ සැබෑ මිතුරෙකු” යැයි පවසන ලද ඔහු, දෙරට අතර සම්බන්ධතා නව “ඉහල මට්ටමකට” ගෙන යාමට අධිෂ්ඨාන කරගෙන සිටින බව ද පැවසී ය.

“විශාල රටවල් කුඩා රටවලට සාධාරන ලෙස සැලකිය යුතු” බව නජීබ් ප‍්‍රකාශ කලේ යැයි රජයට අයත් චයිනා ටුඬේ පුවත්පතේ අඟහරුවාදා කතුවැකියක සඳහන් කෙරුනි. “මෙයට පැරනි යටත්විජිත බලවතුන් ද ඇතුලත් ය. වරෙක ඔවුන් විසින් සූරා කන ලද රටවලට සිය අභ්‍යන්තර කටයුතු ගෙන යන්නේ කෙසේ දැ යි දේශනා කිරීම ඔවුන්ට අයිති වැඩක් නො වේ” යයි ඔහු පැවසී ය. මෙම ප‍්‍රකාශ පැහදිලිව ම එල්ල කෙරෙන්නේ එක්සත් ජනපදය හා එහි යුරෝපීය සහචරයන් වෙතටය. නජීබ්ගේ පැත්තෙන් චීනය කරා සැලකියයුතු හැරීමක් ඉන් සලකුනු කෙරේ.

චීනයට එරෙහි වොෂින්ටනයේ “ආසියාවට හැරීමේ කොටසක්” ලෙස ජනාධිපති බරක් ඔබාමා නජීබ් ප‍්‍රවේසමෙන් පැලපදියම් කලේය. 1966න් පසුව එක්සත් ජනපද ජනාධිපතිවරයෙකුගේ පලමු නිල සංචාරය ලෙස 2014දී ද නැවත පසු ගිය නොවැම්බරයේ දී ද බරක් ඔබාමා මලයාසියාවේ සංචාරය කලේ, මූලෝපායික හා මිලිටරි බැඳීම් ශක්තිමත් කිරීමට ය. දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහි නජීබ්ගේ මර්දනකාරී පියවරයන් මෙන් ම ඔහුගේ ආන්ඩුවට බලයට ඒමට හැකි වන සේ 2013 මැතිවරනය කොල්ලකෑම ද ඔබමා විසින් හිතමතා නො සලකා හැර තිබුනි.

කෙසේ නමුත් ජූලි මාසයේ දී, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව මලයාසියාවේ රජයට අයත් ආයෝජන අරමුදලක් වන 1 මැලේසියන් ඩෙවලොප්මන්ට් බර්හාඩ්(1අයිඑම්ඩීබී) නම් සංවර්ධන අරමුදලින් සොරා ගැනුනු ඩොලර් බිලියන එකක් අයකර ගැනීමට සිවිල් නඩුවක් ඇරඹී ය. මෙය පෙන්නුම් කලේ නජීබ් එය අවභාවිතා කර ඇති බවයි. වාර්තාවේ සඳහන් වූයේ ”අංක එකේ මැලේසියානු නිලධාරියා” ලෙස ය. චෝදනාවන්ට ලක්ව සිටි නජීබ්ගේ දේශපාලන අර්බුදය, එක්සත් ජනපද නඩුව හමුවේ වඩාත් නරක අතට හැරී තිබේ.

ඊට වෙනස් ආකාරයෙන් බීජීනය, රජයට අයත් චයිනා න්‍යුක්ලියර් පවර් ගෘප් හරහා පසු ගිය නොවැම්බරයේ දී, ඩොලර් බිලියන 2.3ක් වටිනා 1 අයිඑම්ඩීබී බලශක්ති වත්කම් මිල දී ගන්නා බව නිවේදනය කරමින්, එරට විශාල නය බර සැලකිය යුතු ලෙස සැහැල්ලු කරනු ලැබීම තුලින් නජීබ්ට සැලකියයුතු අස්වැසිල්ලක් සපයා දුන්නේය.

චීනය හා මැලේසියාව අතර දකුනු චීන මුහුදේ භූමිය පිලිබඳ ඇතිව තිබෙන මතභේද සම්බන්ධයෙන් වෙනසක් සංඥා කරන ප‍්‍රකාශයක් නජීබ් චයිනා ඬේලි පුවත්පතට කර තිබුනි. ”දකුනු චීන මුහුද සම්බන්ධයෙන් ගත් විට අප දැඩි ලෙස විශ්වාස කරන්නේ, දිග්ගැස්සී තිබෙන භූමිය හා නාවික මාර්ග පිලිබඳ මතභේද, නීතියේ ආධිපත්‍යය, සාමකාමි සාකච්ඡා හා සංවාද මගින් තැන්පත් ව හා තාර්තික ලෙස කලමනාකරන කල යුතු බව” යයි ඔහු ප‍්‍රකාශ කලේ ය.

මතභේදයට තුඩුදී ඇති සාගර කලාපයේ චීන නාවික ගමනාගමන අයිතිවාසිකම්වලට එරෙහිව එක්සත් ජනපදයේ පිටුබලය සහිතව, පිලිපීනය පැවරූ නඩුවට පක්ෂව, ස්ථාවර බේරුම්කාර අධිකරනය ජූලි මාසයේ දී ලබා දුන් තීන්දුව පිලිබඳ ව නජීබ් සඳහන් නො කලේ ය. පසු ගිය ජනවාරි මාසයේ ජේම්ස් ෂෝල් ගල්පර ආසන්න මුහුදට චීන නාවික යාත‍්‍රා පැමිනීම ඇතුලු, තමන්ට අයත් යැයි සැලකෙන සාගර ප‍්‍රදේශවලවලට චීනය බලෙන් ඇතුලූවීමට එරෙහිව මැලේසියාව මීට පෙර විරුද්ධත්වය දක්වා ඇත.

චීන උප විදේශ ඇමති ලියු ෂෙන්මින් අඟහරුවාදා පැවසුවේ, මුහුදු ප‍්‍රදේශ පිලිබඳව චීනය සමග ඇතිව තිබෙන මතභේද ද්විපාර්ශ්වීය සාකච්ඡා මගින් විසඳා ගැනීමට මැලේසියාව පොරොන්දු වී තිබුන බව යි. දකුනු චීන මුහුද පිලිබඳ ව නිතර ම ද්විපාක්ෂික සාකච්ඡා ගැන අවධාරනය කර ඇත්තා වූ ද එක්සත් ජනපදය හා එහි සහචරයන් බලකරන පරිදි ආසියානු සමුලුව වැනි බහුජාතික අධිකරනයන් හි මතභේද සාකච්ඡාවෙමින් තිබෙනවාට විරුද්ධ වූ ද චීනයට මෙය සැලකියයුතු සහනයකි.

නජීබ් අඟහරුවාදා චීන අගමැති ලී කෙකින්ග් මුන ගැසුන අතර, දෙදෙනා ඩොලර් බිලියන 34.25ක වටිනාකමින් යුත් ගිවිසුම් අත්සන් කිරීම අධීක්ෂනය කලහ. ආරක්ෂක සහයෝගිතාව සම්බන්ධ අවබෝධතා සන්දේශයක් ද මෙයට අයත් විය. උප විදේශ ඇමති ලියු ෂෙන්මින් මෙසේ පැවසී ය: “අපගේ සහයෝගිතාව පිලිබඳ විස්තර උඩින් මත්තෙන් සලකා බලා නැත. අප වඩාත් ම අවධානය යොමු කරමින් සිටින්නේ නාවික සහයෝගිතාව පිලිබඳව යි.”

නාවික සහයෝගිතාවේ කොටසක් ලෙස මැලේසියාව චීන නාවික යාත‍්‍රා හතරක් මිල දී ගැනීමට එකඟ වී ඇති අතර, ඉන් දෙකක් මැලේසියාවේ දී ද දෙකක් චීනයේ දී ද නිපදවනු ඇත. මෙය, මැලේසියාව චීන ආයුධ මිල දී ගත් පලමු ප‍්‍රධාන අවස්ථාව යි. අතීතයේ දී එරට විශාල වසයෙන් යුද්ධෝපකරන මිල දී ගෙන ඇත්තේ එක්සත් ජනපදය හෝ රුසියාවෙනි.

අනෙකුත් ගිවිසුම්වලට ක්වාලාලම්පූර් හා සිංගප්පූරුව අතර අධිවේගී දුම්රිය මාර්ගයක් ඉදිකිරීම ඇතුලත්ය. මෙය ගිනිකොනදිග ආසියාව ඇතුලුව, මුහුද හා ගොඩබිම ඔස්සේ යුරේසියානු භූස්කන්ධය වඩා කිට්ටුවෙන් ඒකාබද්ධ කිරීම අරමුනු කරගත් චීනයේ එක් තීරුව යි එක් මාවතයි යන දැවන්ත සැලස්මේ කොටසකි.

එක්සත් ජනපදය හා චීනය අතර නැගෙන තරඟකාරිත්වය මධ්‍යයේ නජීබ්, දෙපැත්ත අතර තුලනය වීමට උත්සාහ දරන බව අවිවාදිත වුවත්, එය, චීනය මත පීඩනය වැඩි කිරීමේ වොෂින්ටන් ව්‍යායාමයට බලවත් පහරකි. නජීබ්ගේ සංචාරය සිදුවන්නේ පසු ගිය මාසයේ පිලිපීන ජනාධිපති රොද‍්‍රිගෝ දුතර්තේගේ චීන සංචාරයෙන් පසු ය. එහි දී දුතර්තේ ඩොලර් බිලියන 13.5ක ගනදෙනුවලට අත්සන් තැබූ අතර එක්සත් ජනපදයෙන් සිය රටේ “වෙන්වීම” ප‍්‍රකාශ යට පත් කලේ ය.

වොෂින්ටනයේ උත්සුකයන් පිලිබිඹු කරමින්, සිඞ්නි නගරයේ ලෝවි ආතනයේ විශ්ලේෂකයෙකු වන යුආන් ග‍්‍රහම් ෆිනෑන්ෂල් ටයිම්ස් පත‍්‍රයට මෙසේ පැවසී ය: “දැන් මැලේසියාව ඇද ගැහෙන වෙස්මුහුනක් ලෙස පෙනීයයි. එය පතුරවා හරින්නේ, දකුනු ආසියාව හරහා චීනය සමග වඩා පුලුල් ලෙස අනුගතවීමේ ඉඩක් පවතී ය යන අශුභවාදී අදහසයි.”

ඊට වඩා කඨෝර භාවයක් සහිත දුතර්තේගේ ඇමරිකානු විරෝධී මවාපෑම්වල කොටසක් ලෙස ඔහු, එක්සත් ජනපද-පිලිපීන ඒකාබද්ධ යුද අභ්‍යාස අවසන් කිරීමට හා දකුනු පිලිපීන දූපතක් වන මින්ඩනා ඕ දූපතින් ඇමරිකානු හමුදා ඉවත් කිරීම ද ඉල්ලා ඇත.

චීනය අතර වඩා කිට්ටු ආරක්ෂක බැඳීම් ඇතිකර ගැනීම, එක්සත් ජනපදය සමග මලයාසියාවේ මිලිටරි මෙහෙයුම් ප‍්‍රශ්නයට බඳුන් කර ඇත. දකුනු චීන මුහුදට ඉහල සෝදිසි මෙහෙයුම් සඳහා මැලේසියානු කඳවුරුවලින් එක්සත් ජනපද නාවික හමුදාවේ පී-8ඒ පොසේඩන් ගුවන්යනාවලට ගුවන් ගත වීමට අවසර දීම ද මෙයට ඇතුලත් ය.

වඩා පුලුල් ලෙස, මැනිලා හා ක්වාලා ලම්පූර් තන්ත‍්‍රයන් බීජීනය දෙසට නැමීම හේග් තීන්දුවෙන් පසු දකුනු චීන මුහුද සම්බන්ධයෙන් චීනය සමග ගැටුම තීව‍්‍ර කිරීමේ එක්සත් ජනපද සැලැසුම් ද “හැරීම” පිලිබඳ එක්සත් ජනපදය හා කලාපය තුල උත්සුකයන් ද මොට කර ඇත.

දුතර්තේ හා නජීබ්ගේ සංචාරයන් සිදුවූයේ, ඇමරිකානු ජනාධිපතිවරනය ද ඒ නයින් එක්සත් ජනපද විදේශ ප‍්‍රතිපත්තිය ද වටා ඇතිව තිබෙන තියුනු අවිනිශ්චිතතාව මධ්‍යයේ ය. අන්තර්-ශාන්තිකර හවුල්කාරිත්වය ―“ආසියාවට හැරීමේ” ආර්ථික කඩ ඇනය―සම්බන්ධයෙන් අපේක්ෂකයින් දෙදෙනාගේම විරුද්ධත්වය, ආසියාව තුල වොෂින්ටනයේ සම්බන්ධතා ප‍්‍රශ්නයට බඳුන් කර ඇත.

කෙසේ නමුත් චීනය තම බලපෑම ව්‍යාප්ත කරන අතරතුර, අලසව බලා සිටීමට එක්සත් ජනපදය සූදානම් නැත. ඇමරිකානු මාධ්‍ය මේ වන විටත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 4000කගේ ජීවිත බිලිගෙන ඇති බවට චෝදනා එල්ලවී තිබෙන දුතර්තේගේ ම්ලෙච්ඡ මත්ද්‍රව්‍ය විරෝධී යුද්ධය පිලිබඳ “හෙලිදරව් කිරීම්” දැඩි කර ඇතුවාක් මෙන් ම, බීජීනය වෙත නැඹුරුව වෙනස් කිරීම සඳහා නජීබ්ට පීඩනය යොදනු පිනිස, එක්සත් ජනපදය නිසැකවම මැලේසියානු ආන්ඩුවේ “මානව හිමිකම්” අපවාද උලුප්පා පෙන්වීම ආරම්භ කරනවා ඇත.

Share this article: