ජනාධිපතිවරනය ආසන්න වෙත්ම එක්සත් ජනපදය තුල පන්ති අරගලය උත්සන්න වේ

Class struggle in US intensifies on eve of election

2016 නොවැම්බර් 4

08දා පැවත්වීමට නියමිත ජාතික මැතිවරනයට සූදානම් වන අතරතුර, එක්සත් ජනපදයේ බොහෝ ප‍්‍රදේශවල කම්කරු පන්තියේ විවිධ කොටස් අතර සැලකියයුතු සංඛ්‍යාවක් වැඩවර්ජන පැන නැගී ඇත. විශාලම එක ෆිලඩෙල්පියාවේ ආසන්න වසයෙන් 5,000ක් වන සංක‍්‍රාන්ත ගුවන් මගී කම්කරුවන්ගේ වර්ජනය යි. දැනට පස්වැනි දිනයට පැමිනි ඇති වැඩවර්ජනය රටේ හයවැනි ජාතික සංක‍්‍රාන්ති පද්ධතිය වසා දමා ඇති අතර මිලියන 1.5ක ජනගහනයකින් යුත් නගරය සබෑ වශයෙන්ම ඇනහිටුවා ඇත.

වැඩවර්ජනට ප‍්‍රධාන හේතුව, ගිනිකොනදිග පෙනිසිල්වේනියානු ගමනාගමන අධිකාරිය (සෙප්ටා) සෞඛ්‍ය වියදම් සඳහා කම්කරුවන්ගේ පංගුව 11ස් ගුනයක් වැඩි කරන ලෙසට කරන ඉල්ලීමයි.

දැනට පවතින වැඩ වර්ජන අතර වැටුප් හා විශ‍්‍රාම වැටුප් කප්පාදුවට එරෙහිව පස්වැනි සතියටත් පිවිස තිබෙන පිට්ස්බර්ග් සංධ්වනී වාදකවෘන්දයේ සංගීතඥයින්ගේ වර්ජනය; වෛද්‍ය හා විශ‍්‍රාම වැටුප් කප්පාදුවට එරෙහිව සටන් කරමින් සිටින නිව් යෝක් නගරයේ මෝමෙන්ටිව් පර්ෆෝමන්ස් මැටීරියල් නම් ආයතනයේ කම්කරුවන් 700ගේ වර්ජනය; හා වඩා යහපත් වන්දි හා සේවා කොන්දේසි ඉල්ලමින් සිටින ලොස් ඇන්ජලීස් හි වීඩියෝ ක‍්‍රීඩා හඬ නලුවන්ගේ වර්ජනය ද වේ.

ඊට අමතරව, ගුවන්යානා අමතර කොටස් නිෂ්පාදක හොනිවෙල් ඉන්ටර්නැෂනල් සමාගම ඉල්ලා සිටින වෛද්‍ය පහසුකම් කැපීම ප‍්‍රතික්ෂේප කිරීමෙන් පසු ඉන්ඩියානා හා නිව් යෝක් ප‍්‍රාන්තවල කම්කරුවන් 400ක් පමන මාස හතක් තිස්සේ දොට්ට දැමීමකට ලක් කෙරී ඇත.

තවත් මෑත වැඩවර්ජන මාලාවක් වෘත්තීය සමිති විසින් නතර කරන ලදී. ඔවුන් උත්සාහ කරන්මින් සිටින්නේ හැකි සෑම තැනකම වැඩවර්ජන වැලැක්වීමට හා ඩෙමොක‍්‍රටික් ජනාධිපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ මැතිවරන උද්ඝෝෂන ප‍්‍රචාරය කිරීමේ උත්සුකයට බාධා කරන ඒවා ඉක්මනින් අවසන් කිරීමටත් ය.

පසු ගිය සති කීපයේ දී, පෙනිසිල්වේනියා ප‍්‍රාන්ත විශ්වවිද්‍යාල පීඨ සාමාජිකයින්ගේ, මිනසෝටා ප‍්‍රාන්ත හෙදියන්ගේ, ඔහියෝ ප‍්‍රාන්තයේ ලිබී වීදුරු කම්කරුවන්ගේ, කෙන්ටකී ප‍්‍රාන්තයේ ජිම් බීම්ස් විස්කි නිෂ්පාදන කම්කරුවන්ගේ, එමෙන්ම මැසචුසෙට් ප‍්‍රාන්තයේ හාවඩ් විශ්වවිද්‍යාලයේ භෝජනාගාර කම්කරුවන්ගේ වැඩ වර්ජන වෘත්තීය සමිති විසින් නවතා දමන ලදී. මෙම වැඩවර්ජන සිදුවුනේ පසු ගිය වසර මුල පැවති වෙරිසොන් ටෙලිකොම් කම්කරුවන් 40,000කගේ වැඩවර්ජනයට පසු ය.

කැලිෆෝනියා ප‍්‍රාන්තයේ කම්කරුවන් 95,000ක් ද, යුනයිටඩ් පාර්සල් සර්විස් ගුවන්යානා කාර්මිකයන්, කෙන්ටකී ප‍්‍රාන්තයේ ජෙනරල් ඉලෙක්ට්‍රික් ආම්පන්න කම්කරුවන්, එමෙන් ම ඔහියෝ හා ඉලිනොයිස් ප‍්‍රාන්තවල බස් කම්කරුවන් ඉක්මනට ම වැඩවර්ජන වලට එලඹීමේ සූදානමක් ඇත.

එක්සත් ජනපද කම්කරු පන්ති අරගලවල වැඩිවීම, පසු ගිය මස දකුනු කොරියාවේ මෝටර් රථ, දුම්රිය හා රෝහල් කම්කරුවන් දසදහස් ගනනාවකගේ වැඩවර්ජන මෙන් ම චීනයේ වාර්තාගත වැඩවර්ජන ඇතුලුව ජාත්‍යන්තරව පන්ති අරගලයන්ගේ වැඩීමත් සමග සම්පාත වේ.

වැඩ නැවැත්වීමේ තරාතිරම සහ වත්කම් සංකේන්ද්‍රනය අතර සහසම්බන්ධය - 1948-2014

දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ඔබාමා පාලනාධිකාරය යටතේ වැඩවර්ජන එහි පහල ම මට්ටමට ගෙන ආ, වෘත්තීය සමිති විසින් පන්ති අරගලය කෘතිම ලෙස මර්දනය කිරීම, 2008 මූල්‍ය අර්බුදයෙන් පසුව, තම මෙහෙයුම් ප‍්‍රතිව්‍යහගත කිරීමට හා ශ‍්‍රම පිරිවැය කපා හැරීමට සංගතවලට ඉඩ සලසාදී ඇත. වෛද්‍ය හා විශ‍්‍රාම වැටුප් වියදම් කම්කරුවන්ගේ කර මතට පාත් කිරීමට හා මිලියන ගනනාවක් කම්කරුවන් අනියම් කම්කරුවන්ගේ තත්වයට පරිවර්තනය කිරීමට මෙය උදව් වී ඇත.

සැබවින් ම මේ සියලු අරගලයන්ගේ පොදු නූල් පොට වන්නේ, සෞඛ්‍ය සංරක්ෂනය වෙනුවෙන් වඩා ඉහල වියදමක් කම්කරුවන්ගේ සාක්කුවෙන් ඇද ගැනීම සඳහා සංගත කරන බලපෑම් කෙරෙහි පවතින විරුද්ධත්වය යි. සෞඛ්‍ය සංරක්ෂනය වියදම සමාගම්වලින් කම්කරුවන් මත පැටවීම තීව‍්‍ර කෙරී ඇත්තේ, ඉවත්ව යන පාලනාධිකාරයේ කේන්ද්‍රීය දේශීය ජයග‍්‍රහනය වන ඔබාමාකෙයා වැඩසටහන ක‍්‍රියාත්මක කිරීම පසෙකිනි.

කයිසර් පවුල් පදනමේ අධ්‍යයනයකට අනුව, පසු ගිය වසරේ දී එක්සත් ජනපදය තුල රක්ෂන වාරිකය සියයට 3.4කින් ද කම්කරුවන්ගෙන් අඩු කලහැකි ඒවා සියයට 12කින් ද ඉහල ගිය අතර එය සියයට 3ක සාමාන්‍ය වැටුප් ඉහල යාමට වඩා වැඩිය. සැබෑ වැටුප් පහල යන හෝ එකතැන පල්වෙන දශකයකට පසුව මේ තත්වය උදාවී ඇත. තවත් අධ්‍යයනයක් පෙන්වන්නේ, ගෙවී ගිය වසර පහ තුල ඉහල (වාරික) අඩු කල හැකි රක්ෂන ක‍්‍රමයන්ට බඳවා ගැනුනු සේවකයින්ගේ කොටස, සියයට 29කට නැතහොත් කම්කරුවන් මිලියන 50 දක්වා, දෙගුනයකටත් වඩා වැඩි වී ඇති බවය.

ආර්ථික ප‍්‍රතිපත්ති ආයතනයට අනුව, 2002 හා 2015 අතර ඇමරිකානු ජනගහනයේ පතුලේ සියයට 90 වාර්ෂික ආදායම් සියයට 4.5කින් වැඩි වූ අතර ඉහල සියයට 1 ආදායම් සියයට 27කින් වැඩිවුනි. ඔබාමා පාලනාධිකාරය යටතේ ඊනියා “ප‍්‍රකෘතිය” ඇරඹීමේ සිට ආදායම් ඉපයුම්වලින් සියයට 90කට වඩා ගොස් ඇත්තේ ඉහල සියයට එකක් අතටය.

එක්සත් ජනපද ගෘහස්ත ආදායමේ මධ්‍යනය

මේ අතර, සියයට 12.5ක නිල දරිද්‍රතා මට්ටමේ ඇමරිකානුවන්ගේ ප‍්‍රතිශතය බුෂ් ජනාධිපති දුර කාලයට වඩා, ඔබාමා පාලනය යටතේ සෑම වසරක ම ඉහලින් තිබී ඇත.

බිලියනපති දේපල ජාවාරම්කරුවෙකු වන ඩොනල්ඩ් ට‍්‍රම්ප්, බහු-මිලියනපති දීර්ග කාලීන දේශපාලඥයෙකු වන හිලරි ක්ලින්ටන් අපේක්ෂකයින් වන මැතිවරනය ආසන්නයේ, මිලියන ගනනාවක් කම්කරුවන්ගේ කොන්දේසි මෙවන් ය. ධනේශ්වර පද්ධතියේ මෙම දක්ෂිනාංශික ආරක්ෂකයින්ගෙන් එකෙකු හෝ කම්කරු පන්තියේ සමාජ අවශ්‍යතාවන් විසඳීමට කිසිදු ප‍්‍රතිපත්තියක් ඉදිරිපත් කරන්නේ නැත.

ඉතා පහත් ගනයේ මැතිවරනය මෙහෙයවනු ලැබ ඇත්තේ, කම්කරු පන්තියේ අතිමහත් බහුතරය මුහුන දෙන සැබෑ ප‍්‍රශ්න මග හැරීමට ය: එනම් ආර්ථික අනාරක්ෂිත භාවය, දරිද්‍රතාවය, මිලිටරිවාදය හා යුද්ධයේ තර්ජනය වසන් කිරීමට ය.

පවතින දේශපාලන රාමුව තුල කම්කරු පන්තියේ සැබෑ මනෝගතියට ප‍්‍රකාශනයක් සොයා ගත නො හැක. ධනේශ්වර පද්ධතියට හා වෝල් වීදියේ කුරිරුකමට විරුද්ධව කම්කරුවන් හා තරුනයන් බර්නී සෑන්ඩර්ස්ට ඡන්දය දුන් අවස්ථාවේ පාලක ප‍්‍රභූව කම්පනයට පත් වූවා සේම බියට පත් වූහ. ව්‍යාජ හා නරුම ලෙස “ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී” ව්‍යාපාරයක් ලෙස ඉදිරිපත් කෙරුනු ඔහුට ලැබුනු මිලියන 13ක ඡන්දය පිලිබිඹු කලේ, කම්කරු පන්ති අරගලයන්ගේ යලිපනගැන්වීම පසෙකින් වාමාංශය දෙසට වර්ධනය වන්නා වූ විඥානයේ ප‍්‍රගාඪ වෙනසකි.

දෙවන ලෝක යුද්ධයේ සිට දල ජාතික නිෂ්පාදිතයෙන් ශ්‍රම ශක්තියේ පංගුව පහලම මට්ටම කරා ඇද වැටීම

මූල්‍ය-සංගත ප‍්‍රභූවේ අනුග‍්‍රහය ලත් හිලරි ක්ලින්ටන්ට සෑන්ඩර්ගේ අනුමැතිය පලවීම හා ඡන්ද යොමු කිරීම හෙලිදරව් කලේ, ඩෙමොක‍්‍රටික් පක්ෂයේ ආවෘත අන්තය කරා මහජන විරුද්ධත්වය හරවා යැවීම සඳහා පාලක ප‍්‍රභූවේ උපකරනයක් ලෙස, ඔහු ඉටු කරන ප‍්‍රතිගාමී කාර්යභාරය යි. ආර්ථික ව්‍යසනයකට මුහුනපා සිටින්නාවූ ජනතාවගේ දුක් පීඩා ගසාකෑම සඳහා ද එම අසන්තෘප්තිය ප‍්‍රතිගාමී ජාතිකවාදී දිසාවකට හරවා යැවීමට ද ට‍්‍රම්ප්ට විවෘත මාවතක් සපයා දීමේ දී, ඔහු කේන්ද්‍රීය භූමිකාවක් ඉටු කර ඇත.

සෑන්ඩර්ගේ යටත්වීම සහ ප‍්‍රතිගාමී ලිබරල් හා ව්‍යාජ-වාම කන්ඩායම්වල උදාසීනත්වයේ පිටුබලය ද සහිතව ක්ලින්ටන්, වාර්ගික හා ලිංගික දේශපාලනය හුවා දැක්වීමේ උත්සාහය දැඩි කරමින්, “සුදු කම්කරු පන්තිය” තුල පවතින්නේ යයි කියන වර්ගවාදය ට‍්‍රම්ප්ගේ සහායට කැඳවා ගැනීම පිනිස කොන්දේසි නිර්මානය කර ඇත.

එවැනි බොරුවල ලොකු ම හෙලිදරව්ව පන්ති අරගලය ම යි. සියලුම වර්ගයන්ගේ හා ජාතීන්ගේ කම්කරුවන් සම්බන්ධ කර ගන්නා නව පන්ති අරගල කාලයක ආරම්භක කැලඹීම් අවධාරනය කරන්නේ, මාක්ස් පැවසූ අන්දමට, එක් මූලික කාරනයකි. එනම්, සමාජය බෙදී ඇත්තේ, ධනේශ්වර පන්තිය හා කම්කරු පන්තිය වශයෙන් “එකිනෙකාට මුහුනට මුහුන පිහිටා සිටින, සතුරු කඳවුරු දෙකකට, මහා පන්ති දෙකකට” බවය.

සෑන්ඩර්ස් සඳහා පලවූ දැවන්ත සහයෝගය තුල ආරම්භක ප‍්‍රකාශනය අත්කර ගත් දේශපාලන පෙරලිකාරිත්වය පහව ගොස් නැත. විදේශයන් හි එක්සත් ජනපද මිලිටරි ප‍්‍රචන්ඩතා ද රට තුල කම්කරු පන්තියට එරෙහි ප‍්‍රහාරයන් ද උත්සන්න කරන්නා වූ නව පාලනයක් යටතේ එය තීව‍්‍ර වනු ඇත.

සමාජවාදී සමානතා පක්ෂයේ මැතිවරන උද්ඝෝෂන කාලය අතරතුර දී, දහස් ගනන් කම්කරුවන් හා තරුනයන් සමාජවාදය පිලිබඳ වැඩෙන උනන්දුව ප‍්‍රකාශ කර ඇත. අපගේ පක්ෂය හා අපේක්ෂකයින් පමනක් ― ජනාධිපති ධුරය සඳහා ජෙරී වයිට් හා උප ජනාධිපති ධුරය සඳහා නයිල් නීමුත් ― එලඹෙමින් තිබෙන පන්ති අරගලය සඳහා ඉදිරිදර්ශනයක් හා ක‍්‍රියාමාර්ගයක් සැපයීමට මෙන් ම යුද්ධයට, සමාජ අසමානතාවට හා ඒකාධිපතිත්වයේ අනතුරට එරෙහි සෑම අරගලයක් ම කම්කරුවන්ගේ පාලනය හා සමාජවාදය සඳහා වන දේශපාලන අරගලයක් තුල එක්සත් කරනු ඇති නව දේශපාලන නායකත්වයක් සැපයීමට සටන් කරයි.

ජෙරී වයිට් විසිනි

Share this article: