2016 එක්සත් ජනපද ජනපතිවරනය සහ ද්විපක්ෂ ක්‍රමයේ අර්බුදය

The 2016 US election and the crisis of the two-party system

2016 නොවැම්බර් 01

මැතිවරන දිනයට සතියකට පෙර, මත විමසුම්වල ප්‍රතිඵල කරට කර හා ප්‍රතිඵලය අවිනිශ්චිත වෙමින් තිබිය දී, එෆ්බීඅයි සංවිධානය සිදු කල පෙර නො වූ විරූ මැදිහත් වීම මගින් සමස්ත එක්සත් ජනපද දේශපාලන පද්ධතිය ම කලබැගෑනියට පත්ව තිබේ.

හිලරි ක්ලින්ටන් පුද්ගලික ඊමේල් සර්වරයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂනයේ නව හැරීමක් පිලිබඳව දැනුම් දෙමින් 28දා එෆ්බීඅයි අධ්‍යක්ෂ ජේම්ස් කොමී විසින් කොන්ග්‍රසය වෙත යවනු ලැබූ ලිපිය, රාජ්‍ය සංස්ථාපිතය තුල වියරු ගැටුමකට තුඩුදී ඇත. කලක් තිස්සේ කැකෑරෙමින් තිබූ ආතතීන් එලිපිටට පමුනුවා ඇති අතර එය දේශපාලන යුද්ධයක් බවට හැරෙමින් තිබේ.

සිකුරාදා පටන්, එෆ්බීඅයි සංවිධානයේ සහ අධිකරන දෙපාර්තමේන්තුවේ විවිධ නිලධාරීන්, ක්ලින්ටන් පිලිබඳ පරීක්ෂනය පිලිබඳව තියුනු බෙදීම් නිර්මානය කෙරී ඇති බැව් පෙන්නුම් කර ඇත. ප්‍රාදේශිය එෆ්බීඅයි කාර්යාල, ක්ලින්ටන් චෝදනා ලැබ සිටින රහසිගත තොරතුරු අපහරනය පිලිබඳව සේ ම ප්‍රකෝටිපති ක්ලින්ටන් පදනම සම්බන්ධ දූෂන චෝදනා පිලිබඳව ද වඩා ආක්‍රමනශීලී පරීක්ෂනයක් ඉල්ලා සිටීමත් සමග එය එලියට පැමිනියේය. ක්ලින්ටන්ගේ ඊමේල් පිලිබඳ පරීක්ෂනය සම්පූර්න කෙරුනු බවත් කිසිදු අපරාධ චෝදනාවක් ඉදිරිපත් නොකෙරෙන බවත් කොමී පසුගිය ජූලියේ දී නිවේදනය කල පසු මෙම කා කොටාගැනීම් තීව්‍ර විය.

කොන්ග්‍රසය වෙත ලියූ සිය ලිපිය සමග කොමීගේ මැදිහත් වීම, ක්ලින්ටන්ට එරෙහි ව වඩා ආක්‍රමනශීලී පියවර ගත යුතු බව කියා සිටින පාර්ශ්වය පැත්තෙන් සිදුව ඇත. අධිකරන දෙපාර්තමේන්තු නිලධාරීන් පෙන්නුම් කර ඇත්තේ, නොවැම්බර් 8 මැතිවරනයට යන්තම් දින 11 කට පෙර තවත් ඊමේල් ප්‍රමානයක් පිලිබඳ ඒජන්සිය කරගෙන යන විමර්ශනය ප්‍රසිද්ධියට පත් කිරීමේ කොමීගේ තීරනයට ඔවුන් විරුද්ධ බව යි.

ඩිමොක්‍රටික් පක්ෂයේ සහ ක්ලින්ටන්ගේ මැතිවරන ව්‍යාපාරය, රිපබ්ලිකානු හා ඩිමොක්‍රටික දෙපාර්ශ්වයේ ම හිටපු නීතිපතිවරුන් ද සමගින් කොමීගේ ක්‍රියාව කටුක අන්දමින් හෙලාදැක තිබේ. ප්‍රධාන සෙනෙට් ඩිමොක්‍රටික හැරී රීඩ්, ෆෙඩරල් සේවකයින් ඒ හෝ මේ අපේක්ෂකයකුට සහාය පල කරමින් ප්‍රසිද්ධියේ කටයුතු කිරීම තහනම් කරන හැච් පනත උල්ලංඝනය කලේ යැ යි කොමීට චෝදනා කරමින්, ලිපියක් යැවී ය. අඩු තරමේ එක් ඩිමොක්‍රටික කොන්ග්‍රස් සභිකයකු, එෆ්බීඅයි ප්‍රධානියා වහා ම ඉල්ලා අස් විය යුතු යයි බල කොට ඇත.

යන්තම් සති කීපයකට පෙර, ක්ලින්ටන් හා ඩිමොක්‍රටික් පක්ෂය, මැතිවරනය කෙලෙසනු ලැබ ඇතැයි ට්‍රම්ප් එල්ල කල චෝදනාව කෝපාන්විත ව හෙලා දුටහ. ඔවුන් කියා සිටියේ එවැනි චෝදනා එක්සත් ජනපද මැතිවරනවල හා ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රයේ නොකිලිටි වාර්තාවට සිදු කෙරුනු දේශද්‍රෝහී කැලලක් බව යි. දැන්, වෙනස් වාතාවරනයක් තුල, එෆ්බීඅයි සංවිධානය තමන්ට එරෙහි ව ඡන්දය කෙලෙසීමට තැත් කරතියි කෑගසමින් චෝදනා කරන්නෝ ඔවුහු ය.

සත්තකින් ම, පාලක පන්තියේ පිල් දෙක ම සෝලි කතා පැතිරවීමේ විධික්‍රම සිය සටන සඳහා යොදාගෙන තිබේ. පසුගිය මාස ගනනාව තුල ඩිමොක්‍රටිකයන් ලිංගික සෝලි සහ ට්‍රම්ප් ක්‍රෙම්ලිනයේ ඒජන්තයෙකියි කියන නව මැකාර්තියානු පටබැඳීම් මත ට්‍රම්ප්ට එරෙහි සිය උද්ඝෝෂනය කේන්ද්‍රගත කර තිබින. කොමී වෙත යැවුනු සිය ලිපියෙහි රීඩ් මේ චෝදනා මත වාරු වෙමින්, "ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ ප්‍රධාන උපදේශකයින් සහ - එක්සත් ජනපදයට විවෘත ව ම සතුරු වූ විදේශ උත්සුකයක් වන - රුසියානු ආන්ඩුව අතර සමීප සබඳතා හා සම්බන්ධීකරනය පිලිබඳ පුපුරනසුලු තොරතුරු" ප්‍රසිද්ධියට පත් කිරීම ප්‍රතික්ෂේප කිරීම ගැන එෆ්බීඅයි සංවිධානයට චෝදනා නැඟීය.

ට්‍රම්ප් තම පැත්තෙන් ජනමාධ්‍යවල ක්ලින්ටන් ගැති ස්වභාවයට ඇඟිල්ල දිගු කරමින්, එෆ්බීඅයි සංවිධානය ක්ලින්ටන්ට නඩු පැවරීමට අසමත් වීම හෙලා දැක, මැතිවරන දිනයේ දී ප්‍රමුඛ වසයෙන් සංක්‍රමනික හා සුලුතර ප්‍රජාවන් තුල සංවිධානාත්මක හොර ඡන්ද දැමීමක් සිදු වනු ඇතැයි චෝදනා කරමින් සංක්‍රමනික විරෝධී හා වර්ගවාදී මනෝගතීන් වෙත නොසැඟවූ ආයාචනා නිකුත් කර ඇත.

සැබැවින් ම, මුලුමහත් මැතිවරනය ම නිර්ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදයට කෙරෙන අවමානයකි. පක්ෂ දෙකෙන් එකක් වත් වැඩ කරන ජනතාවගේ සැබෑ උත්සුකයන් කෙරෙහි අවධානය යොමු නොකරයි. යුද්ධය, සමාජ අසමානතාව හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල වන ප්‍රහාර පිලිබඳ දැවෙන ප්‍රශ්න යට ගැසීම පිනිස මඩ ගැසීම් හා සෝලි කතා පතුරුවනු ලැබේ.

ජනාධිපතිවරන තරගයේ අලුත් ම හැරීම, ක්ලින්ටන් හා ඩිමොක්‍රටිකයින් සිය උද්ඝෝෂනය පවත්වාගෙන ගිය ප්‍රතිගාමී පදනම සලකුනු කරයි. ඔවුන් රිපබ්ලිකානු නායකයින්ගේ සහ ඡන්දදායකයින්ගේ මෙන් ම මිලිටරි/ඔත්තු සේවා සංස්ථාපිතයේ සහාය දිනාගැනීමේ අපේක්ෂාවෙන්, සේනාධිනායක ලෙස සේවය කිරීම සඳහා ට්‍රම්ප් අයෝග්‍ය බව ප්‍රකාශ කරන අතර මිලිටරි මැදිහත්වීම් අනුදැන වදාරන්නකු ලෙස ක්ලින්ටන්ගේ විශ්වසනීයත්වය හුවා දක්වමින් ෆැසිස්ට්වාදී ට්‍රම්ප්ට එරෙහිව දකුනින් පහරදී ඇත.

කම්කරුවන්ගේ තත්වය පිලිබඳව ඔවුන් තුල ඇති නොතැකීම සහ කම්කරු පන්තිය තුල ඔවුනට පවතින දුබල සහාය , රාජ්‍යය තුල ට්‍රම්ප් හිතවාදී බලවේගවල ප්‍රයෝග අබියස ඔවුන් දරුනු අවදානමකට ලක් කරයි.

මේ වර්ධනයන්, බර්නි සෑන්ඩර්ස්ගේ ද්‍රෝහී භූමිකාව ද පෙන්නුම් කරයි. සමාජවාදියකු හා "බිලියනපති පන්තියේ" විරුද්ධවාදියකු ලෙස පෙනී සිටිමින් කම්කරු පන්තිය තුල හා තරුනයින් අතර පෘථුල සහයෝගයක් දිනාගත් ඔහු සිය අනුහස යොදාගෙන ඇත්තේ, සමාජ ප්‍රතිරෝධය ආපසු ඩිමොක්‍රටික් පක්ෂය සහ වෝල් වීදියේ ප්‍රියතම අපේක්ෂිකාව වන ක්ලින්ටන්ගේ මැතිවරන ව්‍යාපාරය පසුපස ගාල් කරනු පිනිස ය. එනයින් ඔහු කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් මතු ව ඒම පූර්වභංග කොට අවහිර කර දැමීමෙහිලා තීරනාත්මක කාර්යභාරයක් ඉටු කොට තිබේ.

මීලඟ අඟහරුවාදා මැතිවරනය දිනන්නේ කුමන අපේක්ෂකයා වුවත්, ද්විපක්ෂ ක්‍රමයේ අර්බුදය තුල මොන ම දෙයක් වත් විසඳෙනු නැත. එක්සත් ජනපද ඉතිහාසයේ වඩාත් අපකීර්තිමත් අපේක්ෂකයින් වන මේ දෙදෙනා ම පුලුල් ජනතාවකගේ පිලිකුලට පාත්‍රව සිටින අතර ඇමෙරිකානු ජනතාවගෙන් බහුතරයක් මැතිවරන ප්‍රතිඵලය දකිනු ඇත්තේ අවජාතක එකක් ලෙස යි. මිලියන සංඛ්‍යාත කම්කරුවන් ට්‍රම්ප්ගේ ජයග්‍රහනයක් දකිනු ඇත්තේ කම්කරු පන්තියට එරෙහි ව යුද ප්‍රකාශ කිරීමක් හැටියට ය. ක්ලින්ටන්ගේ ජයක් දකිනු ඇත්තේ ප්‍රතිගාමී වූ පවත්නා සංස්ථාපිතය අඛන්ඩ ව පෙරට යාමක් ලෙස ය.

රාජ්‍යය තුල පවතින රුදුරු ගැටුම්වල සමනය වීමක් ද නොවනු ඇත. මේ ගැටුම් වෛෂයික ව මුල් බැස ඇත්තේ ඇමෙරිකානු හා ලෝක ධනවාදයෙහි ඓතිහාසික අර්බුදයක තුල යි. ආර්ථික අර්බුදය හා ජරපත් වීම, නොකඩවා පුලුල් වන සමාජ ධ්‍රැවාන්තගත වීම සහ තීව්‍ර වන භූදේශපාලනික ගැටුම්, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම් දරුනු ඛාදනයකට හසු කොට තිබේ.

2016 මැතිවරනය තුල පුපුරා ගොස් ඇති පෙර නො වූ විරූ දේශපාලන අර්බුදය වූ කලි, දිග්ගැස්සුනු ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. 1998 දී ලිංගික සෝලියක් පදනම් කරගනිමින් බිල් ක්ලින්ටන් දෝෂාභියෝගයට ලක් කිරීම, දේශපාලන පද්ධතියේ බිඳවැටීම එලිපිට ම පුපුරා යාමකි. ක්ලින්ටන් දෝෂාභියෝගයට ලක් කිරීම සඳහා නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ ඡන්ද විමසීමෙන් පසුව, ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් පල කෙරුනු "ඇමෙරිකාව සිවිල් යුද්ධයක් දෙසට ඇදී යමින් තිබේ ද?” යන හිසින් යුතු කතුවැකියක අපි මෙසේ සඳහන් කලෙමු:

“වොෂින්ටනයෙහි අර්බුදය පැන නඟින්නේ, සංකීර්න දේශපාලන, සමාජ හා ආර්ථික ක්‍රියාවලීන්ගේ අන්තර්ක්‍රියාකාරීත්වයක් තුලිනි. ඒකරාශී වූ හා එන්න එන්න ම විසඳිය නොහැකි වන පරස්පර විරෝධයන්ගේ බරින්, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටෙමින් තිබේ.”

මේ තීරනාත්මක සිදුවීමට පසු 2000 දී කොල්ල කනු ලැබූ මැතිවරනය ද ඉන් අවුරුද්දකට පසු 9/11 ප්‍රහාරවලින් අනතුරුව "ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය" ද දියත් කෙරින. ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ගේ මූනටම එල්ල කෙරුනු ප්‍රහාරයක් සහ පොලිස් රාජ්‍ය පාලනය සඳහා පාදීය ව්‍යුහය ගොඩනැඟීම, මහා අවපාතයෙන් පසු හටගත් දැවැන්ත ම ආර්ථික අර්බුදය, සහ තවදුරටත් ධනවතුන් අතට ධනය ගමන් කිරීම යනාදිය සමග එකට ගමන් කල පහලොස් වසරක නිර්බාධිත හා නොකඩවා ව්‍යාප්ත වන යුද්ධය, මිලිටරියේත් රහස් ඔත්තු සේවාවලත් "අභ්‍යන්තර රාජ්‍යයේ" බලය වර්ධනය කර ඇති අතර ඇමෙරිකාව තුල ධනේශ්වර පාලනයේ සාම්ප්‍රදායික ව්‍යවස්ථානුකූල රාමුව තවදුරටත් ඛාදනය කොට තිබේ.

2016 මැතිවරනය නමැති අධම සංදර්ශනය තුල මේ ක්‍රියාවලීන්ට විසකුරු ප්‍රකාශනයක් ලැබී ඇත. සමස්ත දේශපාලන පද්ධතිය කෙරෙහි වූ සමාජ ප්‍රතිරෝධය හා පිලිකුල රජයන මැතිවරනයක් තුල ඡන්දදායකයින්ට ඉතිරි ව ඇත්තේ, පොහොසත් ම සියයට 1 හි දූෂිත, දක්ෂිනාංශික නියෝජිතයින් දෙදෙනෙකුගෙන් කෙනෙකු "තෝරාගැනීම" යි.

මුල්‍ය කතිපයාධිකාරයෙහි ලාභය පිනිස වූ ධාවනය සඳහා නො ව, තම පන්තියේ අවශ්‍යතා හා උත්සුකයන් කෙරෙහි අවධානය යොමු කරන වැඩපිලිවෙලක් සඳහා සටන් කරන ස්වාධීන බලවේගයක් ලෙස කම්කරු පන්තිය දේශපාලන අර්බුදයට මැදිහත් වීම තීරනාත්මක ය. එසේ නොමැතිවුවහොත් ද්විපක්ෂ ක්‍රමයෙහි අර්බුදය නිර්මානය කරනු ඇත්තේ, කම්කරු පන්තියේ ජීවන තත්වයන්ට තවතවත් මෘග ප්‍රහාර සහ ආඥාදායකත්වය හා නව ලෝක යුද්ධයක් කරා වේගවත් ගමනක් සමගින් තවදුරටත් දකුනට පැද්දීමක් පමනි.

සමාජවාදී සමානතා පක්ෂයේ මැතිවරන උද්ඝෝෂනයෙහි වැදගත්කම මෙය යි. සැබෑ වූ ද මේ දැන් අභිමුඛව පවත්නා වූ ද යුද අන්තරාය පිලිබඳ කම්කරු පන්තියට අනතුරු අඟවමින්, එය නතර කිරීම සඳහා සමාජවාදී වැඩපිලිවෙලක් ඉදිරිපත් කරන්නේ අප පක්ෂයේ අපේක්ෂකයින් - ජනාධිපති ධුරය සඳහා ජෙරී වයිට් හා උපජනාධිපති ධුරය සඳහා නයිල්ස් නෙමුත් - පමනි. මැතිවරනයෙන් පසු ඉස්මතු වනු ඇති මහජන අරගලවලට පෙර, කම්කරු පන්තිය තුල දේශපාලන නායකත්වය සූදානම් කරනුයේ සසප උද්ඝෝෂනය පමනි.

යුද්ධයට, අසමානතාවට හා මර්දනයට එරෙහි සියලු දෙනා සසප උද්ඝෝෂනයට සක්‍රිය ව සහාය දිය යුතු ය; කම්කරු පන්තියේ නව විප්ලවවාදී නායකත්වය ගොඩනැඟීමේ අරගලයට එක් විය යුතු ය.

බැරී ග්‍රේ

Share this article: