2016 මැතිවරනයට එෆ්බීඅයි මැදිහත් වෙයි

The FBI intervenes in the 2016 election

2016 ඔක්තෝබර් 29

අත්‍යසාමාන්‍ය හා පෙර නුවූ විරූ කි‍්‍රයාමාර්ගයක් ගනිමින්, හිලරි ක්ලින්ටන් විසින් පුද්ගලික විද්‍යුත් තැපැල් සේවා යන්ත‍්‍රයක් භාවිතා කිරීමට සම්බන්ධ නව “විමර්ශන පියවරයන්” නිවේදනය කරන ලිපියක් කොංග‍්‍රසය වෙත යවමින් මධ්‍යම විමර්ශන කාර්යාංශය (එෆ්බීඅයි) 2016 ජනාධිපතිවරන උද්ඝෝෂනයට මැදිහත් වී තිබේ.

එෆ්බීඅයි අධ්‍යක්ෂ ජේම්ස් කොමේ විසින් ඔක්තෝබර් 29දා කොංග‍්‍රස් කමිටු අට වෙත යවන ලද ඡේද තුනකින් යුතු ලිපිය කැපී පෙනෙන ලෙස අපැහැදිලි ය. කොමේ සඳහන් කරන පරිදි, ඔහු ම කලින් කොංග‍්‍රසය වෙත “අවසන්” යයි කියා තිබුනු ක්ලින්ටන්ගේ පුද්ගලික ඊ-මේල් සේවා යන්ත‍්‍රය පිලිබඳ විමර්ශනයට, “සම්බන්ධිත යයි පෙනෙන ඊ-මේල් පනිවුඩ පවතින බව අසම්බන්ධිත සිද්ධියක් හරහා එෆ්බීඅයි දැනගෙන ඇතැයි” ලිපිය කියා සිටී.

“මෙම ඊ-මේල් පනිවුඩ තුල සංක්ෂිප්ත තොරතුරු ඇත්දැයි නීර්නය කිරීම මෙන් ම අපගේ විමර්ශනයට ඒවා වැදගත් වන්නේදැයි තක්සේරු කිරීම සඳහා විමර්ශකයන්ට ඉඩදීමට” තමන් එකඟ වී ඇතැයි කොමේ සඳහන් කරයි. “මෙම තොරතුරු වැදගත් ද නැද්ද යන්න තක්සේරු කිරීමට” එෆ්බීඅයි තවමත් අසමත් බව ඔහු පිලිගනී.

මෙම අතිරේක ඊ-මේල් පනිවුඩ තුල ක්ලින්ටන්ගේ ඊ-මේල් පනිවුඩ සම්බන්ධ සිද්ධියට අදාල කිසිදු වැදගත් තොරතුරු අඩංගු ද නැද්ද යන්න එෆ්බීඅයි තවමත් නො දන්නා තතු යටතේ, මැතිවරනයට දින කිහිපයක් තිබිය දී මෙය ප‍්‍රසිද්ධ කිරීමට කි‍්‍රයා කලේ මන් ද යන පැහැදිලි ප‍්‍රශ්නය පැන නගී. එක්සත් ජනපද මැතිවරනයකට දින 60ක් ඇතුලත, දේශපාලනික ව සංවේදී නිවේදන සිදු නො කරන්නේ ය යන එෆ්බීඅයි ඒජන්සියේ නිල නො වන දීර්ඝ කාලීන තහනම, මෙම ලිපිය මගින් උල්ලංඝනය කරතැයි මාධ්‍ය අටුවාකරුවෝ සඳහන් කල හ.

කොමේගේ ලිපිය ගැන වාර්තා වීමෙන් පසුව, නම් නො කල මධ්‍යම නීති සම්පාදක නිලධාරීන් උපුටා දක්වමින් ප‍්‍රවෘත්ති මාධ්‍ය කියා සිටියේ, ප‍්‍රශ්නගත ඊ-මේල් පනිවුඩ සොයා ගන්නා ලද්දේ ක්ලින්ටන්ගේ ආධාරකාරියක් වන හියුමා ඇබේඩින් හා ඇගේ ස්වාමි පුරුෂයා වන හිටපු කොංග‍්‍රස් සභික ඇන්තනී වයිනර් සමග ක්ලින්ටන් හවුලේ පාවිච්චි කල ලැප්ටොප් පරිඝනයක අඩංගු ව තිබී බව යි.

වයිනර් සිටින්නේ, ලිංගික තොරතුරු ඇතුලත් කෙටි පනිවුඩ බාල වයස්කාර ගැහැනු ලමයෙකුට යැවීම පිලිබඳ චෝදනා හා සම්බන්ධ එෆ්බීඅයි විමර්ශනයකට මුහුන දී ගෙන ය. මේ වසර මුල දී තමන් වයිනර්ගෙන් වෙන් වූයේ යයි ඇබේඩින් නිවේදනය කලේ, වයිනර් හා අන්තර්ජාල ලිංගික කි‍්‍රයාකාරකම් සම්බන්ධ අවසන් නාටකය ප‍්‍රසිද්ධ වීමෙන් පසුව ය.

ඩොනල්ඩ් ට‍්‍රම්ප් හා රිපබ්ලිකන් පක්ෂ ප‍්‍රකාශකයෝ කොමේගේ ලිපිය උත්කර්ෂයට නැංවූයේ, එය, එෆ්බීඅයි විමර්ශනය නිල වසයෙන් යලි ඇරඹීමකට හා ඩිමොක‍්‍රටික් ජනාධිපති අපේක්ෂිකාවට එරෙහි ව කිසිදු චෝදනා නැගීමක් නො කරන බව කොමේ විසින් ම ජූලි මාසයේ කල නිවේදනය හකුලා ගැනීමකට සමාන යයි කියමිනි.

ඔක්තෝබර් 29දා සන්ධ්‍යාවේ ක්ලින්ටන් මාධ්‍ය අමතා ලහුඬින් කතා කලේ, තමන් පුද්ගලික ඊ-මේල් සේවා යන්ත‍්‍රයක් භාවිතා කිරීම හා සම්බන්ධදැයි දැක්වීම ඇතුලු ව, එෆ්බීඅයි විමර්ශනය කරන සාක්ෂි පිලිබඳ වැඩිදුර තොරතුරු සම්පාදනය කරන ලෙස ඒජන්සියට අනවමිනි. දැනටමත් මිලියන 15කට අධික පිරිසක් ඡන්දය ප‍්‍රකාශ කොට ඇති බවත් ලබන සතියේ කලින් ඡන්දය දීම කෙරීගෙන යද්දී තවත් මිලියන ගනනක් ඡන්ද පොලවලට යනු ඇති බවත් ඇය පෙන්වා දුන්නා ය. අසන ලද ප‍්‍රශ්නවලට ප‍්‍රතිචාර දක්වමින් ඇය ඉඟි කලේ, එෆ්බීඅයි තමන් ව ඇමතුවේ නැති බවත් ලිපිය ගැන තමන් මුලින් දැනගත්තේ මාධ්‍ය හරහා බවත් ය.

කොමේගේ ලිපිය පිටුපස පවතින ගාමකය හා ඔහු නියෝජනය කරන දේශපාලන බලවේග කවරේදැයි මේ මොහොතේ නිශ්චිත ව ම කිව නො හැක. එහෙත් ලිපිය හුදෙක් ම කිසිදු දේශපාලන සම්බන්ධයකින් තොර නව තොරතුරුවලට අදාල එකක් ලෙස හුවා දැක්වීමට ඔහු දරන උත්සාහය විශ්වාස කල හැක්කක් නො වේ.

ඉහල පෙලේ පොලිස් රහස් තොරතුරු ඒජන්සිය මැතිවරනය තුල කල මෙම ඍජු මැදිහත් වීම, ඇමරිකානු පාලක පන්තිය හා රාජ්‍යය ඇතුලත පවත්නා ගැඹුරු අර්බුදයේ හා ප‍්‍රගාඪ ආතතීන්ගේ පිලිබිඹුවක් පමනි. මැතිවරන උද්ඝෝෂනය ආරම්භයේ පටන් ම, සමාජ නො සන්සුන් කම හා සංස්ථාපිත විරෝධී මානසිකත්වය විසින් එය අරක් ගත්ත ද එය අවසන් ව ඇත්තේ අතිමහත් බහුතර ඡන්ද දායකයින්ගේ වෛරයට පාත‍්‍ර වන, ඉහල ම ධනවත් සියයට එක නියෝජනය කරන දක්ෂිනාංශික අපේක්ෂකයන් දෙදෙනෙක් අතර තරඟයක් ලෙසිනි.

එය පෙන්නුම් කරන්නේ අපේක්ෂකයන් දෙදෙනාගේ ම දේශපාලනික අවජාතක භාවයේ ගැඹුර යි. ෆැසිස්ට්වාදී ධනකුවේර ට‍්‍රම්ප් මහජන අතෘප්තිය වඩාත් දක්ෂිනාංශික, ස්වෝත්තමවාදී හා වර්ගවාදී මාවත් ඔස්සේ දිශාගත කිරීමට යත්න දරයි. ප‍්‍රකෝටිපති ක්ලින්ටන්, තමන්ගේ දූෂන හා බොරු කීම් වඩ වඩා හෙලිදරවු වීම යටපත් කිරීමට හා ට‍්‍රම්ප්ට විරුද්ධ ව ලිංගික සෝලි අදිමින් සහ න්‍යෂ්ටික ව සන්නද්ධ රුසියාවට විරුද්ධ ව මිලිටරි ගැටුමකට අවශ්‍ය මහජන මතය සකසා ගැනීම සඳහා, ඔහු රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ඒජන්තයෙකි ය යන මැකාතිවාදී වර්ගයේ ප‍්‍රහාරයක් ගෙන යයි.

සමස්ත කි‍්‍රයාදාමය වටකරගෙන ඇත්තේ ප‍්‍රචන්ඩත්වයේ හා දේශපාලන පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය භංගවීමේ වටාපිටාවක් විසිනි. එය දිග හැරී ඇත්තේ, ගැඹුරු වන ආර්ථික අර්බුදයේ ද සිරියාව තුල තන්ත‍්‍ර මාරුව සඳහා වොෂින්ටනය ගෙන යන යුද්ධයේ ව්‍යසනය, චීන විරෝධී “ආසියාවට හැරීම” බිඳී විසිරී යන ලක්ෂන සහ විශේෂයෙන් ම ජර්මනිය ඇතුලු සිය යුරෝපීය අධිරාජ්‍යවාදී සහචරයන් සමග විවෘත ගැටුම් ඉස්මත්තට ඒමෙන් සලකුනු වන්නා වූ වැඩෙන ජාත්‍යන්තර ආතතීන්ගේ ද කොන්දේසි මධ්‍යයේ ය.

පිලිවෙත් පිලිබඳ ප‍්‍රශ්න අරබයා ඇමරිකා පාලක පන්තිය තුල කටුක ගැටුම් ජනනය කරන්නා වූ මෙම එකවර මතුවන අර්බුද, රටතුල ඉහල යමින් පවත්නා සමාජ විරෝධ රැල්ල කෙරෙහි වන භීතිය මගින් විශාලනය කරනු ලබයි.

කොමේගේ ලිපියේ අභිප‍්‍රාය, ක්ලින්ටන්ගේ අපේක්ෂකත්වයට මාරක හානියක් ඇති කොට සෙනට් සභාව හා කොංග‍්‍රසය තුල කෝපයට පත් ව සිටින රිපබ්ලිකන් බහුතරයන්ට මුක්කුව දීම ද නැතහොත් පත්වීමට නියමිත ක්ලින්ටන් පරිපාලනයක් ඉදිරියේ නැමීමට විරුද්ධ ව පහරක් එල්ල කිරීම ද යන දෙකෙන් කොයික වුවත්, එමගින් පැහැදිලි කරන්නේ මීලඟ පරිපාලනය බලයට පත් දිනයේ පටන් ම අර්බුදයේ ගිලී පවත්නා එකක් වනු ඇති බව යි.

ක්ලින්ටන් විසින් ඇයගේ පුද්ගලික ඊ-මේල් සේවා යන්ත‍්‍රය පාවිච්චි කිරීම ගැන, කිසිදු නිපුන චෝදකයෙක් ඇයට චෝදනා නො කරනු ඇතැයි කොමේ කලින් කල ප‍්‍රකාශය අරබයා, ඔහු එෆ්බීඅයි ඒජන්සිය වෙතින් ම තියුනු පීඩනයට ලක් වූ බව අධිකරන දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියෙක් අදහස් පල කලේ ය. එය සත්‍යයක් නම්, එහි අර්ථය වන්නේ, නොබෝ දිනකින් තමන්ගේ “ප‍්‍රධාන අනදෙන නිලධාරිනිය” වන අපේක්ෂිකාවට එරෙහි ව මධ්‍යම පොලිස් ඒජන්සියේ කොටස් විවෘත කැරැල්ලක නිරත ව සිටින බව යි.

2016 මැතිවරනය අභිමුව එෆ්බීඅයි මැදිහත් වීම නියෝජනය කරන්නේ, අවසානයේ 1998 දී කුලු ගැන්වුනු, බිල් ක්ලින්ටන්ගේ පරිපාලනයට එරෙහි ව රිපබ්ලිකානු නායකත්වය යටතේ දියත් කෙරුනු විමර්ශන මාලාවක් හරහා මුල් වරට ඉස්මතු වුනු, එක්සත් ජනපද දේශපාලනයේ තීව‍්‍ර වන රැල්ලකි. ඉන්පසුව පැමිනියේ, ශ්‍රේෂ්ඨාධිකරනය මැදිහත් ව, 5-4ක ඡන්දයකින් 2000 ජනාධිපතිවරනය සොරකම් කොට, ෆ්ලොරිඩා ප‍්‍රාන්තයේ ඡන්දය ගනන් කිරීම නවත්වා, මහජන ඡන්දයෙන් පරාජයට පත් ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ට ධවල මන්දිරය අරක්ගැනීමට ඉඩ දීම යි.

එක්සත් ජනපද ද්වි-පක්ෂ ක‍්‍රමය වනාහි නිරතුරු ව ම සංගත ඇමරිකාවේ ආධිපත්‍යයට යටත් ව පවතින පන්ති පාලනයේ උපකරනයකි. පසුගිය දශක හතර තුල සිදු වූ සමාජ අසමානතාවේ පෙර නුවූ විරූ වර්ධනය, දේශපාලන ක‍්‍රමය සහ බහුතර මහජනයා අතර අගාධය පුලුල් කොට තිබේ. නිල දේශපාලනය වඩ වඩා මාලිගා කුමන්ත‍්‍රන වටා භ‍්‍රමනය වන්නේ, මාධ්‍ය හා මිලිටරි-රහස් තොරතුරු යන්ත‍්‍රනය ඒ තුල තීරනාත්මක භූමිකාවන් ඉටු කරද්දී ය. සෝලීන් ප‍්‍රචාරය කිරීම, ගනන් බලා කරන පුවත් කාන්දු කිරීම් හා දේශපාලනික ව ගඳ ගසන බෝම්බ එල්ල කිරීම එය තුල රජ කරයි.

එක් දෙයක් පැහැදිලි ය: ප‍්‍රතිමල්ලව ධනපති පාර්ශවයන් අතර වන මෙම ප‍්‍රහාර සහ ප‍්‍රතිප‍්‍රහාර කිසිවකට, වැඩකරන ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතිවාසිකම් හා සමාජ අවශ්‍යතා ආරක්ෂා කිරීම සමග මෙලොව සම්බන්ධයක් නැත. ධනේශ්වර ද්වි-පක්ෂ ක‍්‍රමය පිලිබඳ ව කිවහොත්, එයට, සාමාන්‍ය ඇමරිකානු ජනයා වනාහි වාචාලත්වය හා සෝලි ආධාරයෙන් එහා මෙහා කල හැකි අවයවයක් පමනි.

පැටි‍්‍රක් මාටින්

Share this article: