ට‍්‍රම්ප් විසින් ස්ටීවන් බෙනන් පත් කිරීම: ඇමෙරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අර්බුදයෙහි නව අදියරක්

Trump’s appointment of Stephen Bannon: A new stage in the crisis of American democracy

2016 නොවැම්බර් 15

නව ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් විසින් තම ”ප‍්‍රධාන මූලෝපායඥයා” ලෙස බ‍්‍රට්බාර්ට් නිවුස් ප‍්‍රධානී ස්ටීවන් බැනන් පත් කරන බව නිවේදනය කරනු ලැබීම හා එයට ඩිමොක‍්‍රටික් පක්ෂයෙන් මොන ම බරපතල විරෝධයක් හෝ එල්ල නො වීම, ඉමහත් දේශපාලන අර්ථභාරයක් උසුලයි. ෆැසිස්ට්වාදී, වර්ගවාදී හා සුදු පරමෝත්තමවාදී සංවිධාන සමග ඍජු සම්බන්ධකම් තිබෙන මිනිසකු ආන්ඩුවේ පිලිවෙත් නිර්නය කිරීමේ ඉමහත් බලයක් සහිත ව, ජනාධිපතිගේ ප‍්‍රධාන සහචරයා වනු ඇත.

ට‍්‍රම්ප්ගේ පත් වීම පසුපස තිබෙන ආසන්නතම හේතුසාධක කුමක් වුවත්, එම සිද්ධිය, ඇමෙරිකානු පාලක පන්තිය තුල නාටකාකාර යලි පෙලගැසීමක් ඇඟවුම් කරන්නේ ය. ඔබාමාගේ වචනවලින් කියතොත් එය, පාලක පන්තියේ ”බිත්ති ඇතුලත හටගත් කෝලාහලයකි”. මේ ගැටුම තුලින් අලූත් දේශපාලන හැඩගැස්මක් නිර්නිත ව තිබේ.

බෙනන් සමග පෙරට යා හැකි බව ට‍්‍රම්ප් තීන්දු කලේ, මූලික ප‍්‍රජාතාන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කිරීමෙහිලා ඩිමොක‍්‍රටික් පක්ෂයට මොන ම උනන්දුවක් වත් නැති බව ඔහු දන්නා බැවිනි. ට‍්‍රම්ප්ගේ මැතිවරන ජය සම්බන්ධයෙන් ප‍්‍රමුඛ පෙලේ ඩිමොක‍්‍රටිකයන් - ඔබාමාගේ සිට හිලරි ක්ලින්ටන්, බර්නි සැන්ඩර්ස් හා එලිසබෙත් වොරන් දක්වා - දැක්වූ නිවට නියාලු ප‍්‍රතිචාරය, ඔහුට සීමාන්තික දේශපාලන ප‍්‍රතිගාමීත්වය සලකුනු කරන අන්ත දක්ෂිනාංශික ආන්ඩුවක් ගොඩනගමින් ඉදිරියට යා හැකි බව නිගමනය කිරීමට මග පාදා ඇත.

ඔබාමා සඳුදා පැවැත්වූ මාධ්‍ය හමුව (ට‍්‍රම්ප්ගේ පත්වීමෙන් පසුව පැවැත්වූ පලමුවැන්න), ඩිමොක‍්‍රටික් පක්ෂය තුල ප‍්‍රකාශිත උදාසීනත්වය, තෘප්තිමත්කම හා සහක‍්‍රියාකාරීත්වයේ මට්ටම පිලිබඳ නිදසුනක් විය.

බෙනන්ගේ පත්වීම පිලිබඳ විමසූ විට ඔබාමා ඊට ප‍්‍රතිචාර දැක්වීම ප‍්‍රතික්ෂේප කලේ, ”සිය කන්ඩායම එක්රැස් කරගැනීම ඔහුට [ට‍්‍රම්ප්ට] අයිති වැඩකි” යි ද ”ඔහුට ඔහුගේ තීරන ගැනීමට ඉඩ සැලසීම වැදගත්” ය යි ද කියමිනි. අලූතින් පත් වූ ජනපති සමග තමන් පැවැත්වූ ”හෘදයංගම සාකච්ඡුාව” වර්නනා කල ඔබාමා, ඇමෙරිකානු ජනතාව, ට‍්‍රම්ප්ගේ ජනාධිපති ධුර කාලයක් සමග ”සමාදානයට පත් විය යුතු” බව කියා සිටියේ ය. තම කාර්යය ඔහුට ”පෙරට යමින් අප අත්පත් කරගත් ප‍්‍රගතිය මත ගොඩනැගීමට හැකි තාක් උදව් වීම” බව ද හෙතෙම පැවසීය.

මැතිවරනයේ ස්වභාවයම ගත් කල, ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහනයට ඩිමොක‍්‍රටිකයන් දක්වන ප‍්‍රතිචාරය වඩාත් කැපී පෙනෙයි. අවුරුදු දහසයක් තුල දෙවැනි වරට එක්සත් ජනපදයෙහි මැතිවරනයක ප‍්‍රතිඵලය බහුතර ඡන්දය මගිින් නො ව, ඡුන්ද විද්‍යාලය විසින් තීන්දු කරනු ලැබ තිබේ. 2000 මැතිවරනය සොරාගැනීමට පෙර අවුරුදු 112 තුල සිදු නො වූ විරූ දෙයක් වූ මෙම ප‍්‍රතිඵලය, ඩිමොක‍්‍රටිකයන් වෙතින් මොන ම විරෝධයක් වත් අවුලුවා නැත.

සිය මාධ්‍ය හමුවේ දී ඔබාමා, මිලියන දෙකක තරම් ඡන්ද ප‍්‍රමානයකින් ට‍්‍රම්ප් මැතිවරනයෙන් පැරදී ඇති බව හෝ ආර්ථික අතින් වඩාත් වැදගත් ප‍්‍රාන්ත දෙක, පුලූල් වැඩි ඡුන්ද ප‍්‍රමානයකින් ඔහු පරාජය කර ඇති බව පිලිබඳ කිසිවක්ම ප‍්‍රකාශ නොකලේ ය. ඡුන්ද සියල්ල ගනන් කොට අවසන් වෙද්දී ට‍්‍රම්ප්ට ලැබීමට ඉඩ ඇත්තේ 2012 දී ඔබාමාට පරාජය වූ අවස්ථාවේ මිට් රොම්නි ලද ඡන්ද ප‍්‍රමානයටත් වඩා අඩු ඡන්ද සංඛ්‍යාවක් බව ඔහු සඳහන් කලේ නැත. මේ හේතුවෙන් නව ජනාධිපතිවරයාට තමන් සැලසුම් කරමින් සිටින දක්ෂිනාංශික පියවර ක‍්‍රියාවට දැමීම සඳහා ජන වරමක් හිමි නොවන බව ඔහු ඇඟවූයේ නැත.

පසුගිය දිනවල ට‍්‍රම්ප් සිය පරිපාලනයෙහි දේශපාලන ගමන් මාර්ගය සැලසුම් කිරීම අරඹා තිබේ. ”මිලියන දෙකක්, තුනක් පවා විය හැකි” සංක‍්‍රමනිකයින් සංඛ්‍යාවක් වට කර අත්අඩංගුවට ගන්නා බවට ”මිනිත්තු 60” වැඩසටහනට ඉරිදා දුන් සම්මුඛ සාකච්ඡුාවක දී ඔහු ප‍්‍රතිඥා දුන්නේ ය. ගබ්සා අයිතිය පෙරලා දමනු ඇති අන්ත දක්ෂිනාංශික ”ජීවිතය ගැන තකන” {ගබ්සා විරෝධී] විනිසුරුවන් ශ්‍රෙෂ්ඨාධිකරනය තුල පැලපදියම් කරනු ඇත. ට‍්‍රම්ප්, මැතිවරනයෙහි සිය ඩිමොක‍්‍රටික් ප‍්‍රතිවාදියා වූ හිලරි ක්ලින්ටන්ට එරෙහි අපරාධ පරීක්ෂනයක් දියත් කිරීමේ ඉඩකඩ විවෘත ව තැබී ය.

මේ කිසිවක් ඩිමොක‍්‍රටික් පක්ෂයේ සුලු හෝ විරෝධයකට තුඩු දුන්නේ නැත. ඩිමොක‍්‍රටිකයින් දැන් උනන්දු වන්නේ ”ක‍්‍රමානුකූල බල මාරුවක්” සඳහා වගබලාගැනීමට පමනි. එහෙත් මාරුව කුමන දිශාවකට ද?

ට‍්‍රම්ප් ඇමෙරිකානු දේශපාලනයෙහි අලුත් යමක් නියෝජනය කරන නමුදු ඔහු අතීතයෙන් මුලුමනින් ම කැඩී වෙන් වූවෙක් ද නො වේ. ඔහු තේරී පත් වීමත් සමග පාලක පන්තිය උත්සන්න කරමින් සිටින්නේ, සියවස් කාලකට වැඩි කාලයක් තිස්සේ පැවතුනු දැඩි ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී හැඩගැසීමක් ක‍්‍රියාවට දැමීමට යි.

සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් අනතුරු ව ඇමෙරිකානු පාලක පන්තියේ දෘෂ්ටිවාදියෝ, ”ඉතිහාසයේ අවසානය” නිවේදනය කලහ. ධනවාදය විජයග‍්‍රහනය කොට ඇති අතර සාමය හා ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ව්‍යාප්තිය පිලිබඳ කාලපරිච්ෙඡ්දයක් ඒ සමග පැමිනෙනු ඇතැයි කියා සිටින ලදි. ඒ වෙනුවට සැබැවින් ම නැග ආවේ, විසිපස් වසරක නිමා නොවන යුද්ධය, ගැඹුරු වන ආර්ථික අර්බුදය, ඉතිහාසයේ පෙර නො වූ විරූ මට්ටමක සමාජ අසමානතාව සහ ප‍්‍රජාතන්ත‍්‍රීය පාලනයේ අති මූලික ආකෘතීන්ගේ විනාශය යි.

2000 දෙසැම්බරයේ, ෆ්ලොරීඩා ප‍්‍රාන්තයේ ඡන්ද නැවත ගනන් කිරීම අත්හිටුවමින් බුෂ් හා ගෝර් අතර ආරවුල පිලිබඳ නඩුවේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරනය විසින් ප‍්‍රකාශ කරනු ලැබීමට පෙර ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙසේ ලිවී ය: ප‍්‍රතිඵලය අනාවරනය කරනු ඇත්තේ ”ඇමෙරිකානු පාලක පන්තිය සාම්ප‍්‍රදායික ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා ව්‍යවස්ථාමය සම්මතයන්ගෙන් බිඳී කොපමන දුරක් යාමට සූදානමින් සිටී ද යන්න යි.”

එතැන් පටන් සිදු ව ඇති සියල්ල මෙම කරුන සනාථ කොට තිබේ. බලයට පැමිනීමෙන් අවුරුද්දක් ගත වීමටත් පෙර බුෂ් පරිපාලනය - ඇත්ත වශයෙන් එතෙරදී නිමක් නැති යුද්ධ සඳහාත්, රට තුල ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් විනාශ කිරීම සඳහාත්, ”ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” දියත් කිරීම සඳහා දේශපාලන කඩතුරාව ලෙස, 2001 සැප්තැම්බර් 11 ප‍්‍රහාර ඩැහැගත්තේ ය.

2008 දී බලයට පත් වුනු දා පටන් ඔබාමා, ප‍්‍රජාතන්ත‍්‍ර පාලන ආකෘතීන්ට එල්ල කරන ප‍්‍රහාරය උත්සන්න කොට තිබේ. ප‍්‍රතිපත්ති සම්පාදනය හා විධායක කටයුතු තුලින් ධවල මන්දිරය, එක්සත් ජනපද වැසියන් චෝදනාවකින් තොර ව ඝාතනය කිරීම සඳහා ජනාධිපතිවරයාට බලය තහවුරු කර දී ඇත. මිලිටරි-ඔත්තු සේවා සංවිධාන ව්‍යුහය දැවැන්ත පරිමානයෙන් වැඩුනු අතර බුෂ් පරිපාලනයෙහි වධ හිංසකයෝත් යුද අපරාධකරුවෝත් දඬුවමට ලක් නොවූහ.

ඔබාමා යටතේ යම් තාක් දුරට තිරය පිටුපස සිදු වෙමින් පැවති බොහෝ දෑ ට‍්‍රම්ප් යටතේ වඩා සෘජු ස්වරූපයකින් සිදු වනු ඇත. කම්කරු පන්තිය ප‍්‍රචන්ඩ ආකාරයෙන් මර්දනය කිරීම සඳහා වැඩිවැඩියෙන් යොදා ගැනෙනු ඇති ඇමෙරිකානු ෆැසිස්ට්වාදයේ සැබෑ රූපාකාරයක් නැගී එමින් තිබේ.

ට‍්‍රම්ප්ගේ පත් වීමත් සමග පාලක පන්තිය, සිය අවි මුවහත් කරමින් ද ඒවා භාවිතා කිරීමට සැරසෙමින් ද සිටී. ඒ අතර ට‍්‍රම්ප්ගේ ආර්ථික ජාතිකවාදය, මිලිටරිවාදී ප‍්‍රචන්ඩත්වය අවම කිරීමට බොහෝ දුරස් ව, 3 වැනි ලෝක යුද්ධය සඳහා ප‍්‍රවේශය සපයයි. දිග්ගැස්සුනු ගෝලීය අර්බුදයකට මුහුන දී සිටින ඇමෙරිකානු පාලක පන්තිය, පෙරටත් වඩා නග්න ආක

‍්‍රමනශීලීත්වයක් තුලින් ලෝක ආධිපත්‍යයේ සිය තැන පවත්වාගැනීම සඳහා මෙහෙයවෙනු ඇත.

සිදු වූ දෙයෙහි අර්ථභාරය අවම කිරීම සඳහා ප‍්‍රයත්න දැරෙමින් තිබේ. දූෂිත ඇමෙරිකානු මාධ්‍යය, අන්ත දක්ෂිනාංශික නව තන්ත‍්‍රයට අනුගත වෙමින් සිටී. මැතිවරනය පුරා ක්ලින්ටන් වෙනුවෙන් උද්ඝෝෂනයේ යෙදීමෙන් අනතුරු ව නිව් යෝර්ක් ටයිම්ස් සිය වාර්තාකරනය සම්බන්ධයෙන් නිවට නියාලු ලෙස සමාව යැද තිබේ. මීට පෙර ඩිමොක‍්‍රටික් පක්ෂ

උද්ඝෝෂනයට සහාය නොදුන් ඕනෑ ම කෙනෙකු වෙත කඩා පිනූ එහි තීරු ලිපි රචකයෝ, දැන් ඔහු කුමක් කරනු ඇත්දැයි බැලීම සඳහා ”ට‍්‍රම්ප්ට කාලය ලබා දිය යුතු ” බවට දැනමුතුකම් දෙති.

මෙවැනි නිදිගන්වන වැකි සියල්ල, බියගුලුකමේත් වංචාවේත් ව්‍යායාමයෝ වෙති. දේශපාලන ව්‍යසනයක් දිගහැරෙමින් පවතින අතර කිසිවකුදු පෙරලා සාමාන්‍ය තත්වයට පැමිනෙනු නැත්තේ ය.

උපුටා ගත යුතු අතිමූලික පාඩම වන්නේ, දේශපාලන ප‍්‍රතිගාමීත්වයට, යුද්ධය හා අසමානතාවට එරෙහි සටන, ඩිමොක‍්‍රටික් පක්ෂයේ කිසිදු කන්ඩායමක් ඇතුලත, ඔස්සේ හෝ සමග සන්ධානගත වී සිදු කල නොහැකි බව යි. ට‍්‍රම්ප්, ෆැසිස්ට්වාදී බලවේග සමග වෝල් වීදිය එලඹ ඇති සන්ධානයක් නියෝජනය කරන අතර ඩිමොක‍්‍රටික් පක්ෂය, වෝල් වීදිය සහ ඉහල මධ්‍යම පන්තියෙහි වරප‍්‍රසාදිත, උදාසීන හා ආත්මාර්ථකාමී කොටස් අතර දේශපාලන සන්ධානයක් නියෝජනය කරයි.

ට‍්‍රම්ප් සමග තමන්ට පවතින උපායාත්මක වෙනස්කම්වලට වඩා ඩිමොක‍්‍රටිකයන් බෙහෙවින් ම සැලකිලිමත් වන්නේ, කම්කරු පන්තිය තුල විරුද්ධත්වය නැගී ඒම පිලිබඳ ව යි. පවත්නා මහජන විරෝධයේ දැවැන්ත මට්ටම පිලිබඳව ඔවුන් දැනුවත් ය. එසේ ම මේ විරෝධයට දේශපාලන ප‍්‍රකාශනයක් සොයාගැනීමේ මග ඇවිරීම සඳහා බලගතු උත්සුකයක් පවතියි. එක ද වැදගත් ඩිමොක‍්‍රටිකයකු වත් ට‍්‍රම්ප්ගේ පත්වීමට එරෙහි උද්ඝෝෂන වෙත විවෘත ව සිය සහාය පල කොට හෝ ඔවුනට එකතු වීම පසෙක තිබිය දී, අඩු තරමින් උද්ඝෝෂකයින් සමග සිය එකඟත්වය පල කොට හෝ නැත.

ට‍්‍රම්ප්ගේ මැතිවරන ජයග‍්‍රහනය, ඇමෙරිකානු පාලක පන්තිය බලගතු ලෙස දකුනට මාරුවීමක් සලකුනු කරන අතර මිලියන සංඛ්‍යාත කම්කරුවෝ ද තරුනයෝ ද ඊට වෙනස් දේශපාලන දිසාවකට ගමන් කරමින් සිටිති. ඡන්දය පාවිච්චි කිරීම පොදුවේ පහල යාම හා සමස්ත දේශපාලන සංස්ථාපිතය කෙරෙහි ම ගැඹුරින් පල වූ වෛරය පිලිබඳ කොන්දේසි තුල, ඩිමොක‍්‍රටික් පක්ෂයේ බංකොලොත්කම හේතුවෙන්, සමාජීය කෝපය ගසාකෑමට ට‍්‍රම්ප් සමත් විය. කෙසේ වතුදු ට‍්‍රම්ප්ට නැඹුරුවූ අතිබහුතරයක් ඡුන්දය දුන්නේ, ෆැසිස්ට් පාලන තන්ත‍්‍රයක් සඳහා නො වේ. තව ද ඔහුගේ පාලනයෙහි ස්වරූපය පැහැදිලි වෙද්දී සමාජ හා දේශපාලන විරෝධය වැඩෙනු ඇත.

සමාජවාදී සමානතා පක්ෂය සහ එහි අපේක්ෂකයින් වූ ජෙරී වයිට් හා නයිල්ස් නෙමුත්, 2016 මැතිවරනයට සහභාගී වූයේ, කම්කරු පන්තියේ සමාජවාදී ව්‍යාපාරයක් සඳහා දේශපාලන පදනම් දමනු පිනිස ය. අපගේ මැතිවරන උද්ඝෝෂනයෙහි මූලික අරමුන වූයේ ධවල මන්දිරයේ සිටිනුයේ ට‍්‍රම්ප් ද ක්ලින්ටන් ද යන්න නොතකා එලඹෙන අරගලවලට සූදානම් වීම සඳහා කම්කරු පන්තිය තුල නායකත්වයක් ගොඩනැගීම යි.

ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහනය පෙන්නුම් කරන්නේ මේ කර්තව්‍යයෙහි පවතින හදිසි අවශ්‍යතාව යි. රට පුරා ට‍්‍රම්ප් පරිපාලනයට සහ එය අනුයනු ඇති පිලිවෙත්වලට විරෝධය වර්ධනය ද සංවිධානය ද කල යුතු වේ. සටන් කිරීමට මගක් සොයන සියලු කම්කරුවන් හා තරුනයින් 2016 මැතිවරනයෙන් අවශ්‍ය පාඩම් උකහා ගනිමින්, සමාජවාදී සමානතා පක්ෂය සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ ව්‍යාපාරය ගොඩනැගීමට එක් විය යුතු ය.

ජෝසෆ් කිෂෝර්

Share this article: