“දේශපාලන විප්ලවයේ” සිට සහජීවනය දක්වා: සෑන්ඩර්ස් හා වොරන්, ට‍්‍රම්ප් සමග වැඩ කිරීමට පොරොන්දු වෙති

From “political revolution” to collaboration: Sanders and Warren pledge to work with Trump

2016 නොවැම්බර් 14

එක්සත් ජනපදය තුල දේශපාලන සන්තතීන් දෙකක් දිග හැරෙමින් තිබේ.

පලමුව, ජනාධිපති ධුරයේ වැඩ භාරගන්නා ට‍්‍රම්ප්, අන්ත දක්ෂිනාංශික ආන්ඩුවක් සඳහා විශ්වාස දායක කාර්ය මන්ඩලයක් සූදානම් කරමින් සිටී. ඔහුගේ ප‍්‍රමුඛ මූලෝපායඥයා වසයෙන් බ්රීබර්ට් නිව්ස් මාධ්‍ය ප‍්‍රධානී ස්ටීවන් බැනන් කටයුතු කරනු ඇති බව නිවේදනය කිරීමත් සමග මෙය වඩාත් තියුනු ලෙස ප‍්‍රකාශයට පත් විය. අනාගත ට‍්‍රම්ප් පාලනයක පුලුල් බලතල සහිත තනතුරක් සඳහා මෙ මගින් පැලපදියම් කරන්නේ, වර්ගවාදී හා ෆැසිස්ට් සංවිධාන සමග කුප‍්‍රකට සම්බන්ධතා ඇති මිනිසෙකුය.

13දා රාත්‍රියේ “මිනිත්තු 60” වැඩසටහන ප‍්‍රසිද්ධකල හමුවකදී ට‍්‍රම්ප් පලකල අදහස් සැලකිල්ලට ගත් කල, ඒ සියල්ලටත් වඩා මෙම පියවර නරුමය. එහිදී ඔහු නිවේදනය කලේ, ලේඛනගත නොකල සංක‍්‍රමනිකයන් මිලියන තුනක් පිටුවහල් කරන බව පමනක් නොව, ගබ්සාවට විවෘතවම සතුරුකම් දක්වන පුද්ගලයන් අධිකරනය තුල පැලපදියම් කරන බව සහ මැතිවරනයේදී සිය විරුද්ධවාදිනියවූ හිලරි ක්ලින්ටන්ට එරෙහිව නඩු පැවරීමට අදහස් කරන බවත් ය.

දෙවැනුව, ඩිමොක‍්‍රටික් පක්ෂය හා මාධ්‍ය, අසාමාන්‍ය කිසිවක් සිදුව නැතිවාක් මෙන් ඇස් පියාගෙන කටයුතු කිරීම යි. ඇමරිකානු ඉතිහාසය තුල පෙර නොදුටු විරූ ආන්ඩුවක් සාමාන්‍ය තත්වය බවට පත් කිරීමට ඔවුහු වෑයම් කරති. 8දා පැවැති මැතිවරනයෙන් අනතුරුව, “ඔබට සාර්ථකවීමට හැකි සියලු ආධාර අපෙන් ලැබෙනු” ඇතැයි ජනාධිපති ඔබාමා ට‍්‍රම්ප්ට කීවේ ය. ට‍්‍රම්ප් “සියලු ඇමරිකානුවන් සඳහා සාර්ථක ජනාධිපතිවරයෙක්” වනු ඇතයි තමා සිතන බව කියමින් හිලරි ක්ලින්ටන් ද එවැනිම පොරොන්දුවක් දුන්නා ය.

13දා නිව්යෝක් ටයිම්ස්හි පලකල ලිපියකින් හා අනතුරුව සීබීඑස්හි “ජාතිය හමුවන්න” වැඩසටහන සමග පැවති රූපවාහිනී හමුවකවකදී බර්නි සෑන්ඩර්ස් දැක්වූ ප‍්‍රතිචාරය, අන්තවාදී දක්ෂිනාංශය ඉදිරියේ දේශපාලනික යටත්වීමේ මෙම ක‍්‍රියාවලිය එහි වඩාත් නින්දිත හා පිලිකුල්සහගත ප‍්‍රකාශය විය. “බිලියනපතියන්ගේ පන්තියට” එරෙහිව “දේශපාලන විප්ලවයක්” මෙහෙයවන බව ප‍්‍රකාශ කිරීමේ තැන් පටන් සෑන්ඩර්ස්, ක්ලින්ටන් ඉදිරියේ නිවට ලෙස දන ගැසීමටත්, ඩොනල්ඩ් ට‍්‍රම්ප් සමග වැඩකිරීමට පොරොන්දු වෙන තැනටත් ගමන් කර තිබේ.

ටයිම්ස් ලිපිය තුල සෑන්ඩර්ස් මෙසේ කියයි: “ජනාධිපති පදවියට පත් ට‍්‍රම්ප් නිවැරැදි ය. ඇමරිකානු ජනතාවට වෙනසක් අවශ්‍ය ය. එහෙත් ඔහු ඔවුන්ට ලබා දෙනු ඇත්තේ කවරාකාරයේ වෙනසක් ද? බොහෝ වැඩකරන පවුල් විඳවන ආර්ථික වේදනාව සඳහා වගකිව යුතුවන මෙම රටේ වඩාත්ම බලගතු මිනිසුන්ට එරෙහිව සිටගැනීමට ඔහුට ධෛර්යයක් තිබෙනු ඇති ද නැතිනම් ඔහු බහුතරයේ වෛරය, සුලුජන කොටස්වලට, සංක‍්‍රමනිකයන්ට, දිලින්දන්ට හා කිසිදු හව්හරනක් නැති අයවලුන්ට එරෙහිව හරවනු ඇති ද?”

“වැඩකරන ජනයාට යහපත් ජීවිතයක් නිර්මානය කිරීමට” ට‍්‍රම්ප් උත්සාහ කරන තාක් දුරට, “පියවරෙන් පියවරට අපි ඔහු සමග වැඩකරනු ඇතැ”යි “ජාතිය හමුවන්න” වැඩසටහනේදී සෑන්ඩර්ස් කීවේ ය. ට‍්‍රම්ප්ට සෘජුවම ආමන්ත‍්‍රනය කරමින් ඔහු පැවසුවේ, “වැඩකරන පවුල්වල වීරයෙක් ලෙස ඔබ හඳුන්වාදී තිබේ, ඉතිං හොඳයි, දැන් ඒක පෙන්නන්න. ඔබේ කයිවාරු කදිමයි, දැන් යමක් කරන්න.”

සෑන්ඩර්ස්ගේ මුලු ආස්ථානයම විකාරයකි. ට‍්‍රම්ප් නියෝජනය කරන්නේ කුමක් ද හා ඔහු මෙහෙයවනු ඇත්තේ කවරාකාරයේ ආන්ඩුවක් ද යන්න ගැන කිසිදු අවුලක් නැත. සංගතවල බදු කැපීමට, නීති රෙගුලාසි මගින් පැනවී තිබෙන සීමා අහෝසි කිරීමට, සමාජ වැඩසටහන් කප්පාදු කිරීමට, කම්කරු පන්තිය මත ප‍්‍රහාරය උත්සන්න කිරීමට, මිලිටරිය දැවැන්ත ලෙස පුලුල් කිරීමට හා ශේෂවී ඇති ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ද විනාශ කිරීමට ඔහු කැපවී සිටියි. ට‍්‍රම්ප් “වැඩකරන ජනයාට යහපත් ජීවිතයක් නිර්මානය කරන” පිලිවෙත් ක්‍රියාවට දමනු ඇත්ද නැත් ද යන්න ගැන ප‍්‍රශ්නය නගන්නේ, ඔහුගේ ප‍්‍රතිගාමී ආන්ඩුව සූදානම් කිරීමට ට‍්‍රම්ප්ට කාලය ලබා දෙන අතරේ ඒ ගැන මිථ්‍යාවන් වැපිරීමට ය.

ට‍්‍රම්ප් ඉදිරියේ සෑන්ඩර්ස්ගේ දන්ඩ නමස්කාරය හෙලිදරව් කරන්නේ, ඔහුගේ අසීමාන්තික අවස්ථාවාදය හා ඩිමොක‍්‍රටික් ප‍්‍රාථමික මැතිවරනයේදී ඔහු ගෙන ගිය උද්ඝෝෂනයේ සැබෑ අරමුන යි. සෑන්ඩර්ස් යාන්තමින් වත් බැරෑරුම් නම්, කම්කරු පන්තියට ඔවුන් ඉදිරිපිට ඇති ආන්තික අන්තරායන් පිලිබඳව දැනුම් දිය යුතුව තිබුනු අතර, එලැඹෙන පාලනය පිලිගැනීම හෝ ඒ සමග සහයෝගී වීම තමා ප‍්‍රතික්ෂේප කරන බව පැවසිය යුතුව තිබුනි. ට‍්‍රම්ප් ක‍්‍රියාත්මක කිරීමට සැරසෙන කිසිදු වැඩසටහනක් වෙනුවෙන් ජන වරමක් ලබා නැතිවීම පිලිබඳ සාක්ෂියක් ලෙස සෑන්ඩර්ස්, ට‍්‍රම්ප්ට මැතිවරනයේ බහුතර ඡන්ද ලැබී නැතිවීමේ කාරනය පෙන්වා දිය යුතුව තිබුනි.

දේශපාලන යටත්වීමට අමතරව ට‍්‍රම්ප් සමග සෑන්ඩර්ස්ගේ යෝජිත සන්ධානය, පොදු ආර්ථික න්‍යායපත‍්‍රයකට සම්බන්ධව තිබේ. ඔහුගේ ප‍්‍රාථමික මැතිවරන උද්ඝෝෂනය අතරතුර සෑන්ඩර්ස්, ට‍්‍රම්ප්ගේ ජාතිකවාදී හා ආරක්ෂනවාදී පිලිවෙත්වලට පක්ෂ වෙන්නැයි ඩිමොක‍්‍රටික් පක්ෂයෙන් ඉල්ලා සිටියේ ය. කම්කරුවන්ගේ ජීවන තත්වයන් කඩා වැටීම සම්බන්ධයෙන් ගෝලීයකරනය හා වෙලඳ ගිවිසුම්වලට දෝෂාරෝපනය කරමින් ඔහු, ධනවාදී පද්ධතිය කෙරෙහි කිසිදු විවේචනයක් එල්ල කිරීම මගහැරියේ ය. මෙහි ඉලක්කය වූයේ, සෑම රටකම කම්කරුවන් සූරාකන යෝධ සංගතවලට එරෙහිවනවාට වඩා, එක්සත් ජනපදය තුල කම්කරුවන්ගේ කෝපය චීනය, මෙක්සිකෝව හා අනෙකුත් රටවල කම්කරුවන්ට එරෙහිව මෙහෙයවීම යි.

ඩිමොක‍්‍රටික් පක්ෂයේ “වාම” කන්ඩායමේ තවත් නායිකාවක් වන මැසචුසෙට්ස් සෙනෙට් සභික එලිසබත් වොරන් ද මෙම තේමාවන්ම රැව් පිලිරැව් නැංවුවා ය. 9දා නිකුත් කල ප‍්‍රකාශයක් තුල වොරන් ප‍්‍රකාශ කලේ, ට‍්‍රම්ප් “අපේ ආර්ථිකය යලි ගොඩනංවන බවට වැඩකරන ජනතාවට පොරොන්දුවී ඇති අතර අපේ වෙනස්කම් පැත්තකින් තබා එම කර්තව්‍යයෙහිලා ඔහු සමග වැඩ කිරීමට මම සූදානම්” බව යි.

11දා වොෂිංටනයේදී පැවැති ඒඑෆ්එල්-සීඅයි ඕ (වෘත්තීය සමිති) විධායක කවුන්සිලයේ රැස්වීමකට, නව රිපබ්ලිකන් පාලානාධිකාරිය සමග, විශේෂයෙන්ම වෙලඳ ගිවිසුම්වලට එරෙහිවීමේ හා ආර්ථික ජාතිකවාදය උත්කර්ෂයට නැංවීමේදී එකගතාවෙන් වැඩකලහැකි කරුනු ගැන දීර්ඝ විස්තරයක් වොරන් ඉදිරිපත් කලා ය. (විලියම්ගේ වචනවලින් කිවහොත්) ට‍්‍රම්ප් සමග “කිසියම් පොදු පදනමක් සොයා ගැනීම සඳහා” වෘත්තීය සමිති වලට “බොහෝ අවස්ථා” විවරවී ඇති බව කී ඒඑෆ්එල්-සීඅයි ඕ ප‍්‍රධානී රිචඩ් ටෘම්කා හා එක්සත් මෝටර් රථ කම්කරු සමිතියේ ප‍්‍රධානී ඩෙනිස් විලියම් විසින් නිකුත් කල ප‍්‍රකාශවලින් අනතුරුව ඇය එසේ අදහස් දක්වීය.

මෙම දේශපාලන ප‍්‍රතිස්ථාපනය සිදුවෙද්දී, තුන්වැනි ක්‍රියාවලියක්ද දිගහැරෙමින් තිබේ. රටපුරා වීදිවල, ලක්ෂ සංඛ්‍යාත විරෝධතාකරුවන්, ට‍්‍රම්ප් නියෝජනය කරන්නේ කුමක්ද යන්න ගැන ඔවුන්ට සැකයක් නැති බව පෙන්නුම් කරයි. කෙසේ වෙතත් ප‍්‍රමුඛ ඩිමොක‍්‍රටිකයන්, විරෝධතා ගැන මුනිවත රකිමින්, ඒවායින් ඈත්ව සිටීමට හෝ ඒවාට විරුද්ධත්වය පල කරන තතු හමුවේ, දේශපාලන සංස්ථාපිතය තුල ඔවුන්ගේ වෛරයට හා කෝපයට ප‍්‍රකාශනයක් සොයා ගත නොහැක.

රිපබ්ලිකානුවන්ට නොඅඩු ලෙස ඩිමොක‍්‍රටික් පක්ෂය වෝල්වීදියේ පක්ෂයකි. රිපබ්ලිකානුවන් හා ට‍්‍රප්ම් සමග ඇති මොනයම් හෝ උපායාත්මක වෙනසකට වඩා ඔවුන් සැලකිලිමත් වන්නේ කැකෑරෙන විරුද්ධත්වයේ ප‍්‍රතිවිපාක ගැන ය.

විරෝධතාවල පවතින එක් මූලික ප‍්‍රශ්නයක් වන්නේ, ඒවාට සහභාගි වන බොහෝ අය, ඩිමොක‍්‍රටික් පක්ෂයේ භූමිකාව ගැන තවමත් මිථ්‍යාවන් දරා සිටීම යි. ඇත්ත වසයෙන්ම ඔබාමා හා ක්ලින්ටන්ගේ පටන් සෑන්ඩර්ස් හා වොරන් දක්වා වන ඩිමොක‍්‍රටික් පක්ෂ නායකත්වය, ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහනය පිලිබඳ දේශපාලන වගකීම දරන අතර විදේශයන්හි යුද්ධයේ පිලිවෙතත්, රටතුල ප‍්‍රතිගාමිත්වයත් ක්‍රියාත්මක කිරීමේදී ඔහු සමග වැඩ කිරීමට ඇති කැමත්ත දැන් පැහැදිලිවම ප‍්‍රකාශ කර තිබේ.

එලැඹෙන මාසවලදී කම්කරුවන් හා ට‍්‍රම්ප්ට ඡන්දය ප‍්‍රකාශකල අයම පවා තමන් මුහුනපා සිටින යථාර්ථය වටහා ගැනීමට පටන්ගත් කල්හි, මහජන කෝපය උත්සන්න වනු ඇත. ට‍්‍රම්ප් කෙරෙහි විරුද්ධත්වය සංවිධානය කල හැක්කේ, ඩිමොක‍්‍රටික් පක්ෂය හරහා හෝ ඒ සමග සන්ධානයකින් නොව, එහි දේශපාලන නියෝජිතයන් සියල්ලන්ගෙන් ද එය ආරක්ෂා කරන ධනේශ්වර පද්ධතියට ද එරෙහිව නිර්දය හා සම්මුති විරහිත බිඳී වෙන්වීමකින් පමනි.

පැට්‍රික් මාටින් හා ජෝශප් කිෂෝර්

Share this article: