ජාතිකවාදය හා යුද්ධය පදනම් කරගත් ට්‍රම්ප්ගේ ඒකාධිපති ආන්ඩුව

Trump’s authoritarian government of nationalism and war

2016 නොවැම්බර් 21

ඩොනල්ඩ් ට‍්‍රම්ප්ට දේශපාලන බලය පැවරීම සාමාන්‍ය තත්වයක් බවට පත්කිරීමට ඩිමොක‍්‍රටික් පක්ෂය හා මාධ්‍ය තමන්ට හැකි සෑම දෙයක්ම කරමින් සිටින අතර, ඔහු ඇති කරමින් සිටින පාලනයේ අන්තවාදී හා ඓතිහාසිකව පෙරනූවිරූ ස්වභාවය ඔහුගේ මුල් පත්කිරීම් තුලින්මත් පෙන්නුම් කෙරේ.

ඇටර්නි ජෙනරාල් තනතුරට ට‍්‍රම්ප් පත් කර ඇත්තේ, ආන්ඩුවේ ඔත්තු බැලීම්වල වඩාත්ම ආක‍්‍රමනකාරී විධික‍්‍රම සඳහා බුද්ධි අංශ ආයතන විසින් පවා අනුබලය නොදුන් තරම් සහාය දීම හා සිවිල් අයිතීන් කෙරෙහි විරුද්ධත්වය නිසා දීර්ඝ කාලයක් තිස්සේ කුප‍්‍රකටව සිටින ඇලබාමා සෙනෙට් සභික ජෙෆ් සෙෂන්ස් ය. පොලිස් මිලිටරිකරනය පුලුල් කිරීම ගැන කථා කරන ඔහු, දැඩි ලෙස සංක‍්‍රමනිකයන් හෙලා දකියි. “අපට වාසි සැලසෙන, සාධනීය නිපුනතාවක් සහිත කිසිවෙකුත් ඩොමිනිකන් සමූහාන්ඩුවේන් එක්සත් ජනපදයට පැමින නැත” වරෙක ඔහු සඳහන් කලේ ය.

සීඅයිඒ ප‍්‍රධානියා ලෙස ට‍්‍රම්ප් යෝජනා කරන්නේ, මෙම වසර මුලදී එන්එස්ඒ ඔත්තු බැලීම් පිලිබඳ තොරතුරු කාන්දු කල එඩ්වඩ් ස්නෝඩන්ට අභිචෝදනා ගොනු කොට, වැරැදිකරු කර මරා දැමිය යුතු යයි පැවසූ, ව්‍යවස්ථා විරෝධී ඔත්තු බැලීම් වැඩසටහන් වෙනුවෙන් පෙනී සිටින තවත් උපදේශකයෙකු වන නියෝජිත මන්ත්‍රී මන්ඩල සභික මයික් පොම්පෝ ය.

ජාතික ආරක්ෂක උපදේශක ලෙස ට‍්‍රම්ප් තෝරාගෙන ඇත්තේ, “අවසාන මොහොත දක්වාම ගත හැකි බොහෝ විසඳුම් අප ඉදිරියේ ඇති බව” තමන් විස්වාස කරන්නේ යැයි කියමින්, වධබන්ධන කෙරේ පනවා ඇති නෛතික සීමාවන් ඉවත් කිරීමට සහය පලකරන, උම්මත්තක ඉස්ලාම්-විරෝධී මිලිටරිවාදියෙක් වන හිටපු ජෙනරාල් මයිකල් ෆ්ලයින්ය.

අනෙකුත් පත් කිරීම් ද මේ රටාවටම සිදුවනු ඇත. වාර්තා වන ආකාරයට, ආරක්ෂක ලේකම් ධුරය සඳහා ඉදිරියෙන්ම සිටින තරඟකරුවා, 2004දී ඉරාකයේ ෆලූජා නගරයට එරෙහිව ම්ලේච්ඡ ආක‍්‍රමනයක් දියත් කල හා එයින් වසරකට පසු, “ඇතම් මිනිසුන්ට වෙඩි තැබීම විනෝදජනකයි” යන මෘග ප‍්‍රකාශ කල විශ‍්‍රාමලත් මැරීන් ජනරාල් ජේම්ස් මැටිස් ය.

කෙසේවෙතත් වඩාත්ම වැදගත් වන්නේ, ට‍්‍රම්ප්ගේ නව “ප‍්‍රධාන මූලෝපාඥයා” වන ස්ටෙපන් බැනන්ගේ කේන්ද්‍රීය භූමිකාව යි. මොහු වනාහී, ඊනියා විකල්ප-දක්ෂිනාංශය වටා ගොනුවූ සුදු ජාතික සංවිධානවල පැසසුමට ලක්ව සිටින, (සෙෂන් පත්කර ගැනීමට ද හුරේ දැමුවෙකි) බ්රීට්බාට් නිව්ස්හි හිටපු ප‍්‍රධානියා ය.

නව පාලනයේ සමස්ත දේශපාලන න්‍යායපත‍්‍රය සැකසීමේදී බැනන් ප‍්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරනු ඇත. 18දා හොලිවුඩ් රිපෝටර් ප‍්‍රසිද්ධ කල සම්මුඛ සාකච්ඡාවකදී ඔහු, ආර්ථික හා දේශපාලන ජාතිකවාදයේ පිලිවෙතක් ෆැසිස්ට්වාදී තානයකින් ගෙනහැර දැක්වීය.

“මම සුදු ජාතිකවාදියෙක් නෙවෙයි. මම ජාතිකවාදියෙක්, ආර්ථික ජාතිකවාදියෙක්”, බැනන් කියයි. “ඇමෙරිකානු කම්කරු පන්තිය විනාශයේ හෙලා, ආසියාවේ මධ්‍යම පන්තියක් නිර්මානය කිරීම” සම්බන්ධයෙන් ඔහු, “ගෝලීයවාදීන්”-වෙලඳාමට හා මිනිසුන්ගේ සංක‍්‍රමන සීමා කිරීමට සහය නොදක්වන අය හැඳින්වීමට විකල්ප-දකුන අතර ජනප‍්‍රිය වදනක්- ඔහු හෙලා දකියි.

බැනන්ට අනුව ඔහුගේ අරමුන, නය පුලුල් කරමින් යටිතල ව්‍යූහය සඳහා වියදම් කිරීම සමග ඒකාබද්ධ කෙරුන ජාතික ආර්ථික ප‍්‍රතිපත්තියක් මත පදනම්වූ, “මුලුමනින්ම නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම” යි. “ලෝකය පුරා සෘන පොලී අනුපාතික පිලිවෙතක්, සෑම දෙයක්ම යලි ගොඩනැගීමට විශිෂ්ඨතම අවස්ථාව උදා කරනු ඇත. අපි එය වල පල්ලට දමා, එය කෙසේ හිස ඔසවන්නේදැයි බලන්නෙමු. එය 1930 ගනන්වල මෙන් උද්වේගකර වනු ඇත. එය රේගන්ගේ විප්ලවයට වඩා - ආර්ථික ජාතික ව්‍යාපාරයක් තුල කොන්සර්වේටිව්වාදීන් සහ ජනතාවාදීන් සිදුකලාට වඩා විශිෂ්ඨ වනු ඇත” යයි ඔහු සඳහන් කරයි.

ඇමෙරිකානු බලයේ මස්තකප‍්‍රාප්තයේදී මෙයාකාරයේ භාෂාවක් මින් පෙර ඇසී නැත. ට‍්‍රම්ප්, බැනන් හා අනෙක් අය, ඩිමොක‍්‍රටික් පක්ෂයට ද ඉහල මධ්‍යම පන්තියේ වරප‍්‍රසාදිත ස්ථරවල අනන්‍යතා දේශපාලනයට ද එරෙහිව පුලුල්ව පැතිරුන වෛරය ගසාකමින්, ජනතාවාදී භාෂාවකින් ඔවුන්ගේ වැඩපිලිවෙල ඉදිරිපත් කිරීමට කැසකවන අතරේ, ආර්ථික ජාතිකවාදයේ වැඩපිලිවෙල ම්ලේච්ඡ පන්ති යුද්ධ පිලිවෙතකි.

දේශීය වශයෙන් එහි අර්ථව, “ජාතිය” හා “ජාතික ආරක්ෂාව” පිලිබඳ අවශ්‍යතා වෙනුවෙන් පන්ති අරගලය මැඩපැවත්වීම යි. ජාත්‍යන්තරව එහි අර්ථය, රටතුල සමාජ ආතතීන් අවමංගත කිරීම හා ඇමෙරිකානු පාලක පන්තියේ අවශ්‍යතාවලට යුරෝපයේ හා ආසියාව තුල සිය ප‍්‍රමුඛ තරඟකරුවන් යටත් කිරීම යන කාරනා දෙකම වෙනුවෙන් යුද්ධය කරා වාරුවීම යි. නව පාලානාධිකාරිය, වෝල්වීදියේ හා මූල්‍ය කතිපයාධිකාරියේ ප‍්‍රචන්ඩ උපකරනය වසයෙන් ක්‍රියාත්මක වෙන මිලිටරි-බුද්ධි අංශ-පොලිස් යාන්ත‍්‍රනය මගිින් අධිකාරවත් කරනු ඇත.

එලැඹෙන ට‍්‍රම්ප් පාලානාධිකාරියේ ස්වභාවය තරම්ම ඩිමොක‍්‍රටික් පක්ෂයේ ප‍්‍රතිචාරය ද වැදගත්කමින් අඩු නොවේ. මවිතකර වේගයකින්- හරියටම සති දෙකක් ඇතුලත- ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහනයක් රටට ව්‍යසනයක් වනු ඇතයි යන උන්මාදනීය අනතුරු ඇඟවීම්වල සිට තමන් එලැඹෙන පාලනය සමග සහයෝගි වනු ඇතයි ද ප‍්‍රතිපත්තිවල ප‍්‍රධාන අංශවලදී එය සමග වැඩකරනු ඇතැයි ද සහතික වන තැනට ඩිමොක‍්‍රටික් පක්ෂය මාරුවී තිබේ.

ට‍්‍රම්ප්ගේ ආරම්භක කැබිනට් තනතුරු සමග, ඩිමොක‍්‍රටික් පක්ෂයේ සෙනෙට් සුලුතර නායකයා වසයෙන් චාල්ස් ෂූමර් පත් කරගැනීම එකට සිදු විය. සෙනෙට් සභාවේ සියලුම ඩිමොක‍්‍රටිකයන් අතුරින් ඇතම්විට වෝල්වීදියට වඩාත්ම සමීප පුද්ගයා ද වෙලඳ යුද්ධ පිලිවෙත් පිලිබඳ, විශේෂයෙන්ම චීනයට එරෙහිව, වඩාත්ම උද්‍යෝගිමත් උපදේශකයා වන්නේ ද ෂූමර් ය.

ෂූමර්, සෙනෙට් සභාවේ ඩිමොක‍්‍රටික් නායකත්වය වර්මොන්ට් සෙනෙට් සභික බර්නි සෑන්ඩර්ස් වෙත පවරා ඇත. ජනාධිපතිවරන ව්‍යාපාරය අවධියේ සෑන්ඩර්ස් වැඩකලේ, වාමාංශික නැඹුරුවක් ද ධනපති විරෝධයක් ද පිලිබිඹු කල ඡන්ද පදනම, යුද්ධයේ හා වෝල්වීදියේ ඡන්ද අපේක්ෂිකාවවූ හිලරි ක්ලින්ටන් වෙත හරවා යැවීමට ය. ලෝක සමාජවාදී වෙබ් අඩවිය සටහන් කල පරිදි, ඔහුගේ ජාතිකවාදී ආර්ථික වැඩපිලිවෙල සමීපව සමපාත වන්නේ, ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ වැඩපිලිවෙල සමග ය.

සති අන්තයේ පැවැති සම්මුඛ සාකච්ඡාවලදී ෂූමර් හා සෑන්ඩර්ස් යන දෙදෙනාම සඳහන් කලේ, “වෙලඳාම” හා “යටිතලව්‍යූහය” සම්බන්ධ කාරනාවලදී ට‍්‍රම්ප් “අප සමග වැඩකරනු” ඇතැයි ඔවුන් කල්පනා කරන බව ය. ඇමෙරිකානුවෝ, “ඔවුන්ගේ රැකියා චීනයට හා අනෙකුත් අඩු වැටුප් සහිත රටවලට ඇදී යාම දැක වෙහෙසටත් කලකිරීමටත් පත්ව සිටිති”යි සෑන්ඩර්ස් කීවේ ය.

ට‍්‍රම්ප්ගේ ෆැසිස්ට්වාදී ප‍්‍රමුඛ මූලෝපායඥ බැනන් පෙරමුන ගෙන ඉදිරිපත් කල ආර්ථික යෝජනා මත, ට‍්‍රම්ප් සමග සන්ධානයක් ඩිමොක‍්‍රටිකයෝ යෝජනා කරති.

ඇමෙරිකානු ජනාධිපති මැතිවරන සෑම අතින්ම සංලක්ෂිතව ඇත්තේ, මුසාවාද, මඩගැසීම් හා වාචාලවලිනි. ඒවා පිටුපස ඇත්තේ ඇමෙරිකානු පාලක ප‍්‍රභූව කාකොටා ගන්නා විවිධාකාර උපායාත්මක බෙදීම් හා ඝට්ටන ය. පාලක පන්තිය අනුගමනය කරන මාවත හා ආන්තික පිලිවෙත ප‍්‍රකාශයට පත්වන්නේ මේ ආකාරයෙනි.

ඉදිරි කාලපරිච්ඡේදය දැවැන්ත කම්පන හා දේශපාලන පෙරලිකාරිත්වයෙන් සංලක්ෂිත වනු ඇත. පෙරනොවූ විරූ දැවැන්ත පරිමානයේ නය මත පදනම්වූ, ධනපතියන් සඳහා යෝධ බදු කප්පාදු හා සමාජ වැඩසටහන් කපා හැරීම සමග බද්ධවූ ට‍්‍රම්ප්ගේ ආර්ථික පිලිවෙත්, ආර්ථික ව්‍යසනයක් ද පන්ති අරගල ද පැනනංවනු ඇත. ඇමෙරිකානු හා ලෝක ධනවාදයේ සමහන් කල නොහැකි ප‍්‍රතිවිරෝධතා ඔවුන්ට විසඳිය නොහැකි වනු ඇත.

තව ද මැතිවරන උද්ඝෝෂනය අතරතුර සමාජ දුක්ගැනවිලි ගසාකෑමටත් ක්ලින්ටන්ට ඡන්දය නොදී සිටීමෙන් ද වාසිලැබීමට ට‍්‍රම්ප්ට හැකිවූ නමුත් ඔහු ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන වැඩසටහනට මහජනය සහායක් ඇත්තේ නැත.

එලැඹෙන්නාවූ අරගල සඳහා සූදානම්වීමේදී මූලික දේශපාලනික කර්තව්‍යය වන්නේ, ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස කම්කරු පන්තිය සංවිධානය කිරීම හා බලමුලු ගැන්වීම යි. මෙහිලා, ඩිමොක‍්‍රටික් පක්ෂයෙන් හා එහි කක්ෂය වටා වැඩ කරන සියලුම සංවිධානවලින් තීරනාත්මකව බිඳී වෙන්වීමක් අනිවාර්යයෙන් ඉල්ලා සිටී. කම්කරු පන්තියට, ට‍්‍රම්ප් පාලානාධිකාරියක ආර්ථික ජාතිකවාදය, ඒකාධිපතිවාදය හා මිලිටරිවාදයට එරෙහිව සමාජවාදී, ජාත්‍යන්තරවාදී හා විප්ලවවාදී විරුද්ධත්වයක් මතුකර ගත හැක්කේ මේ විධියෙන්ම පමනි.

ජෝසප් කිශෝර්

Share this article: