ට‍්‍රම්ප්ගේ න්‍යායපත‍්‍රය පිලිබඳව යුරෝපයේ වැඩෙන කනස්සල්ල

Growing concerns in Europe over Trump agenda

2016 නොවැම්බර් 26

නව ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් විසින් නිවේදනය කල “පලමුවෙන් ඇමරිකාව” යන ආර්ථික න්‍යායපත‍්‍රය හා ගෝලීය ආර්ථිකයේ ස්ථාවරත්වය පිලිබඳ එහි ඇඟවුම්, වෙලඳ ගැටුම් හා මූල්‍ය කලබැගෑනි වලට තුඩුදෙනු ඇතැයි යුරෝපීය පාලක කොටස් කලබලයට පත්ව සිටිති. දෙසැම්බර් 8දා පැවැත්වීමට නියමිත යුරෝපීය මහ බැංකුවේ පාලක මන්ඩලයෙහි තීරනාත්මක රැස්වීම මුල්කරගෙන මේ සතිය මුල එය නිකුත් කල මූල්‍ය ස්ථාවරත්ව විමසුම තුල මෙම කැලඹීම ප‍්‍රකාශයට පත්වේ.

පොලී අනුපාතික ඓතිහාසික පහත් මට්ටම්වල තබාගනිමින් මූල්‍ය ස්ථාවරත්වය පවත්වාගැනීමේ ව්‍යායාමයක් ලෙස ක්‍රියාත්මක කරන බැංකුවේ ප‍්‍රමානාත්මක ලිහිල් කිරීමේ වැඩසටහන යටතේ, සෑම මසකම යුරෝ බිලියන 80ක වටිනා බැඳුම්කර මිලට ගැනීම, රැස්වීමේදී විමසා බලනු ඇත. නිල වශයෙන් එම වැඩසටහන මාර්තු මාසයේදී අවසන් වීමට නියමිත අතර යුරෝ මහ බැංකුව ආන්තික ලාභ මුදල් සැපයුම පවත්වාගැනීම පිනිස එය දීර්ග කිරීමට අපේක්ෂා කරයි.

එහෙත් ට‍්‍රම්ප්ගේ පත්වීමත් සමග ඇමරිකානු බැඳුම්කර ප‍්‍රතිලාභ ඉහල නැගීමට පටන් ගැනීම නිසා එම සැලසුම් අර්බුදයට ගොස් ඇත. ලාභයේ ප‍්‍රධාන ප‍්‍රසාරනයකට තුඩුදෙනු ඇති, යටිතල ව්‍යූහ යෝජනා ක‍්‍රම පෞද්ගලීකරනය හා ව්‍යාපාරවල බදු අනුපාතික සෘජුවම කපා හැරීම තුලින්, ආර්ථික ජාතිකවාදය හා දැවැන්ත බදු සහන සැලසීමේ පදනම මත පිහිටි ට‍්‍රම්ප්ගේ ක්‍රියාමාර්ගය ගැන බලාපොරොත්තු රඳවමින්, ඩොලර් බිලියන ගනන් මුදල් ආන්ඩුවේ නයකරවල සිට කොටස් වෙලඳපොලවල් කරා ගලා ගියේය.

යුරෝපීය මහ බැංකුව දැන් මුහුන දෙන්නේ, යුරෝ කලාපයේ පොලී අනුපාතික පහත මට්ටමක තබාගැනීමේ එහි උත්සාහය, ඇමරිකාවේදී එය එහි විරුද්ධ පැත්තට ගමන් කිරීමේ තත්වය සමග ගැටෙන කොන්දේසි වලටය.

එහෙත් මුදල් වෙලඳපොලවල ක්ෂනික චලනය පිලිබඳ කනස්සල්ලට වැඩි දෙයක් මෙහි පවතී. බැංකුව කෙලින්ම ට‍්‍රම්ප් නම්කර නැති නමුත්, ඔහුගේ පත්වීමේ ඇඟවුම් හා ඇමරිකානු පාලක පන්තිය ඒ මත සිදුකරනු ඇති වෙනස්කම් පිලිබඳව යුරෝපීය මූල්‍ය වංශවතුන් දක්වන භීතිය වඩාත් පුලුල් ලෙස එයට ඇතුලත්ව තිබේ.

යුරෝ මහ බැංකුවේ ප‍්‍රවෘත්ති නිවේදනයකට අනුව, “බැඳුම්කර මිල පහත වැටීම හා ආන්ඩුවේ නය ගිනුම් වලින් මුදල් ඉවත ගලා යාමට තුඩුදී ඇති බැඳුම්කර පොලී ඉහල යාම නිසා ගෝලීය වත්කම් හරිගැස්සීමට සම්බන්ධව යුරෝ කලාපයේ මූල්‍ය ස්ථාවරත්වය මුහුන දෙන අවදානම් වැඩිවී” ඇත. “යුරෝ කලාපයේ මූල්‍යම ස්ථාවරත්වය පිලිබඳ ඇඟවුම්, ඇමරිකාවේ ආර්ථික පිලිවෙත් කෙරෙහි දක්වන සංවේදිකම මේ අවස්ථාවේදී අතිශයින්ම අනිශ්චිතය. ඇමරිකාවේ උද්ධමන අනුපාතික හා පොලී අනුපාත ඉහල යාම පිලිබඳ බලාපොරොත්තු, ඉවතට ගැලීම පිලිබඳව ඇතිකල හැකි බලපෑම තුලින් හා වෙලඳ ආරංචිමාර්ග හරහා සෘජුවම යුරෝ කලාපයට බලපෑ හැකිය.”

“හැකිලෙන ආර්ථික වර්ධනයක්” නිසා කලාපය පුරා ලාභ පිලිබඳ පවතින මඳ බලාපොරොත්තු හමුවේ යුරෝ කලාපයේ බැංකු සැලකිය යුතු තරම් දුබල තත්වයක පවතියි.”

බොහෝකොටම යුරෝ මහ බැංකුවේ ආන්තිකව ලාභ මූල්‍ය ප‍්‍රතිපත්ති නිසා, මෑත වසරවල වේගයෙන් වර්ධනයවී ඇති බැංකු නොවන මූල්‍ය ක්ෂේත‍්‍රයේ ආයෝජන අරමුදල් වැඩි හරියක්, දරුනු බලපෑමකට හසුව ඇත. ඒවා දැන් ද්‍රවශීලතාවය අතින් තරඟකාරී නොවන තැනකට වැටී ඇත. වෙනත් වචන වලින් කිවහොත්, පවත්වාගෙන ගිය පහත් පොලී අනුපාත න්‍යායපත‍්‍රය මත වාරුවී සිටීම නිසා අරමුදල්, ඇමරිකානු පොලී අනුපාත වැඩිවීමට පටන්ගැනීමත් සමග අර්බුදයට මුහුනපානු ඇත.

එම මහ බැංකු වාර්තාවට අනුව, ඇමරිකානු ජනාධිපතිවරනයෙන් පසුව ගතවූ සතිය තුල ගෝලීය බැඳුම්කර මිල කිරීම් ඩොලර් ට්‍රිලියනයකට සමාන වටිනාකමකින් පිරිහී ඇත. ක්ෂනික දැක්ම අනිශ්චිත වන තුතු හමුවේ “නැගී එන ආර්ථිකයන් දුබල වීම හා ලොව පුරා දේශපාලන අනිස්ථිර භාවය වැඩිවන තතු තුල, හදිසි වෙනස්වීම් (ඇමරිකාවේ පොලී අනුපාත ඉහලයාම) කැලඹීම් තවත් දැඩි කරනු ඇත.”

ඩොලරය හා පොලී අනුපාත ඉහල යාම නිසා නැගී එන ආර්ථිකයන් බෙහෙවින් අඩමාන තත්වයකට ඇද දමා තිබේ. එය වසර 13ට පසුව උපරිම අඩමාන තත්වයක පවතියි. ඩොලර් වලින් නියමවී ඇති එම රටවල නයෙහි අගය ඉහලගොස් නය බර වැඩි කරනු ඇත.

ට‍්‍රම්ප්ගේ ජාතිකවාදී ආර්ථික න්‍යායපත‍්‍රය විසින් සලකුනු කරනු ලබන ඇමරිකානු ආර්ථික පිලිවෙතේ මාරුව, ඉතාලි බැංකු ක‍්‍රමය මුහුනපා සිටින වැඩෙන අර්බුදය පාලනය කර ගැනීමට යුරෝ මහ බැංකුව දරන උත්සාහය හමුවේ මතුව ඇති ගැටලු නිසා තවත් උග‍්‍ර අතට හැරී තිබේ. ඉතාලි බැංකු සතුව යුරෝ බිලියන 200ක අක්‍රීය නය ද ඇතුලුව බිලියන 360ක බොල් නය ප‍්‍රමානයක් ඇත.

මේ සතියේ ෆිනෑන්ෂල් ටයිම්ස් පත‍්‍රය වාර්තා කල පරිදි, රටේ පොහොසත්ම ප‍්‍රදේශයක් වන විනිටෝ කලාපයේ ප‍්‍රධාන බැංකු දෙකක කොටස් වටිනාකම් මගින් මූල්‍ය කඩාවැටීමේ පරිමාව සලකුනු කරයි. ඉන් එක් බැංකුවක කොටස් අගය 2014 පැවති යුරෝ 40.75 සිට අද වන විට ශත 10 දක්වා පහත වැටී ඇත. අනෙකෙහි කොටස් මිල යුරෝ 62.50 සිට ශත 10 දක්වා පල්ලම් බැස තිබේ.

රටේ බැංකු ක‍්‍රමය, දෙසැම්බර් 4දා පැවැත්වීමට නියමිත ව්‍යවස්ථාව පිලිබඳ ජනමත විචාරනයෙන් අගමැති මැටියෝ රෙන්සි පරාජයට පත්වුවහොත්, තවදුරටත් අස්ථාවර වනු ඇත. එහිදී “නැත” යන මතය වෙනුවෙන් පෙනී සිටින දක්ෂිනාංශික ජනතාවාදී පක්ෂ, ඇමරිකාවේ ඩොනඩ් ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහනයෙන් තවත් ශක්තිමත්වී සිටිති. “නැත” ඡන්දය ජයගන්නා බව පෙනුනොත් තමා ඉල්ලා අස්වන බවට රෙන්සි කර ඇති තර්ජනය හමුවේ, මූල්‍ය අස්ථාවරත්වය පැතිර යන දේශපාලන අර්බුදයකට තුඩුදෙනු ඇති බවට බියක් පැතිර යයි.

එහෙත් ඉතාලියානු අර්බුදය, දැවැන්ත මූල්‍ය අයිස් කුට්ටියක තුඩක් පමනි. යුරෝ මහ බැංකු වාර්තාවට අනුව, බැංකුවල ලාභදායකත්වයට තර්ජනයක්ව ඇති ප‍්‍රධාන ව්‍යූහාත්මක අභියෝගයන්, “සමහර යුරෝ ප‍්‍රදේශවල බැංකු ක්ෂේත‍්‍රද අධි ධාරිතාවෙන් යුතුවන තත්වය ද සමග රටවල් ගනනාවක අක්‍රිය නය තොග පැවතීගෙන යාම සමග” බැඳී ඇත.

මෙය, මූල්‍ය ක‍්‍රමයට අනුක‍්‍රමයෙන් ගොඩ ඒගත හැකිවන පරිදි, ඉහල වර්ධන වේගයක් අත්කර ගැනීමේ බලාපොරොත්තුවෙන්, මහ බැංකුවේ මැදිහත්වීම හරහා ගැටලු පාලනය කරගැනීමට උත්සාහ කරමින්, 2008 මූල්‍ය කඩාවැටීමෙන් පසුව යුරෝපීය මූල්‍ය වංශවතුන් විසින් ගනු ලැබූ, බැංකු දුබලතා පිටුනොදැකීමේ තීන්දුවල උරුමයයි. එම වර්ධනය කිසිදා අත්කර නොගත් අතර මූල්‍ය වසංගතය උග‍්‍ර වී ඇතුවා පමනි.

ජනාධිපති ට‍්‍රම්ප් යටතේ ඇමරිකානු ආර්ථිකයේ ඇතිවිය හැකි පරිවර්තනය කවර දිසාවකට යොමුවනු ඇත් ද යන කනස්සල්ල මූල්‍ය වෙලඳපොලට පමනක් සීමාවී නැත. එය වානිජ්‍ය ක්ෂේත‍්‍රය කරා ද පැතිරගොස් ඇත. මැතිවරනයට පෙරාතුවම අන්තර් පැසිෆික් හවුල්කාරිත්ව ගිවිසුමට ට‍්‍රම්ප්ගේ විරුද්ධත්වය ප‍්‍රකටව තිබුන ද පසුගිය සඳුදා ඔහු පැවැත්වූ කෙටි වීඩියෝ හමුවේදී නිවේදනය කල පරිදි එය පෙරමුනට හා හරි මැදට ගැනීම පිලිබඳ පනිවිඩය: ඇමරිකාව සිය අවශ්‍යතා ආක‍්‍රමනකාරී ලෙසින් ඉදිරියට ගෙනයාමේ පදනම මත, ලෝක වෙලඳ සම්බන්ධතාවන්හි නව අවධියක් එලඹ තිබෙන බව දැනුම් දෙයි.

මෙම න්‍යායපත‍්‍රයේ ගාමක බලය හා ඇමරිකානු පාලක පන්ති කොටස් අතරින් එයට ලැබෙන සහයෝගය මුල්බැස තිබෙන්නේ ආර්ථික ක්‍රියාවලීන් තුලය. මේ වසරේ ලෝක වෙලඳාමේ වර්ධනය සියයට 3ක් පමනි. එය 2008 මූල්‍ය අර්බුදයට පෙර වසරවල පැවති තත්වයෙන් බාගයකටත් වඩා පහත් මට්ටමකි. 2011 වසරේ පටන්ගත් පහත වැටීමේ ප‍්‍රවනතාව ඉදිරියට යාමක් එය සලකුනු කරයි. ගෝලීය වෙලඳපොලවල් හා ලාභය සඳහා වන අරගලය වඩ වඩාත් තියුනු වෙමින් තිබේ.

යුරෝ මහ බැංකු මූල්‍ය ස්ථාවරත්ව විමසුම පිලිබඳව පැවැත්වූ මාධ්‍ය සමුලුවේදී එහි උප සභාපති වික්ටර් කොන්ස්ටන්සියෝ, වෙලඳාම පිලිබඳ සිය කනස්සල්ල පල කලේ, “අපි දුබල ලෝක වෙලඳාමේ නව අදියරකට පිවිස සිටින්නෙමු. ඒ පිටට ආරක්ෂනවාදී පියවර මාලාවක් ගනු ලැබුනොත්, ලෝක වෙලඳාමට හා ලෝක වර්ධනයට පහර වදිනු ඇත” යනුවෙන් පවසමිනි.

ඉතිහාසය, විශේෂයෙන්ම 1930 ගනන්, පෙන්වා තිබෙන පරිදි, එවන් ආර්ථික කැලඹීමක් යුද්ධය සඳහා කොන්දේසි සකසන්නේය. ට‍්‍රම්ප්ගේ න්‍යායපත‍්‍රයෙහි සම්පූර්න විස්තරය තවමත් හෙලිවී නොතිබුන ද ඇමරිකානු මූල්‍ය හා දේශපාලන සංස්ථාපිතයෙන් ඔහුට ලැබී ඇති පිටුබලය සලකුනු කරන්නේ, ඔහුගේ ආක‍්‍රමනකාරී “පලමුවෙන් ඇමරිකාව” යන න්‍යායපත‍්‍රය, ඇමරිකානු පාලක පන්තියේ දුරදිග යන යලි හැඩගැස්ම පිලිබඳ ප‍්‍රකාශනයක් බවයි.

නික් බීම්ස්

Share this article: