ඇමරිකානු ජනාධිපතිවරනය: අක්ෂය වෙබ් අඩවිය සෑන්ඩර්ස් ට පසු හරිත අපේක්ෂිකාවට ආවඩයි

ප‍්‍රදීප් රාමනායක විසිනි, 2016 නොවැම්බර් 8

ඇමරිකානු ජනාධිපතිවරනය ඔන්න මෙන්න කියා තිබියදී ව්‍යාජ වම්මුන්ගේ හා හිටපු රැඩිකලුන්ගේ අලුත්ම හොරනෑවක් වන අක්ෂය වෙබ් අඩවියේ “හිලරි, ට්රම්ප් වෙනුවට ජිල් ස්ටේන්ගේ දේශපාලන පදනම පිලිබඳ සාකච්ඡාවක්” යන මාතෘකාවෙන් ලිපියක් පලකර ඇත. මෙම ලිපිය ලියා ඇත්තේ, ඇමරිකාවේ ප‍්‍රධාන ධනපති පක්ෂ දෙකට විරුද්ධව කම්කරු පන්තියේ ස්වාධීන සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමට එරෙහිව තවත් ධනපති කල්ලියක් තුල කම්කරුවන් හිරකර තැබීමට දැරෙන ප‍්‍රයත්නයක් සාධාරනීකරනය සඳහායි.

ඩිමොක‍්‍රටික් පක්ෂයේ හිලරි ක්ලින්ටන් ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ දේශපාලන සංස්ථාපිතයේ මිලිටරියේ සහ බැංකුකරුවන්ගේ ප‍්‍රමුඛ කොටසක සහයෝගය ලබන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්ව සිටින්නීය. ෆැසිස්ට් වාචාල කතා දොඩවන මුල්‍ය මගඩිකාර කෝටිපතියෙකු වන රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට‍්‍රම්ප් ෆැසිස්ට් ව්‍යාපාරයක් ගොඩනැගීමට අධිරාජ්‍යවාදී ධනපතියන් අතර යන දක්ෂිනාංශික නැඹුරුවක ප‍්‍රකාශනයයි.

අක්ෂය දැන් පෙලගැසී සිටින ජිල් ස්ටේන් ජනාධිපතිවරනයට ඉදිරිපත් වන්නේ තවත් ධනපති පක්ෂයක් වන හරිත සංවිධානයෙනි.

මාස කිහිපයකට පෙරාතුව අක්ෂය, අනෙකුත් ව්‍යාජ වම්මුන් සමග එක්ව රොක්වී සිටියේ ඩිමොක‍්‍රටික් පක්ෂයේ අපේක්ෂකත්වය සඳහා තරග වැදි බර්නි සෑන්ඩර්ස් පිටුපසය.

ඡේද හයේ කෙටි ලිපියේ කලින් සෑන්ඩර්ස් පිටුපස ගාල්වීම යුක්ති සහගත කරමින් අක්ෂය ලියනප්පු මෙසේ සඳහන් කර ඇත: “ලෝක දේශපාලනයේ මෑතකාලීන වර්ධනයන් දෙස බලන විට පෙනීයන ප‍්‍රධාන කරුනක් නම් ප‍්‍රධාන දක්ෂිනාංශික දේශපාලන ධාරාවන් දෙකට විකල්පව වර්ධනය වන තුන්වන බලවේගයන්ගේ වර්ධනයයි.”

සෑන්ඩර්ස් හරහා “එකී දේශපාලන විකල්පය සඳහා ඇති ඉඩ” පෙන්නුම් කෙරුනත් “අවාසනාවන්ත ලෙස” ඔහු ඩිමොක‍්‍රටික් පක්ෂ අපේක්ෂකත්වය දිනාගැනීමට අසමත් වූ බව අක්ෂය ප‍්‍රකාශ කර ඇත. “වාසනාවට” සෑන්ඩර්ස් දිනුවා නම් අදත් අක්ෂය වාම සලුපිලි අන්දවමින් ඩිමොක‍්‍රටික් පක්ෂය තුරුල්ලේය.

කාලයක් සෙනට් සභික සෑන්ඩර්ස් කම්කරු විරෝධී යුදවාදී වැඩපිලිවෙල ගෙන ගිය ඩිමොක‍්‍රටික් පක්ෂයේ එහෙයියෙකු හා කොටස් කාරයෙකුව සිටි පුද්ගලයෙකි. 1960 ගනන්වල ශිෂ්‍ය රැඩිකලෙකු වූ ඔහු පසුව දකුනට පැද්ද නමුත්, තමන් “සමාජවාදියෙකු” ලෙස පින්තාරු කර ගනිමින් හා “දේශපාලන විප්ලවයකට” අර අදින බවට ප‍්‍රකාශ දෙමින් ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලගෙන මතුවූයේ ඇමරිකාවේ ද්විපක්ෂ ක‍්‍රමය කෙරෙහි කම්කරුවන් සහ තරුනයන් අතර ඉමහත් කෝපය වැඩෙන තතු තුලය.

1991 පටන් රිපබ්ලිකන් පක්ෂය සිදුකල යුදගිනි ඇවිලවීම් ඩිමොක‍්‍රටික් ජනාධිපති බැරක් ඔබාමා තවදුරටත් පලල් කර ඇත. ධනපති අර්බුදයේ බර කම්කරුවන් හා අනෙකුත් ජනකොටස් මත පැටවීම -විශේෂයෙන් 2008 බැංකු අර්බුදයත් සමග- ඔබාමා තන්ත‍්‍රය උග‍්‍ර කලේ සමාජ අසමානතාව තවත් ගැඹුරු කරමිනි.

මෙම තතු තුල කම්කරුවන් හා තරුනයන් අතර ධනපති ක‍්‍රමයට හා ද්විපක්ෂ පාලනයට එරෙහිව වැඩෙන විරෝධය ගසා කා එය ඩිමොක‍්‍රටික් පක්ෂය තුලටම හිරකර දැමීම සෑන්ඩර්ස් භාරගත් දේශපාලන කාර්යභාරයයි.

සෑන්ඩර්ස්ට මුක්කුව දීමට ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය (අයිඑස් ඕ) හා සමාජවාදී විකල්පය (එස්ඒ) ආදී ඇමරිකාවේ ව්‍යාජ වාම සංවිධාන එක පැහැර පැනගත්තේය. ජාත්‍යන්තරව එස්ඒ සම්බන්ධ, එමෙන්ම අක්ෂය කරවන්නන් දැන් පෙලගැසී සිටින, බොරු වම්මුන්ගේ සංවිධානයක් වන කම්කරු ජාත්‍යන්තරයක් සඳහා කමිටුව (සීඩබ්ලිව්අයි) සෑන්ඩර්ස්ට ස්තෝත‍්‍ර ලිවීමෙහි යෙදුනි. සීඩබ්ලිවූඅයි සංවිධානයේ ලංකාවේ ශාඛාව වන එක්සත් සමාජවාදී පක්ෂය ඒවා තම පුවත්පතේ උජාරුවෙන් පල කලේය.

වම්මුන්ගේ ප‍්‍රයත්නය වූයේ ඊනියා තුන්වන බලවේගයක් වර්ධනය කරගැනීමයි. කුමටද? කම්කරුවන්ගේ හා තරුනයන් අතර ධනපති ක‍්‍රමයට එරෙහිව වැඩෙන විරෝධය පාගා දමා ඔවුන් ධනේශ්වර පක්ෂවලට ගැටගසා දීමටයි.

මෑත කාලයේ ලෝකයේ තුන්වන බලවේග වල වර්ධනය ලෙස අක්ෂය ප‍්‍රකාශ කරන්නේ සෑන්ඩර්ස් ගැන පමනක් නොව, ග‍්‍රීසියේ සිරිසා හා ස්පාඤ්ඤයේ පොඩෙමෝස් ආදී සංවිධාන ද බ්‍රිතාන්‍යයේ ධනපති කම්කරු පක්ෂයේ නායකයා ලෙස ජෙරමි කෝබින් ද මතුවීමයි.

සිරිසා හා එහි නායක සිප්රාස් බලයට පැමිනි පසු වංචනික වාම කතා පසෙක ලා යුරෝපා සංගමයේ හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගහල වැඩපිලිවෙල කම්කරුවන් හා දුගීන් මත පටවමින් සිටියි. අක්ෂය කරවන්නන්ද ඇතුලු අවස්ථාවාදී සංවිධාන වාම, තුන්වන, බහුත්ව විකල්පයක් ලෙස සිරිසා හුවා දක්වා දැන් සිප්රාස්ගේ පාවාදීම ගැන මැත දොඩවන්නේ “තවත් උගුලක් ග‍්‍රීසිය තුල ඇටවීමට සහයෝගය දෙමිනි.”

පොඩෙමෝස්, සිරිසා වර්ගයේ සංවිධානයකි. දක්ෂිනාංශික පක්ෂවලට ඉව අල්ලමින් සිටින මෙම සංවිධානය බලය ගතහොත් ක‍්‍රියාවට දමනු ඇත්තේ ස්පාඤ්ඤයේ ගිනිදැවෙන අර්බුදය කම්කරුවන් දුගීන් හා තරුනයන් මත පැටවීමයි.

කෝබින් ලේබර් පක්ෂයේ දක්ෂිනාංශික ප‍්‍රතිපත්තිවලට දිගුකාලීනව සහයෝගය දුන්නෙකි. කෝබින් සහ ඔහු වටා එක්ව සිටින කම්කරු පක්ෂ නායකයන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ යුද වැඩකටයුතු වලට සහයෝගය දෙමින් ද “වෙලඳපල සමාජවාදී” ප‍්‍රතිපත්ති ගෙනයන බව කියමින් ධනවාදය රැකදීමට පිලින දෙමින්ද සිටිති.

අක්ෂය හා ලොව පුරා ව්‍යාජ වම්මුන් හඹා යන මෙම “තුන්වන බලවේගය” අන් කිසිවක් නොව වැඩෙන සමාජ අසමානතාවය සහ දරිද්‍රතාව මධ්‍යයේ විප්ලවවාදී නැගිටීමක් කරා ගමන් කරන කම්කරු පන්තිය ද එය සහයට දිනාගත හැකි තරුනයන් ඇතුලු ප‍්‍රගතිශීලි කොටස්ද ධනපති ක‍්‍රමය තුල හිරකර දැමීමට තැනෙන යාන්ත‍්‍රනයකි.

අක්ෂය මෙසේ සඳහන් කරයි: “විශේෂයෙන් ඇමරිකාව තුළ 2008 ආර්ථික අර්බුදයෙන් පසු කරලියට පැමිණි සියයට 99 ව්‍යාපාරය, වැනි වාමාංශික නැඹුරුවක් සහිත සමාජ බලවේග මතු කරන අදහසට සාධාරණ නියෝජනයක් ලබා දීම වෙනුවෙන් බරපතල හිඩසක් බර්නිගේ පරාජය සමග නිර්මාණය විය. ඇමරිකානු හරිත පක්ෂයේ ජිල් ස්ටේන් ට පිරවීමට සිදු වූයේ මෙකී හිඩසයි.”

මෙම ප‍්‍රකාශය අර්ථභාරීය. ව්‍යාජ වම්මුන්ගේ දේශපාලනයේ මූලයන් හා උවමනාකම් ඉන් හෙලිදරවු වේ.

“සියයට 99 අපයි” යනුවෙන් හඳුන්වාගත් වෝල් වීදිය වාඩිලාගැනීමේ ව්‍යාපාරය 2011 දී පැන නැගුනේ ජනගහනයේ සුපිරි ධනවත් සියයට එක විවේචනය කරමිනි. සමාජ අසමානතාවට එරෙහිව පලල් කම්කරු පන්තික කොටස් වෝල් වීදිය වාඩිලා ගැනීමට ආකර්ෂනය වුවද එම ව්‍යාපාරය මුදුනත අරක්ගත්තේ සාපේක්ෂ වශයෙන් ධනවත් කොටස්ය. එම ව්‍යාපාරය භ‍්‍රමනය වුයේ ඩිමොක‍්‍රටික් පක්ෂය වටාය. ව්‍යාජ වම්මු ඊට අවිවේචනාත්මකව රැලි වූහ.

මෙම සියයට 99 මුදුනත සිටින්නේ, සුපිරි සියයට එකට පහල නමුත්, ධනවතුන්ගේ හා ඉහල මධ්‍යම පන්තිකයන්ගෙන් සමන්විත සියයට 10 ඛන්ඩයයි.

ව්‍යාජ වම්මුන් කතා කරන්නේ මෙම සියයට 10 තුල සිටින එම ඉහල මධ්‍යම පන්තිකයන් වෙනුවෙනි. ඔවුන්ගේ ප‍්‍රයත්නය ජනගහනයේ පහලින් සිටින කම්කරුවන් හා අවශේෂ ජන කොටස් සියයට 10 යේ උවමනාකම්වලට යටකරන ව්‍යාපාරයක් මගින් සුපිරි ධනපතියන් ලබන ඉහල ආදායමෙන් හා වරප‍්‍රසාදවලින් කොටසක් තමන් වෙත ලබා ගැනීමට කේවල් කිරීමයි.

ඊනියා වාම පක්ෂ “සියයට 99යේ පක්ෂ” හුවා දැක්වීම දැන් මෝස්තරයක් කරගෙන ඇත. සිරිසා, පොඩෙමෝස්, සෑන්ඩර්ස්ගේ ව්‍යාපාරය ආදී වශයෙනි.

සෑන්ඩර්ස් ජානාධිපතිවරන අපේක්ෂකත්වය ඉල්ලන ඡන්දයෙන් පැරදුනු පසු එස්.ඒ ඇතුලු සංවිධාන ඔහුට කන්නලවු කලේ තනියෙන් හෝ හරිත පක්ෂයෙන් ඉල්ලන ලෙසයි. ස්ටේන් “හිඩැස පිරවීමට” ඡන්දය ඉල්ලීමට තීරනය කිරීමට පෙර සෑන්ඩර්ස්ගෙන් ඉල්ලා සිටියේ ඇයගේ තැන භාර ගන්නා ලෙසයි. ස්ටේන් ද හරිතය ද ඩිමොක‍්‍රටික් පක්ෂය වටා භ‍්‍රමනය වෙයි.

ස්ටේන් දැන් පරිසර සංරක්ෂනය, යුද විරෝධය හා සමාජ සමානතාවය ගැන වාචාල කතා ඇදබාමින් එස්ඒ, අයි එස් ඕ ඇතුලූ සංවිධානවල මුක්කුව ලබාගෙන ප‍්‍රධාන ධනපති පක්ෂවලට එරෙහිව පෙරට ආ කම්කරුවන් හා තරුනයන් තමන් වටා ගොනු කරගැනීමට තැත් කරයි.

අක්ෂය කරවන්නන්ගේ ධනපති ගැතිකම වඩාත් කැපී පෙනෙන්නේ එය එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) ජනාධිපතිවරනය තුල කර ඇති දේශපාලන මැදිහත්වීම ගැන වචනයක් හෝ සඳහන් නොකිරීමෙනි. සසප, ජනාධිපති අපේක්ෂක ලෙස ජෙරී වයිට් හා උප ජනාධිපති තනතුරට නයිල්ස් නීමුත් ඉදිරිපත් කර බරපතල දේශපාලන මැදිහත්වීමක යෙදී සිටියි.

ඇමරිකානු අධිරාජ්‍යවාදීන් ලෝක ආධිපත්‍යය යලි අත්පත් කරගැනීම සඳහා ගෙනයන මිලිටරි ක‍්‍රියා මගින් තුන්වන ලෝක යුද්ධයක අන්තරාය මතුවීම, සමාජ අසමානතාවය ගැඹුරුවීම, ප‍්‍රතන්ත‍්‍රවාදී අයිතීන් මැඩලීම නතර කරගත හැකි ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල ඉදිරිපත් කරන්නේ සසප සහ එහි අපේක්ෂකයන් පමනකි.

ලෝක යුද තර්ජනය වර්ධනය වන තතු තුල සසප ජනාධිපතිවරනය තුල සිය දේශපාලන මැදිහත්වීමේ මාධ්‍ය කරගෙන ඇත්තේ සමාජවාදී යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩ නැගීමේ දැවෙන අවශ්‍යතාව කම්කරුවන් හා තරුනයන් අතරට ගෙනයාමයි.

ඇමරිකාවේ ජනාධිපතිවරනය තුල මතුවී ඇති සසප විසින් අවධාරනය කෙරෙන, මෙම කේන්ද්‍රීය ප‍්‍රශ්න අක්ෂය වහංගු කරයි.

ඒ වෙනුවට අක්ෂය සිය ලිපිය අවසන් කර ඇත්තේ ඇමරිකානු ජනාධිපතිවරනය තුල එක් එක් ප‍්‍රධාන අපේක්ෂකයන්ගේ මූලික දේශපාලන පදනම් හැඳින ගැනීම “අපට” වැදගත් බව ප‍්‍රකාශ කරමිනි. ලිපියේ නම් එම පදනම් ගැන නම් කිසිවක් කියා නැත. එහෙත්, එලෙස හඳුනා ගැනීමෙන් ලංකාවේ නව ලිබරල් ආර්ථික ප‍්‍රතිපත්තිය, විදේශ ආයෝජන කැඳවා ගැනීම, අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා කප්පාදුව ආදිය ගැන ජාත්‍යන්තරව යන සාකච්ඡාව තේරුම් ගැනීමටද ලංකාව තුල එම සාකච්ඡාව ගෙනයාමටද හැකිබව ලිපිය කියා ඇත.

මෙම අපබ‍්‍රන්සයෙන් කියවෙන්නේ ජාත්‍යන්තරව හා හා ලංකාව තුල වාම කල්ලි කන්ඩායම් එක පෙරමුනකට ගෙන ඒමේ සාකච්ඡාවක් කිරීමට අවකාශ පාදා ගත යුතු බවයි. ලංකාව තුලද ජාත්‍යන්තරවද මෙම සංවිධාන ක‍්‍රියාකරන්නේ කම්කරු පන්තියේ ස්වාධීන සමාජවාදී දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම වලක්වා ධනපති පක්ෂවලට ගැටගැසීමයි.

එමගින් ඔවුහු ඇමරිකාව තුල නම් ධනපති පන්තිය මුහුන දෙන ඉමහත් අර්බුදය මධ්‍යයේ, ට‍්‍රම්ප්ගෙන් ඇඟවුම් කෙරෙන ෆැසිස්ට් හෝ දක්ෂිනාංශික ව්‍යාපාරයකට පාර කපති. අනෙකුත් රටවල ද එම ප‍්‍රතිවිප්ලවවාදී බලවේග තර කරති.

ඇමරිකානු මැතිවරනය ආශ‍්‍රිතව පැනනැගී ඇති ඓතිහාසික දේශපාලන ප‍්‍රශ්න පිලිබඳ මාක්ස්වාදී විශ්ලේෂන හා ඉදිරිදර්ශන හැදෑරීමට කම්කරුවන්, තරුනයන් හා බුද්ධිමතුන් හැරිය යුත්තේ ලෝක සමාජවාදී වෙබ් අඩවියට යි.

Share this article: