ශ්‍රී ලංකාව සාර්ක් සමුලුවට සහභාගී නොවී, පකිස්තානය හුදකලා කිරීම සඳහා ඉන්දියාවට සහාය වෙයි

Sri Lanka assists India to isolate Pakistan by not attending SAARC summit

ප‍්‍රදීප් රාමනායක විසිනි, 2016 ඔක්තෝබර් 25

ඉස්ලාමාබාදයේ පැවැත්වීමට නියමිතව තිබූ දකුනු ආසියා කලාපීය සහයෝගිතා සංගමයේ (සාර්ක්) සමුලුවෙන් ඉන්දියාව ඉවත්වීමත් සමග ශ්‍රී ලංකා ආන්ඩුවද ඊට සහභාගී නොවීමට තීරනය කලේය. විදේශ අමාත්‍යංශය විසින් නිකුත් කල ප‍්‍රකාශයක, “කලාපයේ සාමය සහ ආරක්ෂාව සහතික කිරීමට” පියවර ගන්නා ලෙසත්, “කලාපීය සහයෝගීතාවය රැකගැනීම සඳහා හිතකර” වටපිටාවක් නිර්මානය කරන ලෙසත් ඉල්ලා තිබුනි.

ඇත්ත වශයෙන්ම කාරනය මෙහි ප‍්‍රතිවිරුද්ධයයි. නව දිල්ලියේ තීරනයට ආන්ඩුව සහාය වීම වනාහී, ඉන්දියාවට අයත් කාෂ්මීරයේ ඌරී හමුදා කඳවුරට පසුගිය මාසයේදී ඉස්ලාමීය බෙදුම්වාදීන් එල්ල කල ප‍්‍රහාරය සඳහා ඉන්දියාව චෝදනා කරන “පකිස්තානය, හුදකලා කිරීමේ” යුදවාදී උද්ඝෝෂනය සමග පෙල ගැසීමකි. එහි ප‍්‍රතිඵලය වනුයේ න්‍යෂ්ටික අවි දරන රටවල් දෙකක් අතර විවෘත ගැටුමකට තුඩු දෙන අතිශය ආතති සහගත තත්වයකි. යුද්ධයක් පුපුරා ගියහොත් එක්සත් ජනපදය සහ චීනය ඇතුලු ප‍්‍රමුඛ බලවතුන් ගැටුමට මැදිහත්වීමේ හැකියාව පවතියි. ඉන්දියාව චීනයට එරෙහිව සන්නද්ධ කිරීමට එක්සත් ජනපදය යත්න දරන අතර බීජිනයට පකිස්තානය සමග සමීප මූලෝපායික සබඳතා ඇත.

ඇෆ්ගනිස්තානය, භූතානය සහ බංගලාදේශය ද ඉන්දියාව පසුපස වැටී දේශසීමා ත‍්‍රස්තවාදය පිලිබඳව ඉස්ලාමාබාදයට චෝදනා කරමින් සමුලුවෙන් ඉවත්විය. සත්කාරක රට ලෙස වසර දෙකක් පුරා කටයුතු කිරීමට ඉඩ සැලසෙන පරිදි, සාර්ක් සභාපතිත්වය පකිස්තානයට උරුම වීම ගැන ඉන්දියාව සතුරුය. දැන් අගමැති නවාස් ශරිෆ්ගේ පකිස්තාන ආන්ඩුව නොවැම්බර් 8-9 දිනවලට සැලසුම් කර තිබූ සමුලුව කල් දමා ඇත.

ඔක්තෝබර් මුල නව දිල්ලියේ පැවැත්වූ ඉන්දීය ආර්ථික හමුවට සහභාගී වූ අවස්ථාවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ, ඉන්දියානු ආන්ඩුවට සහාය දැක්වීම පිලිබඳව වඩා විවෘත විය.

ඉන්දීය අගමැතිවරයා හමුවීමෙන් පසු මාධ්‍ය අමතමින් වික‍්‍රමසිංහ මෙසේ පැවසීය: “දේශසීමා ත‍්‍රස්තවාදය සාකච්ඡා මේසයට ගෙනෙන තුරු සාර්ක් සමුලුවට අනාගතයක් නැත.” ඔහු අනතුරු ඇඟවූයේ “දේශසීමා ත‍්‍රස්තවාදය” අවධානයට ගැනීමකින් තොරව මෙම කලාපීය සංවිධානය “අදාල නැති” තත්වයට පත්වන බවයි.

ඉන්දියාව සහ පකිස්තානය අතර ආතතිය පිලිබඳව විමසූ කල අගමැති ප‍්‍රකාශ කලේ “[මම] යුද්ධය විසඳුමක් යැයි සිතන්නේ නැහැ. ආතති සමනය කරගැනීමට ඔබේ අගමැතිවරයා බොහෝ පියවර ගෙන තිබෙනවා.” ඔහු තවදුරටත් පැවසූයේ “ප‍්‍රදර්ශනය කර ඇති සංයමය ගැන” ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩිට ප‍්‍රශංසාව හිමිවන බවයි.

වික‍්‍රමසිංහ සත්‍යය කනපිට හරවයි. ඉන්දීය විරෝධී මනෝගතීන් ඇවිස්සීමට සහ අභ්‍යන්තර සමාජ ආතති වෙනතකට හැරවීමට පාකිස්තාන ආන්ඩුව සහ මිලිටරිය තත්වය යොදාගනිමින් සිටින අතර යුද්ධයක අවදානම ඇත්තේ වුව ද සිය කලාපීය සතුරාට විරුද්ධව රාජ්‍යතාන්ත්‍රිකව සහ උපායමාර්ගිකව වාසිය ගැනීමට ඉන්දියාව ඌරී ප‍්‍රහාරය ගසා කමින් සිටියි.

සංයමය වෙනුවට මෝඩි, රාජ්‍යතාන්ත්‍රික ප‍්‍රහාරයක් අවුලුවා ඇත. සාර්ක් සමුලුවෙන් ඉවත්වීම, පාකිස්තානයේ ප‍්‍රධාන ජල සැපයුම කපා හැරෙන, ඉන්දු ගංගා ජල ගිවිසුම අවලංගු කිරීමට තර්ජනය කිරීම සහ සියල්ලටත් වඩා, සැප්තැම්බර් 28 දින පකිස්තානයට අයත් කාෂ්මීරයේ සිදු කල ප‍්‍රහාර එම රටේ ස්වෛරීභාවය උල්ලංඝනය කරමින් ආතති උත්සන්න කර ඇතුවා පමනි.

වාර්තාකරුවන් නැගු ප‍්‍රශ්නවලට පිලිතුරු ලෙස වික‍්‍රමසිංහ ප‍්‍රකාශ කලේ, ශ්‍රී ලංකාවේ චීනය සමග සම්බන්ධතා “ආර්ථිකමය මිස මිලිටරිමය නොවන” බවයි. “යටිතල පහසුකම් ව්‍යාපෘති, මහා මාර්ග ව්‍යාපෘති, මිලිටරි සහයෝගිතා ආදී ඊට වඩා බොහෝ දේ ඉන්දියාව සමග අපට ඇත. හම්බන්තොට වැනි ව්‍යාපෘති තුලින් චීනය සමග මිලිටරි ගනුදෙනුවක් කෙරෙන්නේ නැහැ. නමුත් ඉන්දියාව සමග අපට මූලෝපායික සහ මිලිටරි සම්බන්ධකම් තිබෙනවා.” ඔහු වැඩිදුරටත් පැවසීය.

ඉන්දියාවේ තවත් වැඩපිලිවෙලක් වන දකුනු ආසියා සහ ගිනිකොනදිග ආසියා රටවල් සමග සිය බහු ආංශික තාක්ෂන සහ ආර්ථික සහයෝගීතාවය සඳහා වන බෙංගාල බොක්කේ ආරම්භකත්වය (බිම්ස්ටෙක්) ප‍්‍රවර්ධනය සඳහා ද වික‍්‍රමසිංහ අනුග‍්‍රහ දැක්විය. බංග්ලාදේශ, ඉන්දියා, මියන්මාර, ශ්‍රී ලංකා, තායිලන්ත, භූතාන සහ නේපාල සාමාජිකත්වයෙන් සැදුම් ලද්දකි එය.

බිම්ස්ටෙක් යනු නැගෙනහිර සහ ගිනිකොනදිග ආසියාව තුල සිය ආර්ථික සහා මූලෝපායික බලපෑම පුලුල් කිරීම සඳහා වන ඉන්දියාවේ නැගෙනහිරට යමු ප‍්‍රතිපත්තියේ කොටසකි. මෙම ආරම්භකත්වය ඇමරිකාව විසින් දිරිගන්වන මෝදි ආන්ඩුවේ චීනයට එරෙහි ආර්ථික සහ මූලෝපායික මෙහෙයුම් සමග බැඳී පවතී. මෝදි ආන්ඩුව මෙම කාන්ඩ ගැසීම හඳුනාගන්නේ සාර්ක් සඳහා ශක්‍ය ආදේශකයක් සහ තවදුටරත් චීනය හුදකලා කිරීමට රුකුල් සපයන්නක් ලෙසයි. බිම්ස්ටෙක් රටවල් රැලි කරගැනීමේ කොටසක් ලෙස, මෙම මස මෝදි එම රටවල නායකයින්ට බ්‍රික්ස් රටවල්වල (බ‍්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය, දකුනු අප්‍රිකාව) සමුලුවට ආරාධනා කලේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෝදිගේ ආරාධනා ලැබ ඊට සහභාගී විය.

වික‍්‍රමසිංහ බිම්ස්ටෙක් ව්‍යාපෘතියට සිය සහය ප‍්‍රකාශ කලේය. ඔහු ඉන්දියානු ආර්ථික හමුවේදී, සිංගප්පූරුව, ඉන්දුනීසියාව සහ මලයාසියාවද ඇතුලත් කරගෙන බෙංගාල බොක්ක වටා විශාල සහ විශේෂ ආර්ථික කලාපයක් නිර්මානය කිරීම ගැන යෝජනාවක් කලේය. “අපි බෙංගාල බොක්ක වටා සමස්ත කලාපයම ආර්ථික කලාපයක් කරමු. ඒක හෙල්ලුම් කන වැඩක්. අපි සිහි නුවනින් සිතාබලා වැඩ කල යුත්තේ ඒ සඳහායි.” ඔහු පැවසීය.

ඉන්දියානු ආන්ඩුවට කොලඹ ආන්ඩුවේ උද්යෝගිමත් සහාය අර්ථභාරීය. 2015 ජනවාරි ජනාධිපතිවරනයේදී හිටපු ජනාධිතිපති මහින්ද රාජපක්ෂ බලයෙන් පහකර සිරිසේන බලයට ගෙන ආවේ එක්සත් ජනපදයේ සහ ඉන්දියාවේ උදව් ඇතිවය. රටවල් දෙකම බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි රාජපක්ෂගේ යුද්ධයට සහ ඔහුගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනයට සහය දුන්නේය. කෙසේවෙතත් වොෂින්ටනය සහ නව දිල්ලිය මාන බැලුවේ චීනය සමග රාජපක්ෂගේ සම්බන්ධතා කපාදැමීම සඳහායි. බලයට පැමිනීමේ තැන් සිට රනිල් වික‍්‍රමසිංහ සමග සිරිසේන, විදේශ ප‍්‍රතිපත්තිය ප‍්‍රසිද්ධියේම ඉන්දියාව සහ එක්සත් ජනපදය දෙසට මාරු කලේය.

1985දි පිහිටවූ සාර්ක් සංවිධානය ගැඹුරුවන භූ දේශපාලනික ආතතියේ ප‍්‍රතිඵලයක් ලෙස කඩාවැටීමේ අද්දරට පැමින ඇත. සිය සම්ප‍්‍රදායික සතුරා වන පකිස්තානය යටපත් කරමින් සහ චීනයට මග අහුරමින් සිය මහා බල අරමුන පුලුල් කිරීමට දකුනු ආසියාවේ රටවල් සමග බැඳීම් ශක්තිමත් කරගැනීමට ඉන්දියාව මං සොයයි. ඉන්දියාවේ උත්සාහයන් දිරිමත් කරන අතරේ, ඉන්දියාව එක්සත් ජනපදයේ චීනයට එරෙහි යුද ධාවනය තුල ඉදිරි පෙරෙමුනේ රටක් බවට හැරවීමට වොෂින්ටනය දැඩි ලෙස යත්න දරමින් සිටියි.

නවදිල්ලි ආන්ඩුවට දෙන ශ්‍රී ලංකා අන්ඩුවේ සහාය අතිශය ප‍්‍රතිගාමිය. කම්කරු පීඩිත ජනතාවන්ට හොරා කොලඹ සංස්ථාපිතය, ඉන්දීය උපමහද්වීපය සහ සමස්ත ලෝකයම විනාශකාරී ඝට්ටනයක මුවවිටට ගෙනැවිත් තිබෙන භූ දේශපාලනික කුනාටුවක දිවයින පටලවනු ලබයි.

Share this article: