එක්සත් ජනපද-සවුදි යුද්ධය, මහා පරිමාන සාගතයක තර්ජනය මතුකරන බවට එක්සත් ජාතීන් අනතුරු අඟවයි

UN warns US-Saudi war threatens mass starvation in Yemen

බිල් වෑන් ඕකන් විසිනි, 2016 ඔක්තෝබර් 29

එක්සත් ජනපදයේ පිටුබලය ඇතිව සවුදි අරාබිය හා එහි සහචර තෙල් සම්පත් හිමි රාජාන්ඩු විසින් ගෙන යනු ලබන යුද්ධයේදී මාස 18ක් තිස්සේ සිදුකල ම්ලේච්ඡ බෝම්බ ප‍්‍රහාර හේතුවෙන් යේමනය, මහා සාගතයක තර්ජනය මතුකෙරෙන ව්‍යසනකාරී අර්බුදයකට මුහුන දී සිටින බව, එක්සත් ජාතීන්ගේ ආධාර සංවිධාන පසුගිය මස 28 දා අනතුරු ඇඟවී ය.

2015 මාර්තු මස සවුදි තන්ත‍්‍රය ආරම්භ කල බෝම්බ දැමීමෙන්, මිනිසුන් 10,000 කට වැඩි ප‍්‍රමානයක් ඝාතනය කෙරී ඇත. තවත් මිලියන ගනනාවක් අවතැන්ව ඇති අතර, නාගරික ප‍්‍රදේශ සහ අත්‍යාවශ්‍ය යටිතල ව්‍යූහයන් සුන් බුන් කර දමා ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධාන ප‍්‍රකාශ වලට අනුව, යේමන ජනගහනයෙන් අඩකටත් වඩා, එනම් මිලියන 14 කටත් වඩා, කුසගින්නෙන් පෙලෙන අතර මිලියන 7ක් සාගතයේ මුවවිට සිටිති. පසුගිය 28 වන දා එක්සත් ජාතීන්ගේ ලමා ඒජන්සිය වන යුනිසෙෆ්, ජිනීවාහි මාධ්‍ය හමුවක දී ප‍්‍රකාශ කල පරිදි, අවම වශයෙන් ලමුන් 370,000 ක් උග‍්‍ර මන්දපෝෂනයට ලක්වීමේ අවදානමට මුහුනදී සිටින අතර වහාම ප‍්‍රතිකාර නොලැබුනහොත් මිය යනු ඇත. ලමුන් මිලියන 1.5 ක් ම මන්දපෝෂනයෙන් පෙලේ.

ලෝක ආහාර වැඩ සටහන (WFP)වාර්තා කලේ යේමන ලමුන්ගෙන් අඩක්ම පාහේ දැනටමත් මන්දපෝෂනය හේතුවෙන් ආපසු හැරවිය නොහැකි ඌන වර්ධිත තත්ත්වයට ගොදුරුව ඇති බවය. එම වැඩ සටහනේ යේමන අධ්‍යක්ෂ ටෝර්බන් ඩියු පැවැසූ පරිදි, “මුලු මහත් පරම්පරාවක් ම හාමතය හේතුවෙන් අංගවිකල වියහැක.”

එම ඒජන්සියේ සොයා ගැනීමට අනුව රටේ පාලන ප‍්‍රදේශ 21 න් අවම වශයෙන් 10 ක් දුර්භික්ෂයේ මුව විට සිටී.

“බිම් මට්ටමේදී තත්ත්වය ඇත්තෙන් ම ඉතා දරුනුයි. තමුන්ට කෑම පවා යන්තමින් පිරිමසා ගන්නා අම්මලා, තම දරුවන් පිරිහෙමින් යන විදිය බලා සිටීමට සිදුවීම දකින අපේ හදවත් බිඳී යනවා.” WFP ප‍්‍රකාශිකා බෙටිනා ලූෂර් පැවසීය. “විසි එක් වන සියවසේ දී මෙවැනි දසුන් ඇත්තෙන් ම අප‍්‍රසන්න වගේම හද කම්පා කරවන සුලුයි.”

පැතිරීම පටන්ගෙන සති 3 යත්ම රෝගීන් 1410ක් වාර්තාවූ, ශීඝ‍්‍රයෙන් පැතිරී යන කොලරා වසංගතය මහා පරිමාන සාගත තර්ජනය වඩාත් සංකූල කර ඇත.

මෙම මානුෂීය ඛේදවාචකය, අරාබි ලෝකයේ දුප්පත්ම රටට එරෙහිව වොෂින්ටනයේ පිටුබලය ලැබෙන, පොහොසත් මෙන්ම පරපුටු ගල්ෆ් රාජාන්ඩු විසින් සිදු කරගෙන යන යුද්ධයක හුදු අතුරු ඵලය පමනක් නොවේ. එය මෙම යුද්ධයේ අරමුනු කල ප‍්‍රතිඵලය යි.

මෙම යුද්ධයේ ප‍්‍රකාශිත අරමුන, 2012 මැතිවරනයෙන් බලයට පත්වූ සවුදි රූකඩ ජනාධිපති අබඩ්-රබු මන්සූර් හාඩිගේ, සම්ප‍්‍රදායානුකූලව හැඳින්වෙන “ජාත්‍යන්තරව පිලිගත් ආන්ඩුව” නැවත ස්ථාපිත කිරීමයි. මැතිවරනයේ තනි අපේක්ෂකයා ඔහු විය. අවුරුදු 2 ක් ඇවෑමෙන් බලයෙන් ඉවත්විය යුතු වව ද මහා පරිමාන දූෂන චෝදනා මධ්‍යයේ ඒක පාර්ශවික ලෙස ධුර කාලය දික්කර ගත් ඔහුට, මිලිටරියේ පිටුබලය සහිත හූති කැරලි කරුවන් සානා අගනුවර යටත් කර ගැනීමෙන් අනතුරුව, රට හැරදා පලා යාමට බල කෙරුනි.

ඉරානයේ සීමිත සහයෝගය සහිත, සයිඩි ෂියා කන්ඩායම මත පදනම්වුනු දේශපාලන ව්‍යාපාරයක් වූ හූතීන්ගේ නැගීම පිලිගැනීම, කලාපයේ කිසියම්ම විරුද්ධ පාර්ශවයක පැවැත්ම කෙරෙහි බියවූ සවුදි රෙජිමය විසින් ප‍්‍රතික්ෂේප කරන ලදී.

ඇමරිකානු නාවුක හමුදාවේ පිටුබලය සහිත සවුදි නායකත්වයෙන් යුතු ගල්ෆ් ෂීකධානී (රාජාන්ඩු) සභාගය විසින් ගෙන ගිය, පාසල් රෝහල් නිවහන් ප‍්‍රදේශ හා කර්මාන්ත ශාලා එල්ල කරගත් මිනීමරු බෝම්බ හෙලීමේ ව්‍යාපාරයට අමතරව, ආහාර හා බේත් හේත් සැපයුම් හිරකරන මුහුදු බාධකයක් මෙම දුප්පත් කමින් පීඩිත රටට එරෙහිව යොදාගෙන ඇත. යුද්ධයට පෙර යේමනය තම ආහාර අවශ්‍යතාවෙන් 90% සපුරා ගත්තේ ආනයනය කිරීමෙනි. මුහුදු වටලෑම, ආහාර හා වෙනත් අත්‍යාවශ්‍ය දෑ වල මිල ගනන් ජනගහනයේ විශාල කොටසකට අත පෙවිය නොහැකි තරම් ඉහලය.

රටේ ආහාර අවශ්‍යතාව රට තුලින්ම සපයා ගැනීමේ හැකියාව විනාශ කිරීමේ අරමුනෙන් ගුවන් ප‍්‍රහාර එල්ල කරන බවට සාක්ෂි ලැබෙමින් තිබේ. “රටේ පලාත් 20 හි ගොවිපලවල්, සත්තු, ජල මූලාශ‍්‍ර, ආහාර ගබඩා, කෘෂිකාර්මික බැංකු, වෙලඳපොලවල් සහ ආහාර ට‍්‍රක් රථ ඇතුලත් බෝම්බ ඉලක්ක 357 ක් ලේඛන ගත කරමින්, ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස් හි පර්යේෂකයන් සිදුකල අධ්‍යයනයක්, ඉන්ඩිපෙන්ඩන්ට් නම් බ්‍රිතාන්‍ය දිනපතා පුවත්පතේ උපුටා දක්වා තිබුනි. “සිවිල් සමාජය විනාශ කිරීමේ අරමුනෙන් සවුදි පාලනය, කෘෂිකාර්මික යටිතල ව්‍යූහය ඕනෑකමින් ම තම ප‍්‍රහාර සඳහා ඉලක්ක කර ඇත.” යනුවෙන් ඔවුන් තම නිගමනය සටහන් කර ඇත.

වෙනත් වචන වලින් සඳහන් කරන්නේ නම්, 21 වන සියවසේ මහා යුද අපරාධයන් අතරට එක් වන මෙම සිදුවීම් සලකුනු කරන්නේ, ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ උදව් ඇතිව සවුදි අරාබිය හා ඔවුන්ගේ සහචරයින්, මුලුමහත් ජනතාවම තම අනසක යටතට ගැනීමට දරන උත්සාහයකි.

මෙම එක්සත් ජාතීන්ගේ වාර්තා පලවුනේ, වචනාර්ථයෙන් ම ඇටසැකිල්ලක් බඳු යේමන රෝහලක සිටිනා හාමතින් පෙලුනු 18 හැවිරිදි තරුනියකගේ රොයිටර් ඡායාරූප යම් පමනක ජාත්‍යන්තර අවධානයට පාත‍්‍රවීමෙන් දින කිහිපයක් ගතවෙද්දී ය.

වෙන කිසිවෙකටත් වඩා මෙම ඡායාරූප මතකයට නංවන්නේ, 1960 ගනන්වල අගභාගයේ බෙදුම්වාදී භූමි ප‍්‍රදේශය යටත් කිරීම සඳහා නයිජීරියානු ආන්ඩුව ගෙන ගිය ජන ඝාතක යුද්ධයේ දී බයෆ‍්‍රාවෙන් මතුවූ භයංකර රූප පෙලයි. ජනතාවන් සාගතයට ගොදුරු කිරීම මගින් යටත් කර ගැනීමට දැරුනු එම උත්සාහය, සියල්ල පරයන සිය අධිරාජ්‍යවාදී කුහකත්වය කැටිකරගත් රාජ්‍ය නොවන සංවිධාන ද ඇතුලු වර්තමාන “මානව හිමිකම්” ව්‍යාපාරයට උපත දුන් බව සැලකේ.

එසේ වුවත් යේමන ජනතාවට එරෙහි සාපරාධී ක්‍රියාවන් ගැන එවන් ජාත්‍යන්තර ප‍්‍රතික්‍රියාවක් නැති අතර, ඒවා බටහිර මාධ්‍ය විසින් වැඩි වශයෙන්ම නොසලකා හරිනු ලැබ පවතින අතර වොෂින්ටනයේ පමනක් නොව එක්සත් රාජධානියේ හා වෙනත් සෑම අධිරාජ්‍ය බලවතෙකුගේ හා පාලක පක්ෂවල සහයෝගය ද එයට ලැබී තිබේ.

සවුදි රාජාන්ඩුව සහ පෙන්ටගනය විසින් යේමනුන් ගොදුරු කර තිබෙන මෙම ඝාතනය ගැන මාධ්‍ය හා එක්සත් ජාතීන්ගේ ඒජන්සි විසින් මෘදුක්තියෙන් සඳහන් කරනු ලබන්නේ “අමතකවූ යුද්ධය” ලෙසය. ඇත්ත තත්ත්වය නම්, මෙම ආක‍්‍රමනශීලී යුද්ධය මගින් ඇතිකර තිබෙන ඉමහත් මිනිස් දුක් වේදනාවන් අමතකවී ඇතිවා නොව, ඔවුන්ගේ මූලෝපායාත්මක අරමුනු ඉටුකර ගැනීම උදෙසා මහා පරිමාන ඝාතන මට්ටමට එය ගැඹුරු කිරීමට අධිෂ්ඨාන කරගත් වොෂින්ටනය සහ රියාදය විසින් ඕනෑ කමින්ම සඟවා ඇති බවය.

මානව හිමිකම් නියමුවෙකු සේ රඟපෑමෙන් වාසිදායක වෘත්තියක් හිමිකරගත්, එක්සත් ජාතීන්ගේ එක්සත් ජනපද තානාපතිනිය වූ සමන්තා පවර්, යේමන ජනතාවට එරෙහි යුද්ධයට එරට සහයෝගය ගොනු කල, ඔබාමා තන්ත‍්‍රය තුල සිටි ප‍්‍රධාන පෙලේ නියෝජිතයෙකි. පසුගිය 28දා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයට, මෙම ලෙයින් නැහැවුනු රාජාන්ඩුව නැවත පත්කරගැනීම සඳහා සවුදි රෙජිමයේ මුල්පෙලේ ඒජන්තයෙකු ලෙස ද මැය ක්‍රියාත්මකවී ඇත.

ඇලෙප්පෝහි ප‍්‍රකාශිත යුද අපරාධ සඳහා රුසියාව යක්ෂ වෙස් ගැන්වීමේ නායකත්වය ගත් පවර්, පැහැදිලි හේතු නිසාවෙන්, සාගතයෙන් හා ඇමරිකානු බෝම්බ වලින් යේමනයේ මිය යන අය ගැන එවන් අනුකම්පාවක් දක්වා නැත.

යුද්ධය ආරම්භයේ සිටම පෙන්ටගනය, යුද අහස් යානා වලට ඉන්ධන සැපයීම ඇතුලූ සැපයුම් හා බුද්ධි සේවා සම්පාදනයේ යෙදුන අතර, එවැන්නක් නොමැතිව සවුදි ගුවන් ප‍්‍රහාර සිදුකල නොහැකි වනු ඇත. එතකුදු නොව, ඔබාමා පත්වීමෙන් ඉක්බිතිව යේමනයේ නිවාස පාසැල් හා රෝහල් මත හෙලූ බෝම්බ සහ මිසයිල ප‍්‍රතිසම්පාදනය කිරීම සඳහා ඩොලර් බිලියන 115 ක දැවැන්ත අවි තොග රාජාන්ඩුවට සපයා ඇත.

මිනිසුන් 140 කට වඩා ඝාතනය කරමින් ඔක්තෝබර් 8 දා සිදුකල සවුදි බෝම්බ ප‍්‍රහාරයෙන් පසුව ඔබාමා පරිපාලනය සහ පෙන්ටගනය, හිස් ප‍්‍රකාශ නිකුත් කරමින් කියා සිටියේ, රියාද් සඳහා ඇමරිකාවේ සහාය “හිස් චෙක්පතක්” නොවන බවත්, “ඇමරිකාවේ ප‍්‍රතිපත්ති, වටිනාකම් සහ උත්සුකයන් සමග වඩාත් හොඳින් ගලපා ගැනීම” සඳහා වොෂින්ටනයේ මිලිටරි සහාය නැවත ඇගයීමකට ලක් කෙරෙමින් පවතින බවත්ය.

එසේ වුවත් දින කිහිපයකින්ම ඇමරිකානු මධ්‍යම විධායකයේ ප‍්‍රකාශකයෙක් වාර්තාකරුවන්ට පවසා සිටියේ, කිසිවක් වෙනස්වී නැති බවත්, යේමනයේ ඉලක්ක වලට පහරදීම සඳහා සවුදි ගුවන්යානා වලට ගුවනේදී ඉන්ධන සැපයීම නොකඩවා සිදුකරන බවත්ය. ඉන්පසු ඔක්තෝබර් 12දා ඇමරිකානු යුද නෞකාවකට සිදුකල ව්‍යාර්ථවු මිසයිල ප‍්‍රහාරයක් වෙනුවෙන් එකට එක කිරීම සඳහා යයි පවසමින් ඇමරිකානු නාවුක හමුදාව යේමනයේ ඉලක්ක වෙත ටොමාහෝක් කෲස් මිසයිල එල්ල කලේය.

ඔක්තෝබර් අවසන් සතියේදී රෙජිමයේ ආරක්ෂක ඇමැති, ඔටුන්න හිමි මොහමඩ් බින් සල්මන් ඇතුලූ සවුදි නිලධාරීන් සමග සාකච්ඡා සඳහා ඇමරිකානු මධ්‍ය විධායකයේ ප‍්‍රධානී ජනරාල් ජෝෂප් වොටෙල් රියාද් බලා ගියේය. “සවුදි උත්සුකයන්ට සවන් දීමට” අවශ්‍ය බවත්, “සබඳතාවේ විශ්වාසනීයත්වය පවත්වා ගැනීම වැදගත්” බවත් ඔහු වාර්තාකරුවන්ට පැවැසීය.

යේමනයේ යුද්ධය නොනවත්වා පැවතීම පමනක් නොව ඇමරිකානු ජනාධිපතිවරනයෙන් පසුව මිලිටරියේ සෘජු මැදිහත්වීම තීව‍්‍ර වීමක් බොහෝ දුරට අපේක්ෂා කල හැක.

සීඅයිඒ හිටපු වැඩ බලන අධ්‍යක්ෂක හා හිලරි ක්ලින්ටන්ගේ මැතිවරන ව්‍යාපාරයේ ප‍්‍රධානතම උපදේශකයකු වන මයිකල් මොරෙල්, ක්ලින්ටන් මැතිවරන ව්‍යාපාරයේ සභාපති ජෝන් පොඩෙස්ටා විසින් පිහිටවූ බුද්ධි මන්ඩලයක් වන ඇමරිකානු ප‍්‍රගතිය සඳහා මධ්‍යස්ථානයේදී පසුගිය 25දා කථා කරමින්, “කලාපය තුල දුෂ්ඨ හැසිරීම” සඳහා ඉරානයට දඬුවම් කිරීම පිනිස වඩා ආක‍්‍රමනශීලී ප‍්‍රතිපත්තියක් අවශ්‍ය බව සඳහන් කලේය.

කලින් සිරියානු ආන්ඩුවේ මධ්‍යස්ථාන වලට එරෙහි මිලිටරි ප‍්‍රහාර හා එම රට තුල මැදිහත්වීම ගැන ”රුසියාවට මිලක් ගෙවීම සඳහා බලකරන” මිලිටරි මෙහෙයුම් සඳහා උපදෙස් දුන් මොරෙල්, යේමනයේ හූතීන් ට ඉරානය ආයුධ සපයන බව කියා සිටියේය. ”ඇමරිකානු නාවුක හමුදාව ඹවුන්ගේ නැව්වලට ගොඩවැදී ඒවායේ ආයුධ තිබේ නම් ආපසු හරවා යැවීමට” තම සහය දෙන බැව් ඔහු ප‍්‍රකාශ කලේය.

වෙනත් වචන වලින් කියන්නේ නම් කලාපය තුල, ගෝලීය ගැටුමක් දක්වා වර්ධනය වීමේ තර්ජනය සහිත, වඩාත් පුලූල් ඇමරිකානු යුද්ධයක් සඳහා සූදානම් වීමේ කටයුතු කෙරීගෙන යන බවයි.

Share this article: