යාපනයේ සසප රැස්වීම: අධිරාජ්‍යවාදී යුද්ධය, දෙමල ජාතිකවාදය හා සමාජවාදය සඳහා සටන

SEP public meeting in Jaffna: Imperialist war, Tamil nationalism and the fight for socialism

සමාජවාදී සමානතා පක්ෂය, 2016 නොවැම්බර් 2

දෙමල ජාතිකවාදී පක්ෂ, ආසියාව තුල වොෂින්ටනයේ යුද ව්‍යායාමයට සහයෝගය දෙන අතර, දෙමල ප‍්‍රභූ පැලැන්තියට වරප‍්‍රසාද සහතික කර ගැනීම පිනිස, ඇමරිකාවේ සහාය ඉල්ලා කන්නලව් කරති.

අධිරාජ්‍යවාදී යුද ව්‍යායාමය, දෙමල ජාතිකවාදී පක්ෂවල ද්‍රෝහී ක්‍රියාකලාපය හා යුද්ධයේ අන්තරායට එරෙහිව සටන් කිරීමේ සමාජවාදී ක්‍රියාමාර්ගයක් සාකච්ඡා කරන ප‍්‍රසිද්ධ රැස්වීමක්, සමාජවාදී සමානතා පක්ෂය හා සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ විසින් නොවැම්බර් 20දා යාපනයේදී පවත්වනු ලබයි.

ඇමරිකාව ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවත්තු, තම තමන්ගේ කොල්ලකාරී මූලෝපායික අවශ්‍යතා පෙරදැරි කරගෙන, 1930 ගනන්වල මහා ආර්ථික අවපාතයෙන් මෙපිට හටගෙන ඇති අතිශය බරපතල ආර්ථික අර්බුදයට ප‍්‍රතිචාර දක්වන්නේ, දේශීය වශයෙන් කම්කරුවන්ට හා තරුනයින්ට එරෙහිව කප්පාදු වැඩසටහන් ක්‍රියාවට නගමින් හා මානව වර්ගයා තවත් විනාශකාරී ලෝක යුද්ධයකට ඇද දැමීමේ ව්‍යායාමයක නිරත වෙමිනි.

ගෝලීය ආධිපත්‍යය සඳහා වන ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ආක‍්‍රමනික කඩාවැදීම හමුවේ ඔවුන්, රුසියාවට හා චීනයට එරෙහිව යුද්ධය සූදානම් කරයි. චීනයට එරෙහිව දකුනු ආසියානු රටවල් පෙලගස්වා ගැනීම පිනිස වන උත්සාහයේ කොටසක් ලෙස ඇමරිකාව, පසුගිය වසරේ ජනවාරියේ පැවති ජනාධිපතිවරනය හරහා ශ්‍රී ලංකාවේ තන්ත‍්‍ර මාරු මෙහෙයුමකට පිටුබලය දුන්නේය. එහිදී, බීජිනය සමග සමීප සම්බන්ධකම් ගොඩනගාගෙන සිටි මහින්ද රාජපක්ෂ පරාජය කර ජනාධිපති ලෙස ඇමරිකානු ගැති මෛත්‍රීපාල සිරිසේන බලයට පත්කරන ලදී. එතැන් සිට ආන්ඩුව, ආසියාවේ ඇමරිකානු මෙහෙයුම් සමග වඩ වඩාත් සහයෝගයෙන් කටයුතු කරයි.

දෙමල ජාතික සන්ධානය ද ඇතුලු දෙමල ධනපති පක්ෂ, විවෘතවම ඇමරිකානු අධිරාජ්‍යවාදයට සහයෝගය දක්වන අතර, මැද පෙරදිග ඇමරිකානු ආක‍්‍රමනකාරී යුද්ධයන්ට ද චීනයට හා රුසියාවට එරෙහි වොෂින්ටනයේ ප‍්‍රකෝපකරනයන්ට ද හිමින් සීරුවේ පිටුබලය දෙති. ඔවුහු රාජපක්ෂ ඉවත් කිරීමට සහාය දුන් අතර, වත්මන් ඇමරිකානු ගැති ආන්ඩුවට මුක්කුව දෙති. විටින් විට දිවයිනට පැමිනි ඇමරිකාවේ ඉහල රාජ්‍යතාන්ත්‍රික නිලධාරීහු, ටීඑන්ඒ නායකයින් හමුවීමට ද අමතක නොකරති. ටීඑන්ඒ නායකයෝ වොෂින්ටනයට සිය සහාය පලකරන අතර, ඊට හිලව් වශයෙන් දෙමල ප‍්‍රභූ පැලැන්තියට වරප‍්‍රසාද සහතික කර ගැනීමට එරට සහාය ඉල්ලා කන්නලව් කරති.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සහෝදර පක්ෂ සමග එක්ව සමාජවාදී සමානතා පක්ෂය, ජාත්‍යන්තර සමාජවාදයේ පදනම මත, ආසියාවේ හා ලෝකය පුරා කම්කරු පන්තියේ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම පිනිස සටන් වදියි. මෙම අරගලයේ අත්‍යන්ත කොටසක් ලෙස සසප, ආසියාව තුල ඇමරිකානු යුද ව්‍යායාමයට දිවයින ගැටගැසීම පිනිස ගැනෙමින් තිබෙන ආන්ඩුවේ පියවරයන්ට එරෙහිව, සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන්, එක්සත් කිරීම පිනිස සටන් කරයි. විවිධ දෙමල ජාතිකවාදී සංවිධාන දේශපාලනිකව හෙලිදරව් කිරීම එම අරගලයේ තීරනාත්මක කොටසකි.

අප සියලු කම්කරුවන්ගෙන්, තරුනයින්ගෙන්, සිසුන්ගෙන්, බුද්ධිමතුන්ගෙන් හා ලෝසවෙඅ පාඨකයින්ගෙන් ඉල්ලා සිටින්නේ, සසප යාපනයේ පවත්වන රැස්වීමට සහභාගී වී, මෙම වැදගත් දේශපාලන සාකච්ඡාවට සම්බන්ධ වන ලෙසයි.

රැස්වීම් ස්ථානය: යාපනය, මහජන පුස්තකාල භෝජනාගාර ශාලාව

දිනය හා වේලාව: නොවැම්බර් මස 20 ඉරිදා, සවස 3.30

Share this article: