“ට‍්‍රම්ප් ජනාධිපතිවීමේ ජාත්‍යන්තර ඇඟවුම්” යන මැයෙන් සසප කොලඹදී ප‍්‍රසිද්ධ රැස්වීමක් පවත්වයි

SEP public meeting in Colombo: The international implications of Trump’s election

2016 නොවැම්බර් 19

සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය, ඩොනල්ඩ් ට‍්‍රම්ප් ඇමරිකානු ජනාධිපති වීම පිලිබඳ ජාත්‍යන්තර ඇඟවුම් සාකච්ඡා කරන ප‍්‍රසිද්ධ රැස්වීමක් නොවැම්බර් 30දා කොලඹදී පවත්වයි.

ට‍්‍රම්ප්ගේ පාලනය ඇමරිකානු ඉතිහාසයේ අතිශයින්ම දක්ෂිනාංශික පාලනය වනු ඇත. ගබ්සාව තහනම් කිරීමේ ද සංක‍්‍රමනිකයින් තොග පිටින් රටින් පිටුවහල් කිරීමේ ද සැලසුම් පිලිබඳව ට‍්‍රම්ප් යලි අවධාරනය කිරීමෙන්, පාලනයේ සැබෑ ස්වභාවය දැනටමත් සලකුනු කෙරී ඇත. එසේම ඔහු, නව නාසිවාදී හා සුදු ජාතිකවාදී කන්ඩායම් සමග සෘජු සබඳකම් පවත්වන ස්ටීවන් බැනන් තම ප‍්‍රධාන මූලෝපායඥයා ලෙස පත්කරගෙන තිබේ. ට‍්‍රම්ප්, රටතුල පන්ති යුද්ධය ද විදේශයන්හි සිය එදිරිවාදීන්ට සතුරුව ඇමරිකානු මිලිටරි-මූලෝපායික ප‍්‍රහාරය ද උත්සන්න කරනු ඇත. එය ඇමරිකානු හා ජාත්‍යන්තර කම්කරු පන්තිය හමුවේ දැවැන්ත අන්තරායන් මතු කරයි.

මැතිවරන ව්‍යාපාරය තුල සිදු කල තම චීන විරෝධී ප‍්‍රකාශ මගින් පෙන්නුම් කරන ආකාරයට ට‍්‍රම්ප්, එම න්‍යෂ්ටික බලවතුන් දෙදෙනා අතර මිලිටරි ගැටුමක තර්ජනය උග‍්‍ර කරමින්, බීජිනයට එරෙහි වොෂින්ටනයේ යුද සූදානම දැඩි කරනු ඇත. චීනයට හා පකිස්ථානයට එරෙහි දැඩි පිලිවෙතක් අනුගමන කිරීම ගැන ට‍්‍රම්ප් කරන තර්ජන, ඉන්දියාව තවදුරටත් දිරිගන්වා ඇත. එමගින් සිදුවනු ඇත්තේ, කලාපය තුල දැනටමත් පුපුරන සුලු මට්ටමකට නැගී ඇති භූ දේශපාලන ආතතීන් තවදුරටත් උනුසුම් වීමයි.

සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව පිහිටුවන ලද්දේ, චීනයට එරෙහි වොෂින්ටනයේ මූලෝපායික න්‍යායපත‍්‍රයට ආන්ඩුව ඒකාග‍්‍ර කර ගැනීමේ අරමුන සහිත, ඇමරිකාව සහාය දුන් තන්ත‍්‍ර මාරු මෙහෙයුමක් තුලින් 2015දීය. ජනාධිපති හා අගමැති, එලඹෙන ට‍්‍රම්ප් පාලනය සමග සමීපව කටයුතු කිරීමේ සුදානම වහාම පල කලහ.

සසප-සසජාතශි රැස්වීම, ට‍්‍රම්ප්ගේ ජයග‍්‍රහනයට තුඩු දුන් ප‍්‍රමුඛ දේශපාලන සාධක කවරේදැයි පැහැදිලි කරනු ඇත. එහිදී ඩිමොක‍්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ මැතිවරන ව්‍යාපාරයේ පන්ති ස්වභාවය ද එය තුල විවිධාකාර ඉහල මධ්‍යම පන්තික හා ව්‍යාජ වාම සංවිධාන ඉටුකල ක්‍රියාකලාපය ද විශේෂයෙන්ම පැහැදිලි කරනු ඇත. රැස්වීමේදී, ලෝක පරිමානව කම්කරු පන්තිය මුහුන දෙන දැවැන්ත අන්තරායන් විස්තර කෙරනු ඇති අතර අධිරාජ්‍යවාදී යුද්ධයේ අන්තරායටත්, පැතිර යන සමාජ කප්පාදු ප‍්‍රහාරයන්ටත් විරුද්ධව කම්කරු පන්තිය සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගයක් මත පදනම් වීමේ අවශ්‍යතාවය ද පෙන්වා දෙනු ඇත.

කම්කරුවන්ගෙන්, තරුනයින්ගෙන්, බුද්ධිමතුන්ගෙන් හා මෙම තීරනාත්මක දේශපාලන ප‍්‍රශ්න ගැන උනන්දු වන සියල්ලන්ගෙන්ම අප ඉල්ලා සිටින්නේ, රැස්වීමට සහභාගී වී ඒවා පිලිබඳ සාකච්ඡාවට එක්වන ලෙසයි.

ට්‍රම්ප් ජනාධිපති වීමේ ජාත්‍යන්තර ඇඟවුම්

නොවැම්බර් 30 දා
සවස 4ට
කොලඹ, නව නගර ශාලාව

Share this article: