ශ්‍රී ලංකාවේ පොලිස් රාජ්‍යයකට පදනම් සකසන නව ත‍්‍රස්ත විරෝධී නීති

Sri Lanka: New anti-terror measures lay foundations for police state

නන්ද වික‍්‍රමසිංහ විසිනි, 2016 ඔක්තෝබර් 31

ඔක්තෝබර් මස මැද කැබිනට් මන්ඩලය නව ත‍්‍රස්ත විරෝධී පනතක් සඳහා වන “ප‍්‍රතිපත්ති හා නීතිමය රාමුව” අනුමත කලේ ය.

අවසන් නිගමන සඳහා පාර්ලිමේන්තුවේ සර්ව පාක්ෂික ජාතික ආරක්ෂක කමිටුවට ඉදිරිපත් කෙරී ඇති සැලැසුම් ගත නීති, සාමාන්‍ය දේශපාලන කටයුතු ලෙස පොදුවේ පිලිගැනෙන භාවිතයන් ද ඇතුලත් කිරීමට හැකි වන සේ, ත‍්‍රස්තවාදය පිලිබඳ නිර්වචනය පුලුල් කිරීම මගින් මූලික අයිතීන් මත දුරදිග යන ප‍්‍රහාරයක් සැලසුම් කර යි.

2015 ජනාධිපතිවරනයේ දී මෛත්‍රීපාල සිරිසේන ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ගේ නියමුවෙකු ලෙස මවා පෑ අතර, වෛරී සහගත ත‍්‍ර‍්‍රස්තවාදය වැලැක්වීමේ මර්දනකාරී නීති අවලංගු කිරීම ඇතුලු බොහෝ දේවල් පොරොන්දු විය.

කෙසේ නමුත්, ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට එන නව ත‍්‍රස්ත විරෝධී පනත යටතේ ආන්ඩුවට ඊටත් වඩා පුලුල් බලතල ප‍්‍රදානය කරන අතර පොලිස් රාජ්‍යයක් සඳහා පදනම ශක්තිමත් කරනු ඇත. නව නීතියේ සැබෑ ඉලක්කය වන්නේ කම්කරු පන්තිය යි―විශේෂයෙන් ම සමාජවාදීන් ය.

පනත පහත සඳහන් කටයුතු ත‍්‍රස්තවාදී වැරදි ලෙස අර්ථ දක්ව යි.

⋆ ශ්‍රී ලංකාවේ හෝ වෙනත් ස්වෛරී රටක ඒකීයභාවයට, කලාපීය ඒකාබද්ධතාවට, ආරක්ෂාවට හෝ පරමාධිපත්‍යයට තර්ජනය කිරීම, පහරදීම, වෙනස් කිරීම හෝ බරපතල ලෙස බලපෑම් කිරීම.

⋆ ශ්‍රී ලංකාවේ හෝ වෙනත් ස්වෛරී රටක ප‍්‍රතිපත්ති තීරන ආපසු හැරවීමට, සංශෝධනය කිරීමට හෝ වෙනස් කිරීමට හෝ ආරක්ෂාව, ජාතික සුරක්ෂිතතාව, කලාපීය ඒකාබද්ධතාව, ස්වාධිපත්‍යයට සම්බන්ධ මොන යම් හෝ ක්‍රියාවක් හෝ වැලැක්වීමට, ශ්‍රී ලංකාවේ හෝ වෙනත් කිසිම ස්වාධීන රාජ්‍යයකට නීතිවිරෝධීව හා බලහත්කාරීව බලකිරීම.

⋆ ශ්‍රී ලංකාවේ හෝ වෙනත් ස්වෛරී රටක ආන්ඩුවක් නීතිවිරෝධී ලෙස වෙනස් කිරීම

⋆ දෘෂ්ටිමය ආධිපත්‍යය මුදුන්පත් කර ගැනීම දෙසට වන මොන යම් හෝ අන්තවාදී ක්‍රියාවක් සිදු කිරීම

සැබවින් ම මෙම පුලුල් අර්ථ දැක්වීම් යටතේ, ඕනෑ ම දේශපාලන කටයුත්තක් නෛතිකව මර්දනය කල හැක.

“ශ්‍රී ලංකාවේ හෝ වෙනත් ස්වෛරී රටක ආන්ඩුවේ ප‍්‍රතිපත්ති වෙනස් කිරීමට බල කිරීම” නීති විරෝධී යැයි ප‍්‍රකාශ කිරීමේ අර්ථය වන්නේ කම්කරු පන්තිය, දුප්පතුන්, ශිෂ්‍යයින් හෝ ජනතාවගේ වෙනත් කිසියම් කන්ඩාමයක් විසින් ආන්ඩුවට එරෙහිව පවත්වන සියලු දේශපාලනික හෝ කාර්මික ක්‍රියාවක් (වැඩවර්ජනයක්), විරෝධතාවක් හෝ පෙලපාලි දැක්වීමක් ආන්ඩුවට තහනම් කල හැකි බව යි.

ත‍්‍රස්තවාදය පිලිබඳ වෙනත් අර්ථකතනයන්ට, “ඕනෑ ම පුද්ගලයෙකු මත ඕනෑ ම ආකාරයක ප‍්‍රචන්ඩකාරී ක්‍රියා සිදු කිරීම හෝ සිදු කිරීමට තර්ජනය කිරීම හෝ ක්‍රියා ඇවිලවීම, ඝාතනය, බරපතල හිංසා, බලෙන් පැහරගැනීම හා කප්පම් ගැනීමට උත්සාහ කිරීම; රාජ්‍ය හෝ පුද්ගලික දේපල සම්පූර්නයෙන් හෝ කොටසක් විනාස කිරීම; ශ්‍රී ලංකාව හෝ වෙනත් කිසියම් ස්වෛරී රටක පරිසරයට බරපතල හානි ඇති කිරීම, තත්වයට අනුකූලව, අත්‍යාවශ්‍යක සේවාවන්ට හා සැපයුම්වලට අවහිර ඇති කිරීම හා හානි කිරීම” අයත් වේ.

පුද්ගලයෙකු ත‍්‍රස්ත ක්‍රියාවක් සිදු කිරීමට කුමන්ත‍්‍රනය කරමින් සිටින බව “දැන ගෙන සිටීම” හෝ “විශ්වාස කිරීමට කරුනු තිබෙන” නමුත් පොලීසියට නො දැන්වීම මෙන් ම, ආන්ඩුව විසින් තහනම් කරන ලද සංවිධානයකට සාමාජිකයින් බඳවා ගැනීම, එවැනි සංවිධානවල නායකයින් හෝ සාමාජිකයින් වීම සහ ත‍්‍රස්තවාදය ගැන තොරතුරු රඳවා ගැනීම දැන් අපරාධයන් ය.

සැලකියයුතු ලෙස, “ඔත්තු බැලීම” පුලුල් කෙරී ඇත්තේ “ත‍්‍රස්ත ක්‍රියා සිදු කිරීමට කුමන්ත‍්‍රනය කරමින්, සූදානම් වෙමින්, අනුබල දෙමින් හෝ උත්සාහ කරමින් සිටින පුද්ගලයෙකුට එවැනි තොරතුරු සැපයීමේ අරමුන සඳහා ඕනෑ ම “රහස්‍ය තොරතුරක්” එකතු කිරීමේ අරමුන වෙනුවෙන් නීති විරෝධී, අනීතික හෝ බලය නොලත් ක්‍රියාවක ස්වේච්ඡාවෙන් නියලෙන ඕනෑ ම පුද්ගලයෙකු” වට කර ගැනීමට ය. මෙහි අර්ථය වන්නේ දේශපාලනික හෙලිදරව් කිරීම් හෝ විමර්ශනාත්මක මාධ්‍යවේදයට සම්බන්ධ අය ඉලක්ක කර ගත හැකි බව යි.

විපක්ෂ කටයුතු‍ “සෑහෙන තරම් දුරට පෙරදැකිය හැකි ප‍්‍රතිවිපාක” හේතුකොටගෙන මරනයක් සිදු වී ඇත්නම් ඉහල උසාවියක තීරනය මත මරන දන්ඩනය නියම කිරීමට ද නව රෙගුලාසි යෝජනා කර යි. මෙය හිතාමතා මරනයක් සිදුකිරීමේ වරදකට එහා මරන දන්ඩනය දීර්ග කිරීමකි, “ත‍්‍රස්තවාදය” සඳහා අනෙකුත් දඬුවම්වලට අවුරුදු 20 දක්වා හිර ගත කිරීම, විශාල දඩ හා දේපල පවරා ගැනීම ඇතුලත් ය.

අත්අඩංගුවට ගැනීමෙන් පසු පැය 48ක් දක්වා හෝ පුද්ගලයා මහේස්ත‍්‍රාත්වරයෙකුට ඉදිරිපත් කිරීම දක්වා හෝ චූදිතයකුට නීතිමය උපදෙස් පැතීමට අයිතියත් නැති බව ද නව පනත පවස යි. මෙය වර්තමාන අයිතීන් වෙනස් කරන අතර පොලීසිය මේ වන විටත් ඒ පිලිබඳව කුප‍්‍රකට පාපොච්චාරන ලබා ගැනීමට වදහිංසා යොදා ගැනීම සඳහා කොන්දේසි නිර්මානය කිරීම කි. බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහිව යුද්ධයේ දී අත්අඩංගුවට ගැනුනු සිය ගනනක් පුද්ගලයින්, පොලිස් වදහිංසා යටතේ ගන්නා ලද පාපොච්චාරන පාවිච්චි කරමින් වරදකරුවන් කෙරුනි.

යෝජිත නීතිරීති යටතේ, “පොලිස් අධිකාරීවරයෙකුට වඩා පහල නොවන ශ්‍රේනියක් දරන පොලිස් නිලධාරියෙකුට තමා විසින් ම නැතහොත් ප‍්‍රශ්නවලට ප‍්‍රතිචාර වසයෙන් පුද්ගලයෙකු විසින් කරනු ලබන ප‍්‍රකාශ” අත්අඩංගුවට ගත් අයට එරෙහිව “පිලිගත හැකි” වන්නේ ය.

පොලීසියට හා සන්නද්ධ හමුදාවන්ට අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම හා විමර්ශනය සඳහා වඩා පුලුල් බලතල ලබා දෙනු ඇත. මෙය නීත්‍යානුකූල කිරීම සඳහා, සන්නද්ධ හමුදාවන්ගේ සාමාජිකයෙකු විසින් “සැකකරුවෙකු” අත්අඩංගුවට ගැනුනු විට ඔහු හෝ ඈ පොලීසියට බාර දිය යුතු බව පනත සඳහන් කර යි. මුර වලලු දැමීම හා සෝදිසි කිරීමේ මෙහෙයුම් පොලීසිය හා හමුදාව යන දෙගොල්ලන් විසින් ක්‍රියාත්මක කල හැක.

ත‍්‍රස්තවාදී නීතිය යටතේ අත්අඩංගුවට ගැනුනු සැකකරුවෙකු මහේස්ත‍්‍රාත්වරයෙකු ඉදිරියට නො පමුනවා නියෝජ්‍ය පොලිස්පති වරයෙකුගේ නියෝගය මත මාස හයක කාලයක් දක්වා රඳවා ගත හැක. “ත‍්‍රස්තවාදය පිටුදැකීමේ” පැකේජය ශ්‍රී ලංකා පුරවැසියෙකු රට තුල මෙන් ම විදේශයන් හි ද, ශ්‍රී ලංකා ආන්ඩුවට හෝ විදේශීය තන්ත‍්‍රයකට එරෙහිව කරන ලද වැරදි ද ආවරනය කර යි.

ත‍්‍රස්තවාදය වැලක්වීම හා විමර්ශනය කිරීමේ වගකීම පැවරුනු, ත‍්‍රස්තවාදය පිටුදැකීමේ විශේෂ අංශයක් ශ්‍රී ලංකා පොලිස්පති විසින් ස්ථාපිත කිරීමට නියමිත ය.

සැලැසුම් ගත නව ත‍්‍රස්තවිරෝධී නීති, කම්කරු පීඩිත ජනතාවන්ගේ ජීවන තත්වයන් එරෙහිව ආන්ඩුව ක්‍රියාවට නගන කප්පාදු ප‍්‍රහාර කෙරෙහි වැඩෙන විරුද්ධත්වයට ප‍්‍රතිචාරයක් වන අතර, එය චීනයට එරෙහි එක්සත් ජනපද යුද සූදානම සඳහා ආන්ඩුව දෙන සහයෝගය සමග එකට පිහිටයි.

බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහිව ආසන්න වසයෙන් වසර තිහක වාර්ගික යුද්ධයෙන් ද කම්කරු පන්තිය බෙදීම හා මර්දනය කිරීම සඳහා වන පියවර මාලාවකින් ද පසුව, පාලක පන්තිය හා ආන්ඩුව නව ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී නීති ව්‍යවස්ථාගත කරමින් සිටින්නේ, ඒකාධිපති පාලනයක් සඳහා පදනම දමා ගැනීමට ය. එය ජාත්‍යන්තර පරිමානයෙන් කම්කරු පන්තියේ මූලික අයිතීන්ට එරෙහිව තීව‍්‍ර ද කෙරෙන්නා වූ ප‍්‍රහාරයේ කොටසකි.

Share this article: