දෙමල ජාතික සන්ධාන නායකයන් බ්‍රිතාන්‍ය ඇමතිනිය ඉදිරියේ බඩගායි

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2016 නොවැම්බර් 17

නොවැම්බර් 6 සිට 9 දක්වා තෙදින නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිනි පොදු රාජ්‍ය මන්ඩල හා එක්සත් ජාතීන්ගේ සංවිධාන කටයුතු පිලිබඳ බ්‍රිතාන්‍ය රාජ්‍ය ඇමතිනී ජොයිස් ඇනිලේ හමුවූ දෙමල ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) නායකයෝ අධිරාජ්‍යවාදීන් ඉදිරියේ සිය ජාතිකවාදී කනිපින්දම් කීමට තවත් අවස්ථාවක් ලබා ගත්හ.

කොලඹ ආන්ඩුව සමග එකාබද්ධව උතුර නැගෙනහිර කම්කරුවන් හා දුගීන් සූරා කෑම සඳහා වරප‍්‍රසාද ලබා ගැනීමට අධිරාජ්‍යවාදීන්ගේ පිටුබලය යදින ආර්. සම්බන්ධන්, එම්. ඒ. සුමන්දිරන් වැනි ටීඑන්ඒ නායකයෝ බ්‍රිතාන්‍යයේ ක්‍රියා කලාපය අගය කරමින් ඇමතිනියගෙන් සහාය ඉල්ලා සිටියහ.

ශ්‍රී ලංකාව පිලිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවේ දී එක්සත් රාජධානිය විසින් ඉටු කල භූමිකාවට “ස්තුතිවන්ත” වූ සුමන්තිරන් අනාගතයේ ද එවන් මැදිහත්වීම වල “වැදගත්කම” අවධාරනය කලේ ය. මෙම ස්තුතිය ධනපති කුහකත්වයේ ප‍්‍රකාශයකි.

ශ්‍රී ලංකාව පිලිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව දෙමල ජනයාගේ ප‍්‍රජාතන්ත්‍රීය අයිතීන් හෝ ඔවුන්ට එරෙහිව සිදුකල යුද අපරාධ ගැන කැක්කුමකින් ඉදිරිපත්කල එකක් නොවේ. ඇමෙරිකාව මූලිකත්වය ගෙන එය ඉදිරිපත් කලේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අධිපතිවාදී ආන්ඩුව බෙයිජිනය සමග ගොඩ නගා ගත් සමීප සම්බන්ධතා බිඳ දමා, වොෂින්ටනය චීනයට එරෙහිව ගෙනයන රාජ්‍යතාන්ත්‍රි‍ක හා යුදමය සැලසුම් වලට ලංකාව ගැට ගසා ගැනීමටයි. බ්‍රිතාන්‍ය ආන්ඩුව ඊට සහ යෝගය දුන්නේය.

ඇමරිකානු හා බ්‍රිතාන්‍ය ආන්ඩු ජාත්‍යන්තරව සිදුකෙරෙන යුද අපරාධ වලට ද එම රටවල් තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් පාගා දැමීමට ද එක සේ වග කිව යුතුය. ඇමරිකාව සිරියාව ඇතුලු මැද පෙරදිග රටවල ගෙන යන මිලිටරි ප‍්‍රහාර හා ජන ඝාතනවල සමීපතම සහායකයා වන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය යි.

එක්සත් ජනපදය ගිය අවුරුද්දේ රාජපක්ෂ බලයෙන් ඉවත් කර ජනාධිපති පදවියට මෛත්‍රීපාල සිරිසේන පත්කර ගැනීමේ තන්ත‍්‍ර මාරු මෙහෙයුම දියත් කලේය. සිරිසේන ආන්ඩුව ලංකාවේ විදේශ පිලිවෙත ඇමරිකාවට හා බ්‍රිතාන්‍ය ඇතුලු බටහිර රටවලට අවශ්‍ය පරිදි වෙනස් කල පසු, වොෂින්ටනය ලංකාවට යුද අපරාද යට ගැසීමට හැකිවන ආකාරයේ යෝජනාවක් එජා මානව හිමිකම් කවුන්සිලය තුල සම්මත කර දුන්නේය.

ටීඑන්ඒ ඇතුලු දෙමල ධනපති පක්ෂ, සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ ඇතුලු කොලඹ ධනපති පන්තියේ කොටස් සමග එක්ව මේ සියලු ක්‍රියාවන්ට සහයෝගය දුන්නේ ඇමරිකාව ප‍්‍රමුඛ අධිරාජයවාදීන්ගේ යුදවාදී භූ දේශපාලන උවමනාකම් වලට ලංකාව ගැට ගැසීමට සිය පක්ෂපාතිත්වය ප‍්‍රකාශ කරමිනි.

අනාගතයේ “සංහිදියාව” ඇතිකර ගැනීම පිනිස ශ්‍රී ලංකාව පොරබදමින් සිටින නිසා “විශේෂයෙන් ම එක්සත් රාජධානියේ” ද පොදුවේ සමස්ත “ජාත්‍යන්තර ප‍්‍රජාවේ” ද සහයෝගය ඒ සඳහා අවශ්‍ය බව ආර්. සම්බන්ධන් බ්‍රිතාන්‍ය ඇමැතිනියට පැවසීය.

සිරිසේන - වික‍්‍රමසිංහ ආන්ඩුවේ “නව ව්‍යවස්ථා ක්‍රියාවලිය, ගැන ඇනිලේ ට කරුනු පැහැදිලි කල පාර්ලිමේන්තු විරුද්ධ පක්ෂයේ සහ ටීඑන්ඒ නායක සම්බන්ධන්, නව ව්‍යවස්ථාව මගින් ජාතික ගැටලුවට “ස්ථීර විසඳුමක්” අවශ්‍ය බවත් යුද්ධය කාලයේ ආන්ඩුව සහ හමුදාව අත්පත් කර ගත් සමහර ඉඩම් නිදහස් කර ඇතත් එම ක්‍රියාවලිය තව දුරටත් කඩිනම් කල යුතු බවත් කියා සිටියේ ය. විශාල හමුදාවක් තවමත් රැදී සිටිමින් උතුරේ ආර්ථික කටයුතු වලට මැදිහත් වන අතර උතුරේ ජනතාවගේ දෛනික ජීවිතයට බාධා පමුනුවන බවට ඔහු ඇනිලේ ට පැමිනිලි කලේ ය.

අධිරාජ්‍ය බලයන් සමග ඍජුව පෙල ගැසී සිටින කොලඹ ආන්ඩුව සහ ටීඑන්ඒ ඇතුලු දෙමල ධනපති පක්ෂ කියන ආකාරයට නව ව්‍යවස්ථාවක් තුලින් දෙමල ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් තහවුරු වීමක් ඇති නොවේ. “සංහිඳියාව, නමින් ඔවුන් බලාපොරොත්තු වන්නේ උතුරු-නැගෙනහිර පලාත්වල කම්කරුවන් හා දුගීන් සුරා කෑම සඳහා උතුරු නැගෙනහිර පලාත් පාලනයට සහභාගී වීමට සීමිත බලතල ලබා ගැනීමයි.

කෙසේ වෙතත්, කොලඹ ආන්ඩුව නව ව්‍යවස්ථාවක් කෙටුම් පත් කිරීමට මූලිකත්වය ගෙන ඇත්තේ සිංහල හා දෙමල හා මුස්ලිම් කම්කරුවන්ට හා දුගීන්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ලබාදීමට නොව ඔවුන්ට විරුද්ධව ධනපති රාජ්‍යයේ අත තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ නව පාලන රාමුවක් තනා ගැනීම සඳහාය.

යාපනයේ දී ඇනිලේ හමු වූ උතුරු පලාත් මහ ඇමති සී. වී. විග්නේශ්වරන් යුද අපරාධ පිලිබඳ විමර්ශනය කිරීමේ දී “දේශීය යාන්ත‍්‍රනයකින් යුක්තිය ඉෂ්ඨ වීම” ගැන තමන්ට විශ්වාසයක් නැති බවත් ජාත්‍යන්තර විනිශ්චය කාරවරුන්ගේ සහභාගිත්වය ඇතිව ”ජාත්‍යන්තර විමර්ශනයක්” කලයුතු බවත් කියා ඇත. අධිරාජ්යවාදී පිටුබලය සහිත ජාත්‍යන්තර විමර්ෂනයකින් සාධාරනය ඉටුවේය යන්න ටීඑන්ඒ නායකයන් දෙමල ජනයාට ගිල්ල වීමට තැත් කරන තවත් මිත්‍යාවකි. විග්නේශ්වරන් මෙම දෙපිටකාට්ටු ප‍්‍රකාශය කර ඇත්තේ ටීඑන්ඒ නායකයන් යුද අපරාධ යට ගැසීමට උදවු දීම ගැන මහා ජනයා අතර පවතින විරුද්ධත්වය යට ගැසීම සඳහා ය.

ආන්තික සිංහල වර්ගවාදී කන්ඩායම්වල විරුද්ධත්වය හා සිරිසේන-වික‍්‍රමසිංහ ඇතුලු සිංහල ධනපති පන්ති කොටස්වල වර්ගවාදය මත පදනම් වූ දේශපාලනය නිසා තමන් අපේක්ෂා කරන බලතල ලැබේදැයි කනස්සල්ලක් දෙමල ධනපති කොටස් අතර පවතී. ටීඑන්ඒය ඇමරිකාව හා අනෙකුත් අධිරාජ්‍යවාදීන්ගේ පිහිට පතා බඩ ගාන්නේ එහෙයිනි.

උතුරු-නැගෙනහිර පලාත්වලට සීමිත බලතල ලබාදීමකින් අන්ඩුව හා දෙමල නායකයන් අතර සම්මුතිය දැඩි කොට කොලඹ පාලනයට යම් ස්ථාවරත්වයක් ලබාදීමට බටහිර රටවල් හා ඉන්දියාව අපේක්ෂා කරයි. ඒ, ඉන් තමන්ට ලැබෙන භූ දේශපාලන හා ආර්ථික වාසි තකා ගෙන මෙන්ම පෙරලිකාරී වන කම්කරු පන්තියට හා දුගීන්ට එරෙහිව ධනපති රාජ්‍යය ශක්තිමත් කර දීම සඳහා ය. මේ තතු යටතේ, ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ කි‍්‍රයාවලියේ දී ශ‍්‍රී ලංකා ආන්ඩුව ”ධෛර්යමත්” කරන බවත් ප‍්‍රකාශකර ඇනිලේ ටීඑන්ඒ නායකයන් සනසා ඇත.

සිය සංචාරයේ දී අගමැති වික‍්‍රමසිංහ සහ විදේශ ඇමති මංගල සමරවීර හමු වූ ඇනිලේ නව ව්‍යවස්ථාවක් හැදීම හා ආන්ඩුවේ “සංහිදියා” ක්‍රියාවලිය ගැන සාකචඡා කල බව වාර්තාවෙයි. “දිගුකාලීන සාමය සහ සංහිඳියාව” කෙරෙහි කැපවීමට සහයෝගයදීම දෙරට අතර සම්බන්ධතා වල ප්‍රධාන අංශයක් වන බව ඇය පැවසුවේ ආන්ඩුවේ මවාපෑම්වලට සුදුහුනු ගාමිනි.

යුද්ධය කෙලවර වී වසර හතක් ගෙවී ඇතත් දෙමල ජනතාව දකිමින් සිටින්නේ තමන් මත පවත්වාගෙන යන හමුදා ග්‍රහ, ඉඩම් අහිමිවීම්, අතුරුදහන් වුවන් හෝ යුද වැන්දඹුවන් හා අනාථයන් සම්බන්ධ කිසිදු ගැටලුවක් නොවිසඳී ඇතුවාක් පමනක් නොව, පාලක පන්තියේ අනු දැනුම ඇතිව, දෙමල ජනයාට එරෙහි මර්දනය හා වර්ගවාදය ඇවිස්සීම දිගටම සිදුවන බවය. මෑත දී යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් දෙදනෙකු පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කිරීම සහ එය වසන් කිරීමට ආන්ඩුව දරන උත්සාහය එහි ආසන්නතම උදාහරනයකි.

කුරිරු තිස් අවුරුදු යුද්ධය නිසා ඇති වූ කිසිදු සමාජ ප්‍රශ්නයක් නොවිසඳීම නිසා දෙමල ජනයා තුල බරපතල කෝපයක් සහ සමාජ කැලඹීමක් ගැඹුරින් ම වර්ධනය වෙමින් ඇත. කොලඹ ආන්ඩුව කෙරෙහි පමනක් නොවල දෙමල ධනපති පක්ෂ කෙරෙහි ද ජනතාවගේ කෝපය එල්ල වී ඇති අතර එම පක්ෂවලින් ඔවුහු වඩ වඩා දුරස්ත වෙමින් සිටිති.

ටීඑන්ඒ ඇතුලූ දෙමල ධනපති පක්ෂ භීතියට පත්ව සිටින්නේ මෙම තත්වය කෙරෙහි ය. ජාත්‍යන්තර බලයන්ගේ සහයෝගය ඇතිව කොලඹ ආන්ඩුවට යැදීමෙන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් තහවුරු කර ගැනීමට සහ සමාජ ගැටලු විසඳා ගැනීමට හැකිවෙතැයි යන මිත්‍යාව ඔවුන් තුල වැපිරීමට දෙමල ධනපති පක්ෂ උත්සාහ කරන්නේ එහෙයිනි.

කොලඹ ආන්ඩුව විසින් උතු-නැගෙනහිර පලාත්වල දිගටම ගෙනයන මර්දනකාරී පාලනය මුලු රටෙහිම කම්කරුවන්ට, දුගීන්ට හා තරුනයන්ට එරෙහිව සුදානම් කෙරෙන පොලිස් පාලනයේම කොටසකි.

ආන්ඩුවේ ප්‍රහාරවලට හා දෙමල ධනපති පක්ෂවල ජාතිකවාදී ප්රතිගාමී පිලිවෙත් වලට එරෙහිව ජාත්යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක් මත දෙමලල මුස්ලිම් හා සිංහල කම්කරුවන් එකමුතු කරමින් ද දුගීන් හා තරුණයන්ගේ සහයෝගය ඒ වටා ගොනු කරමින් ද බලමලු ගැන්වීමට සටන් කරන්නේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනකි.

නොවැම්බර් 20 දා යාපනය පුස්තකාල ශාලාවේ දී සසප හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ විසින් “අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලය සහ දෙමල ජාතිකවාදය” යන මාතෘකාවෙන් පවත්වන රැස්වීමට සහභාගී වන ලෙස අපි ඉල්ලමු.

Share this article: