දෙමල ජාතිකවාදියෝ ක්ලින්ටන්ගේ ජයග‍්‍රහනය පතා පූජා පවත්වති

සමන් ගුනදාස විසිනි , 2016 නොවැම්බර් 08

උතුරු පලාත් සභාවේ දෙමල ජාතික සන්ධානයේ (දෙජාස) මන්ත‍්‍රීන් දෙදෙනෙකු වන එම්. කේ. සිවාජිලින්ගම් හා අනන්දී සසිදරන් විසින් මූලිකත්වය ගෙන ඇමරිකානු ජනාධිපති අපේක්ෂක හිලරි ක්ලින්ටන්ට ජය පතා නොවැම්බර් 3දා යාපනය නගරය අසල නල්ලූර් කන්දසාමි කෝවිලේ පොල් 1008ක් ගැසීමේ හා යාපනයේ සාන්ත මරියා දේවස්ථානයේ ඉටි පහන් දහසක් දැල්වීමේ දේව කන්නලවුවක් පවත්වා තිබේ. මෙය මිථ්‍යා දෘෂ්ටික ක‍්‍රියාවක් වුවත් ඉන් පෙන්නුම් කෙරෙන්නේ දෙමල ධනේශ්වරයේ ඇමරිකානු අධිරාජ්‍ය ගැති කුනුවීමයි.

“ශ‍්‍රී ලංකාවේ ද්‍රවිඩයන්” යනුවෙන් නම් කර තිබු බැනරයක “අපගේ සෙත් පැතීම හිලරි ක්ලින්ටන්ගේ ජයග‍්‍රහනය සඳහා ය”යි ලියා ගෙන මොවුන් මෙම පූජාවේ යෙදී තිබේ.

අධිරාජ්‍යවාදීන්ගේ පක්ෂයක් වන ඩිමොක‍්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂිකාවට ජය පතා සිවාජිලින්ගම් හා සසිදරන් මෙම පූජාවේ යෙදුනේ “ක්ලින්ටන් සඳහා ද්‍රවිඩයන්” නමැති ඇමරිකාවේ පිහිටුවාගෙන ඇති සංවිධානයේ කොටස්කරුවන් ලෙස ය. දෙජාස නිල වශයෙන් මේ පිලිබඳ ප‍්‍රකාශයක් නිකුත් කර නැතත් සිය පක්ෂයේ පලාත් සභා මන්ත‍්‍රීන් ගේ මෙම ක‍්‍රියාකාරකම් නිහඬව අනුමත කර ඇත.

“ශ‍්‍රී ලංකාවේ දෙමල ජනයා විශ්වාස කරන්නේ ඔවුනට දේශපාලන විසඳුමක් ලබා ගත හැකි වනු ඇත්තේ එක්සත් ජනපදයේ මැදිහත් වීමෙන් පමනක් වන අතරම ක්ලින්ටන්ගේ ජයග‍්‍රහනය ශ‍්‍රී ලංකාවේ සුලු ජාතික ප‍්‍රජාවේ අනාගතය සඳහා වැදගත් වේ” යයි සිවාජිලිංගම් ජන මාධ්‍යයට සඳහන් කර තිබේ. ඔහු තව දුරටත් සඳහන් කර ඇත්තේ හිලරි ජයග‍්‍රහනය කලහොත් ද්‍රවිඩයන්ගේ සියලු කරදර සේදී යන බැවින් තමන් මෙම යාඥාව සංවිධානය කල බවයි.

සිවාජිලින්ගම්, දෙමල ඊලම් විමුක්ති සංවිධානයේ ද (ටෙලෝ) නායකයෙකු ලෙස පෙනී සිටියි. ඔහු සහ සසිදරන් දෙජාස තුල දෙමල ජාතිකවාදයේ ආන්තික ආරක්ෂකයන් ලෙස පෙනී සිටිති.

තමන්ට දේශපාලන විසඳුමක් ලබා ගත හැක්කේ එක්සත් ජනපදයේ මැදිහත් වීමෙන් පමනක් යයි දෙමල ජනයා විස්වාස කරන බවට සිවාජිලිංගම් කරන ප‍්‍රකාශය අමු කෙප්පයකි. එබඳු විස්වාසයක් ඇතිව ඇමරිකාවේ පාලකයන්ට අවතේව කරන්නේ ආර්. සම්බන්දන් හා එම්. ඒ. සුමන්දිරන්, සිවාජිලිංගම් හා සසිදරන් වැනි දෙජාස නායකයන් ය. “දේශපාලන විසඳුමක්” ලෙස මොවුන් සුත‍්‍ර ගත කර ඇත්තේ දෙමල ධනපතියන්ට උතුර නැගෙනහිර කම්කරුවන් හා දුගීන් සූරා කෑම සඳහා කොලඹ පාලකයන්ගෙන් වරප‍්‍රසාද ලබා ගැනීමයි.

වොෂින්ටනය මැදිහත්වී කොලඹ ආන්ඩුව තමන්ට සීමිත බලතල ලබා දීමට පොලඹවා දෙනු ඇතැයි අපේක්ෂා කරන දෙජාස නායකයන් ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ භූ දේශපාලන උවමනාකම්වලට තමන්ගේ පක්ෂපාතිත්වය ප‍්‍රකාශ කර ඇත. එහිම කොටසක් ලෙස, ඔවුහු එක්සත් ජනපද ගැති ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ආන්ඩුවට පුර්න සහයෝගය දෙයි.

ඇමරිකාව දෙමල ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ගැන උත්සුක බව සිවාජිලිංගම් හා සසිදරන් ඇතුලු දෙජාස නායකයන් දෙසාබාන තවත් බේගලයකි. කොලඹ ආන්ඩු බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහිව ගෙනගිය යුද්ධයට ද කම්කරුවන්ගේ හා දුගීන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් මැඩීමට ද වොෂින්ටනයේ පූර්න සහයෝගය ලැබුනි.

2009 වසරේ යුද්ධය අවසන් වූ පසුව, දෙමල ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් පාගා දැමීමත් ලංකාව චීනයට එරෙහි යුද කරත්තයට ගැට ගැසීමත් සඳහා දෙජාස ඔබාමා පරිපාලනය සමග මෙන්ම 2008 සිට 2012 වනතෙක් එහි රාජ්‍ය ලේකම් වූ හිලරි ක්ලින්ටන් සමගද සමීපව ක‍්‍රියා කලේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවට විරුද්ධව මිලිටරි ප‍්‍රහාරයේ අවසන් දිනවල සිදු කෙරුනු යුද අපරාධ පිලිබඳ ජාත්‍යන්තර පරීක්ෂනයක් ඉල්ලන යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුල ගෙන ඒමට 2009 දීම මූලිකත්වය ගත්තේ ඔබාමා ආන්ඩුවේ රාජ්‍ය ලේකම් වූ හිලරි ක්ලින්ටන් ය. එසේ කලේ යුද අපරාද හෝ මානව අයිතීන් ගැන ඇයට තිබුනු කැක්කුමක් නිසා නොවේ. චීනයේ නැගීම නතර කර එය තම භූ දේශපාලන ආධිපත්‍යයට යට කර ගැනීමට තීන්දු කර තිබු වොෂින්ටනයට, බීජිනය හුදකලා කිරීම සඳහා ගෙන ගිය රාජ්‍ය තාන්ත‍්‍රික ප‍්‍රහාරයේදී මිලිටරි වටලෑමේදී රාජපක්ෂ එරට සමග ගොඩ නගා ගෙන තිබු සම්බන්ධකම් බිඳ දමා ලංකාව තම කක්ෂයට ගැනීමට අවශ්‍ය විය.

දෙජාස පමනක් නොව ලංකාවේ ද ලෝකය පුරා ද දෙමල ජාතිකවාදීන්ගේ සංවිධාන මානව හිමිකම් රැකීමට යයි වොෂින්ටනය ඇරඹු වංචනික ප‍්‍රචාරය සමග එක පයින් පෙල ගැසුනේය. ඔවුන් එසේ කලේ, ඇමරිකානු අධිරාජ්‍යවාදය මානව හිමිකම් උල්ලංඝනය හා යුද අපරාධ සම්බන්දයෙන් වගකිවයුතු ලෝකයේ ප‍්‍රමුඛම බලය බව නොදැන නොවේ. ක්ලින්ටන් යුද අපරාධ පිලිබඳව කුප‍්‍රකට වාර්තාවක් දරන බව ද ඔවුහු දනිති.

ඇමරිකාව සමග පෙලගැසීමේ තවත් ඉදිරියට යමින් දෙජාස, රාජපක්ෂ ආන්ඩුව ඉවත් කර මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති ලෙස පිහිටුවීමේ තන්ත‍්‍ර මාරුවට දෙජාස මුලුමනින් සහාය දුන්නේය. සිරිසේන බලයට ඒමෙන් පසු චීනයෙන් දුරස්ථ වීමේ විදේශ පිලිවෙත ක‍්‍රියාවට දැමීමට සිරිසේන වහවහා පියවර ගත්තේය. ඊට වන්දිය ලෙස, යුද අපරාධ යට ගැසීමට ආන්ඩුවට ඉඩ සලසන යෝජනාවක් මානව හිමිකම් කවුන්සිලය තුල සම්මත කර දීමයි. මෙම දෙමල ජාතිකවාදීන්ගේ දුෂ්ටතම ක‍්‍රියාවක් වුයේ, වොෂින්ටනයේ මේ ක‍්‍රියාවන්ට සහයෝගය දීමයි.

දෙමල ධනපති නායකයෝ ලංකාව තුල පමනක් නොව ලෝක පරිමානව ද කම්කරුවන් හා දුගීන් මුහුන දෙන අන්තරායකාරී තත්වයන් මුලුමනින්ම යට ගසති.

රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ඩොනල්ඩ් ට‍්‍රම්ප් ෆැසිස්ට් වාචාල කතා පවත්වමින් බලයට ඒමට කැසකවන ප‍්‍රකෝටිපතියෙකි. ට‍්‍රම්ප් මෙන්ම දුෂිත, නමුත් දේශපාලන සංස්ථාපිතයේ, මිලිටරියේ හා මහා බැංකුකාරයන්ගේ සැලකිය යුතු කොටසක සහයෝගය ලබන, ක්ලින්ටන් රුසියාවට උසිගැන්වීම් මැතිවරන ව්‍යාපාරය මැදට ගෙනවුත් ඇත. දෙදෙනා ගෙන් කවුරු බලයට ආවත් තුන්වන ලෝක යුද්ධයක අන්තරාය වැඩිදියුනු කරන මිලිටරි ප‍්‍රකෝපකරනයන් වේගවත් කරනු නිසැක ය.

දෙමල ජාතිකවාදීන්ගේ සහය මෙලෙස අධිරාජ්‍යවාදී භූ දේශපාලනික අවශ්‍යතාවන් සඳහා කැප කර ඇත්තේ කම්කරු පීඩිත ජනයාගේ දැවෙන ප‍්‍රශ්න විසඳීමට නොව අර්බුදග‍්‍රස්ත ධනපති ක‍්‍රමය රැක ගනිමින් වැඩ කරන ජනයා මත කප්පාදු වැඩපිලිවෙල පැටවීමේ හා ලෝක යුද්ධ අන්තරායට යටත් කිරීමේ දැනුවත් කොටස් කාරයන් ලෙසය.

මෙම තතු තුල සමාජවාදී සමානතා පක්ෂයත් සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝත් නොවැම්බර් 20 දින සවස 3ට යාපනයේ මහජන පුස්තකාල භෝජනාගාර ශාලාවේදී “අධිරාජ්‍යවාදී යුද්ධය, දෙමල ජාතිකවාදය හා සමාජවාදය සඳහා සටන” යන තේමාවෙන් පවත්වන දේශනය අතිශයින් වැදගත් ය. මෙම අවස්ථාවට සහභාගිවන ලෙස කම්කරුවන්ගෙන්, සිසුන්ගෙන්, තරුනයන්ගෙන් හා සමාජවාදයට ලැදි බුද්ධිමතුන්ගෙන් අපි ඉල්ලමු.

Share this article: