එක්සත් ජනපද මැතිවරන විවාදය නිමාව දකිද්දී: විකාර ස්වභාවයේ දේශපාලනයසංගතවල පෙර නොවූ විරූ බලාධිකාරයේ ප‍්‍රතිපල වශයෙන් ඇතිවිය හැකි විප්ලවකාරී ප‍්‍රතිවිපාක ගැන ඉකොනොමිස්ට් සඟරාව අනතුරු අඟවයි

On the eve of the US election debate: The politics of the grotesqueEconomist magazine warns of revolutionary consequences of unprecedented corporate power

ගේබ්‍රියෙල් බ්ලැක් විසිනි, 2016 සැප්තැම්බර් 28

ඉකොනොමිස්ට් සඟරාව සැප්තැම්බර් 17දා “සුපිරි තරු සමාගම” යන හිසින් ඒඩ්රියන් වුල්ඞ්රිජ්ගේ විශේෂ වාර්තාවක් පල කලේය. ලෝකයේ ලොකුම සංගතවල ආර්ථික හා දේශපාලන බලයේ තියුනු නැඟීම එහි ගෙනහැර දැක්වේ. වාර්තාව පිලිබඳව කතුවැකිය “යෝධ ගැටලුවක්” වන්නේ, වත්මන් ආර්ථික වාතාවරනය “වඩාත් පූර්ව යුගයකට” එනම් රුසියානු විප්ලවයට තුඩුදුන් අවධියට, “සමානකම් දැක්වීම කනස්සල්ල” දනවන බව සඳහන් කරයි.

“එම අවධියේ ව්‍යාපාරික යෝධයෝ,” සිය තරඟකරුවන් ව්‍යාපාර ලෝකයෙන් පලවා හැර, දේශපාලඥයින් සමග සමීප බැඳීම් ඇතිකර ගැනීම මගින් සිය තත්වය තවත් ශක්තිමත් කරගත්හ. ඉන් පසුව ඇතිවූ පස්ස ගැසීම, යුරෝපයේ වැඩි කොටසක් තුලින් ලිබරල්වාදී සැකැස්ම වනසා දැමීමට උපකාරී විය. සියවසකට පසුව අද සිදුවෙමින් ඇති දේ, “1917 හා ඒ සියල්ල” කරා පුනරාගමනයක් විය හැකිය.

වසර 100ට පෙර ධනවාදය, අද මෙන්ම කඩාවැටීමක් තුලින් ගමන් කලේය. එය මුල් වුනේ, එක් අතකින් විවිධ ධනේශ්වර බලවතුන් අනුගමනය කල යුද්ධයේ පිලිවෙත වැඞී ගොස් පුපුරා යාමටත්, අනෙක් අතට, කම්කරු පන්තිය විසින් ගෙන ගිය සමාජවාදී විප්ලවයටත්ය.

එසේම වසර 100ට පෙර ලෙනින්, ලෝක යුද්ධය මැද්දෑවේ, 1916 මුල් භාගයේ, සිය අධිරාජ්‍යවාදය කෘතිය ලියමින්, එම තත්වය පැහැදිලි කලේය.

ධනවාදයේ ඉහලම අවධිය ලෙස අධිරාජ්‍යවාදී යුගයේදී, කර්මාන්තයේ යෝධයින් සිය කුඩා තරඟකරුවන් ගිල ගනිමින් වඩාත් විශාල ඒකාධිකාරයන් නිර්මානය කල බව ලෙනින් පැහැදිලි කලේය. ඒ අතරම එම අවධිය තුල, “දැවැන්ත පරිමානයේ දූෂනය, අල්ලස හා සියලු ආකාරයේ ප්‍රෝඩාවන්” මඟින් සංලක්ෂිත, “නව මූල්‍ය වංශාධිපතිත්වයක්” ද නැඟී ආවේය.

පරිමානයෙන් සීමා සහිත වුවත් ඉකොනොමිස්ට් වාර්තාවේ අන්තර්ගත කරුනු කාරනා හා දත්ත, සංගත පැලපදියම්වීම හා දේශපාලන අල්ලස ආයතනගත වීමේ ක‍්‍රියාවලිය කොතෙක් දුර ගොස් තිබේ ද යන්න පෙන්නුම් කරයි.

1994දී ඇමරිකාවේ ලොකුම සමාගම් 100, රටේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 33ට වගකීය. අද දින ඒවා දදේනි සියයට 46කට වග කියයි. මූල්‍ය කර්මාන්තය තුල, ලොකුම ඇමරිකානු බැංකු 5, 2000 වසරේදී රටේ සමස්ත බැංකු වත්කම් වලින් සියයට 25ක් පාලනය කලේය. අද ඔවුන් පාලනය කරන පංඟුව සියයට 45 දක්වා වැඩිවී ඇත.

වාර්තාව තර්ක කරන්නේ, ප‍්‍රමුඛ සමාගම්වල වෙලඳපොල පංඟුව කෙතරම් මහත් ද යත්, සංගත ඉනිමගේ මුදුනෙහි තරඟය, කුමන අර්ථයකින් ගත්ත ද අතුගා දමා ඇති බවටය.

අද ලෝකයේ සමාගම් සියයට 10ක් ලෝකයේ ලාභයෙන් සියයට 80ක් හිමිකර ගනියි. වාර්ෂික ආදායම ඩොලර් බිලියනය ඉක්මවන සමාගම්, ලෝක ආදායමෙන් සියයට 60ක් හිමිකර ගන්නා අතර ගෝලීය වෙලඳපොල ප‍්‍රාග්ධනයෙන් සියයට 65කට වග කියයි.

මෙය ඒකාබද්ධයන් හා අත්පත්කර ගැනීම් වේගවත් කරයි. විශේෂයෙන්ම 2008 මූල්‍ය අර්බුදයේ පටන් ය. 1990දී ගෝලීය දදේනි සියයට 2ක් වටිනා ඒකාබද්ධයන් හා අත්පත්කර ගැනීම් 11,500ක් වාර්තා විය. 2008 පටන් වසරකට සාමාන්‍යයෙන් 30,000 දක්වා එය වර්ධනය වී තිබේ. ගෝලීය දදේනි සාපේක්ෂව මෙහි මුලු අගය සියයට 50න් වැඩිවී, ලෝක ආර්ථික නිමැවුමෙන් සියයට 3ක් වී ඇත.

ව්‍යාපාර ඒකාධිකාරී වීමේ මේ නව රැල්ල ඇතිව තිබෙන්නේ, ගෝලීය ආර්ථිකය එක තැන පල්වීමේ තතු තුලය. පල්වීමේ හා පසුබෑමේ අවධියක තරඟකල හැකි වන්නේ, දැවැන්ත ප‍්‍රාග්ධන සංචිත සතු සමාගම් වලටය. ලැයිස්තුගත ඇමරිකානු සමාගම් අභාවයට යෑමේ අනුපාතය, වසර 5ක කාලයකට, සියයට 36ක් වී ඇති බව ලිපිය පෙන්වා දෙයි. කෙසේ වෙතත් ඩොලර් බිලියනයකට වැඩි සමාගම්වල එය සියයට 18කි. බිලියනයකට වැඩි සමාගම් බංකොලොත් වන්නේ, සොරකමෙන් හා සමාගමේ ලාභදායී කොටස් වෙනත් සමාගම් වලට ඒකාබද්ධ වීමෙන් පමනි.

අධි තාක්ෂනික සමාගම් මුදුනේ ඇති සමාගම් අතරට පැමිනීමෙන් බොහෝ දේ සිදුව තිබේ. 2006 අවසානයේ, එවන් සමාගම් වෙලඳපොල ප‍්‍රාග්ධනය අතින් ලැයිස්තුගත ලොකුම සමාගම් විය. එක්සන් මොබිල්, ජෙනරල් ඉලෙක්ට්‍රික්, ගෑස්ප්‍රොම්, මයික්‍රොසොෆ්ට්, සිටිගෲප්, බෑන්ක් ඔෆ් ඇමරිකා, රෝයල් ඩච් ෂෙල්, බීපී, පෙට්රෝ චයිනා, එච්එස්බීසී ඒ අතර වේ. එහෙත් අද දින එම ලැයිස්තුව පහත දැක්වෙන පරිදිය, ඇපල්, ගූගල් සමාගමේ මව් ආයතනය වන ඇල්ෆබෙට්, මයික්‍රොසොෆ්ට්, බර්ක්ෂයර් හතවේ, එක්සන් මොබිල්, ඇමසොන්, ෆේස්බුක්, ජොන්සන් ඇන්ඞ් ජොන්සන්, ජෙනරල් ඉලෙක්ට්‍රික්, චයිනා මොබයිල් වශයෙනි.

ඊනියා ‘තොරතුරු ආර්ථිකයේ’ මතුවීම, ලෝකයේ ධනය වෙනුවෙන් කෙරෙන හිමිකම් පෑම තාක්ෂනික සමාගම් වෙත යලි බෙදාහරිනු ලැබ පවතී. කෙසේ වෙතත් මෙය, නැඟී එන කුඩා තරුවක් යෝධයින්ට අභියෝග කරන කඩාකප්පල්කාරී ආර්ථිකයක් නිර්මානය නොකලේය. ඊට වෙනස් ලෙස එය, ඒකාධිකාරයන් දෙසට වන තරඟකාරී තල්ලුව උත්සන්න කර ඇත.

වාර්තාව සඳහන් කරන පරිදි, “තාක්ෂන වංශාධිපතිත්වයක” වැඞීම මඟින්, කුඩා තරු නැඟී එන විට ඒවා මිලට ගෙන, තමන්ගේ නිරතුරුව මහත් වන ජාලය තුලට වියා ගනී. සිලිකන් වැලි ගැන කථාකරන ඉකොනොමිස්ට්, “අද වැලිය, තරයේම සංගතකරනය වී ඇත: ජයග‍්‍රාහකයින් අතලොස්සක් බොහෝ සමාගම් අත්පත්කර ගැනීම මඟින් ලෝකයේ වඩාත්ම ගැස්ම සහිත නව්‍යකරනයේ මධ්‍යස්ථානය බවට පත්ව ඇත.” එහි මෙසේ අවධාරනය කරයි: “තාක්ෂනික වංශාධිපතිත්වය” මෙන්ම “සම්ප‍්‍රධායික” සංගත වංශාධිපතිත්වය ද වාර්තාගත ලාභ උපයන නමුත් සේවයේ යොදවන්නේ කම්කරුවන් සුලු පිරිසක් පමනි.

“යන්තම් දශක දෙකක් තුල වඩාත් සාර්ථක තාක්ෂන සමාගම් දැවැන්ත පරිමානයකට වැඞී ඇත. ගූගල් දිනකට සෙවීම් බිලියන 4ක් සිදු කරයි. සෑම මසකම ෆේස්බුක් වෙත යන සංඛ්‍යාව චීනයේ ජනගහනයට වඩා වැඩිය. මෙම සමාගම් දැවැන්ත ප‍්‍රමානයක් වෙලඳපොල ආධිපත්‍යය කරා යොමුකරන අතර ඉමහත් ආදායමක් උපයති. තොරතුරු ආර්ථිකයේ යටිතල ව්‍යූහය පාලනය කරන්නේ අතලොස්සක් සමාගම් විසිනි. ක්ලවුඞ් කොම්පියුටර්කරනයේ වෙලඳපොලින් තුනෙන් එකක් පමන හිමිකර ගන්නේ ඇමසොන්ය. එහි ක්ලවුඞ් සේවා අංශය පසුගිය වසර තුල සියයට 50න් වැඩියෙන් ප‍්‍රසාරනය වී ඇත.”

සාර්ථක තරු වලින් සියයට 90ක්, තෙමේම අනෙකුත් සමාගම් වලට විකිනී ගනිමින් “අතුරුදහන්ව” ඇත. ඒ අතරම නව ආරම්භකත්වයන් සංඛ්‍යාව, 1970 ගනන් අග භාගයෙන් පසු කවර කාලයකටත් වඩා අඩුවී තිබේ. අභාවයට පත්වන නව සමාගම්, අලුතෙන් ඉපදෙන ඒවාට වඩා අඩුය. වාර්තාව සඳහන් කරයි.

මෙම ඒකාධිකාරයන්ගේ වර්ධනය සමඟ අත්වැල් බැඳගෙන, නියාමන පද්ධතිය පාලනය හා හැසිරවීමට හැකි තරම් ප‍්‍රමානයෙන් ද වැඞී ඇත.

නියාමන ආයතන හා නීති රෙගුලාසි වැඩිවීම, සංගත යෝධයින්ගේ බලය සීමා කරනවා වෙනුවට, ඒවායේ අධිකාරය වැඩිකිරීමට දායකවී ඇති බව වාර්තාව පෙන්වා දෙයි. “අනුකූලත්වය කුඩා සමාගම් ඉහල ස්ථාවර පිරිවැයකට යටත්කරන බැවින් නියාමනය, අනිවාර්යයෙන්ම ඒවා මත අසමවාය බරක් පටවනු ලබයි.” සේවකයින් 19ට වඩා අඩු සමාගම් සඳහා ෆෙඩරල් නියාමනයට අනුකූල වීමේ පිරිවැය ඩොලර් 10,585ක් වන නමුත් ඊට වැඩි සේවක සංඛ්‍යාවක් සහිත සමාගම් වලට වැය වන්නේ ඩොලර් 7755ක් පමනි.

ප‍්‍රධාන නව නීතිවල ලේඛන කෙතරම් දිගු ද යත් තම ජීවිත කාලයේම ඒවා කියවා ඇත්තේ ලෝකයේ සුලු පිරිසක් පමනි. නිදසුනක් ලෙස ඩොඞ්-ෆ‍්‍රෑන්ක් නීතිය පිටු 2319න් යුක්තය. බදු චක‍්‍රමය වචන මිලියන 3.4කින් යුක්තය. ව්‍යාපාර නීතිඥයින් හමුදාවක් විසින් කෙටුම්පත් කර තිබෙන මෙම නීති හා චක‍්‍ර, රිංඟා යා හැකි සිදුරු වලින් ගහනය.

“බහුජාතික සමාගම් තමන් ගෙවිය යුතු බදු ප‍්‍රමානය අඩුකර ගැනීම සඳහා සෘජු විදෙස් ආයෝජන උපයෝගී කර ගැනීම සාමාන්‍ය තත්වයකි.” 2012දී ඉතා කුඩා දිවයින් ජාතියක් වුවත් බ්‍රිතාන්‍ය වර්ජින් දිවයින, ඩොලර් බිලියන 72ක ලෝකයේ පස්වන විශාලතම, සෘජු විදෙස් ආයෝජන ආකර්ෂනය කර ගත්තේය. සැසඳීමක් ලෙස සැලකුවහොත් එමෙන් 3000 ගුනයක් විශාල බ්‍රිතාන්‍යට පැමිනියේ බිලියන 46ක් පමනි.”

නියාමන හා බදු මඟහැරීම මඟින්, ප‍්‍රාග්ධනය සඳහා ලාභ උපරිම කරගත හැකිව ඇත්තේ, වෙරලෙන් ඔබ්බෙහි භාරකාර සමාගම් පෙලක් පිහිටුවීමේ හැකියාවෙන් යුත් විශාලතම සමාගම් වලට පමනි. වඩාත්ම ගෝලීයකරනයවූ ලොකුම සමාගම් 100 සතුව එකකට භාරකාර සමාගම් 20 බැගින් තිබේ. කෙසේ වෙතත් එම භාරකාර සමාගම් එකිනෙකක් සතුව තමාගේම භාරකාර සමාගම් ඇත. වාර්තාව සඳහන් කරන පරිදි, නූතන සංගත යෝධයින්ගේ “එකිනෙක හා වෙලී ඇති” පාලන ව්‍යූහය, අධි තාක්ෂනික ක්ෂේත‍්‍රය තුල වඩාත්ම කැපී පෙනෙයි.

ඇපල් සමාගමේ අලුත්ම සිද්ධිය ගැන වාර්තාව සඳහන් කරයි. එය යුරෝපීය සංඟමයේ බදු පැහැර හැරීම පිනිස අයර්ලන්තය යොදා ගත්තේය. ගූගල් සමාගම ද විශාල වශයෙන් ඇමරිකාවෙන් පිටත බදු පැහැර හැරීමේ යෙදී සිටියි. 2007-09 අතර බර්මියුඩාව, අයර්ලන්තය හා නෙදර්ලන්තය වැනි රටවල සංකීර්න බදු ක්ෂේමභූමි ජාලයක් යොදාගැනීම නිසා එයට ඇමරිකාවෙන් පිටත බදු අනුපාතය සියයට 2.4ක පහත් මට්ටමක තබාගත හැකි විය.

ඒ අතරම මේ සමාගම්, තමන් වෙනුවෙන් බලපැම් කරන්නන් වෙනුවෙන් පෙර නොවූ විරූ ප‍්‍රමානයන්ගෙන් මුදල් වියදම් කරති. වොෂින්ටන් ඞීසීහි පමනක් එවැනි කන්ඩායම් 37,700ක් ඇත. ඉන් සියයට 70ක්ම සමාගම්ය. එවැනි එක් අයෙක් වෙනුවෙන් කරන සාමාන්‍ය වියදම 1998-2012 අතර කාලයේ දෙගුනයකින් වැඩිවී ඇත.

බ‍්‍රවුන් විශ්වවිද්‍යාලයෙන් සොයාගත් තොරතුරු අනුව වාර්තාව සඳහන් කරන්නේ, ඖෂධ කර්මාන්තය වාර්තාගත ඩොලර් මිලියන 130ක්, 2003 දී මෙඩිකෙයා (සෞඛ්‍ය සේවා) සංශෝධනය සම්මත කර ගැනීම සඳහා වියදම් කර තිබේ. දල වශයෙන් එම සංශෝධනය වෙනුවෙන් ඖෂධ සමාගම් වලට ඩොලර් බිලියන 242ක වියදමක් දැරීමට සිදුවිය.

යුරෝපීය සංඟමය තුල ද එම බලපෑම් දැමීමේ ක්ෂේත‍්‍රය බැලූනයක් මෙන් පිම්බී ඇත. ගනන් බලා ඇති පරිදි බ‍්‍රසීලයේ එවැනි කන්ඩායම් 30,000ක් ඇත.

මේ අනුව වාර්තාව කුප‍්‍රකට කැරකෙන දොර ගැන සඳහන් කරයි. ආන්ඩුවේ කාර්ය මන්ඩලවල, විශේෂයෙන්ම නියාමන මන්ඩලවල සේවයේ නියුතුව සිටි අය, පුරුද්දක් ලෙසම සංගත නීති ආයතනවල හා ව්‍යාපාරයන්හි ඉහලම තනතුරු වලට පත්වීම රහසක් නොවේ. වාර්තාවට අනුව නිදසුනක් ලෙස, යුරෝපීය කොමිසමේ හිටපු සභාපති ජොසි මැනුවෙල් බරෝසෝ, දැන් ගෝල්ඞ්මන් සැක්ස්හි බැංකු කරුවෙකි.

වාර්තාව අවසානයේ, පුනරුච්ඡාරනය කරන උපදෙස් වලින් ගහන කැඳවුමක් මගින්, මෙම ඒකාධිකාරයන්ගේ අතිරික්තය නියාමනය කරන ලෙසත් ඒවායේ භාවිතාව පාලනය කරන ලෙසත් ඉල්ලා ඇත. කතුවරයා කනස්සලු සහගතව කියන්නේ, “ඇමරිකානු ජනගහනයෙන් සියයට 70ත් වඩා විශ්වාස කරන්නේ, අදාල අයවලුන්ගේ අවශ්‍යතා පිරිමැසෙන අයුරින් ආර්ථිකය අපයෝජනය කරන” බවයි.

යථාර්තය නම් මෙම සංසිද්ධිය ධනවාදයට අවියෝජනීය දෙයක් බවයි. ලාභ ක‍්‍රමය ඒකාධිකාරයන් හා මූල්‍යකරනය දිසාවට ඇදී යයි. වසර 100ට පෙර ලෙනින් පෙන්වා දුන් පරිදි, අතලොස්සක් ධනපතියන්ගේ වැඩෙන බලය, ධනපති දේශපාලඥයින් හා මහ ව්‍යාපාර අතර වඩ වඩාත් සමීප බැඳීමක් ඇති කරයි.

ලාභ ලැබීමේ තත්වය පවත්වාගෙන යාම පිනිස සමාගම් වඩාත් විශාල පරිමානයෙන් ක‍්‍රියාත්මක විය යුතු තතු හමුවේ නව විප්ලවකාරී තාක්ෂනික සොයාගැනීම්, ව්‍යාපාරයන්හි ලාභ සඳහා තල්ලුව උත්සන්න කරනවා පමනි. ප‍්‍රාග්ධනයේ ආස්ථානයෙන් බලන විට, විදේශයන්හි යුද්ධය හා ආර්ථික ජාතිවාදය ද රට තුල මර්දනය ද ලාභ වැඩිකර ගැනීමේ හා සුරක්ෂිත කර ගැනීමේ එකම මාධ්‍යය බවට පත්ව තිබෙනවා පමනි.

එහෙත් මෙම ක‍්‍රියාවලියම එහි ප‍්‍රතිවිරෝධය ද නිර්මානය කරයි. අද ලෝක ආර්ථිකය, ඉතිහාසයේ කවර කලෙකටත් වඩා සමාජීයකරනය වී ඇත. අද ආර්ථිකය ගෝලීයයි, තාක්ෂනිකව ඉමහත් ලෙස දියුනුය, පදනම්ව ඇත්තේ මිලියන සංඛ්‍යාත මිනිසුන්ගේ සමාජ සහභාගිත්වය මතය. නිෂ්පාදන බලවේග මියෑදෙන සමාජ පර්යායකට ගැටගසා ඇත. සුලූ පිරිසකගේ ලාභ පොදිගැසීමට යටත්කර ඇත. කම්කරු පන්තිය මේ පද්ධතියට එරෙහි විප්ලවවාදී අරගලයට තල්ලු කෙරේ. මෙම අරගලය පෙරට ගෙනයාම පිනිස කම්කරු පන්තියට විප්ලවවාදී නායකත්වයක් අවශ්‍ය කෙරේ. එය තමන් මුහුන දෙන සමාජ බලවේග පිලිබඳ වැටහීමක් සහිතව ජාත්‍යන්තර සමාජවාදී ක‍්‍රියාමාර්ගයක් විස්තාරනය කිරීම අවශ්‍යය.

Share this article: