කොලඹ රාජගිරියේ වේලුපුල්ලේ වත්ත නිවාස කඩා ඉවත්කිරීම ට බල කරති

ජෝතිපාල දැදිගම සහ මහේෂ් ජයවර්ධන විසිනි, 2016 ඔක්තෝබර් 21

රාජගිරිය වේලුපුල්ලේ වත්ත දුගී නිවාස 76ක් පමන ඉවත්කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය තීන්දු කර ඇතත්, පවුල් 28 නිවාසවලින් ඉවත්වීම ප‍්‍රතික්ෂේප කර තමනට සාධාරන විසඳුමක් ඉල්ලා සිටිති. මෙම නිවාස ඉවත් කිරීම, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ ආන්ඩුව යටතේ ක්‍රියාවට දැමෙන බස්නාහිර පලාත් මහා නගර ව්‍යාපෘතිය යටතේ දුගී නිවැසියන් කොලඹ නගරයෙන් පලවා හැර ඉඩම් ආයෝජකයන්ට පවරාදීමේ වැඩපිලිවෙලෙහි තවත් පියවරකි.

ආන්ඩුව නගර සංවර්ධනයටයයි පවසමින් දුගීන් ඉවත් කර අත්පත් කරගන්නා කොලඹ හා ප‍්‍රධාන නගරයන්හි ඉඩම් විදේශ හා දේශීය ආයෝජකයන්ට වෙන්කරදීමේ වැඩ පිලිවෙලක් ගෙන යයි.

සංවර්ධන කටයුතු සඳහා තෝරාගෙන ඇති බැවින් වේලුපුල්ලේ වත්ත නිවැසියන්ට එයින් ඉවත්ව ඉඩමේ හිස් බුක්තිය භාරදෙනලෙස නාගරික සංවර්ධන අධිකාරිය (නාසඅ) මගින් පසුගිය මැයි මාසයේදී දැනුම් දුන්නේය. මාලිගාවත්ත, ප‍්‍රදීපා මාවතේ ඉදිකල මහල් 13කින් යුතු නිවාස සංකීර්නයෙන් වර්ග අඩි 350ක නිවාසයක් බැගින් ලබාදීමට විදුලිය සබඳතා සඳහා මුලින් රුපියල් 11,500ක් ගෙවන ලෙසත් පසුව මසකට රුපියල් 2,800 බැගින් වසර තිහක් කුලී ගෙවිය යුතු බවත් නිවැසියන්ට දන්වා ඇත.

වත්තට බැකෝ යන්ත‍්‍රයක් ගෙනවිත් කඩා දමන බවට කල ඇඟවුම් යටතේ වර්ග අඩි 100 සිට 150 පමන වන කුඩා පැල්පත් වල පදිංචිව සිටි පවුල් 47ක් නිවාස අතහැර පසුගිය අගෝස්තු මාසයේදී මාලිගාවත්ත මහල් නිවාසයන්ට ගියත් ඉතිරි පවුල් 28 ඉවත් වීම ප‍්‍රතික්ෂේප කර සිටිති. නාසම සැප්තැම්බර් 26 දින ලිපි මගින් එම නිවැසියන්ට දන්වා ඇත්තේ “මෙම අධිකාරිය මගින් පරිහරන කාඞ් පත් හෝ වෙනත් ලිපිලේඛන ලබාදී ඇත්නම් ඒවා මෙම ලිපිය එවූ දිනයේ සිට අවලංගු” බවය.

සැප්තැම්බර් 15 දින ලෝක බැංකු වාර්තාවක මහා නගර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ප‍්‍රධාන නගරයන්හි දුගී නිවාස ඉවත් කිරීමේ “අභියෝගය” ගැන මෙසේ ඇඟවුම් කරයි: “නාගරීකරනය ලංකාවේ නගරවල ඉහල මට්ටමක සංවර්ධනයක් ඇතිකර තිබෙන නමුත්, රටේ ජනගහනයෙන් සියයට 40ක් වන දුගීන්ගෙන් සියයට 50ක් පමන ජීවත් වන්නේ නාගරික ප‍්‍රදේශවල කිලෝ මීටර් 30ක් ඇතුලත ය. එහි ප‍්‍රතිපලයක් ලෙස විශාලතම නගරය වන කොලඹ දුගී හා අසරන ජනයාගෙන් විශාල සංඛ්‍යාවක් ජීවත්වෙති.” වාර්තාව තව දුරටත් සඳහන් කරන්නේ ලංකාව “නාගරික ඉදිරි දැක්ම ක්‍රියාත්මක කිරීමට වැදගත් පියවර ගනිමින් සිටිතත්, නාගරික සංවර්ධනයට බරපතල අභියෝගයන් මතුවෙමින් පවතී.”

මාලිගාවත්ත මහල් නිවාසයන්හි පදිංචියට ගිය පවුල් කියා සිටින්නේ ඒවායේ ජීවත්වීම දුෂ්කර බවය. මහල් 13කින් යුතු නිවාස සංකීර්නයට ඇත්තේ එක විදුලි සෝපානයකි. එකිනෙකට මුහුනලා තනා ඇති නිවාස වෙන්වන්නේ පටු තීරුවකිනි. නිවාසයන් කුඩා වීම ද ගෙවත්තක් නොමැති වීමෙන් ද දුෂ්කරතා මධ්‍යයේ තමන් ජීවත් වන බව ඔවුහු පවසති.

පරම්පරා 4ක් තිස්සේ ඔවුන් වේලුපුල්ලේ වත්තේ පදිංචිව සිටිති. 1970 ගනන්වල නඩු තීන්දුවකින් බදු මුදලකට යටත්ව මෙහි පදිංචි වී සිටීමට මොවුන්ට අවසර දීමට මුල් අයිතිකරුවන් එකඟවී ඇත. නාසම ඉඩම තමන් සතු බව පැවසුවත්, නාගරික සංවර්ධන අධිකාරිය අරඹන්නේ 1980 ගනන්වල ප්‍රේමදාස පාලනය යටතේ බවත්, ඊට බොහෝ කලකට පෙරසිට තම වැඩිහිටියන් මෙම ඉඩමේ පදිංචිවී සිටිය බවත් නිවැසියෝ පෙන්වාදෙති.

මාලිගාවත්ත මහල් නිවාස පිලිනොගැනීමට තවත් හේතු ද පවුල් 28 සාමාජිකයෝ ඉදිරිපත් කරති. තමන් දැන් පදිංචිව සිටින නිවාස වර්ග අඩි 350 ට වඩා විශාල වන අතර ඇතැම් ඒවා වර්ග අඩි 700 ටද වැඩිය; මහල් නිවාසයන් ප‍්‍රමිතියට ගොඩනගා ඇතැයි යන්න ගැන විශ්වාසයක් නැත; තමන් ගොඩ නගා ගත් නිවාසයන්ට යටකල මුදල ගැන කිසිදු තක්සේරුවක් නොමැතිව වසර 30ක් පුරා කුලී අය කිරීම; තට්ටු 13 ක් ඇති මහල් නිවාසයේ ඇති විදුලි සෝපාන පාවිච්චිය ගැන වියපත් අය නොදැනීම; තම ජීවනෝපායන් රාජගිරිය අවට ගොඩනැගී ඇති බැවින් මාලිගාවත්තේ සිට ඒවායේ නිරතවීමේ අපහසුතාව, ඔවුන් දක්වා සිටින එම සාධාරන හේතුන්ය.

වේලූපුල්ලේ වත්ත නිවාස 28ක නිවැසියන් ගේ සමිතිය නිවාස ඉවත් කෙරෙන අනෙක් වතු සමග එක්වී ලොකු උද්ඝෝෂනයක් කිරීම මගින්, මාධ්‍ය අවධානය මෙම ප‍්‍රශ්නයට ලබාගත හැකි බවත් ඒ හරහා ආන්ඩුවට බලපැම් දැමීමෙන් යම් විසඳුමක් ලැබිය හැකි බවත් කියා සිටියි. තවදුරටත් ඔවුන් පවසන්නේ නඩු මාර්ගයෙන්, ඉවත්වීම කල් දමා ගැනීමට හැකි බවය.

තර්ජනයට මුහුන දී සිටින නිවැසියන් ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) නාගරික මන්ත්‍රීවරයෙකු හරහා එම පක්ෂයේ නායකයකු වන නීතීඥ සුනිල් වටගල හමුවී ඇත. වත්මන් ආන්ඩුව බලයට ගෙන ඒමට ඍජුව ම සහය දුන් පක්ෂයක් වන ජවිපෙ මහා නගර ව්‍යාපෘතියට පක්ෂපාතීය. නිවාස කැඩීමට එරෙහිව නඩු දැමීමේ ද ආන්ඩුවට බලපෑම් දමා එහි ප‍්‍රතිපත්ති වෙනස්කරගැනීමේ ද වැඩ පිලිවෙලක් යෝජනා කරති.

මෙම වැඩපිලිවෙල මහජන විරෝධය පීලිපැන්නවීමට එල්ල වුවකි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව සමයේ පටන් කොලඹ දුගී නිවැසියන්ගේ අත්දැකීම වී ඇත්තේ බලපෑම් දැමීමෙන් හෝ නඩු දැමීමෙන් ආන්ඩුවේ වැඩපිලිවෙල වෙනස් කරගත නොහැකි බවයි. විදේශීය ආයෝජකයන් කැඳවා ගැනීමේ ආන්ඩුවේ ප‍්‍රතිපත්තිවල මූලික පියවරක් ලෙස බස්නාහිර පලාත් මහා නගර ව්‍යාපෘතිය ක්‍රියාවට දැමෙන්නේ ජාත්‍යන්තර බැංකුකරුවන්ගේ විධානය මතය.

රාජපක්ෂ ආන්ඩුවේ කොලඹ සංවර්ධන ව්‍යාපෘතිය ද වත්මන් ආන්ඩුවේ බස්නාහිර මහා නගර ව්‍යාපෘතිය ද ලංකාව දකුනු ආසියාවේ ප‍්‍රධාන වෙලඳ, මූල්‍ය හා සංචාරක මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කිරීම අරමුනු කර ගත් එකකි. ආන්ඩු දෙකම දුගීන්ගේ වියදමින් මෙම ව්‍යාපෘති ක්‍රියාවට දැමීම සැලසුම් කලේය.

2013 වසරේදී සිය නිවාස හා ව්‍යාපාරික ස්ථාන වලින් ඉවත් වන ලෙසට නාසඅ විසින් දී තිබුනු නියෝගයකට එරෙහිව කොම්පඤ්ඤ වීදියේ නිවැසියන් පිරිසක් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරනයේ ගොනුකර තිබුනි. අගවිනිසුරු මොහාන් පීරිස් සැප්තැම්බර් 28 දා තීන්දුව දෙමින් මෙසේ පැවසීය. “කොලඹ දැන් සිදුකෙරෙමින් තිබෙන සංවර්ධන කටයුතු වලට කිසිවෙකුත් බාධා නොකල යුතුය.” මෙයට වෙනස් ප‍්‍රතිචාරයක් අද ලබෙන්නේ ද නැත.

මේ වසර අවසාන වන විට කොලඹ නගරයේ බිම් විශාල ප‍්‍රමානයක දුගී නිවාස ඉවත්කර ගැනීමට සූදානම්ව සිටින මුත් තවමත් ජීවත්වීමට දුෂ්කර මහල්නිවාස පවා ගොඩනගා ඇත්තේ සීමා සහිත ප‍්‍රමානයකි. ආන්ඩුවේ නිලධාරියෙකු ඬේලි නිව්ස් පුවත්පතට සැප්තැම්බර 19 දින මෙසේ පැවසුවේය: “අඩු ආදායම් ලාභී [කොලඹ නගරයේ] ජනයා සඳහා නිවාස ඒකක 60,000ක් අවශ්‍යය. ඊලඟ අවුරුදු තුනේ ගෙවල් 25,000 සුදානම් වෙනු ඇත.” ඉන් පන්දහසක් සම්පූර්න කර පදිංචියට ලබාදී ඇති අතර 15,000 තැනෙමින් පවතී. මෙම සඳහන් කිරීමට අනුව නිශ්චිතවම නිවාස ගොඩනැගීමක් සිදුවූවත් වසර තුනක් ඇතුලත ගොඩනැගෙන්නේ නිවාස 30,000 පමනි. මෙම සංඛ්‍යා ලේඛනවලින් පෙන්නුම් කෙරෙන්නේ දුගී නිවැසියන් මුහුනදෙන අවිනිශ්චිත තත්වයයි.

තවද නාසඅ දුගී ජනයා නිවාසවලින් බලහත්කාරයෙන් ඉවත්කර ඔවුනට මහල් නිවාස ඉහල මිලකට විකිනීමට සුදානම් වෙයි. රූපසිංහ තවදුරටත් පැවසුවේ “මෙම නිවාස විකුනනු ලබන්නේ රුපියල් මිලියන 4-5ක් වන වෙලඳපොල මිලට වඩා අඩු රුපියල් මිලියන එකකට” බවයි. “පදිංචියට සුදුසුකම් ඇති අයගෙන් බොහෝ දෙනාට එම මිලට නිවාස ලබා ගැනීමට හැකියාවක් නැත” යි ඔහු කීවේය. ආන්ඩුව එනිසා නිවාස ගැනීමට බැංකු නය දීමේ වැඩපිලිවෙලක් සකසන බව පැවසේ. මෙහි තේරුම නම්, ආන්ඩුව සූදානම් වන්නේ, තමන් දුක් මහන්සියෙන් තනාගත් නිවාසවලින් දොට්ට දැමෙන නිවැසියන් බැංකුවල නයකරුවන් බවට පත් කිරීමට බවයි.

බරපතල ආර්ථික අර්බුදයක තතු යටතේ සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ මත තව දුරටත් සුබසාධන සේවා, නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවය අහෝසි කිරීමේ ද පුද්ගලීකරනය පුලුල් කිරීමට ද ක්‍රියා කරන අතර විදේශ හා දේශීය ආයෝජකයන් ට වාසිදායක කොන්දේසි හැදීමට කැපවී සිටියි. මහා නගර ව්‍යාපෘතිය තුල දුගීන්ගේ අයිතීන් තලා දැමීම මෙම වැඩපිලිවෙලේම කොටසකි. කම්කරු පන්තියේ ද දුගී නිවැසියන්ගේ ද අයිතීන් දිනා ගත හැක්කේ සමාජවාදී ප‍්‍රතිපත්තීන් ක්‍රියාවට දමන කම්කරු ගොවි ආන්ඩුවක් ගොඩ නගා ගැනීමෙන් පමනි.

Share this article: