චෙන්නායිහි ලෝසවෙඅ/හජාජාක ආධාරකරුවන් කන්ඩායම පවත්වන රැස්වීමට ශී‍්‍ර ලංකාවේ සසප ප‍්‍රධාන ලේකම්ගේ සුභපැතුම්- ලෝක සමාජවාදී වෙබ් අඩවිය

 

චෙන්නායිහි ලෝසවෙඅ/හජාජාක ආධාරකරුවන් කන්ඩායම පවත්වන රැස්වීමට ශී‍්‍ර ලංකාවේ සසප ප‍්‍රධාන ලේකම්ගේ සුභපැතුම්

Greetings to Chennai meeting from SEP (Sri Lanka) general secretary

විජේ ඩයස් විසිනි, 2016 ඔක්තෝබර් 10

හිතවත් සහෝදර/සහෝදරියනි

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) නිකුත් කර ඇති සමාජවාදය සහ යුද්ධයට එරෙහි සටන යන ප‍්‍රකාශනය සාකච්ඡා කිරීමටත් අධිරාජ්‍යවාදී යුද ධාවනය සමග ඉන්දියානු ආන්ඩුව පෙලගැසීමට විරුද්ධ වීමටත් ලෝසවෙඅ/හජාජාක ආධාරකරුවන් විසින් පවත්වන ප‍්‍රසිද්ධ රැස්වීමට, ශී‍්‍ර ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප), උනුසුම් විප්ලවවාදී සුභපැතුම් පිරිනමයි.

ජාත්‍යන්තර සමාජවාදී කි‍්‍රයාමාර්ගයක පදනම මත ඉන්දීය කම්කරු පන්තිය හා තරුනයින්, වැඩෙන අධිරාජ්‍යවාදී යුද ධාවනයට විරුද්ධ ව ලෝක කම්කරු පන්තිය සමග ඒකාබද්ධ කිරීම ඉලක්ක කරගෙන පැවැත්වෙන ඔබගේ රැස්වීම ඉමහත් වැදගත් කමක් දරයි.

ශී‍්‍ර ලංකාවේ සසප ද ඇතුලු හජාජාක හා එහි ශාඛා තම සියලු දේශපාලන වැඩවල හරිමැද තබා ඇත්තේ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලය යි. පෙබරවාරි 18 දින හජාජාක ප‍්‍රකාශනය තුල විස්තාරනය කර ඇති පරිදි, අපගේ අරමුන, ලෝක යුද්ධයක තර්ජනයේ මූලය වන ලෝක ධනවාදී පර්යාය පෙරලා දැමීම මගින් යුද තර්ජනය පරාජය කිරීම සඳහා, ගෝලීය සමාජවාදී යුද-විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම යි.

දෙවන ලෝක යුද්ධයෙන් ඉක්බිති ව සියලු වර්ගයේ සංශෝධනවාදීන්ට විරුද්ධ ව ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විසින් ආරක්ෂා කොට ඇති, අධිරාජ්‍යවාදී පර්යායට එක ම විකල්පය වන නො නවතින විප්ලව න්‍යායේ පදනම මත වර්ධනය කෙරෙන ලෝක සමාජවාදී ඉදිරිදර්ශනයේ ඓතිහාසික වලංගු භාවය, වසර අටකට පෙර ඇරඹුනු ගෝලීය ධනවාදයේ ගැඹුරු වන අර්බුදය හමුවේ මුලුමනින් ම සනාථ වේ.

වසර විසිපහකට පෙර සෝවියට් සංගමය බිඳ විසුරුවනු ලැබීම, ධනවාදයේ දාසයන් විසින් කියා පෑ පරිදි නියෝජනය කලේ, සමාජවාදයේ අසාර්ථකත්වය නො ව, ජාතිකවාදී ස්ටැලින්වාදී කි‍්‍රයාමාර්ගයේ ප‍්‍රතිගාමී ස්වභාවයෙහි ආන්තික ප‍්‍රකාශනයක් යන ජාත්‍යන්තර කමිටුවේ විශ්ලේෂනයෙහි නිරවද්‍යතාව ද මෙ මගින් සනාථ කර ඇත. අධිරාජ්‍යවාදී බලවතුන්, මොස්කව් ස්ටැලින්වාදී නිලධාරී තන්ත‍්‍රය සහ ඉන්දියානු උප-මහාද්වීපය වැනි විජිත රටවල ජාතික ධනේශ්වරයේ සහයෝගිතාවෙන් ස්ථාපනය කරන ලද පශ්චාත්-යුද සමථයේ අතිමූලික පරස්පර විරෝධයන් අද වන විට ලෝකයේ සෑම කොනක ම පිපිරී යමින් පවතී.

ජාත්‍යන්තර කමිටු ප‍්‍රකාශනය අවධාරනය කරන පරිදි, මෙම වර්ධනයන්, ලෝකය ව්‍යසනකාරී ගෝලීය ගැටුමක අද්දරට යලි ඇද දමා තිබේ. සිරියාව තුල මිලිටරි මෙහෙයුම්වල තීව‍්‍රතාව, එක්සත් ජනපද හා යුරෝපා අධිරාජ්‍යවාදී බලවතුන් එක් පසෙක ද රුසියාව අනෙක් පස ද සිටින, පූර්න පරිමාන ගිනි ජාලයක් ඇවිල යාමේ තර්ජනය මතු කරයි. එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ “ආසියාවට හැරීමේ” පිලිවෙත, ලෝකය මත එරටෙහි ආධිපත්‍යයට තර්ජනයක් ලෙස සැලකෙන චීනයට එරෙහි ප‍්‍රකෝපකරනයන් නිර්මානය කිරීම සඳහා නැගෙනහිර හා ගිනිකොනදිග ආසියාතික රටවල් ගනනාවක් ම පොලඹවයි..

ඔබගේ රැස්වීම චෙන්නායිහි පැවැත්වෙන අතරතුර ඉන්දු උප-මහාද්වීපයේ උතුරෙහි, න්‍යෂ්ටික අවි දරා සිටින, ඉන්දියාව හා පකිස්ථානය අතර මිලිටරි ගැටුමක් දැනටමත් ඇවිලෙමින් තිබේ.

මෙම ගැටුමේ සමස්ත පරිමානය තක්සේරු කල හැක්කේ, එය ගෝලීය වර්ධනයන්ගේ සන්දර්භයෙහි තබා විශ්ලේෂනය කිරීමෙන් පමනි. “අතීතයේ දීට වඩා බොහෝසෙයින් අපගේ යුගයේ දී නිර්ධන පන්තියේ ජාතික දිශානතිය ගලා ආ යුත්තේ හා ගලා ආ හැක්කේ ලෝක දිශානතියකින් මිස එහි අනෙක් අතට නො වේ” යයි තුන්වන ජාත්‍යන්තරයේ ස්ටැලින්වාදී කි‍්‍රයාමාර්ගය විවේචනය කරමින් 1928 දී ට්‍රොට්ස්කි අවධාරනය කලේ ය. “කොමියුනිස්ට් ජාත්‍යන්තරවාදය ද ජාතික සමාජවාදයෙහි සියලු රූපාකාරයන් ද අතර අතිමූලික වෙනස පවත්නේ මෙහි ය” යනුවෙන් ද ඔහු අවධාරනය කලේ ය.

ලෝකයේ අනෙක් සියලු කලාප මෙන් ම දකුනු ආසියාව ද වැඩෙන ගෝලීය භූ-දේශපාලනික සුලිය තුලට ඇදගනු ලැබෙමින් පවතී. ජම්මු කාෂ්මීරයේ ඉන්දියානු මිලිටරියට අයත් ඌරි කඳවුරට එල්ල වූ සන්නද්ධ ප‍්‍රහාරයෙන් පසු ව, ඔබාමා පරිපාලනයේ ආධාරය සහිත ව මෝදි ආන්ඩුව එය පාවිච්චි කරන්නේ, දශක ගනනාවක් තුල නො දුටු පරිමානයෙන් ආතතීන් ඉහල නංවමින් පකිස්ථානයට එරෙහි මිලිටරි ආක‍්‍රමනයක් සඳහාය.

ගැටුම පුපුරා යාම මගින් උප-මහාද්වීපයේ මිලියන ගනන් ජනයාට මාරක විපාක ගෙන එමින් න්‍යෂ්ටික අවි දරන රටවල් අතර මුල් ම මිලිටරි ගැටුම වන ඉන්දු-පකිස්ථාන යුද්ධයක තර්ජනය මතු කරයි. එක්සත් ජනපදය, චීනයට එරෙහි තම යුද උත්සන්නිය තුල ඉදිරි පෙලේ රාජ්‍යයක් බවට ඉන්දියාව ඇද ගන්නා තතු යටතේ, එවැනි යුද්ධයක් එක්සත් ජනපදය ඉන්දියාවත් චීනය පකිස්ථානයත් සමග පෙලගැසෙන ලෝක යුද්ධයක් බවට ක්ෂනික ව වර්ධනය විය හැක.

2014 මැයි මාසයේ මෝදි ආන්ඩුව බලයට ආ තැන් පටන්, සිවිල් න්‍යෂ්ටික ගිවිසුමකට එලැඹීම හා නවීන ආරක්ෂක උපකරන හවුලේ වර්ධනය කිරීම හා නිපදවීම ඇතුලු මිලිටරි මූලෝපායික වාසි මාලාවක් ඉන්දියාවට ලබා දෙමින් වොෂින්ටනය කි‍්‍රයා කොට ඇත්තේ, චීනයට එරෙහි සිය යුද සූදානම තුලට ඉන්දියාව වඩ වඩාත් සමීප කර ගැනීමට යි. එක්සත් ජනපදයට ඉන්දියානු මිලිටරි කඳවුරු තුලට ප‍්‍රවේශ වීමේ ඉඩ සලසමින්, අගෝස්තු අග මෝදි ආන්ඩුව, ඔබාමා පරිපාලනය සමග අත්සන් කල සම්පාදක හුවමාරු අවබෝධතා ගිවිසුම (ලෙමෝවා) දෙරට අතර සමීප මූලෝපායික සබඳතා දෙසට තැබුනු ප‍්‍රධාන පියවරකි. කලාපය තුල සිය අධිපතිවාදී ස්ථානය අවධාරනය කරමින්, පකිස්ථානය බිය වද්දා, එරටට තර්ජනය කිරීම සඳහා ඉන්දියාවට දිරිය දෙන දැවැන්ත සාධකයක් වන්නේ මෙය යි.

සීපීඅයි හා සීපීඅයිඑම් යන ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂ සහ ඒවායේ ව්‍යාජ-වාම හෙංචයියන් විසින් තොරොම්බල් කරන ප‍්‍රතිගාමී මිථ්‍යාව, එනම්, ජාතික ධනේශ්වරයට විජිතවාදයෙන් ඔබ්බට ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිවර්තනයක් සිදුකල හැකි ය යන්න කීතු කොට දමා ඇති මෙම වර්ධනයෝ, කලාපය තුල සියලු නො විසඳුනු ඓතිහාසික ප‍්‍රශ්නවල දේශපාලන වර්නාවලිය ම ඉස්මතු කර තිබේ. ඉන්දියාවේ ධනේශ්වර කොංග‍්‍රසය හා පකිස්ථානයේ මුස්ලිම් ලීගය මෙන් ම ශී‍්‍ර ලංකාවේ ධනපති පක්ෂ දෙක ද තම පාලනයේ 70 වසර තුල තම අධිරාජ්‍යවාදී හාම්පුතුන් සමග එලැඹුනු කුමන්ත‍්‍රනකාරී ගනුදෙනු මිලියන ගනන් වැඩකරන ජනයාට අත්කර දී තිබෙන්නේ කුමක් ද? එය නම් තවත් අධිරාජ්‍යවාදී යුද්ධයක හා අත්‍යන්ත සමාජ කාලකන්නිකමේ ගොදුරු බවට පත්වීමේ තර්ජනය පමනි.

කම්කරු, පීඩිත හා තරුන ජනතාව අද මුහුනදී සිටින ඓතිහාසික ප‍්‍රශ්න, 2011 සසප ආරම්භක සම්මේලනයේ දී සම්මත කල ශී‍්‍ර ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයෙහි ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් නමැති කෘතිය තුල විස්තර කරනු ලැබේ. 1947-48 සමයේ ඉන්දියාව, පකිස්ථානය හා ශී‍්‍ර ලංකාව ලද නාමික නිදහස ගැන සාකච්ඡා කරන එම ලියවිල්ල, ඒ සමයෙහි හතරවන ජාත්‍යන්තරයේ ඉන්දු උප-මහාද්වීපික ශාඛාව වූ බොල්ශෙවික් ලෙනින්වාදී පක්ෂය (බීඑල්පීඅයි) ගත් නිවැරදි සප‍්‍රතිපත්තික ආස්ථානය ගැන සඳහන් කරයි.

1948 ජනවාරි මාසයේ කල්කටාහි පැවති ප‍්‍රසිද්ධ රැලියක දී බීඑල්පීඅයි නායක කොල්වින් ආර්. ද සිල්වා පහත දැක්වෙන දුරදක්නා අදහස් පල කලේ ය: “එක් අතකින් ඉන්දියාව නමැති ජීවමාන ශරීරය කුරිරු ලෙස කපා ලීමත්, අනෙක් අතින් ජීවමාන ජාතිකත්වයන් දෙකක් (පන්ජාබ් හා බෙංගාලි) කපා වෙන් කිරීමත් ඉදිරිපත් කරන ලද්දේ එක් පැත්තකින් වර්ගවාදී ගැටලුවට විසඳුමක් ද තවත් පැත්තකින් නිදහසට මග විවර කිරීමක් ද වසයෙනි. මේ දෙක ම බොරු බව දැන් ඔප්පු වී ඇත. බෙදීම එක් පැත්තකින් මහජනතාව මත අධිරාජ්‍ය වහල් භාවය අලුතින් තහවුරු කිරීමේ මාධ්‍යයකි...අනෙක් පැත්තෙන් එහි අරමුන, අභ්‍යන්තර වර්ගවාදී හැඟීම් අවුස්සා සිවිල් කම්පනයන් ඉවතට හැරවීම සඳහා රාජ්‍ය දෙක අතර යුද්ධ ඇවිලවීම යොදා ගත හැකි ය යන මතය පිලිගැන්නවීමට ය.”

“ද සිල්වාගේ අනතුරු ඇඟවීම් සැබවින් ම අනාවැකි බඳු විය” යනුවෙන් සසප ලියවිල්ල සඳහන් කලේ ය. “ඉන්දියාව බෙදාලීම, ඉන්දියාව සහ පකිස්ථානය අතර ඇති කල ප‍්‍රතිගාමී භූ-දේශපාලන අරගලය, යුද්ධ තුනක් සහ ගනන් නැති යුද අර්බුද නිර්මානය කරමින්, ප‍්‍රානසම ආර්ථික සම්පත් විනාශ කර දමමින්, අද මුලු මහත් දකුනු ආසියාවේ ම ජනතාව න්‍යෂ්ටික ගිනි ජාලාවක් තුල වැනසී යාමේ තර්ජනයට ලක් කර ඇතැ” යි සසප ලියවිල්ල ඊට නො අඩු ලෙස පුරෝකථනය කලේ ය.

ඌරි කඳවුරට එල්ල වූ ප‍්‍රහාරය ගැන පකිස්ථානයට දොස් පවරමින්, “හදිසි ප‍්‍රහාර”, කෲස් මිසයිල ප‍්‍රහාර, බෙදුම්වාදී කඳවුරු විනාශ කිරීම සඳහා පකිස්ථාන භූමිය තුලට කඩා වැදීම හා ඌරි ප‍්‍රහාරයට වගකිව යුත්තන්ට “දඬුවම් කිරීමේ” කඩතුරාව යටතේ දශක ගනනක් පැරනි ඉන්දු ගංඟාවේ ජල ගිවිසුම අත්හිටුවීම ඇතුලු විවිධ ආක‍්‍රමනික විකල්ප, ඉන්දියානු පාලක ප‍්‍රභූව විසින් සලකා බලමින් සිටී. කොංග‍්‍රසය, ස්ටැලින්වාදී පක්ෂ, විවිධාකාර චින්තන පර්ෂද සහ ජාතික හා ප‍්‍රාදේශීය මාධ්‍ය යන ඉන්දියානු දේශපාලන සංස්ථාපිතයේ සියලු කොටස් උන්මාදනීය යුද ඝෝෂාවේ නියැලී සිටිති.

මෙයට ප‍්‍රතිචාර වශයෙන් පකිස්ථානයේ නවාස් ෂරීෆ් ආන්ඩුව හා මිලිටරි නිලධාරීන් ද නිරත ව සිටින්නේ, ඉන්දියාවට එරෙහි ව ප‍්‍රතිගාමී හා යුද උන්මාදී උද්ඝෝෂනයක ය. ඉන්දියානු ආන්ඩුවේ කෲර මිලිටරි මර්දනයෙන් බැටකන ඉන්දියානු කාෂ්මීරයේ මුස්ලිම්වරුන් ගැන ෂරීෆ් කිඹුල් කඳුලු හෙලද්දී රාවල්පින්ඩි මිලිටරි නිලධරය ඉන්දියාවට විරුද්ධ ව යුද ඝෝෂා නංවති.

ශී‍්‍ර ලංකාවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ හා අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ආන්ඩුව ද පකිස්ථානය විසින් සිදු කලේ යයි කියන ත‍්‍රස්තවාදය හෙලා දැකීමට මුවා වී ඉන්දියානු ආන්ඩුවේ යුද උන්මාදය පිටුපස ගාල් වී තිබේ. හිටපු ජනාධිපති රාජපක්ෂ චීනය සමග සමීප සබඳතා ගොඩනගා ගනිමින් සිටි තතු යටතේ එක්සත් ජනපදය විසින් දියත් කෙරුනු තන්ත‍්‍ර මාරු මෙහෙයුමක පිටුබලයෙන් වර්තමාන ශී‍්‍ර ලංකාවේ ආන්ඩුව බලයට පත් කෙරුනි.

සිංහල හා දෙමල ධනේශ්වර දේශපාලන පක්ෂ විසින් වර්ගවාදී උද්ඝෝෂනයේ නව රැල්ලක් දියත් කරති. ධනපති බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය පරාජයට පත් ව වසර හතක් ගත ව ඇතත් දෙමල සුලුතරයට එරෙහි පීඩනය හෝ ඔවුන් සිටින ප‍්‍රදේශවල මිලිටරිය රැඳවීම කිසිදු ලෙසකින් හෝ අඩු කොට නැත. වාඩිලාගෙන සිටින මිලිටරිය දෙමල පවුල් දහස් ගනනක් තම නිවාස හෝ ඉඩම් වෙත ආපසු ඒම තවමත් වලක්වයි. දේශපාලන සිරකරුවන් විශාල ගනනක් තවමත් නිදහස් කර නැති අතර අතුරුදන් වූවන් පිලිබඳ කිසිදු සොයා බැලීමක් සිදු නො කෙරේ.

දෙමල වැඩ කරන ජනතාවගේ ගැටලු ගසා කමින් දෙමල වර්ගවාදය මත පදනම් වූ විරෝධතා ව්‍යාපාරයක් ඇරඹීම පිනිස මෑත දී උතුරු පලාත් මහ ඇමති සී. වී. විග්නේස්වරන්, දෙමල ජනතා සභාව (ටීපීසී) නම් නව සංවිධානයක් අටවාගෙන ඇත. පාර්ලිමේන්තුවේ නිල විපක්ෂය ලෙස කටයුතු කරමින්, දෙමල ජාතික සන්ධානය වන නිල ධනේශ්වර පක්ෂය සිරිසේන-වික‍්‍රමසිංහ ආන්ඩුවට සහයෝගය දෙයි. පොදු ප‍්‍රතිගාමී වේදිකාව බෙදා හදා ගන්නා දෙමල ප‍්‍රභූවේ කන්ඩායම් දෙක ම එක්සත් ජනපදය ඇතුලු අධිරාජ්‍යවාදී බලවතුන් ඉදිරියේ කංකෙඳිරි ගාන්නේ, දෙමල ගැටලුවලට “විසඳුමක් සෙවීම” සඳහා මැදිහත් වන ලෙස ආයාචනා කරමිනි.

ආන්ඩුවේ පක්ෂ ද ඇතුලත් සිංහල වර්ගවාදියෝ, ආන්ඩුවේ කප්පාදු පියවරයන්ට හා ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී පිලිවෙත්වලට එරෙහි ව වැඩ කරන ජනයා හා තරුනයන් අතර වැඩෙන සටන්කාමීත්වය අපසරනය කොට දිවයිනේ දකුනු ප‍්‍රදේශවල සිංහල ස්වෝත්තමවාදය ඇවිලවීම සඳහා ටීපීසීයේ වර්ගවාදී උද්ඝෝෂනය ප‍්‍රයෝජනයට ගනිති.

මේ සියලු වර්ධනයන් ඉස්මතු කරන කේන්ද්‍රීය කාරනාව, වාර්ගික සීමා කපාගෙන යන, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩු පිහිටුවීම සඳහා දකුනු ආසියාවේ කම්කරු පන්තියට අවශ්‍ය විකල්ප දේශපාලන ඉදිරිදර්ශනයක් පිලිබඳ ප‍්‍රශ්නය යි. මෙයට එක ම පිලිතුර වන්නේ ලෝක සමාජවාදී සමූහාන්ඩු සංගමයක නොවෙන්කල හැකි කොටසක් ලෙස, දකුනු ආසියානු සමාජවාදී සමූහාන්ඩුවක් ගොඩනැගීමේ ඉදිරිදර්ශනය මත පදනම් වන ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම යි.

ලොව පුරා වැඩ කරන ජනතාව, පීඩිත ප‍්‍රජාවන් හා තරුනයන් බලමුලු ගැන්වීමට හජාජාක සටන් වදින්නේ මෙම ඉදිරිදර්ශනය මත යි. අපගේ විශ්ලේෂන ඉදිරිපත් කෙරෙන ජාත්‍යන්තර මාධ්‍යය වන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය යි. යුද්ධයට හා සමාජ ව්‍යසනයට එරෙහි වන සියලු දෙනාගෙන් අප ඉල්ලා සිටින්නේ, ඉන්දියාව තුල ට්‍රොට්ස්කිවාදී විප්ලවවාදී පක්ෂය ගොඩනැගීමේ සටනට එක්වන ලෙස යි.

විජේ ඩයස්

ප‍්‍රධාන ලේකම්, සසප - ශී‍්‍ර ලංකාව

Share this article: