ඉන්දීය ආරක්ෂක ඇමති පකිස්තානයට “දඬුවම් දෙන” බවට යලි දිව්රයි

India’s Defence Minister reaffirms vow to "punish" Pakistan

කේ. රත්නායක හා කීත් ජෝන්ස් විසිනි, 2016 සැප්තැම්බර් 23

ඉන්දියාවේ පාලනය යටතේ පවතින කාෂ්මීරයේ ඌරි හමුදා කඳවුරට කාෂ්මීරයේ ඉස්ලාමිය කැරලිකරුවන් විසින් පසුගිය ඉරිදා එල්ල කෙරුනු ප‍්‍රහාරය සම්බන්ධයෙන් පැහැදිලිවම පකිස්තානයට “දඬුවම් දීමට” නවදිල්ලි ආන්ඩුව බලාපොරොත්තු වන බව, ඉන්දීය ආරක්ෂක ඇමති මනෝහාර් පරිකාර් යලි පවසා ඇත.

බදාදා මාධ්‍ය සාකච්ඡාවකදී පරිකාර් කියා සිටියේ, “මීට වග කිව යුත්තන් දඬුවම් නොලබා නොසිටිනු ඇතැ”යි යන අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප‍්‍රතිඥාව “හුදු ප‍්‍රකාශයක්”ව පවතිනු නැති බව තමාට විශ්වාස බවයි.

“දඬුවම් දෙන්නේ කෙසේද යන්න අප විසින් බේරුම් කර ගත යුතුව ඇතැ”යි පැවසූ ඔහු වැඩි දුරටත් පැවසුවේ “අප මෙය ඉතා බැරෑරුම් කරුනක් ලෙස සලකන” බවයි.

පකිස්තානයට එරෙහිව කෲස් මිසයිල ප‍්‍රහාර එල්ල කිරීමේ හෝ දේශසීමාව හරහා ආක‍්‍රමනය කිරීමේ ක‍්‍රියාමාර්ගවල සාර්ථකත්වය පිලිබඳව සහතික වීමට හමුදාවට නොහැකි වීමත්, පකිස්තානය විසින් එල්ල කෙරෙන ප‍්‍රතිප‍්‍රහාරයක් පසුබැස්සවීමට හමුදාවන් ප‍්‍රමානවත් සූදානමක නොසිටීමත් හේතුවෙන් එවැන්නකට අන දීමක් මෝදි රජය විසින් සිදු නොකෙරෙනු ඇතැයි ඉන්දීය මාධ්‍යයන්හි පල වූ වාර්තාවන් ප‍්‍රතික්ෂේප කිරීමට පරිකාර් ඉදිරිපත් විය.

ඉන්දියාවේ “තියුනු ඉලක්කගත ප‍්‍රහාරයන්” හෝ වැටලීම්, පූර්න පරිමානයේ යුද්ධයක් කරා ක්ෂනිකව වැඞී යාමේ තත්වයක් තුල තමන්, මෑතකදී ස්ථානගත කල උපායාත්මක න්‍යෂ්ටික අවි භාවිත කරන බවට පකිස්තානය විසින් යලි යලිත් කෙරෙන තර්ජන; රජයේ අධිෂ්ඨානය ප‍්‍රකාශයට පත් කිරීමක් විය හැකි වූත්, සැබවින්ම එහි ඉමහත් හා සාපරාධී නොතැකීම හා අමනකම ප‍්‍රකාශයට පත් කලා වූත් නිවේදනයක් මඟින් බැහැර කිරීමට ඉන්දීය ආරක්ෂක ඇමතිවරයා ක‍්‍රියා කලේය. “සැබැවින්ම ශක්තිය ඇති තැනැත්තා සාමාන්‍යයෙන් නගන්නේ අඩු හඬකි. හිස් භාජන වැඩි ඝෝෂාවක් නගයි” යනුවෙන් පරිකාර් පැවසීය.

මෝදි හා 1990 ගනන්වල දී බොහෝ දුරට ඉන්දියානු දේශපාලනයේ වාටියට පමනක් සීමා වී සිටි ඔහුගේ විසකුරු උග‍්‍ර දක්ෂිනාංශික හින්දු ස්වෝත්තමවාදී පක්ෂය වන භාරතීය ජනතා පක්ෂය (බීජේපී) 2014 දී බලයට පත් කරන ලද්දේ ලෝක ආර්ථික අර්බුදයෙන් වියවුල් ව ගිය ඉන්දීය ධනපති පන්තිය විසිනි. එහි අපේක්ෂිත අරමුන වූයේ කම්කරු පන්තිය සූරාකෑම තීව‍්‍ර කිරීම හා බලය සඳහා වන සිය ඉමහත් අභිලාෂයන් හඹා යාමයි.

ඉන්දියාවේ ප‍්‍රමුඛ පෙලේ දිනපතා පුවත්පත්වල වාර්තාවන්ට අනුව පකිස්තානයට එරෙහිව හමුදා ක‍්‍රියාමාර්ග ගතයුතු බවට රජය තුල වඩ වඩාත් උත්සන්න වෙමින් පවත්නා පීඩනයක් පවතියි.

සැප් 22දා ඉන්දියන් එක්ස්ප‍්‍රස් පුවත්පත වාර්තා කලේ, බීජේපීයේ “ඉහල නායකත්වය දකින පරිදි, ඌරි සම්බන්ධයෙන් පකිස්තානය හා ත‍්‍රස්තවාදය පිලිබඳව තමන් පල කල දැඩි ස්වරය සිය ක‍්‍රියාමාර්ග තුල ද පවත්වා ගෙන යාමට තමන් සමත් බව ප‍්‍රදර්ශනය කිරීම මගින් පෙර පැවති ආන්ඩුවට වඩා ‘පෙනෙන වෙනසක්’ පෑමට ඔවුන් සමත් විය යුතු බව ඉහල නායකත්වයේ අදහස” බවයි.

පකිස්තානය “නැලවීමට” කටයුතු කිරීම හා “පකිස්තාන සහය ලබන ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රහාර”වලට එඩිතරව ප‍්‍රතිචාර දැක්වීමට අසමත්වීම පිලිබඳව කොන්ග‍්‍රස් පක්ෂ නායකත්වයෙන් යුතු ආන්ඩුව හෙලා දැකීමට 2014 මැතිවරන ව්‍යාපාරය තුල මෝදි හා ඔහුගේ බීජේපීය ක‍්‍රියා කලෝය.

ඉන්දියන් එක්ස්ප‍්‍රස් වාර්තාව වැඩිදුරටත් පල කලේ, “ආන්ඩුව සිය විකල්පයන් කිරා මැන බලමින් සිටින අතරම - විශේෂයෙන්ම තම අරටුව වන චන්ද දායකයන් වෙතින් - ‘වැඩට බැසීම’ සඳහා, නැගෙන ඇමතුමට ඇහුම්කන් දිය යුතු බව වටහා ගැනීමක් එතුල පවතින” බවයි.

“තම අරටුව වන චන්ද දායකයන්” යන්නෙන් එක්ස්ප‍්‍රස් පුවත්පත අදහස් කරන්නේ බීජේපීයේ කේඩරයන්හි විශාල කොටසක් නියෝජනය කරන, ආර්එස්එස් ෆැසිස්ට්වාදීන් ද ඇතුලත් ලේ පිපාසිත පකිස්තානු-විරෝධී හා මුස්ලිම්-විරෝධී හින්දු දක්ෂිනාංශයයි. මෝදි ද ආර්එස්එස්හි යාවජීව සාමාජිකයෙකි. එක්ස්ප‍්‍රස් වාර්තාව තවදුරටත් සඳහන් කලේ ආන්ඩුව, “හමුදාමය, දේශපාලනික හා රාජ්‍යතාන්ත‍්‍රික ප‍්‍රතිචාරයන්හි සංකලනයකින් පකිස්තානය කරා උනුසුම හරවා යවනු ඇති” බවයි. මින් ඇතැම් ඒවා ආවෘත, නැතහොත් එක්ස්ප‍්‍රස් පුවත්පතේ වචනම භාවිතා කරන්නේ නම්, “ඒවායේ ස්වභාවයෙන්ම .... (වගකීම) ප‍්‍රතික්ෂේප කිරීමේ හැකියාව පවත්වා ගත යුතු වන” ප‍්‍රතිචාර වනු ඇත. මෑතකදී වාර්තා වූ පරිදි, කාෂ්මීර කැරලි කන්ඩායම් සමග සම්බන්ධීකරන කටයුතු පවත්වා ගෙන යතැයි තමන් විශ්වාස කරන පකිස්තානු බුද්ධි අංශ නිලධාරින් ඝාතනය කිරීමට සහ නිරිතදිග පිහිටි, භූමි ප‍්‍රමානයෙන් පකිස්තානයේ විශාලතම පලාත වන බලුකිස්තානයේ වාර්ගික බෙදුම්වාදී කැරලිකරුවන්ට ප‍්‍රවර්ධනීය සහය ලබාදීමට රජය හා ජාතික ආරක්ෂක යාන්ත‍්‍රනය සලකා බලමින් සිට ඇත.

1998 - 2004 බීජේපී නායකත්වයෙන් පැවති රජයේ විදේශ හා මුදල් ඇමතිවරයෙකු වූ යෂ්වන්ත් සිංගේ අදහස් දැක්වීමක් මගින් බීජේපී කවයන් තුල පවතින යුදකාමී මනෝභාවය පිලිබඳ තවත් සාක්ෂ්‍යයක් සපයයි. “සංයමයේ සීමාවන්” යන මැයෙන් යුතු අදහස් දැක්වීමක දී සිං තර්ක කරන්නේ ආන්ඩුව යුද්ධයේ අවදානම ගැනීමට සූදානම් විය යුතු බවටයි.

“ඉන්දියාව උචිත හමුදාමය ප‍්‍රතිචාරයක් දක්වනු දැකීමට මා ද ඇතුලු බොහෝ ඉන්දියානුවන්ට අවශ්‍යය”යි සිං ලියයි. “එය, ඉක්මනින්, සියලු තතු සලකා බැලීමෙන් තොරව හෝ කඩිමුඩියේ එල්ල කෙරෙන්නක් නොව, තැන්පත්ව හොඳින් සැලසුම් කොට කල් යල් බලා, අපට අපේක්ෂිත ප‍්‍රතිඵල අත්කර දෙන ප‍්‍රතිචාරයක් විය යුතුය.” එවැනි ක‍්‍රියාමාර්ගයක් ක්ෂනික පිපිරීමකට මඟ පාදන්නට ඉඩ ඇති බව පිලිගනිමින් සිං ආන්ඩුවට බල කරන්නේ “.... තත්වය තවදුරටත් පිරිහී යමින් පකිස්තානය සමග පූර්න පරිමානයේ යුද්ධයක් ඇති වුවහොත් .... පකිස්තානයේ ප‍්‍රතික‍්‍රියාව විය හැකි ක‍්‍රියාමාර්ගය පූර්වාපේක්ෂා කොට ඊලඟ පියවර දහය සඳහා තම ප‍්‍රතිචාරය සකසා ගැනීමට”ය.

ඔහු සිය සටහන අවසන් කරන්නේ, “ඇතැම්විට සාමය කරා මාවත වැටී ඇත්තේ යුද්ධය හරහා බව අප සිහිපත් කල යුතුය” යනුවෙනි.

න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ මෙම දකුනු ආසියාතික පිලිමල් රාජ්‍ය දෙක කෙතරම් යුද්ධයකට සමීපව සිටිත්දැයි තවදුරටත් සංඥා කරමින් පසුගිය බදාදා ඉස්ලාමාබාද් ආන්ඩුව, පකිස්තානයේ ගුවන් අවකාශයේ කොටස් වසා දැමූ අතර, ඒ අනුව උතුරුදිග චිත‍්‍රාල්, ගිල්ගිට් හා ස්කර්ජු කරා පකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවයේ (පීඅයිඒ) සියලු ගුවන් ගමන් අවලංගු කරන ලදී. චිත‍්‍රාමලය කයිබර් පඛ්තුන්ඛ්වා පලාතේ පිහිටා ඇත. අනෙක් නගර දෙක අයත් වන්නේ තමන්ගේ යයි ඉන්දියාව කියා සිටින සහ ඉන්දීය විරෝධී ඉස්ලාමිය කාෂ්මීර බෙදුම්වාදීන්ගේ කඳවුරු පිහිටා ඇතැයි වාර්තා වී ඇති, ඓතිහාසික කාෂ්මීර භූමි ප‍්‍රදේශය තුල පිහිටි ගිල්ගිට්-බලුකිස්තානයටය. පකිස්තාන ආන්ඩුව මෙකී සීමාවන් පැනවීම සම්බන්ධයෙන් කිසිදු පැහැදිලි කිරීමක් ලබා දී නැති නමුත්, පකිස්තානයේ පල වන එක්ස්ප‍්‍රස් ට්‍රිබියුන් පුවත්පත වාර්තා කලේ, ගිල්ගිට් බලුකිස්තානයට ඉහල ගුවන් අවකාශය වසා දමන ලද්දේ පකිස්තාන යුද ගුවන්යානා වලට ගුවන්ගත වීමේ හා ගොඩ බෑමේ පෙරහුරු අභ්‍යාස ලබා දීම සඳහා බවයි.

තවද, පසුගිය බදාදා නිව්යෝර්ක්හි දී එජා මහා සම්මේලනය ඇමතූ පකිස්තාන අගමැති නවාස් ෂෙරිෆ් ජපාන,බ්‍රිතාන්‍ය, තුර්කි හා චීන අගමැතිවරුන් ඇතුලු ලෝක නායකයන් ගනනාවක් ද හමුවූයේ පකිස්තානය “ත‍්‍රස්තවාදී රාජ්‍යයක්” ලෙස නම් කිරීමට ඉන්දියානු රජය ගෙන යන ව්‍යාපාරයට එරෙහි ප‍්‍රයත්නයක් ලෙසය.

පකිස්තානයට “ඉන්දියාව සමග සාමය අවශ්‍ය” බව එජා මහා සමුලුව අමතා කල සිය දේශනය තුල ෂෙරිෆ් පැවසීය. එහෙත්, “සංවාද පැවැත්වීම සඳහා ඉන්දියාව නොපිලිගත හැකි පූර්ව කොන්දේසි ඉදිරිපත් කොට ඇතැ”යි ද සම්බන්ධතා “යථා තත්වයට පත් කිරීමේ” යතුර කාෂ්මීරය සම්බන්ධයෙන් ඔවුන් අතර පවත්නා මතභේදය විසඳීමය යන ඉස්ලාමාබාද් ආන්ඩුවේ ආස්ථානය ඔවුන් තඹයකට නොතකා ඉවත දමා ඇති බව ද ඔහු ප‍්‍රකාශ කලේය.

පකිස්තානයේ ධනවත්ම පවුල්වලින් එකක උරුමක්කාරයා ද ඉස්ලාමියකරනයේ අතිශය උත්සුක යෝජකයෙකු වූ ද ආඥාදායක ජනරාල් සියා උල් හක්ගේ අනුග‍්‍රහය ලැබූවකු වන ෂෙරිෆ්, තමා ද පගාකාර පකිස්තානු ධනපති පන්තිය ද ඉන්දියාවේ පීඩිත කාෂ්මීර ජනයා - “මරා දැමුනු, අන්ධභාවයට පත් වූ හා තුවාල ලද අහිංසක කාෂ්මීර දරුවන්ගේ, ස්ත‍්‍රීන්ගේ හා පුරුෂයන්ගේ මවුවරුන්, භාර්යාවන්, සොහොයුරියන් හා පියවරුන්” - වෙනුවෙන් පෙනී සිටින බවක් මවා පෑමට උත්සාහ දරයි.

පකිස්තානයේ සහාය ලබන ඉස්ලාමිය කාෂ්මීර කැරලි කන්ඩායමක තරුන නායකයකු වූ බුර්හාන් වානි ඝාතනය කිරීමට එරෙහිව ජූලි 8 වැනිදා සිට ඉන්දියානු පාලනයේ පවතින කාෂ්මීරය ප‍්‍රකම්පනය කරමින් පැවැත්වෙන මහජන විරෝධතා පිලිබඳව සඳහන් කරමින් ෂෙරිෆ් ප‍්‍රකාශ කලේ, “ඉන්දියාව විසින් නීති විරෝධීව අත්පත් කර ගෙන සිටීමට එරෙහිව - නිදහස ඉල්ලා - කාෂ්මීර ජනයාගේ නව පරපුරක් නිතැතින්ම නැඟී සිට ඇති” බවයි.

පන් ලක්ෂයකට අධික ඉන්දීය ආරක්ෂක හමුදා කාෂ්මීරයේ රඳවා තැබීම හෙලා දුටු ෂෙරිෆ්, ඉන්දියාව විසින් “ක‍්‍රමානුකූලව හා අමු අමුවේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරනු ලැබීම” ලැයිස්තුගත කොට සකස් කෙරුනු ලිපි ගොනුවක් එක්සත් ජාතීන් වෙත ඉදිරිපත් කිරීමට ප‍්‍රතිඥා දුන්නේය.

කාෂ්මීර ජනයා වෙනුවෙන් හඬ නඟන බවට ෂෙරිෆ්ගේ කියා පෑමත්, ඉන්දියානු ධනේශ්වරයේ මර්දනකාරී රාජ්‍යය සම්බන්ධයෙන් ඔවුන්ගේ යුක්තියුක්ත දුක්ගැනවිලි තම වාසිය සඳහා ගසා කෑමට ඔහු දරන ප‍්‍රයත්නයත් ඔලමොට්ටල ද අතිශය ප‍්‍රතිගාමී ද වෙයි.

දරිද්‍රතාවයේ පත්ලේ කිඳී සිටින පකිස්තානු වැඩ කරන ජනතාවගේ සමාජ ප‍්‍රතිරෝධය හමුවේ බියපත්ව සිටින පකිස්තාන ධනපති පන්තිය, ඔවුන්ට සිය මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් අහිමි කර ඇති අතර, රටේ වැඩි කාලයක් පාලනය කොට ඇත්තේ හමුදා ආඥාදායකත්වයන් යටතේය.

පකිස්තානු ධනේශ්වරයේ හා මිලිටරියේ චිරාගත අනුග‍්‍රාහකයා වන වොෂින්ටනයට ඉදිරිපත් කල ආයාචනයක් මඟින් ෂෙරිෆ්, එක්සත් ජනපද හමුදා ඇෆ්ගනිස්තානයේ බලෙන් රැඳී සිටීමට සහාය දෙමින් ප‍්‍රාන්තීය පරිපාලනයට යටත් ගෝති‍්‍රක ප‍්‍රදේශවල (FATA) පකිස්තාන හමුදා දියත් කර ඇති කුරිරු යුද්ධය විකුනා ගැනීමට කැපී පෙනෙන ලෙසම ප‍්‍රයත්න දරා ඇත්තේ එය, “ලක්ෂ දෙකක අපේ හමුදා යොදවා ගනිමින් ලෝකයේ කොතැනක හෝ සිදු කෙරුනු විශාලතම, දෘඩතම හා සාර්ථකම ත‍්‍රස්තවිරෝධී ප‍්‍රයත්නය යැ”යි ඔජ වඩවමිනි.

ඉහත බ්‍රිතාන්‍ය ඉන්දියානු ආධිපත්‍යය යටතේ පැවැති ඓශ්චර්යවත් ජම්මු කාශ්මීරයෙන්, 1947-48 ඉන්දු-පකිස්තාන යුද්ධයේදී පකිස්තානය විසින් අල්ලා ගන්නා ලද කොටස තුල වෙසෙන “අසාද්” ජනයා - පකිස්තාන පාලනයේ ජීවත්වන කාශ්මීර ජනයා - ඉස්ලාමාබාද් පාලනයේ මර්දනයට ගොදුරු වී සිටින අතර, එම පාලනය ක‍්‍රමානුකූල ලෙස ඔවුන් මෙහෙයවමින් ඉන්දීය පාලන ප‍්‍රදේශයේ වෙසෙන කාශ්මීර ජනයා වාර්ගික පදනම මත ඇවිස්සීමට ඔවුන් යොදා ගනී.

කාෂ්මීර ගැටුම යනු 1947 දී දකුනු ආසියාව වාර්ගික පදනම් මත, විශේෂයෙන්, මුස්ලිම් ජනයා වෙසෙන පකිස්තානයක් හා ප‍්‍රමුඛ ලෙස හින්දු ජනගහනයකින් යුත් ඉන්දියාවක් ලෙස වෙන් කරමින් සිදු කල ලේ වැකි වෙන් කිරීමේ ප‍්‍රතිඵලයයි. එවක් පටන් ඉන්දියානු හා පාකිස්තානු ධනේශ්වරයන් අතර පවතින ප‍්‍රතිගාමී උපායාත්මක සතුරු කමේ ප‍්‍රධානතම “ත්‍යාගය” බවට පත්ව ඇත්තේ මෙම ප‍්‍රාන්තයයි.

ප‍්‍රකාශිත යුද්ධ තුනකට හා මිලිටරි අර්බුද ගනනාවකට මං පාදා ඇති, අප‍්‍රමාන ජීවිත හානි, දුක් පීඩා හා සම්පත් විනාශයට තුඩු දුන් මෙම සතුරුකම, වාර්ගික ප‍්‍රතිගාමිත්වය වර්ධනය කිරීමේ හා කම්කරු පන්තිය බෙදීමේ ප‍්‍රධානතම යාන්ත‍්‍රනය ලෙස දෙරටෙහි ම පාලක පන්තීන් විසින් ප‍්‍රයෝජනයට ගෙන ඇති අතර අද එය දකුනු ආසියාවේ ජනතාව හමුවේ න්‍යෂ්ටික යුද්ධයක තර්ජනය මතු කරයි.

ඉන්දියාව හා පකිස්තානය අතර ගැටුමක්, ඇෆ්ගන් යුද්ධය ද රුසියාවට හා චීනයට එරෙහි සිය මිලිටරි මූලෝපාය ද ඇතුලු, යුරේසියාවේ ආධිපත්‍යය තහවුරු කර ගැනීම සඳහා දැරෙන ප‍්‍රයත්නයට හරස්වනු ඇතැයි බියට පත් වී ඇති වොෂින්ටනය, ගැටුමකට නො එලැඹී තම පියවර ආපස්සට ගන්නා ලෙස ඉන්දියාව හා පකිස්තානය යන දෙරටට ම කැඳවුම් කොට ඇත.

එසේ වුව ද දකුනු ආසියාවේ වත්මන් යුද ගැටුම් පිලිබඳ මහත්ම වගකීම දැරිය යුතු වන්නේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයයි. සීතල යුද සමයේ පකිස්තානය මෙම කලාපයේ සිය ප‍්‍රධාන සහචරයා ව සිටිය දී, ඉන්දියාවත් සමඟ සතුරුකම් ඇවිලවීමට ඔවුහු පකිස්තානය යොදාගත්හ. මෙම සියවස ආරම්භයේ සිට චීනයට එරෙහිව ප‍්‍රතිතෝලකයක් ලෙස ඉන්දියාව ගොඩ නැඟීමට ඇමරිකාව ක‍්‍රමානුකූලව ක‍්‍රියා කලේය. මේ අරමුන වෙනුවෙන් නව දිල්ලිය වෙත උපායාත්මක “අනුග‍්‍රහයන්” පිරිනැමීමට වොෂින්ටනය ක‍්‍රියා කලේ, කලාපයේ බල සමතුලනය උඩු යටිකුරු කිරීමට ඇමරිකාව ක‍්‍රියා කරන බවට පකිස්තානය කල අනතුරු ඇඟවීම් තඹයකට මායිම් නොකරමිනි. ඉන්දියාවේ න්‍යෂ්ටික වැඩ පිලිවෙලට එරෙහිව පනවා තිබූ නාවුක තහනම අවසන් කිරීම හා පෙන්ටගනයේ වඩා නවීන අවි ආයුධ කරා පිවිසීම ද ඇතුලු මෙම “අනුග‍්‍රහයන්” මඟින්, ඉන්දියාවේ යුදවාදය හා න්‍යෂ්ටික අවි තරඟ අභිලාෂයන් දිරිමත් කෙරින.

Share this article: