ඩොයිෂ බැංකුව හා ගෝලීය මූල්‍ය අර්බුදය

Deutsche Bank and the global financial crisis

2016 ඔක්තෝබර් 1

මේ සතියේ දී ඩොයිෂ් බැංකුවේ කොටස් වාර්තාගත පහත් අගයන් කරා ඇද වැටුනු අතර නව මූල්‍ය අර්බුදයක් වලක්වා ගැනීම පිනිස ආන්ඩුව මැදිහත්වී ඇප දීම පිලිබඳ කතා පැතිර ගියේය. ජර්මනියේ විශාලතම බැංකුව වටා ඇතිව තිබෙන වියවුල පෙන්නුම් කරන්නේ, 2008 මූල්‍ය අර්බුදයට හේතු වූ ගෝලීය මූල්‍ය පද්ධතියේ සියලු පරස්පර විරෝධයන්, යලි වතාවක් පුපුරා යමින් තිබෙන බව යි. වර්තමානයේ මෙම පරස්පර විරෝධයන්, ප‍්‍රධාන බලවතුන් අතර පවත්නා ආර්ථික හා දේශපාලන ආතතීන්ට තෙල් දමමින් ඒවා සමඟ අන්තර්ඡේදනය වෙමින් පවතී. මෙම භූ-දේශපාලන ආතතීන් අනෙක් අතට මූල්‍ය අර්බුදය තීව්ර කරයි.

වසර ගනනාවක් තිස්සේ ඩොයිෂ් බැංකුවේ මූල්‍ය තත්ත්වය කනස්සල්ලට හේතු වූ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය ජුනි මාසයේ කීවේ, එම බැංකුව “ගෝලීය මූල්‍ය ක‍්‍රමයේ පද්ධතිමය අන්තරායන්ට බොහෝ සෙයින් ම දායක වන” බව පෙනෙන බව යි. එහෙත් වත්මන් අර්බුදයේ ක්ෂනික හේතුව දේශපාලනිකය.

එක්සත් ජනපද අධිකරන දෙපාර්තමේන්තුව දිග්ගැස්සුනු විමර්ශනයකට පසුව ගිය මාසයේ, 2008 අර්බුදයට පෙරාතු ව එක්සත් ජනපද අවමුඛ උකස් වෙලඳපොල සම්බන්ධ වංචාකාරී පිලිවෙත් පිලිබඳ ව ඩොලර් බිලියන 14ක දඩයක් ඩොයිෂ් බැංකුවට පැනවී ය. මෙම තීරනය පිටුපස පවත්නා හේතුව මෙන් ම ඒ වටා ඇති තත්ත්වයන් පෙන්නුම් කරන්නේ, එය වනාහි ජර්මනියේ එක ම ප‍්‍රධාන ජාත්‍යන්තර බැංකුවට පහර එල්ල කිරීමට ගනන් බලා ගත් පියවරක් බව යි.

පුද්ගලික විසඳුමකට එලැඹීමට හැකි වන පරිදි තිරයෙන් පිටුපස සාකච්ඡා කරනවා වෙනුවට තීන්දුව වෝල් ස්ට්රීට් ජර්නල් පුවත්පතට කාන්දු කරනු ලැබිනි. එය ඉස්මතු වූයේ, විශේෂයෙන් ම ජර්මනිය ඇතුලත් යුරෝපා සංගමය හා එක්සත් ජනපදය අතර ආතතීන් වැඩෙද්දී ය.

එක්සත් ජනපද ආන්ඩුවේ හා සංගත ක්ෂේත‍්‍ර යේ තියුනු විවේචන පැන නැංවූ, යුරොපා සංගමය ඇපල් සමාගමට යුරෝ බිලියන 13ක බදු පැහැර හැරීමේ චෝදනාව එල්ල කිරීමට එකට එක කිරීමක් ලෙස ඩොයිෂ් බැංකුව සම්බන්ධ අධිකරන දෙපාර්තමේන්තුවේ පියවර, යුරෝපීය සංගමය තුල පුලුල් ව සලකනු ලැබී ය. ඇපල් සමාගමට පැනවූ දඬුවම හා යුරෝපය තුල එක්සත් ජනපදයේ ආයෝජන හා ලාබ ඉපැයීම කෙරෙහි එම දඬුවමේ ගම්‍යයන්, ජර්මනිය හා ප‍්‍රන්සය විසින් එක්සත් ජනපදයේ අනුග‍්‍රහය ලබන අන්තර් අත්ලාන්තික වෙලඳ හා ආයෝජන හවුල්කාරීත්වයෙන් (ටාප්) ඉවත් වීමෙන් තවත් නරක අතට පත් විය.

සැප්තැම්බර් 30දා ඩොයිෂ් බැංකුවේ කොටස් පහත වැටීම මේ මොහොතට හෝ නතර වුනේ, එහි දඩය ඩොලර් බිලියන 5.4 දක්වා අඩු කිරීමට එක්සත් ජනපදය සූදානම් ය යන ප‍්‍රවෘත්තිය හේතුවෙනි. එහෙත් ඉක්මනින්ම පෙනී යනු ඇත්තේ මෙය, ඇදී යන ආර්ථික හා මූල්‍ය යුද්ධයක කෙටි ආයුෂ ඇති සටන් විරාමයක් පමනක් වනු ඇති බව යි.

තාවකාලික ප‍්‍රපංචයක් නො වන ගැටුම්වල මූලයන් පවත්නේ එකිනෙකට සම්බන්ධිත වෛෂයික වර්ධනයන් දෙකක් මත ය: එනම්, අඩු වර්ධන මට්ටම්, පහල යන වෙලඳාම, අඩු ආයෝජන හා වැටෙන ඵලදායිතාව විසින් සලකුනු කෙරෙන ලෝක ආර්ථිකයේ දිග හැරෙන එකතැන පල්වීම සහ කොටස් හා බැඳුම්කර වෙලඳපොලවල නැගීම මඟින් පිලිබිඹු කෙරෙන යෝධ මූල්‍ය බුබුලුවල වර්ධනය යන ඒවා ය.

පිම්බෙන මූල්‍ය වෙලඳපොලවල් හා යටින් දිවෙන ආර්ථිකය තුල වැඩෙන අසීරු අර්බුදය අතර පරස්පර විරෝධය අන්කවරදාටත් වඩා පුපුරනසුලු රූපාකාරයක් අත් කර ගනිමින් තිබේ. සමපේක්ෂනය හා මහ බැංකු උත්තේජන හරහා මුදලට තව තවත් මුදල් ඉපැයිය හැකි ය යන මායාව කෙසේ වෙතත්, අවසාන විග‍්‍රහයේ දී මූල්‍ය වත්කම් නියෝජනය කරන්නේ, සැබෑ ආර්ථිකය තුල නිපදවෙන ධනයට හිමිකම් පෑමයි.

දශක ගනනක් තිස්සේ මූල්‍ය වත්කම් අගය, ගෝලීය දල දේශීය නිෂ්පාදිතයට (දදේනි) සමාන විය. එහෙත් 1980 ගනන්වල ඇරඹුනු මූල්‍යකරනයේ නැගීම හමුවේ, 2008 අර්බුදයේ සමය වනවිට මූල්‍ය වත්කම් ගෝලීය දදේනිය මෙන් 360 ගුනයකටත් වඩා වැඩි වීය. ලෝකයේ ප‍්‍රධාන මහ බැංකු විසින් අනුගමනය කල, මූල්‍ය පද්ධතිය තුලට ඩොලර් ට්‍රිලියන ගනන් පොම්ප කිරීම සහ ඉතා අඩු හෝ සමහර විට ඍන පොලී අනුපාත පවත්වාගෙන යාම වැනි අසාමාන්‍ය මූල්‍ය පිලිවෙත් හේතුවෙන් එතැන් පටන් මෙම අනුපාතය තවත් ඉහල ගොස් තිබේ.

ඩොයිෂ් බැංකුවේ අර්බුදය පිලිබඳ ව අදහස් දැක්වූ එක් මූල්‍ය විශ්ලේෂකයෙක් ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට මෙසේ කීවේ ය: “වර්තමාන වෙලඳපොල විකෘතිකරන වෙනුවෙන් කල් ගොස් හෝ ඉක්මනින් අති විශාල වන්දියක් ගෙවීමට සිදු වෙතැයි ආයෝජකයෝ දැන් කනස්සල්ලට පත්ව සිටිති.” එහෙත් වෙලඳපොල විකෘතීන් යනු, ගෝලීය මූල්‍ය ක‍්‍රමයේ පදනම් තුල ම මුල් බැස පවත්නා ප‍්‍රගාඪ ප‍්‍රතිඝතිතාවන්ගේ ක්ෂනික ප‍්‍රකාශනය පමනි.

මූල්‍ය වත්කම් ප‍්‍රමානයෙන්, සැබෑ ධනයේ අගය දැවැන්ත ලෙස ඉක්මවා යන කොන්දේසි තුල, මූල්‍ය ප‍්‍රාග්ධනයේ සෑම කොටසක් ම තමන්ගේ ප‍්‍රතිමල්ලවයන් අතු ගා දැමීම සඳහා දුෂ්ට ලෙස ක‍්‍රියාත්මක විය යුතු ය.

මෙම ප‍්‍රවනතා ඩොයිෂ් බැංකුව තුල එහි සුවිශේෂී ප‍්‍රකාශනය අත්පත් කර ගනී. දශක ගනනාවක් එය ජර්මානු මහා පරිමාන කර්මාන්තයේ මූලික අංශ සමග සමීප ව වැඩ කලේ ය. එහෙත් ගෝලීය මූල්‍ය ප‍්‍රාග්ධනයේ වර්ධනයත් සමග මෙම ව්‍යාපාරික මොඩලය වඩ වඩාත් යල් පැන ගොස් තිබූ අතර, 1980 ගනන් අග පටන් විශේෂයෙන් ම එක්සත් ජනපද බැංකු ඇතුලු සිය ප‍්‍රතිමල්ලවයන් ආක‍්‍රමනශීලී ලෙස ඉලක්ක කර ගන්නා ගෝලීය ආයෝජන බැංකුවක් බවට පරිවර්තනය වීමට බැංකුව උත්සාහ කලේය. ගෝල්ඞ්මන් සැක්ස් වැනි එක්සත් ජනපදයේ තරඟකාරී බැංකු මෙන්ම ඩොයිෂ් බැංකුව ද ඇමරිකානු අවමුඛ උකස් වෙලඳපොලවල් තුල ගෙන ගිය සාපරාධී කටයුතු මෙම ක‍්‍රියාදාමයේ කොටසකි.

එක්සත් ජනපද ආන්ඩුව විසින් සංවිධානය කරන ලද ඇප දීම් මඟින් ඇමරිකානු බැංකු ශක්තිමත් වුව ද ඩොයිෂ් බැංකුවේ මූල්‍ය තත්ත්වය නො නැවතී ඛාදනය වී තිබේ.

ඇප දීමේ වාසිය නොලැබීම හමුවේ තරඟයට මුහුන දීමේදී බැංකුවට වඩ වඩාත් ප‍්‍රාග්ධනය වෙලඳපොලවලින් උපුටා ගැනීමට සිදු විය. එහෙත් මහ බැංකු විසින් ක‍්‍රියාත්මක කරන ඉතා අඩු හා ඍන පොලී අනුපාත හමුවේ ඩොයිෂ් බැංකුවේ මූලික ව්‍යාපාරික මොඩලයට දැඩි බලපෑම් එල්ල කරමින් ලාභ අනුපාතය පහතට ඇද දැමීය. ඩොයිෂ් බැංකුව, එහි ශේෂ පත‍්‍රයේ පෙන්වන දුබල ව්‍යුත්පන්න වත්කම්වල ඉහල මට්ටම තවදුරටත් පවත්වාගෙන යාම හා ලෝක වෙලඳාම හා ආර්ථික වර්ධනය වඩ වඩාත් පිරිහී යාමේ තතු තුල බැංකුව ගන්නා නය සඳහා නය හිමියෝ අධික පොලියක් ඉල්ලා සිටිති.

වෝල් ස්ට්රීට් ජර්නලය සටහන් කරන පරිදි, “ඩොයිෂ් බැංකුවේ ලොකුම ගැටලුව එයට ප‍්‍රාග්ධනය අවශ්‍ය වීම නො ව, එයට මොන ම හෝ ප‍්‍රාග්ධනයක් සපයා ගැනීමට ඇති දුෂ්කරතාවයි, එලැඹෙන අවුරුදුවල දී ප‍්‍රාග්ධන පිරිවැය ඉක්මවන ප‍්‍රතිලාභ උපයා දෙන බවට ආයෝජකයන් ඒත්තු ගැන්වීමේ අරගලයක බැංකුව යෙදී සිටියි”

තමන්ගේ තත්ත්වය ශක්තිමත් කරගැනීමට එදිරිවාදී නඩ එකිනෙකාට විරුද්ධ ව අශ්ව රේස් යුද්ධයක යෙදී සිටින තතු හමුවේ ඩොයිෂ් බැංකුව ඔවුන්ගේ ඉලක්කයක් බවට පත්ව තිබේ. ආරක්ෂන අරමුදල් හා සමපේක්ෂකයෝ බැංකුවට එරෙහි ව ඔට්ටු ඇල්ලීමේ නිරත වූහ.

සේවකයන් වෙත නිකුත් කල ප‍්‍රකාශයක් තුල ඩොයිෂ් බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී ජෝන් ක‍්‍රයන්, වැඩට බැසගෙන සිටින බලවේග පිලිබඳ ව ඉඟි කලේ, බැංකුකරනයේ දී විශ්වාසය යන්න සියල්ල බවත් “අප කෙරෙහි විශ්වාසය දුර්වල කිරීමට උනන්දුවක් දක්වන බලවේග වර්තමානයේ වෙලඳපොල තුල ක‍්‍රියාත්මක වන” බවත් පවසමිනි.

එකම ඉලක්කය ඩොයිෂ් බැංකුව නො වේ. යුරෝපා කොමිසමේ උප සභාපතිවරයෙක් වන වල්දි දොම්බ්රොව්ස්කි මේ සතියේ නිකුත් කල ප‍්‍රකාශයක් තුල ගැටුමේ පුලුල් මානයන් ගැන කථා කලේය. “යුරෝපීය බැංකු ක්ෂේත‍්‍රයට ප‍්‍රාග්ධන අවශ්‍යතාවන්ගේ සැලකිය යුතු ඉහල යාමකට කරගැසීමට සිදුව ඇත්තේ, එක්සත් ජනපදය විසින් දිරිගන්වනු ලබන ගෝලීය බැංකු ප‍්‍රතිසංස්කරන නිසාය.” ඒවා පිලිගත නො හැකි යයි ඔහු කීවේ ය.

සෘජු ව එක්සත් ජනපදය නම් කරන්නේ නැති ව ඔහු මෙසේ කීවේ ය: “යුරෝපයට ගැලපෙන හා අපගේ ගෝලීය තරඟකරුවන්ට සාපේක්ෂ ව අපගේ බැංකුවලට අවාසි නො වන ප‍්‍රතිකර්මයක් අපට අවශ්‍යය.”

ඩොයිෂ බැංකුවේ අර්බුදය පෙන්නුම් කරන ආකාරයට, ගෝලීය ධනේශ්වර ආර්ථිකයේ සමහන් කල නො හැකි පරස්පර විරෝධයන්, භූ-දේශපාලන ආතතීන් අවුලුවාලන හා එහි අනෙක් පැත්ත ද සිදුවන ආකාරය ප‍්‍රගාඪ වැදගත් කමක් දරයි. 20වන ශතවර්ෂයේ කුනාටු සහිත ඉතිහාසය පෙන්වා දෙන්නේ, එය, ජාත්‍යන්තර කම්කරු පන්තිය විසින් වලක්වන්නේ නැති නම් අනිවාර්යයෙන් ම ලෝක යුද්ධයට තුඩු දෙන, ධනේශ්වර පද්ධතියේ ගෝලීය බිඳවැටීමක නිශ්චිත ප‍්‍රකාශනයක් බවයි.

නික් බීම්ස්

Share this article: