රුසියාවට එරෙහි යුද්ධය සඳහා නැගෙන ඝෝෂාව

Beating the drums for war with Russia

2016 ඔක්තෝබර් 06

“සිරියාව තුල එක්සත් ජනපද මැදිහත් වීම උත්සන්න කිරීමට නොවැම්බර් 08 ඇමරිකානු මැතිවරනය අවසන් වන තෙක් බලා සිටිය යුතු ද යන ප‍්‍රශ්නය පාලන සංස්ථාපිතය තුල උනුසුම් විවාදයකට විෂයයක් වී ඇති බවට පැහැදිලිය.” සැප්තැම්බර් 30 වෙනිදා ලෝක සමාජවාදී වෙබ් අඩවිය එසේ අනතුරු ඇගවීය.

මේ තක්සේරුව තීරනාත්මක ලෙස සනාථ වීමට ගතවී ඇත්තේ යන්තම් සතියකි. ඔබාමා පාලනය එබඳු විවාදයක යෙදී සිටින බව සම්පූර්නයෙන්ම තහවුරු වී ඇත.

බදාදා ආරක්ෂක සහ රාජ්‍ය ලේකම්වරු, ඒකාබද්ධ මාන්ඩලික ප‍්‍රධානීන්ගේ සභාපති, සීඅයිඒ අධ්‍යක්ෂ මෙන්ම ඉහල ජනාධිපති ආරක්ෂක උපදේශකයින්ගෙන් සමන්විත ඊනියා ප‍්‍රතිපත්ති කමිටුව, ක්රූස් මිසයිල සහ යුද ප‍්‍රකෝපකරනයේ වෙනත් පියවර ගනිමින් සිරියානු ආන්ඩුවේ හමුදාවන්ට පහර දීම කෙරෙහි වන යෝජනා සලකා බැලීමට ධවල මන්දිරයේදී රැස්විය.

වාර්තා වන පරිදි ලෝකයේ දෙවන විශාලතම න්‍යෂ්ටික බලවතා වන රුසියාව සහ එක්සත් ජනපදය අතර සෘජු මිලිටරි ගැටුමක් සඳහා සීඅයිඒ සහ ඒකාබද්ධ මාන්ඩලික ප‍්‍රධානීන් කැමැත්ත පල කල බව වාර්තා විය. වඩාත් පුලුල් යුද්ධයක් සදහා ඇමරිකානු සංස්ථාපිතයේ පාර්ශ්වයන් ඇතුලත වර්ධනය වන සහාය පිලිබිඹු කරමින් නිව්යෝර්ක් ටයිම්ස්, වෝල් ස්ටී‍්‍රට් ජර්නලය සහ වොෂිංටන් පෝස්ට් ඇතුලු ප‍්‍රධාන මාධ්‍යයන් ඇමරිකානු මිලිටරිවාදය තීව‍්‍ර කිරීම සඳහා උපදෙස් දෙන මිලිටරි සහ බුද්ධි අංශවල පැත්තට වාරුවී ඇත.

බදාදා වෝල් ස්ටී‍්‍රට් ජර්නලයේ පලකරන ලද සෙනෙට් මිලිටරි සේවා කමිටුවේ සභාපති රිපබ්ලිකානු ජෝන් මැක්කේන් විසින් ලියන ලද මතවාද තීරුව පැහැදිලිම උදාහරනයකි. මැක්කේන් චෝදනා කලේ, නිර්දය, ඉවබව නැති බෝම්බ හෙලීම මගින් ගනන් නැති සිවිල් වැසියන් ඝාතනයට සිරියානු ආන්ඩුව සහ එහි මිතුරු රුසියාවටය. මෙය ලියා ඇත්තේ, ඉරාකය තුල මිලියනයකටත් වඩා ජීවිත වලින් වන්දි ගෙවූ “කම්පනය හා භීෂනය” මුදාහල යුද්ධයේ වඩාත්ම උද්යෝගී උපදේශකයෙකු වූ පුද්ගලයෙකු විසිනි.

රිපබ්ලිකන් සෙනෙට් සභිකයා මෙසේ ලියයි. “ඇමරිකානු සහ එහි සන්ධාන පාර්ශ්වකරුවන්, ගුවන් ගමන් නතර කරනු, නැතිනම් ගුවන් යානා නැති භංග කරගනු, අවසානය දක්වා ඊට මුහුන දීමට සුදානම් වනු යයි (සිරියානු ජනාධිපති) වෙත අවසන් නිවේදනයක් නිකුත් කල යුතුය. රුසියාව සිය ඉවබව නැති බෝම්බ හෙලීම දිගටම කර ගෙන යන්නේ නම් දැවැන්ත අනතුරක් මධ්‍ය යේ වුව ද එම ගුවන් යානා නතර කිරීමට අප පියවර ගත යුතු බව පැහැදිලි විය යුතුය.”

ඇමරිකානු මිලිටරිය විසින් සිරියානු සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සඳහා “ආරක්ෂක කලාප” නිර්මානය කිරීමටත් ඊනියා “කැරලි කරුවන්”ට වඩා “ශක්තිමත් මිලිටරි සහාය” ලබා දිය යුතු බව ද මැක්කේන් ප‍්‍රකාශ කරයි. නිසැකවම මේ මූලෝපාය සඳහා දැවැන්ත වියදමක් දැරිය යුතු බව පිලිගන්නා නමුත් ඔහු, මේ වියදමේ ස්වභාවය ගැන හෝ එයට ගෙවන්නේ කවුරුන් ද යන්න ඔහු පැහැදිලි නොකරයි. මැක්කේන් වොෂිංටනය සහ මොස්කෝව අතර යුද ගැටුමක විනාශකාරී ගෝලීය ඇඟවුම් පිලිබඳව ඇඟවුම් කරනුයේ ද නැත.

එලෙසම බදාදා කතුවැකියකින් වොෂිංටන් පෝස්ට් අවධාරනය කරන්නේ, “බෂාර් අල් අසාද් තන්ත‍්‍රයට එරෙහිව මිලිටරි පීඩනය යෙදවීමට එක්සත් ජනපදය ප‍්‍රතික්ෂේප කරන නිසා” සිරියාව තුල වොෂිංටනයේ පිලිවෙත අසාර්ථක වී ඇති බවයි. වඩා සෘජු මිලිටරි මැදිහත්වීමක් සඳහා ඔබාමා පරිපාලනය දක්වන අසමත්කම” නිසා ඇමරිකාවේ අධිකාරය ගිලිහී, රුසියාවට වාසි සැලසී තිබීම තුලින් ප‍්‍රකාශ වන බවට පුවත්පත චෝදනා කරන අතර ක්රූස් මිසයිල ප‍්‍රහාර සඳහා සහ “කැරලිකරුවන්”ට වඩා නවීන අවි ආයුධ ලබා දීම සඳහා වූ සීඅයිඒ සහ පෙන්ටගන් යෝජනා අනුමත කර තිබේ.

අවසාන වශයෙන් නිව්යෝර්ක් ටයිම්ස් පුත්පත, දැන් සහ ඊලඟ ඇමරිකානු ජනාධිපති 2017 ජනවාරියේ වැඩ භාරගන්නා තෙක්, රුසියාව සිරියානු ආන්ඩුවට මිලිටරි සහාය ලබාදෙමින් “ආක‍්‍රමනශීලි ලෙස මැදිහත්වීමට අවස්ථාව” සලසන බවට මුල් පිටුවේ ප‍්‍රධාන ලිපියක අනතුරු අඟවා ඇත. ලිපිය ඇමරිකානු ගුවන් ප‍්‍රහාර සඳහා වූ යෝජනා අභිරුචියෙන් යුක්තව වාර්තා කරන අතර “විශේෂිතවම සහාය දෙන අරාබි රටවල් ගුවන් යානා නාශක අවි කැරලිකරුවන්ට සපයන්නේ නම් හා ඉස්ලාමීය ත‍්‍රස්තවාදීන් රුසියානු නගරවලට පහරදීම මගින් එකට එක කිරීමට තීරනය කරන්නේ නම්” ඇමරිකාවට සිරියාව තුල රුසියාවට “දුෂ්කර” තත්වයක් නිර්මානය කල හැකි බවට තර්ක කරන නිර්නාමික ඇමරිකානු රාජ්‍ය නිලධාරීන් උපුටා දක්වයි..

සිරියාව තුල රුසියාවේ මිලිටරි කි‍්‍රයාදාමයන් කෙරේ ඉස්ලාමීය බලවේගයන්ගේ ප‍්‍රතිචාරයට, “අතැම්විට රුසියානු නගරවලට පවා ප‍්‍රහාර එල්ල කිරීම” ඇතුලත් වනු ඇති බවට ඇමරිකානු ඉහල රාජ්‍ය දෙපාර්තමේන්තු ප‍්‍රකාශකයෙකු මීට පෙර පල කල අනතුරු ඇඟවීම මේ මගින් දෝංකාර නංවයි.

ඇඟවුම් ඉතා පැහැදිලිය. සිරියාවේ තන්ත‍්‍රමාරු යුද්ධයක් සඳහා වසර පහකටත් වැඩි කාලයක් තිස්සේ සීඅයිඒ විසින් මෙහෙයවන මූලික සටන් බලවේග සමන්විත වී ඇති ඉස්ලාමීය මිලීෂියාවන් මත වොෂිංටනය ඉමහත් මෙහෙයුම් බලයක් දරයි. ඩැමස්කස් ආන්ඩුවට පහර දීමට ඔවුන් මෙහෙයවූ ආකාරයටම ඔවුන් මොස්කෝවට විරුද්ධව ද මෙහෙයවිය හැකිය. දාමරිකයෙකුගේ ස්වභාවයෙන් තමාගේම අත්සන සහිතව ලියන ටයිම්ස් හි විදේශ සම්බන්ධතා තීරු රචක තෝමස් ෆී‍්‍රඞ්මාන් මෙසේ අසයි. “පුටින්ට ඔහුගේම වර්ගයේ බෙහෙත්වේලක් දීමට මෙය කාලය නොවේද?”

රුසියාව සමග මිලිටරි ගැටුම න්‍යෂ්ටික යුද්ධයක සෘජු තර්ජනය මතුකරන බව පිලිගන්නා අතරම ඔහු, “සිරියාව සහ යුක්රේනය තුල පුටින්ගේ හැසිරීම සම්බන්ධයෙන් ගත් කල, අනෙක් කම්මුල ද හැරවීම අපට කල නොහැක.” ඇලෙප්පෝවේ සිවිල් වැසියන්ට බෝම්බ හෙලීම පිලිබඳව ඔහු නිර්දය ලෙස රුසියාවට චෝදනා කරන අතර “මූලික සිවිල් ප‍්‍රතිමාන” උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින්ට දෙවරක් චෝදනා කරයි.

නරුමවාදය සහ වංචනිකත්වය වෙනුවෙන් රන් සම්මානයෙන් පිදිය යුතු තීරු රචකයෙක් වන ෆී‍්‍රඞ්මාන් “මූලික සිවිල් ප‍්‍රතිමාන” පිලිබඳව දෙඩවීම මවිතයට කාරනයකි.

ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් දියත් කරන ලද එකදු ආක‍්‍රමනික යුද්ධයකදී හෝ උමතු හුරේ දමන්නෙකු ලෙස පෙනී සිටීමට ඔහු පැකිලූනේ නැත. අද නැගෙනහිර ඇලෙප්පෝ වල රුසියානු බෝම්බ හෙලීම පිලිබඳ කඳුලූ සලන ඒ මිනිහාම 1999 සර්බියාවේ එක්සත් ජනපද බෝම්බ හෙලීමට ප‍්‍රතිචාර දක්වමින්, “බෙල්ගේ‍්‍රඞ්හි ආලෝකය නැති කල යුතුය. සියලූ බලශක්ති පද්ධති, ජල නල, පාලම්, මාවත් සහ යුද්ධයට අදාල කර්මාන්ත ඉලක්ක කරගත යුතුය. අපි ඔබගේ රට සුනුවිසුනු කරමින් ඔබ ආපස්සට ඇද දමන්නෙමු.”

“තෙල් සඳහා වූ යුද්ධය” සමග ඔහුට කිසිදු ප‍්‍රශ්නයක් නැති බව, 2003 ආක‍්‍රමනයට පෙර ප‍්‍රකාශ කරමින් ඔහු සිව් වසරක් ගතවීමටත් මත්තෙන්, ඉරාකය සම්බන්ධයෙන් ද එම භූමිකාවම රඟ දැක්වීය. අපට තෙල් නිධි අල්ලා ගත හැකි වීමේ සරල හේතුව නිසාම....ඇමරිකාව ඉරාකය ආක‍්‍රමනය කල බව ඔහු ලිවීය.

ටයිම්ස්හි මිනිහාගේ සිවිල් උපමාන එබඳුය.

සිරියාව තුල මිලිටරි කටයුතු උත්සන්න කිරීම සඳහා යටින් පවත්නා වියරු සහගත සහයෝගයට සෘජුවම හේතුවී ඇත්තේ, අල්කයිඩාවට සම්බන්ධ බලවේග ද ඇතුලුව, වොෂිංටනය සිය කුලී හමුදාවන් ලෙස භාවිතා කරනු ලබන විවිධ ත‍්‍රස්තවාදී සංවිධාන, රුසියාවේ සහ ඉරානයේ සහචරයෙකු වන අසාද් පරාජය කිරීමට සහ ඩැමස්කස්වල රූකඩ ආන්ඩුවක් ස්ථාපනය කිරීමට වසර පහමාරක් තිස්සේ ගෙන යන යුද්ධයේදී, මූලෝපායික පරාජයකට මුහුන දෙමින් ඇලෙප්පෝහිදී සම්පූර්න පරාජයක අද්දරට පැමින සිටීමයි.

එබඳු ප‍්‍රතිපලයක්, ස්ටැලින්වාදී නිලධරය සෝවියට් සංගමය විසිරුවා හැරීමේ තැන් සිට ගතවී ඇති විසිපස් වසර තුල එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් අනුගමනය කල ප‍්‍රතිපත්ති සඳහා බරපතල ප‍්‍රතිවර්තනයක් නියෝජනය කරනු ඇත. වොෂිංටනය එම සිදුවීම දැක ගත්තේ, සිය ගෝලීය අධිකාරිය පවත්වා ගෙන යාමට විවෘතවී ඇති බාධා විරහිත මාවතක් ලෙස ය. සිය මිලිටරි සුපිරි මිලිටරි බලය මත වාරු වෙමින්, සිය ගෝලීය ආර්ථික තත්ත්වය පිරිහී යාම ජය ගැනීමේ විදියක් ලෙස ඇමරිකාව එය ග‍්‍රහනය කර ගත්තේය.

සිරියාව තුල මොස්කෝවේ කටයුතු කෙරෙහි දැක්වූ උන්මාදනීය ප‍්‍රතිචාරය, ඇමරිකාවේ එම ප‍්‍රතිපත්තිය රුසියාව හා චීනය විසින් කඩාකප්පල් කෙරෙමින් ඇතැයි යන කාරනයෙන් පැන නංවයි.

යුක්රේනය සහ දකුනු චීන මුහුදු කලාපයේ වැනි ප‍්‍රශ්න සිරියාව තුල නැතැයි කියන ගමන් රුසියානු ප‍්‍රචන්ඩත්වය පිලිබඳව මාධ්‍ය තුලින් නැගෙන රුදුරු ප‍්‍රකාශ හමුවේ වුව ද රුසියාව සහ චීනය යන දෙරටම ආරක්ෂාකාරී ප‍්‍රතිචාර දැක්වීම සඳහා පෙලඹවීම් කරන ප‍්‍රකෝපකාරියා ඇමරිකානු අධිරාජ්‍යවාදයයි. කෙසේ වුවද එයින්, රුසියානු ආන්ඩුව අනුගමනය කරන ප‍්‍රතිපත්තිවලට කිසිදු ප‍්‍රාගතිශීලි අර්ථභාරයක් ලබා නොදෙයි. පුටින්ට ඔහුගේ ආන්ඩුව සහ ඇමරිකානු අධිරාජ්‍යවාදය යන දෙකේම අභිලාෂයන් සුරැුකිමට වොෂිංටනය සමග ගනුදෙනුවක් කල හැකි නම් ඔහු එය විනාඩියෙන් කරනු ඇත.

එලෙස කල නොහැකි හා සිය රට තුලම වර්ධනය වන ආර්ථික අර්බුදය හා සමාජ අසහනයේ සලකුනු හමුවේ පුටින්, රුසියානු ජාතිකවාදය උත්සන්න කිරීමට සහ සෝවියට් සංගමයෙන් ඔහුට උරුම වී ඇති බලය පිලිබඳ විශ්වාසය නැංවීමට උත්සාහ කරයි.

පසුගිය දින කිහිපය තුල රුසියානු ආන්ඩුව සිරියාව තුල ගොඩබිම සිට ගුවනට විදින මිසයිල පද්ධතීන් ස්ථානගත කිරීමට නියෝග කර ඇති අතර, ආයුධ නිෂ්පාදනය කල හැකි වර්ගයේ ප්ලූටෝනියම් සඳහා වොෂිංටනය සමග ඇතිකරගෙන තිබූ ගිවිසුම අත්හිටුවා ඇත. ඒ අතර ආන්ඩුවට ගැති රුසියානු පුවත්පත් තුන්වන ලෝක යුද්ධයක තර්ජනයක් පිලිබඳ අනතුරු අඟවා ඇති අතර, ආන්ඩුව එබඳු දෙයක් සඳහා සූදානම් වීමේ සිවිල් ආරක්ෂක අභ්‍යාස දියත් කොට තිබේ.

රුසියාවේ ධනපති කතිපයාධිකාරයේ අභිලාෂයන් නියෝජනය කරන තන්ත‍්‍රයක් නියෝජනය කරන ජාතික ආරක්ෂක ප‍්‍රතිපත්තියක් තුලින් සිදු වන්නේ, යුද උන්මාදයට තෙල් ඉසීම පමනි. න්‍යෂ්ටික සමූල ඝාතනයක වර්ධනය වන තර්ජනය හමුවේ රුසියානු කම්කරු පන්තිය, සෝවියට් සංගමය තුල ස්ටැලින්වාදී පාවාදීමේ අත්‍යන්ත ප‍්‍රතිපලයට මුහුන දෙනු ඇත.

නව ලෝක යුද්ධයක් වැලැක්විය හැකි එකම බලවේගය, යුද්ධයේ මූලාශ‍්‍රය වන ධනවාදයට එරෙහි අරගලය තුල, ස්වාධීනව සංවිධානය වන ජාත්‍යන්තර කම්කරු පන්තියයි. මෙය ජාත්‍යන්තර සමාජවාදී නායකත්වයක් ගොඩනැගීම ඉල්ලා සිටින අතර මගහැරීමට කාලයක් නැත.

මේ අරගලය සඳහා තීරනාත්මක වන “ධනවාදය හා යුද්ධයට එරෙහිව සමාජවාදය” යන මැයෙන් නොවැම්බර් 05දා ඩෙට්‍රොයිට්හිදී පැවැත්වෙන හදිසි සම්මේලනයට සහභාගී වන ලෙස අපි අපේ සියලු පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.

බිල් වෑන් ඕකන්.

Share this article: